Press "Enter" to skip to content

පන්සලේ ඉන්න බැහැ කියලා ගෙදර ගියාම අම්මා මාව බෝල අත්ත අරන් එළෙව්වා.

පන්සලේ ඉන්න බැහැ කියලා ගෙදර ගියාම අම්මා මාව බෝල අත්ත අරන් එළෙව්වා.

රාමඤ්ඤ නිකායේ මහනායක නාපාන පේමසිරි මාහිමි

(අපවත්වි වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අග්ගමහ පණ්ඩිත ,අතිපුජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේ සමඟ 2017 ජුනි 18 දින “ඉරිදා ලක්බිම ” පුවත්පතට මා කළ සාකච්ජාවේ කොටසකි මේ.මහනාහිමියන්ට උපහාර පිණිස සටහන් කරමි.මෙම සාකච්ජාව මා විසින් සංස්කරණය “ගුරුපා⁣රෙන් බෝ මළුවට” කෘතියටද ඇතුළත් කෙරිණ.)

මහනායක හාමුදුරුවන් උපන්නේ.?

මම උපන්නේ 1922 නොවැම්බර් 30 වෙනිදා.ඒ කාලේ ඉතින් අපේ ගම්වල ඔය පහසුකම් එහෙම නැහැනේ.ඒත් ගහකොළ සතා සිව්පාවුන්ගෙන් ගම පිරිලා තිබුනේ.

ඔබ වහන්සේගේ පවුලේ විස්තර..?

මගේ අප්පච්චි ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමා.මගේ
මෑණියෝ හිටිබණ්ඩාර මුසියන්සේලාගේ බණ්ඩාර මැණිකේ.මගේ ගිහි නම ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර.අපේ පවුලේ අට දෙනෙක් හිටියා.ගෑනු එක්කනෙකයි.පිරිමි හතයි.

පාසල් අධ්‍යාපනය ලැබුවේ..?

මට අකුරු කියෙව්වේ නාපාන ගොරොක්ගහ කුඹුරේ ආර්.එම්.විජේතුංග මාතාව.ඒ කාලේ එතුමිය තමයි ගමේ ගොඩක් ළමයින්ට අකුරු කියෙව්වේ.පස්සේ වලල විදුහලට හා ගුන්නෑපාන විදුහලට මාව ඇතුළත් කළා.

ඒ කාලේ ගමන් බිමන් එහෙම දුෂ්කරයිනේ..?

අපෝ ඔව්..ලොකුම වාහනේ ඉතින් කරත්තේ තමයි.ගොඩක් ගමන් බිමන් යන්නේ පයින්.රෑට හුළුඅතු පත්තු කරගෙන යනවා මම ස්කොලේ ගියෙත් සැතැපුම් තුනක් විතර පයින්මයි.හැමදාම මෙහෙම පයින් යන්න එන්න ගියාම මට ස්කෝල ගමනත් එපා වුණා.

ඉතින් මොකද වු⁣⁣ණේ මහානායක හාමුදුරුවනේ ..?

අපේ අප්පච්චි ඒකට වැඩපිළිවෙළක් යෙදුවා.හුරීකඩුව උදුම්බරාරාමයේ නිර්මාතෘ තෙලිපැහැ සිරි සීලවංශාසභ අනුනායක හාමුදුරුවෝයි මගේ අප්පච්චියි හොඳ මිත්‍රයෝ.හුරිකඩුව පන්සල ලගම තියෙන ස්කෝලෙට මාව බාර දුන්නා.හැබැයි ස්කෝලෙට දැම්මේ මාව මහණ කරනවා කියන පොරොන්දුවත් එක්කමයි.මටත් ඒ ගැන තේරුමක් තිබුණෙත් නැ.

නිවසේ ඉන්න කාලේ ගමේ යාළුවෝ එක්ක එකතුවුණාද..?

ගෙදර ඉන්නකොට මට අවුරුදු දහයක් වගේනේ.ගමේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක එකතුවක් තිබුණා.ඒත් අපේ අම්මා සැරයි.ඉතින් වැඩිය දඟ වැඩ බැ.ඒ කාලේ හරි විනෝදයි.ගමේ ඔිනේ තරම් පලතුරු තිබුණා.

කොහොමද පන්සල් ජිවිතයට හුරුවුණේ..?

මට ඒ්කට කාලයක් ගියා.අම්මා අප්පචිචිගෙන් වෙන්වෙලා සහෝදර පිරිසගෙන් වෙන්වෙලා ඉන්නකොට නිතරම ගෙදර මතක්වුණා.මගේ හිත නිතරම කිව්වේ ගෙදර දුවපං කියලා.

ඉතින් මොකද වුණේ මහානායක හාමුදුරුවනේ ..?

අනේ මට තවත්නම් පන්සලේ ඉන්න බැහැ කියලා මම ලොකු හාමුදුරුවන්ටත් හොරෙන් දවසක් ගෙදර ගියා.මම යනකොට අම්මා බෝල.අත්තෙන් මිදුල අතුගගා හිටියේ.මාව දැක්ක ගමන් අම්මාට කාරණය තේරුණා.මෙන්න පුතණ්ඩියා මහණ වෙලත් ඇවිල්ලා කියලා අම්මා බෝල අත්ත උස්සගෙන මගේ පස්සෙන් එලෙව්වා.මම පණ එපා කියලා දිව්වා.අම්මා එළවපු පාර හැතැම්ම තුනක් හතරක් එක දිගටම දුවලා මම නැවතුනේ පන්සලේ.එදායින් පස්සේ ආපහු ගෙදර යන්න හිතුවේ නැහැ.ගෙදර යන්න හිතෙන කොට අම්මා පස්සෙන් එළවනවා පේනවා.අම්මා එදා මාව එළෙව්වේ නැත්නම් සමහරවිට මම මහණ නොවෙන්නත් ඉඩ තිබුණා.

ඊට පස්සේ ඔබ වහන්සේ පැවිදි වුණාද?

පස්සේ පන්සල් අධ්‍යාපනය ලබන කොට මට ගෙදර යෑමේ අදහස අතහැරිලා ගියා.1933 ජුලි 8වෙනිදා මම මහණ වුණා.මම මහණ වුණු අවුරුද්දේම තමයි ධර්මපාලතුමා අපවත්වුනෙත්.මගේ මහණ පිනකමත් නිකම්ම කළේ නැහැ.අපේ ගමේ ඉඳලා මහ පෙරහරකින් ඇතෙක් පිටේ නංවාගෙන තමයි මාව එක්කගෙන ආවේ.අන්න ටිකිරි බණ්ඩා ඇතෙක් පිට යනෝ කියලා මගේ යාළුවෝ එදා කෑගැව්වා.මගේ ගුරු හාමුදුරුවන් ගේ 42 වෙනි ගෝලයා හැටියට තමයි මම මහණ වුණේ.

පිරිවෙන් අධ්‍යාපනය..?

වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනින් තමයි මුලිකම අධ්‍යාපනය ලැබුවේ.නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනට ඇතුළත් වෙලා විනයාචාර්ය හා විනය විශාරද උපාධි ගත්තා.විනය විශාරද විභාගය ඉහළින්ම සමත්වෙන හිමිනමට ඒ කාලේ කල්ප වෘක්ෂ පුජාව කියලා තෑග්ගක් දෙනවා.ඩඩ්ලි සේනානායක අගමැතිතුමා අතින් තමයි ඒ තෑග්ග මට ලැබුණේ.පොඩි හාමුදුරුවෝ තව තව හොඳට ඉගෙන ගන්න කියලා මට එදා අගමැතිතුමා ප්‍රශංසා කළා.

ඔබ වහන්සේ අධ්‍යාපන කේෂ්ත්‍රයේත් යෙදි සිටියා..?

ඔව්.කැටවල විද්‍යාලෝක මහ පිරිවෙනේ පරිවේනාධිපති ලෙස අවුරුදු දහයක් සේවය කළා.1967 දි විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කරලා එහි පරිවේනාධිපති වුණා.

ඔබ වහන්සේ මේවනවිට නිකායේ උත්තරීතරම පදවිය දරණවා…?

ඔව් .නිකායේ විවිධ තනතුරු මම දැරුවා.හැබැයි මම කිසිම දිනක කිසිම තනතුරක් ඉල්ලා හිටියේ නැහැ.මට අවශ්‍ය වුණේ භික්ෂුත්වයේ ගෞරවය ආරක්ෂා කරගෙන සසුනට රටට වැඩකිරිම පමණයි.

ඔබ වහන්සේ වැඩ සිටින්නේ ඓතිහාසික කන්ද උඩරට..?

අපි පොඩි කාලේ ඉඳලම මල්වතු අස්ගිරි විහාර සමඟ සම්බන්ධයි.ඒ වගේම වරින් වර පත්වු ඒ මහානායක හිමිවරුන් සමඟත් කිට්ටු ඇසුරක් තිබුණා.කඳුරට භික්ෂු සංගමයේ ආරම්භයේ ඉඳලම මම උප සභාපති.සභාපති වු⁣ණේ මල්වතු මහ විහාරයේ අලුත්ගම ධම්මානන්ද නායක හාමුදුරුවෝ.මම මහනායක ධුරයට පත්වුනාම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් පවා බලවත් සතුටට පත්වුණා.

මහානායක හාමුදුරුවෝ බුරුම රජයෙත් ඉහළම ගෞරවයට පාත්‍රවුණා..?

2008 අවුරුද්දේ බුරුමයට වඩම්මලා අග්ගමහ පණ්ඩිත උපාධිය මට පිරිනැමුවා.ඊට පෙර බුරුම රජයෙන් පැවත්වු නොයෙක් දහම් විභාගවලිනුත් මම සමත් වෙලා තියෙනවා.මම ආරම්භ කරපු හා මට ලැබුණු බොහෝ වෙහෙර විහාර මම මගේ පැවිදි සහෝදරයන්ට හා ශිෂ්‍යයන්ට පවරා දුන්නා.මට කිසිම බැඳිමක් නැහැ.

මහනායක හාමුදුරුවෝ සමඟ අපේ දවුල්දෙණ ඤාණිස්සර මහනායක හාමුදුරුවෝ කිට්ටු සම්බන්ධයක් තිබුණා නේද..?

මේ රටේ පමණක් නොවේ ⁣ලෝකයම පිළිගත් උගතෙකුවු දවුල්දෙණ මහනාහිමියන්ගේ අපවත්විම මගේ හිතට තදින්ම දැනුනා.උන් වහන්සේ වගේ පඬිවරු පහළ වන්නේ කලාතුරකින්.අපි දෙන්නා අතරේ දිගු කාලින මිත්‍රකමක් තිබු⁣⁣ණේ.දැහැත්වලට මට හොඳ පුවක් එහෙම ලැබුණාම මම ඒවා පාර්සල් කරලා තෑපැලෙන් දවුල්දෙණ මහනාහිමියන්ට යවනවා.ඒවා ලැබුණාම උන් වහන්සේමට සංස්කෘත ශ්ලෝක වලින් ස්තුති කරලා ලිපියක් එවනවා…

ධර්ම ශ්‍රී තිලකවර්ධන

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *