Press "Enter" to skip to content

”කොස් මල්ලිගේ බෙල්ල කඳෙන් වෙන්කරන්නම තීරණය කළා” – මධූෂ් වැමෑරූ බිහිසුණු රහස් ඔහුගේ වචනයෙන්ම

මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූයේ මාකඳුරේ මධුෂ්ය. පසුගිය කාලය පුරාම මාකඳුරේ මධුෂ්ගේ නියෝග උපදෙස් මත මෙරට සිදුවූ දරුණු අපරාධ ප‍්‍රමාණය අති විශාලය.

මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් මෙන්ම හෙරොයින් ජාවාරමේ අගරජු ලෙස සිටියේද මාකඳුරේ මධුෂ්ය.

මධුෂ් අත්අඩංගුවට පත්ව වසරකට අධික කාලයක් රඳවා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේය.

ඒ කාලසීමාව තුළ මධුෂ්ගෙන් ප‍්‍රශ්න කිරීම්වලින් කිසිවක් අනාවරණය කරගෙන තිබුණේ නැහැ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන්නේ ඉන් පසුවය. අපරාධ කොට්ඨාසය තුළ ප‍්‍රශ්න කිරීම්වලදී මාකඳුරේ මධුෂ් තමන් සිදුකළ අපරාධවලට අදාළ තොරතුරු රැසක් අනාවරණය කළේය.

 

මාකඳුරේ මධුෂ් ඝාතනය වීමට දින දෙක තුනකට උඩදී තමන් වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ සිදුකළ සියලූම අපරාධවලට අදාළ රහසිගත තොරතුරු රාශියක් එක්තරා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හමුවේ හෙළි කළේය. මෙම හෙළිදරව්ව පැය භාගයකට ආසන්න කාලයක් තිස්සේ සිදු කෙරිණි. මෙවර පළවන්නේ මාකඳුරේ මධුෂ් මෙම උසස් පොලිස් නිලධාරියා හමුවේ හෙළි කළ තම අපරාධ චාරිකාවට අදාළ පාපොච්චාරණයෙන් උපුටාගත් තොරතුරු අනුසාරයෙන් සකස් කළ ලිපියකි.

 

මාකඳුරේ මධුෂ්ගේ තියුණු දෑස් උසස් පොලිස් නිලධාරියා වෙත යොමුව තිබුණේය. උසස් පොලිස් නිලධාරියාගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ මධුෂ්ට තවදුරටත් නිහඬව සිටීමට හැකි වුණේ නැත. මෙරට පාතාල අපරාධ ඉතිහාසයේ ඉතාම මිලේච්ඡතම ඝාතනවලින් එකක් ලෙස සැලකෙන්නේ කොස් මල්ලී නමැත්තා ඝාතනය කර ඔහුගේ සිරුරෙන් වෙන් කළ හිස කොටස අලූත්කඬේ අධිකරණ සංකීර්ණය අසලට ගෙනැවිත් දැමීමය. කොස් මල්ලී ඝාතනය කිරීමට හේතුපාදක වූ කරුණු මෙන්ම ඔහු මරා දැමූ ආකාරය මධුෂ් පියවරෙන් පියවර හෙළි කළේය. සර්… රිස්කාන් මුස්ලිම් මිනිහෙක් වුණාට ඌ මට මගේම සහෝදරයෙක්. රිස්කාන්ව මරාපු දවස මට මගේ ජීවිතේ කිසිදාක අමතක වෙන්නෙ නැහැ. ඌව මතක් වෙද්දී තාමත් මගේ ඇස්වලට කඳුළු පිරෙනව සර්…

 

මාකඳුරේ මධුෂ් කඳුළින් තෙත්වූ දෑස් දෑතීන්ම පිස දමමින් කීවේය. අවුරුදු හය හතක් හිරේ ලැගලා ඉඳලා යන්න එන්න තැනක් නැතිව ජීවත් වෙන්න විදිහක් නැතිව කොටින්ම කිසිම රැකවරණයක් නැතිව ඉන්න කාලේ මට පිහිටවුණේ රිස්කාන්. ඌ නිසා මං ලෝකේ විඳින්න තියෙන සියලූම සැප සම්පත් වින්ඳා. ලීසිං කොම්පැණි කොල්ල කාලා, ඩැනී හිත්තැටියගේ මහත්තයගේ මස්සිනා මරලා අවුරුදු හය හතක් මීගමුව බන්ධනාගාරේ ලැගලා ඉඳලා මං එළියට ආවේ නන්නන්තාර වෙලා සර්… මට කරන්න කියන්න කිසි දෙයක් තිබුණේ නැහැ. එක රුපියලක් දෙන්න එකෙක් හිටියේ නැහැ.

 

ඒ වෙනකොට කංජිපානි ඉම්රාන් මගේ හොඳ යාළුවෙක්. මිනිහා හිටියේ මාළිගාවත්තේ. කංජිපානි ඉම්රාන් මාර්ගයෙන් මම රිස්කාන්ව දැන හඳුන ගත්තා.

 

රිස්කාන් මට කොළඹ නතර වෙන්න තැනක් සෙට් කරලා දුන්නා. මගේ ජීවිතේ කණපිට පෙරළෙන්න පටන් ගත්තේ රිස්කාන් එක්ක වැඩ කරන්න ගත්තට පස්සේ. ඒ වෙනකොට මට ගොඩක් තර්ජන තිබුණා. පොලිසියයි පාතාලෙයි දේශපාලනඥයෝ කීප දෙනෙකුයි මා එක්ක වෛරයෙන් හිටියේ. කොටින්ම ඒ වෙනකොට මගේ ජීවිතේ ලොකු අනතුරක තිබුණේ. මට ඕන වුණා ටික කාලෙකට රටින් පිටවෙලා ඉන්න. මං ඒ ගැන රිස්කාන්ට කිව්වා. ඒ වෙනකොට රිස්කාන්ට ඩුබායිවල ලොකු සම්බන්ධතා තිබුණා. රිස්කාන් ඩුබායි බිස්නස් කාරයෝ කීප දෙනෙක් එක්කම ස්මග්ලිං බිස්නස් කර කර හිටියේ. මගේ ඉල්ලීම අහලා එයා මාව ඩුබායි යවන්න ලෑස්ති කළා.

 

මට නඩු කීපයක් තිබුණු නිසා රට යන්න විදිහක් තිබුණේ නැහැ. වෙන නමකින් පාස්පෝර්ට් එකක් හදලා ඩුබායි පනින්න හැම දෙයක්ම ලෑස්ති කරලා දුන්නේ රිස්කාන්.

 

රිස්කාන් එයාගේම කාර් එකේ මාව අරගෙන එයාර්පෝට් එකට එක්කගෙන ගියා. ඒ වෙනකොට ඩුබායිවල මට නතර වෙන්න තැනක් ලෑස්ති කරලා මාව බලාගන්න ඩුබායිවල ඉන්න බිස්නස්කාරයෝ කීප දෙනෙක්ම සෙට් කරලා තිබුණා. එදා මං රිසාක්නාගෙන් සමුගනිද්දී මට ඌ ගැන ඇති වුණේ පුදුමාකාර හැඟීමක් සර්… ඇත්තටම තමුන්ගේ එකෙක්වත් ඔහොම කරන්නේ නැහැ. ඩුබායිවලදී මට කංජිපානිවත් හම්බ වුණා. ඒක මගේ වැඩවලට ලොකු හයියක් බව තේරුණේ එහේ ගිහින් අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ. කංජිපානි ඉම්රානුයි මමයි එකතුවෙලා මුලින්ම රිස්කාන්ගේ බිස්නස්වලට උදව් කළා. රිස්කාන් වැඩිපුරම කළේ ඩුබයි ඉඳලා හොර සිගරැට් ලංකාවට ගෙන්වන එක. අපි සිගරැට් කන්ටේනර් පිටින් ලංකාවට පැටෙව්වා. පස්සේ තමයි හෙරොයින් බිස්නස් එකට අත ගැහුවේ. වැඩිකල් යන්න ඉස්සර අපි කෝටිපතියෝ වුණා. ඩුබායිවල තියෙන හැම සැප සම්පතක්ම මට ගන්න පුළුවන් වුණා. ඒ දේවල් භුක්තිවිඳින්න වාසනාව ලැබුණා. ඒ හැම දෙයක්ම මම ලබාගත්තේ රිස්කාන් නිසයි.

 

මධුෂ් මොහොතක් කල්පනා කළේය. අතීත සිදුවීම් මාලාවක් එකින් එක මධුෂ්ගේ මතකයට නැෙඟන්න වුණේය. මොහොතක නිහැඬියාවකින් පසු මධුෂ් නැවතත් කටහඬ අවදි කළේය. මගේ සහෝදරයා වගේ හිටපු රිස්කාන්ව මැරුවේ 2018 මාර්තු 16 වැනිදා. එදා තරම් මං දුක්වෙච්ච තවත් දවසක් තිබුණේ නැහැ. කොටින්ම මට මගේ අම්මව මරපු දවසෙවත් ඒ තරම් දුකක් දැනුණේ නැහැ.

 

රිස්කාන් මැරුම් කෑවේ මං නිසා. කඩුවෙල සෙට් එක රිස්කාන්ව මැරුවේ මගෙන් පළිගන්න. මට රිද්දන්න. නැත්නම් රිස්කාන්ට කඩුවෙල සෙට් එක එක්ක කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. කළුතරදී පි‍්‍රසන් බස් එකට ගහලා සමයං මරුවට පස්සේ කඩුවෙල සෙට් එක හිටියේ මා එක්ක ලොකු වෛරයකින්. ඒ වෙන කොට කඩුවෙල අන්ඩර් වර්ල්ඞ් එක රන් කළේ ගොත අසංකයි, ඌරුජුවයි. උන් දෙන්නා තමයි රිස්කාන්ට ගහලා මට රිද්දන්න ප්ලෑන් කළේ.

 

මොකද ඒ වෙනකොට කඩුවෙල සෙට් එක දැනගෙන හිටියා ප‍්‍රිසන් බස් එකට ගහලා සමයං මරපු කේස් එක සම්පූර්ණයෙන්ම හැඞ්ල් කළේ මං කියලා.

 

මගේ පව්වලට රිස්කාන්ට කරගහන්න වුණේ ඒ නිසයි. රිස්කාන්ගේ ලංකාවේ තිබුණු බිස්නස්වලටත් මං හවුල් වෙලා හිටියා රිස්කාන් අලූතින් පටන් ගත්ත රෙන්ටර් කාර් එකට වගේම තවත් බිස්නස් කීපයකට මං රුපියල් කෝටි දහයක් විතර ඉන්වෙස්ට් කරලා තිබුණා.

 

මගේ සල්ලි නැති වුණත් කමක් නැහැ. මට දුක මට මගේ සහෝදරය වගේ හිටිය යාළුව නැතිවෙච්ච එක සර්…

 

ඔය සිද්ධිය වෙච්ච දවස මට අද වගේ මතකයි. එදා උදේ රිස්කාන් දෙතුන් වතාවක්ම මා එක්ක කතා කළා. රිස්කාන්ට කිසිම බයක් තිබුණේ නැහැ. කොටින්ම එයාට කාගෙන්වත් තර්ජනයක් තිබුණේම නැහැ. මිනිහා බොහොම සැහැල්ලූවෙන් බිස්නස් එක කරගෙන ගියා.

 

එදා දවල් මට කොල්ලෙක් කතා කරලා කිව්වා කොටහේනේ ඔෆිස් එකට සෙට් එකක් ඇවිත් රිස්කාන්ට වෙඩි තියලා මැරුවා කියලා. මට උන්හිටිතැන් අමතක වුණා. මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරුව ගියා. මට හයියෙන් කෑ ගහලා අඬන්න තරම් හිතුණා සර්… මං හීනෙකින්වත් හිතුවේ නැහැ මං නිසා රිස්කාන්ව මරයි කියලා. මාකඳුරේ මධුෂ් ඒ අමිහිරි සිදුවීම නැවත නැවතත් සිහි කරමින් කම්පාවට පත් වුණේය. දුක, වෛරය, කෝපය, පළිගැනීම තවමත් ඔහුගේ සිතේ නළියමින් තිබෙන බව උසස් පොලිස් නිලධාරියා දුටුවේය. මොහොතක නිහැඬියාවකින් පසු මධුෂ් නැවතත් ඒ අමිහිරි අතීත සිදුවීම් මාලාව ආවර්ජනය කරන්න පටන් ගත්තේය.

 

ඌරුජුවයි, ගොත අසංකයි ඒ වෙන කොට හිටියේ රිමාන්ඞ් එකේ. උන් දෙන්නා ඇතුළේ ඉඳන් තමයි මේ වැඬේ සෙට් කරලා තිබුණේ. කඩුවෙල දෙන්නෙක් බයික් එකක ඇවිත් රිස්කාන්ගේ ඔෆිස් එකටම පැනලා වෙඩි තියලා තිබුණා. හැබැයි වෙඩි තියපු උන් දෙන්නාගෙන් එකෙක් කොටහේනේ මිනිස්සු අල්ලාගෙන ඌට ගහලා මරලා තිබුණා. බයික් එක පැද්ද එකා මිනිස්සුන්ගෙන් බේරිලා පැන ගත්තා. දවස් කීපයකට පස්සේ ඌවත් පොලිසිය අල්ලා ගත්තා. රිස්කාන් මැරුවේ මං නිසා කියලා හිතෙන වාරයක් වාරයක් ගානේ මට ඇතිවුණේ පුදුම වෛරයක්. මේක කරපු උන්ට අමතක නොවෙන පාඩමක් උගන්වලා රිස්කාන්ට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න මට ඕනේ වුණා. මං හැම මොහොතෙම මේ ගැන කල්පනා කළා.

 

ඒ හින්දා තමයි සර් මං රිස්කාන්ගේ මර්ඩර් එකට ගෑවිච්ච ගෑවිච්ච හැම එකාවම මරන්න තීරණය කළේ. ඒත් ඒ වෙනකොට මේකට සම්බන්ධ වෙච්ච හැම එකාම හිටියේ රිමාන්ඞ් එකේ. මේ ගේම් එකට සම්බන්ධ වෙච්ච එකම එකයි එළියේ හිටියේ. මිනිහා තමයි කොස් මල්ලී. ඇත්තටම කොස් මල්ලී කියන මිනිහා වැඩක් ඇති එකෙක් නෙවෙයි. රිස්කාන්ව මරන්න සෙට් එක ඇවිල්ලා තිබුණේ කොස් මල්ලිගේ බයික් එකේ. ඒ වගේම මිනිහා මේ මර්ඩර් එකට ඔත්තු බැලූව කියලත් මට තොරතුරු ඇවිත් තිබුණා.

 

කොස් මල්ලී කොහොමත් සමයංගෙ සෙට් එකේ එකෙක්. රිස්කාන්ගේ මරණය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න තිබුණු එකම මාර්ගය කොස් මල්ලී මරණ එක. මම ඌට මරණ වරෙන්තු නිකුත් කළා සර්…

 

අඟුණකොළපැලැස්සේ ලොකු අයියට මං මේ වැඬේ භාර දුන්නා. ලොකු අයියා මට ගොඩක් සමීප කෙනෙක්. පසුගිය 88/89 භීෂණ කාලේ එයා ජේවීපී කාරයෙක්. අපේ අම්මව වෙඩි තියලා මැරුවට පස්සේ මාව බලා කියා ගත්තේ ලොකු අයියා. මං ලොකුමහත් වෙනකල් ගොඩක් උදව් කළේ එයා. ඒ හැම උදව් උපකාරයකටම මං එයාට හොඳට සැලකුවා. රිස්කාන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ කියලා මං ලොකු අයියට කතා කරලා කිව්වා. එයාට හොඳ පාතාල බුද්ධි ජාලයක් තිබුණා. අනික වැඩක් භාර දුන්නට පස්සේ ඒක අකුරටම ඉෂ්ට කරන එක එයාගේ හොඳ ගුණයක්.

 

ලොකු අයියේ රටම හෙල්ලෙන වැඩක් කරන්න ඕනේ. රිස්කාන්ව මරපු උන්ට නීතියෙන් දඬුවමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කොස් මල්ලීව මරලා උගේ ඔළුව උසාවිය ළඟට ගෙනත් තියන්න ඕනේ. එතකොට තමයි රිස්කාන්ගේ මරණයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. මං ලොකු අයියට කොස් මල්ලී මරණ කොන්ත‍්‍රාත්තුව භාර දුන්නා.

 

ඒ වෙනකොට කොස් මල්ලී හැංඟිලා හිටියේ. මිනිහව පොලිසියෙන් හොයන නිසා කොළඹින් මාරුවෙලා කියලා මට ආරංචි වුණා. මං මගේ වෙනම සෙට් එකක් දැම්මා කොස් මල්ලීව හොයන්න. ලංකාවේ ඕනෑම තැනක ඕනෑම දෙයක් සොයාගන්න මට මිනිස්සු ඉන්නවා.

 

මසාජ් සෙන්ටර් එකක වැඩකරපු මධු කියලා කොල්ලෙක් එක්ක කොස් මල්ලීගේ සම්බන්ධයක් තිබුණා කියලා අපි සොයා ගත්තා. කොස් මල්ලී ඉන්න තැන මධූ දැනගෙන හිටියා. අපි මධූව සම්බන්ධකරගෙන කොස් මල්ලී ඉන්න තැන සොයා ගන්න ප්ලෑන් එකක් ගැහුවා.

 

අංගොඩ ලොක්කගෙ සෙට් එකේ හිටියා ශී‍්‍රමාල් කියලා කොල්ලෙක්. මිනිහා මධූගේ දුර ඥාතියෙක්. ශී‍්‍රමාල් හරහා මධූව මේ වැඬේට සම්බන්ධ කර ගන්න උදව් කෙළ් අංගොඩ ලොක්කා. ඒ වෙනකොට අංගොඩ ලොක්ක හිටියේ ඉන්දියාවේ. සමයංට ගහලා මිනිහා ලඩියත් එක්ක ඉන්දියාවට පැනලා හිටියේ.

 

ලොක්කා ඉන්දියාවේ ඉඳලා මේ වැඬේ කරගන්න ෆුල් සපෝර්ට් එකක් දුන්නා. අපි ශී‍්‍රමාල් මධූ හරහා කොස් මල්ලී ඉන්න තැන සොයා ගත්තා. කොස් මල්ලිට හැංඟිලා ඉන්න තැනක් සෙට් කරලා දෙනවා කියලා මධූගේ මාර්ගයෙන් මිනිහා අඟුණකොළපැලැස්සට ගෙන්න ගන්න අපට පුළුවන් වුණා. කොස් මල්ලී ඇත්තටම හිතාගෙන හිටියේ මධු මිනහට උදව් කරනව කියලා. මිනිහා අපේ ප්ලෑන් එකට අහුවුණා. ශී‍්‍රමාල් වාහනයක් අරගෙන හැංඟිලා හිටිය කොස් මල්ලිව අඟුණකොළපැලැස්සට ගෙනැල්ලා ලොකු අයියට භාර දුන්නා. ලොකු අයියා කාගේ කවුද මොනවද කරන්නේ කියලා කොස් මල්ලි දැනගෙන හිටියේ නැහැ. මිනිහා හිතුවේ ලොකු අයියා ළඟ රැකවරණයක් තියෙනවා කියලා.

 

ඒ වෙනකොට කොස් මල්ලිව මරන්න ඕන කරන හැම ප්ලෑන් එකක්ම මං ලෑස්ති කරලා තිබුණේ. කොටින්ම මිනිහා මරලා ඔළුව කොළඹට ගේන්න වාහනේකුත් මං සෙට් කළා. කොස් මල්ලී මරන්න හිටපු දවසේ මිනිහට හොඳට කන්න බොන්න දීලා සලකන්න කියලා මං ලොකු අයියට කිව්වා. රාලහාමියි, අමිල සම්පතුයි මේ වැඬේට සම්බන්ධ කර ගත්තේ ලොකු අයියගේ උදව්වට.

 

අමිල සම්පත් මර්ඩර් තිහ හතළිහක් ගහපු කොල්ලෙක්. ඌ කිසි දේකට බය නැහැ. අඟුණකොළපැලැස්ස ගෝඨාභයගම කියන පැත්තේ ලොකු හේනක් තිබුණා. ඒක ලොකු අයියා මිනිස්සු දම්මල කරගෙන ගිය එකක්. කොස් මල්ලිගෙ අවසන් කටයුතු කරන්න ලෑස්ති කරල තිබුණේ මේ හේනේදී තමයි. එදා රාති‍්‍රයේ ලොකු අයියයි, රාලහාමියි, අමිල සම්පතුයි කොස් මල්ලිව එක්කගෙන මේ හේනට ආවේ පාර්ටියක් සෙට් කරලා තියෙනවා කියලා බොරුවක් කියලා.

 

හැබැයි කැලේ මැදදී මිනිහට තේරුණා එයාව ගෙනියන්නෙ වෙන වැඩකට කියල. කොස් මල්ලී එතැනින් පැනල යන්න පොඩි උත්සාහයක් දැම්මා.

 

ඒ වෙලාවේ ලොකු අයියා කොස් මල්ලිගෙ ඔළුවට ටී.56 වෙපන් එක තියලා තර්ජනය කළා. ලොකු අයියා කොස් මල්ලිට කිව්වේ මෙතැන ඉන්නෙ ආමි රෑන්ට් එකෙන් කියලා. එතකොට කොස් මල්ලි හොඳටම බයවෙලා කලබල කරන එක නතර කළා. කොස් මල්ලිව හේනට ගෙනල්ලා ලොකු අයියා මට වට්ස්අප් වීඩියෝ කෝල් එකක් ගත්තා. මං කොස් මල්ලි එක්ක වීඩියෝ කෝල් එකකින් කතා කළා. කොස් මල්ලි මුලින්ම හිතාගෙන හිටියේ මං ආමි රෑන්ට් එකේ ලොක්කා කියලා. අන්තිමේදී මං කිව්වා මිනිහට මේ කතා කරන්නේ මාකඳුරේ මධුෂ් කියලා. ඒක අහලා මිනිහා හොඳටම කලබල වුණා. මිනිහා වැඳ වැටි වැටී මගෙන් සමාව ඉල්ලූවා. ඒ වෙනකොට මිනිහට තේරුම් ගිහිල්ලා තිබුණේ අපි මිනිහව හේනට ගෙනාවේ මරන්න කියලා. හැබැයි මං මිනිහට කිව්වා මං උඹව කොළඹට යවන්න හොඳ සැප වාහනයක් සෙට් කරලා තියෙනවා කියලා. මිනිහා දැනගෙන හිටියේ නැහැ මං ඒ කිව්වේ මොකක්ද කියලා. කොස් මල්ලි හිතුවේ නැහැ මං මිනිහව මරලා ඔළුව වාහනේක දාලා කොළඹ යවන්න ලෑස්ති කරලා තියෙනවා කියලා.

 

කොස් මල්ලි වැඳ වැටිලා කිව්වා රිස්කාන්ව මරන්න යන්න බයික් එක දුන්නේ කැමැත්තෙන් නෙවෙයි කියලා. කඩුවෙල සෙට් එක ඒක බලෙන් අරන් ගියා කිව්වා. ඇත්තටම රිස්කාන්ගේ මර්ඩර් එකේදී කොස් මල්ලි වැඩක් ඇති මිනිහෙක් නෙවෙයි. ඒත් රිස්කාන්ගේ මරණයට සාධාරණයක් කරන්න මේකට ගෑවුණු ගෑවුණු උන් මරලා දාන්න මට ඕනේ වුණා. මොකද අපි ඒ වෙනකොට පාතාලේ ලොකු නමක් හදාගෙන හිටියේ. රිස්කාන්ගේ මරණය වෙනුවෙන් දැනෙන යමක් නොකළොත් ඒක අපේ අනාගතේට හොඳ මදි කියලා මට හිතුණා.

 

කොස් මල්ලිගේ ඔළුව උසාවිය ඉස්සරහ තිබ්බට පස්සේ රටම ගිනි ගන්නවා කියලා මං හොඳටම දැනගෙන හිටියේ. මටත් කරන්න ඕනේ වෙලා තිබුණේ ඒ දේමයි. නැත්නම් කොස් මල්ලි කියන්නෙ නිකම්ම නිකං වැඩකට නැති එකෙක්. මධුෂ් ගිරවකු මෙන් අතීත සිදුවීම් මාලාව එකින් එක කියාගෙන ගියේය. රිස්කාන් සිහිකරන මොහොතක් මොහොතක් පාසා මධුෂ්ගේ මුහුණේ කිසියම් ශෝකී බරිත බවක් ඇඳී යන බව උසස් පොලිස් නිලධාරියා දුටුවේය. මට ඕනෙ වුණා කොස් මල්ලි මගේ ඉස්සරහපිටම මැරෙනව දකින්න. මං ලොකු අයියට කිව්වා වට්ස්ඇප් වීඩියෝ කෝල් එකක් අරගෙන කොස් මල්ලිව මරණ හැටි මට පේන්න තියන්න කියලා.

 

කොස් මල්ලිට වෙඩි තියන්න භාරදීලා තිබුණේ අමිල සම්පත්ට. මිනිස්සු මරණ එක මිනිහට බොහොම පොඩි දෙයක්. අමිල සම්පත් කොස් මල්ලිට වෙඩි තිබබේ මං වීඩියෝ කෝල් එකකින් බලාගෙන ඉන්නකොට.

 

කොස් මල්ලී වෙඩි වැදිලා දඟලලා දඟලලා මැරෙනවා දැක්කාම මට පුංචි සතුටක් ඇතිවුණා. මොකද රිස්කාන්ගේ මරණය වෙනුවෙන් එයාට පුංචි සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතට දැනිච්ච නිසා.

 

ඒ වෙනකොට මං කොළඹින් සැප වාහනයක් අඟුණකොළපැලැස්සට යවලා තිබුණා. වාහනේ හේන කිට්ටුවට ගිහින් තිබුණේ. කොස් මල්ලි මරලා උගේ ඔළුව වෙන් කරලා පාර්සල් කරන්න කියලා මං ලොකු අයියට කිව්වා. ඒ වැඬේ කළෙත් රාලහාමියි අමිල සම්පතුයි.

 

කොස් මල්ලිගෙ ඔළුව කාර් එකේ දාගෙන හයිවේ එකේ කොළඹ අරගෙන ආවා. ලොකු අයියා කොස් මල්ලිගෙ සිරුරේ කඳෙන් කොටස හේනේ වළ දාලා ගෙදර ගියා. මේ වැඬේ වෙනුවෙන් මං ලොකු අයියටයි රාලහාමිටයි අමිල සම්පත්ටයි හොඳට සැලකුවා.

 

වැඩක් කළාම මං ඒ හැම දෙයක්ම පිළිවෙළට කරනවා සර්… ඒකනේ මගේ ඕනේම වැඩකට ඕන තරම් කොල්ලෝ ඉන්නේ. මගේ කන්ට‍්‍රැක්ට් එක හරියටම කරලා ලොකු අයියයි අනිත් සෙට් එකයි ගෙවල්වලට ගියා මොකුත්ම නොවුණ විදිහට. කොස් මල්ලිගේ ඔළුව අරගෙන ආව සෙට් එක කොළඹට එනකොට පාන්දර 4.00 ට විතර ඇති. මේ වැඬේ අවසානයක් දකින කල් මට නින්ද ගියේ නැහැ. රෑ එළිවෙන කල් මං ඇහැරගෙන මේ හැම කොල්ලෙක් එක්කම ෆෝන්වලින් කන්ටැක් තියාගෙන හිටියේ.

 

කොස් මල්ලිගෙ ඔළුව ආමර්වීදිය පැත්තේදී භාර ගන්න ලෑස්ති වෙලා හිටියේ ජම්පටාවීදියේ සෙල්ලිගෙ පුතා රිමෝෂන්. මිනිහගෙ සපෝර්ට් එකට මං තව කොල්ලෙක් ලෑස්ති කරලා හිටියා. මේ කාලේ වෙනකොට සෙල්ලිගෙ පුතාලා දෙන්න රිමෝෂනුයි කැනිස්ටයි මා එක්ක වැඩ කර කර හිටියේ. ඒ කොල්ලෝ දෙන්නට කරදර ගොඩක් තිබුණා. කොටහේනේ කෙනඩියි, පූකුඩුකන්නයි මේ කොල්ලො දෙන්නට ගොඩක් කරදර කළා. ඒ නිසා උන් දෙන්නා මා එක්ක එකතුවෙලා හිටියේ. මේ කොල්ලො දෙන්න කිසි දේකට බය නැහැ. දෙන ඕනේම වැඩක් හරියට කරනවා. ඒ නිසයි මං උන්ට උදව් කරන්න කැමති වුණේ.

 

ඒ වගේම මගේ වැඩවලටත් මං උන් දෙන්නව යොදාගත්තා. මං රිමෝෂන්ට කිව්වා කොස් මල්ලිගෙ ඔළුව කොහොම හරි උසාවිය ඉස්සරහින් තියන්න කියලා.

 

ඒත් ඒ වෙනකොට එළිය වැටෙන්න කිට්ටු වෙලා තිබුණු නිසා අලූත්කඬේ උසාවිය හරියේ මිනිස්සු ගැවසෙන්න පටන් අරගෙන තිබුණා.

 

බැරිවෙලා හරි පොලිසියට මාට්ටු වුණොත් කොල්ලො දෙන්න අමාරුවේ වැටෙනවා. ඒ නිසා මං උන් දෙන්නට කිව්වා උසාවිය කිට්ටුව කොහේ හරි තැනක කොස් මල්ලිගෙ ඔළුව දාන්න කියලා. රිමෝෂන් මං කියපු විදිහටම හැම දේම කළා. කොස් මල්ලිගේ ඔළුව බයික් එකේ තියාගෙන ගිහින් උසාවිය ළඟ පාර අයිනේ තියලා උන් දෙන්නා මාරු වුණා.

 

මං ප්ලෑන් කරපු විදිහටම එදා මුළු කොළඹම ගිනි ගත්තා. වැඩි වෙලාවක් යන්න ඉස්සර පොලිසිය කොස් මල්ලිගෙ මරණයට හේතුව හොයාගත්තා. මටත් ඕනේ කරලා තිබුණේ මගේ ප්ලෑන් එකෙන් මුළු ලංකාවම හොල්ලන්න. ඒ ප්ලෑන් එක ඒ විදිහටම වැඩ කළා.

 

මධුෂ්ගේ ටීම් එක කොයිතරම් බලවත්ද කියලා එදා පොලිසිය විතරක් නෙවෙයි මුළු ලංකාවම දැන ගත්තා.

 

කොස් මල්ලි මරපු රාලහාමියි අමිල සම්පතුයි ටික දවසක් යන කල් කඹුරුපිටියේ අපේ ඥාතියෙක්ගෙ ගෙදර නතර කළා. මොකද ඒ වෙනකොට පොලිසිය උන් පස්සේ පන්න පන්න හිටියේ. ඒත් කොස් මල්ලි මරලා දවස් දෙක තුනක් යන්න ඉස්සර රාලහාමියි අමිල සම්පතුයි පොලිසියට කොටු වුණා. ඒ දෙන්න ගැන ඔත්තුව දීලා තිබුණේ කඹුරුපිටියේ පොලිසියේ සාජන්ට් කෙනෙක්. මේ සාජන් නතර වෙලා හිටියේ මගේ කොල්ලො දෙන්නා නැවතිලා හිටිය ඥාතියගේ ගෙවල් ළඟ.

 

කොල්ලො දෙන්නා අල්ලලා දුන්න එක ගැන මට ලොකු තරහක් ආවා. මං ඩුබායි ඉඳලම මේ සාජන්කාරයට ටෙලිෆෝන් එකෙන් කතා කළා. මං මිනිහට කතා කරලා ත්‍රෙට් කළා පරිස්සම් වෙලා හිටපං කියලා.

 

හුඟක් පොලිස්කාරයෝ සල්ලිවලට යටවෙනවා සර්… මං උන්ට බය නැහැ. කොස් මල්ලි මරලා ඔළුව උසාවිය ළඟට ගෙනැත් දැම්ම දවසේ රෑ මට හොඳට නින්ද ගියා. මොකද මගේ හිතේ වධදිදී තිබුණු ප‍්‍රශ්නයකට විසඳුමක් එදා ලැබුණු නිසා. මගේ සහෝදරයා රිස්කාන් මරපු උන්ට දඬුවමක් දීලා ඌට සාධාරණයක් කරන්න ලැබුණු නිසා එදා මගේ හිතට ලොකු සහනයක් ලැබුණා.

 

කොස් මල්ලි ඝාතනය කර තම සොහොයුරු රිස්කාන්ගේ මරණය වෙනුවෙන් සාධාරණයක් කළ ආකාරය මධුෂ් පොලිස් නිලධාරියා හමුවේ හෙළි කළේ ඒ ආකාරයටය.

 

දිවයින් පුවත්පත ඇසුරෙනි

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *