Press "Enter" to skip to content

Posts published in “ජනමතය”

articles

භික්ෂු කථිකාවත් පනතේ යටි අරමුණු

අධිකරණ අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ සකස් කළ ථේරවාදී භික්ෂු කථිකාවත් පනත නමින් නව පනතක් මේ වන විට භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවට ලක් වෙමින් ඇත.

 

එම පනත මීට පෙර 2015 දී සහ 2018 දී සම්මත කිරීමට ගනු ලැබූ උත්සාහය මහනායක හිමිවරුන්ගේ විරෝධය නිසා හකුලා ගැනීමට සිදුවිය. එම අවස්ථා දෙකේදීම අධිකරණ අමාත්‍ය ධූරය හොබවනු ලැබුවේ වර්තමාන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ය. එම ක්‍රියාවලිය තුළ 2015.12.14 දින ගැසට් කරනු ලැබූ පනත් කෙටුම්පත 2016.01.12 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබීය.

 

ඉන් පසුව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ විරෝධතා හමුවේ පනතේ මූලික හරයට අදාළ වගන්ති කිහිපයක් ම ඉවත් කර ගැනීමට සහ සංශෝධනය කිරීමට නීතිපතිවරයා එකඟ විය.

 

ඒ මගින් අදාළ පනත සකස් කිරීමට උපදෙස් දුන් පුද්ගලයින්ගේ සමාජ දේශපාලන අරමුණු අභියෝගයට ලක්විය. ඕනෑම නීතියක් උපදින්නේ යම් යුගයක සමාජ දේශපාලන උවමනාවන් සම්පූර්ණ කිරීම සඳහා බවට විවාදයක් නැත. එම අරමුණු තුළ මහා සමාජයේ අපේක්ෂාවන් මෙන්ම පාලකයින්ගේ කූඨ අපේක්ෂාවන් ද නියෝජනය විය හැක.

 

ඒ අනුව පනත් කෙටුම්පතක් යනු නීතිමය භාෂාවෙන් ලියන ලද දේශපාලන ප්‍රතිපත්තිමය ලේඛනයක් බව පිළිගැනීමට සිදුවේ. එවැනි ලියවිල්ලක් පොදු මහජන විරෝධය නිසා ඉවත් කරගැනීමට හෝ සංශෝධනය කිරීමට සිදුවිය හැක. කූඨ දේශපාලන උවමනාවන් සහිත පාලකයින් මහජන විරෝධයට කන්නොදෙන තත්ත්වයක දී අදාළ පනත විවාදය සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමෙන් පසුව සතියක් තුළ එයට එරෙහිව ශේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කිරීමේ අයිතිය මහජනයාට ඇත. එහෙත් ශේෂ්ඨාධිකරනයේ දී අභියෝගයට ලක් කළ හැක්කේ පනතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව පමණි.

 

ව්‍යවස්ථාවේ  පතිපාදන වලට අනුකූලව ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක මූලික දේශපාලන ප්‍රතිපත්තිමය රාමුව ට අභියෝග කිරීමේ හැකියාවක් අධිකරණයට නැත. ඒ නිසා ඕනෑම පනත් කෙටුම්පතක් කූඨ දේශපාලන උවමනාවක් නියෝජනය කරන්නේ නම් එය වැළැක්විය හැක්කේ දේශපාලන ක්‍රියාමාර්ග මගින් පමණි.

 

එසේ වුවත් යම් අවස්ථාවල පනත් කෙටුම්පතේ අඩංගු යම් තාක්ෂණික ප්‍රවේශයන් ව්‍යව්සථාවට අනුකූල නොවීම නිසා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය සහ ජනමත විචාරණයක් මගින් සම්මත කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද අවස්ථාවල අදාළ පනත් කෙටුම්පත් හකුලා ගැනීමට සිදුවී ඇත.

 

කෙසේ වෙතත් ථේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතට අදාළව ගත් විට අධිකරණයේ දී එකඟ වූ සංශෝධන ඇතුළු කිරීමෙන් පසුව පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් විවාදයට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා ධෛර්යමත් වූයේ නැත. ඊට හේතුව වූයේ ඉහත සඳහන් කළ ආකාරයට මහනායක හිමිවරුන් කිහිප නමක් ඇතුළු ධර්මධර, විනයධර සංඝ පීතෘවරුන් රාශියක් ඊට එරෙහිව කරුණු සහිතව විරෝධය දැක්වීම ය.

 

විශේෂයෙන්ම අධිකරණයේදී එකග වූ සංශෝධන සිදු කිරීමෙන් පසුවද පනත මගින් අපේක්ෂා කරන මූලික දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට බාධාවක් නැති බව ද පැහැදිලි ව පෙනුණි. මූලික වශයෙන් එම පනත ක්‍රියාත්මක වුවහොත් කතිකාවතක මූලික අරමුණ වන සම්බුද්ධ ශාසනයේ සමගිය වෙනුවට ඊට ඉඳුරාම පටහැනි ආකාරයට බරපතළ සංඝ භේදයක් වන බව දහම් පාසල් සිසුවෙකුට වුවද තේරුම් ගත හැක.

 

ප්‍රධාන වශයෙන්ම මහායාන හෝ වෙනත් නව කතිකාවතකට අයත් බවට සහ එම කතිකාවත මෙම පනත යටතේ ලියාපදිංචි නොකරන බවට ප්‍රකාශ කරන භික්ෂූන් වහන්සේලාට මෙම නීතිය අදාළ නොවේ. එවැනි තත්ත්වයක් තුළ ථේරවාදී භික්ෂූන් වහන්සේලාට අදාළව පමණක් භික්ෂු විනය රාජ නීතියට යටත් කිරීම මගින් ථේරවාදී භික්ෂූත්වය අධෛර්යමත් කරමින් සෙසු භික්ෂූත්වය දිරිමත් කෙරෙන බව මූලික වශයෙන් අවබෝධ කරගත හැක.

 

බුදුන් වහන්සේගේ කාලයේ සිට ඉතිහාසයේ කිසිදු කලෙක බුද්ධ නීතිය හෙවත් භික්ෂූ විනය කුමන හෝ අවස්ථාවක රාජ නීතියට යටත් කර නැත. ඓතිහාසිකව හා රජයේ හෝ රජුගේ භූමිකාව වූයේ ශාසනයේ පැවැත්ම සඳහා පහසුකම් සැලසීම පමණි. ඉතිහාසයේ විවිධ අවස්ථාවල සංගායනා පැවැත්වීම සහ එක් පොදු කතිකාවතක් ඇති කර ගැනීම සඳහා රාජ්යරය මැදිහත් වන්නේ භික්ෂුන් අතර සමගිය ඇති කිරීම මගින් ශාසනයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා රජුට පැවරී ඇති මූලික වගකීම අනුවය.

 

අප රටේ රාජ්‍යයේ පැවැත්ම තහවුරු වූයේ බලකේන්ද්‍ර ත‍්‍රිත්වයක සක‍්‍රීය ක‍්‍රියාකාරීත්වය අනුව බව ඉතා පැහැදිළිය. එනම් එම බල ත්‍රිකෝනයේ ඉහළින් මහා සංඝරත්නය ද පහලින් ජනතාව සහ රජු ස්ථානගත වේ. රජු සහ ජනතාව අතර සමගිය ඇති වන්නේ මහා සංඝරත්නයේ ක්‍රියාකාරීත්වය මගිනි. එම ක්‍රියාවලිය තුළ රජුට රාජ්‍යයේ විධායක බලය ලැබුණද ව්‍යවස්ථාදායක බලය හෙවත් රජුට සහ ජනතාවට නීති පැනවීමේ බලය මහා සංඝරත්නය සතු විය.

 

ඒ අනුව අප වැනි රටක රාජ්‍ය යටත් කිරීම හෝ බිඳ වට්ටවා දාස රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා මූලික කොන්දේසියක් වූයේ සම්බුද්ධ සාසනය හෙවත් එම තීරනාත්මක බලකේන්ද්‍රය බිඳ වැට්ටවීම ය. අද වන විට පවතින ආර්ථික අර්බුදය යොදා ගනිමින් ශ්‍රී ලංකාව අර්ධ යටත් විජිතයක් හෙවත් දාස රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා දියත් වී ඇති ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම තුළ මහා සංඝරත්නයට එරෙහිව එල්ල කරනු ලබන බහුවිධ ප්‍රහාරයේ අරමුණ වටහා ගත යුත්තේ එම මහ පින්තූරයට අනුවය.

 

ඒ අනුව කතිකාවත් පනත නැවත ගෙනඒමේ උත්සාහය ඒ සමස්ත ක්‍රියාවලියේ දිගුවක් බවට සාධාරණ චෝදනාවක් එල්ල කිරීමේ හැකියාව ඇත. ඊට අමතරව මේ අවස්ථාවේදී සංඝ සමාජය තුළ ඇතිවිය යුතු සැබෑ සංවාදය වෙනත් අතකට හැරවීමට ගන්නා උපක්‍රමයක් ලෙස ද එය යොදා ගන්නා බව පෙනේ.

 

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලා අතර සමගිය ඇති කිරීම සඳහා කතිකාවතක අවශ්‍යතාවය අවධාරණය කෙරී ඇත. එහෙත් එහිදී සිදුවූයේ කතිකාවත් රාශියක් ඇති කිරීම මගින් සංඝ භේදය ඇති කිරීම නොව අප්‍රකාසිත කතිකාවත් රාශියක් තිබේ නම් ඒ සියල්ල එක් කතිකාවතක් බවට පත් කිරීමය. එය වර්තමාන ඊනියා කතිකාවත් පනතේ අරමුණට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අරමුණක් බව පැහැදිලිව හඳුනාගත හැක.

 

එසේ වුවද එක් විහාරයකට හෝ විහාර කිහිපයකට අදාළව විහාර කතිකාවත් කිහිපයක් තිබිය හැක. එහෙත් එය විහාර සම්පර්‍ දායන්ට අදාළව මිස විනය නීති වලට අදාලව නොවේ. ඉහත සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආශ්‍රිතව එක් සාසන කතිකාවතකට සමස්ත මහා සංඝරත්නය එකඟ කර ගැනීම සඳහා රජු හෙවත් රාජ්‍යය මැදිහත් වූ අවස්ථා ප්‍රධාන වශයෙන් හතරක් හඳුනාගත හැක.

 

පොළොන්නරු යුගයේ දී මහා පරාකර‍ කමබාහු රජතුමාගේ මැදිහත්වීම මත ඇතිකරගත් ගල් විහාර කතිකාවත ඒ අතරෙ පළමුවැන්න ලෙස හදුනාගත හැක. එහෙත් ඒ මඟින් බුද්ධ නීතිය රාජ නීතියට යටත් කිරීමට රජු උත්සාහ කළෙත් නැත.

 

රජුගේ භූමිකාව වූයේ පහසුකම් සැලසීම පමණි. ඒ අනුව එක් කතිකාවතක් ඇති කර ගැනීම සහ පරාතියයෝගිකව එය ක්‍රියාත්මක කිරීම භික්ෂු නායකත්වයේ වගකීමකි. එම ක්‍රියාවලියට අත දැමීම සඳහා රජුට කිසිදු බලයක් නොතිබුණි.

 

ඊට අමතරව ගිහියෙකු ලෙස අප දන්නා ථේරවාදී සම්ප්‍රදාය අනුව බුදුන් වහන්සේ දේශනා නොකළ නව විනය නීති පැනවිය නොහැකි අතර පැනවූ විනය නීති වෙනස් කිරීම හෝ අත්හැරීම ද නොකළ යුතුය. ඒ අනුව කතිකාවතකට ඇතුල් කළ හැකි දේ පිළිබඳව යම්කිසි නිකායකට හෝ බෞද්ධ කටයුතු කොමසාරිස්ට නීතිය මගින් තීරක බලයක් ලබා දෙන්නේ කෙසේද? එසේම කතිකාවත් රාශියක් පිළිබඳව කතා කිරීම ද ථේරවාදී සම්පර තීදායට පටහැනි බව එමගින් පැහැදිලි වේ.

 

එසේ නම් එම පනතට ථේරවාදී යනුවෙන් විශේෂණ පදයක් යෙදීම මෙන්ම කතිකාවත් යනුවෙන් බහු වචනයක් භාවිතා කිරීම මූලධාර්මික වරදක් නොවේද? එසේ වුවත් එම පිළිගැනීම මගින් සාසන කතිකාවතක් සකස් කිරීමේදී විනය නීති වලට අමතරව විහාර සම්පරප? දායන් ඊට ඇතුල් කිරීමේ බාධාවක් ඇති නොවේ. ඒ අනුව වත්මන් තත්ත්වයන්ට ගැලපෙන ලෙස විනය නීති වෙනස් කළ යුතු යැයි අදහස් දක්වන විද්වතුන් ට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට අභියෝග නොකර විහාර සම්ප්‍රදායන් ලෙස යම් පරව නතිපාදන කතිකාවතට ඇතුළු කිරීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් නූතන අභියෝග වලට මුහුණ දීමේදී විනය නීතිය පමණක් නොව විහාර සම්පරේ හදායන් මෙන්ම සීලය ද වැදගත් වන බව ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා පවසති. උදාහරණයක් ලෙස මුදල් භාවිතයට අදාළ ගැටලූ‍ සීලය මගින් අවම කර ගැනීමේ හැකියාව ඇත. එසේ වුවත් කතිකාවත් යන බහු වචනය සහ පොදු සාසන කතිකාවතක් වෙනුවට ථේරවාදී යනුවෙන් විශේෂණ පදයක් යෙදීම උන්වහන්සේලා අනුමත කරන්නේ නැත.

 

සමස්තයක් ලෙස ගත්විට ඊනියා කතිකාවත් පනතට 2015දී ඇතුල්කර තිබූ එහෙත් අධිකරණයේදී ඉවත් කර ගැනීමට එකඟ වූ වගන්ති සහ 2023 සම්මත කිරීමට නියමිත පනතේ පරධිකතිපාදන සියල්ල අධ්‍යයනය කිරීමේදී සමස්ථ ක්‍රියාවලිය තුළ කුමන හෝ යටි අරමුණු තිබෙන බවට බරපතල සැකයක් මතුවීම වැළැක්විය නොහැක.
විශේෂයෙන්ම ඉහත සදහන් කළ ආකාරයට අද වන විට ඊනියා අරගලයෙන් පසුව සමස්තයක් ලෙස සම්බුද්ධ ශාසනයට සහ මහා සංඝරත්නයට විශේෂිතව එල්ල කෙරෙන බහුවිධ පරි හාරයන් දෙස බලන විට සමාජ සංස්ථාවක් ලෙස සංඝ සමාජය තුළ අභ්යධන්තර අර්බුද ඇති කිරීමේ මහා පරිමාණ උවමනාවක් තිබෙන බව ඉතා හොදින් දැකගත හැක.

 

අධිරාජ්‍යවාදී රටවල් තම යටත් විජිත දීර්ඝකාලීනව, පූර්ණ හෝ අර්ධ යටත් විජිත ලෙස හෙවත් දාස රාජ්‍යයන් ලෙස පවත්වාගෙන යාම සඳහා සමාජ සංස්ථාවන් අභ්යින්තරයෙන් බිඳ දැමීම ප්‍රබල උපාංගයක් ලෙස යොදා ගන්නා බවට බොහෝ සාක්ෂි ගොනු කර දැක්විය හැක. ඒ ආකාරයට ‘‘ආයතන විරෝධී න්‍යාය’’ යොදා ගනිමින් අප රටේ විනාශයට ලක් කෙරෙන ප්‍රධාන සමාජ සංස්ථාවන් දෙකක් ලෙස සැලකිය හැක්කේ සංඝ සමාජය සහ පවුල බව ඉතා පැහැදිලිව දැකගත හැක.

 

අප රටේ පවුල් සංස්ථාව බිඳ දැමීම සඳහා විවිධ නාමකරණයන් යටතේ නීති පැනවූ නමුත් ඒ පිළිබඳව සමාජ කතිකාවතක් ඇති වූයේ නැත. ඊට හේතුව එම නාමකරණය මගින් අදාල පනත් වල යටි අරමුණු සැඟවීම ය. උදාහරණයක් ලෙස කාන්තා හිංසනය වැළැක්වීමේ නාමයෙන් ඉදිරිපත් කරන පනතක සැබෑ යටි අරමුණ වන්නේ පවුල කඩා ඉහිරවීම ය. අප රටේ සිටින යශෝධරා පරපුරේ අම්මාවරුන් ලෝකයේ කිසිදු රටක දක්නට නැති බව ඕනෑම විද්වත් සභාවක කරුණු සහිතව ඔප්පු කළ හැක. තමාට පුද්ගලිකව විදින්නට සිදුවන සියලූ‍ දුෂ්කරතාවයන් මහමෙරක් සේ උසුලමින් තම දරුවන් වෙනුවෙන් පවුල රකින මව්වරුන් විසින් සමාජ සංවර්ධනය සඳහා ලබා දෙන අසීමිත දායකත්වය පිළිබඳව මහා සමාජ කතිකාවක් දක්නට නැත.

 

අදාළ පනත මගින් දිරිමත් කෙරෙන්නෙත් පවුල හෝ දරුවන් ගැන නොසලකා තමා ගැන සිතමින් දික්කසාද වීම ය. සංඝ භේදය ඇති කොට සංඝ සමාජය බිඳ දැමීමේ කරිින්යාවලිය ද ඊට බොහෝ සමාන වේ. එහෙත් එහිදී නව නීති වලට අමතරව සමාජ ජාල මගින් මහා සංඝ රත්නයේ භූමිකාව අවතක්සේරු කරමින් උන්වහන්සේලාට වෛර සහගත ව ප්‍රහාර එල්ල කිරීම යොදාගනු ලබයි.

 

ඒ ආකාරයට භික්ෂූන් වහන්සේලා පීඩනයට ලක් කිරීම මගින් උන්වහන්සේලා සිවුරු හැර යාමට පොළඹවන අතර අනෙක් පැත්තෙන් සමස්තයක් ලෙස භික්ෂු භූමිකාව අවතක්සේරු කරමින් භික්ෂූත්වය අධෛර්යමත් කෙරෙයි. නව පනත මගින් තම නිකාය සහ විහාර සම්ප්‍රදාය අත්හැරීම මගින් හෝ නව නිකායන් හෝ පාර්ශව පිහිටුවීම මගින් එම පීඩනයට මුහුණ දීම සඳහා පෙළඹවීමක් ඇති වේ.

 

එදා 2015 පනත් කෙටුම්පතේ සංශෝධනයක් ලෙස මෙවර ඉදිරිපත් කරන කෙටුම්පත මගින් ඕනෑම නිකායකට හෝ නිකායේ පාර්ශ්වයකට කතිකාවතක් සම්මත කිරීමෙන් හෝ ලියාපදිංචි කිරීමෙන් වැලකී සිටිය හැක. ඊට අමතරව ලියාපදිංචි කළ කතිකාවක් ප්‍රතිපාදන වලින් ගැලවීම සඳහා තමා එම කතිකාවතට අයත් නොවන බවට පරන කකාශයක් කිරීම මගින් එම බැඳීමෙන් ගැලවීමේ හැකියාව ඕනෑම භික්ෂූන් වහන්සේ නමකට ලැබේ.

 

ඊට අමතරව නව නිකායන් සහ පාර්ශව බිහිකිරීම මගින් නව කථිකාවක් ඉදිරිපත් කිරීම මගින් යම් බැඳීම් ලිහිල් කර ගැනීමේ හැකියාවද ඇත. ඒ මගින් සංඝ භේදය ඇති වීමට අමතරව භික්ෂු විනය පිළිබඳව මහ අවුලක් නිර්මාණය වීමේ හැකියාව ඇත. ඊට හේතුව විවිධ ආකාරයට විනය නිර්වචනය කිරීමේ හැකියාවක් ලැබීම ය. ඊට අමතරව මෙම පනත මගින් විනය විරෝධී කරිග යාවක් පිළිබඳව භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව ගනු ලැබූ තීන්දුවක් අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමේ හැකියාව ලැබේ.

 

ඒ අනුව ලේඛකාධිකාරී හිමිවරු පමණක් මහනායක හිමිවරුන් ද මහනායක අධිකරණය හමුවේ අසරණ කෙරෙන තත්ත්වයක් මගින් උන්වහන්සේලාගේ ගෞරවය හැල්ලූවට ලක් කිරීමට අවස්ථාව නිර්මාණය කෙරේ. එවැනි තත්ත්වයක් මගින් ඇතිවන්නේ දුස්ශීල භික්ෂූන් ශාසනයෙන් නෙරැපීම සඳහා මෙවැනි පනතක් අවශ්‍ය බව කියන යම් හිමිවරු අපේක්ෂා කරන තත්ත්වයට ඉඳුරාම පටහැනි දෙයකි.

 

ඊට අමතරව නව පනත මගින් කතිකාවතක අඩංගුව පිළිබඳව මහ නායක හිමිවරුන්ට නියෝග දී දීමේ බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලැබේ. මීට පෙර 2015 දී ඉදිරිපත් කළ කෙටුම්පත අනුව කතිකාවතක් සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතු වැරදි පරම මාණයක් මෙන්ම ඊට අදාළ දඬුවම් පිළිබඳව පනත් මගින් ම පරස් තිපාදන පනවා තිබුණි. එම වගන්ති ව්යමස්ථාවට පටහැනි බවට අධිකරණයේ දී තීන්දු වූ බැවින් ඒවා ඉවත් කළ ද නව පනත මගින් අදාළ කරුණු පිළිබඳව කොන්දේසි පැනවීමේ බලය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලැබේ. එසේම කතිකාවක අඩංගුව පිළිබඳව තීරණ ගැනීමේ බලය 2015 පනත් කෙටුම්පත මගින් අමාත්‍යවරයා විසින් පත්කරන තිපුද්ගල විද්වත් කමිටුවකට පවරා තිබුණි. අධිකරණයේ දී එම වගන්තිය ද ඉවත් කර ගැනීමට නීතිපතිවරයාට සිදු වූ බැවින් නව පනත යටතේ එම බලය අපර ව කාශිත ව කොමසාරිස්වරයකුට ලැ‍බේ. බුද්ධ නීතිය රාජ නීතියට යටත් කළ යුතු බවට යම් භික්ෂූන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන පරකෙටධාන තර්කය වන්නේ විනය විරෝධී කරියට යාවල නිරත වන භික්ෂූන් ශාසනයෙන් නෙරපා හැරීම ය. එහෙත් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා ඉහත සඳහන් කළ ආකාරයේ අවුල් රාශියක් නිර්මාණය කිරීම මගින් ස්වයං විනාශයක් කැඳවා ගැනීමේ අවශ්යකතාවයක් නැත.

 

ඒ සඳහා කළ යුත්තේ විනය පිළිබඳව කරිණ යාමාර්ග ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම සංඝ සභාවට පමණක් අයත් කටයුත්තක් බව පිළිගෙන විනය විරෝධී හැසිරීම පිළිබඳව ශාසනයෙන් නෙරපා හැරීමට ලක්වන භික්ෂුවක් එම තීන්දුවට අවනත වන බව සහතික කිරීමය. එම දඩුවමට අදාළ ව පමණක් රටේ පොදු නීතිය යොදා ගැනීමේ හැකියාව ඇත. කාරක සංඝ සභාව විසින් යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ශාසනයෙන් නෙරපා හරින ලද බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැන්වීමෙන් පසුව අදාළ හැඳුනුම්පත ආපසු භාර දිය යුතු බවට සහ තීන්දුව කරිු යාත්මක කරන ලෙස භික්ෂූන් වහන්සේට දන්වා සිටිමි බලය බෞද්ධ කටයුතු කොමසාරිස් සතු වේ. අදාල භික්ෂූන් එම නියෝගය නොතකා තවදුරටත් චීවරධාරියකු හෙවත් වේශධාරීයකු ලෙස පෙනීසිටීනම් එම පුද්ගලයාට එරෙහිව විහාර දේවාලගම් පනතේ පනත 42 වගන්තිය යටතේ පියවර ගැනීමේ හැකියාව ඇත. නමුත් එම වගන්තියේ ප්‍රතිපාදන ශක්තිමත් නොමැති බැවින් එම වගන්තියට අදාළව පමණක් අදාළ පනත සංශෝධනය කර අවශ්‍ය වන ප්‍රතිපාදන ශක්තිමත් කිරීමේ බාධාවක් නැත.

 

මේ වන විට ඉදිරිපත් කරන සංශෝධනය කරන ලද බව කියන ථේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත මගින් ද අවසානයේ අදාළ කටයුත්ත ඉටු කරගනු ලබන්නේ විහාර දේවාලගම් පනතේ පනත 42 වගන්තිය මගිනි. සියලූ‍ විනාශයන්ට මග පෑදීමෙන් පසුවද අවසානයේ දී කළ යුත්තේ එය නම් කතිකාවත් පනතක් නොමැතිව එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ හැකියාව ඇත.

 

එසේ වුවත් විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමේදී වෙනත් කූඨ සංශෝධන ඇතුළු කිරීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස මහා විහාර සම්ප්‍රදායන්ට අදාළ යම් වගන්ති සංශෝධනය කිරීම මගින් වෙනත් ආකාරයකට නිකාය භේදයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇත. මීට පෙර විහාර දේවාලගම් දේපල නිරවුල් කිරීම සඳහා යම් සංශෝධන ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම දේපළ අයුතු ලෙස භුක්ති විඳින බලවත් පිරිස් ඒ සමග වෙනත් ප්‍රශ්නකාරී සංශෝධන ඇතුළු කිරීම සඳහා අමාත්‍යවරුන්ට ලණු ගිල්ලවීම නිසා සමස්ත ක්‍රියාවලිය අකුලා ගැනීමට සිදුවිය.

 

එසේම බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම මුල්කරගෙන පුරාවිද්‍යා ආඥා පනතේ ප්‍රතිපාදන ශක්තිමත් කිරීම සඳහා මහානායක හිමිවරුන්ගේ අනුමැතිය සහිතව අදාල පනතට සංශෝධන ඉදිරිපත් කළ ද ඉහත සඳහන් කළ පිරිස් එම පනත් කෙටුම්පත කුණු කූඩයට දමා ඇත.

 

කෙසේ වෙතත් කතිකාවත් පනත මගින් සංඝ භේදය ඇති කිරීමේ ආනන්තරිය පාප කර්මයට දායක වන පිරිස් වෙනත් ආගමික අන්තවාදීන්ගේ උවමනාවක් ඉටු කිරීමටද හැකියාව ද ඇත. උදාහරණයක් ලෙස පාකිස්ථානයේ දී සිදු කළ ආකාරයට ආගමික අන්තවාදය නීතිගත කිරීමේ උත්සාහය සාධාරනීකරණය කිරීම සදහා කථිකාවත් පනත පෙන්වීමේ හැකියාව බැහැර කළ නොහැක.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
                                     ලේකම්
                                     දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

 

 

 

 

ප්‍රාදේශීය සභාවෙන් ගම් සභාවට

තවත් පළාත් පාලන මැතිවරණයක් පවත්වන්න සූදානම් වෙනවා. රටකට පළාත් පාලන ආයතන අවශ්‍ය බව ඇත්ත. ඒත් මේ පවතින ක්‍රමයෙන් මිනිස්සුන්ට වැඩක් වෙලා තියෙනවා ද? මේ ගැන කිසිම විමර්ශනයක්, ඇගැයීමක් නැතුව තවත් කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි වියදම් කරලා මේ ඡන්ද පවත්වන්නේ ඇයි?

 

2018 පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ ඊට කලින් අවුරුද්දේ සම්මත කරගත්ත සංශෝධන පනතේ හැටියටයි. ඒකට අනුව කොට්ඨාශ පදනමින් සීයට හැටකුත් සමානුපාතික පදනමින් සීයට හතළිහකුත් පත් කරගන්නවා කියලා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය 4,486 ඉඳලා 8,356 දක්වා වැඩි කරගත්තා. ඒ අවුරුද්දේ පළාත් පාලන ඡන්දය පවත්වන්න රුපියල් කෝටි 35 ක විතර මුදලක් වියදම් වුණු බවක් මැතිවරණ කොමිසම කිව්වා. පත්වෙච්ච මන්ත්‍රීවරු 8,356 වෙනුවෙන් ගෙවපු වැටුප් සහ ඒ අය වෙනුවෙන් දරපු අනෙක් වියදම් කොච්චරක් ද කියලා වෙනම හොයලා බලන්න ඕන. කොහොමටත් ඒක සුළුපටු වියදමක් නොවන බව අපි කවුරුත් දන්නවා. ජනතාවගේ බදු මුදලින් කරන මේ මහා වියදම වෙනුවෙන් ලැබිලා තියෙන ප්‍රතිලාභය මොකක්ද?

 

පළාත් පාලන මැතිවරණයක් වෙනුවෙන් මුදල් වියදම් කරන්නේ ආණ්ඩුව විතරක් නෙවෙයි. මැතිවරණයට තරග කරන හැට හුට හමාරක් අපේක්‍ෂකයෝ සහ ඒ අය ඉදිරිපත් කරන දේශපාලන පක්‍ෂත් ඒ වෙනුවෙන් සල්ලි විසි කරනවා. ඒ ගණන් හිලව් කොච්චර ද කියලා කවුරුවත් වාර්තා කරන්නේ නෑ. කොහොම වුනත් ඒ මුදල් කන්දරාවේ ප්‍රමාණය කොච්චරක් ද කියන එක හිතන්නත් අමාරු බව නම් අපි දන්නවා.

 

මේ පළාත් පාලන ඡන්ද සෙල්ලමින් බලයට ආපු අය අතර ප්‍රාදේශීය චණ්ඩි, පාතාලයෝ, අපරාධකාරයෝ සෑහෙන ප්‍රමාණයකුත් ඉන්න බව රහසක් නෙවෙයි. මැතිවරණ වෙනුවෙන් මහා සල්ලියක් වියදම් කරන්න හැකියාව සහ බලය තියෙන්නේ එහෙම අයට හින්දා ඒ ජයග්‍රහණ අත්පත් කරගන්න විදිහ අපිට හිතාගන්න පුළුවන්.

 

තමන්ගේ වගකීම මොකක්ද කියන එක පළාත් පාලන ආයතනවත් ඒවා නියෝජනය කරන අයවත් තේරුම් ඇරැගෙන නෑ. රටේ සහ මිනිස්සුන්ගේ ආර්ථික සාධනය වෙනුවෙන් ඒ ආයතනවලට සහ ඒවායේ මන්ත්‍රීවරුන්ට කිසිම වගකීමක් පවරලත් නෑ. ඉතින් රටට සහ මිනිස්සුන්ට කිසිම ප්‍රතිලාභයක් නැති මේ මගඩිය වහාම නවත්තලා ඒ වෙනුවට විකල්පයක් හොයාගන්න අපිට බැරි ද?

 

මේ සඳහා තියෙන හොඳ ම විකල්පය ගම් සභා ක්‍රමයයි. ආරම්භයක් විදිහට ග්‍රාමීය සහ වතු ප්‍රදේශවල ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් ගම් සභා පිහිටුවන්න පුළුවන්. ග්‍රාමීය සහ වතු නොවන ප්‍රදේශවලට නාගරික සභා ක්‍රමයක් හඳුන්වලා දෙන්න පුළුවන්. විශාල ජනගහනයක් ජීවත්වෙන නාගරික ප්‍රදේශවල ග්‍රාම නිලධාරි කොට්ඨාශ මේ වෙනුවෙන් යොදාගන්න බෑ. උදාහරණයක් විදිහට 2020 සංඛ්‍යාලේඛන අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති බොරැල්ල උතුර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ මිනිස්සු 22,525 ක් ජීවත්වෙනවා. ඉතින් මෙහෙම අධික ජනගහනයක් ජීවත්වෙන නාගරික ප්‍රදේශවලට වඩාත් ගැලැපෙන්නේ වීදි සහ නිවාස කලාප අනුව පාලන ප්‍රදේශ හඳුනාගැනීමයි.

 

දැනට අපේ රටේ ගම්මාන 36,822 ක් සහ ග්‍රාම නිලධාරි කොට්ඨාශ 14,021 ක් තියෙනවා. ඉතින් ආරම්භක ක්‍රමය මොකක් වුනත් කාලයත් එක්ක ජනගහනය, භූමියේ විශාලත්වය කියන කරුණු පදනම් කරගෙන වඩාත් පහසු බිම් මට්ටමේ පාලන කොට්ඨාශ හඳුනාගන්න බැරිකමක් අපිට නෑ. වඩාත් වැදගත්වෙන්නේ බිම් මට්ටමේ ජනතා පාලන ක්‍රමයක් (ජන සහභාගීත්ව පාලන ක්‍රමයක්) හඳුන්වාදීමයි. ගම් සභා සහ නාගරික සභා ක්‍රමයෙන් මේ වැඩේ කරන්න පුළුවන්.

 

ගම් සභා සහ නාගරික සභා වෙනුවෙන් මැතිවරණ පැවැත්විය යුත්තේ නිර්පාක්‍ෂික ක්‍රමයටයි. හඳුනාගන්නා බිම් මට්ටමේ ප්‍රදේශයක් (ග්‍රාමීය ප්‍රදේශයක නම් ග්‍රාම නිලධාරි කොට්ඨාශයක්) උප කලාප ගණනාවකට බෙදලා ඒවා නියෝජනය කරන විදිහට නියෝජිතයෝ පත් කරගන්න පුළුවන්. මේ ක්‍රමයෙන් අදාළ සභාවලට පත්වෙන්නේ ජනතාව අතර ජීවත්වෙන, ජනතාව හොඳින් දන්න හඳුනන නියෝජිතයෝ පිරිසක්.

 

1985 අංක 7 සහ 1988 අංක 26 දරන පනත්වලින් සංශෝධනය කරපු 1978 අංක 16 දරන විශ්වවිදාල පනතේ සඳහන් ශිෂ්‍ය සංගම්වලට අදාළ විධිවිධාන ආශ්‍රයෙනුත් ගම් සභා සහ නාගරික සභා සඳහා අවශ්‍ය මූලික විධිවිධාන සම්පාදනය කරගන්න පුළුවන්. ඒ පනත්වල තියෙන විධිවිධානවල හැටියට ශිෂ්‍ය සංගමයක් වෙනුවෙන් සභිකයන් තෝරාපත් කරගන්න ඕන පක්‍ෂ හෝ කණ්ඩායම් අනුව නෙවෙයි. ඒවායේ සභාපති, උප සභාපති, ලේකම්, සංස්කාරක, කණිෂ්ඨ භාණ්ඩාගාරික සහ අනෙකුත් සාමාජික තනතුරු වෙනුවෙන් පවත්වන නිලවරණවලට අපේක්‍ෂකයෝ ඉදිරිපත් වෙන්න ඕන තනි තනිව. ඒ කියන්නේ ස්වාධීනව. ඉතින් බිම් මට්ටමේ පාලන ආයතනවලට මේ ක්‍රමය ම ආදේශ කරගන්න එක අමාරු වැඩක් නෙවෙයි.

 

එතකොට පළාත් පාලන ආයතන? ගම් සභාවකින්, නාගරික සභාවකින් නියෝජිතයෙක් අදාළ පළාත් පාලන ආයතනයට (ප්‍රාදේශීය සභාවට, නගර සභාවට) යැව්වාම වැඩේ හරි. ඒ අය තමයි අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයෝ වෙන්නේ. පළාත් පාලන ආයතනයේ සභාපති සහ උප සභාපති විතරක් බහුපක්‍ෂ ක්‍රමයට පවත්වන මැතිවරණයකින් තෝරාපත් කරගන්න පුළුවන්. මේ විදිහට කරද්දි නිර්මාණය වෙන්නේ නිර්පාක්‍ෂික ක්‍රමය සහ බහුපාක්‍ෂික ක්‍රමය මිශ්‍රවෙච්ච පාලන ක්‍රමයක්. මෙහෙම පාලන ක්‍රමයකට අමුතුවෙන් විපක්‍ෂයක් ඕන නෑ. බිම් මට්ටමින් පළාත් පාලන ආයතනයට යන්නේ නිරන්තරයෙන් ම ජනතාවත් එක්ක එකට ඉන්න පිරිසක්. ඉතින් ඒ අයට පුළුවන් අදාළ පළාත් පාලන ආයතනයේ කටයුතු මේච්චල් කරගන්න.

 

මෙහෙම ක්‍රමයක් ඇති කිරීමෙන් දැන් ඉන්න පළාත් පාලන සභිකයන්ට සහ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වෙන්න අපේක්‍ෂා කරන අයට අගතියක් වෙයි ද? එහෙම වෙන්න විදිහක් නෑ. ඒ අය ජනතා අතර ඉන්න ජනතාවගේ නායකයෝ නම් ඉතාමත් පහසුවෙන් කිසිම වියදමක් නො කර අදාළ ගම් සභාවට හරි නාගරික සභාවට හරි තේරී පත්වෙන්න පුළුවන්. තමන්ගේ අත්දැකීම් සහ නායකත්වයේ ස්වභාවය අනුව ඉතාමත් ලේසියෙන් අදාළ පළාත් පාලන ආයතනය නියෝජනය කරන්නත් ඒ අයට පුළුවන්. ඉතින් මේක දැන් ඉන්න අයට වගේ ම ඉස්සරහට දේශපාලනයට එන්න අයටත් පහසු ක්‍රමයක්.

 

කොහොම වුනත් මේ ක්‍රමය ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන්න බෑ. බිම් මට්ටමින් අය කරන බදු මුදල්වලින් සුළු ප්‍රතිශතයක් මේ අයගේ මූලික දීමනා විදිහට වෙන් කරන්න පුළුවන්. හැබැයි ඒක මූලික යැපීම් දීමනා මට්ටම ඉක්මවපු එකක් වෙන්න බෑ. ඒ අය අමතර ආදායම් උපද්දවා ගන්න ඕන ජනතාවත් එක්ක ආර්ථික කටයුතු සිදුකිරීමෙන්. තමන්ගේ බල ප්‍රදේශයේ ජනතාවත් එක්ක එකතුවෙලා නිශ්චිත ආර්ථික කටයුතු මෙහෙයවලා ඒ මාර්ගයෙන් උපයන ලාභයෙන් කොටසක් (සීයට දෙකක් කියලා හිතමු) මේ අයට ලබාගන්න පුළුවන්. මෙහෙම කරනවා නම් විතරයි මේ අය ආර්ථික කාර්යයන්ට සෘජුව මැදිහත් වෙන්නේ.

 

මේ යෝජනා කරන්නේ වික්ටර් අයිවන්ලා කියන “ජන සභා” ක්‍රමය නම් නෙවෙයි. ඒ අය තමන්ගේ ක්‍රමය යෝජනා කරන්නේ පවතින පළාත් පාලන ආයතන සෙල්ලමේ කිසිම වෙනසක් කරන්නේ නැතුව. ඒත් මේ යෝජනාවෙන් අලුත් පළාත් පාලන ක්‍රමයක් ඇතිවෙනවා. ඒ වගේ ම, බිම් මට්ටමයි පළාත් පාලන මට්ටමයි එකට සම්බන්ධ කරනවා. එතැනින් නවතින්නේ නැතුව බහුපාක්‍ෂික ක්‍රමයටත් ඉඩක් ඉතුරු කරනවා. ඉතින් තවත් කල් දාන්නේ නැතුව මේ වතාවේ ම ගම් සභා ක්‍රමයට මාරුවෙන්න කියලා අපි බල කරන්න ඕන.

 

  • ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

 

Whatsapp Group සමගින් එක්වන්න 

 

ලෝකයම ‘ජෑම්” කර ‘රීසෙට්’ කිරීමේ මහා මෙහෙයුම

ලෝක ආර්ථික සංසදයේ (WEF) සභාපති කල්ව්ස් ස්වැබ් (Claus Schwab) සඳහන් කරන්නේ ආර්ථික අර්බුදය හමුවේ ණය උගුලක සිර වී සිටින රටවල් මෙතෙක් කාලයක් කළ නොහැකි යැයි පිළිගෙන තිබූ ප්‍රතිසංස්කරණ සියල්ල කිරීමට එකඟ වන බවය. ඔහු ඒ බව සඳහන් කරන්නේ කෝවිඩ් වසංගත තත්වය නිසා ඇති වූ ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව ය. දරුණු ගෝලීය වසංගත තත්ත්වයක් නිසා ලෝක ප්‍රජාවට බරපතළ අර්බුද රාශියකට මුහුණ දීමට සිදුවන බව ඔවුන් විසින් එළිදරව් කරන්නේ 2019 දෙසැම්බර් මාසයේදී වෛරසය පළමු වරට හඳුනා ගැනීමට පෙරය. එනම් 2019 ඔක්තෝබර් 18 වැනිදාය. එදින “ඉවෙන්ට් 201” නමින් පැවැත්වූ පෙරහුරුවකදී වයිරසයක් මගින් ඇතිවිය හැකි බරපතළ වසංගත තත්වයකදී ගෝලීය මට්ටමින් ඊට මුහුණ දිය යුත්තේ කෙසේදැයි විද්වත් කතිකාවක් ආරම්භ කෙරිණි. එම අවස්ථාවට සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජෝන් හොබ්කින්ස් මධ්‍යස්ථානය සහ ලෝක ආර්ථික සභාව මෙන්ම බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනම නියෝජනය කරමින් බලවත් පිරිසක් සහභාගී විය.

 

එම වැඩසටහනේ මූලික තේමාව වූයේ බරපතළ වසංගත තත්වයකින් පසුව සමාජයේ ඇතිවන බිඳ වැටීම් වලට මුහුණදීම සඳහා රාජ්‍යය – පුද්ගලික සහයෝගීතාව ගොඩනැගීම පිළිබඳව ය. ඉන්පසුව එම ක්‍රියාවලියේ දිගුවක් ලෙස 2020දී ඩාවෝස් නුවරදී රැස්වූ ලෝක ආර්ථික සංසදය “ලෝකය යළි පිහිටුවීම’ (The Great Reset) නමින් න්‍යායක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ තුළද ප්‍රධාන තේමාවක් වූයේ රාජ්‍ය පුද්ගලික සහයෝගීතාවය යි. ඊට පෙර රාජ්‍ය පුද්ගලික සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක ආර්ථික සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර උපායමාර්ගික සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් කරනු ලැබීය. වසරකට වරක් රැස් වන ලෝක ආර්ථික සංසදයට ලෝකයේ මහා සමාගම්වල බහුතර කොටස් හිමි බිලියනපතියන් සිය ගණනක් එකතුවේ. ඔවුන්ගේ මූලික න්‍යායාත්මක උභතෝකෝටිකය වී ඇත්තේ රාජ්‍යන්ට ඉහළින් ලෝකය පාලනය කිරීමේ බලය අත්පත් කරගැනීම ය. ඔවුන් විසින් ගොඩනගන සියලු න්‍යායන් වල අවසාන ඉලක්කය ගෝලීය සුපිරි ධනවතුන් විසින් පාලනය කරන ගෝලීය ආණ්ඩුවක් පිහිටුවීම ය. ඔවුන් විසින් ගෝලීය ආණ්ඩුකරණය ලෙස හඳුන්වන එම මූලික අරමුණ ඉටු කර ගනු ලබන්නේ ගෝලීය තීන්දු ගැනීමේ යාන්ත්‍රණයක් (Global decision Making System) පිහිටු වීමෙනි.

 

ලෝක ආර්ථික සංසදයේ ප්‍රධාන තේමාවක් වන “රාජ්‍ය පුද්ගලික සහයෝගීතාවය” (Public Private Partnership) යනු එම තීන්දු ගැනීමේ යාන්ත්‍රණයට ලබාදෙන නාමකරණය බව ඉතා පැහැදිලිය. එහිදී ලෝකයේ රාජ්‍යයන් ගෝලීය සුපිරි ධනවතුන්ගේ පාලනයට යටත් කිරීම සිදුවන්නේ එම ලේබලය යටතේය. න්‍යායාත්මකව ඔවුන් විසින් එම පාලන ක්‍රමය හඳුන්වන්නේ ධනේශ්වර ක්‍රමයේ ඉහළ හෙවත් දියුණු අවස්ථාවක් ලෙසය. ඒ අනුව ඔවුහු එම පාලන තන්ත්‍රය ගෝලීය කොමියුනිස්ට් සමාජයක තත්වයට සමාන කරති. තවදුරටත් එම නව ගෝලීය පාලන ව්‍යුහය ඔවුන් විසින් විග්‍රහ කරනු ලබන්නේ කොටස් හිමියන් හෙවත් ප්‍රාග්ධන හිමියන්ගේ ධනේශ්වර පාලනය (Shareholders Capitalism) පාර්ශවකරුවන්ගේ ධනේශ්වර පාලනයක් (Stake holders Capitalisms) බවට පරිවර්තනය කිරීමක් ලෙසය.

 

ජාත්‍යන්තර ආධාර සංවිධාන ඡාලය

 

එම පාර්ශවකරුවන්ගෙන් සමන්විත ගෝලීය ධනේශ්වර පාලන තන්ත්‍රය තුළ රාජ්‍යක් යනු එක් පාර්ශවකරුවකු පමණි. සෙසු පාර්ශවකරුවන් වන්නේ රාජ්‍ය නොවන සංවිධාන, වෙනත් සිවිල් හෝ මහජන සංවිධාන, බිලියනපතියන් ගේ ව්‍යාපාරික සංසද සහ මහා සමාගම් විසින් මෙහෙයවනු ලබන ඊනියා විද්වත් සංවිධාන ආදියයි. එම පාලන ව්‍යුහය හැඳින්වෙන්නේ රාජ්‍ය පුද්ගලික සහයෝගිතාවයක් ලෙස වුවද සමස්තය තුළ රාජ්‍යයේ කොටස කුඩා වේ. මෙම පාර්ශවකරුවන්ගේ ආණ්ඩුකරණය සංකේතවත් කරන ප්‍රධාන ව්‍යුහයක් නිර්මාණය වන්නේ 2019 දී ලෝක ආර්ථික සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර ඇති කරගත් සහයෝගීතා ගිවිසුම මගිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර්ජාතික මහා සමාගම් පිළිබඳ මධ්‍යස්ථානයේ (Centre For Transnational Co – operations) ප්‍රධානියකු වන හැරිස් ග්ලෙක්මන්ට අනුව එම ගිවිසුම මගින් මහා සමාගම් වලට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විශේෂ ඉඩක් ලැබේ. ඔහුට අනුව ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල තීන්දු තීරණ ගන්නා එවැනි බහු පාර්ශවකරුවන්ගෙන් සමන්විත පාලන ව්‍යුහයන් 45කට අධික සංඛ්‍යාවක් දැනටමත් නිර්මාණය වී ඇත. ඒවා විසින් රාජ්‍යයන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීන්දු ගැනීමේ ක්‍රියාවලින් මෙහෙයවනු ලබයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම අනු සංවිධාන සහ මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකව, පමණක් නොව ඇමෙරිකානු ආධාර සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර ආධාර සංවිධාන ඡාලයද යොදාගනු ලබයි.

 

එවැනි බහුපාර්ශවීය කණ්ඩායම් මෙහෙයවනු ලබන්නේ මහා සමාගම් විසිනි. මෙම කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකින් පත් නොවන අතර මහජන වගවීමකට බැඳෙන්නෙ නැත. බොහෝ විට මෙම ව්‍යුහයන්ට පුද්ගලික මට්ටමින් මහා සමාගම් වලට හිතවාදී රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් බඳවා ගැනීම මගින් ඒවාට යම් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ලබාදේ. මෙම බහුපාර්ශවීය තීන්දු ගැනීමේ යාන්ත්‍රණ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනු සංවිධානවල තීන්දුවලට ප්‍රබල බලපෑමක් ඇති කරනු ලබයි. එවැනි අනු සංවිධානවල ප්‍රතිපත්ති පමණක් නොව මෙහෙයුම් ක්‍රියාවලියට අදාලව මෙම ඊනියා බහු පාර්ශවීය යාන්ත්‍රණ මගින් ප්‍රබල බලපෑමක් සිදුවන බව රහසක් නොවේ.විශේෂයෙන්ම පරිසරය, ආහාර, ඖෂධ මෙන්ම ගෝලීය වසංගත තත්වයන් හිදී භාවිතා වන එන්නත් නිපදවීම සහ බෙදාහැරීම ආදී ක්ෂේත්‍ර වල මෙම බලපෑම් බරපතළ ලෙස දැක ගත හැක. එම ක්‍රියාවලිය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම අනු සංවිධාන තුළ ඊට අදාළ ක්ෂේත්‍රයේ ව්‍යාපාරික අවස්ථා ලබා ගන්නා මහා සමාගම් වල න්‍යායපත්‍ර ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධ රහසකි.

 

පසුගිය 2021 ආහාර පද්ධති පිළිබඳ ලෝක සමුළුවේදී (FSS) ඉහත සඳහන් කළ බහුපාර්ශවීය තීන්දු ගැනීමේ යාන්ත්‍රණයක් විසින් ප්‍රධාන භූමිකාව ඉටු කරනු ලැබීය. එම සමුළුවේදී ප්‍රධාන භූමිකාව අත්පත් කරගත යුතු බවට 2019 දී ලෝක ආර්ථික සංසදය විසින් සංකල්ප පත්‍රිකාවක් නිකුත් කරනු ලැබීය. ලෝකයේ සමස්තයක් ලෙස නිෂ්පාදනය කෙරෙන ආහාර තොගය ලෝක ප්‍රජාව ගේ ආහාර සුරක්ෂිතතාවය පරිපූර්ණ කිරීමට සෑහෙන මට්ටමක පැවතියද සමුළුවේදී පිළිගනු ලබන්නේ බිලියන 3.9 ක් එනම් ලෝක ජනගහනයෙන් අඩක් බඩගින්න සහ මන්දපෝෂණය නිසා පීඩා විඳින බව ය. නමුත් මහා ආහාර සමාගම්වල ආධිපත්‍ය වෙනස් කිරීම සඳහා එම සමුළු වලින් තීන්දු තීරණ එළිදක්වන්නේ නැත. එම තත්ත්වය ඇතිවන්නේ 2016 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ‘සැමට පෝෂණය සඳහා ප්‍රතිපත්තිමය තීන්දු“ යන තේමාව යටතේ දසවසරක් ප්‍රකාශයට පත්කර තිබියදී ය. එම යෝජනාවට අනුව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දු වල තරම වසර 5කට පසුව අදාල දත්ත වලින් පැහැදිලි වේ. මහා සමාගම් විසින් බීජ සහ කෘෂි රසායනික යොදා ගනිමින් ලෝකයේ රටවල නිෂ්පාදන පද්ධති පරාධීන කිරීම සහ දුර්වල කිරීමට එරෙහිව එම සමුළුවේදී යෝජනා සම්මත වන්නේ නැත. මහා සමාගම් විසින් කුඩා ඉඩම් හිමියන්ගේ ගොවි බිම් අත්පත් කර ගැනීමට එරෙහිව යෝජනා ඉදිරිපත් වන්නේ නැත. ඒ කුමක් නිසාදැයි කිසිවෙකු විසින් ප්‍රශ්න කරන්නේද නැත.

 

“ජෑම්’ වී ඇති ගෝලීය පද්ධතිය “රිසෙට්” කිරීම

 

ඒ ආකාරයට ගෝලීය තීන්දු ගැනීමේ යාන්ත්‍රණ අත්පත් කරගනිමින් ගෝලීය ආණ්ඩුකරණය ලෝකයේ බිලියනපතියන් අතට ගැනීමේ ක්‍රියාවලිය මහා පිම්මකින් ඉදිරියට පනින්නේ කෝවිඩ් වසංගත තත්වයත් සමග ය. එම ආපදාව සමග ආර්ථික කඩා වැටීමට ලක් වන රටවලට ගෝලීය ආණ්ඩුකරණ ක්‍රියාවලිය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත් වීමට සිදු වේ. ඉහත පළමුවෙන් සඳහන් කළ ආකාරයට ලෝක ආර්ථික සංසදයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු වන බිල් ගේට්ස් බිලියනපතියා කෝවිඩ් වසංගතය සැබෑ ලෙසම ආරම්භවීමට පෙර දරුණු වසන්තයක දී රාජ්‍ය පුද්ගලික සහයෝගීතාවය කෙසේ විය යුතුද යන්න පිළිබඳව පෙරහුරු පැවැත්වීම සැකයට තුඩු දෙන කරුණකි. බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනම කොවිඩ් වෛරස පිළිබඳ පර්යේෂණ ආරම්භ කරන්නේ 2002 පමණ කාලයේ සිට ය. එනම් 2003 දී “සාර්ස්” (SARS) වසංගතය සහ 2012 දී “මර්ස්” (MERS) වසංගතය පැතිරීමට බොහෝ කලකට පෙරය. කොවිඩ් 19 වසංගතය චීනයේ වුහාන් නගරයේ දී සොයා ගැනීමට මාස කිහිපයකට පෙර ඇමරිකාවේ හමුදා කඳවුරක සෙබළුන් කිහිප දෙනෙකු අතුරින් හඳුනා ගත් බවට යම් විද්වතුන් විසින් සාක්ෂි ඉදිරිපත් කරන්නේ එවැනි තත්ත්වයක් තුළ ය. ඒ සමස්ත පින්තූරය සැලකිල්ලට ගැනීමේදී බිලියනපතියන් ගේ ගෝලීය ආණ්ඩුකරණ ක්‍රියාවලිය හමුවේ ලෝක ප්‍රජාව දන ගැස්සවීම සඳහා කෝවිඩ් වසංගතය නිර්මාණය කළ බවට එල්ල වන චෝදනා සාධාරණීකරණය වේ.

 

ඊට අමතරව කෝවිඩ් වසංගතය ලෝක ආර්ථික සංසදය විසින් අපේක්ෂා කළ තත්ත්වයක් බව 2020 සමුළුවේදී සම්මත කළ “ද ග්‍රේට් රිසේට්” (The Great Reset) හෙවත් ලෝකය නැවත පිහිටුවීමේ මහා මෙහෙයුම යන සංකල්ප පත්‍රිකාව මගින් පැහැදිලි වේ. ඒ මගින් කියවෙන්නේ කෝවිඩ් වසංගතය නිසා බිඳ වැටී ඇති ගෝලීය ආර්ථිකය බිලියනපතියන් ගේ ඊනියා ගෝලීය ආණ්ඩුකරණ ක්‍රියාවලිය මගින් නැවත පිහිටුවිය යුතු බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් දෙපයින් සිට ඇද වැටුනු එකා ඔලුවෙන් සිටවිය යුතු බවය. නමුත් ඒ ආකාරයට “ජෑම්’ වී ඇති ගෝලීය පද්ධතිය “රිසෙට්” කිරීම සඳහා අවස්ථාවක් සහ සාධාරණීකරණය අවශ්‍ය වේ. මේ වන විට යුක්රේන අර්බුදය හරහා පැන නැගී ඇති ගෝලීය යුදමය තත්ත්වය ඒ සඳහා භාවිතා කරන බවට බොහෝ විද්වතුන් සැක පළ කරති. විශේෂයෙන්ම රුසියාව ප්‍රකෝප කිරීම සහ යුරෝපයේ ආර්ථිකය බිඳ වැට්ටවීම මගින් මහජන කැළඹීම් ඇති කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් මෙම උපායමාර්ගය හෙළිදරව්වේ. ක්‍රිමියාවේ පාලමක් පුපුරවා හැරීම සහ රුසියාවේ සිට යුරෝපයට ගෑස් සහ තෙල් සපයනු ලබන නල පද්ධතියට හානි සිදු කිරීම ආදී කඩාකප්පල්කාරී ක්‍රියාවලියට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ සාමාජිකයන්ගේ ආශිර්වාදය ලැබී ඇති බව දැන් හෙළිදරව් වී ඇත. ඊට අමතරව රුසියාවට දිගින් දිගටම සම්බාධක පැනවීම සහ නේටෝ රටවල් විසින් යුක්රේනයට ආයුධ සහ මූල්‍යමය සහාය ලබාදීම මගින් තත්ත්වය තවදුරටත් වර්ධනය කෙරෙන බව ඉතා පැහැදිලිය. නේටෝවේ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී ආයුද සැපයීම ඇතුළු යුද්ධයකදී කොන්ත්‍රාත් ලබාගන්නා මහා සමාගම් විසින් සිදුකරන බලපෑම ලෝකයට රහසක් නොවේ.

 

ගෝලීය බිලියනපතියන් ගේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් ඔවුන් විසින් මෙහෙයවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගැස්සවීම මෙන්ම මහා යුරෝපයේ ආර්ථිකය කඩා වැට්ටවීම එකසේ වැදගත් වේ. ඊනියා ‘රිසෙට්’ කිරීම සඳහා සමස්ත ලෝකයම ‘ජෑම්’ කළ යුතුය. යුක්රේන – රුසියා යුද්ධය ඇවිලවීම ඒ සඳහා වන හොඳම අවස්ථාව බව වටහා ගැනීම අමාරු නැත. නමුත් රුසියාව මෙන්ම චීනය ද ඒ පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන බවට විවාදයක් නැත. එසේ වුවත් රුසියාවේ තාක්ෂණිකව ගිනි බලය (Fire Power) නේටෝවේ බලයට වඩා දියුණු තත්වයක පවතින නිසා නේටෝවට මානසික බාධක පැමිණවීමේ හැකියාවක් ඇත. එසේම රුසියාවේ පාලකයන්ගේ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය තුළ රුසියානුවන්ට පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවට වගවීම යන සංකල්පයට ගරු කරන බවද සත්‍යයකි. නමුත් කුමන හෝ වරදක් සිදු වීම මගින් සමස්ත ලෝකය නැවත පිහිටුවීමේ තත්වය නිර්මාණය වේ.

 

සකර්බර්ග්ගේ සමාජජාලා අධිරාජ්‍ය

 

එසේ ගෝලීය බිලියනපතියන් විසින් නිර්මාණය කරනු ලබන ගෝලීය තීන්දු ගැනීමේ පද්ධතිය තුළ ආහාර, දත්ත, තොරතුරු සහ දැනුම ට අදාළ ඒකාධිකාරියක් නිර්මාණය වන බවට බොහෝ විද්වත්හු අදහස් පළ කරති. ආචාර්ය වන්දනා ශිවා මැතිනියට අනුව බිලියන පතිනියන් ගේ අධිරාජ්‍ය ඩිජිටල් අධිරාජ්‍යයක් හෙවත් තාක්ෂණය මගින් මෙහෙයවනු ලබන්නකි. තාක්ෂණයට අදාල ආධිපත්‍ය බුද්ධිමය දේපල නීතිය මගින් මෙන්ම තාක්ෂණය අත්පත්කර ගැනීම ප්‍රාග්ධන බලය මගින් තහවුරු කෙරෙන්නකි. ආහාර වෙළඳපළ ආධිපත්‍යය බීජ ආශ්‍රිත ජාන විකෘති කිරීමේ තාක්ෂණය මගින් සහ ඊට අදාළ නව කෘෂිරසායනික මගින් තහවුරු වේ. ඊට අමතරව මහා පරිමාණ සත්ව ප්‍රෝටීන නිෂ්පාදන ක්‍රියාවලිය කර්මාන්ත ශාලා බවට පත් කෙරෙන ජෛව රසායනික පර්යේෂණාගාර මගින් සිදු කළ හැක.

 

එසේම ගෝලීයව මහා පරිමාණයෙන් එන්නත් වෙළඳපොළක් නිර්මාණය කිරීම යනු කොවිඩ් වැනි වෛරස වසංගතයක් නිර්මාණය කිරීම වැනි සුළු දෙයකි. එහෙත් මීට දශක 3-4කට පෙර දක්නට ලැබුණ වෛරස ප්‍රචලිත කිරීම මගින් එන්නත් වෙළඳපොළක් නිර්මාණය කිරීම යන චෝදනා අද වලංගුනොවේ. අද සමස්ත ලෝකය දන ගැස්සවීම නැමති උපාය මාර්ගයට අනුව ගත්විට එන්නත් වෙළඳපල යනු සුළු දෙයකි. කෙසේවෙතත් ගෝලීය තීන්දු ගැනීමේ පද්ධතිය තුළ පර්යේෂණ හැකියාව සහ ප්‍රාග්ධන බලය මගින් සමස්ත ඖෂධ වෙළඳපල අත්පත් කර ගැනීම යනු කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. වන්දනා ශිවාට අනුව බිල්ගේට්ස්ගේ ඩිජිටල් අධිරාජ්‍යය පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික වහලා නිර්මාණය කරනු ලබන්නේ සකර්බර්ග්ගේ සමාජජාලා අධිරාජ්‍ය මගිනි. අද වන විට රාජ්‍යයන් මෙහෙයවනු ලබන දේශපාලකයින් සහ නිලධාරීන් අතිබහුතරයක් සකර්බර්ග්ගේ මානසික වහලුන් බවට පත්වීම තුළ බිල්ගේට්ස්ගේ මෙහෙයුම පහසුවී ඇත.

 

කෙසේ වෙතත් මෙම නූතන ඩිජිටල් ඩිජිටල් අධිරාජ්‍ය තුළ පැරණි වැඩවසම් යුගයේ පැවති යටත්විජිත පාලන ක්‍රමවේද යොදා ගැනීම සුවිශේෂී තත්ත්වයකි. කුඩා ගොවීන්ගේ ගොවිබිම කොල්ලකෑම මගින් මහා ඉඩම් නිර්මාණය කිරීමේ උපාය මාර්ගය ඩිජිටල් අධිරාජ්‍යය තුළ ද තවදුරටත් වලංගු වේ. ඒ අනුව ගෝලීය අධිරාජ්‍යයේ මෙම ස්වරූපය තුළින් පෙන්වන්නේ එය අතීත යටත්විජිත පාලනයට වඩා මානව වර්ගයා භෞතිකව සහ මානසිකව වහලුන් බවට පත් කරන පාලන තන්ත්‍රයක් විය හැකි බව නොවේද. මේ වන විට බිල් ගේට්ස් විසින් ඇමරිකාවේ ගොවි බිම් අක්කර ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති අතර බිලියනපතියන් විසින් සමස්තයක් ලෙස ගොවිබිම් වලින් 27%ක් අත්පත් කරගෙන ඇත. පසුගිය කාලයේ දී ඉන්දියාව නෙදර්ලන්තය වැනි රටවල එසේ ගොවිබිම් ඒකරාශී කොට අත්පත් කර ගැනීම සඳහා නීති සම්මත කරනු ලැබීය. ශ්‍රී ලංකාව මත පැටවීමට උත්සාහ කළ එම්.සී.සී. ගිවිසුම එවැනි නීති සම්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අත ඇඹරීමේ උපාංගයකි. ඒ අනුව ලෝකය පුරා එසේ අත්පත් කරගන්නා දේපල කුමන ජාතියකට අයත් බිලියනපතියෙකු අතට ගිය ද ගැටලුවක් පැනනගින්නේ නැත. එම න්‍යාය අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් ලෙස පැවතීම ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතීමට වඩා ගෝලීය ආණ්ඩුකරණයට අනුකූල වේ. ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදය භාවිතා කරමින් දියත් වන ශ්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීමේ මෙහෙයුම ගෝලීය ආණ්ඩුකරණයේ එක් ව්‍යාපෘතියක් බව අප වටහා ගත යුතුය.

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

 

Whatsapp Group සමගින් එක්වන්න 

 

IMF ගනුදෙනු ගැන ග්‍රීසියේ හිටපු මුදල් ඇමැතිගෙන් ලංකාවට අවවාදයක්

ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් මග පෙන්වීම අනුව කිසිදු පිළිතුරක් නොලැබුණු බවත් ශ්‍රී ලංකාව ද එම අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගත යුතු බව එරට හිටපු මුදල් ඇමති මහාචාර්ය යානිස් වරුෆාකිස් තබන ලද ට්විටර් සටහන අනුව දේශය පුවුත්පත සකස් කළ සම්පූර්ණ වාර්තාව උපුටාගෙන පහත දැක්වේ.

 

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඈත් වී සිටින්න. ණය ප්‍රතිව්‍යුහගතකිරීම අනිවාර්ය  කරුණකි.  ප්‍රාග්ධනය ගලනයට හා දුප්පතුන් මත වැඩි ණය බරක් පටවනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොල්ලකාරී ණය ප්‍රතික්ෂේප කරන්න.”
පසුගිය දිනෙක තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවට එම උපදෙස ලබා දී තිබුණේ ග්‍රීසියේ හිටපු මුදල් ඇමැතිවරයකු වූ මහාචාර්ය යානිස් වරුෆාකිස් විසිනි.

 

රටක ප්‍රාග්ධන ගලායාමට බලපානුයේ ආර්ථික ප්‍රතිවිපාකයක ප්‍රතිඵලයක් ලෙස  හෝ පාලන තන්ත්‍රය වෙනස් කිරීමකින් හෝ ආර්ථික ගෝලීයකරණය වැනි දේශපාලන සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වත්කම් හෝ මුදල් වේගයෙන් රටින් පිටතට ගලා යාමය.. එවැනි සිදුවීම්  මත ප්‍රාග්ධනය හෝ ප්‍රාග්ධන හිමියන් මත බදු වැඩි කිරීම හෝ රටේ රජය ණය පැහැර හැරීම ආයෝජකයන්ට බාධාවක් වන අතර එම රටේ වත්කම් පිළිබඳ ඔවුන්ගේ තක්සේරුව පහත හෙලීමට හෝ වෙනත් ආකාරයකින් එහි ආර්ථික ශක්තිය පිළිබඳ විශ්වාසය නැති කර ගැනීමට හේතු විය හැකිය..

 

සාමාන්‍යයෙන් ප්‍රාග්ධන ගලායාමට මුහුණ දුන් රටේ විනිමය අනුපාතිකයේ තියුණු පහත වැටීමක්,  විචල්‍ය විනිමය අනුපාත ක්ෂය වීමක් හෝ ස්ථාවර විනිමය අනුපාත තුළ බලහත්කාර අවප්‍රමාණය වීමක් සිදු වේ. ප්‍රාග්ධනය  ගලායෑමේ බලපෑමට ලක් වූ රටේ ජනතාවට මෙම පහත වැටීම විශේෂයෙන් හානිකර වන්නේ ආර්ථික අලාභ සහ මුදල් අවප්‍රමාණය වීමෙන් ජීවන වියදම ඉහළ යාම සහ ඔවුන්ගේ වත්කම්වල නාමික වටිනාකමෙන් වැඩි ප්‍රමාණයක් අහිමි වන බැවිනි. මෙය රටේ මිලදී ගැනීමේ ශක්තිය අවම කෙරෙන අතර භාණ්ඩ ආනයනයේදී සහ ඕනෑම ආකාරයක විදේශීය පහසුකම් ලබා ගැනීමේදී ඒවායේ  අගය ඉහළ යාමට බලපාන්නකි.

 

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇත්තේ විශාල ආර්ථික අර්බුදයකටය.  ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් අපේක්ෂා කර ඇති අතර එය ලබා දීම සඳහා ඔවුන් විවිධ කොන්දේසි පනවා තිබේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ගැලවුම්කරුවා යැයි සිතීමෙන් වළකින්නැයි ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍ය මහාචාර්ය යානිස් වරුෆාකිස් පසුගියදා මෙරට පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක් සමඟ  ග්‍රීසියේ සිට මාර්ගගත ක්‍රමයට සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණි. ඔහුගේ ඉහත කී ට්විටර් පණිවිඩය සම්බන්ධයෙන් එම සම්මුඛ සාකච්ඡාවේදී විමසා සිටි අතර නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ  රාජ්‍යයක් බංකොලොත් භාවයට පත් වූ විට එම අර්බුදයෙන් ගැලවීම සඳහා පහසු විසඳුම් නොමැති බවටය. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය නමැති රෝගයෙන් මිදීම සඳහා  ”විෂ බෙහෙත්” ගිල නොදැමිය යුතුයැයි සඳහන් කරන ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරියට රෝගියකු සුවපත් කිරීමට අනවශ්‍ය තිත්ත බෙහෙත් ලබා දෙන වෛද්‍යවරයකු බඳුයැයි පවසයි. ඇතැම් අවස්ථාවලදී රෝගය සුවපත් කිරීමට තිත්ත ඖෂධ අවශ්‍ය වුවද තිත්ත ඖෂධයක් හා රෝගියකු මරා දමන හෝ රෝගය තවදුරටත් උත්සන්න කළ හැකි විෂකාරක ඖෂධයක් අතර ප්‍රධානතම වෙනස හඳුනාගත යුතු බවද පෙන්වා දෙයි.

 

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1998 දී දකුණු කොරියාවට කළ දේ බලන්න. 2010 සිට 2015 දක්වා මගේ රට වන ග්‍රීසියට කළ දේ බලන්න. වැරදි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පසුකාලයේ ඔවුන් අපෙන් සමාව ඉල්ලුවා.  ශ්‍රී ලංකාව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා නොකළ යුතුයැයි මා කියන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසඳුමක් යැයි සිතන්නේ නම් අපි ඉතිහාසය දෙස මඳක් හැරී බැලිය යුතුයි. මෙයට විසි වසරකට පමණ පෙර ඔවුන් ආජන්ටිනාවට කළ දේ බලන්න. ඔවුන් මිලියන ගණනක ණයක් ආජන්ටිනා රජයට ලබා දී එරට ජනතාවට විශාල අපරාධයක් සිදු කළා. ඉන් සිදු වූයේ බලවත් පුද්ගලයන් කිහිප දෙනකු සහ ඇතැම් සමාගම් දේශීය මුදලින් උපයන ලද ලාභ ඇමෙරිකානු ඩොලර්වලට පරිවර්තනය කිරීමට සහ  රට අර්බුදයකට මුහුණ පෑමට පෙර එම සියලු මුදල් රටින් බැහැර කිරීමට පියවර ගැනීමයි.. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිලාභ නොලද ආජෙන්ටිනානුවන්ට එම ණය ගෙවීමට සිදුවුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයින්  පස් වසරකට පෙර යළිත් එම අපරාධයම සිදු කළ අතර ජාතියකට එරෙහි අපරාධයක් කිරීම සම්බන්ධයෙන් සමාව ඇයැදුවත් එයින් කිසිවක් සිදු වූයේ නැහැ. ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් ප්‍රවේශය ඒ ආකාරයෙන්ම සිදු විය හැකියි. ගෝලීය ණය සපයන්නා තම මුදල් මෙරට ජනතාවට ලබා දෙනවා වෙනුවට ශ්‍රී ලංකාව විසින් ණය ගෙවීමට ඇති ණයහිමියන් වෙත මුදා හැරීමේ ක්‍රියාවලියකට එළඹීමේ හැකියාවක් තිබිය හැකි යැ”යි පවසන ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍යවරයා ආපසු ගෙවිය නොහැකි විශාල ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන්  වගකිව යුතු බවට චෝදනා කරමින් බටහිර හෝ වෙනත් ලෝක බලවතුන් ශ්‍රී ලංකාවට ඇඟිල්ල දිගු කරන්නේ නම් ඔවුන්ට තම පිළිතුර වන්නේ සෑම වගකීම් විරහිත ණයගැතියකුටම වගකීම් විරහිත ණය හිමියකුද සිටින බව යැයි පවසයි. විවිධ බැංකු මගින්  ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් යයි පවසමින් අදෘෂ්‍යමාන පුද්ගලයන් වෙත ලබා දෙන ණය කොල්ලකාරී ණය වන හෙයින් රටේ බංකොලොත්භාවයේ පිරිවැයෙන් ඉතා සැලකිය යුතු ප්‍රමාණයක් එම ණය හිමියන් විසින් දැරිය යුතු බවද සඳහන් කරයි.

 

සැම විටම ණය හිමියන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ පවත්වන සාකච්ඡාවලදී ඔවුන්ගේ පළමු අවශ්‍යතාව ලෙස ප්‍රකාශ කළ යුත්තේ සැලකිය යුතු ණය කප්පාදුවක් සිදුකළ යුතු බවටයි. දෙවනුව තමන් ලබාදුන් ණය ප්‍රමාණයෙන් සුළු ප්‍රතිශතයක් පමණක් යළි ලබා ගන්නා බවට ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණිය යුතු යැයි ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

 

ශ්‍රී ලංකා රජය තම රටේ ජනතාව වෙනුවෙන් කැපවිය යුතුය. නොගෙවිය හැකි ණය ප්‍රමාණයෙන් විශාල ප්‍රතිශතයක් ගෙවීමට සිදු වුහොත් ඒවා ගෙවීමට බදු විශාල වශයෙන් වැඩි කිරීමෙන් සිදුවන්නේ රන් බිජු දැමූ කිකිළිය මරා දැමීම වැනි ක්‍රියාවකි. එමගින්  ආර්ථික ක්‍රියාවලිය තව දුරටත් බිඳ වැටෙන අතර ජනතාවට ජීවත්වීමට ඇති ආදායම ණය සඳහා ගෙවීමට සිදු වේ. ණය බර අඩු කර ගැනීමට සහ අයවැය පරතරය අවම කිරීම සඳහා  වියදම් කපා හැරෙන අවස්ථාවක  පවතින අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශීය පෞද්ගලික අංශයටද විශාල වශයෙන් තම වියදම් කපා හැරීමට සිදුවනු ඇත. පෞද්ගලික අංශය වියදම් අවම කිරීම යෝග්‍ය ක්‍රියාවක් නොවේ. ශ්‍රී ලංකාව යනු වෙළෙඳ සලක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන අයුරින් වියදම් කපා හැරීමට කටයුතු කළහොත් රටේ ජාතික ආදායම තවදුරටත් කඩා වැටෙනු ඇතැයි ඔහු සඳහන් කරයි.

 

”මා ග්‍රීසියේ මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූයේ එහි ආර්ථික කඩා වැටීමෙන් පසුවයි. ග්‍රීසිය කඩා වැටුණේ 2010දීය. 2010 සිට 2015 දක්වා ග්‍රීසිය අනුගමනය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සම්පාදනය කරන ලද වැඩසටහනක්. එදා ග්‍රීසිය හා වර්තමානයේ ශ්‍රී ලංකාව අතර තත්ත්වය සැසඳීමේදී දෙරට අතර විශාල වෙනස්කමක් පවතී. 2010 ශ්‍රීසියේ සිදුවූයේ කුමක්ද? ලෝක ආර්ථිකය නැතිනම් ගෝලීය ධනවාදය පැවතියේ ඉතා ප්‍රබල තත්ත්වයකයි. පසුව ආර්ථිකයේ විවිධ කම්පන තරංග මතුවන්නට වූ අතර මුලින්ම ඩුබායි රාජ්‍යයේ බැංකු කඩාවැටීමට ලක්විය. එම රුල්ල ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය වැනි රටලටද ව්‍යාප්ත විය. ඉන්පසු එය බලපෑවේ ග්‍රීසියටය. ලෝක ආර්ථික අර්බුදය සුනාමියක් ලෙස පැතිර ගිය අතර දුර්වල රාජයයන්, බැංකු සහ ආයතන කඩාවැටීමට ලක් විය. ග්‍රීසිය විශාල වශයෙන් ණය වී සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ග්‍රීසියට පැමිණියේ මේ අතරය. වසර 12ක් පමණ ගතවන තෙක්  පැවතියේ අමනෝඥ පිළිවෙතකි. බටහිර රටවල මහ බැංකු අති විශාල ප්‍රමාණයක් මුදල් අච්චු ගැසීමට පියවර ගත්තේය. කොවිඩ් 19 පැවැති සමයේ විවිධ ව්‍යාපාර නැංවීමට සහ පුද්ගලයන් සඳහා සහය දැක්වීය. සැපයුම් විශාල වශයෙන් අඩාල වූ අතර ඉල්ලුම ඉහළ ගියේය. එහි ප්‍රතිඵලය වූයේ උද්ධමනය ඉහළ යෑමයි. බලශක්ති මිල ඉහළ ගියේය. ශ්‍රී ලංකාවද ඩොලරයේ අගය ඉහළ යෑමේ අර්බුදය හා බලශක්ති අර්බුදයට මුහුණ පෑවේය. පැවති ආණ්ඩුවල වැරදි කළමනාකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවද 2010 වසරේ ග්‍රීසිය මුහුණ දුන් මූල්‍ය අර්බුදය, හිඟ මුදල් ගෙවීමේ ගැටලු වැනි අර්බුදවලට මුහුණ පෑවේය.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔබේ රටට ඇඟිල්ල දිගු කරමින් පවසන්නේ මෙය ඔබේ වැරුද්දක් ලෙසටය. එහෙත් එය ඔබේ වැරුද්දක් නොවේ. එය පැවැති ආණ්ඩුවල හා සමස්ත ගෝලීය ධනවාදයේ අර්බුදයකි. ”

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබාදී ඇති අනෙකුත් රටවල් සසඳමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ප්‍රවේශය පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරන ඔහු ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අවපාතයෙන් මිදීම සඳහා ඇති එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයැයි විශ්වාස නොකළ යුතු බවද පවසයි. ”ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ඔබගේ විභව විනාශකරුවාය. එහෙත් ශ්‍රී ලංකාව ඔවුන් සමඟ සාකච්ඡාවට නොයා යුතුයැයි මම නොකියමි. ඔවුන් ඉතා වැදගත් ජාත්‍යන්තර සංවිධානයකි. මේ වනවිට ඔවුන් කිසියම් පාඩමක් ඉගෙන ගෙන ඇතැයි මම සිතමි. ශ්‍රී ලංකාවට යෝග්‍ය ගනුදෙනුවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ නම් එය වැදගත්ය. එහෙත් ඔබ ඔවුන්ගෙන් එක ඩොලරයක් හෝ ලබා ගැනීමට පෙර ඔබේ ණය ප්‍රමාණය අවම කර ගැනීමට පියවර ගත යුතුයැ”යි ප්‍රකාශ කරයි.

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

Whatsapp Group සමගින් එක්වන්න 

 

මහබැංකු ලොක්කන් අර්බුදය උත්සන්න කළ හැටි

මහ බැංකුවේ හිටපු සහ නව ප්‍රධානීන් මෙන්ම ඔවුන්ට එරෙහිව නඩු පවරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද එකම කරුණක් පිළිබඳව විවිධ පරස්පර මත පලකරති. ඔවුන්ගේ ප්‍රකාශවල සම්ප්‍රයුක්තය වන්නේ නව මහ බැංකු අධිපතිවරයාට පෙර ධුරය දැරූ අධිපතිවරයා විසින් රුපියල අවප්‍රමාණය වීමට ඉඩ නොදී පවත්වා ගැනීම නිසා සහ ඒ සඳහා ඩොලර් සංචිත වෙළඳපොළට නිකුත් කිරීම නිසා ඩොලර් සංචිත සිඳී ගිය බවය. එසේනම් එහි ප්‍රතිවිරුද්ධ මතය වන්නේ එසේ නොකළා නම් විදේශ විනිමය අර්බුදයක් ඇති වන්නේ නැත. වෙනත් වචනවලින් කියන්නේ නම් රුපියල් පා කිරීමේ තීන්දුව ගනු ලැබූ මාර්තු 7 වැනිදාට මාස තුනකට පෙර එසේ කළා නම් අර්බුදයක් ඇති නොවන බවය. එම මූලධර්මය මත පිහිටා අදාල තීන්දුවට එරෙහි වූ බවට මූල්‍ය මණ්ඩලයේ පත්කළ සාමාජිකයන් දෙදෙනකු චෝදනාවෙන් නිදහස් කර එක් අයෙකු පමණක් වගඋත්තරකරු කරමින් ඉහත සඳහන් කළ ආකාරයට නඩු පැවරීමක් සිදු විය. නමුත් අධිකරණය විසින් ඔවුන් දෙදෙනා ද වගඋත්තරකරුවන් කළ යුතු බවට නියෝග කරනු ලැබීය.

 

ඊට අමතරව එසේ නඩු පැවරූ පුද්ගලයින් අධිකරණයද නොමඟ යැවීමට උත්සාහ කරන බවක් ද දැක ගත හැක. රුපියල් අවප්‍රමාණය කිරීමට ඉඩ නොදීම නිසා අර්බුදය ඇති වූ බවට ඔවුන් විසින් චෝදනා එල්ල කළ ද රුපියල සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම හෙවත් පා කිරීම නිසා අර්බුදය උත්සන්න වූ බව සැඟවීමට උත්සාහ කරන බව පැහැදිලිව පෙනේ. ඊට අමතරව එසේ පා කිරීම සඳහා ගනු ලැබූ තීන්දුව සියලු තොරතුරු සැලකිල්ලට ගනිමින් සාක්ෂි සහිතව සහ තර්කානුකූලව ගනු ලැබූවක් නොවන බවට පැහැදිලි සාක්ෂි තිබියදී ඒ බව සැඟවීමට ඔවුන් උත්සාහ කර ඇත. වගඋත්තරකරුවන්ගේ දියුරුම් ප්‍රකාශ අනුව ඒ බව තහවුරු වේ. මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 5 දෙනාම සහභාගී වූ 2022 මාර්තු 3 දින රැස්වූ මූල්‍ය මණ්ඩල රැස්වීමේ දී තීන්දු කර ඇත්තේ කළු වෙළෙඳපොළ පාලනය කිරීමෙන් තොරව රුපියල සම්පූර්ණයෙන්ම පාලනයෙන් නිදහස් කිරීම හෙවත් පා කිරීම ඉතා අනතුරුදායක තීන්දුවක් බව ය. ඒ අනුව පළමුව රුපියල් 10 කින් අවප්‍රමාණය කර වෙළඳපළ තත්වය නිරීක්ෂණය කරමින් ඉදිරි පියවර ගත යුතු බවට එම රැස්වීමේදී තීන්දු කර ඇත.

 

නමුත් හදිසියේම පැය 4ක දැනුම්දීම මත මාර්තු 7 දින මූල්‍ය මණ්ඩලය නැවත කැඳවා ඇත. ඉන් පසුව සාමාජිකයන් තුන් දෙනෙකු පමණක් සහභාගි වූ රැස්වීමක දී 3වැනිදා ගනු ලැබූ තීන්දුවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තීන්දුවක් ගෙන රුපියල නිදහස් කිරීම හෙවත් පා කිරීමට තීන්දුවක් ගෙන ඇත. නමුත් එසේ පළමුව ගත් තීන්දුව වෙනස් කිරීම සඳහා කිසිදු තර්කානුකූල සාක්ෂියක් ඉදිරිපත් වී නැත. එනම් යම් විද්වත් කමිටුවක නිර්දේශ හෝ වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳ පුරෝකතන සහිත තාක්ෂණික වාර්තාවක් හෝ ඉදිරිපත් වී නැත. පාර්ලිමේන්තුවේ දී “කෝප්” කමිටුව විසින් ප්‍රශ්න කිරීමේදී ද එවැනි කිසිවක් ඉදිරිපත් කර නැත. අදාල මූල්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී ඇත්තේ එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, ආචාර්ය රාණි ජයමහ සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත් මහත්මින් තිදෙනා පමණි. ඉන් පසුව සමාජ මාධ්‍ය මගින් හෙළිදරව් වූ තොරතුරු අනුව අදාළ හදිසි රැස්වීම් සඳහා මහ බැංකු අධිපතිවරයා කැඳවා ඇත්තේ ඔහු එංගලන්තය බලා ගුවන් ගතව සිටියදී කටාර් ගුවන්තොටුපොළෙන් හරවා ආපසු කැඳවීම මගිනි. ඒ අනුව එම තීන්දු යම් බාහිර පාර්ශ්වයක බලපෑම මත ගනු ලැබූ බවට එල්ල වන චෝදනා යම් පමණකට සාධාරණීකරණය වේ.

 

එවැනි බලපෑමක් කිරීමේ උවමනා සහ උනන්දුව සහිත පාර්ශව පිළිබඳව අධ්‍යනය කිරීමේදී යම් කෙටි ලැයිස්තුවක් සකස් කළ හැක. එහි ඉහළින්ම සිටිය හැක්කේ ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටිමින් ආණ්ඩු පෙරළියකට පාර කැපීමේ උවමනාව සහිත ආර්ථික ඝාතක දේශපාලන නායකයින් සහ මහ බැංකුවේ, මහ භාණ්ඩාගාරයේ හෝ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ය. දෙවනුව එම ලැයිස්තුවට අයත් විය හැක්කේ ඉන්දියානු ඔත්තු සේවාවන් ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය වට්ටවා රාජ්‍යය අසරණ කිරීමෙන් පසුව ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව තහවුරු කිරීමේ උවමනාවක් ඔවුන්ට තිබේ. ඒ බව ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය ගැඹුරින් හදාරන දේශපාලන විචාරකයෝ ඉතා හොඳින් දනිති. එය 1932දී සර්ධාර් පනික්කාර් විද්වතා විසින් ඉදිරිපත් කළ මහාභාරත න්‍යායේ ම දිගුවකි. එනම් ඉන්දියාවේ අසල්වැසි කුඩා රාජ්‍යයන් සියල්ල ආර්ථික වශයෙන් ඒකාබද්ධ කිරීම මගින් අර්ධ යටත් විජිත බවට පත් කිරීමය. ඒ සඳහා වත්මන් ආපදා තත්ත්වය කදිම අවස්ථාවක් බව ආපදා අධිරාජ්‍යවාදී න්‍යාය අනුව පැහැදිලි වේ. පසුගිය දිනවල ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති මිලින්ද මොරගොඩ මහතා සඳහන් කළේ පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ වීම හැර වෙනත් විකල්පයක් නැති බවය.

 

අර්ධ යටත්විජිත බිහි කරනු ලබන්නේ වෙළඳ, ආයෝජන, ආර්ථික සහ ආරක්ෂක ගිවිසුම් මගිනි. දැනටමත් ශ්‍රී ලංකාව නිදහස් වෙළඳ ගිවිසුමක් සහ ආරක්ෂක ගිවිසුම් ත්‍රිත්වයක් අත්සන් කර ඇත. ආයෝජනද අතුලත් විස්තීරණ ගිවිසුමක් වන එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා බලපෑම් එල්ල වන බව සහ ආණ්ඩුව ඊට කැමැත්තෙන් යටත් වන ලක්ෂණ පෙන්නුම් කරන බව රහසක් නොවේ. ආර්ථික ඒකාබද්ධකරණයේදී මහබැංකු දෙක අතර ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා එකගතා ගිවිසුම් මෙන්ම රේගු ඒකාබද්ධ කිරීම සහ බදු ප්‍රතිපත්ති එකාබද්ද කිරීම සඳහා ගිවිසුම් අත්සන් කළ යුතු වේ. කෙසේ වෙතත් එසේ ශ්‍රී ලංකාව දණ ගැස්සවීමේ උවමනාව සහිත බලවේග අතර ලෝකයම “ජෑම්” කර “රීසෙට්” කළ යුතු බව කියන ලෝක ආර්ථික සංසදයේ නියෝජිතයින් මෙන්ම එම ක්‍රියාවලියේම මූලික පියවරක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ යටත් කිරීමේ උවමනාව සහිත ඒජන්තයින් සිටිය හැක. ලෝකයේ බොහෝ රටවල මහබැංකු ක්‍රියාකරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒජන්සි ආයතන ලෙස බවට ප්‍රසිද්ධ කියමනක් ද ඇත. ප්‍රායෝගිකව රුපියල් පා කිරීම මගින් කළු වෙළඳපොළට වැඩි වාසියක් අත් වන බව ද රහසක් නොවේ. ඒ නිසා හවාලේ සහ උන්ඩියල් කරුවන්ට සහ ඔවුන්ගේ පඩි ලයිස්තුවේ සිටින නිලධාරීන්ට ද එම වුවමනාව තිබෙන බව පිළිගත හැක.

 

ඩොලර් සංචිත බින්දුවට සිදී ගොස් ඇති තත්ත්වයක් තුළ ක්‍රමයෙන් අවප්‍රමාණය කිරීමේ ප්‍රතිඵල හැදෑරීමකින් තොරව සහ කළු වෙළෙඳපොළ පාලනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව මුදල් ඒකකයේ අගය සම්පූර්ණයෙන්ම වෙළඳපල විසින් තීරණය කිරීමට ඉඩ දුන් රටක් ලෝකයේ සොයාගත නොහැක. මෙම ක්‍රියාමාර්ග ගැනීමට පෙර 2018 දී සම්මත කළ කළු වෙළෙඳපොළ දිරිමත් කෙරෙන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමෙන් තොරව විනිමය අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවට කිසිදු විද්වතෙකු හෝ මහ බැංකු නිලධාරියෙකු අදහස් දක්වන්නේ නැත. එය පුදුම සහගත තත්වයකි. රුපියල අවප්‍රමාණය කිරීම නිසා සහ මුදල් අච්චු ගැසීම නිසා ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ඇති එකම විසදුම ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩිකිරීම බව පවසති. එම තීන්දුව මගින් දැන් දේශීය කර්මාන්ත පද්ධතිය බරපතළ අර්බුදයට ලක් වී ඇති අතර එම තත්වය පෙරළා විනිමය අර්බුදය උග්‍ර කිරීමට ද හේතුවක් බව ඉතා පැහැදිලිය.

 

ඒ ආකාරයට කළු වෙළෙඳපොළ දිරිමත් කෙරෙන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමෙන් තොරව සහ සංචිත සිදී ගොස් ඇති අවස්ථාවක රුපියල පා කිරීම යනු දැනුම්වත්ව සිදුකල ආර්ථික ඝාතක කුමන්ත්‍රණයක් බව ඉතිහාසය විසින් ඔප්පු කරන බවට කිසිදු සැකයක් නැත. ඊට පෙර දීර්ඝකාලීනව භාණ්ඩාගාරය තුළ සහ පසුව ජනාධිපති කාර්යාලය තුළ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික ඝාතක නිලධාරියෙකු විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගිල්ල වූ ආර්ථික ඝාතක ලණුවක් නිසා රජය ට රුපියල් බිලියන 600කට අධික බදු ආදායමක් අහිමි විය. ඒ සියලූ තත්වයන් ආර්ථික අර්බුදය උත්සන්න කිරීමට හේතු වූ බව ඉතා පැහැදිලිය. නමුත් විදේශ විනිමය අර්බුදයට කෙටි කාලීනව විශාල දායකත්වයක් ලබාදුන් මහ බැංකුව මගින් සිදුකළ මහා වංචාව හෙළිදරව් කිරීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. මහ බැංකුවේ ලොක්කන් එවැන්නක් සිදු නොවූ බව පෙන්වීමට බලවත් උත්සාහයක් ගන්නා බවද දැකගත හැක. එම වංචාව මගින් කොල්ල කන ලද මහජන මුදල් ප්‍රමාණය කුප්‍රකට බැඳුම්කර වංචාවට වඩා වැඩි බව මහජනයා දන්නේ නැත.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මූලික වශයෙන් මුහුණ දීමට සිදු වූ විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එම වංචාව බව එතුමාට උපදෙස් දුන් ආර්ථික ඝාතකයන් හෙළිදරව් කළේ නැත. ඊට හේතුව එම වංචාව සිදු වන අවස්ථාවේ දී මහ බැංකු අධිපති ලෙස ක්‍රියා කළ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ උපදේශකයකු බවට පත් වීම විය හැක. එම පුද්ගලයා මහබැංකු අධිපතිව සිටියදී සහ වර්තමාන මහ බැංකු අධිපතිවරයා නියෝජ්‍ය අධිපතිවරයෙකු සිටිය දී නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රමාණය බිලියන 10කි. 2015 සිට 2019 දක්වා නිකුත් කරන ලද සමස්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රමාණය ඩොලර් බිලියන 12 කි. එම බැඳුම්කර 5.7% සිට 7.8% දක්වා ඉතා ඉහළ පොලියකට නිකුත් කළ ද එම පොලී අනුපාත තීරණය කිරීමේදී විනිවිද භාවයකින් කටයුතු කර නැති බව මහ බැංකුවේ හිටපු නිලධාරීන් විසින්ම එළිදරව් කර ඇත. ඒ පිළිබඳව එවකට විගණකාධිපතිවරයා විසින් කිසිදු විගණනයක් සිදු නොකිරීම ද විශේෂ තත්වයකි. එසේ ඉහළ පොලියට බැඳුම්කර නිකුත්කිරීම මගින් අවම වශයෙන් 1%ක කොමිස් මුදලක් ලබාගත හැකි බව ක්ෂ්ත්‍රයේ විද්වතුන් පවසති. එම වංචාව බැඳුම්කර වංචාවට වඩා බරපතළ බවට චෝදනා එල්ල වන්නේ ඒ නිසාය. එම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර යොදාගනිමින් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැති අතර සමස්ත විදේශ විනිමය ප්‍රමාණය යොදාගෙන ඇත්තේ එදිනෙදා වියදම් පියවීම හෙවත් ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා ය. එසේ නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රමාණය සමස්ත වාණිජ ණය ප්‍රමාණයෙන් 80% කි.

 

ඒ අනුව දැන් අර්බුදය විසඳීම හෙවත් ලෙඩේ සුවපත් කිරීම සඳහා කැඳවා ඇත්තේ අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ බලවතුන් බව සැඟවීමට නොහැක. එනම් ලෙඩා භාරදී ඇත්තේ ලෙඩේ උත්සන්න කළ වෙදුන්ට ම බව ඉතා පැහැදිලිය. ඒ ආකාරයට කෙටි කාලීනව එනම් වසර 5 කට අඩු කාලයකදී ආපසු ගෙවිය යුතු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමේදී ඒවා ආපසු ගෙවීමේ විභවයක් නොමැති බව එවකට අගමැති අද ජනාධිපති සහ එවකට මහ බැංකු අධිපති පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශක මෙන්ම එවකට නියෝජ්‍ය මහ බැංකු අධිපති, අද මහ බැංකු අධිපති නොදැන සිටියා යැයි පිළිගත හැකිද? ඔවුන් සාමාන්‍ය පෙළ අංක ගණිතය සමත් වූවන් යැයි පිළිගන්නේ නම් එසේ පිළිගත නොහැක. ඒ ආකාරයට කෙටිකාලීනව අර්බුදය නිර්මාණය කළ පිරිස් තමා දායක වූ ආර්ථික ඝාතක ක්‍රියාවලිය සැඟවීමට උත්සාහ කරන අතර වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මගින් තවදුරටත් මහජනයා නොමඟ යැවීමට සමත් වී ඇත.ඔවුන්ගේ පට්ටපල් බොරු වලට අනුව ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ විදේශ විනිමය අර්බුදය උත්සන්න වන්නේ රුපියල අවප්‍රමාණය වීමට ඉඩ නොදී අල්ලා ගෙන සිටීම සඳහා වෙළඳපොළට ඩොලර් නිකුත් කිරීම නිසාය. නමුත් මහ බැංකු වාර්තා වලට අනුව සත්‍යය ඊට හාත්පසින් ම වෙනස් වේ. ඉහත සඳහන් කළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හෙවත් වාණිජ ණය වල පොලිය ගෙවීම සඳහා 2020 ජනවාරි සිට 2002 මාර්තු දක්වා වැය කළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.1 කි. නමුත් රුපියලේ අගය ඩොලරයට එරෙහිව 203 මට්ටමේ පවත්වාගෙන යාම සඳහා වැය කර ඇත්තේ ඩොලර් බිලියන 0.6 කි. ඒ අනුව සත්‍ය තත්ත්වය මහජනයාට වසන් කිරීම සඳහා ගොතන ලද බොරු සහ පට්ට බොරු මහ බැංකු වාර්තා මගින් හෙළිදරව් වේ. ඒ අනුව අධිකරණය හමුවට පැමිණිලි කළ පිරිස් මෙම මහා පින්තූරය මහජනයා විසින් වටහා ගැනීම වැළැක්වීම සඳහා කටයුතු කරනවාද යන සැකය මතුවේ. එසේ වුවත් වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ අනුව අධිකරණයේ දී සත්‍යය එළිදරව් වනු ඇති බවට විශ්වාස කළ හැක.

 

කෙසේ වෙතත් මහබැංකු ලොක්කන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් විසින් මහජනයාට වසන් කරන තොරතුරු හෝ ඔවුන් විසින් ඉදිරිපත් කරන බොරු සහ පට්ට බොරු තර්ක වලින් ඔබ්බට අර්බුදයට මුල් වූ සාදක හේතු වන බව ඉතා පැහැදිලිය. ඊට අමතරව කෙටි කාලීනව ඔවුන් විසින් අර්බුදය උත්සන්න කළ ද අර්බුදය නිර්මාණය කරනු ලබන්නේ ඔවුන් විසින් නොවේ. බංග්ලාදේශය සතුව ඩොලර් බිලියන 50ක සංචිත තිබියදී අප රටේ ඩොලර් බිලියන 0.2 ක් සඳහා එරටින් හුවමාරුවක් ලබා ගැනීමට සිදුවන්නේ කුමක් නිසා ද? ඊට හේතුව දීර්ඝ කාලීනව එනම් මූලික වශයෙන් 1977 සිට අප විසින් නඩත්තු කළ ආර්ථික මොඩලය බව ජාතියක් ලෙස අප වටහා නොගනී නම් ඊට විසඳුම් සෙවීම දුෂ්කර ව්‍යායාමයක් වනු ඇත. දීර්ඝ කාලීනව රටේ වෙළඳ හිඟය වර්ධනය වූයේ එම මොඩලය තුළ ආනයන දිරිමත් කරමින් දේශීය නිෂ්පාදන පද්ධතිය කඩා වැටීමට සැළැස්වීම නිසාය. ඒ පිළිබඳ අවබෝධය රික්තකයක් තුළ ඇති වන දෙයක් නොවේ. අර්බුදයේ මූල හේතුව වටහා ගැනීම වැළැක්වීම එනම් ආර්ථික මොඩලයේ අවුල මහජනයා විසින් වටහා ගැනීම වැළැක්වීම සඳහා විවිධ පාර්ශව විසින් තර්ක ඉදිරිපත් කරන ආකාරය දැක ගත හැක. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශකයින් ලෙස කටයුතු කර ඇති මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා සියළු ප්‍රශ්නවලට විසඳුම මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීම බව මහජනයාට ඒත්තු ගන්වති. එනම් පවතින මොඩලය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවට ඔවුහු තර්ක ඉදිරිපත් කරති. නමුත් ලබන වසරේදී ඩොලර් බිලියන 4.5ක ණය වාරික සහ පොළිය ගෙවීමට තිබියදී වසර 4කදී කොටස් වශයෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9කින් අර්බුදය විසදීමට කතාකිරීම මගින් දැනුම්වත් පිරිස් අතර ඔවුන් විහිළුකාරයින් බවට පත්වී ඇත. ඊට අමතරව පසුගිය අප්‍රේල් මාසයේදී ඔවුන් විසින් රට බංකොලොත්වී ඇති බවට සහ ණය ආපසු ගෙවීමට නොහැකි බවට ඒකපාර්ශවීයව ප්‍රකාශයක් සිදුකිරීම මගින් අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇත. එම ප්‍රකාශයෙන් පසුව චීනයේ එක්සිං බැංකුවට ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 78ක පොලී වාරික නොගෙවීම සහ ඇමෙරිකාවේ හැමිල්ටන් රිසෙව් බැංකුවට ගෙවිය යුතු ණය නොගෙවීම පිළිබඳ නඩු පැවරීම නිසා සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ නව ණය ලබාගැනීම දුෂ්කර වී ඇත.

 

ඉහත සඳහන් කළ ආකාරයට යම් පාර්ශවවලට අනුව වත්මන් අර්බුදය ආරම්භ වන්නේ නිදහසෙන් පසුවය. ඊට අනුව එක පැත්තකින් නිදහසට පෙර යටත් විජිතයක් ලෙස අප දියුණු ආර්ථික මොඩලයක කොටස්කරුවන්ය. අනෙක් පැත්තෙන් ගත් විට නිදහසින් පසුව අප ජාතියක් ලෙස ජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ගනු ලැබූ උපායමාර්ගික ක්‍රියාමාර්ග ඒ මඟින් අවතක්සේරු වේ. තවත් පාර්ශවලට අනුව අර්බුද නිර්මාණය වන්නේ රාජපක්ෂලාගේ හොරකම් නිසාය. එම න්‍යායට අනුව ජාත්‍යන්තර සංවිධාන වල සහය ලබා ගනිමින් එසේ හොරකම් කළ මුදල් ආපසු ලබා ගන්නේ නම් ආර්ථික අර්බුදය ජය ගත හැක. එසේ හොරකම දිරිමත් කෙරෙන්නේ විදේශ ණය මත යැපෙමින් ප්‍රමුඛතා පටලවාගත් නාගරික ඉදිකිරිම් මගින් ආර්ථික වර්ධනවේගය පෙන්වන ආර්ථික මොඩලය නිසාය. නමුත් න්‍යායාචාර්යවරු සිතාමතා හෝ නොදැනුවත්ව හොරකම් දිරිමත් කෙරෙන ආර්ථික මොඩලයේ දුර්වලතාවය අවතක්සේරු කරති. ඒ සියල්ල මගින් සිදුවන්නේ ආර්ථික අර්බුදය සහ ඒ තුළින් පැනනැගුනු දේශපාලන අර්බුදය ජය ගැනීම සඳහා ආර්ථික මොඩලය වෙනස් කළ යුතුය යන මූලික න්‍යායාත්මක ප්‍රවේශය අවතක්සේරු වීම ය. රම ක්‍රියාවලිය තුළ අර්බුදය නිර්මාණය කළ පිරිස්වලට එනම් ලෙඩේ උත්සන්න කළ වෙදුන්ට ලෙඩා බාරදීම නිසා ජාතියක් ලෙස අප සමස්ථය පටලවාගෙන ඇති බව පිළිගැනීමට සිදුවේ.

 

වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

 

Whatsapp Group සමගින් එක්වන්න 

 

අපේ රටේ මධ්‍යම පන්තික බොහෝ උගත්තු තාම බටහිර චින්තනයේ වහල්ලු – ආචාර්ය ගුණදාස අමරසේකර

අරුණ පුවත්පත විසින් ආචාර්ය ගුණදාස අමරසේකර වියතානන් සමගින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පසුගිය 9 වැනිදා එම පුවත්පතේ පළවිය. සිංහල සාහිත්‍ය වංශ කතාව  තුළ කිසිසේත් මග හැර යා නොහැකි චරිත අතර ගුණදාස අමරසේකර යනු මහා චරිතයකි.  ඔහු උසස් සිංහල සාහිත්‍ය සම්ප්‍රදායක් උදෙසා කළ සහ  කරමින් සිටින්නා වූ මෙහෙවර තවමත් ලියැවෙමින් තිබෙන දිගු පරිච්ඡේදයකි. ඉදින් ලබන 12 වැනිදා (නොවැ. 12දා)  93 වැනි විය සපුරන මේ මහා සාහිත්‍යවේදියාණන්ගේ ඡන්ම දිනය වෙනුවෙන්  සහ එම සම්මුඛ සාකච්ඡාව කාලීන වැදගත්කම සලකා කුඹියෝ නිවුස් අප එය මෙසේ ඵලකරන්නෙමු.

 

ඔබ අපේ ජ්‍යේෂ්ඨතම සාහිත්‍යවේදියා. ඔබේ අලුත් නිර්මාණයක් මෑතකදී අපට රස විඳින්න ලැබුනෙ නෑ. ඔබ දැන් ලිවීමෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලාද?

 

නෑ… පසුගියදවස්වල මමපොඩි නවකතාවක් ලිව්ව. ඒ ‘මහගෙදර කතන්දරය’ කියල. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක්. අපේ මහගෙදර තිබුණෙ අයියගෙ නමට. පසුකාලයෙදි අයියගෙ බාල පුතා ගෙයයි, ඉඩමයි සුද්දෙක්ට විකිණුව. ඒක තමයි කතාවෙ වස්තුබීජය. මමමේ කතාවෙදි ව්‍යංගයෙන් කියන්නෙ අපේ මහගෙදරට වෙච්ච දේ තමයි මේ රටටත් වෙලා තියෙන්නෙ කියල. ඒ පොත විසිදුනු ප්‍රකාශකයො බාරගත්ත. මම හිතන්නෙ ඒක ඔබට මේ මාසයෙදි කියවන්න ලැබෙයි.

 

ඒ කියන්නෙ ගමනක මුල කතාමාලාව අවසන්…

 

ඔව්… ඒක අවසානයි.

 

අපේ මහා කවියා ලෙස හදුන්වන්නෙත් ඔබවයි. හැබැයි මතක වතෙන් පස්සෙ අපි ඔබේ කවි පොතක් කියෙව්වෙත් නෑ. ඔබ කවිය අත්හැරල ද?

 

නෑ.. අත්හැරල නෑ. සාමාන්‍යයෙන් නවකතාවක්, කෙටිකතාවක් හෝ කවියක් ලියන්නෙ ඊට අවශ්‍ය උත්තේජනයක් තියෙනව නම් විතරයි. එහෙම නැතුව හිතල ලියන්නෙ නෑ. ඇත්තටම කවියකට වස්තු බීජයක් මගේ ඔළුවෙ තාම නෑ.

 

වෙනද වගේ දැන් එකදිගට ලියාගෙන යන්න පුළුවන් ද?

 

දැන් ටිකක් අමාරුයි එහෙම ලියන්න. ටික ටික තමයි ලියන්නෙ. වෙනද තිබුණ ජවය නෑ. ඒක බලාපොරොත්තු වෙන්නත් බෑනෙ. මොකද ඉන්ද්‍රිය ක්ෂය වෙනව. සමහර දේවල් මතක් කරන්න බොහෝ වෙලා යනව.

 

ඔබේ දීර්ඝ ලේඛන නාමාවලිය ඇතුළෙ ගුණදාස අමරසේකර කියන නිර්මාණකරුවා හොයාගන්න ඕන කොතැනින්ද?

 

මම හිතන්නෙ ජීවන සුවඳෙන් කියල. ඒකෙ ‘ආපසු ගමන’ වගේ සාර්ථක කතා තියෙනව.

 

ඇයි ඔබ එතනදි ඔබගෙ මුල්කාලීන නවකතා මගහරින්නේ…?

 

මුල් කාලයෙ ලියැවුණු ‘කරුමක්කාරයො’ වගේ නවකතා ගැන මට ලොකු අප්‍රසාදයක් නෑ. අප්‍රසාදයක් තියෙන්නෙ ‘යළි උපන්නෙමි’, ‘දෙපා නොලද්දෝ’ වගේ නවකතා ගැන තමයි.

 

එතකොට ‘ගන්ධබ්බ ආපදානය’…?

 

ඒකට මම කැමැතියි. මම ‘කරුමක්කාරයෝ’ ලියද්දි මාර්ටින් වික්‍රමසිංහ ගෙ මහා සම්ප්‍රදාය අනුගමනය කළා. ඒ කියන්නෙ තෝල්තෝයි, දෙස්තොයොක්සි වගේ අය ගෙන ආපු ශ්‍රේෂ්ඨ නවකතා සම්ප්‍රදාය. මම හිතන හැටියට ‘කරුමක්කාරයො’ තමයි ඒ සම්ප්‍රදායේ අවසානය. මහා නවකතාවේ තිබුණු ලක්ෂණය තමයි පුද්ගලයා විතරක් නෙමෙයි ඔහු වෙසෙන සමාජය ගැනත් පුළුල් චිත්‍රයක් මැවීම. ඒක 19 වැනි ශත වර්ෂයෙන් පස්සෙ බටහිරත් පිරිහුණා. ඒ ධනවාදය බටහිර බිහිවීමත් සමග. ධනවාදයේ මූලික ලක්ෂණයක් තමයි පුද්ගලයා කේන්ද්‍ර කිරීම. පුද්ගලයා සමාජයෙන් එළියට අරගෙන පුද්ගලයාගේ ප්‍රශ්න කතා කිරීම. ඒක නවකතාවේ පිරිහීමක්. නවකතාවෙන් කරන්න ඕන පුද්ගලයයි, සමාජයයි දෙකම ඒකාබද්ධ කරල, පුද්ගලයා සමාජයේ නිර්මාණයක් කියල, පුද්ගලයත්, සමාජයත් අතර පුළුල් විවරණයක් කිරීම. බටහිර ඒක නැතිවුණා. බටහිර ඒක නැතිවෙද්දි අපිත් පණස් ගණන්වල බටහිර ඇන්ග්ලෝ ඇමරිකන් සංස්කෘතියට යටවුණා. එතකොට තමයි පේරාදෙණි සාහිත්‍යය බිහිවුණෙ.

 

කොහොම වුණත් බොහෝ විචාරකයෝ අමරසේකර නම් නවකතාකරුවා හොයාගන්නෙ ඔබේ මුල්කාලීන නවකතා එක්ක. ඔබ ජීවන සුවඳෙන් පස්සෙ ලියපු මැද පන්තියේ කතාව ඇතුළත් ‘ගමනක මුල’ නවකතා මාලාවට ඔවුන් එතරම් කැමැති නෑ. මේ විචාරක පිළිවෙත ගැන ඔබ මොකද හිතන්නේ…?

 

ඒකට හේතුව අපි තාම ඇන්ග්ලෝ ඇමරිකන් සභ්‍යත්වයෙන් මිදිල නැති එක. ඩී. එස්. ලෝරන්ලා, ජීන් වගේ බටහිර නවකතාකාරයො දිහා තමයි තාම බලන්නෙ. ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විචාරකයෙක් වන ජෝර්ජ් ලුකාෂ් කියනව බටහිර බිහිවුණු අවසන් ශ්‍රේෂ්ඨ නවකතාකාරයාතෝමස්මාන්නේ කියල. ඔහුගෙන් පස්සෙ බටහිර නවකතාව පිරිහුණා. ඒකට හේතුවුණේ බටහිර ඇතිවුණු ආර්ථික ධනවාදයේ සංස්කෘතිය. ධනවාදයේ මූලික කේන්ද්‍රය තමයි පුද්ගලයා. පුද්ගලවාදය තමයි ධනවාදය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වුණේ. ඒකෙ පිළිබිඹුව තමයි බටහිර සාහිත්‍යය. ඒක තමයි මෙහෙත් අනුකරණය කළේ.

 

‘ගමනක මුල’ කතා මාලාවෙදි ඔබ මතු කරන දේශපාලනය එම කතා මාලාව විචාරක කතිකාවෙන් මගහැරෙන්නත් හේතුවුණා ද?

 

ඔව්… එහෙමත් වෙන්න පුළුවන්. දේශපාලන හේතු තියෙනව. මම ගමනක මුල කතා මාලාවේ මේ රටට ගැළපෙන සමාජයක් ගොඩනැගීම ගැන තමයි සාකච්ඡා කරන්නෙ. ඒක මගේ හිතේ ඔය විචාරකයන්ට අල්ලන්නෙ නෑ. ඒ අයගෙ ඔළුවෙ තියෙන්නෙ ධනවාදී ආකල්ප.

 

ඔබේ එම කතා මාලාවේ දුර්වලතාවක් ලෙසින් පෙන්වන්නේ මධ්‍යම පන්තික උගතා තනිකරල ගැනීම. ඒ අනුව ජාතික ද? විජාතික ද? කියල ගවේෂණය කිරීම. අනෙක ඔබ එහි මතුකරන මධ්‍යම පන්තිකයා රටේ ප්‍රධාන ජනගහණයෙන් ඉතා සුලු කොටසක් නිසා ඒ වගේ පිරිසකගෙන් ප්‍රධාන සමාජයක විකාශනය අල්ලන්න බෑ කියන එක. ඒ ගැන ඔබේ ප්‍රතිචාරය මොකක් ද?

 

මම දකින හැටියට මධ්‍යම පන්තික බොහෝ උගත්තු තාම බටහිර චින්තනයේ වහල්ලු. ඒකෙන් සාහිත්‍යයත් මිදිල නෑ. මගේ පරණ ඒවා හොඳයි කියන කට්ටියට ඒවා අල්ලල යන්නෙ ඒවායෙ තිබුණෙ ඒ චින්තනය නිසා. මධ්‍යම පන්තියෙ උගතා වල්මත් වුණාට මේ රටේ චින්තනය හසුරුවන්නෙමධ්‍යම පන්තික උගතා. 56ට ඉස්සරවෙලා නම් හිටිය ධනය හිමි ගැමි පන්තියක්. 56න් පස්සෙ මධ්‍යම පන්තිය තමයි හැම ප්‍රශ්නයක්ම විසඳල තියෙන්නෙ. අනෙක මෙහෙ තියෙනවද කම්කරු පන්තියක්? එකම දේ අවාසනාවකට මධ්‍යම පන්තිය ප්‍රබුද්ධ පන්තියක් වෙලා නෑ. ඔවුන් තාම බටහිර අනුකාරක පන්තියක්. ඒක අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක්. අපේ දේශපාලනයෙදිත් වෙලා තියෙන අභාග්‍ය ප්‍රබුද්ධ මධ්‍යම පන්තියක් නැති වීම. ඕනම රටක සමාජය වෙනස් කරන ප්‍රබුද්ධ මධ්‍යම පන්තියක් හිටිය. ‘මහගෙදර කතන්දරය’ නවකතාවෙ ඉන්න කතා නායකය සිංහල බෞද්ධ මධ්‍යම පන්තියෙන් ආපු කෙනෙක්. එයා හදවතින් බෞද්ධ සභ්‍යත්වයේ නිෂ්පාදනයක් වුණත් පේරාදෙණිය සාහිත්‍යයට අහුවෙලා වල්මත්වෙනව. හැබැයි අවසානයෙදි ඒ වල්මත්කමින් අයින් වෙනව.

 

පේරාදෙණියෙ අය අහනව නේද ඇත්තටම බෞද්ධ සභ්‍යත්වයක් තියෙනවද කියල…?

 

ඔව්… ඔවුන් කියනව තමයි ථේරවාදී බෞද්ධ සභ්‍යත්වයක් නෑ කියල. ඒක අමූලික බොරුවක්. අවුරුදු 2500ක් තිස්සෙ ථේරවාදී බෞද්ධ සභ්‍යත්වයක් මේ රටේ හැරෙන්න වෙනත් රටක ආවෙ නෑ. මහායානය තිබුණ රටවල මහායාන සභ්‍යත්වය තිබුණ. ඒ ජපානය, චීනය වගේ රටවල. ථේරවාදී බෞද්ධ සභ්‍යත්වයක් අශෝක අධිරාජ්‍යයාගෙ කාලයෙ ඉන්දියාවෙ තිබුණ. ඒක තමයි අපිට ආවෙ. මහින්ද හාමුදුරුවො බුද්ධාගම විතරක් මෙහාට අරගෙන ආවෙ නෑ. බෞද්ධ සභ්‍යත්වය, බෞද්ධ සංස්කෘතිය මෙහාට ගෙනාව. ට්‍රෙවෝ ලින්ග් (Trevor Ling) කියන ලේඛකයා The Buddha – Buddhist Civilizations in India and Ceylon පොත ලියමින් කියනව ඉංග්‍රීසිකාරයන් මේ රට අල්ලගන්නකම් බෞද්ධ සභ්‍යත්වයමෙහෙ තිබුණ කියල. ඊට පස්සෙ තමයි නැති වුණෙ කියල. අප මතුපිටින් බලන්නෙ නැතිව බැලුවොත් මේ රටේ නිදහසින් පස්සෙ ඇතිවුණු 56 ඇතුඵ සියලු ජාතික ප්‍රබෝධවලට මුල් වුණෙ බෞද්ධ සභ්‍යත්වය. ඒ චින්තනය තමයි බලපෑවෙ. හැබැයි අවාසනාවකට ඒකෙන් ආපු නායකයො මේක විනාශ කළා. ඔවුන් බෞද්ධ සංස්කෘතිය කිව්වෙරෙද්දටයි බැනියමටයි. ගෝඨාභය දිනුවෙත් ඒක උඩනෙ. ඒත් බලයට ඇවිත් කළේ ඒකෙ අනෙක් පැත්තනෙ. මේ නායකයො කියන අය හිතන්නෙබෞද්ධ සංස්කෘතිය කියන්නෙවෙළඳ බඩුවක් කියල. ඒක ඡන්දය දිනන්න විතරයි. මේ රටේ ලෝකයෙ වෙන කොහෙවත් නැති විදිහට බෞද්ධ ආර්ථික දර්ශනය ගොඩනගන්න පුළුවන්. මේ ධනවාදී සමාජයට විරුද්ධමානව හිතවාදී සමාජයක් බෞද්ධ දර්ශනයෙ තියෙනව. බෞද්ධ සභ්‍යත්වයේ තියෙනව.

 

බෞද්ධ සභ්‍යත්වය ඒ විදිහට වෙළඳ භාණ්ඩයක් කරගත්ත රටක, සාහිත්‍යයේ අද දවස ගැන ඔබට මොනවද හිතෙන්නේ…?

 

ඒ ගැන කතා කරද්දි මට මතක් වෙන්නේ 1978 පැවැති සාහිත්‍ය උලෙළේදී ජේ. ආර්. ජයවර්ධන කළ ප්‍රකාශයක්. එදා ජේ. ආර්. ඉතා නිර්භයව කිව්ව සාහිත්‍යය ප්‍රගුණ කිරීමෙන් කිසි වැඩක් නෑ කියල. ඒ වෙලාවෙ අපේ බොහෝ දෙනා ජේ. ආර්. ට දොස් කිව්ව. සාහිත්‍යය ගැන නොදන්නා අප්‍රබුද්ධයෙක් විදිහට තමයි ජේ. ආර්. ව හැඳින්වුවෙ. ඇත්තවශයෙන් ජේ. ආර්. ඒ ප්‍රකාශය කළේ සාහිත්‍යය ගැන හැමෝටම වැඩිය අවබෝධයක් ඔහුට තිබුණු නිසයි. ජේ. ආර්. දැන ගත්ත සාහිත්‍යය කියන්නෙ ඔහු දියත් කළ නව ලිබරල් ධනවාදයට එරෙහිව නැගී සිටිය හැකි ප්‍රධාන බලවේගවලින් එකක් බව. ඒ නිසා ඒ බලවේගය නිෂේධ කිරීම ඔහුට අවශ්‍යව තිබුණා. අද වෙද්දි අපේ සාහිත්‍යය සමාජයෙන් වියෝවූ මළගිය ප්‍රාණකාරයකුගේ තත්ත්වයට පත් වෙලා.  සමාජ චින්තනයවෙනස් කිරීමේ සාහිත්‍යය සතු බලය අද වන විට එයින් සහමුලින්ම ගිලිහිලානේද? කොටින්ම කියනව නම් අද සාහිත්‍යය ගැන කතා කිරීම පවා මරණ තුනක් මැද පැණි බීමක් විදිහටයි මම ද කි න්නේ .

 

අද ලියැවෙන කවකතා ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ද?

 

අද ලියැවෙන්නේ නවකතා නෙවෙයි ටෙලි නාටක කතා. කොටින්ම කියනව නම් අද නවකතාව අප්‍රබුද්ධයන් විසින් අප්‍රබුද්ධයන් පිනවීමට ලියැවෙන නිසරු ලේඛනයක්. එදා මාර්ටින් වික්‍රමසිංහ දියත් කළ ප්‍රබුද්ධ නවකතා පවා අද වනවිට සම්පූර්ණයෙන් අතුරුදන් වෙලා. සිංහල නාට්‍ය දෙස බලමු. අද කිසිදු හරවත් ගැඹුරු ආස්වාදයක්, ගැඹුරු වින්දනයක් ගෙන දෙන නාට්‍ය පහළ වෙනවද? වේදිකාව අද අප්‍රබුද්ධ උද්ඝෝෂකයන්ගේ හිස් සටන් පාඨවලට කැපවුණු තැනක් වෙලා. අද සිංහල කවිය කියා දෙයක් තියෙනවද? සති අග පත්තරවල පළවෙන නිසඳැස් පම්පෝරි කෑලි තමයි අද කවිය හැටියට තියෙන්නේ. අපේ සාහිත්‍යය වශයෙන් තියෙන්නේ රූපවාහිනී නාළිකාවල පෙන්වන ‘ඇටෑක් ෂෝ’. කොටින්ම කියතොත් අද ඇති සාහිත්‍ය කලා ව්‍යාපාරයෙන් කරන්නේ ජනතාව යථාර්ථයෙන් ඈත් කරල ඔවුන්ගේ දෑස් අඳ කොට අද ඇති අධම ආර්ථිකයට හරියන විදිහට ඔවුන්ගේ මනස සකස් කිරීම. ජේ. ආර්. ජයවර්ධන ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙලා තියෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනව. ප්‍රබුද්ධ සාහිත්‍යකරුවා බිහි වෙන්නේ සමාජයක් තුළ තිබෙන ප්‍රබුද්ධදේශපාලන සංවාදය තුළින්. සාහිත්‍යකරුවා කරන්නේ ඒ ප්‍රබුද්ධ දේශපාලන සංවාදය ඇසුරෙන් උත්තර සංවාදයක් නිර්මාණය කිරීමයි. පසුගිය අර්බුද කාලය තුළ මේ රට තුළ එවැනි ප්‍රබල ප්‍රබුද්ධ දේශපාලන සංවාදයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ උසස් සාහිත්‍යයක් අපේක්ෂා කිරීම පළ නොදෙන නිසරු පැතුමක් පමණයි.

 

ඔබේ ලේඛන දිවියේ ලියාගන්න බැරිවූ යම් දෙයක් තියෙනව ද?

 

මට ඕනකම තිබුණ බෞද්ධ ආර්ථික දර්ශනය පදනම් කරගෙන අපිට ගැළපෙන ආර්ථික දර්ශනය ගැන පොතක් ලියන්න. මට නම් ඒක කරන්න දැන් කාලයක් නෑ. හැබැයි ඒක කවුරුන් හෝ කළ යුතු දෙයක්.

 

ආපසු හැරිල බැලුව ොත් ජීවිතය දිහා…ඔබ තෘප්තිමත් ද?

 

මම ගැන මගේ හැඟීම නම් මගේ යුතුකම ඉෂ්ට කළා කියන එක. මම ලියල තියෙන හැම දෙයක්ම හෘද සාක්ෂියට එකඟව ලියපුවා. කොටින්ම කියනව නම් ලිවීමෙන් මම ආර්ථික වශයෙන් කිසිම දෙයක් ලබාගෙන නෑ. මගේ පොත්පත්වලින් කිසිම ආදායමක් මට එන්නෙ නෑ. ඒක ඔබ විශ්වාස කරන එකක් නෑ. විකුණන්න බලාගෙන මම ලියලත් නෑ. මගෙ ලියල තියෙන්නෙ මගේ හදවතට එකඟව මට දැනුණු ප්‍රශ්නවලට පිළිතුරු. ඒ අතින් බැලුවාම මම තෘප්තිමත්.  ඒත් එක අසතුටක් තාම මට තියෙනව. 1948 නිදහස ලබද්දි මම ටොරින්ටන් එකේ හිටිය. ඒ ගැටවරයෙක් හැටියට. එදා ඉඳල අපිට විශාල බලාපොරොත්තුවක් තිබුණ මේ රට හරි යයි කියල. ඒත් දැන් මේ රට විනාශ වෙලා. ඉතින් අපිට මැරෙන්න වෙන්නෙ මේක දැක දැක. ඒක තමයි මට තියෙන එකම කළකිරීම. මගේ හිතේ තියෙන ලොකුම කණගාටුව තමයි මට දැනෙනවා සිංහල ජාතියේ අවසානය මේකයි කියල. මගේ අලුත්ම නවකතාව ඉවර වෙන්නෙත් එහෙමයි. පැරැණි ගෙදර සම්පූර්ණයෙන් ‘බෝන් අගේන්’ පල්ලියක් වෙලා.

 

🔽 සංවාදය – ලක්මාල් බෝගහවත් – අරුණ පුවත්පත

 

Whatsapp Group සමගින් එක්වන්න 

 

කුරුන්දි විහාර පුරාවිද්‍යා රක්ෂිතයේ නීත්‍යනුකූල සංරක්ෂණ කටයුතු කඩාකප්පල් කිරීමෙන් ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇවිලවීමට ගන්නා කූඨ උත්සාහය

(ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයාට යැවූ ලිපිය)

 

ගරු අමාත්‍යතුමනි,

 

කුරුන්දි විහාර පුරාවිද්‍යා රක්ෂිතයේ නීත්‍යනුකූල සංරක්ෂණ කටයුතු කඩාකප්පල් කිරීම මගින් රටේ නීතියට සහ ව්‍යවස්ථාවට අභියෝග කිරීමට ඉඩ දීමේ වරද සහ එම ක්‍රියාවලිය මගින් ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇවිලවීමේ කූඨ උත්සාහය වැළැක්වීම සඳහා අමාත්‍යවරයා ලෙස නිසි පියවර ගැනීමට අසමත් වීම පිළිබඳ ව යි.

 

ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි 1933 මැයි 12 දින නිකුත් කළ ගැසට් නිවේදනය මගින් ස්තූපයක් ඇතුළු පුරාවිද්‍යා නටඹුන් සහිත කුරුන්දි විහාර සංකීර්ණයට අයත් අක්කර 78 ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. එසේ ම 1924 දී නිකුත් කළ අඟලේ සිතියම මගින් ස්තූපයක නටබුන් දක්වමින් සැතපුමකට අධික විෂ්කම්භය සහිත භූමියක් සලකුණු කර ඇත. එම සිතියම තුළ කෝවිලක හෝ දේවාලයක නටබුන් සලකුණු කර ඇත්තේ විහාර භූමියෙන් පිටත කුරුන්දි වැව ආශ්‍රිත ව ය. ස්තූපය සලකුණු කර ඇති භූමි ප්‍රදේශය තුළ එවැනි සලකුණක් යොදා නැත. ඊට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් යෝජිත අක්කර 230 භූමිය බෞද්ධ උරුමයක් ලෙස කළමනාකරණය කිරීම සඳහා 2019 සිට 2021 දක්වා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් ඉදිරිපත් කර ඇත.

 

අට්ඨකථාවන්හි ‘කුරුන්දක’ යන නමින් මෙම බෞද්ධ සිද්ධස්ථානය ඉදි කරනු ලබන්නේ බල්ලාටනාග රජු විසින් ක්‍රිස්තු වර්ෂ 100-103 කාලයේ දී බව සඳහන් වේ. මහාවංසයට අනුව ක්‍රිස්තු වර්ෂ 1055-1110 කාලයේ දී පළමුවැනි විජයබාහු රජතුමා විසින් එම විහාර සංකීර්ණය තවදුරටත් සංවර්ධනය කර ඇත. හෙන්රි පාකර්ගේ 1886 වාර්ෂික වාර්තාව මගින් මෙම ආරම්භක නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ ව සඳහන් කරන්නේ “කාලය විසින් සිදු වී ඇති විනාශයට වඩා ප්‍රදේශයේ පදිංචියට පැමිණි දෙමළ වැසියන් විසින් මෙම නටබුන් විනාශ කර ඇත” යනුවෙනි.

 

ඒ අනුව කුරුන්දි විහාර භූමිය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ජාතික උරුමයක් බව ඔබතුමාට විශේෂයෙන් වටහා දීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය සහ පුරාවිද්‍යා ආඥා පනත මෙන් ම 1990 පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව මෙම ස්ථානය ජාතික උරුමයක් ලෙස ආරක්ෂා කිරීම සහ එම භූමියේ සංවර්ධන කටයුතු බාධාවකින් තොර ව සිදු කෙරෙන බව සහතික කිරීම ඔබතුමාගේ පරම වගකීමකි.

 

එසේ වුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල සැලසුම්වලට අනුව සිදු කරනු ලබන ස්තූපය ආශ්‍රිත සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානය නමැති ලියාපදිංචි දේශපාලන පක්ෂයේ මහජන නියෝජිතයන් විසින් දිගින් දිගට ම බාධා කරන ලදි. එම ක්‍රියාවලිය තුළ සාමය කඩවීම් වැළැක්වීමේ නාමයෙන් ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගනු ලැබූ තීන්දුවලට අදාළ ව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් තමාට නීතිය මගින් පවරා ඇති වගකීම නිසි ලෙස ඉටු කර නොමැති බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. එසේ ම මහේස්ත්‍රාත් අධිකරණයට පුරාවිද්‍යා ආඥා පනතේ ප්‍රතිපාදන යටතේ සිදුකරන සංවර්ධන කටයුතුවලට අදාළ ව නිර්දේශ ලබා දීමේ බලයක් නැති බව ද ඔබතුමාට විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. සාමය කඩවීමේ තත්ත්වයක් තිබේ නම් සිදුකළ යුත්තේ රටේ නීතියට අනුව සිදුකරන සංවර්ධන කටයුතු නැවැත්වීම නොව එම කටයුතුවලට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම බව කුඩා ළමයකුට වුව ද වටහාගත හැකි ය. එහෙත් ඉහත සඳහන් කළ පරිදි ඔබතුමා අමාත්‍යවරයා ලෙස ඔබගේ පරම වගකීම ඉටු කිරීමට ඉතා කණගාටුදායක ලෙස අසමත් වී ඇත.

 

ඒ ආකාරයට පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් සහ සාමය කඩවීමේ තත්ත්වය නිර්මාණය කරනු ලබන හඳුනාගත් දේශපාලන නායකයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක නොකිරීම මගින් ඔබගේ පාලනාධිකාරිය විසින් ඉතා දුර්වල සහ වැරදි පූර්වාදර්ශයක් ලබා දී ඇත. එසේ ම කඩාකප්පල්කාරී පිරිස් විසින් රටේ නීතිය තම අතට ගැනීමේ ඉතා ම නරක පූර්වාදර්ශයට අමතර ව ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇවිලවීමේ කූට අරමුණකින් කටයුතු කරන බව ඔබතුමා වැන්නකුට වටහාගත නොහැකි යැයි අපි විශ්වාස නොකරමු.

 

ඊට අමතර ව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අධිකරණයට සහ නීතිපතිවරයාට අදාළ තාක්ෂණික වාර්තා ලබා නොදී පමා කරනු ලබන්නේ ඔබතුමාගේ බලපෑම නිසා බවට ඔබතුමාට එරෙහි ව මහජනයාගෙන් එල්ල වන චෝදනාව ඉතා ම බරපතල බව ද ඔබතුමා පිළිගන්නවා ඇත. එම චෝදනාවලින් නිදහස් වීම හෝ ඒවා නිවැරදි කිරීම සිදු කළ හැක්කේ නීතිය අනුව තමාට පැවරී ඇති මූලික වගකීම ඉටු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දීම මගින් බව ඔබතුමාට පැහැදිලි කළ යුතු නැත. ඔබතුමාගේ පියාගේ දේශපාලන උරුමයට සහ ඔබගේ අනාගත දේශපාලන පැවැත්මට හානිදායක අයුරින් ඔබතුමා විසින් තම අසමත්කම ප්‍රදර්ශනය කරනු ලබන්නේ යම් බාහිර බලපෑමක් නිසා බව ඉතා පැහැදිලිය. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ අසමත්කමට හේතුව ඔහුගේ පරිපාලන දුර්වලතාවලට අමතර ව ඔබතුමාට එල්ල වන බාහිර බලපෑම් ඔබතුමා මගින් එම නිලධාරියාට ප්‍රේෂණය වන නිසා බවට ඉතා සාධාරණ ව උපකල්පනය කළ හැකි ය.

 

එම උපකල්පනය වඩා සාධාරණ වන්නේ නීතියට අනුව බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ගැසට් කර ඇති භූමියක නීත්‍යනුකූල නොවන ආකාරයට කෝවිලක් ඉදි කිරීමට ගනු ලබන උත්සාහය ඔබ විසින් පුද්ගලික ව සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම නිසා ය. පූජාභූමියේ කඩා බිඳ දමා ඇති කොරවක් ගලක් පෙරළා එය හින්දු කෝවිලක නටබුන් යැයි යම් පිරිසක් කූඨ අරමුණක් සහිත ව අවස්ථා කිහිපයක දී පූජාවක් පැවැත්වූ පමණින් එම ස්ථානය කෝවිලක් ඉදි කිරීමට ඉඩ දිය යුතු බවට කල්පනා කිරීම ඉතා නිවට දේශපාලන ප්‍රතිපත්තියක් බව ඔබතුමාට පැහැදිලි කළ යුතු නැත. ජාත්‍ය්‍යන්තර නඩු තීන්දු අනුව සිතා මතා වූ අරමුණක් සහිත ව හෝ එසේ නොමැති ව වැරදි හඳුනාගැනීමක් නිසා එසේ වැඳුම් පිදුම් කිරීම මගින් එම ස්ථානයට නිත්‍යනුකූල ව පිළිගැනීමක් ලැබෙන්නේ නැත. එසේ නම් නීතිය නමා කඩා කඩාකප්පල්කාරීන්ට යටත් වීමට යමකු තීරණය කරන්නේ නම් ඒ බාහිර දේශපාලන බලපෑමක් නිසා බව ඉතා පැහැදිලි ය.

 

වර්තමානයේ පැන නැගී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදය තුළ දේශීය දෙමළ දේශපාලන පක්ෂවලට සහ දෙමළ ඩයස්පෝරාවට මෙන් ම අරගලකරුවන් ලෙස හඳුන්වා ගන්නා යම් කඩාකප්පල්කාරී පිරිස්වලට විශාල කේවල් කිරීමේ බලයක් ලැබී ඇති බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. එම බලය යොදාගනිමින් ඔවුන් විසින් මේ දිනවල ඉටු කරමින් තිබෙන අසාධාරණ කොන්දේසි මහජනයාට නම් රහසක් නොවේ. ඒ අනුව ඔබගේ හැසිරීම පැහැදිලි කරගැනීමට ද මහජනයාට අපහසුතාවක් නැත. එවැනි තත්ත්වයක් තුළ සාධාරණත්වය, සාමය, සමගිය හෝ වෙනත් කුමන හෝ සංකල්පයක් යටතේ නිදහසට කාරණා ඉදිරිපත් කිරීමට ඔබට ඉඩක් ඉතිරි වී නැති බව පිළිගැනීමට සිදු වේ. ඊට හේතුව එම බෞද්ධ සිද්ධස්ථාන භූමියෙන් පිටත හැකි තරම් හින්දු කෝවිල් තිබීම සහ අවශ්‍ය නම් අවසර ඇති ව හෝ නැති ව නව කෝවිලක් එම භූමියෙන් පිටත ඉදි කිරීමට එරෙහි ව කිසිවකු විසින් කිසිදු මතයක් පළ නොකිරීම ය.

 

එවැනි තත්ත්වයක් තුළ වහා ම මැදිහත් වී පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට නිසි උපදෙස් ලබා දෙමින් දැනට නීත්‍යානුකූල ව ආරම්භ කර ඇති සංවර්ධන කටයුතු අඛණ්ඩ ව කරගෙන යෑම සඳහා නිසි පියවර ගන්නා ලෙස අපි ඔබතුමාට මතක් කර සිටිමු. ඔබතුමා ඊට අසමත් වන්නේ නම් රටේ නීතිය අනුව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ද අපි සැලසුම් කරමින් සිටින බව ඔබතුමාට දන්වා සිටිමු. අවසන් වශයෙන් ඔබගේ අසමත්කම ව්‍යවස්ථාවට සහ නීතියට අනුව වගකීම් පැහැර හැරීමක් පමණක් නොව ජාතියේ මහා උරුමය පාවාදීමක් ලෙස ද ඉතිහාසය විසින් අර්ථකථනය කිරීමට ඉඩ නොතබන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

 

අත්සන් කළේ
1. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි – ජාතික මහජන සභාව
2. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි- ජාතික – විද්වද් භික්ෂු සංසදය
3. මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි- – ශ්‍රී ලංකා චීන සහයෝගිතා සංගමය
4. ශාස්ත්‍රපති මහාචාර්ය පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි – ථේරවාද විමර්ශන සභාව
5. ආචාර්ය ගුණදාස අමරසේකර මහතා – ජාතික සංවිධාන එකමුතුව
6. මතුගම සෙනෙවිරුවන් මහතා – උතුරු සහ නැගෙනහිර පළාත්වල ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානය
7. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා – දේශහිතෛශී ජාතික ව්‍යාපාරය
8. අරුන් සිද්ධාර්ථන් – යාපනය සිවිල් සමාජ මධ්‍යස්ථානය
9. නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා – දේශප්‍රේමී ජාතික පෙරමුණ
10. සංජය ෆොන්සේකා මහතා – පුරවර පුරෝගාමියෝ සංවිධානය
11. විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මිය – ජයග්‍රහණය කොළඹ සංවිධානය
12. කුලතුංග රාජපක්ෂ මහතා – සිංහල වීර විදහන සංවිධානය
13. කෝසල පත්තිනිගේ මහතා – සිසු සෙවණ සංවිධානය
14. ඉන්දික සහබන්දු මහතා – ජාතික අවශ්‍යතා පිළිබඳ ආයතනය
15. එස්. කේ. ඒ. එස්. සේනානායක මහතා – රේගු බෞද්ධ සංගමය
16. සාලිය හෙට්ටිආරච්චි මහතා – ධර්මපාල පරපුර සංවිධාන
17. ඉංජිනේරු නිමල් විජේතුංග මහතා – දේශප්‍රේමී විද්වත් සංසඳය
18. නීතීඥ මධුමාලි අල්විස් මිය – යුක්තිය හා පරමාධිපත්‍යය සඳහා වූ ජනතා හඬ
19. අජිත් සෙනෙවිරත්න මහතා – සුපිරිසිදු රටක් රටට හෙටක් සංවිධානය
20. මංජුල වීරසිරි මහතා – ප්‍රගතිශීලී තරුණ පෙරමුණ
21. ආචාර්ය වසන්ත පුංචිහේවා මහතා – තිසබි සංවිධානය
22. ප්‍රශාන් රාජපක්ෂ මහතා – පරපුරක උරුමය සංවිධානය
23. කර්නල් අනිල් අමරසේකර මහතා – ජාතික ඒකාබද්ධතා කමිටුව
24. යසස් ධර්මදාස මහතා – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විධායක සභාව
25. ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා – බොදු කිතුනු සහොදරත්වයේ හඞ
26. වෛද්‍ය ඉන්ද්‍රජිත් කමලදාස මහතා – මහජන රාජ්‍ය සභාව
27. ජනක බෝධිනන්ද මහතා – ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය
28. විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා – මහජන යුතුකම් කේන්ද්‍රය
29. ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා – රුසියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ වෘත්තිකයන්ගේ සංගමය
30. ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා – ඉංජිනේරු වෘත්තියවේදීන්ගේ සංගමය 31. සේනාරත්න ද සිල්වා මහතා – 56 දරුවෝ සංවිධානය
32. වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා – මව්බිම ලංකා පදනම
33. චම්පා සේනානයක මිය – දේශහිතෛශී ජාතික ව්‍යාපාරය (ප්‍රංශ ශාඛාව)
34. බුද්ධික ද සිල්වා මහතා – සම්ප්‍රදායානුකූල පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය
35. සුනිල් පතිරණ මහතා – විදේශ ශ්‍රමික ජාලය
36. ජයන්ත වෙදසිංහ මහතා – රට වෙනුවෙන් ධබැ ඵ්බ
37. චමන්ලාල් වීරරත්න මහතා – ඹරඉ්බ ක්‍සඑස‘ැබි සංවිධානය
38. ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න මහතා – සීහූම් මංසල සංවාද මණ්ඩපය
39. සමන් වික්‍රමසිංහ මහතා – අපි කූඹියෝ සංවිධානය
40. ප්‍රියංගා කොතලාවල මිය – ලක් දිරිය කාන්තා පදනම
41. අනුරාධ තෙන්නකෝන් මහතා – ජාතික ගොවිජන එකමුතුව
42. වසන්ත අල්විස් මහතා – වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය
43. ඒ.ඒ. ආරියදාස – ජාතික පුනරුද ව්‍යාපාරය
44. ජ්‍යේෂ්ඨ නීතීඥ කළ්‍යාණන්ද තිරාණගම මහතා (උපදේශක)
45. විශ්‍රාමික ලුතිනන් ජෙනරල් ජගත් ඩයස් මහතා (උපදේශක)
46. විශ්‍රාමික බි්‍රගේඩියර් අතුල ද සිල්වා මහතා (උපදේශක)

 

මේ වගට
ආචාර්ය ගුණදාස අමරසේකර
2022.11.01

 

whatsapp Group සමගින් එක්වන්න 

 

දේශීය කර්මාන්ත පද්ධතිය අනතුරේ: කළ යුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ කර්මාන්ත පද්ධතියේ නවෝදයක් ඇති වන්නේ 1970 දශකයේ දී කර්මාන්ත සංවර්ධන පනත මගින් සිදු කළ සුවිශේෂී රාජ්‍ය මැදිහත් වීම සමඟය. එම යුගයේදී විදේශීය ආධාර යොදාගනිමින් රාජ්‍ය අයිතිය යටතේ මහා පරිමාණ කර්මාන්තශාලා ප්‍රමාණයක් ආරම්භ විය. කැලණි ටයර්, ඔරුවල වානේ, තුල්හිරිය පේෂකර්ම, පුත්තලම සිමෙන්ති ආදී වශයෙන් එම කර්මාන්ත ශාලා මගින් ආර්ථිකයට සුවිශේෂී උපායමාර්ගික දායකත්වයක් සපයනු ලැබීය. එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස 77/78 වසරේ දී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක වෙළඳ අතිරික්තයක් පෙන්විය හැකි විය. එම ක්‍රියාවලිය තුළ කර්මාන්ත සංවර්ධන පනත යටතේ පිහිටුවනු ලැබූ කර්මාන්ත ක්ෂේත්‍ර 20ක් ආශ්‍රිත කර්මාන්තකරුවන්ගෙන් සමන්විත උපදේශක කමිටු මගින් රාජ්‍ය තීන්දු තීරණ වලට මැදිහත්වීමේ හැකියාව කර්මාන්තකරුවන්ට ලැබුණි. ඒ නිසා දේශීය පුද්ගලික කර්මාන්තකරුවන්ගේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලැබුණු අතර ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹුණි. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන වල දියුණු පරිපාලකයින් ගේ මැදිහත්වීම මත නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය වර්ධනය වූ අතර අපනයන වෙළෙඳපොළ පුළුල් විය. ආයෝජන සඳහා ම වෙන් වූ සංවර්ධන බැංකු මගින් එම ක්‍රියාවලියට අවශ්‍ය ප්‍රාග්ධනය සහන පොලියට ලබා ගත හැකි විය. නමුත් 1977 න් පසු පසුව ආරම්භ වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ ආරක්ෂණවාදී රාජ්‍ය මැදිහත්වීම් අවම වූ අතර වෙළඳාම දිරිමත් කිරීමේ නාමයෙන් ආනයන දිරිමත් කෙරුණි. එම ක්‍රියාවලිය තුළ විශාල වශයෙන් බදු වංචා සිදු වූ අතර රාජ්‍ය ආදායම් අහිමි විය. රාජ්‍ය මැදිහත් වීම ක්‍රමයෙන් අතහැරීම තුළ දේශීය කර්මාන්ත පද්ධතියේ කඩා වැටීම ආරම්භ විය.

 

ඉන්පසුව 90 දශකයේ දී පළාත් සභා ශක්තිමත් කිරීමේ නාමයෙන් හඳුන්වා දුන් කර්මාන්ත ප්‍රවර්ධන පනත මගින් පිහිටුවනු ලැබූ උපදේශක සභාව මගින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ ආංශික උපදේශක කමිටු වල ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට ඉඩ සැලසුණි. අවසානයේ දී එම ආයතනයේ සමස්ත දායකත්වයද සීමා කෙරිණි. ඉන්පසුව 2000 දශකයේ දී ඉන්දියාව සමඟ අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් දේශීය කර්මාන්ත පද්ධතියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ඉන්පසුව දේශීය කර්මාන්ත පද්ධතිය කඩාවැටීමේ නරකම දශකය ආරම්භ වන්නේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා යටතේ ය. එම යුගයේදී කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත 3000ක් පමණ වැසී ගිය බවට වාර්තා පළ විය. විශේෂයෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන්ට සහ පොල්තෙල් කර්මාන්තයට නරක කල දසාවක් උදා විය. එම කාලයේ දී විශාල වශයෙන් බදු සහන දෙමින් ෆාම් තෙල් ආනයනකරුවන් දිරිමත් කෙරුණු අතර පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීම නීතිගත කිරීමට පාරිභෝගික අධිකාරි පනත යටතේ ම ඉඩ සැලසුණි. එසේම සංවර්ධන බැංකු පද්ධතිය අකර්මණ්‍ය කිරීම තුළ කර්මාන්තකරුවන්ට සහන පොලියට ණය ලබා ගැනීමේ හැකියාව සීමා විය. අවසානයේදී වැසී ගිය සහ වැසී යාමට ආසන්න කර්මාන්තශාලා බැංකු විසින් වෙන්දේසි කිරීම ද ආරම්භ විය. ඊට විසඳුම් ලෙස වාණිජ බැංකු විසින් ඉහළ පොලියට ණය ලබා දීම සහ ඊනියා ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් කර්මාන්තකරුවන් තවදුරටත් ණයකාරයන් බවට පත් විය. ඒ අතර දේශිය නිෂ්පාදනවලට වෙළඳපොළ පුළුල් කිරීම සඳහා රජය රටේ ප්‍රධාන මිලදී ගන්නා ලෙස දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට ප්‍රමුඛතාවය ලබාදීම වැනි විසඳුම් හඳුන්වා දුන්නද එම ප්‍රමුඛතාවය අනිවාර්ය නොකිරීම නිසා ඒ මගින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණි.

 

එම ක්‍රියාවලියේ තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස රටේ වෙළෙඳ හිගය එනම් අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ඩොලර් බිලියන 10ක් දක්වා වර්ධනය විය. ඇගළුම් කර්මාන්තය මහා කර්මාන්තයක් ලෙස හුවා දැක්වුවද අපනයන ආදායමෙන් 80%ක් පමණ අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැය වේ. අපනයන වර්ධනය කළ යුතු බවට මන්තරයක් ජපකළ ද කර්මාන්තකරුවාට අපනයන වෙළෙඳපොළ පුළුල් කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍යමය සහාය ලැබුණේ නැත. එහිදී ඉලක්ක සහගතව සහ හඳුනාගත් උපාය මාර්ගික වශයෙන් වැදගත් කර්මාන්ත සඳහා විශේෂ මැදිහත්වීමක් සිදු කළේද නැත. ඛනිජ වැලි නිස්සාරණය මගින් වටිනා ලෝහ නිෂ්පාදනය කිරීම වෙනුවට ඒවා වැලි ලෙස තුට්ටු දෙකට අපණයනය කෙරුණි. මිනිරන් වලින් කළු රත්තරන් හෙවත් ග්‍රෑපින් නිපදවීම වෙනුවට ඒවා කළු ගල් මෙන් අපනයනය කරනු ලැබුණි. ඒ ආකාරයට කර්මාන්ත ක්ෂේත්‍රයේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට දීර්ඝ කාලීන උපාය මාර්ගික ප්‍රවේශයක් අනුගමනය නොකිරීම තුල එනම් රටක් ලෙස නඩත්තු කළ ආර්ථික මොඩලය තුල වත්මන් අර්බුදය ට ගොදුරු වූ බව පිළිගැනීමට සිදුවේ.

 

වත්මන් ආර්ථික අර්බුදයේ මූලික ප්‍රකාශනය වන ඩොලර් සංචිත සිදී යාම නිසා අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා විදේශ විනිමය ලබා ගත නොහැකි වී ඇත. ඒ අතර 2018 දී සම්මත කළ නව විදේශ විනිමය පනත මගින් කළු වෙළඳපල දිරිමත් කෙරෙන බැවින් අපනයන ආදායම් කූට ලෙස කළු වෙළදපොළ තුළ රඳවා ගැනීමට හැකියාව ලැබී ඇති බැවින් තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇත. ඊට අමතරව මුදල් අච්චු ගැසීම මගින් මුදල් සැපයුම වැඩි කිරීම නිසා සහ රුපියල අවප්‍රමාණය කිරීම නිසා වර්ධනය වන උද්ධමනය පාලනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවී ඇත. ඒ තුළ කාරක ප්‍රාග්ධන පිරිවැය වැඩිවීම සහ ණය සහ පොලී වාරික වැඩිවීම නිසා කර්මාන්තකරුවාගේ ගෙල අන්තයටම සිරවී ඇත. ආර්ථිකයේ විශේෂිත ක්ෂේත්‍ර උදාහරණයක් ලෙස ඉදිකිරීම් කර්මාන්තය, බිඳ වැටීම නිසා ද වෙළඳපල හැකිලීමක් ද සිදු වී ඇත. උද්ධමනය සහ රැකියා අහිමි වීම ආදී හේතු නිසා සමස්තයක් ලෙස වෙළඳපල හැකිලීමක් සිදුවන නිසා කර්මාන්තකරුවාට තවදුරටත් වෙළඳපොළ අහිමි වේ.

 

නීතිගරුක කර්මාන්තකරුවන් කළු වෙළදපොළෙන් වැඩි මිලට ඩොලර් ලබාගැනීමට මැලිවන ඔවුනට මහ බැංකුවේ මැදිහත්වීම මත බැංකු පද්ධතිය මගින් යම් ප්‍රමාණයක් හෝ ඩොලර් ලබාදෙන්නේ නැත. නමුත් බහු ජාතික සමාගම්වලට කිසිදු ගැටළුවක් නොමැතිව අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ හැකියාව ඇත. ඊට අමතරව එම සමාගම් විශාල වශයෙන් බදු වංචා කරන බවද රේගුවට රහසක් නොවේ. කෙසේ වෙතත් කළු වෙළදපොල හරහා අමුද්‍රව්‍ය ආනයනය කරන දේශීය කර්මාන්තකරුවන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ. එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බහුජාතික සමාගම් විසින් යම් ක්ෂේත්‍ර වල වෙළඳපල අත්පත් කර ගන්නා අතර මාධ්‍ය ආයතන වල ගෙල සිර කිරීම මගින් විශාල වට්ටම් සහිතව ප්‍රචාරණයේ ඒකාධිකාරියක් පවත්වාගෙන යන බව දැක ගත හැක. එම ක්‍රියාවලය තුළ දේශිය කර්මාන්තකරුවන්ගේ තරග කිරීමේ හැකියාව බැඳ වැටේ.

 

මෙම තත්වයට මුහුණ දෙමින් දේශීය කර්මාන්ත පද්ධතිය නගාසිටුවීම සඳහා අර්බුදය උත්සන්න වී මාස 6කට අධික කාලයක් ගත වී තිබියදී පවා කිසිදු උපායමාර්ගික සැලසුමක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අසමත් වී ඇත. එම තත්ත්වය තුළ පුහුණු ශ්‍රමිකයන් අහිමි වීම සහ නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ තත්වපාලන ක්‍රියාවලිය බිඳ වැටීම ආදිය නිසා බොහෝ කර්මාන්ත ආශ්‍රිතව නැවත නැගී සිටීමේ හැකියාව ද අභියෝගයට ලක්වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ ඉන්දියාවේ බලපෑම මත නිදහස් වෙළෙඳ ගිවිසුම තවදුරටත් පුළුල් කිරීම සහ “එක්ටා” ගිවිසුම අත්සන් කිරීම ආදී කොන්දේසි ඉටු කළහොත් දේශීය කර්මාන්ත පද්ධතිය සහමුලින්ම බිඳ වැටීම වැලැක්විය නොහැක. මෙම තත්ත්වයට මුහුණදීම සඳහා අහඹු මැදිහත් වීම් හෝ පැලැස්තර විසඳුම් වෙනුවට උපාය මාර්ගික සැලසුමක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වේ. ඒ සඳහා මව්බිම ලංකා පදනම සහ ජාතික සංවිධාන ලෙස රටට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනා සම්පිණ්ඩනයක් ලෙස ගෙන අටවැදෑරුම් උපායමාර්ග රාමුවක් ඉදිරිපත් කළ හැක.

 

ඒ අතුරින් පළමුවැන්න අමුද්‍රව්‍ය ආනයනය සඳහා ප්‍රමුඛතා පදනම මත නිදහස් කිරීම සඳහා මාසිකව ඩොලර් සංචිත ප්‍රමාණයක් නිදහස් කිරීමය. එහිදී අපනයන ආදායම්, රැකියා සුරක්ෂිතතාවය, දේශීය වෙළඳපොල කොටස සහ අදාල නිෂ්පාදනවල අත්‍යවශ්‍යතාවය යන සාධක සැලකිල්ලට ගනිමින් ප්‍රමුඛතා පදනම තීරණය කළ හැක. දෙවැන්න වහාම කර්මාන්ත සංවර්ධන පනත යටතේ ආශික උපදේශක කමිටු 20ක් පත්කර ඉලක්ක සහගත ව ගැටලු විසඳීම සඳහා කර්මාන්තකරුවාගේ දායකත්වය සක්‍රීයව ලබා ගැනීමය. තුන්වැන්න භාණ්ඩාගාරය මගින් පොලී සහනාධාර ලබාදීම මගින් සංවර්ධන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ බැංකු මඟින් දේපල වෙන්දේසි කිරීම් තාවකාලිකව අත්හිටුවීම ය. හතරවැන්න දේශීය නිෂ්පාදනවලට තරගකාරී විකල්ප නිෂ්පාදන ආනයනය සීමා කිරීම සඳහා දේශීය නිෂ්පාදන පිරිවැය අනුව නිර්ණය කරනු ලබන වෙළඳපළ මිලට වඩා ආනයනික නිෂ්පාදන වල මිල 10%කින් ඉහළ මට්ටමක පවතින ලෙස විශේෂ පරිභෝජන බදු පැනවීම ය. එම ක්‍රමවේදය තාවකාලිකව ආනයන අත්හිටුවීමට වඩා දීර්ඝ කාලීනව ඵලදායි වේ.

 

පස්වැනි උපාය මාර්ගික ප්‍රවේශය නිමි නිෂ්පාදන ආනයනය වෙනුවට අමුද්‍රව්‍ය ආනයනය දිරිමත් කිරීම මගින් දේශීය වටිනාකම් එකතු කිරීම වර්ධනය කිරීමය. උදාහරණයක් ලෙස පොල්තෙල් සහ ෆාම් තෙල් ආනයනය වෙනුවට කැබිලි කළ වියළි පොල් මද ආනයනය දිරිමත් කිරීම සඳහා නිමි නිෂ්පාදන වල ආනයන බදු ඉහල දැමීම සහ අමුද්‍රව්‍ය ආනයනය සඳහා බදු සහන ලබා දීමය. හයවැනි උපායමාර්ගික ප්‍රවේශය ලෙස වෙළෙඳපොළ මිල විකෘතීන් වැළැක්වීම සඳහා ආනයන සඳහා ලබාදී ඇති අයුතු බදු සහන නැවත පැනවීම, විකල්ප බාල ද්‍රව්‍ය මිශ්‍ර කිරීම වැළැක්වීම සඳහා ප්‍රමිතීන් ඉහළ දැමීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම මෙන්ම ආනයන බදු වංචා වැළැක්වීම සඳහා ආවේක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම ආදී ක්‍රියාමාර්ග වැදගත් වේ. එම ක්‍රියාවලිය තුළ කුඩා තීරණ මගින් මහා ප්‍රතිඵල අත්පත් කරගත හැක. උදාහරණයක් ලෙස සංයුතිය වෙනස් කළ නිෂ්පාදනයක් වන මේදය ඉවත් කළ කිරිපිටි ආනයනය අත්හිටුවීම මගින් එම අවශ්‍යතාවය දේශීයව සපුරන අතර රට බටර් වලින් ස්වයංපෝෂිත කළ හැක. එසේම කිරිමේදය ඉවත් කර ඒ වෙනුවට ෆාම් තෙල් මිශ්‍ර කළ කිරිපිට ආනයනයට ඉඩ නොදීම මගින් වෙළඳ පොළ මිල විකෘතීන් නිවැරදි කළ හැකි අතර දේශීය කිරි කර්මාන්තය ආරක්ෂා කළ හැක.

 

හත්වන උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ රජය රටේ විශාලතම මිලදී ගන්නා ලෙස දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ලබාදී ඇති ප්‍රමුඛතාවය අනිවාර්ය කිරීම ය. අටවැනි ප්‍රවේශය හඳුනාගත් උපායමාර්ග කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා උපාය මාර්ග කර්මාන්ත ආරක්ෂා කිරීමේ නව නීතිමය රාමුවක් හඳුන්වාදීමය. ඒ සඳහා දැනට පවතින කර්මාන්ත ප්‍රවර්ධන පණත සංශෝධනය කළ හැක. වටිනාකම් එකතු කිරීමේ දාමයට බහුතර සුළු නිෂ්පාදකයින් දායකවන කර්මාන්ත (උදාහරණක් ලෙස කිරි කර්මාන්තය), දේශීය සන්නාමය ආරක්ෂා කරගත යුතු කර්මාන්ත (දේශිය ඹෟෂධ වර්ග සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය, පොල් මද ආශ්‍රිත මෙන්ම තේ සහ රබර් ආශිත වටිනාකම එකතු කිරීමේ කර්මාන්ත ආදිය) උපායමාර්ගික කර්මාන්ත ලෙස සැලකිය හැක. එහිදී “ආරක්ෂණවාදය” ජාතික ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශයට පත්කිරීම මගින් විශ්වවිද්‍යාලවල සේවය කරන ලෝක වෙළඳ සංවිධානයේ “ගිරව්” අවුස්සා ගැනීමට අවශ්‍ය නැත. රටට අවශ්‍ය වන්නේ එම ප්‍රතිපත්තියේ අරමුණ නීති මගින් ඉටුකර ගැනීමය. දැන් සිදුවන ආකාරයට සංයුක්ත උපායමාර්ගික ප්‍රවේශයකින් තොරව පැළැස්තර විසදුම් ඉදිරිපත් කරමින් යන ගමන තුළ දේශීය කර්මාන්ත පද්ධතිය නැවත ගොඩගැනීමට නොහැකි ආකාරයට බිඳ වැටීම වැළැක්විය නොහැක.

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

 

 

 

whatsapp Group සමගින් එක්වන්න 

 

ඩයස්පෝරාවේ අරමුණ 13 බලාත්මක කිරීම පමණක්ද?

බ්‍රිතාන්‍යය මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඩයස්පෝරාව මුණ ගැසුණු බව වාර්තා විය. එහිදී ඔහු ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටින අතර ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයේදී පළාත් සභා මහ ඇමතිවරුන්ගේ යෝජනා සැලකිල්ලට ගන්නා බවද සඳහන් කළේය. ඊට පෙර විවිධ රටවල ජීවත්වන ශ‍්‍රී ලංකාවේ දෙමළ ඩයස්පොරාවේ විවිධ ප‍්‍රකාශකයින් හුවා දක්වමින් ‘‘ටැමිල් ගාඩියන්ස්’’ වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඔවුන්ගේ වත්කම් ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පෙර ඊනියා දෙමළ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවය. ඒ සඳහා තුන්වන පාර්ශවයක මැදිහත්වීම් මත එනම් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ද ඔවුහු යෝජනා කරති.

 

ඒ අතර ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒබ‍්‍රහම් සුමන්දිරන් මහතා සඳහන් කරන්නේ දෙමළ ඩයස්පෝරාව දුක් මහන්සියෙන් උපයාගත් විදේශ මුදල් ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට නම් පළමුව දේශපාලන විසඳුමක් ලබා දිය යුතුව ඇති බව ය. එම ප‍්‍රකාශ නිකුත් වන්නේ මාර්තු මාසයේදී හිටපු ජනාධිපතිවරයා විසින් ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ලෙස දෙමළ ඩයස්පෝරාව වෙත කරනු ලැබූ ඉල්ලීමකට ප‍්‍රතිචාර ලෙස ය.

 

ඊට මාස 4කට පසුව අගෝස්තු මාසයේදී දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ප‍්‍රබල සංවිධාන 6කට සහ ඒවාට සම්බන්ධ ප‍්‍රබල පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබීය. ඉන්පසුව ඩයස්පෝරාවේ ඩොලර් මගින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සහ ඊට හිලව්වට ව්‍යවස්ථා සංශෝධනයක් සලකා බැලීමට තමා සූදානම් බවට සැප්තැම්බර් 19 වැනි දින ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් සිදුකිරීම විශේෂ තත්වයකි.

 

‘ටැමිල් ගාඩියන්ස්’ සාකච්ඡා අනුව ඩයස්පෝරා ඩොලර් ශ‍්‍රී ලංකාවට ගෙන ඒම සඳහා පනවනු ලබන මූලික කොන්දේසිය වන්නේ ඊනියා දේශපාලන විසඳුමක් බව ඉතා පැහැදිලිය. මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයාට අනුව ඩයස්පෝරාවෙන් ඩොලර් ඉල්ලා සිටීමට පෙර ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන දේශපාලන විසඳුම ප‍්‍රකාශයට පත් කළ යුතුය. ඒ අතර උතුරු පළාතේ හිටපු මහ ඇමති සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. වී. විග්නේශ්වරන් මහතා සඳහන් කරන්නේ ඩයස්පොරා අරමුදල් උතුරු සහ නැගෙනහිර පළාත් වල ආයෝජනය කිරීම සඳහා විධිමත් ක‍්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවය. ඔහු මහ ඇමති තනතුරේ සිටියදී ‘‘මහ ඇමැති අරමුදල් ප‍්‍රඥප්තිය’’ නමින් පළාත්නී තියක් සම්මත කිරීම මගින් එම අවශ්‍යතාවය සැපිරීමට බලවත් උත්සාහයක් ගනු ලැබීය. නමුත් ඒ මගින් රටේ විනිමය නීති සහ මහ බැංකුවේ බලය පවා අභියෝගයට ලක්වන බැවින් ආණ්ඩුකාර ධුරය දැරූ ජෙනරාල් චන්ද්‍රසිරි මහතා එම ප‍්‍රඥප්තිය ආපසු හරවා යවනු ලැබීය.

 

ඉදිරි පළාත් සභා මැතිවරණයට පසුව එවැනි බාධාවක් නැවත සිදුවීම වැලැක්වීමට නම් ආණ්ඩුකාරවරයාගේ බලය මහ ඇමතිවරයාගේ බලයට යටත් කළ යුතුය. එනම් ව්‍යවස්ථාව මගින් ආණ්ඩුකාරවරයාට ලබාදී ලබා දී ඇති බලතල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් කප්පාදු කළ යුතුය.

 

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට 154 වගන්තියේ උප වගන්ති දෙකක් ඉවත් කිරීම සඳහා ප‍්‍රතිපාදන ඇතුල් කිරීම මගින්වි ග්නේෂ්වරන් මහතාගේ අපේක්ෂාව ඉටු කිරීමට උත්සාහයක් ගෙන තිබුණි.

 

එම සංශෝධන මගින් ආණ්ඩුකාරවරයාගේ බලතල කප්පාදු කිරීමක් සිදු වන අතර මහ ඇමතිගේ බලය ශක්තිමත් වේ. එම කෙටුම්පත සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජනබලවේගයේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ ද එය සකස් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒබ‍්‍රහිම් සුමන්දිරන් මහතා විසින් බව පසුව අනාවරණය විය.

 

කෙසේ වෙතත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රමුඛ ජාතික බලවේග විසින් ඊට එරෙහිව ශේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළ බැවින් එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියෝගයක් අධිකරණය විසින් පනවනු ලැබීය. ඒ නිසා ප්‍රේමදාස – සුමන්තිරන් සන්ධානය විසින් ඉතා සූක්ෂම ලෙස 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා ගනු ලැබූ උත්සාහයක් වැලකී ගියේය.

 

ඉහත සඳහන් කළ ඩයස්පෝරා නායකයින්ගේ ප‍්‍රකාශ අනුව ඔවුන් ඉල්ලා සිටින දේශපාලන විසඳුම යනු 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම බව ඉතා පැහැදිලිය. අවස්ථා කිහිපයක දී ඉන්දීය අගමැතිවරයා මෙන්ම ජිනීවාහි ඉන්දීය තානාපතිවරයාද මෙවර 51 වැනි සැසියේදී එම අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබීය. ඒ අනුව මේ වන විට උත්සන්න වෙමින් පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඩයස්පෝරා ඩොලර් යොදාගත හැකි බවට ඇති කරන මහජන අපේක්ෂාව සමග බෙදුම්වාදීන්ගේ 13 වැනි සංශෝධන බලාත්මක කිරීමේ අපේක්ෂාව සමපාත කිරීම සඳහා විවිධ පාර්ශව විසින් උත්සාහයන් ගනු ලබන බව ඉතා පැහැදිලිව දැක ගත හැක. ඒ සඳහා එදා 1987 දී 13 සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම වැලැක්වීම සඳහා ඉහත සඳහන් කළ ආකාරයට 154 වන වගන්තිය යටතේ පනවා ඇති ව්‍යවස්ථාමය බාධක කිහිපය ඉවත් කළ යුතුය. දැන් විජේදාස රාජපක්ෂ මහතා විසින් දියත් කරනු ලබන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාන්විතයේ කාරක සභා අවස්ථාවේදී ඒ සඳහා උත්සාහ කරන බවට කිසිදු සැකයක් නැත.

 

එවැනි තත්වයක් තුළ ඇමරිකාවේ ක‍්‍රියාත්මක වන ‘ටැමිලස් ෆෝ බයිඩන්’ නැමැති සංවිධානය සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාව සුහදව වෙන්වීමට එකග වන්නේ නම් ඩොලර් මිලියන 52000ක විදේශ ණය ගෙවීම දෙමළ ඩයස්පෝරාව විසින් භාර ගන්නා බවය. එවැනි ප‍්‍රකාශ අතිශයෝක්තියෙන් සිදුකරන බව ඉතා පැහැදිලිය. නමුත් එමගින් ඔවුන්ගේ අවසාන අරමුණ කුමක්දැයි පැහැදිලි වේ. ඊට අනුව අර්බුදය හමුවේ ඊළම යනු මිලදී ගත හැකි අරමුණක් බවට ආකල්පයක් ප‍්‍රකාශ වේ.

 

කෙසේ වෙතත් ඔවුන් විසින් ප‍්‍රකාශයට පත් කරන ආකාරයට ලොව පුරා වෙසෙන මිලියන දෙකක් බව කියන ඩයස්පෝරා සාමාජිකයන්ගේ සමස්ත වත්කම් එකතු කළ ද ඩොලර් මිලියන 50000ක එකතු කළ හැකියැයි විශ්වාස කළ නොහැක. නමුත් ඊට පෙර උතුරු නැගෙනහිර පළාත් වල වාර්ෂිකව ඩොලර් මිලියන 500 බැගින්ආ යෝජනය කිරීමට තමා සූදානම් බවට එම සංවිධානය විසින් සිදුකළ ප‍්‍රකාශය පිළිගත හැක. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සහ මහ ඇමති අරමුදල් ප‍්‍රඥප්තිය සම්මත කිරීම යන කොන්දේසි පනවනු ලබන්නේ ඒ සඳහාය. ඒ අනුව ඩයස්පෝරාව ඉල්ලා සිටින සියළුම කප්පම් ලබා දුන්නද අර්බුදය පියමන් කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට විදේශ මුදල් ඔවුන් මගින් රට තුළට ගෙන්වා ගත නොහැකි බව ඉතා පැහැදිලිය.

 

කෙසේ වෙතත් ඩයස්පෝරා සංවිධාන වල සහ පුද්ගලයින්ගේ තහනම ඉවත් කිරීමෙන් පසු විවිධ පාර්ශව විසින් පළ කරන අදහස් අනුව එසේ තහනම ඉවත් කිරීමට අදාලව ප‍්‍රකාශිත අරමුණු තුනක් හඳුනා ගත හැක.

 

පළමුවැන්න ඉහත සඳහන් කළ ආකාරයට ඩොලර් අර්බුද විසඳා ගැනීම සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමය.

 

දෙවැන්න බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී පක්ෂ ජාතික ආණ්ඩුවක පාර්ශ්වකරුවන් බවට පත් කර ගැනීම සඳහා ඩයස්පෝරාව මගින් බලපෑම් කිරීමය. නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ජනාධිපති ලෙස පත් කිරීම සඳහා පැවැත්වූ ඡුන්ද විමසීමේ දී එම පක්ෂවල මන්ත‍්‍රීවරුන් ජාතික ආණ්ඩුවක් අරමුණු සහිතව රනිල් වික‍්‍රමසිංහ මහතාට ඡන්දය ප‍්‍රකාශ කළ බව රහසක් නොවේ.

 

තුන්වන අරමුණ ලෙස හඳුනාගත හැක්කේ මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල වන පීඩනය සමනය කරගැනීමය. එහිදී පැතිකඩ දෙකක් හඳුනාගත හැක. පළමුවැන්න ඩයස්පෝරා සංවිධාන වල තහනම ඉවත් කිරීම මගින් දේශපාලන විසඳුමකට ආණ්ඩුව සූදානම් බව පෙන්වීමය. දෙවැන්න ඩයස්පොරාවේ ඩොලර්වලින් නැටවෙන යස්මින් සුකා වැනි ප‍්‍රබල ජාත්‍යන්තර රාජ්‍ය නොවන ක‍්‍රියාකාරිකයින් මගින් මානව හිමිකම් කොමසාරිස්ගේ බලපෑම සමනය කිරීමය.

 

එසේ වුවත් ඩයසපෝරාවට කප්පම් ලබා දීම මගින් ඔවුන් තුලනය කිරීමේ වුවමනාව ඇති වන්නේ එම ප‍්‍රකාශිත අරමුණු ඉක්මවා යන ප‍්‍රබල හේතුවක් නිසා බව හඳුනාගත හැක. ඇත්ත වශයෙන්ම ඩයස්පෝරාව විශේෂයෙන්ම ඊනියා මධ්‍යස්ථ ඩයස්පෝරාව සමග ගනුදෙනු කළ යුතු බවට දේශපාලන උපායමාර්ගයක් ආණ්ඩුව විසින් තෝරා තෝරනු ලබන්නේ ආර්ථික අර්බුදය උත්සන්න වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටියදී ය. ඒ සඳහා ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ එකඟතාවය ලැබී තිබූ බවටද සාක්ෂි ඇත. ආණ්ඩුව ඒ සඳහා පොලබවනු ලබන්නේ විදේශ අමාත්‍යාංශයේ ෆාත්ෆයින්ඩර් උපදේශකයින් විසින් බවද ඉතා පැහැදිලිය. එවැනි යම් උපදේශකයින් මාධ්‍යයට හෙළිදරව් නොවන සාකච්ඡා මණ්ඩපවලදී ඒ ආකාරයට ඩයස්පෝරාව තුලනය කිරීම හෙවත් ආරක්ෂාකාරී ප‍්‍රවේශයක් අනුගමනය කළ යුතු බවට අදහස් දැක්වූ බව මෙම ලියුම්කරුට සහතික කළ හැක. එතැනට ආණ්ඩුවේ නායකයින් තල්ලූ කරනු ලබන්නේ ඊනියා යුද අපරාධ චෝදනා නම් වූ කෙවිට භාවිතා කරමින් බව ඉතා පැහැදිලි ය.

 

ආරක්ෂක හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා 46/1 යෝජනාව මගින් පත්කළ ජාත්‍යන්තර යාන්ත‍්‍රණය මගින් එකතු කළ තොරතුරු මේ වන විට සූදානම්කර ඇත. එම චෝදනා සහ සාක්ෂි වලට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන බැවින් ඒවා මත පදනම්ව ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ විවිධ රටවලදී නඩු පැවරීමේ හැකියාව ලැබේ. එසේ කළ යුතු බවට මෙවර සැසියේදී මහකොමසාරිස්වරිය විසින් අවධාරණය කරනු ලැබීය. ජාතික සංවිධාන සහ ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය වැනි ජාත්‍යන්තර ශ‍්‍රී ලාංකික සංවිධාන විසින් 2017 වසරේ සිට එවැනි තත්ත්වයක් වැලැක්වීම සඳහා අදාළ චෝදනා වලට විධිමත්ව පිළිතුරු බැඳිය යුතු බවට කරුණු දක්වනු ලැබීය. ආණ්ඩුව ඊට සවන් නොදෙන තත්ත්වයක් යටතේ එම සංවිධාන විසින් දේශිය මෙන්ම ජාත්‍යන්තර නීති සහ යුධ අපරාධ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබද විශේෂඥයින්ගේ උපදෙස් පවා ලබා ගනිමින් වාර්තාවක් හෙවත් විත්තිවාචකයක් සකස් කරන ලදී. ඒ සඳහා මැක්ස්වෙල් පරණගම කොමිසමේ දෙවන බල අධිකාරිය යටතේ කැඳවූ විශේෂ විශේෂඥ වාර්තා හයක් ද උපයෝගී කරගනු ලැබීය. එම වාර්තාව පිළිබඳව ඇගයීමක් සිදු කළ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා සහ බ්‍රිතාන්නී තිඥ ශ‍්‍රීමත් ජෙප්රි නයිස් මහතා සඳහන් කරනු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා පද්ධතියක් ලෙස යුද අපරාධ සිදු නොකළ බව එම වාර්තා මගින් ඉතා ප‍්‍රබල ලෙස තහවුරු කෙරෙන බව ය.

 

ඒ අනුව එම සංවිධානවල මැදිහත්වීම මත එම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද බාරදෙනු ලැබීය. එහෙත් එවැනි වාර්තාවක් නිල වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ රජය විසින් ස්වභාවික යුක්තිය එනම් චෝදනාවක් එල්ල වූ විට පිළිතුරු බැඳීමේ අයිතිය මත චෝදනාවලට එරෙහිව පිළිතුරු බැඳීම සඳහා නිල අවස්ථාවක් ලබා ගන්නේ නම් පමණි. එසේ වුවත් ඉහත සඳහන් කළ ෆාත්ෆයින්ඩර් උපදේශකයින්ගේ බලපෑම මත ආණ්ඩුව කල් මැරීම නිසා දැන් එම අවස්ථාව ගිලිහී ඇත. ඒ අනුව දැන් පැන නැගී ඇති ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමේ අවදානම යොදා ගනිමින් ඩයස්පෝරාව සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීම හෙවත් ඉහත සඳහන් කළ ආකාරයට ඩයස්පෝරාව තුලනය කිරීම නම් වූ ආරක්ෂණවාදී ප‍්‍රවේශය අනුගමනය කිරීම සඳහා ආණ්ඩුව පෙළඹවීමේ හැකියාව ලැබී ඇත. එම උපදේශකයින් සැමවිටම චෝදනා වලට පිළිතුරු බැඳීමේ හෙවත් ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයට එරෙහිව තර්ක ඉදිරිපත් කරනු ලැබුවේ එම උගුලට ආණ්ඩුව තල්ලූ‍ කිරීම සඳහා බව දැන් පැහැදිලි ව දැකගත හැක.

 

නමුත් සත්‍ය වශයෙන්ම සිදු විය හැකිදේ ඊට බෙහෙවින් වෙනස් බවට දෙමළ ඩයස්පේරාවේ ඉතිහාසය හදාරන්නෙකුට පැහැදිලි වේ. සියලූ‍ කප්පම් ලබාදීමෙන් පසුවද උදාහරණයක් ලෙස 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් 13වැනි සංශෝධනය බලාත්මක කිරීම වැනි ඉල්ලීම් ඉටු කිරීමෙන් පසුව ද ඔවුන්ගේ මාර්ග සිතියම වෙනස් නොවනු ඇත. එනම් යුද අපරාධ චෝදනාවලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලිය සැලසුම් කළ ආකාරයටම දියත්වනු ඇත.

 

ඒ අනුව ඩයස්පෝරාවට 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ කප්පම ලබාදීම මගින් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ ක‍්‍රියාවලියෙන් ගැලවිය හැකියැයි යමෙකු සිතන්නේ නම් එය සිහිනයක් බවට පත්වනු ඇත. එම තත්ත්වය සමාන කඵ හැක්කේ 89 භීෂණ සමයේදී බිල්ලා නමින් හැඳින්වූ ඔත්තුකරුවාගේ ඉරණමටය. පාවාදීම කළහොත් ඔවුන් නිදහස් කරන බවට ආරක්ෂක අංශ විසින් ඔවුන්ට පොරොන්දු ලබා දුන්නද උවමනා පුද්ගලයින් පාවා දීමෙන් පසුව බිල්ලා ද මරා දමනු ලැබීය.

 

ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී විශ්වාස කළ ආකාරයට මධ්‍යස්ථ ඩයස්පෝරාව යනුවෙන් යම් පාර්ශවයක් ක‍්‍රියාත්මක නොවන බව ද ඉතා කෙටි කලකින් පැහැදිලි වනු ඇත. එදා ප‍්‍රභාකරන් සහ සම්බන්ධන් යන පාර්ශවවලට බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව වෙනස් වගකීම් පැවරී තිබූ ආකාරයට ඩයස්පෝරාවේ මධ්‍යස්ථ හා අන්තවාදී යන පාර්ශ්වවලට එකම අරමුණට අදාලව වෙනස් වගකීම් පැවරෙන බව ඉතා පැහැදිලිය. බොහෝවිට ජාත්‍යන්තර අධිකරණ බලය අනුව නඩු පැවරීමේ ක‍්‍රියාවලිය දියත් වන විට තහනම ඉවත් කළ බලවත් සංවිධාන ඊට සෘජුව සම්බන්ධ නොවී දේශීයව සහ ජාත්‍යන්තරව යටිපෙළ ක‍්‍රියාන්විතය, විශේෂයෙන්ම රහසිගතව අරමුදල් සැපයීම, සිදු කරනු ඇත.

 

ඒ අනුව ඩයස්පෝරාව විසින් ඉල්ලා සිටින ප‍්‍රධානතම කප්පම වන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් 13වැනි සංශෝධනය බලාත්මක කිරීම සිදුකළහොත් ජාත්‍යන්තර මැදිහත්වීම මත ඉතා කෙටි කලකින් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුමට ලගාවන බවට කිසිදු සැකයක් නැත. එම ක‍්‍රියාවලියට අදාලව ආරක්ෂක හමුදා දුර්මුඛ කිරීමේ සහ දුර්වල කිරීමේ ක‍්‍රියාවලිය ගෝල්ෆේස් අරගලයෙන් ආරම්භ වූ අතර එය යාපනය සහ ත‍්‍රිකුණාමලය දක්වා දීර්ඝ කිරීමද සිදුවනු ඇත. ඒ අනුව හමුදා කඳවුරු ඉවත් කිරීමේ ක‍්‍රියාන්විතය ඊට සමගාමීව ආරම්භ වන බවට සැකයක් නැත. එම ක‍්‍රියාවලියේ උච්චතම අවස්ථාවට ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම මගින් ළඟා වනු ඇත.

 

එම ක‍්‍රියාවලිය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හිටපු සහ දැනට සේවයේ නියුතු ආරක්ෂක හමුදා ප‍්‍රධානීන් 58 දෙනෙකුට එරෙහිව විවිධ රටවලදී නඩු පැවරීම සිදු වනු ඇත. ඒ මගින් ආරක්ෂක හමුදා දුර්වල කිරීම යනු බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසාන අදියර සඳහා අවශ්‍ය වන පූර්ව කොන්දේසියකි. 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව එම අවසාන සැතපුම සඳහා ගමන ආරම්භ වනු ඇත. එම ක‍්‍රියාවලිය තුළ රට තුළ සිටිමින් මැදිහත්වීම සඳහා අවශ්‍ය වන ජාත්‍යන්තර යාන්ත‍්‍රණය සත්‍ය සෙවීමේ කොමිෂම මගින් සම්පූර්ණ වනු ඇත. ඒ අනුව මෙවර 51/1 යෝජනාව තුළ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් පළාත් සභාවලට බලතල ලබාදීම සහ සත්‍ය සෙවීමේ කොමිසම යන කොන්දේසි දෙක ඉදිරිපත් වන බවට සැකයක් නැත.

 

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

 

 

 

ජනතාව බදු බරේ ගිලුනේ මෙහෙමයි… ආර්ථික විද්‍යා වාර්තාවකින් එළියට

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේ දී සියයට 42 කින් පමණ වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් කෙරුණු පරීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇත.

 

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක්( සිවු දෙනකුගෙන් යුතු ) මාසයකට රුපියල් 28,000 බදු මුදලක් රජයට ගෙවන බව එම පරීක්ෂණයේදී  තොරතුරු හෙළි වූයේ යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා  ලංකාදීපයට පැවැසීය.

 

භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාව මත පැටවුණු වක්‍ර බදු බර 2021 සිට  2022 දක්වා කාලයේදී තුනකින්  පමණ වැඩිවී ඇති බව  පවසන මහාචාර්යවරයා සාමාන්‍ය පවුලක් මාසයකට ගෙවන වක්‍ර බදු ප්‍රමාණය
රජයේ නව බදු සංශෝධන හේතුවෙන් රුපියල් 4000 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයිද සඳහන් කළේය.

 

ජාතික දරිද්‍රතා මායිමේ සිටින පවුලක් මේ වසරේ ජූලි මාසයේදී   රුපියල්  3900 ක වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව ගෙවූ බවත් ඒ අනුව එම පවුලක්  දිනකට රජයට ගෙවූ වක්‍ර බදු ප්‍රමාණය රුපියල් හාරසිය හැටක් බවත්  ඔහු කීවේය.

 

ලංකාවේ දුප්පත්ම පවුල්  සියයට 10 ගත්විට( පවුල් පන් ලක්ෂ හැත්තෑ දහසක්) රුපියල් 6700 වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව රජයට ගෙවන බව පවසන වසන්ත අතුකෝරළ මහතා  සමෘද්ධියෙන් රුපියල් 4500ක්  ලැබුණද මේ වක්‍ර බදු ප්‍රමාණය නිසා ඔවුන් රුපියල් 2,200 ක පමණ ශුද්ධ අලාභයක් ලබන බවද  සඳහන් කළේය.

 

එම දුප්පත් පවුල්වලින් රජය මාසිකව වක්‍ර බදු ලෙස ලබාගන්නා මුදල් ප්‍රමාණය ඔවුන්ගේ ආදායමෙන් සියයට නවයක් බවද ඔහු පැවසුවේය.

 

පහළම  ආදායම් ලබන සියයට 30ගත්විට ඔවුන් රජයට මාසිකව   රුපියල්  10,600 ක මුදලක් වක්‍ර බදු වශයෙන්  ගෙවන බවත් එය ඔවුන්ගේ ආදායමෙන් සියයට තිස් එකක් බවත්  හෙතෙම ප්‍රකාශ කළේය.

 

මේ අතර ඉහළ පරිභෝජන මට්ටමක් පවත්වා ගෙන යන පවුල් සියයට තිහ ගත්විට ඔවුන් මාසිකව රජයට වක්‍ර බදු වශයෙන් රුපියල් 56,000 ක් ගෙවන බවද  අතුකෝරල මහතා පැවසීය.

 

මාසයකට රුපියල් ලක්ෂයකට වඩා ආදායම් උපයන පවුල් ලක්ෂ 11කට වැඩි ප්‍රමාණයක් රටේ සිටින බව ප්‍රකාශ කරන මහාචාර්යවරයා රටේ පොහොසත්ම පවුල් සියයට  10 ( පවුල් 570000ක් ) මාසිකව උපයන ආදායම රුපියල් දෙලක්ෂ තිස්පන්දහසකට  වැඩි බවද  ප්‍රකාශ කළේය.

 

ලංකාවේ ඍජු බදු ගෙවන්නන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් එය සමස්ත ජනගහනයෙන් සියයට 1.3ක් බවත් ඔහු පැවසුවේය.

 

රජයට බදු ගෙවන සේවා නියුක්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 3.6ක්  බවද අතුකෝරල මහතා පැවසීය.

 

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අසාධාරණ බදු ක්‍රමයක් බවත්  රජය සිය මුළු බදු ආදායමෙන් සියයට හැත්තෑවක් උපයාගන්නේ වක්‍ර බදු වලින් බවත්  ඔහු කීවේය.

 

ජනතාව මත පැටවෙන මෙම වක්‍ර බදු උද්ධමනයට සෘජුවම බලපාන බව වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.

 

Whatsapp Group සමගින්  ක්වන්න