Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

international-news

චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

අමෙරිකානු විදෙස් ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා මේ වනවිට චීනයේ සංචාරය කරයි.

 

එහිදී ඔහු චීනයේ ප්‍රධාන පෙළේ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

ඔහු අද (26) චීන විදෙස් අමාත්‍ය වැන්ග් යී සමග බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වීය.

 

එහිදී වැන්ග් යී පවසා ඇත්තේ චීනය සහ අමෙරිකාවට “ස්ථායිතාව සහ කඩා වැටීම” යන කාරණා දෙකෙන් එකක් තෝරා ගැනීමට අවස්ථාව ඇති බවයි.

 

මෙය බ්ලින්කන් වසරක් තුළ චීනය ට පැමිණි දෙවැනි අවස්ථාව වෙයි.  ගැටලු මතුවී ඇති දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් වෙයි.

විශේෂයෙන් ම චීනය විසින් රුසියාවට සහාය දැක්වීම මෙන්ම දකුණු චීන මුහුදේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ තායිවානය ට එරෙහිව මතු කෙරෙන ආක්‍රමණශීලීත්වය ඒ අතර ඇති ප්‍රමුඛ ගැටලු වෙයි.

 

 

ඉන්දියානු පුරවැසියන් 66,000 කට අමෙරිකානු පුරවැසිභාවය

ඉන්දියානු පුරවැසියන් 66,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු පුරවැසිභාවය ලබා දී ඇති බව වාර්තා වේ.

 

අමෙරිකානු ප්‍රජා සමීක්ෂණ දත්ත වාර්තාවකට අනුව එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

 

ඒ අනුව ඉන්දියානුවන් 65,960 දෙනෙකු නිල වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් බවට 2022 වසරේ දී පත්ව ඇත.

 

එම වර්ෂයේ දී මිලියන 46ක විදේශිකයන් පිරිසක් එක්සත් ජනපදයේ වාසය කර ඇති බව ඇස්තමේන්තු කර ඇති අතර එය මිලියන 333 ක් වූ සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 14 %ක් වන බව ද වාර්තා වේ.

 

 

තායිවානයේ භූ කම්පන වැලක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

එම භූ කම්පනයත් සමග තවත් භූ කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් ඇති වූ අතර සමහරක් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවීමට හේතු වූ බව එ රට කාලගුණ පරිපාලනය අංශය පවසයි.

 

එම භූමිකම්පා ග්‍රාමීය නැගෙනහිර ප්‍රාන්තයේ හුආලියන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන සිදුව  ඇත.

 

පසුගිය  අප්‍රේල් 3 වන දින 7.2 ක කම්පනයකින් පසු අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙක් මිය ගියහ.

 

එතැන් සිට තායිවානය පසු කම්පන සිය ගණනක් වාර්තා වී ඇත.

 

 

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ගිනි තබාගෙන ඇත්තේ ෆ්ලොරිඩාහි පදිංචි මැක්ස් අසරෙල්ලෝ නැමැති පුද්ගලයෙකු බව නිව් යෝර්ක් පොලිසිය ප්‍රකාශ කළේය.

 

ගිනි තබා ගැනීම හේතුවෙන් අසරෙල්ලෝ බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව නිව් යෝර්ක් පොලිසිය පැවසුවේය.

 

අසරෙල්ලෝ සිරුරට ගිනි තබා ගැනීමට ප්‍රථම තමන් සොයා ගත් කුමන්ත්‍රණයක තොරතුරු වෙත සියල්ලගේම අවධානය යොමු කිරීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට පෙළඹුණු බව පවසමින් අන්තර්ජාලය තුල සටහනක් තබා තිබිණි.

 

පසුව දැඩි ආරක්ෂාව යටතේ ට්‍රම්ප්ගේ නඩුව නිව් යෝර්ක් අධිකරණ සංකීරණයේ පහළොස් වැනි මහලේදී කැඳවූ අතර එහිදී නඩු විභාගය සඳහා අවශ්‍ය ජූරි සභිකයින් 18 දෙනා තෝරාපත් කරගෙන අවසන් කර ඇත.

 

එම ජූරි සභිකයින් 18 දෙනාට ස්ථිර ජූරි සභිකයින් 12 දෙනෙකු සහ අතිරේක ජූරි සභිකයන් සය දෙනෙකු ඇතුළත් වේ.

 

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල් සඳහා 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඩොලර් 130,000 මුදලක් ගෙවීම ඇතුළු එවකට සිදුවූ තවත් මුදල් ගනුදෙනු කිහිපයකට අදාළව අසත්‍ය ව්‍යාපාරික වාර්තා ගොනු කිරීම සම්බන්ධයෙන් චෝදනා 34 ක් යටතේ මෙම නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇත.

 

 

අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ඔහු පිහි ඇනුමට ලක්වන ආකාරය පිළිබඳ දැක්වෙන නිර්මාණය කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයේ සීඝ්‍රයෙන්  හුවමාරු වන බවත් එම වීඩියෝවේ අගරද ගුරුවරයා අල්තාරය මත දී පිහි ඇනුමට ලක්වන අයුරු දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු අගරදගුරුවරයාට සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට පිහියෙන් ඇන ඇති බවත් නිව් සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කළේය.

 

නමුත් පිහි ඇනුමට ලක්වූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසුවේය.

 

 

ඉරානය ඊශ්‍රායලයට පහර දෙයි…

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. බැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊශ්‍රායලය වහා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

 

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වෙද්දී, ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය, එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවත්, ගුවන් කලාපය වසා දැමීමට තීරණය කළ බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

 

තමන් ඊශ්‍රායලයට පහර දෙන බැවින්, ඊශ්‍රායලයේ මිතුරා ඇමෙරිකාව ‘පැත්තකට වී සිටියොත් හොඳයි’ යැයි ඉරානය ඇමෙරිකාවට ද තර්ජනය කර තිබුණි. ඉරානයේ එම තර්ජන මැද, ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස, ඇමෙරිකන් යුද නැව් ගල්ෆ් කලාපයට යැවීමට ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.

 

ඉරානය මෙසේ ඊශ්‍රායලයට පහර දීමට තීරණය කළේ, මීට දින කීපයකට පෙර, ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි ඉරනා කොන්සල් කාර්යාලය විනාශ වීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.

 

 

ලෝවක් හෙල්ලූ බිලියනපතිනියට මරණ දඬුවම

වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ Truong My Lan ට මරණ දඬුවම නියම කර තිබේ.

 

මෙම නඩු විභාගය සැලකුණේ වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් ලෙසට ය.

 

ඒ මෙතෙක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාගයකි.

 

ධනවත් කාන්තාවක් වන 67 හැවිරිදි Truong My Lan දේපොළ සංවර්ධන ව්‍යාපාර හිමි කාන්තාවකි.

 

වසර 11ක් පුරා ඩොලර් බිලියන 44ක් වංචාකර ඇති බවට ඇයට  එල්ලවී තිබූ ප්‍රධාන චෝදනාව විය.

 

 

ඇමෙරිකාවට අද සූර්ය ග්‍රහනයක්

ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ.

 

උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස යැයි නාසා ආයතනය පැහැදිලි කරයි.

 

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරද්දීය.

 

පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා කියයි.

 

 

නේටෝවෙන් යුක්‍රේනයට යුද ආධාර

යුක්‍රේනයට ඩොලර් බිලියන 107ක යුධ ආධාර ලබාදීමට නේටෝ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

නේටෝ සංවිධානයට අයත් සියලු රටවල් අද (04) රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතයි.

 

නේටෝ සංවිධානය අවස්ථා රැසකදීම යුක්‍රේනයට යුධ ආධාර ලබා දී තිබෙනවා.

 

 

කච්චතිවු ලංකාවට දුන්නාට මෝදිට හොදටම කේන්ති ගිහින්

එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කළේය.

 

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගත් තොරතුරු මත 1974 වසරේදී ඉන්දිරා ගාන්ධි මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දීමට කටයුතු කර තිබෙන බවට අනාවරණය වීම හේතුවෙන් මෝදි මහතා මෙලෙස කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර ඇත.

 

කච්චතිව් ප්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්දැයි පිළිබඳ සැමගේ දෑස් මේ වනවිට විවර වී ඇති බවත් ඉන්දියාවේ පැරණි පක්ෂයක් වූ කොංග්‍රස් පක්ෂය රටේ එකමුතුකම සහ අඛණ්ඩතාව දුර්වල කර ඇති බවත් මෝදි මහතා පැවැසුවේය. ඉන්දිරා ගාන්ධි මහත්මිය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයෙන් පසුවන බවත් කොංග්‍රස් පක්ෂය විශ්වාස කළ නොහැකි බවට මතයක් ඔවුන්ගේ සිත්වල ගොඩ නැගී ඇති බවත් මෝදි මහතා ප්‍රකාශ කළේය.

 

රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කච්චතිව් දූපත සාම්ප්‍රදායිකව දෙරටේම ධීවරයින් විසින් භාවිත කරන ලදී.නමුත් 1974 වසරේදී එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය විසින් කච්චතිව් දුපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබිණ.