Press "Enter" to skip to content

Posts published in “ජනමතය”

articles

යුක්රේන යුද හමුදා සෙබළුන් 65 දෙනා මිය ගිය සිද්ධියේ සංක්ෂිප්ත විවරණය

රුසියානු හමුදාවට අයත් IL-76 ප්‍රවාහන ගුවන් යානය යුක්‍රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 90ක් (සැතපුම් 55ක්) පමණ දුරින් පිහිටි බෙල්ගොරොඩ් ප්‍රදේශයට කඩා වැටුණේ රුසියානු හමුදා විසින් අත් අඩංගුවට ගත් යුක්රේන හමුදා නිලධාරීන් 65 දෙනෙකු රැගෙන යමින් සිටියදීය. කියෙව් හමුදා විසින් යානය වෙඩි තබා බිම හෙළූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශ කර ඇත.

 

සිදු වූ දේ සම්බන්ධයෙන් වන සංක්ෂිප්තය.

 

ගුවන් අනතුර

 

ඊයේ (2) මොස්කව් වේලාවෙන් 11:15 ට වාර්තා වූයේ, යුක්රේන යුද හමුදාවෙන් අත් අඩංගුවට ගත් භටයන් රැගත් IL-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයක් යුක්රේනයට යාබද බෙල්ගොරොඩ් කලාපයේ කොරොචාන්ස්කි දිස්ත්‍රික්කයේ යබ්ලොනොවෝ ගම්මානය අසල කෙතකට කඩා වැටී පුපුරා ගොස් ඇති බවයි.

 

අනතුර සිදුවන අවස්ථාවේදී ජංගම දුරකතන වලින් ලබාගත් වීඩියෝ  දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීමට සමහරු කටයුතු කර තිබුනහ.

 

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යානය චකලොව්ස්කි ගුවන් තොටුපලේ සිට බෙල්ගොරොඩ් දක්වා පියාසර කරමින් සිටි අතර කියෙව් පාලනය සමඟ සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනකට අනුව යුක්‍රේන හමුදා නිළධාරින්  ප්‍රවාහනය කරමින් සිටියේය. යුද සිරකරුවන් හැරුණු විට කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සහ තවාත් පුද්ගලයින් තිදෙනෙකු ද විය.

 

බෙල්ගොරොඩ් කලාපයේ ආණ්ඩුකාර වියචෙස්ලාව් ග්ලැඩ්කොව් පවසන පරිදි අනතුරින් යානයේ සිටි සියලුම දෙනා මිය ගොස් තිබේ. කෙසේ වෙතත්, යානය කඩාවැටීමෙන් ගොඩනැගිලිවලට හෝ පුද්ගලයින්ට කිසිදු හානියක් සිදු නොවූ අතර,යානයට වෙඩි වැදුණු ස්ථානයේ සිට ළඟම ඇති ගම්මානයට කිලෝමීටර් පහක් හෝ හයක් පමණ ඈතින් යානය ගොඩ බැස්සවීමට ගුවන් නියමුවා කටයුතු කර ඇත.

 

රුසියානු නිලධාරීන්ට අනුව, සිද්ධිය වන විට අතිරේක යුක්රේන යුද හමුදා භටයින් 80 දෙනෙකු රැගත් තවත් ගුවන් යානයක් ද රුසියානු ගුවනේ තිබී  ඇත.රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩ්‍රෙය් ඛර්ටපොලොව් පවසන පරිදි පළමු ගුවන් යානය කඩා වැටීමෙන් පසු දෙවන ගුවන් යානය හරවා යැවීමට බලධාරින් කටයුතු කරන ලදී.

 

හේතුව කුමක්ද?

 

මෙම සිද්ධියෙන් පසුව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියෙව් හමුදාවන් ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් භාවිතා කරමින් යානය වෙඩි තබා බිම හෙළූ බවට චෝදනා කළේය. යුක්‍රේනයේ කාර්කොව් කලාපයේ ලිප්ට්සි ගම්මානයේ සිට යුක්රේන මිසයිල දෙකක් දියත් කිරීම රුසියාවේ අභ්‍යවකාශ බලකායේ රේඩාර් පද්ධතිය වාර්තා කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 

යුක්රේන පාර්ශවයට ගුවන් යානය පිටත්වීමට නියමිත වේලාවට පෙර ගුවන් යානය පිළිබඳව දැනුම් දුන් බවත්, එය යුද සිරකරුවන් රැගෙන යන බව දැන සිටි බවත්, සිරකරුවන් හුවමාරුව කොලොටිලොව්කා මුරපොලේදී සවස් වරුවේ සිදු කිරීමට නියමිත බව අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

 

යානයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ යුක්රේන මාධ්‍ය වාර්තා 

 

කඩා වැටීමෙන් සුළු මොහොතකට පසු, යුක්රේන මාධ්‍ය ආයතනයක් වන Ukrainskaya Pravda පුවත් සේවය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ, කියෙව් හමුදාව  විසින් යානය වෙඩි තබා බිම හෙළූ බවට තහවුරු කර ඇති බවත්, යානය S-300 මිසයිල රැගෙන යන බවට විශ්වාස කරන බවත් පවසා ඇති බවයි.

 

කෙසේ වෙතත්,එම වාර්තාව ප්‍රචාරය කිරීමෙන් සුළු මොහොතකට පසු, පුවත් සේවය වාර්තාව සංස්කරණය කරමින්, කියෙව් පාලනය විසින් ගුවන් අනතුර ගැන දැන සිටි බව තහවුරු කළ නමුත් එය යුක්‍රේන යුද හමුදා සිරකරුවන් බව තහවුරු කළ නොහැකි වූ බව පමණක් ප්‍රකාශ කළේය.

 

මේ අතර, රුසියාව සමඟ සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් ඇත්ත වශයෙන්ම ඊයේ(24) දිනට නියමිතව තිබූ බව කියෙව් ආන්ඩුවේ  මූලාශ්‍ර උපුටා දක්වන එක්සත් ජනපද රාජ්‍ය අරමුදල් සපයන රේඩියෝ ලිබර්ටි වැනි අනෙකුත් බටහිර මාධ්‍ය ආයතන තහවුරු කර ඇතත්, වැඩිදුර අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලඛී ඇත.

 

කියෙව් හමුදාවේ බුද්ධි අංශ

 

යුක්රේන බුද්ධි සේවයේ නියෝජිතයෙකු වන Andrey Yusov ද  සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන්ක් 24 වනදාට යෙදී තිබූ බව තහවුරු කළේය.

 

මේ අතර, යුක්‍රේන යුද සිරකරුවන් සම්බන්ධ කරුණු සඳහා වන යුක්‍රේන සම්බන්ධීකරණ මූලස්ථානය සැලසුම් කර තිබූ සිර කරුවන් හුවමාරු කරගැනීමේ වැඩසටහන තහවුරු කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් විග්‍රහ කිරීමෙන් වළකින ලෙස මාධ්‍ය සහ එහි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි අතර, “අවශ්‍ය සියලු තොරතුරු රැස්කර විශ්ලේෂණය කරන” බව පමණක් ප්‍රකාශ කළේය. යුක්රේන සමාජය අස්ථාවර කිරීමේ අරමුණින් රුසියාව “ක්‍රියාකාරීව විශේෂ තොරතුරු මෙහෙයුම් ක්‍රියාත්මක කරන” බව ද එම ආයතනය අවධාරණය කරනු ලැබීය.

 

රුසියාවේ ප්‍රතිචාර

 

රුසියාවේ රාජ්‍ය ඩූමා ආරක්ෂක කමිටුවේ ප්‍රධානී ඇන්ඩ්‍රේ කාර්ටපොලොව් ප්‍රකාශ කළේ බටහිර රටවල නිෂ්පාදිත පේට්‍රියට් හෝ අයිරිස්-ටී ගුවන් ආරක්ෂක මිසයිල භාවිතයෙන් IL-76 වෙඩි තබා ඇති බවයි. කියෙව් සමඟ තවදුරටත් සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා නතර කිරීමට යෝජනා කර ඇති අතර යුක්රේනය නිල වශයෙන් ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙසත් එහි ආණ්ඩුව ත්‍රස්තවාදී ගුබ්බෑයක් ලෙස හංවඩු ගැසිය යුතු බව අවධාරණය කළේය.

 

රාජ්‍ය ඩූමා සභාපති වියචෙස්ලාව් වොලොඩින් රුසියානු නීති සම්පාදකයින්ගෙන් එක්සත් ජනපදයට හා ජර්මනියට විධිමත් ලෙස කරුණු දක්වාන ලෙස ඉල්ලා ඇති අතර, කියෙව්හි “නාසි පාලන තන්ත‍්‍රයට” සක්‍රීයව සහාය දීම නතර කරන ලෙසද ඉල්ලා ඇත.

 

මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මොස්කව් හමුදාවන්ට මඩ ගැසීමට උත්සාහ කරමින්, කියෙව් තම පුරවැසියන්ට එරෙහිව මෙම “ත්‍රස්තවාදී ක්‍රියාව” සිදු කිරීමෙන් නැවත වරක් “එහි සැබෑ ස්වරූපය” පෙන්වා ඇති බවයි.

 

රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ, මෙම “නොසැලකිලිමත් ම්ලේච්ඡ” ක්‍රියාව කියෙව් සමඟ අනාගත ගිවිසුම්වලට එළඹීමේ හැකියාව ප්‍රශ්න කරන බවත්, යුක්රේන බලධාරීන් අවසානයේ ඔවුන් ලබා දෙන ඕනෑම සහතිකයක් කඩ කරන බවට “සැකයක් නැති” බවද අවධාරණය කර ඇත.

 

හිටපු රුසියානු ජනාධිපති සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ වත්මන් උප සභාපති දිමිත්‍රි මෙද්වදෙව් යෝජනා කර ඇත්තේ ඓළ්-76 බිම හෙලීම “කියෙව්හි නව-නාසි ප්‍රභූන්” අතර හට ගෙන ඇති අභ්‍යන්තර දේශපාලන කැලඹීමේ ප්‍රතිඵලයක් විය හැකි බවයි. යුක්රේන ආණ්ඩුව තම බලය සහ මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේම හමුදා සහ යුද හමුදා භටයින් ඝාතනය කිරීම සහ තමන්ගේම නගරවලට බෝම්බ හෙලීම දිගටම කරගෙන යන බැවින් “අනාගතයේදී එය වඩාත් නරක වනු ඇත” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

 

-පරිවර්තනය – ජීවන්ත ජයතිස්ස

https://www.rt.com/russia/591220-russia-il76-crash-recap/

 

 

කෝප් ලොක්කා ක්‍රිකට් පරීක්ෂණයෙන් ඉවතට

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ  විමර්ශන කටයුතුවලින්  ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ  සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇත.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ  මූලිකත්වයෙන් පැවැත්වීමටද එහිදී තීරණය කර ඇත.

 

කෙසේ වෙතත් මෙය රංජිත් බණ්ඩාර මහතා ඇතුළු  කමිටු සාමාජිකයන් සමග  සාකච්ඡා කිරීමෙන් අනතුරුව කළ යුතු බවටද  කතානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

 

මේ අතර කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණද  එය කල් යන ලකුණු පහළව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

 

කෝප් කමිටුවේ සභාපතිවරයා සභාපතිවරයාට එරෙහිව එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුද අත්සන් කළ යුතු බව  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.

 

එසේම විශ්වාසභංග යෝජනාවක් සම්මත කළද කෝප් කමිටු සභාපතිවරයා ඉවත් කළ හැක්කේ එම යෝජනාව සම්මතවීමෙන් වසරකට පසුව බවද  පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන්නේ  යැයි  පාර්ලිමේන්තු  නිලධාරියෙක් පැවැසීය.

 

මේ හේතුවෙන් මේ අවස්ථාවේදී විශ්වාසභංග ගෙන ඒමෙන් ප්‍රතිඵලදායී නොවන බව නීති විශාරදයන් සමගි ජන බලවේගය පක්ෂයට පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත

 

කෝප් කමිටුවේ  සභාපතිවරයා  සහ  ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය අතර බැඳියාවන් අතර ගැටුමක් පවතින හෙයින්  ඔහු  එම ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතුවලින්  වහාම  ඉවත් කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාට පසුගිය දිනවල දිගින් දිගටම පෙන්වා දුන්හ.

 

ක්‍රිකට් අර්බුදයෙන් පසු තාවකාලිකව නතර කෙරුණු කෝප් කමිටුවේ විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමටද එහිදී   එකඟත්වයට පැමිණ ඇත.

 

 

බරවායට පිටිකර බැඳීම හෙවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ මෝඩ කැකිල්ලේ තීන්දු

පසුගියදා පැවැති කෝප් කමිටුවේ දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරුණු දක්වමින් තහවුරු කරන ලද්දේ විවිධ හේතු මත මේ වසර තුළදී පමණක් වෛද්‍යවරුන් නමසිය පනස් හත් දෙනෙක් සේවයෙන් ඉවත්ව ගිය බවයි

 

එහෙත් එසේ සේවය හැර යන වෛද්‍යවරුන් රඳවා ගැනීමට මේ දක්වා නිසි වැඩපිළිවෙලක් නොමැති අතර කෝප් කමිටුවේ දී කරුණු පැහැදිලි වූයේ විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරුන් නැවත බදවා ගැනීමට ද නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි

 

එසේම රට තුළ වෛද්‍යවරුන් 2500 ක හිඟයක් ඇති බව ද එහිදී ප්‍රකාශ විය

 

මේ වසරේ නොවැම්බර් මාසෙදි තවත් රජයේ වෛද්‍ය පීඨ වලින් දහසක් පමණ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයෙන් විදේශ විශ්වවිද්‍යාලවල පුහුණුව ලැබූ වෛද්‍යවරුන් සමග 1500 , කට අධික ප්‍රමාණයක් සේවයට එක්වීමට නියමිතව ඇත

 

ඉහත දක්වා ඇති වෛද්‍යවරුන් අතරින් කී දෙනෙක් රට හැර යාවි දැයි කිසිවෙක් දන්නේ නැත

 

වෘත්තිකයන් රට හැර යාමට විශේෂ හේතූන් ඇති අතර වැටුප අවම වීම දිනකට පැය හතරකට වඩා අතිකාල සේවය යෙදුණොත් ලබා ගත හැකි පැය ගණන සීමා වීම එසේ ලබා ලබා ගන්නා වැටුපට ගෙවනු ලබන බදු සහ ලබා ගන්නා බදු මේ රටේ යහපත වෙනුවෙන් යෙදවෙන්නේ නැති බව පැහැදිලිව දැන ගැනීම

 

රට තුළ පවත්නා උද්ධමනය උසස් වීමේ දී නිරතවන තනතුරු වලට සරිලන වැටුප් ව්‍යූහයන් සකස් නොවීම අදාල වෛද්‍යවරුන්ගෙන් සේවය රටපුරා ලබාගැනීමේදී විවිධ ප්‍රදේශ වලට මාරු කරමින් නිසි ක්‍රමවේදයකින් තොරවීම වෘත්තියෙහි කෙතරම් කැපවීම් කළත් එයට සරිලන මානසික තෘප්තියක් නොලැබීම යන කරුණු විශේෂයෙන් එයට අදාළ වේ

 

එවන් පසුබිමක රට හැර යන වෛද්‍යවරුන් නවතා ගැනීමට එවැනි ගැටලුවලට පිළියම් යොදනු විනා අපූරු කැකිල්ලේ තීන්දුවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ

 

එය අපූරුම තීන්දුවකි කැකිල්ලේ ම තීන්දුවකි

 

විශේෂඥ වෛද්‍යවරයෙක් වීමට ප්‍රථම මෙරට දී වසර හතරක් පහක් එම සේවය වෙනුවෙන් පුහුණු විය යුතු අතර ,පශ්චාත් උපාධි ආයතනයට අනුයුක්තව රෝහල් වල සේවය කරන අමතර රාජකාරි වලට ගෙවන අතිරේක සේවා දීමනාවද සෑම විටම ලැබෙන්නේ නැත.

 

දළ වශයෙන් මාසිකව රුපියල් එක්ලක්ෂ හාර දහසක් පමණ වැටුපක් ලබන අතර එය ඔහු විසින් තමන්ගේ ජීවන පැවැත්ම අඹු දරුවන් පෝෂණය කිරීම වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් ද යන්න වෙනම සිතා බැලිය යුතු කාරණයකි

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ අමුතු කැකිල්ලේ තීන්දුව ලබාදී ඇත්තේ මෙරට දී සේවය කල එම වසර හතරක හෝ පහක වැටුපද විශේෂඥ සේවයට ලබාදුන් වැටුපක් ලෙස අර්ථකථනය කරමින් අපූරු කැකිල්ලේ තීන්දුවක් ලබා දීමයි

 

සීමාවාසික වෛද්‍ය වරයෙක් පැය 24 පුරා වසරක් එක දිගට රුපියල් පනස් හතර දහසක මාසික වැටුපකට සේවය කිරීම නිවැරදිව ගණනය කළහොත් එය ඔහු හෝ ඇය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීම වෙනුවෙන් වෙනුවෙන් රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවා අවසානය

 

එවැනි ම ආකාරයෙන් මෙරට දී පශ්චාත් උපාධිය සඳහා පුහුණුවන වෛද්‍යවරයෙක් තමන්ගේ වැටුප පමණක් ලබාගෙන කිසිදු අතිකාල දිමනාවක් ලබා නොගෙන රෝහල් තුළ කාල සීමාවක් නොමැතිව වසර පහක් හෝ හතරක් මෙරටට සේවය ලබාදීම ම ඔහු හෝ ඇය පශ්චාත් උපාධිය වෙනුවෙන් විදේශයට වියදම් කරන මුදල වෙනුවෙන් කරන සේවය ගණනය කළහොත් එය මගින්ම නිශේධනය කළ හැකි වේ

 

රට යන දොස්තරලා රඳවා ගැනීමට ඔවුන්ගේ ජේෂ්ඨ තාවය මත උසස්වීම් මත වැටුප් හා දීමනා ගෙවීමටත් ඔවුන්ගේ ඉගෙනීමේ සුදුසුකම් මත රටේ අනෙකුත් ඒ හා සමාන නිලධාරීන්ගේ වැටුප් තල වලට සමාන වැටුපක් ගෙවිය යුතු වුවත් එමඟින් රට යන දොස්තරවරු මෙරට තුළ තුළ රඳවා ගැනීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු වුවත්

 

එවැනි කරුණු උපයෝගී කරගනිමින් රට හැරදා යන දොස්තරවරුන් මෙරට තුළ රඳවා ගැනීමට හැකියාවක් සහ අවශ්‍ය වැඩපිළිවෙළ සැකසිය යුතු වුවත් එසේ නොකොට කැකිල්ලේ තීන්දු ලබාදීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ පරිපාලනය දුර්වලතාව මැනවින් ප්‍රදර්ශනය කර ඇත

 

එය එසේ නොවේ නම් කෝටි 35 කට අධික බාල බෙහෙත් ගෙන්වා ඒවා විනාශ කර දැමීමට සිදු වන්නේද නැත

 

විශේෂඥ වෛද්‍ය වරයෙක් විදේශ රටක සේවයට යන විට අත්සන් කරන බැඳුම් කරයට, පශ්චාත් උපාධි සමයේ තමා කල සේවයට ලැබූ වැටුපද අයකර ගැනීමට මාන බැලීමේ අපූරු කැකිල්ලේ තීන්දුවක් ඇතැම් වෛද්‍ය පරිපාලන අධ්‍යක්ෂ වරුන් එක්වී ක්‍රියාත්මක කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම උපදෙස් දෙන්නේ නම් එවැනි විහිළු සහගත අමාත්‍යාංශයක් ලොවෙත් නැති ලොවි ගහෙත් නැත

 

මෙහිදී අනෙක් විශේෂ කරුණ වන්නේ, රාජ්‍යය පරිපාලන සේවයේ නිලධාරීන් හෝ අමාත්‍ය වරයාට හෝ කැබිනට් මණ්ඩලයට එහා ගිය අමාරුවක්, කුලප්පුවක් වෛද්‍ය වරුන් විදේශ වීම වැලැක්වීමේ නීති දැමීම සඳහා වෛද්‍ය වරුන් වෛද්‍ය පරිපාලකයන්ටම සෑදී තිබීමයි

 

එය ඉදිරියේදී මානව හිමිකම් නඩු වලට පවා හේතුවක් විය හැක

 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට අනාගතයේදී දෙවියන්ගේ පිහිට පැතීම හැර විද්‍යාත්මක පිහිට පැතීමට හැකියාවක් නැති බව එමගින් වැඩිදුරටත් පෙන්නුම් කර ඇත

 

මෙවැනි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ලෝකයේ කොහේවත් දැකීමට හැකියාවක් නැති වනු ඇත

 

ලෝකයේ අඩුම පිරිවැයක් සෞඛ්‍යය සහ අධ්‍යාපනය වෙනුවෙන් දරමින් සිටින රටක් වන ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය දර්ශක අතින් ඉතා ඉහළ තලයක තිබියදීත් එය රැක ගනු වෙනුවට එය තවදුරටත් පහළට දැමීමේ වුවමනාවක් මෙම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට තිබෙන්නේ ද යන්න බරපතළ කරුණකි

 

එබැවින් එය බරපතළ සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂයෙන් සොයා බැලිය යුතු කරුණක් වන්නේ ය

 

මහජන යුතුකම් කේන්ද්‍රය

 

 

ගණේමුල්ලේ සංජීව කොටුවූ හැටි

සේනාධීරගේ කරුණාරත්න නැමැති ලාංකිකයෙක් ඊයේ (13) දහවල් 12.50ට  කත්මණ්ඩු සිට කොළඹ බලා එන   ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 182 යානයට කත්මණ්ඩු අන්තර්ජාතික ගුවන් තොටුපලින් ගොඩවුනේය.

 

කිසිම කලබලයක් නොපෙන්වූ වියලි දෑසක් සහිත මෙම පුද්ගලයා සම්බන්ධව කිසිවෙකුට විශේෂ අවධානයක් යොමුවූයේ නැත. ඔහු යානයේ 198 ආසනයේ ඉඳගෙන ගැඹුරු කල්පනාවකින් යුතුව එමින් සිටියේය.

 

කත්මණ්ඩු සිට කොළඹ බලා එන ගමන මගීන් විශේෂයෙන්ම ආකර්ශනයක කරන්නකි. ගමනේ සෑහෙන කාලයක් යානය ගමන් කරන්නේ  හිමාලය කඳු වැටිය මතිනි. එහෙත් ඒ අසිරිය බැලීමට තරම් වූ අවශ්‍යතාවයක් මේ පුද්ගලයාට නොතිබුණ බව පෙනුනි. ඔහු කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට පැමිණියේය.

 

එහෙත් ගුවන් තොටුපලින් පිටවීමට පෙර ගුවන්තොටුපල  ආගමන විගමන නිලධාරීන් සේනාධීරගේ කරුණාරත්න අත් අඩංගුවට ගනු ලැබුවේය. ඒ නිසැක බුද්ධි තොරතුරු මත පදනම්වය.

 

ඒ පැමිණ තිබුණේ මේ රට භීතියට පත් කරමින් තවමත් අපරාධ මිනී මැරුම් කප්පම් සහ මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන මේ රටේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකි. ඔහු ගනේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීවය.

 

ඉන්දියාවේ දී අත් අඩංගුවට පත්වීමේ පුවත

 

සංජීව ඊයේ (13) සවස කටුනායක දී පොලිස් අත් අඩංගුවට පත් වීම පිළිබඳ පුවත විශ්වාස කළ නොහැකි තරම් එකක් විය.

 

මීට දින තුනකට පෙර මෙටර මධ්‍යය මහා උත්කර්ෂයෙන් වාර්තා කළේ ගනේමුලේ සංජීව සහ ඔහුගේ හිතවත් තවත් පාතාල නායකයෙක් වූ ගොත අසංක සමග නේපාල ඉන්දියා මායිම අසල දී අත් අඩංගුවට ගත් බවය.

 

ඒ ආරංචියෙන් වඩාත්ම පිනා ගියේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයන්ය. පසුගිය අගොස්තු 25 අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් සංජීවගේ මාකිලංගමුව නිවසට  වෙඩි තැබුවේය.

 

නිවසේ කිසිවකුටත් අනතුරක් සිදු වී නැති බව පොලිසිය කිවේය. වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සංජීවගේ බිරිය දියණිය ඇතුළු ඥාතීන් පිරිසක් නිවසේ රැඳී සිට ඇත. ටී 56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර  තිබිණි.

 

අත් අඩංගුවට පත් වූ බව කී සංජීව හිටිවනම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට පත් වන්නේ මේ පසුබිමේය.

 

මේ වනවිටත් සංජීව රඳවාගෙන් ප්‍රශ්න කරමිනි. ඔහු  මේ රටට පැමිනි ශ්‍රී ලංකා ගුවන් බලපත්‍රය  සම්බන්ධ බරපතල කාරණා ටිකක් එළියට ඇවිත් තිබේ. එය නිකුත් කර ඇත්තේ 2022.10.01 දිනයේය.  මෙම බලපත්‍රය යොදා ගනිමින් කවරෙක් හෝ අගෝස්තු 30 ඉන්දියාවට ගොස් ඇත. අනතුරුව එම තැනැත්තා සැප්තැම්බර් මස  මස 04 වැනිදා ඉන්දියාවෙන් කත්මණ්ඩු නුවර වෙත පැමිණ තිබේ. විශේෂත්වය වන්නේ සැප්තැම්බර් 07 වැනිදා ඔහු කත්මණ්ඩු නුවරින් පිටවී ඇති බව පෙනෙන්ට තිබීමය.

 

 කවුද ගනේමුල්ලේ සංජීව?

 

මාකඳුරේ මධුෂ් මෙන්ම කොස්ගොඩ සුජී ද එල්.ටි.ටී.ඊ සාමාජිකයන්ගෙන් වැඩ ගත්තේය. ඔවුන්ගේ ප්‍රධාන කුලී වෙඩික්කරුවා වූයේ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අපරාධකරුවෙක් වූ බුම්මාය.

 

දැන් මධුෂ් එළොව ගොස්ය. සුජී රට හැර දා ගොස්ය. එදා සිට  එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබල ගනයේ සාමාජිකයින්ගෙන් වැඩ ගත් එකම පාතාල කල්ලි නායකයා ‘මාකිලංගමුවේ සංජීව’ නොහොත් ‘ගනේමුල්ලේ සංජීව’ ය.

 

ඒ බව කීවේ අප නොව මේ රටේ බුද්ධි අංශය.

 

සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීව යනු    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වූ පුද්ගලයෙකි. ඒත් සංජීව අධ්‍යාපනයට ‘ආයුබෝවන්’ කියා පාතාලය   තෝරාගත්තේය. ඒ තෝරාගැනීම දැනුම්වත්ව කළ එකකි.

 

පාතාල කටයුතු සඳහා මුල්ම ප්‍රවේශය ගන්නට පෙර සංජීවගේ  කාලය ගෙවුනේ වේයන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතවය.   ඒ දවස්වල  නයිවල හන්දියේ බෝගහට නුදුරින්  ජිම් එකක් දමාගෙන එහිම නැවතී සිටි සංජීවගේ පළමු කොල්ලය ඒ ජිම් එකටම පැමිණි තරුණයන් අට දෙනෙක් සමග මාරපොල හන්දියට නුදුරින් බිස්කට් වෑන් එකක් කොල්ල කෑමය.  ඒ අපරාධය සඳහා ඔහු මුල්ම වරට බන්ධනාගාරගත වුනේය.

 

මුල්ම සිරගෙදර ගමනින් පසු දැන හැඳුනුම්කම් සමග එළියට එන ‘ගනේමුලලේ සංජීව’ පාතාලයේ අයියා කෙනෙකු ලෙසින් ගොඩනැගෙන්නේ 2009 වර්ෂයේදීය. ඒ වනවිට මෙරට සිදුවූ විශාලම බැංකු මංකොල්ලය සිදුකරමින් සංජීව කරළියට එන්නේය.

පස් ජාවාරම

 

අනතුරුව ඔහු ගම්පහ පස් ජාවාරමට පිවිසෙන්නේය.    ගම්පහ පස් පාතාලයේ ප්‍රසිද්ධ චරිතයක්ව සිටි “පස් පොඩ්ඩා” ගනේමුල්ලේ සංජීව සමඟ “පස් සෙල්ලම” පටන් ගන්නේ ‘හීනැටියන අසිත’ මරා දමමිනි.

 

මොවුන්ගේ කල්ලියේ සිටි තවත් ප්‍රබල සාමාජිකයකු වූයේ අජිත් කුමාර නොහොත් කළු අජිත් නොහොත් “අජා”ය. කලක් ගනේමුල්ලේ සංජීවගේ හොඳම වෙඩික්කරු වූයේ “අජා”ය. පසුපස හඹාගොස් වෙඩි තැබීම සඳහා දක්ෂයකු වන කළු අජිත්ව සිය ඉලක්ක සපුරා ගැනීමේ හොඳම වෙඩික්කරු ලෙස ගනේමුල්ලේ සංජීව විසින් තෝරා ගනු ලැබ තිබුණේ එළියේ සිට මෙන්ම ඇතුළේ සිටියදී ද වැඩ ගැනීම සඳහාය. ඉලක්කය සපුරණ අජිත්ගේ ගාස්තුව ගෙවීමට කිසිදු අවස්ථාවක සංජීව මග හැරියේ නැත. එහෙත් අජිත්ගේ ඉලක්කය වැරදී ගියේ ගම්පහ ඔස්මන් මරා දැමීමට සංජීව විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවෙනි.

 

ඔස්මන්ගේ ඉලක්කය කළු අජිත්ගෙන් ගිලිහුණු දිනයේ සිට අජිත් සහ සංජිව අතර ගැටුමක් ඇති වුනේය. වැරදී ගිය කුරුමාණම නිසා පොරොන්දු වූ මුදල අජිත්ට ලැබුණේත් නැත. දැඩි කෝපයට පත් කළු අජිත් පස් පොඩ්ඩාගේ හිතවතෙක් වූ සුරේෂ්ගෙන් කප්පම් ඉල්ලා තිබිණි. මේ ගැටුම මරණ කීපයක් දක්වා ඇදී ගියේය. අනතුරුව සංජීව විසින් කළු අජිත් ඝාතනය කර දැම්මේය. ඒ හීනටියන සංඛ නැමැත්තෙක් හරහාය.

 

චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද ” නමැති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තුන් වැනි විත්තිකරුට බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන් ද ගනේමුල්ලේ සංජීව චෝදනා ලැබ සිටියේය.

 

බන්ධනාගාරයේ සිටි දෙමටගොඩ චමින්ද අලුත්කඩේ අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී දෙමටගොඩ ඉන්ගම් හන්දියේදී බන්ධනාගාර බස් රථය හරස් කර නැවැත්වූ යතුරුපැදිකරුවෝ දෙදෙනකු “චමින්දට” වෙඩි තබා පලා ගියහ. චමින්ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ අතර සිද්ධියට අදාළව සංජීව බන්ධනාගාර ගත විය.

 

එල්.ටී.ටී.ඊ්. සම්බන්ධය

 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආයුධ එක්රැස් කිරීම සහ එම ආයුධ දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට ලබාදී සංවිධානාත්මක අපරාධ සිදුකළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 ජනවාරි මස 24 වැනිදාය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරුවන් 12 දෙනා අවස්ථා කිහිපයකදී එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

 

2020 ජනවාරි මස 01 වැනිදා  සැකකටයුතු අන්දමින් බෑගයක් කරේ දමාගෙන මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයකු පුලියන්කුලම පොලිසිය විසින් පරීක්ෂා කරනු  ලැබුවේය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ බියට පත්වන මේ පුද්ගලයා තමා සතුව තිබූ බෑගය අත්හැර පලා යන්නේය.

 

බෑගය අවුස්සා බැලූ පොලිසියට පෙනී ගියේ මේ පලා ගිය පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල කොටි නායකයෙකු වන “ආනන්ද රාසා” නමැත්තා බවය.

 

වෙඩි තැබීමට සූදානම් කර තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ 18ක්, මැගසීනයක්, ජීව අත්බෝම්බ 4ක්, හිරු එළියෙන්  ක්‍රියාකරන පවර් බෑන්ක් 1ක්, ඇපල් වර්ගයේ නවීන පන්නයේ ජංගම දුරකතනයක්, සැම්සුන් වර්ගයේ නවීන ජංගම දුරකතනයක් ඇතුළු ආම්පන්න රාශියක් ද ආනන්ද රාසාගේ මල්ලේ තිබී පොලිසිය සොයා ගත්තේය.

 

මින් පසු ක්‍රියාත්මක වූයේ බුද්ධි අංශයි.   ඒ අනුව ඒ 9 මාර්ගයේ මූතූර් කෝවිල දෙසට යන විට හමුවන දුම්රිය මාර්ගය අසලදී යුද උපකරණ තොගයක් ද සමග සැකකරුවන් හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

 

මෙයියමුත්තු රාසා සුදාහරන් නොහොත් “ගුණා”, ශ්‍රීකාන්තන් දර්ශනී නොහොත් “පොන්නම්බලම්”, ගනේෂ් මූර්ති සිදුහත් නොහොත් “සිදූ”, පූබාලසිංගම් සුරියබාලන් නොහොත් “සදන්”, තලෛයිසිංගම් කාන්දරූබන් නොහොත් ”කාර්තික්” සහ උමාගනේෂන් දයානිදි මෙම සැකකරුවෝ වූහ.

 

මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අට දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ 2020ජනවාරි මස 02 වැනිදාය.

 

රාසලිංගම් සිවරාජ් නොහාත් “වීරා” නොහොත් “කඩල් වීරන්”, කල්‍යාණ කුමාර් ශෂිකුමාර්, මනුජය ප්‍රමෝද්, කාවින්ද පතිරණ, මාලන් ඩෝසර් විජයසිරිවර්ධන, ඉන්ද්‍රජිත් රංගන කරුණානායක, හිමාල් හර්ෂණ, ප්‍රදීප් දේශප්‍රිය සහ ඇනස්ලි ප්‍රභාගර්  ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා”, වසන්ත ජූඩ් නිරෝෂන්, විජයන් සැලන් කුමාර් නොහොත් “සැලඩ්” සහ ඝනපති කදිරවේලු නොහොත් “සාමි” එම සැකකරුවෝ වෙති.

 

වේන්ද්‍රන් නොහොත් අප්පා යනු 2007 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වැනිදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයට පැමිණ ජීවිතය ගලවාගත් ත්‍රස්තවාදීන් දෙතුන් දෙනාගෙන් කෙනෙකි. එමෙන්ම ඔහු යුද්ධය නිමවීමෙන් පසු යුද හමුදාවට භාර නොවී සැඟව සිටි අයෙකි..

 

යුධ හමුදාව ඔහු “අප්පා” ලෙසින් හැදින්වූ අතර නාවික හමුදාව ඔහු හදුන්වන්නේ “නෙරන්ජන්” නමිනි. මෙම තැනැත්තා ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් සංක්‍රමණිකයින් පැටවීමේ ඡාවාරමක ද නිරතව සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. අප්පා මේ සිද්ධිවලට බන්ධනාගාර ගතව සිටියදී දකුණේ පාතාලය සමග හාද කම් පැවැත්වීමට අවස්ථාව උදාවන අතර ගනේමුල්ලේ සංජීවගේ ආශ්‍රය ඔහුට  ලැබුනේය.

 

“ආනන්ද රාසා” ළඟ තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක්, “අප්පා” විසින් කොළඹ ගෙනැවිත් පාතාලය වෙත මුදලට විකුණා ඇති බවට කෙළඹ අපරාධ කොට්ඨාසය කරුණු හෙළිකරගෙන තිබිණි.

 

“වීරා” නොහොත් “කඩල් වීරන්” සහ ඊතනවත්ත අරච්චිගේ අමිල නුවන් නොහොත් “ගොත අසංක” විසින් යතුරු පැදියකින් පැමිණ අංගොඩ කැලණිමුලේලේ දී සුරංග කුමාර නොහොත් “රත්තරං” වෙඩි තබා ඝාතනය කරන්නේ අප්පා කොළඹට විකිණූ පිස්තෝලයකිනි. ඒ එඉකුත් 2017 වර්ෂයේ ජනවාරි මස 05 වැනිදාය.

 

“රත්තරං” අංගොඩ ලොක්කාගේ පාර්ශ්වයේ අයකු වන අතර, “ගොත අසංක” සහ “ගනේමුල්ලේ සංජීව” රණාලේ සමයංගේ පාර්ශ්වයේ අය වූහ.

 

රත්තරන් ඇතුළු ස්වකීය සගයින් මරණ   සමයංගෙන් පළි ගැනීමට පාතාල මෙයෙහුමක් සැලසුම් විනි. ඒ  2017 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදාය. එදින සමයං ඝාතනය වන්නේ කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළදීය. ඒ අංගොඩ  ලොක්කාගේ වැඩකි. ඔහුට මධුෂ්ගේන සහයෝගය ලැබී තිබිණි.

 

ඝාතන සිද්ධියේ ප්‍රධාන වග උත්තරකරු වූ අංගොඩලොක්කා රටින් පැන්නේය.  අමිල නුවන් නොහොත් ගොත අසංක, කටුගම්පලලාගේ උදේශික විදුරංග සහ සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට පත් විය. ඒ මයික්‍රෝ වර්ගයේ ගිනි අවි දෙකක් ද සමගය.

 

ගනේමුල්ල සංජීව විසින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හත් දෙනෙකු මෙහෙයවමින් සිටියේය.  වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක් තුළ තබාගෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 03ක් ඔහු විසින් නඩත්තු කළේය. පසුව මේ පිරිස පොලිස් අත් අඩංගුවට පත් වූයේය.

 

පසුගිය වකවානුව තුළ  කර ඇති විමර්ශනවලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිස්තෝල 10ක්, ටී 56 ගිනි අවි 10ක් ගනේමුල්ලේ සංජීවගේ කල්ලිය සතුව තිබේ.

 

අද වනවිට තත්ත්වය

 

සංජීවගේ සමීපතම පාතාල මැරයන් තැන තැන විසිරී ගොස්ය. ගොත අසංක ඉන්නේ ඉන්දියාවට පැනගෙනය. පස් පොඩ්ඩා ඝාතනය වූයේය. පස්පොඩ්ඩාගේ ඝාතනයේ පලිය ගන්නට පහුගිය වකවානුව තුළ කෙහෙල්බද්දර හීනටියන ප්‍රදේශවල මිනී මැරුම් ගණනක් සිදුවිය. සංජීවගේ  ඉලක්ක වැරදී අසරණ තරුණයෙක් ද කෙහෙල්බද්දරදී මියගියේය.

 

මේ අතර පසුගිය අගෝස්තු 21 වැනිදා ඉන්දියානු තොරතුරු උපුටා දක්වමින් මෙරට  මාධ්‍ය වාර්තා කළේ  මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙක් ඉන්දියාව, නේපාලය සහ ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට  ගෙන ඇති බවත් ගණේමුල්ලේ සංජීව ඒ අතර සිටින බවත්ය.

 

ඒ සමගම අගෝස්තු 25 අලුයම පිස්තෝලයකින් සහ ටි. 56 ගිනි අවියකින් ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල වුනේය. ඔහුගේ සොයුරිය පැමිණිලි කර තිබුනේ පොලිසියේ යැයි කියා ගන්නා කණ්ඩායම් නිවසට පැන ඉතාම අනවශ්‍ය ලෙස තමන් පීඩාවට පත් කරන බවය. ඔවුන් එක් අවස්ථාවක නිවසේ ඇති භාණ්ඩ ද කොල්ලකාගෙන ගොස් ඇති බව ඇය ප්‍රකාශ කර තිබුණාය.

 

කිසිම අපරාධකරුවෙක් නොගන්නා අවදානමක් රැගෙන සංජීව යළි රට තුළට ඇතුළුවන්නට ගොස් අත් අඩංගුවට පත් වන්නේ මේ පසුබිමේ දී ය.

 

 

ඉන්දියාවට නම වෙනස් කරන්න ඕන වෙලා තියෙන්නෙ ඇයි?

1. ඉන්දියාව කියන එක ඉන්දියානු ජාතිකවාදින්ට ලැජජාවක්: ඉන්දියාව කිවලවත් දඹ දිව කියලවත් ජන්බුදිප කියලවත් දැනට තියන ඉන්දියාවට අතිතෙ කිව්වා කියන්න සාක්ෂි හම්බවෙලා නෑ.

 

ඉන්දියාව කියලා කිව්වෙ සුද්දො යුරොපියන්, එ ඉන්දියන් Indians කියන්නෙ ස්වදෙශක ජනතව කියන එක, බොහො වෙලාවට දුඹුර පැහැ හමට යුරොපියන් කිව්වෙ ඉන්දියන්ස් කියලා, ඇමරිකානු රතු ඉන්දියානුවො යනුවෙන් නම හැදුනොත් එහෙමයි. indigenous කියන එකතමයි එහෙම වෙනස් වුනෙ. දැනට තියන ඉන්දියාව ඇත්තටම කලින් තිබ්බ එකත් නෙවෙයි (කලින් තිබ්බෙ නැ) එක බ්‍රිතාන්‍ය ඉන්දිය වෙළද සමාගම විසින් එවකට පැවති ස්වාධින රාජ්‍ය බර ගාණක් පරදවා එක පාලනයකට යටත් කරගෙන පාලනය කරපු ප්‍රදෙශයක්.

 

එතකොට නෙපාලය, පාකිස්තානය , බංගලාදෙශදය පාලනය වුනෙ ඉන්දියාව තනි පාලන ප්‍රදෙශයක් විදිහට , නමුත් එවකට සිලොන් දැං ලංකාව වෙනම රාජ්‍යක් රටක් ලෙස සලකලා තමයි ඒ සමාගමෙන්ම සිලොන් හෙවත් සිංහල දිපය පාලනය කලේ.

 

බ්‍රිතාන්‍ය දාලා ගියාට පස්සෙ පාකිස්තානය සහ බංගලාදෙශය වෙන් වුනා. ඉතිරි ටික ඉන්දියා වුනා. එවගෙම ඉන්දියාව කියලා එක්සත් රටක් නිර්මානය කිරිමට බ්‍රිතානය එකාලේ මහන්සි ගත්තා, එකෙ ප්‍රතිපලයක් ලෙස ඉතිහාසක් නැති ඉන්දියාවට , ලංකාවෙඉතිහාස පොත්වල තියන ලංකාවෙ රාජ පරම්පරවෙ නම් ගම් අදෙශ කරලා අලුත් ඉතිහාසක් මවලා දුන්නා, දැන් මෙ ඇත්ත එලිවෙන කාලෙ , එක පැත්තකින් සුද්දො දුන්නු නමක් වන ඉන්දියාව කියලා කියන එක අර ඉන්දියාව කියන රටක් වෙනුවෙන් නිර්මාණය වුන සහ කරපු ඉන්දියාවෙ ජාතිකවාද්නට ලැජජාවක්.තවත් කතාවක් තියනවා හිනදු ඉන්දියන් වුනා කියලා, හ යන්නෙන් පටන් ගත් එකක් ඉ යන්නෙන් පටන් ගන්තා කියන්නෙ තරමත් දුරවල තර්කයක්.

 

එනිසා භරත කියලා කියලා රජ කෙනක් ඉන්දියාවෙ හිටියා කියලා මෙයාලා හොයාගන්නවා මහාභාරත කියන Epic එකෙන් , මහාභාරත කියක්නෙ ඉතිහාස ග්‍රන්ථයක් නෙවෙයි එක එපික් එකක් නැතිනම් උපකල්පන කතාවත් කවි ගොඩක් පමනයි. මෙ කාලෙ Epic විදිහට ගන්න පුලුවන් Harry porter, loads of the ring, Star Wars,

 

දැන් තෙරෙනවනෙ මෙ කතාවක තිබුන නමක් තමයි මෙක. මෙකෙ නම දාලා මෙයලාට මාර ඉතිහාසයක් තියනවා කියලා ලොකයට අගවනවා. ඔය භුමි ප්‍රදෙශයෙ තිබුනු සමහර ස්වාධින රාජ්‍ය වලට නම් දිර්ඝ ඉතිහාසයක් තිබුනා කියනවා. හැබැයි රාමායනය සහ මහාභාරත කියන Epic දෙකෙන් තමයි ඔය ඉන්දියානු ඉතිහාසය මවන්න උත්සහ කරන්කනෙ, හැබැයි රාමායනය කියන්නෙ පන්සිය පනස් ජාතක පොතෙ එන දශරත ජාතකයම තමයි කියලා පෙන්නෙ ඔය දෙකම හරියට කියවපු කෙනෙක්ට.

 

ඉන්දියාව වගෙ නෙවෙ අපිට තියනවා මහා වංශය , දිප වංශය , ථුප වංශය , මහා සමිමත රජ දවස සිට රාජාවලිය. තව කොච්චරද, අපෙ නෙවෙයිද ජාතිකත්වය මතු වෙන්න ඕනා?

 

2. ඉන්දියානු ජාතික වාදිනට පන පෙවිම: දැන් මොදි එක ගලෙන් කුරුල්ලො තුනක් මරන්න යන්නෙ පලවන කුරුල්ලා මැරුවා , එ ඉන්දියානු ජාතිකවදින්ට අවශ්‍ය කෑම ටික දිලා ඉන්දියාව භාරත කියලා වෙනස් කරනවා ප්‍රසිද්දියෙ , කලිනුත් ඔක 1949 දි ඉන්දියාව කියන්නෙ භාරත කියන එක්සත් රාජ්‍ය කියලා ඉන්දියානු ව්‍යස්තා සමුලුවෙදි ලියවිලා තියනවා.හැබයි මොදි මෙක කරලියට අරන් එනවා එ කලින් කිව්වා වගෙ ඉන්දියාවෙ ජාතිකවාදින්ට පන ගහලා ගන්න අවශ්‍ය වට පිටාව සකසන්න, දැන් බලමු මොදි ගහන ගලෙන් මරන්න යන තුන් වෙනි කුරැල්ලා ගැන.

 

3. මොදි ගහන ගලෙන් මරන්න යන තුන් වෙනි කුරැල්ලා මොකාද, එතමා ගොලිය දෙශපාලනයෙ ලංකාවත් සම්බන්ද වන තැන. භාරත කියලා නම කරලියට ගන්න ගමන් එත් එක්කම තව එකක් ගෙනවා.

 

ඒ තමා අඛණ්ඩ භාරත කියන සංකල්පය එ මොකක්ද? අඛණ්ඩ කියන එකෙ තේරුම අපි දන්නවානෙ වෙනස්. දිගට පැවැති යන්න තමයි මින් අදහස් කරන්නෙ එකියන්නෙ මුලු දකුනු ආසියාවෙන් සෑහෙන කොටසක් භාරතය කියලා රාජධානියක් අවුරැදු දහස් ගානක් තිස්සෙ පැවතුනා කියන එකයි.

 

කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු, දැං ලංකාවත් ඔය අඛණ්ඩ භාරතයෙ කොටසක් ද ? ඔව්.. ලංකාව විතරක් නෙවෙයි චිනෙයි ඉරානෙයි කෑල්ලුකුත් අයිති වෙනවා. කුරැල්ලො එකෙක් නෙවෙයි දහස් ගානකට වැඩෙ දෙන්න මොදි දස්සයා. දැන් ඉතින් ටිබෙටෙ ලග තියන චිනෙයි ඉන්දියාවයි වෙන්වන කැල්ලටත් හරි. මෙ අඛණ්ඩ භාරත සංකල්පය දෙශපාලනව පන පොවලා ස්ථිර කරහම, මෙ අඛණ්ඩ භාරත සංකල්පය අයත් වන අනෙක් ස්වාධින රාජ්‍යන් වලට සිද්ධවන ඉන්දියානු මැදිහත් විමෙදි ඇතිවන ප්‍රතිරොධය මානසික පාලනය කරිම සහ ඉන්දියාව තුලින්ම එ සදහා සහයොගය දෙන තතවයට පත් කරිමෙ තමයි මෙකෙ හතර වන අවසාන කුරැල්ලා, තුන්දෙනෙක් කිව්වට හතරක් වුනා, ඉන්දියාවත් එහෙම තමයි මුලින් කියපු දෙවල් අවසාන වෙද්දි වැඩි වෙනවා.

 

ඉන්දියානු ව්‍යාප්ත වාදයෙ විෂ භිජ පැළ කරන්න පොලවක් නැතිව මොදි හැම තැනම හෙව්වාම තමයි අඛණ්ඩ භාරත නම් පොලව හමුවුනෙ , මෙහි පැළකරන්නෙ ඉක්මනට වර්ධනය වන බව දන්න නිසා.

 

දැං මම කියන්නෙ අද හෙට වෙන දෙයක් ගැන නෙවෙයි ඉන්දියාවෙ හො චිනෙ දෙශපාලන සැලසුම් අපිට නෙවෙ ඉලග පරම්පාරවට තමා බලා ගන්න වෙන්නෙ. චිනෙත් එකිය වෙන්න ඔය වගෙ සංකල්පයක් බලපෑව ටිබෙටය ,තායිවානය චිනෙයෙ චිනෙ විදිහට සලකන්නෙ එ චින ඉතිහාස පොත් වලට අනුව. චිනෙට නම් ඉතිහාස පොත් තියනවා. චිනෙ එකිය රාජ්‍යයක් නමුත් ඉන්දියාව තාම එකසත් රාජ්‍යක් එක නිර්මානය කරලා දුන්නෙ සුද්දාගෙ උවමනාට, චිනෙ නිර්මාණය කරගත්තෙ චිනාගෙ උවමනාවට. කවුරැ කොහොම මොන මොන වුවමනා මත අවාත් දේශයෙ ජාතිකත්වයට පන පොවලා තියන්න අපි දැන ගන්න ඔනා. ජාතිකත්වය මත තමා රටක එකිය භාවය තිරනය වෙන්නෙ, අපිට එක්සත් කරගන්න දෙයක් නෑ, අපිට තියෙන්නෙ එකියත්වය ආරක්ෂා කරගන්න එකම පමණයි. එකට තමා ජාතිකත්වය කියන්නෙ .

 

– අචාර්ය දේශප්‍රිය ද සිල්වා –

 

 

ලංකාවේ ක්‍රිකට් තරග පාවා දෙන සෙල්ලමේ සචිත්‍ර පිටුපස සැඟවුණු කෙළිකාරයෝ: විස්තරේ මෙන්න

සූදු අන්තුවෝ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට බැල්ම හෙළන්නේ 96 ලෝක කුසලානය දිනා ගැනීමත් සමඟිනි. එම සූදු අන්තුවන්ගේ උවමනා එපාකම් මත සිදු වූ තරග පාවාදීම් ගැන විටෙන් විට කතාබහ ඇතිවූවත් ඒ පිටුපස සිටින බලවේගවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ බවක් නම් ඉතිහාසය පිරිස්සීමේදී සොයා ගන්නට නැති තරම්ය.ඒ ක්‍රීඩා වංචා සහ දූෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අපේ රටේ නිසි යන්ත්‍රණයක් නොවූ නිසා විය හැකිය. 2019 අංක 24 දරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙමින් ක්‍රිඩාව හා බැඳුණු වංචාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අලුත් නීතියක් අපේ රටේ නීති පොතට එක්වන්නේ එබැවිනි. ඒ ක්‍රිකට් සඳහාම පමණක් නොව, අපේ රටේ ඇති සෑම ක්‍රිඩාවකම වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මක වන්නටය.

 

මෙම පනත ප්‍රකාරව ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයට අනුයුන්ත විශේෂ ඒකකය ස්ථාපිත කරනු ලබන්නේ 2020 වසරේ පෙබරවාරි 15 වෙනිදාය. ඒ “ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන“ ඒකකය නමිනි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ භූමියේ ඇති ගොඩනැඟිල්ලක මෙම ඒකකය ස්ථාපිත කරනු ලබන්නේ විශේෂ පොලිස් ඒකකයක් ලෙසනි. පොලිස් ඒකකයක් ලෙස හඳුන්වා දුන්න ද මෙම ඒකකය විමර්ශන සම්බන්ධයෙන් වගකිව යුතු වූයේ පොලිස්පතිවරයාට නොව, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාටය. ලොකු බලයක් සහිතව ස්ථාපිත කළ මෙම ඒකකය ක්‍රියාත්මක වූයේ පොලීසියෙන් නිදහස් වූ ස්වාධීන විමර්ශන අංශයක් ලෙසිනි. එහි අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරීන් අතළොස්සක් අතර සිටින ජගත් ෆොන්සේකාවය. මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති සංචාරක පොලිස් අංශය සහ පොලිස් නාවික අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස වර්තමානයේ කටයුතු කරමින් සිටින්නේ ඔහුය.

 

ක්‍රිඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකක ස්ථාපිත කිරීමත් සමඟ ක්‍රීඩාව හා බැඳුණු සූදු අන්තුවෝ ජගත් ෆොන්සේකාව බිලිබා ගන්නට මාන බැලූ වාර ගණන බොහෝය. ඇතැම් ක්‍රිඩා සංගම්වල ලොකු උදවිය ජගත් ෆොන්සේකාව විවිධ ආකාරයට තමන් වෙත නම්මා ගන්නට පවා උත්සාහ දරා තිබුණේය. ආන්දෝලනයට තුඩුදුන් 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය නැරඹීමට ගුවන්ටිකට්පත් ඇතුළු පහසුකම් පවා ජගත් ෆොන්සේකාට වෙන්ව තිබුණේ ද ඒ අනුවය. ලැයිස්තුවේ නම දමා තිබුණාට ජගත් ෆොන්සේකා ඊට ද හසුවූයේ නැත. ඒ වන විටත් ඔහු සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී ඇති ලොකු වංචාවක් ගැන විමර්ශනයකට මැදිවය. තරග පාවාදීමේ චෝදනාවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දඟ පන්දු යවන්නෙක් වන සචිත්‍ර සේනානායක පසුගිය 06 වෙනිදා අත්අඩංගුවට පත්වන්නේත් රක්ෂිත බන්ධනාගාරගත වන්නේත් එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

 

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ස්ථාපිත කිරීමත් සමඟ ක්‍රීඩාව හා බැදුණු වංචා දූෂණ ගැන බොහෝ තොරතුරු මෙම ඒකකයට ගලා එන්නට වූයේ ක්‍රීඩාව මෙතරම් දූෂිත වී තිබේ දැයි හිතා ගන්නටවත් බැරි තරමටය. මෙම ඒකකයට ක්‍රිකට් ක්‍රීඩක සවිත්‍ර සේනානායකට එරෙහිව පැමිණිල්ල ලැබෙන්නේ 2020 නොවැම්බර් 28 වෙනිදා හෝ ඒ ආසන්න කාල වකවානුවකදීය. ඒ ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ඇලෙක්ස් මාෂල්ගෙනි. එම පැමිණිල්ලෙන් කියැවෙන්නේ 2020 ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට තරග පාවාදීමකට සචිත්‍ර යෝජනා කර ඇති බවය. ‍

 

ජගත් ක්‍රිකට් කවුන්සලයේ ඇලෙක්ස් මාෂල්ගේ එම පැමිණිල්ල ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයට ලැබෙන්නට පෙර යොමුවී තිබුණේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි නාමල් රාජපක්ෂටය. විමර්ශන ඒකකයට සිය ලේකම්වරයා මඟින් එම පැමිණිල්ල යොමුකරනු ලබන්නේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාය.

 

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ඒකකය විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශනයක් ආරම්භ කරනු ලබන්නේ ඊට ජගත් ක්‍රිකට් කවුන්සලයේ පවා විශේෂ අවධානයක් යොමුවී තිබුණු බැවිනි. තරග පාවාදීමකට සචිත්‍ර කර තිබුණු යෝජනාව ගැන ජගත් ක්‍රිකට් කවුන්සලය දැනුවත් කරනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් විසිනි. ඒ වන විට සචිත්‍ර සිටින්නේ විදෙස්ගතවය. තරග පාවාදීමකට ධම්මිකට සහ තරිඳුට යෝජනාකර ඇත්තේ පිටරටක සිටය. විටෙන් විට ඔහු මෙම ක්‍රීඩකයන් දෙදෙනාට දුරකථන ඇමතුම් දෙමින් තරග පාවාදීමකට ඇවිටිලි කරන්නේ වට්ස් ඇප් ඇමතුම් ඔස්සේය. එහිදී සචිත්‍රගේ දැනුම්දීමට අනුව ධම්මික ප්‍රසාද්ට බුකීකාරයෙක් බව කියැවෙන “ස්ටැබී“ නැමැති පුද්ගලයෙකුද වට්ස්ඇප් ඇමතුම් ඔස්සේ ඇමතුම් දෙමින් තරග පාවාදීමකට ඔහුව පොලඹවනු ලැබීය. විදේශිකයෙක් බවට අනුමාන කරනු ලබන එම පුද්ගලයා සචිත්‍රට යෝජනා කරනු ලබන්නේ එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩා කිරීමේදී අඩු දස්කම් දක්වන ලෙසය.

 

“ ඔයාලට සෙල්ලම් කළාම ලැබෙන්නේ ඩොලර් 15,000යි. අපි කියන විදිහට ක්‍රීඩා කළොත් ඩොලර් 40,000ක් 60,000ක් විතර මුදලක් ඔයාට ලැබෙයි“ ධම්මික ප්‍රසාද්ව තමන් වෙත නම්වා ගැනීමට “ස්ටැබ්“ යනුවෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයා උත්සාහයක නිරත වන්නේ එසේය.

 

තරිඳු රත්නායනටද ලැබී තිබුණේ මෙවැනිම දුරකතන ඇමතුමකි. එම ඇමතුම දුන් පුද්ගලයා පෙනී සිටියේ “ෂහීඩ්“ ලෙසිනි. මේ දෙදෙනාම එක් අයෙක්ද දෙදෙනෙක්ද යැයි කියා මෙතෙක් පැහැදිලි අනාවරණයක් නැත. නමුත් ඔවුන් ක්‍රිකට් හා බැඳුණු ජාත්‍යන්තර බූකී කරුවන් බව පැහැදිලිවම පෙනී ගොස් හමාරය. ඒ අයගේ නියෝජිතයා ලෙස සැලකෙන්නේ සචිත්‍රය.

 

තරග පාවාදීමකට කළ මේ යෝජනාව ගැන සිය කණ්ඩායම් පුහුණුකරු රංගන හේරත්ව ද දැනුවත් කරන ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක අවසානයේදී මේ ගැන ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයට කියන්නේ දිගින් දිගටම තරග පාවාදීමට ඒ අය ඇවිටිලි කරන්නට වූ බැවිනි.

 

මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද මේ ගැන තොරතුරු සොයා බලමින් මූලික විමර්ශනයක් කරන්නට අමතක නොකළේය. ඒ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායකව අවස්ථා කිහිපයක්ම සම්බන්ධ කර ගනිමිනි. එහිදී ඔවුන්ට ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයෙන් උපදෙස් ලැබෙන්නේ හැම දුරකතන ඇමතුමක්ම පටිගත කර ගන්නා ලෙසය. වට්ස්ඇප් ඇමතුම් පටිගත කර ගන්නා තාක්ෂණික පහසුකම් පවා මෙහිදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ලැබී තිබුණු බැවින් ඔවුන් ඒ හැම ඇමතුමක්ම පාහේ පටිගත කර ගනු ලැබුවේය. ඒ අතර වීඩියෝ ඇමතුම් පවා තිබුණේය. එම පටිගත කළ ඇමතුම් සියල්ලක්ම ඒ අය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයට ලබා දුන්නේ සිය ක්‍රීඩාවේ පැවැත්ම ඇත්තේ ක්‍රීඩාවේ දූෂණයට එරෙහිවීම මත බව වටහාගෙනය.

 

ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ඇලෙක්ස් මාෂල් 2020 වසරේ නොවැම්බර් 28 වෙනිදා මෙම තරග පාවාදීම ගැන සිය පැමිණිල්ල මෙරට බලධාරීන්ට යොමු කරනු ලබන්නේ ද පටිගත කළ එම වට්ස්ඇප් ඇමතුම් සහ වීඩියෝ සංවාද මෙන්ම කෙටි පණිවුඩ ගොන්නක්ද සමඟිනි. ඒ අතර ඇති වට්ස්ඇප් ඇමතුම් 12කම ඇත්තේ තරග පාවාදීමට ධම්මිකව පොලඹවා ගැනීමට කරනු ලබන උත්සහයන්ය. වැඩිම ඇමතුම් ගණනක් මෙහිදී ලබාදී තිබුණේ ද ධම්මික ප්‍රසාද්ටය. තරිඳුට වඩා මෙම බූකීකරුවන් උත්සාහගෙන ඇත්තේ ධම්මිකව පොලඹවා ගැනීමට බව එම හඬපට විමර්ශනයේදී මේ වන විටත් පෙනී ගොස් හමාරය. තරග පාවාදීමකට ධම්මිකට යෝජනා ක‍ෙරන එක් වීඩියෝවක් විනාඩි 49ක් පුරාවට දිව යන්නෙකි. සචිත්‍ර කොටුවන්නේ එම වීඩියෝ පටයෙනි.

 

මේ හැම දෙයක් ගැනම ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් දීර්ඝ ලෙස ධම්මිකගෙන් මෙන්ම තරිඳුගෙන් ප්‍රකාශ ලබා ගත්තේය. එහිදී තරිඳු විමර්ශකයන් හමුවේ පවසා තිබුණේ දිගින් දිගටම තරග පාවාදීමකට තමාට ඇවිටිලි කරනු ලැබුවේ ෂහීඩ් නැමැති පුද්ගලයා බවය. ෂහිඩ්ගෙන් ලැබෙන එම ඇමතුම් හිසරදයක් වූ බැවින් තමාගේ ජංගම දුරකතනයට එම අංකයෙන් ලැබෙන ඇමතුම් අවහිර කිරීමට පියවර තරිඳු වගබලාගෙන තිබුණේය.

 

“ඇයි ඔයා ෂහිඩ්ගේ නම්බර් එක බ්ලොක් කළේ. උඹලට උදව්වක් කරන්න ගියාම පණ්ඩිතයෝ වෙන්න හදනවා. මේ ගැන කාටවත් කියන්න එපා. උඹට එවපු හැම මැසේජ් එකක්ම මකල දාපන්“ ෂහිඩ්ගේ දුරකතන අංකය අවහිර කිරීම නිසා උරණ වන සචිත්‍ර දිනක් තරිඳුට සත්තමක් දමන්නේ එසේය.

 

මේ හැම දෙයක් ගැනම විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන සිදුකළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය තරිඳුගෙත් ධම්මිකගේත් ජංගම දුරකතන පවා වෝහාරික පරීක්ෂාවකට ලක් කරනු ලැබීය. ඒ තුළින් පවා ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත් විමර්ශන නිලධාරීන් තීරණය කරනු ලබන්නේ මේ හැම දෙයක් ගැනම සචිත්‍රගෙන් ප්‍රශ්න කරන්නටය.

 

සචිත්‍ර තමාට ඇති හැම සම්බන්ධයක්ම ඒ වන විටත් යොදා තිබුණේ ප්‍රශ්න කිරීම්වලින් බේරී මෙම විමර්ශනය යට ගැසීමට උත්සහායක් දරමිනි. එහෙත් ඔහු හිතපු තරම් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඒ බව දැනගත් පසු ඔහු අධිකරණය හමුවේ අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටින්නේ අත්අඩංගුවට ගැනීමෙන් බේරීමටය.

 

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය පොලිසියක කටයුතු සිදුවන ආකාරයට නොව. අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නම් එය සිදුවන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මතය. ඒ වන විටත් විමර්ශන සිදුවෙමින් තිබුණේ නීතිපතිවරයාගෙන් විටෙන් විට ලබාන්නා උපදෙස්වලට අනුව ද යමිනි. සචිත්‍ර අත්අඩංගුවට ගැනීමක් ගැන එම අවස්ථාවේදී ලැබුණු කිසිදු උපදෙසක නොවීය. එහෙත් සචිත්‍ර සිටියේ බියෙන් සලිතවය. ඒ ඇයි දැයි දන්නේ ඔහු පමණි. අධිකරණයෙන් ඔහු ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය පවා අවසානයේදී ප්‍රතික්ෂේප වන්නේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටීම හැර වෙනත් විකල්පයක් ඔහුට ඉතිරි නොකරමිනි. ඒ අනුව ඔහු සිය නීතිඥවරු සමඟ සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේ පිහිටි ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට යන්නේ 2021 මාර්තු 03 වෙනිදාය. ඒ අපේක්ෂිත ඇපය ප්‍රතික්ෂේප වූ දිනට පසුදාමය.

 

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය එදා සවිත්‍රගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. එම ප්‍රශ්න කිරීම දවසකින් දෙකකින් හමාර වූයේ නැත. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අවස්ථා කිහිපයක්ම සචිත්‍රට එන්නට සිදුවිය. ඒ අතර ඔහු පරිහරණය කරනු ලබන ජංගම දුරකතන පවා ලබාගෙන එම දුරකතන වෝහාරික විශ්ලේෂණයකට පවා විමර්ශන නිලධාරීන් යොමු කරනු ලැබීය.

 

සචිත්‍ර විසින් තමා පරිහරණය කරනු ලබන දුරකතන බව පවසමින් ජංගම දුරකතන දෙකක් විමර්ශන නිලධාරීන්ට ලබාදී තිබුණ ද ඒ සැබෑ ලෙසම ඔහු පරිහරණය කළ දුරකතන නොවීය. ඒ බව අනාවරණය වන්නේ වෝහාරික විමර්ශනයේදීය. ඒ අනුව විමර්ශන නිලධාරීන් දිගින් දිගටම සැබෑ දුරකතනය ඉල්ලා සිටින විට ඔහු එය නොදී මඟ හරිමින් සිටින්නට වූයේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙක් දෙන්නෙක් බිලි බා ගනිමින් වැඩේ ගොඩින් බේරා ගැනීමටය. ඒ අතර ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ කියන්නට වූයේ තමාගේ ජංගම දුරකතනය ඔරු පදින්නට ගොස් ජලයට වැටී අතුරුදන්වූ බවය. ඒ බව කීවේද සැබෑ ලෙසම ඔහු පරිහරණය කළ ජංගම දුරකතනය විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින විටදීය. බොරු දුරකතන දෙකක් දෙන විටවත් ඔහු සැබෑ දුරකතනය ගඟේ වැටුණු බවක් කීවේ නැත. සචිත්‍ර විමර්ශන නිලධාරීන් හමුවේ විශ්වාස කළ නොහැකි බෝ දේවල් ඒත් එක්කම කියා තිබුණේය.

 

මෙම විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස ඒ වන විට කටයුතු කරමින් සිටි ජගත් ෆොන්සේකා කාලයක්ම සේවයේ නිරතව සිටියේ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේය. එකල ත්‍රස්තවාදීන්ට එරෙහිව පමණක් නොව, පාතාල අපරාධකරුවන්ට එරෙහිවත් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් ක්‍රියාත්මක විය. ඒ නිසා ඔහුට හැම පැත්තෙන්ම තොරතුරු ලැබෙන හොඳ බුද්ධි ජාලයක් තිබුණේය. විමර්ශන ඒකකයේ නිලධාරීන් බිලිබා ගැනීමට සචිත්‍ර ලොකු උත්සහයක නිරතවන බව ජගත් ෆොන්සේකාට තොරතුරු ලැබෙන්නට ගත්තේ එම බුද්ධි ජාලයේ සිටි ඔත්තුකරුවන් කිහිපදෙනෙකු මඟිනි. ඇතැම් නිලධාරීන්ගේ ගේ දොර පිහිටා ඇති ප්‍රදේශවල පවා සචිත්‍රගේ සමීපතමයින් කරක් ගසමින් සිටින බවට පවා තොරතුරු ජගත් ෆොන්සේකාට එම තොරතුරු කරුවන්ගෙන් ලැබෙන්නට විය. තමා යටතේ සිටින නිලධාරීන් ගැන විශ්වාසයක් තිබුණ ද ජගත් ෆොන්සේකා මෙහිදී කල්පනා කරනු ලබන්නේ පුංචි වරදකටවත් මෙහිදී ඉඩ නොදිය යුතු බවය. ඒ නිසාම මෙම විමර්ශනයට අදාළ ගොනුව තමාගේ අධීක්ෂණය මත තබා ගැනීමට ඔහු වග බලා ගත්තේය. සචිත්‍රට අද ගැලවිල්ලක් ලැබී නැත්තේ එබැවිනි.

 

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සචිත්‍ර සම්බන්ධයෙන් කළ විමර්ශන ගොනුව නීතිපති වෙත යොමු කරනු ලබන්නේ ද 2021 වසරේදීය. ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය සම්බන්ධයෙන් වූ විමර්ශනයක ගොනුවක් ද ඇතුළුව ගොනු 04ක්ම විටෙන් විට නීතිපති වෙත යොමු කිරීමට ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පියවර ගත්තේය.

 

එසේ නීතිපතිවරයාගෙන් උපදෙස් පතමින් යොමු කළ එම ගොනු අතරින් නීතිපතිවරයාගෙන් පළමු උපදෙස ලැබෙන්නේ සචිත්‍රගේ ගොනුව සම්බන්ධයෙනි. ඒ නීතිපති වෙත එම ගොනුව යොමුකර වසර දෙකකට පමණ පසුවය. සචිත්‍රගේ ගොනුව සම්බන්ධයෙන් වූ ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට විමර්ශන අංශයට උපදෙස් ලැබෙන්නේ ද 2023 ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භයත් සමඟිනි. ඒ එම තරගාවලියට සමගාමීව ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියෙක් මෙරටට පැමිණ සචිත්‍ර සම්බන්ධයෙන් වූ විමර්ශනයේ ප්‍රගතිය ගැන සොයා බලමින් සිටියදී වීම විශේෂිතය.

 

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඒ වන විට තිබෙන්නේ අක්‍රිය තත්ත්වයකට පත් වෙමිනි. එහි සේවයේ නිරත පොලිස් නිලධාරීන් බොහෝදෙනෙකු ස්ථාන මාරු කර තිබුණේය. ජගත් ෆොන්සේකා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වීමත් සමඟ ඔහුව ද එම ඒකකයෙන් ඉවත් කර වෙනත් තැනකට දැමුවේය. ඒත් එක්කම ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පත්වන්නේ නාමික විමර්ශන අංශයක් බවටය. ඒ ක්‍රිකට් ඇතුළු තවත් ක්‍රීඩා කිහිපයක් සම්බන්ධයෙන් වූ දූෂණ වංචා ගොන්නක් ගැනම පැවති විමර්ශන ඇණ හිටවමිනි.

 

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ස්වභාවික මරණයකට පත්වන්නට ඉඩදී බලධාරීන් බලා සිටියදී ඒ හැම දෙයක්ම කණපිට පෙරළෙන්නේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාගේ ලංකා ගමනයත් සමඟිනි. නැවතත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පණ ලැබෙන්නේ නව අධ්‍යක්ෂවරයෙක් පත් වෙමිනි. ඔහු පොලිස් අධිකාරී ජයනාත් වනසිංහය. සචිත්‍ර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ක්‍රියාත්මක වන්නේ ඒත් එක්කමය. නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන විට සචිත්‍ර සිටින්නේ රටින් බැහැරවය. අගොස්තු 14 වෙනිදා සචිත්‍රට එරෙහිය විදෙස් ගමන් තහනමක් පවා පැනවෙන්නේ ඔහු මෙරටට පැමිණ වැඩි කාලයක් ගතවන්නට මත්තෙනි. ඒ පැමිණි සචිත්‍ර කට්ටි පනිමින් සිටියේ අත්අඩංගුවෙන් මිදෙන්නට මඟක් සොයමිනි. නීතීඥ සහය ඇතිව පසුගිය 06 වෙනිදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට ඔහු පැමිණෙන්නේ වෙන කරන්නට යමක් ඔහුට නොමැති වූ තැනය. නීතිපතිවරයාගේ උපදෙස්වලට අනුව සචිත්‍ර අත්අඩංගුවට ගැනෙන්නේත් ඒ පැමිණ භාරවීමෙන් අනතුරුවය. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසිනි. ඉතිහාසයට මෙම අත්අඩංගුවට ගැනීම එක්වන්නේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් ක්‍රීඩාව හා සම්බන්ධ දූෂණයක් සම්බන්ධයෙන් ක්‍රීඩකයෙක් අත්අඩංගුවටගත් පළමු අවස්ථාව ලෙසිනි. මෙම විමර්ශන අංශය ආරම්භ කර එතෙක් මෙතෙක් කාලය තුළ සිදු වූ පළමු අත්අඩංගුවට ගැනීමට වන්නේ මෙයය.

 

අත්අඩංගුවට ගත් සචිත්‍රගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවටය. එහිදී නීතිපති වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වනු ලබන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ය.

 

විමර්ශන නිලධාරීන් විසින් හෙළිකර ගත් හැම තොරතුක් ගැනම ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වන්නට ආරම්භයක් ගනු ලබන්නේ “ස්වාමීනි… ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශනය සිදු කෙරෙනවා. 2020 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇලෙක්ස් මාෂල් නැමැති නිලධාරියකු එවක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ වුණේ. එම පැමිණිල්ලට අනුව 2020 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට අඩුවෙන් ක්‍රීඩා කිරීමට හෝ පක්ෂග්‍රාහී ආකාරයෙන් ක්‍රීඩා කරන ලෙස මෙම සැකකරු පෙලඹවීම් සිදු කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වුණා” යැයි සඳහන් කරමිනි.

 

“මෙහිදී ධම්මික ප්‍රසාද් නැමැති ක්‍රීඩකයාට “ස්ටැබී” නැමැති පුද්ගලයකු විදේශයක සිට දුරකතනයෙන් කතා කර තිබෙනවා. තමන් කියන ආකාරයට ක්‍රීඩා කළොත් ඊට වඩා වැඩි මුදලක් උපයාගත හැකි බවත් මෙම පුද්ගලයා ධම්මික ප්‍රසාද් නැමැති ක්‍රීඩකයාට යෝජනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකකාර සචිත්‍ර සේනානායක නැමැති ක්‍රීඩකයා ද මැදිහත් වී ධම්මික ප්‍රසාද් නැමැති ක්‍රීඩකයාට දුරකතන ඇමතුම් 12ක් පමණ ලබා දී බලපෑම් කර තිබෙනවා.”යැයි පවසමින් ඒ ගැන දිලීප පීරිස් අධිකරණයේ අවධානයට ද යොමු කරනු ලැබුවේය. දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙන්වා දෙනු ලබන්නේ ස්ටැබි සහ ෂහීඩ් යන දෙදෙනා ජාත්‍යන්තර බුකී කරුවන් බවය. ධම්මිකට හා තරිඳුට තරග පාවාදීමකට කතා කර ඇතැයි කියන්නේ ඔවුන් දෙදෙනාය. සචිත්‍ර මැදිහත් වන්නේ වැඩේ නොකෙරුණු බැවිනි. දිලීප පීරිස් මහතා පෙන්වා දෙන්නේ එම ජාත්‍යන්තර බුකීකරුවන්ගේ දේශීය නියෝජිතයෙක් ලෙස සචිත්‍ර කටයුතුකර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවය.

 

මෙහිදී තවත් විශේෂ කරුණක් අධිකරණය හමුවේ දිග හැරුණේය. ඒ සචිත්‍ර විසින් තරිඳුට පුද්ගලයකු අත විස්කි බෝතලයක් ලබාදීමක් ගැනය. ඒ පුද්ගලයා කවුරුන් දැයි සචිත්‍ර මුල් අවස්ථාවේදී හෙළි නොකළත් අධිකරණය හමුවේ පවසන්නේ ඒ තැනැත්තා වත්තල පදිංචිකරුවෙක් බවය. එම පුද්ගලයාව ඉදිරි සතිය තුළ විමර්ශන ඒකකය හමුවට ඉදිරිපත් කරන බවද අධිකරණයේදී සඳහන් වන්නේ සචිත්‍ර සම්බන්ධයෙන් වූ විමර්ශන තවමත් අවසන් නොමැති බවට ඉඟියක් පළ කරමිනි.

 

ඒ හැරුණු කොට සචිත්‍ර සම්බන්ධයෙන් වත්කම් විමර්ශනයක් ද ආරම්භ කිරීමට මේ වන විට අවධානය යොමුවී හමාරය. එහිදී ඔහුට අයත් අවන්හල ගැන පමණක් නොව, සමීපතමයෙන්ගේ දේපොළ ගැන ද විශේෂ අවධානයකට යොමු කරමින් විමර්ශනයක් ඉදිරියේදී සිදු කිරීමට ඇති බව ද අධිකරණයේදී දිග හැරුණු ඇතැම් ප්‍රකාශවලින් පෙනී යන්නේය.

 

සචිත්‍ර සම්බන්ධයෙන් කෙරුණු තරග පාවාදීමකට කළ යෝජනාවට අදාළ මෙම විමර්ශනයේදී ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් ක්‍රිකට් ක්‍රීඩාව හා බැදී ඇති සූදුව ගැන බොහෝ තොරතුරු අනාවරණය කරගෙන තිබුණේය. ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ පිරිසක් පස්සේ ද විමර්ශන නිලධාරීන් පන්නමින් සිටියේය. ඒ හැරුණු කොට සමාජයේ තවත් බලවත් පිරිසක් පස්සේ විමර්ශන නිලධාරීන් පන්නමින් සිටියේය. ඒ දේවල් ගැන වැඩි දුර විමර්ශනයක් සිදු නොවන්නේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ක්‍රමයෙන් අක්‍රිය වන්නට වූ බැවිනි.

 

“මෙම ජාලය පිටුපස ප්‍රබල පුද්ගලයන් සිටින බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප විමර්ශන කළ යුතුයි.“ යැයි කියා දිලීප පීරිස් මහතා ද අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ ඒ ගැන විමර්ශන නැවතුණු තැනින් නැවත ඇරඹීමට ආරම්භයක් ද තබමිනි. .

 

. සචිත්‍ර සේනානායක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරාල අධිකරණය හමුවේ මෙහිදී පෙන්වා දෙන්නේ ” ස්වාමීනි ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය තුරන් කිරීමට අවශ්‍ය නම් එය ආරම්භ කළ යුත්තේ සචිත්‍ර සේනානායකගෙන් නොවෙයි. එය ආරම්භ කළ යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්.“ යැයි කියාය.

 

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදාගන්න අවශ්‍ය නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විමර්ශනය කළ යුතුයි. පසුගිය දා නිමා වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ඊට අනුග්‍රහය දැක්වූ බොහෝ ආයතන ඔට්ටු ඇල්ලීමේ නිරත ආයතන වෙනවා “ යැයි ද අධිකරණය හමුවේ සචිත්‍රගේ නීතීඥවරු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විමර්ශනයක අවශ්‍යතාව ද පෙන්වා දෙමිනි.

 

ඒත් එක්කම සචිත්‍රගේ නීතීඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔට්ටු තබන වෙබ් අඩවි ගණනාවක ලියාපදිංචි වී සිටින බවය.

 

“මාගේ සේවාදායකයා ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙක්. ඔහු මුදලට විවිධ කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරනවා. තම සේවාදායකයා පදිංචිය මගහැර විමර්ශනවලට සහාය නොදී සිටින බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. කැඳවීම් ලද සෑම අවස්ථාවකම මාගේ සේවාදායකයා විමර්ශන කණ්ඩායම් හමුවේ පෙනී සිටියා. අදත් ඒ ආකාරයෙන්ම පෙනී සිටීමක් කළා. විමර්ශන පැවැති පසුගිය කාලසීමාව තුළ ඔහු හයවතාවක් විදේශගතව ආපසු මෙරටට පැමිණියා. විමර්ශන මඟ හැර පළා යාමට සූදානම්ව සිටින පුද්ගලයෙක් නම් විදේශගත වී මේ ආකාරයෙන් ආපසු මෙරටට පැමිණෙන්නේ නෑ. ඔහු දෙදරු පියෙක්.“ යැයි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහිදී සචිත්‍රගේ නීතීඥවරයා දැඩි උත්සාහයක නිරත වන්නේ සචිත්‍රට ඇපයක් ලබා ගැනීමටය.

 

ඊට දිලීප පීරිස්ගෙන් කිසිදු ඉඩක් නොවීය. “මෙම සැකකරු පදිංචිය මඟහැර විමර්ශනවලට සහය නොදී සිටින පුද්ගලයෙක්. විමර්ශනවලට අවශ්‍ය දුරකතනයක් ඉල්ලා සිටියත් ඔහු එම දුරකතනයක් ලබා දුන්නේ නෑ. ඔරු පදින අවස්ථාවේ ජලයට වැටී එය විනාශ වූ බව ප්‍රකාශ කර තිබෙනවා.“ යැයි පවසමින් අධිකරණයේ විශේෂ අවධානයකට ඒ ගැන යොමු කරමින් සචිත්‍රට ඇප නියම කළ හොත් ඔහු අධිකරණය මඟහැර පලා යෑමේ ප්‍රවණතාවත් ඇතැයි පෙන්වා දෙමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

 

සචිත්‍රව ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කරනු ලබන්නේ මේ හැම කරුණක් කෙරෙහිම සලකා බලාය. ඒත් එක්කම තවත් නියෝගයක් නිකුත් කරනු ලබන්නේ සචිත්‍රව ලබන 13 වෙනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය. ඒ විනාඩි 49ක් පුරාවට ධම්මික සමඟ සචිත්‍ර කතාබහක නිරත වන වීඩියෝ ඇමතුමට අදාළ පටිගත කර ඇති හඩ පටයේ ඇති හඬ හා සචිත්‍රගේ හඬ ගැළපීමක් කිරීමටය. එම හඬපටය පවා විමර්ශන නිලධාරීන්ට ලබාදී ඇත්තේ ජගත් ක්‍රිකට් කවුන්සලය විසිනි. ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකය විසින් ලබාදුන් උපදෙස්වලට අනුව ධම්මික විසින් 2020 වසරේ දෙසැම්බර් මාසයේ 22 වෙනිදා පටිගත කළ බව කියන එම වීඩියෝ පටය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ගේ විමර්ශනයට මෙහිදී ලක්වනු ඇත. තරග පාවාදීමකට සචිත්‍ර විසින් කළ යෝජනාව ගැන ක්‍රීඩා වැරදි ඒකකයට ධම්මික පැමිණිලි කළේ දැයි කියා විමසමින් සචිත්‍රට දොස් නඟන්න ආකාරය පවා සටහන්ව ඇත්තේ මෙම වීඩියෝවේය.

 

“හැමෝම කරන්නේ බිස්නස් එකක්. මේකෙන් උඹලට වගේම උඹලගේ පවුල් පිටින් ගොඩයන්න පුළුවන්.“ යැයි කියා ද සචිත්‍ර පවසන හඬ පවා එහි පටිගතව ඇත්තේය. සචිත්‍ර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය තත්ත්වයන් කුමන දිසාවකට ගමන් කරන්නේ දැයි එම හඬ පරීක්ෂාව මඟින් තීරණය වනු ඇත.

 

මෙම නඩු කටයුත්තෙන් සචිත්‍ර තරග පාවාදීමකට සම්බන්ධ බවට එල්ලවී ඇති චෝදනාවලට වරදකරු වුවහොත් වසර 10ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් හා රුපියල් මිලියන 100ක දඩයක් නියම කිරීමට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වන බලය අධිකරණය වෙත පැවරී ඇත්තේය.

 

උපුටා ගැනීම- සිළුමිණ පුවත්පත

 

 

ශ්‍රී ලංකාවේ විශ්වාසභංග ඉතිහාසය සහ ‘රස කතා’

ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංගයකට මුහුණ දෙන 14වැනි ඇමතිවරයා බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත්ව තිබේ.

 

ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගය ඉල්ලා සිටි දින තුනක විවාදය  (සැප්තැම්බර් 06 ) ආරම්භ විය. ඊට අදාළ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 08 ) පස්වරු 5.30ට සිදු කිරීමට නියමිතව ඇත.

 

1947 ඔක්තෝම්බර් 14 වැනිදා පළමු පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිට) මේ දක්වා සමස්ත රජයට හෝ ආණ්ඩුවකට එරෙහිව විශ්වාසභංග යෝජනා 27ක් ඉදිරිපත්ව ඇත.

 

රජයකට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනා, කරුණු සලකා බැලීමෙන් අනතුරුව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළ අවස්ථා දෙකක් තිබේ. එම්. ඒ බාකිර් මාකර් කතානායකවරයා විසින් ඒවා ප්‍රතික්ෂේප කළේය. 2001 දී රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ඉදිරියට ගෙන යාමේ හැකියාවක් ලැබුණේ නැත.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු සිව් දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත්ව තිබේ.

 

1957 සැප්තැම්බර් 04 වැනිදා එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ දී අපූරු සිදුවීමක් වාර්තා විය. ඒ, එම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ එක් මන්ත්‍රීවරයෙකු පමණි. අදාළ යෝජනාව සී. සුන්දරලිංගම් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අතර සී. වන්නිසිංහම් ස්ථිර කර තිබිණි. එහෙත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් ද ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ එක් ඡන්දයක් පමණි. ඊට එරෙහිව ඡන්ද 45ක් ලැබී තිබිණි.

 

මුල් කාලයේ දී විශ්වාසභංග වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙන්නේ පැවති රජයේ ක්‍රියා කලාපයට එරෙහිව වන අතර මෑත කාලීනව දක්නට ලැබෙන ප්‍රවණතාව වන්නේ සමස්ත රජයට හෝ ආණ්ඩුවට නොව ඇමතිවරු ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වීමයි.

 

කෙහෙළියට ඇති චෝදනා

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදය විසඳීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල අසමත් වී ඇති බවත් වගකීම පැහැර හැර තිබෙන ඔහු එම අමාත්‍යධුරය තවදුරටත් දැරීමට නුසුදුසු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 47 දෙනෙකුගේ අත්සනින් ඉකුත් ජූලි මාසයේ දී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දුන්හ.

 

ඖෂධ හිඟය, ටෙන්ඩර් පටිපාටිවලින් බැහැරව ඖෂධ ආනයනය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ හා උපකරණ ආනයනය නිසා ඇතැම් මරණවලට හේතු වී ඇති බව පවසන විපක්ෂය වැඩිදුරත් පෙන්වා දෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිය මූලික රාජකාරිය පැහැර හැරීමේ වන්දිය ජනතාවට ගෙවීමට සිදුව ඇති බවය.

 

”මේ බාල ඖෂධ භාවිතය නිසා රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්වෙලා තියෙනවා. ඇස් අන්ධවෙලා තියෙනවා. අබ්බගාත වෙලා තියෙනවා. ඒ වගේම හෙදියන්, වෛද්‍යවරු රට අතහැරලා යන්න පටන් අරගෙන තියෙනවා. මේ ප්‍රශ්නවලට සෞඛ්‍ය ඇමතිගෙන් උත්තර නැහැ.” යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවේය.

විපක්ෂය බෙදීමකට ලක්ව ඇති අවස්ථාවක ජයග්‍රහණය කිරීමට නොහැකි , පදනම් විරහිත චෝදනා එල්ල කරමින් මේ අවස්ථාවේදී විශ්වාසභංගයක් ගෙන ඒම ගැටලු සහගත බවත් එය අනිවාර්යෙන්ම ජය ගන්නා බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

 

බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති මෙම විශ්වාසභංගය යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය ගැනීම සදහා විපක්ෂය ද විශ්වාසභංගය පරාජය කිරීම සදහා ආණ්ඩු පක්ෂය ද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු සභිකයන් එකිනෙකා අතර සාකච්ඡා පවත්වමින් තිබේ.

විශ්වාසභංගකට මුහුණ දුන් ‘තාත්තයි පුතයි’

 

 

පාර්ලිමේන්තු ඉතිහාසය පරික්ෂා කර බැලීමේ දී විශ්වාසභංගයකට මුහුණ දුන් පළමු ඇමතිවරයා වන්නේ මහානාම සමරවීර ය. හැටේ දශකය ආරම්භයේ දී පළාත් පාලන සහ නිවාස අමාත්‍ය ධූරය දැරූ ඔහුට විශ්වාසභංග දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ 1960 දෙසැම්බර් 20 වැනිදා සහ 1962 අගෝස්තු 09 වැනිදා ය. ඔහු මෙන්ම විශ්වාසභංග දෙකකට මුහුණ දීමට සිදු වූ තවත් ඇමතිවරයෙකු විය. ඒ, අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ධූරය දැරූ අයි.එම්.ආර්.ඒ ඊරියගොල්ල ය. ඔහුට එරෙහිව විශ්වාසභංග දෙකක් 1965 දී හා 1968 දී ඉදිරිපත් කෙරුණි.

තැපැල්, සන්නිවේදන සහ මාධ්‍ය අමාත්‍ය ධූරය දැරූ මංගල සමරවීරට ද 1998 දී විශ්වාසභංගකට මුහුණ දීමට සිදු විය. ඔහු මහානාම සමරවීරගේ පුත්‍රයා ය.

 

කෙහෙළිය රඹුක්වැල්ලට පෙර විශ්වාසභංගයට මුහුණ දුන් ඇමතිවරයා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයේ බලශක්ති අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ උදය ගම්මන්පිල වේ. 2021 ජූලි 20 වැනි දා පැවති ඡන්ද විමසීමේ දී ඔහු වැඩි ඡන්ද 91කින් ජය ගත්තේය.

 

විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වූ අමාත්‍යවරු

  • මහානාම සමරවීර (පළාත් පාලන සහ නිවාස අමාත්‍ය)-පළමු අවස්ථාව 1960 දෙවන අවස්ථාව 1962
  • අයි.එම්.ආර්. ඒ ඊරියගොල්ල (අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය)- පළමු අවස්ථාව 1965 දෙවන අවස්ථාව 1968
  • එම්.එච්. මොහොමඩ් (කම්කරු හා රැකීරක්ෂා අමාත්‍ය) – 1969
  • ෆීලික්ස්. ආර්.ඩී බණ්ඩාරනායක ( අධිකරණ සහ මුදල් අමාත්‍ය)- 1976
  • ඩී.බී විජේතුංග (මුදල් අමාත්‍ය ) – 1992
  • එම්.එච්.එම් අෂ්රොෆ් (නාවික, වරාය, පුනරුත්තාපන සහ ප්‍රතිසංස්කරණ අමාත්‍ය)-1995
  • මංගල සමරවීර (තැපැල් සන්නිවේදන සහ මාධ්‍ය අමාත්‍ය)- 1998
  • ජෝන් අමරතුංග (අභ්‍යන්තර කටයුතු අමාත්‍ය)-2002
  • තිලක් මාරපන (ආරක්ෂක අමාත්‍ය)- 2003
  • මහාචාර්ය ජී.එල් පීරිස් (විදේශ කටයුතු අමාත්‍ය)- 2010
  • ඩිලාන් පෙරේරා (විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබ සාධක අමාත්‍ය)- 2013
  • රවී කරුණානායක (මුදල් අමාත්‍ය )- 2016
  • උදය ගම්මන්පිල (බලශක්ති අමාත්‍ය)- 2021

 

සැමියා සහ බිරිඳට මුහුණ දීමට සිදු වූ විශ්වාසභංග

අග්‍රාමාත්‍යවරු සිව් දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වූ අතර එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක ද ඒ අතරට අයත් වේ. අගමැතිවරුන් මුහුණදුන් විශ්වාසභංග අතරින් තුනක් පරාජය විය. මහින්ද රාජපක්ෂගේ දින 52 ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ ද එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන දැඩි විවිචනයකට ලක් වූ, පාර්ලිමේන්තුවට ‘කළු පැල්ලමක්’ එකතු වූ සිදුවීමක් බව එවකට කතානායක කරූ ජයසූරිය BBC සිංහල සේවය සමග පැවති සංවාදයකදී සඳහන් කළේය.

 

2018 නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයක් මෙන්ම සමස්ත ආණ්ඩුවකට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයක් ලෙස ද සැලකිය හැකිය.

”දැනට පත්වී ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැතිබව ප්‍රකාශ කරනවා”

එදින මූලාසනය දැරුවේ කතානායක කරූ ජයසුරිය විසිනි. අනුර කුමාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවක් විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් ස්ථිර කිරීමෙන් පසු සභාවේ අනුමැතියෙන් ස්ථාවර නියෝග අත්හිටුවමින් ගෙන හා විශ්වාසභංග යෝජනාවක් වීම මෙය විශේෂ වේ. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට හෝ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නැත. ඡන්දය ගැනීමේ දී කටහඬ අනුව ඡන්දය ලබාගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඊට දැඩි විරෝධය පළ කළහ. කතානායකවරයා අවසානයේ දී ”දැනට පත්වී ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැතිබව ප්‍රකාශ කරනවා” යනුවෙන් සඳහන් කළේය.

එම උණුසුම් තත්වයේ දී පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන, පොත්පත් හා වෙනත් දේපලවලට හානි විය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ද තීන්දුව මත මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය අහිමි විය.

2018 නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ දී ඇතිවූ ගැටුම්කාරී තත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව, ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ විමර්ශන කමිටුව කතානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් විය. මෙම මන්ත්‍රීවරුන් 59 දෙනා අතරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ ප්‍රසන්න රණවීර ගේය.

චෝදනා 12 කට ඔහුගේ නම සඳහන් වී තිබූ අතර ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය.

මෙම දින තුන තුළදී සිදු වූ දේපළ හානිය, බදු නොමැතිව රුපියල් 325,000ක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කොට තිබේ.

විශ්වාසභංග යෝජනාවලට මුහුණ දුන් අගමැතිවරු

  • 1957 – එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක
  • 1975 – සිරිමාවෝ බණ්ඩාරනායක
  • 2018 – රනිල් වික්‍රමසිංහ
  • 2018 – මහින්ද රාජපක්ෂ

එදා රනිල්ට විශ්වාසභංගය ගෙනාපු කෙනා අද අගමැති

එදා රනිල්ට විශ්වාසභංගය ගෙනාපු කෙනා අද අගමැති

අගමැතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර ඇති අතීතය විමසා බැලීමේ දී 2018 අප්‍රේල් 04 වැනි දින එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයේ විශේෂත්වයක් දක්නට ලැබේ. රනිල් වික්‍රමසිංහට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන විසින් වන අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එය ස්ථිර කරන ලදී. යෝජනාවට පක්ෂව ඡන්ද 76ක් ලැබුණ ද එම යෝජනාවට විරුද්ධව ඡන්ද 122ක් ලැබුණු නිසා රනිල් වික්‍රමසිංහ එදින ජයග්‍රහණය කළේය. මන්ත්‍රීවරු 26ක් එදා ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට පැමිණියේ නැත.

 

කෙසේ වෙතත් එදා විශ්වාසභංගයට මුහුණ දුන් රනිල් වික්‍රමසිංහ අද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන අතර එදා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය හොඹවයි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් වෙනස අතේ පත්තු වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වෙනසකට සැරසෙන හැටි 72 වැනි සංවත්සරය දා මුළු රටම දැනගත්තා යැයි කීවොත් එය වැරදිය. සෙනඟ සිටියේ නැති නිසා බොහෝ පිරිසක් සිද්ධිය දැන ගත්තේ එහෙන්, මෙහෙන් ගිය ප්‍රවෘත්ති වලිනි. කවි, ගී, නැටුම් හැරෙන්නට එහි තිබූ අලුත් දෙයක් නැත.අරුත් සුන් කතා කිහිපයකින් පිරී ගිය ඒ “වෙනස” මෛත්‍රීගේ නිර්මාණයක්ද, එසේ නැතිනම් කාගේ නිර්මාණයක් දැයි රැස්ව සිටි සැබෑ ශ්‍රී ලංකාකාරයෝ රහසින් එකිනෙකාගෙන් විමසන්නට වූහ. සංවත්සර උත්සවයත්, මෛත්‍රීගේ උපන් දිනයත් එකටම ගත් නිසා මෛත්‍රී නම් හිටියේ හොඳටම චූන් වී ගෙනය. රනිල් ළඟට මෛත්‍රී දක්කන් යන්නට ආ සෙට් එකම ඔහු ළඟින් සිටියේය. දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ලෙස පැමිණ සිටියේ රනිල් සහ රාජපක්ෂවරු යන සියලු දෙනාම නියෝජනය කරමිනි. ලංසාගේ කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපාවද වෙන දේ බලා ගන්නට එවා තිබිණ . විජේදාස රාජපක්ෂ සමගින් ජෝන් සෙනවිරත්නද විශේෂ ආරාධිතයන් ලෙස සංවත්සරයට පැමිණ සිටියහ.

 

උත්සවයේ මනාලයා වූයේ අලුත් දීගය පටන්ගත් මෛත්‍රීය. මනාලයාගේ කතාවේදී රෑ එකේ සිට සංවත්සරය සඳහා වූ උත්සව ශාලාව සකසන්නට වෙහෙස වූ අයටත්, කොඩි ඔසවා, පෝස්ටර් ගැසූ අයටත් දීර්ඝ ලෙස ස්තූති කිරීමක් සිදු විය. මේ පිරිස නැත්නම් මෙවැනි ලස්සන වැඩක්, නැතිනම් මඟුලක් ගන්නට බැරිවන බවද පක්ෂයේ සභාපතිවරයා සිනාසෙමින් කීවේය. ඒ හැරුණු කොට අලුත් වෙනස ගැනවත්, ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන කොටගත් රජයක් පිහිටුවීමේ සූදානම ගැනවත් මෛත්‍රී කිසිවක් පැහැදිලි නොකළේය. තරුණ සේවා සභාවෙන් ගෙන්වන ලද තරුණ කොල්ලන්, කෙල්ලන් ශුංගාරාත්මකව නර්තනයේ යෙදෙද්දී “අලුත් වෙනස” මෙය වෙන්නට ඇතැයි ඒ දෙස බලා සිටි බොහෝ දෙනා සිතූහ. සංවත්සරයට සහ මෛත්‍රීගේ උපන් දිනයට මිලියන 20ක් එකතුකර දුන් නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, යන අමාත්‍යවරුන්ද, දුමින්ද දිසානායකද සංවත්සර උත්සවයේ මෛත්‍රී ළගින්ම සිටියේය. රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාට උත්සවය සඳහා සහභාගි වීමට නොලැබුණේ හදිසියේම ඇතිවූ රෝගී තත්වයක් නිසා රෝහල් ගතවීමට සිදුවූ බැවිනි. ඒ නමුත් ඔහුද කරන්නට ඕනෑ යුතුකම් සියල්ල මෛත්‍රී වෙනුවෙන් ඉටුකර තිබුණේය. ඒ කෙසේ නමුත් සංවත්සරය සඳහා බලාපොරොත්තුවූ පිරිසක් එක්ව සිටියේ නැත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සමාජ මාධ්‍ය හරහා සංවත්සරය සජීවීව ලෙස විකාශය කරනු ලැබුවත් එය නරඹමින් සිටියේ 550 කටත් අඩු ප්‍රමාණයකි.

 

” අරුන් රනිල්ට ජැක් එක ගහලා ඇමති තනතුරු ගත්තා. මෛත්‍රී එවුන්ව ගෙන්නලා අද අපිට දේශන තියෙනවා. ගමේ ඉන්න අහිංසක ශ්‍රී ලංකාකාරයෝ තවමත් දන්නෙ නෑ අපි ආණ්ඩුවේ කියලා. එහෙම නැත්නම් රනිල් – රාජපක්ෂලාගේ ගොට්ටෝ කි⁣යලා.” ⁣නිමල් සිරිපාලගේත්, අමරවීරගේත් කතා දෙක අසා සිටි ආසන සංවිධායකවරු කිහිප දෙනෙක්ම එසේ කියමින් උත්සවය අතරතුර කෑ ගසා පිටව ගොස් තිබිණ.

 

සංවත්සර උත්සවයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර කළ කතාව පමණක් මඟුල් ගෙදර ගැසූ ලොකුම වෙඩිල්ල විය. ” එක්කෝ අපි ආණ්ඩුවේ දේශපාලනය කරන්න ඕන…එක්කෝ අපි විපක්ෂයේ දේශපාලනය කරන්න ඕන…⁣අපි සියලු දෙනාම එක මතයකට ඇවිල්ලා එක දේශපාලනයක් කරන්න ඕන….! යැයි දයාසිරි කියද්දී මෛත්‍රීද කම්මුලට අත තබාගෙන බලා සිටියේය.

 

සමහරු නම් කීවේ දයාසිරි එම කණේ පහර ගැහුවේ හරියටම නිල බලා කියාය. ඒත් නිල මැස්සන් කවුරුදැයි කියා තවමත් නොදන්නා ශ්‍රී ලංකා කාරයෝ පිරිසක්ද ඉන්නා බව එදා සංවත්සරයේදී ඇතැමුන් හැසිරුණු ආකාරයෙන් මේ ලියුම්කරුට දක්නට ලැබුණි.

 

© විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

 

 

ශ්‍රී ලනිපයේ 72 වැනි සම්රුවට කපන්නේ අයිසින් තවරන ලද විෂ කේක් ගෙඩියද?

හිටපු ජනපති සහ වර්ථමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් උපන් දිනය යෙදී ඇත්තේ එකම දිනයකටය. ඒ, සැප්තැම්බර් මස 02 වැනිදාටය. ඒ අනුව එදාට පාටි දෙකකි. එකක් බර්ත්ඩේ පාටි එකය. අනෙක සංවත්සර පාටි එකය. මෙදා සැරේ මෛත්‍රී පාටි දෙකම ගන්නට හදන්නේ අමුතුම විදියකටය. ඒ දවසක්ද පස්සට කල්දමා ගෙනය.

 

” පාස්කු වින්දිතයන්ටවත් ගෙවන්න මගේ ළඟ සල්ලි නෑ..මම කොටුවට ගිහින් සල්ලි හොයන්න කැට හොල්ලනවා….” කියපු මෛත්‍රී ⁣මෙදා සැරේ 03 වැනිදාට යොදාගත් පාටි දෙකටම සල්ලි හොයන වැඩේ බාර දී ඇත්තේ නිමල් සිරිපාල, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ජැක් ගසා සිටින පිරිසකටය.

 

මෛත්‍රීට ඇති නඩු ගණන වැඩි නිසා මෛත්‍රී දැන් සිටින්නේද රනිල්ගේ ඔඩොක්කුවේය.  රනිල්ට මෛත්‍රී හිරේ නොයවා කරගන්නට ඇති දේත් බොහෝය. අමරවීරට රනිල් පොළොන්නරුනව් කෘෂිකර්මය දියුණු කරන්නට උපදෙස් ලබා දී ඇත්තේ මෛත්‍රීපාල කියන විදියටය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වලට පිටුපා යමින් ආණ්ඩුවේ තනතුරුගත් පිරිස 72 වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මේලනයේ මෙදා ප්‍රධාන කථිකයෝය.

ඔය අතර අදටත් ගෝඨාභය රාජපක්ෂට හිතවත් නිමල් ලංසා ඇතුළු ඔහු විසින් නිර්මාණය කරන්නට යන පාර්ලිමේන්තු කණ්ඩායමද හෙට කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 සංවත්සරයට සහභාගි වීමට සූදානමින් සිටිති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවා මේ වෙන දේවල් දන්නේ නැත.කුමන්ත්‍රණය ඒ තරමටම සූක්ෂ්මය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සැබවින්ම ආදරය කරන පිරිසක් තවමත් මේ දෙස උපේක්ෂාවෙන් බලා සිටියි. රනිල්ටත්, පොහොට්ටුවටත් මේ මොහොතේ වුවමනා කරන්නේ වමේ කඳවුර දිය කර හරිමින් ඔවුන්ගේ බලය තහවරු කර ගැනීමය.

 

ඒ සඳහා වසර 72 ක් පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරිය යුතුමය. තනතුරු, තාන්න,මාන්න වලට එදත්,අදත් ලොභ බැඳින පිරිසක් ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව බාර ගෙන තිබේ. රාජපක්ෂවරුන්ටත්, වික්‍රමසිංහටත් මේ තත්ත්වය මහා වාසියකි. කුමන්ත්‍රණකරුවන් විසින් මෙත්‍රීපාලගේ උපන් දිනය දවසේම පක්ෂය විනාශ කිරීම සඳහා රනිල්, රාජපක්ෂවරුන්ගේ මුදලින් ගෙනෙන ලද අයිසිං තවරන ලද විෂ කේක් ගෙඩිය කපනු ඇත. සැබෑ ශ්‍රී ලංකාකාරයෝ ඒ දෙස බලා අත්පුඩි ගසනු ඇතිදැයි කියන්නට තවමත් කල් වැඩිය.

 

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

 

 

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් කරන මහා පාවාදීම

වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත් අනුව ඇමරිකානු තානාපති ජුලී චංග්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉන්දියාවේ නිල සහ ඇමරිකාවේ නිල නොවන තානාපති මිලින්ද මොරගොඩගේ නිෂ්පාදන දායකත්වයෙන් රඟදැක්වූ ‘ගෝඨා ගෝ හෝම් – රනිල් කම් බැක්’ නාට්‍යායේ දෙවන කොටස තමයි දැන් අපි මේ නරඹමින් සිටින්නේ. ජනාධිපති ගෝඨාභය එලවන ගෝල්ෆේස් මෙහෙයුම පිටුපස සිට දෙමළ ඩයස්පෝරාව සහ ආගමික අන්තවාදී බලවේග ප්‍රබල භූමිකාවක් ඉටු කලේ මේ අවස්ථාව නිර්මාණය කරගැනීමට තමයි.

 

ජනාධිපතිවරුන් 7 දෙනෙකු නොකළ දේ කරන්න තමයි රනිල් වික්‍රමසිංහ චරිතය පස්සේ දොරෙන් ගෙනැල්ලා ජනාධිපති පුටුවේ වාඩි කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒක බාර ගන්න තැනට තල්ලු කරන්න තමයි ඔවුන්ගේ ගෙවල් ගිනි තියන්නේ. කවුරුවත් අහන්නේ නැහැ ගෝඨාභය ජනාධිපති කියන දේ අහපු නැති ආරක්ෂක ප්‍රධානීන් කොහොමද රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියන දේ අහන්නෙ කියලා.

 

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න හෝ අඩු තරමින් එහෙම කරන බව ප්‍රසිද්ධියේ පිළිගන්න මීට පෙර කිසිදු ජනාධිපතිවරයකු ධෛර්යමත් වුණේ නැහැ. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරනවා කියන්නේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථා සංශෝධනයකින් සහ පරිපාලන වශයෙන් ඉවත් කිරීමයි. එහෙම කලාම පූර්ණ පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ඊළාම් රාජ්‍යයේ කළලය නිර්මාණය වෙනවා. මාස 9කින් කෙසේ වෙතත් අඩු තරමින් අවුරුද්දකින් ඊළාම් පැටිය හම්බවෙනවා.

 

එදා 1987 දී පූර්ණ පෙඩරල් රාජ්‍යයක් ලබාදෙන පොරොන්දුව අනුව තමයි ප්‍රභාකරන් ආයුධ බිම තියන්න එකඟ වෙන්නේ. එදා 13 ට විරුද්ධව එල්ල වූ ප්‍රබල මහජන විරෝධය නිසා ඊට එරෙහිව ව්‍යවස්ථාමය බාධක පනවන්න සිදුවුණා. ඒ නිසා ප්‍රභාකරන්ට ලබා දුන් පොරොන්දුව කඩ වුණා. ඒ නිසා තමයි ප්‍රභාකරන් නැවත යුද්ධය ආරම්භ කරන්නේ. වෙනත් වචනවලින් කියනවා නම් 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරපියව් කියලා තමයි ප්‍රභාකරන් නැවත යුද්ධය පටන් ගන්නේ.

 

එහෙමනම් රණවිරුවෝ 30,000ක් ජීවිත පූජා කලේ තවත් 29,000ක් අත,පය, ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන එක වලක්වන්න තමයි. දැන් මේ හදන්නේ යුද්ධයෙන් ලබාගත නොහැකි වූ දේ ‘රෙජීම් චේන්ජ්’ මෙහෙයුමකින් ලබාගන්නේ නොවෙයිද? බෙදුම්වාදීන්ට යුද්ධයෙන් දිනාගත නොහැකි වූ දේ බන්දේසියක තබා පිරිනමන්නට තමයි මේ සේනාධිනායකයා හදන්නේ. ඔහු එදා අගමැතිවරයා ලෙස 2002 දී ද මේ දේම කරන්න හැදුවා. සටන් විරාම ගිවිසුමට මුවා වෙලා ව්‍යවස්ථා විරෝධීව කොටින්ට තාවකාලික ආණ්ඩුවක් ලබා දෙන්න හැදුවා. එදා ජාතික බලවේගය එක නැවැත්තුවා. ඒ ප්‍රශ්නය මුල්කරගෙන අපි එතුමාව අගමැති පුටුවෙන් බැස්සුවා. 13 අපලය නිසා තමයි එතුමා පස්ස දොරොන් පැමිණ ලබාගත් ජනාධිපති පුටුව අතහැරලා ඉස්සරහ දොරොන් එළියට බහින්න වෙන්නේ. මේ රටේ බහුතර ජනතාවට ඒ සඳහා එතුමාට උදව් කරන්න බැරි වුනොත් එහෙම රණවිරුවන් දිවි පුදා රැක ගත් රට අපට අහිමි වෙනවා. ශ්‍රි ලංකාවේ ඉතිහාසය අවසන් වෙනවා.

 

එදා 2002 දී අපි ඔහුව වේදිකාවෙන් බැස්සුවේ නැතිනම් සුඩානයට සිදු වූ දේම තමයි අපට සිදුවෙන්නේ. සෝල්හයිම්ලා රනිල් වික්‍රමසිංහ මහතා අතට දුන්නේ සුඩානයට හැදූ සැලැස්මේ කාබන් කොපිය. අද සුඩානය දෙකඩ වෙලා මිනිස්සු දෙපැත්ත බෙදිලා බල්ලෝ බළල්ලු වගේ මරා ගන්නවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා එදා කළ නොහැකි වූ අපරාධය නැවත වටයකින් මේ රටට කරන්න හදන්න එපා කියලා. අපි එතුමට කියනවා රණවිරුවන්ගේ සොහොන් කොත් වලට මුත්‍රා කරන්න එපා කියලා. මේ ආබාධිත රණවිරුවන්ගේ ඔවුන්ගේ භාර්යාවන්ගේ දුවා දරුවන්ගේ මුහුණට කෙළ ගහන්න එපා කියලා.

 

අනුප්‍රාප්තික ජනාධිපතිට ජනවරමක් නැහැ. එතුමාට ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජනවරම ක්‍රියාත්මක කරන්න පමණයි. ව්‍යවස්ථාව අනුව ඔබට අඩු තරමින් එම ජනවරමේ කාලය අවසන් වන තුරු නව ජනවරමක් ඉල්ලන්නත් බැහැ. අපි ඔබට අභියෝග කරනවා පුළුවන්නම් 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න ජනවරමක් දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලලා හැකිනම් ජනාධිපතිවරණය පවත්වන්න කියලා. ඔබට ලැබිලා තියෙන ජනවරම අනුව කිසිසේත්ම 13 බලාත්මක කරන්න බලයක් ලැබිලා නැහැ. ඒ ජනවරම අනුව කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් සම්මත කරන එකයි. උතුරේ ජනතාවගේ පමණක් නොවේ සමස්ත සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමානාත්මතාවයෙන් සලකන සහ ඔවුන්ගේ සැබෑ අපේක්ෂා ඉටු කරන නව ව්‍යවස්ථාවකට අප විරුද්ධ නැහැ.

 

ඒ වගේම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ජනවරමක් ලැබිල නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බල ව්‍යාපෘතීන්ට ගොදුරුවන්න. ඔහු රට පාවා දීලා බෙදුම්වාදීන්ට කප්පම් දෙන්න හදන්නෙ.් ඊළඟ ජනාධිපතිවරනයේදී ඔවුන්ගේ ඡන්ද පොදිය ඉලක්ක කරගෙන. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඒ බල ගේම් එකේ ගොදුරක් වුණොත් ඔවුන් මේ රටේ ඉතිහාසය අවසන් කරලා තමන්ගේ ඉතිහාසයත් අවසන් කර ගන්නවා.

 

අද අප කැඳෙව්වේ මහජන විනිශ්චය සභාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඒ මහා ඓතිහාසික වරද කළොත් ඔවුන්ට ලබාදිය යුතු දඬුවම කුමක්ද කියලා ප්‍රකාශයට පත් කරන්න. අපි විශ්වාස කරනවා ඔවුන් මේ විනිශ්චයට කන් දෙයි, එය භාර ගනියි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හදන්නේ ඔහුගේ පාපය මන්ත්‍රීවරුන්ගේ හිස මත පතිත කරන්න. ඔහු හදන්නේ හිස් චෙක් පතකට මන්ත්‍රීවරුන්ගේ කණ අත්සන ගහගන්න. සර්වපාක්ෂික සමුළු කැඳවන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරන්න හදන්නේ මේ මහා අපරාදේ වගකීම මන්ත්‍රීවරුන් 225 දෙනා මත පටවන්න කියන එක ඔවුන් තේරුම් ගනියි කියලා අප හිතනවා.

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර