Press "Enter" to skip to content

Posts published by “Admin”

ෆේස්බුක් සාදයක් වටලා නීති විරෝධි මත්‍ද්‍රව්‍ය සමඟ 51 ක් STF බාරයට

රත්නපුර සුරාබදු අධිකාරියට ලද තොරතුරක් මත බලංගොඩ පොලිස් වසමේ බෙලිහුල්ඔය, හෝටලයක් තුළ නීති විරෝධිව පවත්වනු ලැබූ ෆේස්බුක් සාදයක දී වැටලීමක් සිදු කර තිබේ.

ඊයේ(16) සවස 4.30ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය කීපයක් සමඟ පුද්ගලයින් 51 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා රත්නපුර සුරාබදු අධිකාරිය වෙත බාර දී ඇත.

මෙහිදී ප්‍රිගැබ්ලීන් පෙති 20ක්, ඇපල් පෙති 3ක්, හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් ගංජා ග්‍රෑම් 150ක් සොයා ගෙන තිබේ.

දෙරණ 360 දයාසිරිගේ සායම අරී ”ඇත්තම කියන දයාසිරිගේ” වීඩියෝව මෙන්න

ආරක්ෂක මණ්ඩලයේ සිටි ඇතැමුන් ආරක්ෂක මණ්ඩලයේ දී ජංගම දුරකථනයක් දෙකක් තබාගෙන ඒවාට ඇන ඇන සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා තමන්ද සිටියදී පඬුවස්නුවරදී පැවති රැස්වීමකදී පැවසුවේ ඇතැමුන් කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකතනයට අනිමින් සිටින බවද කී මහ ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයේදී එවැන්නක් සිදු වූ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වීඩියෝව දමා පෙන්වන්නයි දෙරණ රූපවාහිනියට අභියෝගද කළේය.

එම අභියෝග දෙරණ රූපවාහිනිය විසින් පිළිගනිමින් සිය වෙබ් අඩවියේ අදාල වීඩියෝව පළ කර තිබිණි.

එම වීඩියෝව අනුව ජනාධිපතිවරයා පැහැදිලිවම සඳහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ ඇතැමුන් ජංගම දුරකථනයට ඇන ඇන සිටි බවයි.

https://www.facebook.com/watch/?v=449844432227898

කාදිනල් රංජිත් හිමිපාණෝ මාධ්‍ය ඉදිරියේ කදුළු සැලූ හැටි

කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) රෝමයේදී මාධ්‍ය හමුවක් පැවති අතර මෙහිදි කාදිනල් හිමියන් ඉතා සංවේදීව අදහස් පල කළේය.

“මේ විනාශය නවත්වාගැනීමට තිබුණු දෙයක්. ප්‍රහාරයක් සැලසුම් කරලා තිබුණු බවට මම දැනගෙන සිටියා නම් මම දේවස්ථාන වසා දමා බැතිමතුන්ට නිවෙස් වෙත යන්න කියනවා. අපිට ඔවුන් ආරක්ෂා කරගන්න තිබුණා. මින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා රජයේ වගකීම විරහිතභාවයයි.

ප්‍රහාරයෙන් තමන්ගේ බිරිද සහ දරුවන් තිදෙනාම මියගිය පුද්ගලයෙකු මට හමුවුණා. මම ඔහුව හමුවීමට ගියාම ඔහු මට පැවසුවා මීට පෙර රැකියාව අවසන්වී නිවස වෙත පැමිණියාම දරුවන් තිදෙනාම තමන් පිළිගැනීමට එන බවත් දැන් ඒ නිවසේ කිසිවෙකුත් නොමැතිව පාළුවට ගිහින්. ඔහු අද තනිවෙලා..

මම කතෝලිකයන්, බෞද්ධයන් ඇතුලු සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටියා මුස්ලිම්වරුන්ට එරෙහිව කටයුතු කරන්න එපා කියලා.

අපිට වැටහුණා මුස්ලිම් සමාජයම මේ ප්‍රහාරයට වගකියන්න ඕනේ නෑ කියලා”යනුවෙන් උන්වහන්සේ සිය අදහස් දක්වා ඇත.

මුහුදු පතුලේ සිට චිත්‍ර අඳින අපූරු සිත්තරෙක්

මුහුදු පත්ලේ සිට නිර්මාණකරනයේ යෙදෙන අපූරු සිත්තරෙක් පිළිබඳව කියුබාවෙන් වාර්තා වෙයි.

කියුබානු ජාතික චිත්‍ර ශිල්පී සැන්ඩර් ගොන්සාලේස්ට සිය නිර්මාණ කටයුතු සඳහා මීටර් කිහිපයක් ගැඹුරු මුහුදු පත්ල මෙන් ගැලපෙන වෙනත් ස්ථානයක් නොමැති තරම්.

කලබලකාරී පරිසරයෙන් මදකට ඈත්වී මත්ස්‍යයින් සහ විසිතුරු කොරල් පර වලට මැදිවී සිතුවම් නිර්මාණය කිරීමට ගොන්සාලේස් දැඩි ප්‍රියතාවයක් දක්වයි.

මීට වර්ෂ 6කට පෙර කිමිදීම ආරම්භ කළ ඔහු දිය යටදී නිර්මාණාත්මක අත්හදාබැලීමක් සිදු කිරීමට තීරණය කර තිබුණි.

ඒ අනුව මුහුදු පත්ලේ සිට සිතුවම් නිර්මාණය කිරීම ඔහු ආරම්භ කර තිබුණේ විනෝදාංශයක් ලෙසයි.

මේ සඳහා ගොන්සාලේස් ජලයට ඔරොත්තු දෙන විශේෂ උපකරණ යොදා ගන්නා බවද සඳහන්ය.

ගොන්සාලේස්ගේ හැකියාව කිමිදුම් කරන සංචාරකයන්ට නවමු අත්දැකීමක් වී ඇති අතර ඒ හේතුවෙන් මෙය කියුබාවේ සංචාරක ප්‍රවර්ධනයටද රුකුලක් වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම ගොන්සාලේස් තම නිර්මාණ කිහිපයක් මේ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ට ප්‍රදර්ශනය කිරීමටත් පියවර ගෙන ඇත.

මහින්ද හමුවෙන්න ප‍්‍රබල ඇමති තනිවම වාහනය පදවාගෙන එයි. පිම්මකට සූදානම්ලු.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් පසුගිය සතියේ දිනෙක විපක්ෂනායක නිල නිවසට රාත්‍රී 09.00ට පමණ තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට මෙම ප්‍රබලයා පැමිණ ඇත්තේ තමන් විසින්ම වාහනය පදවාගෙන ආරක්‍ෂකයන්ද ඉවත් කර තනිවමයි.

කෙසේ වෙතත් ඔහු විපක්ෂ නායකවරයා එහිදී මුණගැසී නැති අතර එම අවස්ථාවේ එහි වැඩි පිරිසක් සිටීම හේතුවෙන් වාහනය ආපසු හරවා ගෙන ගොස් ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි මැතිවරණයට පෙරාතුව මෙම ප්‍රබලයා කිහිපදෙනකු සමග මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වවීමට කැමැත්තෙන් පසුවන බවකි.

රාජිත පනින්න පෙර ලිදට වැටේ. ඒකාබද්ද විපක්‍ෂයට එක් කරගැනීම තහනම් කරයි. මන්ත‍්‍රී කණ්ඩායමක් දැඩි විරෝධයේ.

ඇමැති රාජිත සේනාරත්න මහතා කිසිසේත්ම ඒකාබද්ධ විපක්ෂයට එක් එක් කර ගත යුතු නැතැයි එහි මන්ත‍්‍රිවරුන් පිරිසක් දැඩි මතයක සිටිති.

දුම්වැටි ප්‍රශ්නයක් මුල් කරගෙන තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම සාකච්ඡාව ඇති වී තිබේ.

සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් කඩා වැටෙන්නට ආසන්න වෙද්දී රාජිත සේනාරත්න මහතා මේ ආකාරයෙන් කටයුතු කරන නමුත් කිසිසේත්ම සේනාරත්න මහතා තම කණ්ඩායමට සම්බන්ධ කර ගත යුතු නැති බව ඔවුනගේ මතයයි.

මෙසේ විරෝධතා දක්වන පිරිස අතර කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහ තවත් මන්ත‍්‍රීන් පිරිසක් වෙතැයි ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරයෙක් අප වෙත කීය.

මේ අතර මෙරට ප්‍රධාන පෙළේ බලවත් වෘත්තිය සමිතියක්ද රාජිත සේනාරත්න මහතා ඒකාබද්ද විපක්ෂයට එක්ක කෙ නොගන්නා ලෙස දැනටමත් ඉල්ලීම් කර ඇත.

කබීර්-හලීම් දිවුරුම් යලි දුන්නාට රනිල්ගේ විරෝධය.

කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් නැවතත් ඇමතිවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම බලවත් විරෝධය පළ කර ඇති බව අද ජාතික පුවත්පත් වාර්තා කරයි.

මෙම දිවුරුම් දීම සිදු කර ඇත්තේ තමාගේ අනුමැතියකින් තොරව බවත් ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවකින් තොරව ඇමතිවරුන්ට දිවුරුම් දීමට නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදී ඇත.

ප‍්‍රතිපත්තිමය කරුණක් මත මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ම ඉල්ලා අස් වූ බවත් තමන් දැනුවත් නොකර දෙදෙනෙකු පමණක් ඇමතිධුර දිවුරුම් දීම අනුමත කළ නොහැකි බවත් අගමැතිවරයා පවසා තිබේ.

අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ යේ දිනයේ සිරිකොත එක්සත් ජාතික මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමිනි.

මෙම දෙදෙනා ඇමතිධූර ද දිවුරුම් දීමත් සමග ඉල්ලා අස් වූ මුස්ලිම් දේශපාලඥයන් පිරිස දෙකඩ වී මතභේදාත්මක තත්ත්වයක් උදාවී ඇති බව ද සඳහන්ය.

නැවත ඇමති ධුර බාර ගැනීම සඳහා වූ සාකච්ඡාවේ දී නොයෙකුත් මත ගැටුම් උත්සන්න වූ බව ද වාර්තා විය.

මුස්ලිම් නොවන සියළු ජනතාව මරා දමන්නැයි සහරාන් ඉගැන්නුවා

මුස්ලිම් නොවන සියලු ජනතාව මරා දැමිය යුතු බව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් පැවසූ බව සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මව්ලවි සඳහන් කරයි.

එවන් ප්‍රකාශයක් කර තිබියදී පවා කිසිදු බලධාරියෙකු සහාරන්ට විරුද්ධව කටයුතු නොකළ බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාස්කූ ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

සියලු මුස්ලිම් පල්ලිවල අන්තවාදය නැතත් ඇතැම් පල්ලිවල දැඩි මතවාදයට ඉඩ තිබෙන හෙයින් ඒ තත්ත්වය අනාගත පැවැත්මට තර්ජනයක් බවද කී ඔහු කාත්තන්කුඩියේ වහාබ් වාදය අනුගමනය කරන මුස්ලිම් පල්ලි පහළොවක් පමණ තිබෙන බවද සඳහන් කළේය.

සහරාන් ගේ මරණයෙන් පසු කාත්තන්කුඩියේ යම් නිහඬතාවයක් ඇති වී තිබුණ ද ඔහුගේ මඟ ගිය පිරිස් තවදුරටත් සැඟවී සිටිය හැකි හෙයින් ඒ ගැන රජය අවධානය පසුවිය යුතු යැයිද ඔහු පැවසීය.

එකමුතුකම තිබුණාම ත්‍රස්තවාදී අන්තවාදීන්ට එන්න බෑ

පාස්කු ඉරිදා අන්තවාදී පිරිසක් විසින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු ආගම් අතර පැවැති සහජීවනයටද බාධා එල්ල විය. ඉස්ලාම් අන්තවාදී පිරිසක් විසින් මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවට තොරතුරු වාර්තා වීමෙන් පසු මෙරට මුස්ලිම් ජනතාව කෙරෙහි තිබූ විශ්වාසය බිඳවැටුණු අතර, මෙම අන්තවාදීන්ට එරෙහිව මුස්ලිම් සමාජය තුළින්ම හඬක් අවශ්‍ය බවට මේ අතරතුර කතාබහක්ද ඇතිවිය. මේ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය දැනුවත් කිරීමක් පසුගියදා (12දා) දෙහිවල ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේදී සිදු කෙරිණි. මෙරට සමාජය තුළ මුස්ලිම් ජනතාව කෙරෙහි බිඳවැටී ඇති විශ්වාසය යළි තහවුරු කරගත යුතු ආකාරය බ්‍රිගේඩියර් අසාද් ඉසදීන් මහතා පැවසුවේ මෙලෙසිනි.

“මාත් එක්ක පැමිණි අනෙක් නිලධාරීන් ඔක්කොම අවුරුදු 25ක්, 30ක් විතර සේවයක් තියෙන නිලධාරීන්. අපි ඇත්තටම මේකට එන්නේ දුකෙන්. මොකද අපි යුද හමුදාවට බැඳිල ත්‍රස්තවාදීන් එක්ක සටන් කළේ මෙම සමාජයට නැත්නම්, ශ්‍රී ලංකාවට සාමය ගේන්න. සාමය ගේන්න අපි ලොකු කැපකිරීමක් කළා. ඉතින් මෙච්චර දුරක් ඇවිල්ලා මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් මුස්ලිම් ජන සමාජය තුළින් පැමිණීම ගැන දුකයි. ඒක ඔයගොල්ලන්ට කොහොම තේරුණාද කියලා මං දන්නේ නෑ. නමුත් තේරුම් ගන්න කාලය ඇවිත්. අර මැරිච්ච 250 දෙනොගේ, ඒගොල්ලන්ගේ දූවරු, අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද. ඒක තමයි මට තියෙන දුක.

ඉතින් මෙතැනට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ලන් ගැන දුක් වෙන්න. ඒගොල්ලො ගැන තැකීමක් කරන්න. අවුරුදු තිස් ගණනක් තිස්සේ යුද්ධ කරලා වැඩක් නැහැනෙ, මුස්ලිම් නිලධාරීන් වශයෙන් ඒ සාමය අපට ගේන්න බැරි නම්.

මුස්ලිම් සමාජය මේ ලංකාවේ අවුරුදු 1,000කට විතර එහා ගිය සමාජයක්. මුස්ලිම් සමාජය විසින් මේ ලංකාවට කරපු වැඩකොටස ඉතා විශාලයි. රජ කාලයේ පටන් රජ්ජුරුවොත් එක්ක එකතු වෙලා මේ රට වෙනුවෙන් හොඳක් කළා. ඊට පස්සේ නිදහස වෙනුවෙන් අපේ කට්ටිය ලොකු වැඩ කොටසක් කළා.

ඊට පස්සේ අවුරුදු 30ක යුද්ධයක් ආවා. ඒක වෙනුවෙන් අපේ නිලධාරීන්, සොල්දාදුවන් සටන් කෙරුවා. විශාල සේවාවක් කළා. මේ ඔක්කොම අප්‍රේල් 21 දින මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් මැකිලා යනවා. දැන් මුස්ලිම් සමාජය කෙරෙහි විශ්වාසයක් නෑ. ඒ විශ්වාසය ගොඩ නගන්න ඕන කාලයක් මේක. යුද හමුදාපතිතුමා කියන්නේ දැන් විශ්වාසය ගොඩනගන්න ඔයගොල්ලන් ගිහින් කතා කරන්න, සමාජයත් එක්ක එකතු වෙන්න කියලා. අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා හදාගන්න කියලා.

මේ රට ගැන අපි ඔක්කොටම වගකීමක් තියෙනවා. මේ වෙච්ච ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය මුස්ලිම් සමාජය විදියට අපට නවත්ත ගන්න බැරි වුණා. ඒක තමයි දුක. මම කාත්තන්කුඩි ගියා. ඒ ගියපු වේලාවේ ඔය සහරාන් කියන ත්‍රස්තවාදියා ගැන කතා කළා. එහේ කට්ටිය ඔහු ගැන කිව්වේ එයා පොඩි කාලෙ ඉඳලම රැඩිකල් අන්තවාදී අදහස් තිබුණ කෙනෙක් කියලයි. එයාගේ ලොකුම ප්‍රශ්නේ තිබුණේ රමසාන් මාසේ අවුරුද්ද කවද්ද තියන්න ඕන කියන එක තමයි. හැමදාම පල්ලි ඇවිල්ලා එයා ප්‍රශ්න කරනවාලු කවද්ද මේක තියෙන්න ඕන, මේක සෞදි අරාබියේ වගේ තියෙන්න ඕන කියලා. ඒගොල්ලන් කියන්නෙත් නෑ, මේ දවස තමයි ඒකට දීල තියෙන්නෙ කියලා. ඒත් එයා කැමැති වෙන දවසක තියන්න. 

ඒකට එකඟ වුණේ නැති හින්ද තමයි එයා අන්තවාදයට ගිහිල්ලා එයාම එකක් හදා ගත්තෙ. මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇති වෙලත් මං දන්නෙ නෑ අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන කතා කළාද කියලා. එතන අපට ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. මේක අද, හෙට වුණා, අප්‍රේල් 21 වුණා. තව මාස 02කින් මේක ඉවර කරලා ඉන්න බෑ. අවුරුදු දෙකතුන, හතරක්වත් මේ ගැන සමාලෝචනයක් යනවා. මේක ගැන අපට කතා වෙන්න වෙනවා. අපේ විශ්වාසය දිනා ගන්න වෙනවා. ඒ කාලෙ මුස්ලිම් සමාජය තමයි අපේ ගම්වල විශ්වාසවන්තම සමාජය. මම නුවර, ගම්පොළ පැත්තේ. ඒ පැත්තේ මුස්ලිම් අය ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්. කොළඹත් එහෙමයි. 

ඒ තිබුණු විශ්වාසය අද වෙනකොට කැඩිලා තියෙන්නේ. ඒක ගොඩනගන්න විශාල කාර්යභාරයක් කරන්න ඕන. ඒ කාර්යභාරය කරන්න පුළුවන් මේ අද මෙතැන පැමිණිලා ඉන්න මේ උගතුන්, වැඩිහිටියන්ටයි. මට කතා කරන්න පුළුවන්, නමුත් අපි කතා කළත් මේක ගිහිල්ලා යම්කිසි කෙනෙක් විසින් සිදුකළ යුතුයි. මේ සමාජය වෙනස් කළ යුතුයි. මොකද මේ අන්තවාදී හත්දෙනෙක්, අට දෙනෙක් මැරුණා. තව අන්තවාදීන් ඉදිරියට නොඑන්න අපි වගබලා ගන්න ඕන. 

යුද හමුදාව පැත්තෙන්, අපේ ආරක්‍ෂක අංශය පැත්තෙන් නැතහොත් ජාතික ආරක්‍ෂාව පැත්තෙන් බැලුවොත් මින් ඉදිරියට මෙසේ සිදු නොවීමට වැඩ කළ යුත්තේ කෙසේද, අපේ ළමයින් හදාගත යුත්තේ කෙසේද, මෙවැනි අන්තවාදී අය ඇති නොවීමට අපි ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද, අපි වෙනස් විය යුත්තේ කෙසේද, අපි අපේ පොඩි ළමයින් අපේ සමාජයට ගන්නේ කෙසේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. දැන් අපි ගත්තොත් ත්‍රස්තවාදීන් හය හත් දෙනෙක්, තව 10ක් 12ක් ඇති. ඒ අයට සල්ලි තිබුණා. ඒ අයට යම්කිසි ප්‍රමාණයක දැනුමක් තිබුණා. නමුත් ඒ ඔක්කොම ඇතෑරලා යන්න ඒ අයට යම් හේතුවක් තියෙන්න ඇති. අන්න ඒ හේතුව අපි හොයා ගන්න ඕන. 

මෙයින් අපි ඉගෙනගත යුතු විශාල කරුණු තොගයක් තියෙනවා. වැඩිහිටියන් හා පල්ලියේ භාරකාරයන් විසින් මේ ගැන පොඩ්ඩක් හිතන්න. මේ සෑම දෙයක්ම සිදුවෙන්නේ අපේ පල්ලියෙන්. මම හැම තැනම පල්ලිවලට ගිහින් කිව්වේ ඒකයි. මෙතැනින් තමයි අපි ඔක්කෝම හරි මාර්ගයට එන්නෙ. එතැනින් වැරදුණාම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් සෑම කෙනෙක්ම මේකට අපි වැඩිහිටියන් වශයෙන් වගකීම භාර ගන්නවා වගේම ඉදිරියට එන තරුණ පරම්පරාව අපි හදාගන්න ඕන මේ වාගේ දේවල් නැවත කිසි දිනක සිදු නොවෙන ලෙස. මොකද ලෝක ත්‍රස්තවාදය නවතින එකක් නොවෙයි. ඒක ඉදිරියට තියෙන එකක්. ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා, ඒකට අහු නොවී ඉන්නෙ කොහොමද කියලා අපි සෑදී පැහැදී ඉන්න ඕන.

අපි ඔක්කොම හුඟක් දුරට ඒකට වග කියන්න ඕන. ඕගොල්ල හිතල බලල මේක ගැන කතා කරන්න. ඇත්තටම මේවා අපි, හමුදාවේ හමුදාපති විසින් කිව යුතු කරුණු නොවෙයි. ඔයගොල්ලන් එකතු වෙලා, මේ වගේ ජන කොට්ඨාසයක්, මේ වගේ සමිති ටික එකතු වෙලා මේක ගැන කතා කරලා තියෙන්න ඕන. මේ ගැන කතා කරලා මේකෙන් ගත යුතු කරුණු මොනවාද කියලා දැන ගන්න ඕනෑ. 

කට්ටිය අතර තියෙන බෙදීම් බලන්න. %ෂියා^ කණ්ඩායම්, සුන්නි කණ්ඩායම් ඉන්නවා, සුන්නි කණ්ඩායම් අතරෙත් ඉන්නවා උලමා කියලා. එතකොට තවුහීද් ජමාත්, ජහිරා, ජිහාරම් පාට්ටි කියලත් ඉන්නවා. මේ ඔක්කොම තියෙන්නේ බෙදීම්. අර ත්‍රස්තවාදියොත් කළේ යම්කිසි තැනකින් බෙදීමක් ගත්තා. ඊට පස්සේ කඩාගෙන ගිහිල්ලා එයාගේ ඒ අන්තවාදී අදහස් ඉදිරිපත් කරන්න පටන් ගත්තා.

අපි පළවැනියට හිතන්න ඕන අපි මුස්ලිම් සමාජය එකමුතු වෙන්න. එකමුතුකම තිබුණාම ත්‍රස්තවාදී අන්තවාදීන්ට එන්න බෑ. මොකද ඒගොල්ලො එතකොට දන්නවා අපි එකට කියලා. පලස්තීන ප්‍රශ්නයත්, සිරියානු ප්‍රශ්නයත්, යේමනේ ප්‍රශ්නයත්, ඉරාකෙ ප්‍රශ්නයත් අපේ ප්‍රශ්නයමයි. මේ ප්‍රශ්නවලට උත්තරයක් අල්ලාහ් දෙවියන් ළඟ තිබෙනවා. අපි දෙවියන් කෙරෙහි විශ්වාසය තැබුවා නම් මේ ඔක්කොම සමථයකට පත් වෙනවා. මින් ඉදිරියටත් මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න අපේ සමාජයට ඒවි.

සිංහල, දෙමළ, ක්‍රිස්තියානි මේ හැම එක්කෙනාම අපට ආදරෙයි. අවුරුදු තිහක් යුද හමුදාවේ ඉඳලා මං යුද කරන කොට මාව බලා ගත්තේ මුස්ලිම් අය නෙවෙයි. සිංහල සොල්දාදුවො. අපේ සමාජයේ වගකීම මොකක්ද කියලා අපිම බලා ගන්න ඕන. 

අපි ජන කොට්ඨාසත් එක්ක හැසිරෙන්න ඕන. අපි සිංහල අවුරුද්දට ගිහින් එගොල්ලෝ එක්ක ක්‍රීඩා කරන්න ඕන. මේවා හැදෙන්න ඕන. මේ තමයි යථාර්ථය. ඔය ප්‍රශ්නෙම ආවා මූතුර්වලත්, හමුදාවේ කට්ටිය බල්ලොත් එක්ක පල්ලිය ඇතුළට ආවා කියලා. මම ඒකට උත්තරයක් දුන්නා ඕගොල්ලෝ හොයලා බලන්න ඇයි මේක වෙන්නෙ කියලා. 

අපි සමාජයත් එක්ක එකතු වෙන්න ඕන. සමාජයත් එක්ක ගැවසෙන්න ඕන. සමාජයේ විශ්වාසය දිනා ගන්න ඕන. මේ සමාජයේ හැම කෙනාම අපේ සහෝදරයො. ඒ නිසා මේ වගේ දෙයක් මින් ඉදිරියට වෙන්න බෑ. මේ සමාජය ගැන අපට ලොකු වගකීමක් තියෙනවා. මුස්ලිම් සමාජයක් හැටියට ඒ වගකීම අපි ඉටු කරන්න ඕන.