Press "Enter" to skip to content

Posts published in “ව්‍යාපාරික පුවත්”

business-news

හෙට අනිද්දා සුරා සැල් වැසෙයි

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් හෙට (15) සහ අනිද්දා (15) දෙදින තුළ දිවයිනේ සියලූම සුරාසැල් වසනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අනුරාධපුරය හා තිස්සමහාරාමය ප්‍රදේශවල සුරාසැල් ජූනි 19 වන දින දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් ආකර්ෂණීය පැකේජ පහක්

වර්ධනය වෙමින් පවතින ඉන්දීය වෙළදපළ තුළ ප්‍රවර්ධන කටයුතු දිරි ගැන්වීමේ අරමුණින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය පහසු මිල ගණන් යටතේ ආකර්ශනීය ගමන්වාර ඇරඹිම මේ සතියේ සිටක්‍රියාත්මකයි.

ඉන්දියානු සංචාරකයන් සදහා වන ශ්‍රී ලංකාවේ ගමන් වාර පහසු මිල ගණන් යටතේ ආකර්ශනීය අන්දමින් ‘පැකේජ පහක්’ යටතේ ක්‍රියාත්මක වේ. මෙකී සහන පැකේජ කොළඹ, මහනුවර ,නුවරඑළිය, දඹුල්ල, සීගිරිය සහ දකුණු වෙරළ තීරය ඇතුළු තෝරා ගැනීම් අවස්ථා රැසකින් යුක්තව පහසු මිල ගණන් යටතේ ක්‍රියාත්මක වේ.

ප්‍රවර්ධන වැඩසටහනේ මුල්ම පියවර ක්‍රියාත්මක කරනු ලැබුවේ සංචාරකයන් 42 ක්ද ඇතුළුව 258 දෙනෙකුට මරු කැදවූ පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුවයි.මෙම දීමනාව 2019 ජූනි මස 10 වන සිට 2019 සැප්තැම්බර් මස 30 දක්වා වලංගු වන අතර, ඉන්දීය සංචාරක ඒජන්ත ජාලයෙන් මෙම පැකේජ වෙන් කරවා ගැනීම හා මිලට ගැනීම සිදු කළ හැක.

2018 නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කළ මෙවැනිම ප්‍රවර්ධන වැඩසටහනකදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය විසින් ඉන්දීය සංචාරකයන්ගේ වියදම් කිරීමේ රටාවන් නිරීක්ෂණය කර තිබුණි.

මෙම වසරේදී, ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කටයුතුවල පහසුව සදහා ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම් සංගමය , ශ්‍රී ලංකා හෝටල් සංගමය සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර ගමන් මෙහෙයුම් සමාගම (SLAITO) සහ ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග අත්වැල් බැදගෙන සිටී.

“අපි මේ ප්‍රවර්ධන වැඩසටහන හැකි ඉක්මනින් ආරම්භ කිරීමට උත්සාහ කරනවා. ඒ වගේම ඉන්දියාව විතරක් නෙවෙයි චීනය වගේ වෙළදපළවල් කරා මේ කටයුතු ව්‍යාප්ත කරන්නත් බලාපොරොත්තු වෙනවා.අපේ සංචාරක ආකර්ශන ස්ථාන වගේම හෝටල් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා, ඒ සියල්ලක්ම නව සංචාරකයන් පිළිගැනීමට බලා සිටිනවා “යනුවෙන් සංචාරක ප්‍රවර්ධන සහ වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

මේ අතර ජාතික ගුවන් ගමන් සහයක ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවාවන් ක්‍රියාත්මක වන සෑම ස්ථානයකම ක්‍රියාත්මක කළ හැකි පැකේජයක් හදුන්වා දී ඇත. වඩාත් වාසිදායක පැකේජය තුළ ගුවන් ගමන් වියදම, ආහාර සහ නවාතැන් පහසුකම්, ඔබ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ස්ථාන සදහා ප්‍රවාහන පහසුකම් මෙන්ම සංචාරක මගපෙන්වන්නාගේ ගාස්තුව ඇතුළත් වනු ඇත.සෑම ස්ථානයකම පැකේජ 5ක් සහ විවිධ කාණ්ඩවලට අයත් මිල ගණන් 15 පවතින අතර එය සාමාන්‍ය මට්ටමේ සිට සුඛෝපභෝගී මට්ටම දක්වාම කාණ්ඩ තුනකින් සමන්විත වේ.

“පසුගිය දශකය මුළුල්ලේම ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රභව වෙළදපළ වූ ඉන්දියාවෙන් , 2018 වසරේදී ඉන්දීය සංචාරකයන් 400,000 මෙරටට පැමිණ ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතියකට ගමන් වාර 120ක් ඉන්දියාවේ ප්‍රධාන නගර කරා යන අතර, අපි විශ්වාස කරන්නේ එවැනි දීමනා ඔස්සේ ඉන්දීය නගරවල ඉක්මනින් ප්‍රසිද්ධියක් ඇති කිරීමට හැකිවේ කියායි “යනුවෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ලෝක වෙලද සහ බෙදා හැරීම් අධිපති දිමුතු තෙන්නකෝන් මහතා පවසා සිටී.

සංඛ්‍යා දත්තවලට අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක වෙළදපළ වන අතර එය සංඛ්‍යාත්මකව 18.2%කි. නොඑසේ නම් 2018 වසරේදී සංචාරක පැමිණීම 424,887 වූ අතර එය පෙර වසරට වඩා 10.5% වර්ධනයකි.2017 වසරේදී මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයන් ගණන 3,83,000 විය. 2018දී මෙම අගය 426,000 දක්වා ඉහළ ගියේය. විවේකය ගත කිරීමේ සංචාරක ස්ථානයක් බවට පත් වීමට අමතරව විවාහ උත්සව සහ චිත්‍රපට රූගත කිරීම් සදහා ද යොදා ගැනීමට සංචාරකයන් පෙළඹවීමට ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කටයුතු අරමුණු කරගනී.

මිලියන 180 පමණ Mastercard භාවිත කරන්නන් සිටින ඉන්දියාවේ Mastercard ආයතනයද මෙකී ප්‍රවර්ධන කටයුතු සදහා මැනවින් බද්ධ වී ඇති ජාල ඔස්සේ දායකත්වය සපයමින් සිටී. ශ්‍රී ලංකාවේ සහ මාල දිවයිනේ Mastercard කළමනාකාර සන්තෝෂ් කුමාර් මෙම කාලෝචිත ක්‍රියාදාමයට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව සතුට පල කළේය.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිලිබඳ ඉදිරි දැක්මේ දායකත්වය වෙනුවෙන් මහ බැංකුවට ජනාධිපති සම්මාන

ජනාධිපති මෛත්තු‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජූනි 11වන දා නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික ඩිජිටල් මෙහෙයුම් සැලසුම එළිදැක්වීමේ උත්සවයේ දී ඩිජිටල් විශිෂ්ටතා ජනාධිපති සම්මානය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයනුවස් මෙම සම්මානය ප්‍රදානය කෙරිණි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම උත්සවය සංවිධානය කළේය.

බැඳුම්කර විදෙස් ආයෝජන සතියක දී රු. මිලියන 300කින් ඉහළට

රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය පසුගිය සතියක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 311 කින් ඉහළ ගොස් තිබේ.

මේ අනුව 2019 ජූනි 04 දින රු. මිලියන 142,640ක්ව පැවති රජයේ සුරැකුම්පත්වල විදේශීය ආයෝජන වටිනාකම 2019 ජූනි 12 දිනවන විට රු. මිලියන 142,951 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

කොටස් ගනුදෙනු සක්‍රීය වෙයි. පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (14) දිනයේ දී මෙම සතියේ පූර්ව දිනයන්ට සාපේක්ෂව වඩාත් සක්‍රීය ස්වභාවයක් පෙන්නුම් කළේය. මෙහි ඇති සුවිශේෂී සිදුවීම දිනය තුළ රුපියල් බිලියන 1.14 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි.

2019 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබෙන දෛනික සාමාන්‍ය පිරිවැටුම රු. මිලියන 525ක් වන අතර ඊට සාපේක්ෂව දෙගුණයක පමණ පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 3.64ක් සටහන් වූ අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වූයේ ඒකක 5,383.72 ක් වශයෙනි. S&P SL20 දර්ශකය ඒකක 9.08කින් ඉහළ ගොස් ඒකක 2,512.68ක් ලෙසින් වාර්තා විය.

දිනය තුළ සාකච්ඡා කරන ලද ගනුදෙනු 5ක් වාර්තා විය. මෙහිදී පෑන්ඒෂියන් පවර් සමාගමේ කොටස් මිලියන 100 ක් රු. 3.00 බැගින් හා වැලිබල් පවර් සමාගමේ කොටස් මිලියන 63.45ක් රු. 5.80 බැගින් ගනුදෙනු වූ පිළිවෙලින් රු. මිලියන 300 ක හා රු. මිලියන 368 ක පිරිවැටුම් එම ගනුදෙනු දෙක හරහා වාර්තා විය. මීට අමතර COLOMBO FORT LAND & BUILDING සමාගමේ කොටස් මිලියන 1.85 ක් රු. 12.50 බැගින්, S M B LEASING සමාගමේ කොටස් මිලියන 85.8ක් සත 40 බැගින් හා වටවල වැවිලි සමාගමේ කොටස් මිලියන 8.51ක් රු. 18.60 බැගින් ගනුදෙනු විය.