Press "Enter" to skip to content

Posts published in “ව්‍යාපාරික පුවත්”

business-news

විදේශ සංචිත පහළට

‍මෙරට විදේශ සංචිතය සැප්තැම්බර් මාසය අවසනායේ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 දක්වා පහත වැටී ඇත.

මහබැංකු දත්ත වලට අනුව අගෝස්තු මාසය අවසානයේ එය පැවතුනේ ඩොලර් බිලියන 8.5ක් ලෙසය. සැප්තැම්බර් මාසය අවසන්වන විට එය තවත් මාස හතර හමාරකට පමණක් ප්‍රමාණවත්ව පැවතුණි.

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ඔක්තෝබර් 10 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය.

දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළෙඳපොළේ මෙන් ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබී ය.

මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4 – 6 අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර මැදිකාලීන ව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වනු ඇත.

රැකියා වියුක්තිය ඉහළට – ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව හෙලි කරයි

ශ්‍රී ලංකා ශ්‍රම බලකායෙන් 420,231 ක් මේ වන විට රැකියා වියුක්තියෙන් පෙළෙන බවත් ඔවුන්ගෙන් 188,428ක්ම උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම්වලින් යුක්ත අය බවත් පසුගිය දා ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකා ශ්‍රම බලකා කාර්තුමය වාර්තාව පෙන්වා දී ඇත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 දෙවන කාර්තුවේ සිදුකරන ලද සමීක්ෂණය ඇසුරින් මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකමය වශයෙන් සක්‍රීය ජනගහනය 8,623,249ක් බව වාර්තාව පෙන්වා දෙයි. රට තුළ සිටින ආර්ථිකමය වශයෙන් අක්‍රීය ජනගහනය 7,775,509 කි.

මෙම වාර්තාව අනාවරණය කරනු ලබන වැදගත් කරුණක් නම් අ.පො.ස. උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති කාණ්ඩයේ විරැකියා අනුපාතිකය 9.5%ක් බවයි. ශ්‍රී ලංකාවේ මුළු රැකියා වියුක්ති අනුපාතිකය 4.9%කි. අ.පො.ස. සාමාන්‍ය පෙළට වඩා පහළ අධ්‍යාපන මට්ටමක් ඇති අය අතර විරැකියා අනුපාතිකය 2.5%ක් වන අතර සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති අය අතර රැකියා වියුක්තිය 6.5% ක් බව එහි සඳහන් වේ.

තවද 2019 පළමු කාර්තුවේ දී 4.7%ක්ව පැවති විරැකියා අනුපාතිකය 2019 දෙවන කාර්තුව වන විට 4.9%ක් දක්වා වැඩි වී ඇත.

ස්ථාවර තැන්පතු පොලිය නැවත අඩු කරයි

බලපත්‍රලාභී මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත අඩුකර තිබේ. ඒ අනුව එම මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවූ පොලී අනුපාතය 10.5% දක්වා අඩුකර තිබේ.

ඇතැම් මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 10% පමණ දක්වා ද අඩුකර තිබේ. මීට අමතරව මූල්‍ය සමාගම් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා ගෙවන පොලී අනුපාතය ද 7.5% සිට 7% දක්වා පහත දමා ඇත.

මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී පොලී අනුපත හතර වතාවක් පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබිණි. රාජ්‍ය බැංකුවල පොලී අනුපාත තීරණය කිරිමේදී මහබැංකුව විශේෂ නියමන් නිකුත් නොකරන අතර එම බැංකු මගින් ඒ ඒ පොලී අනුපාත තීරණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉස්සන් ආනයනයට කොන්දේසි

ඉස්සන් ආනයනය කිරීමේදී මෙරට ඉස්සන් අස්වැන්න පිළිබඳව ද සොයා බලා ආනයනය කටයුතු කළ යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ඇතැම් ව්‍යාපාරිකයන් දේශීය ඉස්සන් අස්වැන්න නොතකමින් ඉස්සන් ආනයනය කිරීමෙන් දේශීය ඉස්සන් වගාකරුවන් අපහසුතාවයට පත්ව ඇති බවත්  මේ පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් එහිදී කීය.

ඒ අනුව ඉස්සගේ මව් සතුන් ආනයනයේදී පවතින බද්ද අවම කිරීමට සහන සළසා දෙන බවත් ඉස්සන් වගාවේදී පවතින වෛරස් රෝගී තතත්වයන් නිවාරණය උදෙසා විද්‍යාගාර පහසුකම්ද ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

‍ඉස්සන් වගා කිරීමේ සංගමය සමඟ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේය.

ලංකාව-කොරියාව අතර සබඳතා තුළින් මෙරට ආර්ථිකයට වාසි රැසක්

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින සම්බන්ධතාවයන්හි ප්‍ර‍තිඵලයක් වශයෙන් මෙරට සමාජීය  සහ ආර්ථික සංවර්ධනයේ විශාල ප්‍ර‍ගමනයක් සිදුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. 

එතුමා මේ බව පැවසූයේ, කොරියානු සමූහාණ්ඩුවේ ජාතික දිනය නිමිති කරගනිමින් ඊයේ(03) කොළඹ පුද්ගලික හෝටලයෙහි පැවති උත්සවයේ දී අදහස් දක්වමිනි. 

එම අවස්ථාවට ශ්‍ර ලංකාවේ දකුණු කොරියානු තානාපති Lee Heon මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් විය. 

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

“කොරියාව සහ ‍ශ්‍රී ලංකාව අතර පවතින්නේ සුවිශේෂී සබඳතාවයක්.එම සබඳතාව එකිනෙකා අතර ගෞරවය, විශ්වාසය සහ මිත්‍රත්වය මත පදනම් වී තිබෙනවා.මෙසේ පරිණාමය වෙමින් එන අපේ සම්බන්ධකම් හා බැඳීම්  සඳහා  සියවස් ගණනාවක් පුරා විහිදෙන බෞද්ධ සංස්කෘතික පසුබිම විශාල වශයෙන් දායක  වී තිබෙනවා.  

1977 නොවැම්බර් 14 දා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා  ආරම්භ වූ දා පටන් විවිධ ක්ෂේත්‍ර‍න්හි විහිදුණු ද්වී පාර්ශ්වික සබඳතා අප දෙරට අතර පැවතිලා තියෙනවා. 

තවදුරටත් ආර්ථිකමය හා දේශපාලනික වශයෙන් පුළුල් සබඳතා පැවැත්වීමට අපි අපේක්ෂා කරනවා. ඒ තුළින් ගෝලීය වටිනාකම් ඒකාබද්ධ කිරීම, දැනුම පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කිරීම සිදු කෙරෙඑනවා වගේම රේගු සහයෝගීතාව, තාක්ෂණික මාරුවීම් ආදිය සිදු කරමින් සහයෝගීව නව මාවත් සඳහා විවෘත වන්නටත් වෙළඳාම, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරන්නටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. 
 
2019 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාව සහ කොරියානු සමූහාණ්ඩුව අතර ද්වී-පාර්ශ්වීය ගිවිසුමක් අත්සන් කෙරුණා. ස්වභාවික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ආකාරයේ විශාල ගොඩනැගිලි  ඉදිකිරීම සඳහා  එම ගිවිසුම අත්සන් කෙරුණා. 

මේ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 6 ක් ආයෝජනය කරලා තියෙනවා. එම  ව්‍යාපෘතිය 2019 වර්ෂයේ සිට  2022  කාලය දක්වා විපතට පත්වන ජනතාව වාසය කරන මඩකලපුව, මන්නාරම, මුලතිව්, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්කවල ජනතාව සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. 

මෙමගින් නියං කාලයේ ජලය සැපයීම,  වෘත්තීය සමාජයන් ශක්තිමත් කිරීම, ගෙවතු මගින් එන ආදායම වැඩිකිරීම, මෙම ප්‍රදේශයන්හි පැරණි ජල පෝෂකාගාර  ප්‍රතිසංස්කරණය කිරීම ආදිය සිදුකෙරෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ළමයින්ට කොරියාවේ උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා අවස්ථා හිමිවෙනවා. 
 
ජනාධිපති සහ අගමැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම තාක්ෂණික මධ්‍යස්ථානය ඔරුගොඩ ප්‍රදේශයේ විවෘත කෙරුණා. මෙය ශ්‍රී ලංකාව හා කොරියාව අතර සම්බන්ධයේ සුවිසල් ප්‍රතිඵලයක් වශයෙන් හදුනාගත හැකියි.  

ඒ වගේම දෙරට අතර පවතින ආර්ථික, ව්‍යාපාරික සහ අධ්‍යාපනික සබඳතා දෙරටෙහිම සංචාරක ව්‍යාපාරයේ දියුණුවට විශාල බලපෑමක් සිදු කරනවා. දෙරටේ මිනිසුන් අතර ඇති සබඳතා ද මේ තුළින් වර්ධනය වෙනවා.  

මේ වනවිට 30 000 කට ආසන්න ප්‍ර‍මාණයක් කොරියාවේ රැකියාවේ නියුතු වන අතර ඔවුන් කොරියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකය පෝෂණය කරන්න දායකත්වය සපයනවා. 

මේ සේවකයින් විශේෂයෙන්ම දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍ර‍, ගොඩනැගිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තයෙහි සේවයේ යෙදෙනවා. ඒ තුළින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙන එනවා. ”

ලොකු ළූණු බද්ද පහළට

වෙළපළෙහි ලොකුළූණු කිලෝවක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බැවින් මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා කීය.

ලොකුළූණු ගොවියා  සුරැකීම උදෙසා ජීවන වියදම් කමිටුව මඟින් ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රු. 40 කින් ඉහළ දැමීමත් ඉන්දියාවේ පවතින දේශගුණික බලපෑම මත ඉන්දියාව විසින් ලොකුළූණු අපනයනය නැවැත්වීමත් මත මෙරට දේශීය ලොකුළූණු කිලෝවක තොග මිල රු. 250 සිට 300 දක්වා ඉහළ ගියේය. 

ඒ අනුව පාරිභෝගික ජනතාවට සහනයක් පිණිස ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද අද (01) මධ්‍යම රාත්‍රියේ සිට රු. 39 කින් පහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කොට ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි වාර්තාවන්ට අනුව මේ වන විට දේශීය ලොකුළූණු අස්වැන්නෙන් 75% ක් නෙලා අවසන්ව ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බද්ද පහළ දැමීමත් සමඟ වෙළඳපලෙහි දැනට පවතින ලොකුළූණු කිලෝවන මිලෙන් රු. 50 ත් 70 ත් දක්වා මිලක් අඩුවනු ඇතැයි ජීවන වියදම් කමිටුව අපේක්ෂා කරයි.

ඉදිරියේ දී ඊජිප්තුව හා පකිස්ථානය වැනි රටවලින් ලොකුළූණු ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවස්ථාවක් ඇතැයි කමිටුව ප්‍රකාශ කළේය. 

කොටස් වෙළෙඳපොළ 5% කින් පහළට

2019 සැප්තැම්බර් මාසයේ අවසාන දිනය සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු  අද (30) දින අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,738.24 ක් ලෙසින් සටහන් කරමිනි. S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දිනය අවසානයේ දී ඒකක 2,759.72 ක් ලෙසින් සටහන් විය.

පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 40.80 කින් පහළ ගිය අතර  S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 14.35කින් පහළ යන ලදී.

මේ වන විට 2019 වසරේ මාස 09 ක කාලපරිච්ඡේදයක් අවසන් වී තිබේ. මෙම කාලපරිච්ඡේදය තුළ දී කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශකයට අනුව 5.19% කින් හා S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයට අනුව 11.98%කින් පහළ ගොස් තිබේ.

වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,052.37 ක් හා S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 3,135.18 ක් ලෙසින් වාර්තා වී තිබිණි.

අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 732 කි. මෙය වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වන රුපියල් මිලියන 660 ඉක්මවා යාමකි. පසුගිය 2018 වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම සටහන්ව තිබුණේ රු. මිලියන 834 ක් ලෙසිනි.

අද දින ගනුදෙනුවලින් රු. මිලියන 370 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත් රු. මිලියන 603 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා විය. දිනය තුළ විදේශීය මිල දී ගැනීම් හා විදේශීය විකිණුම් වාර්තා වූයේ පිළිවෙලින් රු. මිලියන 399 ක් හා රු. මිලියන 166.55 ක් වශයෙනි.

2019 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 2.8 ක් ඉක්ම වූ ශුද්ධ විදේශීය ගලා යාමක් (net foreign outflow) කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබේ.

එළවළු මිල ඉහළට

මධ්‍යම පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන නාඋල ,  අඹන මහ වෙල්යායේ අස්වනු නෙළිමට වර්ෂා තත්ත්වය බාධාවක් වී ඇතැයි ගොවීහු පවසති.

අක්කර පන්සීයක් පමණ වූ අඹන වෙල් යායේ වී වගාවට අමතරව බෝංචි,මෑ,වැටකොළු,මිරිස්,තක්කාලි,ගෝවා,බතල,බණ්ඩක්කා,වට්ටක්කා මෙන්ම කැකිරි වැනි එළවළු වගා කරති.

බෝවතැන්න ජලාශයෙන් නිකුත්වන දියවර ඔස්සේ වසරට තුන්වතාවක් වගා කටයුතු සිදුකරනු  ලබන අඹන මහ වෙල්යායේ මෙවර ද විවිධ එළවළු වගාකර තිබේ.

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අස්වනු නෙළිමට අමතරව පළිබෝධ පාලනය ආදී කටයුතු සදහා ද  වර් ෂාව  බධාවක් වී ඇති බව අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වන වයි.එම්.සී.බණ්ඩාර මහතා ඊයේ  (29) කියා සිටියේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නිසි පරිදි  වගා නඩත්තු කර ගැනීමේ නොහැකි යාව හේතුවෙන් ඉදිරි දින කිහිපයේ එළවළු මිල ගණන් වල ඉහළ යෑමක් සිදුවිය හැකි බව ද හෙතෙම කියා සිටියේය.

මේ වන විටත් පොහොර යෙදීම,කෘමිනාශක යෙදීම මෙන්ම ජල කළමණාකරණය ආදී කරුණු වලදී ගොවීන්ට සිය කටයුතු වලට බාධා එල්ලවීම වගාවන් හි ඉදිරි අස්වැන්න සම්බන්ධයෙන් ද ගැටලු  ඇති විය හැකි බව හෙතෙම කියා සිටියේය