Press "Enter" to skip to content

Posts published by “Kubiya”

විදෙස් රටවල සිටින ඇතැම් පිරිස් රටේ සාමයට අභූත චෝදනා එල්ල කරනවා-යුද හමුදාපති

යුද සමයේදී උතුරේ පවුල්වලින් ලබාගත් මුදල්වලින් යැපුනු විදෙස් රටවල සිටින ඇතැම් පිරිස් දැන් රටේ පවතින සාමයට එරෙහිව අභූත චෝදනා සිදුකරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන්දීය භාරත්ශක්ති පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ නිකිල් ගොක්ලේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හමුදාපතිවරයා මෙම අදහස් පල කළේය. 

නිකිල් ගොක්ලේ – ඉන්දීය මාධ්‍යවේදී

බටහිර මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම කතා කරනවා සිව්වන ඊළාම් යුද්ධය අගභාගයේදී දැවැන්ත මානව හිමිකම් කඩකිරීම් සිදුවූ බව සහ ඔබ සිවිල් වැසියන්ගේ ජීවිත ගැන තැකීමක් නොකළ බව. එම චෝදනාව තවමත් විවිධාකාරයෙන් සිදුවෙමින් පවතිනවා.

යුදහමුදාපති – 

සියල්ලට පෙර කෙනෙක් තේරුම්ගත යුතුයි මේ චෝදනා එල්ල කරන්නේ අනුකම්පාව ලබාගැනීමේ අරමුණ සහිත පුද්ගලයින් සහ තවම LTTE සංවිධානයට පක්ෂපාති පිරිස් කියලා. මම විශ්වාස කරන්නේ එහෙමයි. 

මොකද යුද බිමේ සිටි පිරිස් , ඔබත් යුද වාර්තාකරණයේ නියැලී සිටියා ඇතැම් අවස්ථාවල. අපි කොපමණ මානූෂීයව කටයුතු කළාද කියා ඔබ දුටුවා. මේ සියලු චෝදනා කිසිම පදනමක් නැති චෝදනා.  

කිසිම චෝදනාවක් ඔප්පු කරලා නැහැ. ඔබ මා ගැන අහපු නිසා මම කියන්නම්. මම හිතන්නේ නැහැ ඔබ දන්නවා කියලා. මම අධිකරණ පද්ධති තුනක් ඉදිරිපිට දේශීය විමර්ශන තුනකට මුහුණදුන්නා. 

මම කිසිදු වරදක් කළ බවට කිසිම විමර්ශනයකින් හෙළි වුණේ නැහැ. ඉතින් මෙතනදි ස්වභාව යුක්තියේ මූලධර්මය බලපෑ යුතුයි. කවුද දැන් මේ චෝදනා කරන්නේ. මේ අය තමයි යුද්ධය සමයේදී , ශ්‍රී ලංකාවේ සෑම පවුලක්ම මුදල් දිය යුතුව තිබුණා මේ දේවල්ගැන කතා කරමින් ඇතැම් රටවල ඉන්න අයට. 

ඇතැම් ඒජන්සි සෑම පවුලකම මුදල් ලබාගත්තා. ඔබ පරීක්ෂා කර බලන්න,ඇතැම් ඒජන්සි උදෑසනම ජනතාව ඔවුන්ට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය එකතු කරගන්න පැමිණියා. 

දැන් එහෙම කරන්න මාර්ගයක් නැහැ. දැන් ඔවුන් කොහෙද ඉන්නේ ? ඔවුන්ට දැන් විදේශ රටවල තුවාල වෙලා ඉන්නේ. ඔවුන්ට මුදල් ලබාගන්න කිසිම විදිහක් නැහැ මොකද දැන් ශ්‍රී ලංකාවේ සාමය තියෙනවා. දැන් මුදල් නැතුව ඉන්න අයට අවශ්‍ය මුදල්. 

නිකිල් ගොක්ලේ – ඉන්දීය මාධ්‍යෙව්දී 

ඔබ වසර හතරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමගත් කටයුතු කළා.එම අවස්ථාවේදී කවුරුත් මේ චෝදනාව කළේ නැහැ නේද ? 

යුදහමුදාපති – 

ඔව් කවුරුත් කළේ නැහැ. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයමයි මගේ සුදුසුකම පිළිගත්තේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කිරීමට.

නිකිල් ගොක්ලේ – ඉන්දීය මාධ්‍යෙව්දී 

මේ මානව හිමිකම් චෝදනා එක්කම ආපු කාරණයක් තමයි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට භට පිරිස් යොමු කිරීමට බාධා කිරීම. ඔබ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද ?

යුදහමුදාපති – 

අපිට ඉතාම දක්ෂ විදේශ ලේකම්වරයෙක් සහ අමාත්‍යාංශයක් තියෙනවා.ඔවුන්ට හැකියාව තියෙනවා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා. 

ඔවුන් ඉතාම හොඳින් එය සිදුකරමින් සිටිනවා. සාම සාධක හමුදා මෙහෙයුම්වලට භට පිරිස් යවන්න හමුදාපති කවුද කියන එක අදාළ නැහැ. 

මට විශ්වාසයි මේ චෝදනා සිදුකරන්නන් එසේ කරන්නේ මේ භූමියෙන් ත්‍රස්තවාදය මුළිනුපුටා දැමූ ශ්‍රී ලංකා යුද හමුදාව වැළැක්වීමේ අරමුණින්. මම හිතනවා ලෝක ජාතීන් මේ දිහා වැදගත් ලෙස බලලා එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිට ඉදිරියටත් එය සිදුකරන්න ඉඩදෙයි කියලා.

විකල්පයට අපිව තල්ලු නොකර සජිත්ට දෙකම දෙන්න.. හරින් සැරට කියයි

විපක්ෂනායක තනතුරත්, එක්සත් ජාතික පක්ෂ නායක තනතුරත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

” එක්සත් ජාතික පක්ෂ නායකත්වයත්, විපක්ෂනායකත්වයත් සජිත්ට දිය යුතුයි. එක්සත් ජාතික පක්සයේ කල්ලි දෙකක් නෑ. අපිව කොන්කරන්න හදනවා.

තවදුරටත් නායකත්වය අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නෑ. විකල්පයට අපිව තල්ලු කරන තරමට වැඩ කරන්න එපා” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

‘තානාපති කාර්යාලයේ නිලධාරීනිය ගැන රාජිතගෙන් අහන්න‘ – ගුණදාස අමරසේකර

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගියා යැයි කියන සිද්ධිය පිළිබදව බොහෝ තොරතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා දන්නා බව ඔහුගේ ප‍්‍රකාශ වලින් හෙළිවන බැවින් පොලිසිය වහා ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත යුතුයැයි ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය.

ඔහු මේ සිද්ධිය ගැන මේ තරම් තොරතුරු දැන දැනත් මෙසේ වසන් කරගෙන සිටීම අපරාධයකැයි ද හෙතෙම කියා සිටියේය.

ජාතික සංවිධාන එකමුතුවට නම් මේ සිද්ධිය පෙනෙන්නේ නාටකයක් ලෙසින් යැයි ද ජනාධිපතිවරයා හෝ රජය අපකිර්තියට පත්කිරීමේ ජාත්‍යන්තර නාටකයක් බව පැහැදිලි යැයි ද කී අමරසේකර මහතා ලබන මාර්තු මාසයේ දී ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ දී ඔවුන්ගේ චෝදනා සනාථ කිරීමට මෙම උගුල් අටවන්නේ යැයි ද පැවසීය.

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට විදෙස් ගමන් තහනම්

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා තෙක් ඇයට අධිකරණයේ අවසරයෙන් තොරව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

රහස් පොලිසිය විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව අදාළ නිලධාරිනියට දෙසැම්බර් මස නව වනදාට පෙර රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් තවත් නියෝගයක් කළේය.

ජාත්‍යන්තර නීතියෙනුත් රිංගා ස්විස් සිද්ධියේ සේවිකාව ගුවන් ගිලන් රථයකින් රට පැනීමේ සූදානමක්

ස්විස් තානාපති කාර්යාලයේ පැහැරගෙන ගෙනත් දැමූ බව කියන සේවිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් නොදී රටින් පිටකිරීමේ සැලැස්මක් පිළිබඳ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ඒ ගුවන් ගිලන් රථයක් මගින් බව කියැවේ. ජාත්‍යන්තර නීතියට අනුව ගුවන් ගිලන් රථයකින් රෝගියෙක් ගෙනයාමේදී කිසිදු ආරක්ෂක අංශයකට එය පරීක්ෂාවට ලක්කිරීමට හෝ වැලැක්වීමට නොහැකි වේ.

විමර්ශකයන් වෙත දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව මෙවැනි සිදුවීමක් සිදුවී නැත.

තානාපති කාර්‍යාලය දුන් තොරතුරු විමර්ශන කිරීමේදී මෙවන් සිද්ධිය වී නොමැති බවට තොරතුරු ලැබී තිබේ.

එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කරගැනීමට අදාළ සේවිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීම අනිවාර්ය වේ.

ඇය විමර්ශනවලට සහය නොදී රටින් පිටවීමට සැලසුම් කරමින් සිටින බව පැවැසෙන්නේ මෙවන් පසුබිමක ය.

මහනාහිමියන්ට වැද රනිල් යන්න යයි

මහනුවර ගොස් මල්වතු අස්ගිරි මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන, තමාට දුන් සහයෝගයට උන්වහන්සේලාට ස්තූති කළ බව හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පෙරවරුවේ දී පැවැසීය.

පළමුව මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව හිටපු අගමැතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියන් බැහැදැක තිබුණි.

මෙම අවස්ථා ආවරණ කිරීමට මාධ්‍යයට අවස්ථාව නොලැබිණ.

තමන් ටෙලෝ සංවිධානයෙන් ඉවත්කළහොත් නව ප්‍රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගනවා – ටෙලෝ ලේකම් කියයි

තමන්ව ටෙලෝ සංවිධානයෙන් ඉවත් කළහොත් ඉන්  සති දෙකක් ගතවිමට පෙර නව ප්‍රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගන බව ටෙලෝ සංවිධානයේ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා ඊයේ (02)  යාපනයේදි  පැවසීය.

යාපනයේදි  පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි විමෙන් ඔහු මේ  බව කියා සිටි අතර එහිදි  වැඩිදුරටත් ශ්‍රීකාන්තා මහතා කියා සිටියේ,

‘ජනාධිපතිවරණයේදී ශිවාජිලිංගම් මහතාට සහය දැක්විමේ චෝදනාව මත තමන්ටත් තවත් දෙදෙනෙකුටත් ටෙලෝ නායකයා විසින්  විනය පරීක්ෂණයක් පැවැත්වීමට යන බව දැනුම් දි  තියෙනවා. ටෙලෝ සංවිධානයේ ලේකම් වශයෙන් තමන්ටත් යාපනයේ ලේකම්වරයා වන  සිල්වෙස්ටර් විමල් රාජ් නැමැත්තාටත් එහි උපලේකම් එස්.ජෙගනාර් නැමැත්තාටත් එරෙහිව එම විනය පරීක්ෂණය පැවැත්වෙන බව දැනුම් දී තියෙනවා වගේම ඔවුන් ඕනෑම විනය පරීක්ෂණයකට මුහුණ දිමට සූදානම්.

ගම්මන්පිලත් මහමැතිවරණය පුටුවෙන් බව කියයි

ඉදිරි මහමැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි ඉදිරි මහමැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණකින්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දක්වන සෙසු පක්ෂ ඉදිරි මහමැතිවරණය එක් පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ගිවිසුම් ගත වු බවද එහි එක් කොන්දේසියක් ලෙස පුටුව ලකුණින් තරග කිරිම ඇතුළත්ව තිබු බවද ගම්මන්පිල මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහමැතිවරණයට තරග කරන්නේද පොහොට්ටුව ලකුණෙන් යැයි පවසන්නේ මේ ගිවිසුම ගැන හරි අවබෝධයක් නැති හා වෙනත් පුද්ගලික ආසාවන් ඇති අය බවද ඔහු පැවසීය.

මෙලෙස විවිධ ප‍්‍රකාශ නිකුත් වීම වළක්වා ගැනීම සඳහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විසින් ගිවිසුමේ එකඟතා පිළිබඳව තමන්ගේ සියලූ පාක්ෂිකයන් දැනුවත් කළ යුතුව ඇතැයිද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

පාඨලීගේ රියේ හැපී ඔත්පලව සිටින මගේ පුතාට සාධාරණයක් ඉටුකරන්න – සන්දීප්ගේ පියා ජනපතිට අගමැතිට ලිපි යවයි

පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයෙකු වූ පාඨලී චම්පික මහතාට අයත් ජීප් රථයක ගැටී අනතුරට ලක්වීමෙන් ඔත්පලව සිටින තම පුත‍්‍රයා වන සන්දීප් සම්පත් වෙනුවෙන් සාධාරණයක් මෙතෙක් ඉටුනොවූ බවත් වහාම තම පුතුට සාධාරණය ඉටුකරදීමට අවධානය යොමු කරන ලෙසත් ඔහුගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් භාරදී ඇත.

2016 වසරේ පෙබරවාරි මස 28 දින රාති‍්‍රයේ  රාජගිරියේදී පාඨලී ඇමැතිවරයාට අයත් ජීප් රථයක සන්දීප් සම්පත් ධාවනය කළ යතුරුපැදිය ගැටීමට ලක්විය

එකගතාවය මහ මැතිවරණය පුටුවෙන් තරග කරන්න… ඇයි මේ පොහොට්ටු කතා? ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයෝ අසයි

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පුටුව ලාංඡනයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමේ එකඟතාවක් තිබියදී පොහොට්ටුව ලාංඡනයෙන් තරග කළ යුතු බවට ඇතැම් මැතිඇමැතිවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

මහ මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කළ යුතු බවට ඇතැම් මැති ඇමැතිවරුන් පළ කරන අදහස් සම්බන්ධයෙන් ජාතික පුවත් පතකට අදහස් දක්වමින් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක්  මේ බව සදහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවා ගනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ පහළොවක එකඟතාවකින් යැයිද ඊට අදාළ ගිවිසුමකට පවා අත්සන් කර ඇතැයිද එම ප්‍රකාශකයා පවසා ඇත.

එසේ තිබියදී ඊට පරස්පර ලෙස අදහස් ප්‍රකාශ කිරීම එකඟතාවන්ට බාධාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡාවකදීද එකඟතාවකට පැමිණ තිබුණේ ඉදිරි මැතිවරණයේදී පොදු ලකුණකින් තරග කිරීමට බව ඔහු බවසා ඇත. එම එකඟතාවකට පැමිණ තිබුණේ ඉදිරි මැතිවරණයේදී පොදු ලකුණකින් තරග කිරීමට බවත් එම එකඟතා කඩ කිරීම යෝග්‍ය නොවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වුවද පොහොට්ටුවෙන් තරග කළ යුතු බවට වගකිව යුතු පුද්ගලයෙක් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති හෙයින් කලබල විය යුතු නැතැයි යන්න ඔහුගේ අදහස වී ඇත.

පොහොට්ටුවෙන් තරග කළහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අනිවාර්යෙන්ම ලබා ගත හැකි යැයි බලශක්ති රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන ඉකුත් සතියේ ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණයේදී පොහොට්ටු ලාංඡනයෙන් තරග කිරීම ජයග්‍රහණයට හේතුවක් වන බවය.