Press "Enter" to skip to content

Posts published in “මුහුණු පොතෙන්”

ඩයනාගේ කබාය ඇමෙරිකන් ඩොලර් මිලියන 1.14කට මිලදී ගනී

ඩයනා කුමරියගේ ශීත කබායක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.14 (ශ්‍රී ලංකා රුපියල් 367,841,862 පමණ)ක මුදලකට වෙන්දේසියකදී අලෙවි වී ඇත.

 

මෙම ශීත කබාය සඳහා ලංසු කැඳවීම පසුගිය අගෝස්තු 31 වැනිදා ආරම්භ වී තිබේ.

 

අවසන් මොහොතේදී පුද්ගලයකු විසින් ඩයනා කුමරියගේ ශීත කබාය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.14 ක ලංසුවක් තබා ඇති අතර එම පුද්ගලයා ඔහුගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.

 

 

මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන්ගේ කතාව ඇත්තක්ද? බොරුවක්ද?

මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ යැයි සෘජුව ප්‍රකාශ කිරීම වැරදි යැයි ඇමෙරිකාවේ චිකාගෝ නුවර මහාචාර්ය ජෝඩන් බ්‍රිම් මාද්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

 

ජෝඩන් බ්‍රිම් යනු පිටසක්වළ ජීවීන් සිටිනවාදැයි සොයන, විශ්වය සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලොව කීර්තිමත් විද්වතුන්ගෙන් කෙනෙකි.

 

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන එම අසාමාන්‍ය කුඩා සිරුරු මෙක්සිකෝ කොංග්‍රස් මණ්ඩලය හමුවේ ප්‍රදර්ශනය කළේ  පිටසක්වළ ජීවීන් ගැන දශක ගණනක් තිස්සේ උනන්දුවක් දක්වන ජේමී මොසාන් ය.

 

පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් තමන් විශේෂඥයකු යැයි කීවත්, ජේමී මොසාන් ට ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නොමැති බවත්, ඔහු මාධ්‍යවේදියකු බවත් මහාචාර්ය ජෝඩන් බ්‍රිම් පවසා තිබේ.

 

ජේමී මොසාන් මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පැහැදිලි කළේ, ගවේෂණ කණ්ඩායමට හමුවුණු පොසිලකරණයට ලක් වුණු කුඩා සිරුරු දෙකකි. එම සිරුරු පාර්ලිමේන්තුවට ගෙනැවිත් ප්‍රදර්ශනය කෙරුණේ වීදුරු පෙට්ටි දෙකක තැම්පත් කරමිණි.

 

පිටසක්වළ ජීවීන් යැයි සැක කෙරෙන එම සිරුරු හමුවී ඇත්තේ පේරු රටේ කොස්කෝ පළාතේ ඇල්ගී ලෙනක සිදු කළ ​ගවේෂණයකදීය.

 

සිරුරු අළු පැහැතිය, මනුෂ්‍ය සිරුරකට වඩා ප්‍රමාණයෙන් කුඩාය, අත්වල ඇගිලි 3 කි. ප්‍රමාණයෙන් විශාල හිසට ඇත්තේ ලොකු ඇස් ය. දත් නැත.

 

ජේමී මොසාන්, පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් පැහැදිලි කළේ එම සිරුරු කාල නිර්ණ පරීක්ෂණවලට යොමු කළ බවත්, ඒවා වසර දහසක් පැරැණි බව එයින් තහවුරු වුණු බවත්ය.

 

‘කැඩ්මියම්’ සහ ‘ඔස්මියම්’ නමැති අති දුර්ලභ ලෝහ කැබැලි මෙම සිරුරුවලට බද්ධ කර ඇතැයි ද ජේමී මොසාන්, වැඩි දුරටත් පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දී තිබේ.

 

ජේමී මොසාන් කළ මෙම අනාවරණය මේ වනවිට ලොව පුරා මහත් ආන්දෝලනයක් නිර්මාණය කර අවසන්ය. සමාජ මාධ්‍ය ඔස්සේ ද කසුකුසුවක් පවතී.

 

මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම අසාමාන්‍ය සිරුරු පිටසක්වළ ජීවීන්ගේ යැයි සියයට 100 ක් සහතික කළ නොහැකි යැයි ජේමී මොසාන් අනාවරණය සම්බන්ධයෙන් ඇමෙරිකන් මහාචාර්ය බ්‍රිම් මෙසේ පැහැදිලි කරයි.

 

‘මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒ අසාමාන්‍ය සිරුරු පිටසක්වළ​ ජීවීන්ගේ යැයි සෘජුව කීමට බැහැ. ඒවා ඉදිරිපත් කළේ විද්‍යාඥයකු හෝ විද්වතකු නොවෙයි. ජේමී මොසාන් කියන්නේ පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන සොයන විද්වතෙකු නොවෙයි. පියාඹන පීරිසි ගැන හෝ පිටසක්වළ ජීවීන් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න ඔහුට විද්‍යාත්මක දැනුමක් නෑ. ඔහු මාධ්‍යවේදියෙක්. ඔහු මීට පෙර ද මේ අයුරින් ඉදිරිපත් කළ සාක්ෂි බොරු වී තිබෙනවා. වෙනසකට තියෙන්නේ, ඔහු මෙක්සිකෝ පාර්ලිමේන්තුවට එම පිටසක්වළ ජීවීන්ගේ යැයි කියන සිරුරු ඉදිරිපත් කළේ, පිටසක්වළ ජීවීන් සිටිනවා යැයි පාර්ලිමේන්තුව හමුවේ දිවුරුම් දීමක් කරමින්.’ යැයි මහාචාර්ය ජෝඩන් බ්‍රිම් වැඩි දුරටත් පවසා තිබේ.

 

 

ලොවම කලඹමින් මිනිසුන් නොවන ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු 2ක් එළියට

Mexican Congress හිදී මිනිසුන් නොවන ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු 2ක් ප්‍රදර්ශනය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඇතැම් මාධ්‍ය මෙම අවස්ථාව අර්ථදක්වා ඇත්තේ “ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ” යනුවෙනි.

 

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ මෙම සිරුරු වසර 1000කට ආසන්න කාලයක් පැරණි බවට හෙළිවී ඇති බවය.

 

එසේම මෙම සිරුරු පතල්වලින් සොයාගෙන ඇති බවත් පැවසේ.

 

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු පහතින්.

 

 

විද්‍යාඥයන් මවිතයට පත්කරමින් මුහුදු පතුලෙන් ‘රත්තරන් බිත්තරයක්’

විද්‍යාඥයන් මවිතයට පත් කළ වස්තුවක් ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් පමණ ගැඹුරු මුහුතු පතුළින් හමු වී තිබෙනවා.

 

‘රත්තරන් බිත්තරයක්’ යැයි සැක කරන මෙම අබිරහස් වස්තුව සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

මෙවැනි වස්තුවක් හමුවුණු පළමු අවස්ථාව මෙය වන අතර මෙම ‘බිත්තරය’ සොයා ගෙන ගත්තේ අමෙරිකාවේ සාගර සහ වායුගෝලීය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින්.

 

ඔවුන් මුහුදු පතුළ ගවේෂණය කරමින් සිටින විට මෙම බිත්තරය හමු වී ඇති බවයි පැවසෙන්නේ.

 

එම විද්‍යාඥයන් පවසන්නේ මෙම අබිරහස් වස්තුව සැබැවින්ම බිත්තරයක් නම්, මුහුදු පතුලෙන් මෙතෙක් සොයා නොගත් ජීවියකුට අයත් බිත්තරයක් විය හැකි යැයි බවයි.

 

මෙම අබිරහස් වස්තුවේ පළල සෙන්ටි මීටර් 10 ක් වන අතර එය ජීව විද්‍යාත්මක සම්භවයක් ඇති දෙයක් විය හැකි බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

 

බිත්තරයක හැඩැති මෙම වස්තුව පුපුරා ගොස් ඇති අතර, ඒ තුළින් යම් ජීවියෙක් පිටතට එන්නට ඇතැයි සැක කෙරෙන අතර, මෙය කුමන සතකුගේ බිත්තරයක්දැයි කිසිවකු මෙතෙක් සොයා ගෙන නැහැ.

 

ඉන්දීය ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

ඉන්දියාව පසුගිය 23 වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

 

රුපේෂ් සඳෙහි ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයෙන් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇත.ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි වෙබ් අඩවිය ඔස්සේ රුපේෂ් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.ඔහු මිලදී ගෙන ඇති ඉඩම් කැබැල්ල සඳහා ඔප්පුවක් සහ මිලදී ගත් ඉඩම් කැබැල්ලේ සැටලයිට්  ඡායාරූපයක් ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය රුපේෂ්ට ලබා දී ඇති අතර මෙම මිලදී ගැනීම පසුගිය 25 වැනිදා ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය තහවුරු කර ඇත.

 

සඳෙහි ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීම තුළින් තමන් වෙනස් අනාගතයක් සඳහා සූදානම් යැයි හැඟෙන බව රුපේෂ් පවසා තිබේ.ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය සඳහන් කර ඇති පරිදි ගනුදෙනුකරුවන්ට අවම අක්කරයක ඉඩම් කැබැල්ලක් සඳෙහි මිලදී ගැනීමට හැකියාව පවතින අතර ඉඩම් මිලදී ගැනීමෙන් ලැබෙන මුදල් පුද්ගලික සඳ ගවේෂණය සඳහා යෙදවේ.

 

කීර්තිමත් පුද්ගලයින් 675 ක් සහ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු මේ වන විට සඳෙහි ඉඩම් මිලදී ගෙන තිබෙන බව රුපේෂ් පවසා ඇත.ඉන්ටර්නැෂනල් ලුනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය තුළ ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයේ අක්කරයක් ඩොලර් 29.07 කට මිල කර තිබේ.

 

 

 

 

මාතුපෝසක දරුවෝ තවමත් ඉන්නවා… වාර්තාව හොරණ පොලීසියෙන් (වීඩියෝ)

මාපියන් ප්‍රතික්ෂේප කරන ඇතැම් දරුවන් ගැන සමාජයෙන් නිරන්තර තොරතුරු වාර්තා වේ.

 

එවන් කාලයක මව් සෙනෙහස වෙනුවෙන් කැපවුණු දරුවන් ගැන නෙතට කදුළක් ගෙන එන පුවතක් අද දෙරණට වාර්තා විය.

 

පේමලතා නමැති 63 හැවිරිදි තිදරු මවක් මීට වසර දෙකකට ආසන්න කාලයකට පෙර සිය වැඩිමහල් දියණියගේ නිවසින් බැහැරව ගොස් තිබිණි.

 

එදා සිට අද වන තෙක් මව පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට ඇයගේ දරුවන් තිදෙනා දැඩි වෑයමක් දරා ඇත.

 

නීතියට පමණක් සීමා නොවූ හොරණ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්යය මණ්ඩලය ද දරුවන්ට මව සොය‍ා දීමේ කාර්යය භාරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස හොරණ ප්‍රදේශයේ මාර්ගයක අනාරක්ෂිතව සිටි මව සොයා ගැනීමට හැකි වී තිබේ.

 

ඒ අනුව පුත්තලම, එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි මෙම අම්මාගේ දරුවන් කඩිනමින් පොලිස් ස්ථානයට පැමිණ තිබුණේ, සිය මව දැක බලා ගැනීමේ අපේක්ෂාවෙනි

කෙසේ වෙතත් මෙම අම්මාට මේ වනවිට සිය දරුවන් ගැන මතකයක් නැත.

 

දරුවන්ගේ ළෙංගතුකම නිසාවෙන් මේ මව සිය දියණිය සමඟ යන්නට අවසානයේ එකඟ විය.

 

මෙම දරුවන්ගේ ක්‍රියාව පොලීසියේ ද ඇගයීමට ලක්විය.

 

ලේ කිරි කර පොවා තමන්ව ඇති දැඩි කළ අම්මාව ​සතුටින් භාරගත් මෙම දරුවන්, ඉතා සතුටින් යුතුව පොලීසියෙන් පිට ව ‍යන අයුරු දැකගැනීමට හැකිවිය.

 

තමාව ආදරෙන් තුරුළට ගෙන හදාවඩා ගත් මෑණියන් පියාණන් අමතක කර මිනිස්කමට නිගාදෙන්නන් සිටින සමාජයක මෙම දියණියන් සහ පුතු සමාජයට කියා දෙන්නේ අපූරු පාඩමකි.

 

 

මහල් නිවාසයේ පස්වන තට්ටුවෙන් වැටුනු දැරියගේ දිවි බේරූ වීරයා

ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන් පහළට වැටුණු තුන් හැවිරිදි දැරියක් පොළවට පතිත වීමට පෙර උඩ පන්දුවක් රැක ගන්නා ආකාරයෙන් මහල් නිවාසය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු පහළ සිට අල්ලා ගැනීම හේතුවෙන් එම දැරියගේ ජීවිතය ආශ්චර්යමත් ලෙස බේරී තිබේ.

 

දැරියගේ ජීවිතය බේරා ගත් මටියා අගුස්සි නම් 37 හැවිරිදි මෙම පුද්ගලයා මේ වන විට ඉතාලියේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද වීරයෙක් වී ඇත.ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙකි. මටියා සිදුවීම විස්තර කරමින් පවසා ඇත්තේ සිය පෙම්වතිය සමඟ වෙළඳසැලට යමින් සිටියදී මහල් නිවාසය දෙසින් ඝෝෂාවක් ඇසුණු බවයි.ඒ හේතුවෙන් මහල් නිවාසය අසලට ගොස් බැලු විට කුඩා දැරියක් පස්වෙනි තට්ටුවේ සඳළු තලය අයිනට පැමිණෙනු දුටු බවත් තවත් පුද්ගලයකු කෑ ගසන අයුරු දුටු බවත් ඔහු ප්‍රකාශ කර ඇත. ආපහු යන ලෙස පහළ සිට තමන් කෑමොර දුන්නත් එය කුඩා දැරියට නොඇසුණ බවත් අවසානයේ ඇය සඳළු තලයෙන් පහළට වැටුණු බවත් මටියා අගුස්සි පවසා තිබේ.

 

දැරිය සඳළු තලයෙන් පහළට වැටෙන අයුරු දුටු විට සියලු දේ හොඳින් සිදු වේ යැයි බලාපොරොත්තුවෙන් ඇස් දෙක පියාගෙන දැරියව අල්ලා ගැනීමට තමන් ඉදිරියට පැන්න බවත් අනතුරව දැරිය තමන්ගේ ඇඟට වැටී දෙදෙනාම බිම වැටුණු බවත් මටියා අගුස්සි ප්‍රකාශ කර ඇත.බිම වැටුණු අවස්ථාවේ තමන්ට දැරිය ජීවත් වන බවට කිසිඳු ඉඟියක් නොලැබුනත් ටික වේලාවකින් දැරිය අඩන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඉන් සිතට සතුටක් දැනුනු බවත් ඔහු පවසා තිබේ.

 

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ප්‍රථමාධාර නිලධාරීන් දැරිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම පිළිබඳ සියල්ලන්ම  පුදුමයට පත්ව තිබේ.ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මෙලෝනි ද මටියා අගුස්සිගේ මෙම වීර ක්‍රියාව පිළිබඳව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත.

 

 

වතුකරයේ පුංචි ගීත කෝකිලාවියට සුබ පතන්න නිමල් පියතිස්ස චෙන්නායි යයි

සුප්‍රසිද්ධ ඉන්දියානු රූපවාහිනී නාලිකාවක ගායන තරඟාවලියක් සඳහා මාර්ගගතව සුදුසුකම් ලබා මේ වන විට ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන එම තරගාවලියට සහභාගිව සිටින නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පාසලක නවවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අසානි දැරියට එම තරඟ පැවැත්වෙන චෙන්නායි – මූදමල්ලී පිහිටි එම රූපවාහිනී නාලිකාවේ ස්ටුඩියෝව වෙත ගොස් සුබ පැතීමට  නුවවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.

වතු කම්රු යුවලකගේ දියණියක වන අසානිට ආර්ථික අපහසුතා නිසා ඉන්දියාවෙි චෙන්නායිහි පැවැත්වෙන එම රූපවාහිනී රියැලිටි තරඟයට සහභාගී වීමට නොහැකිව තිබුණත් ඇයගේ සහජ ගායන කුසලතාව පිළිබඳව අවධානය යොමුකර ඇති එම විනිශ්චය මණ්ඩලයේ පරිත්‍යාගශීලියෙකු ඇයට එම තරඟාවලියට සහභාගී වීමටත් පුහුණුවීම් සඳහාත් වියදම් දරමින් අවස්ථාව සලසා දී ඇති බව ඔහු පවසයි.

 

ඒ අනුව මේ වන විට පැවති පළමු වටයේ ගායන තරඟයෙන් ජයගෙන ඇති ඇය ඉදිරි තරග වට සඳහා සුදුසුකම් ලබා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ තමන් දිරිගැන්වීමට චෙන්නායි වෙත පැමිණීම මහත් සතුටට කරුණක් බවත් තමන් දිරිගැන්වීමට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රීවරයා නිමල් පියතිස්ස මහතා බවත් අසානි සහ ඇගේ පියා පවසා ඇත.

 

නිමල් පියතිස්ස මහතා තම මුහුණු පොතේ මේ බව සටහන් කර තිබේ.

 

 

 

 

මැලේසියා ගුවන් අනතුරෙන් මියගිය ගුවන් නියමුවාගෙන් තම මවට අවසන් වරට කියූ සංවේදී කතාව

ලොවක් කම්පා කරමින් මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ඊයේ (17)ගුවන් අනතුරක් සිදුවුණා.

ක්වාලාලම්පූර් වෙත උතුරින් අධිවේගී මාර්ගයකට කුලී ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම අනතුරත් සමඟින් අතිශය සංවේදී පුවතක් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා.

ඒ ගුවන්යානා අනතුරකින් ජීවිතයෙන් සමුගත් එම යානයේ ගුවන්නියමුවා වන ෂාරුල් කමල් රොස්ලාන් තම 67 හැවිරිදි මව වන මහනොම් ඉස්මයිල්ට ගුවන් යානය කඩා වැටීමට මොහොතකට පෙර සිය මවට අවසන් වශයෙන් පැවසූ දේ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟයි.

ඔහු අවසන් වශයෙන් සිය මවට පවසා ඇත්තේ ‘මම ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ’ යනුවෙනුයි.

වෙන් වීමේ ඉඟියක් දැණුන නිසාමදෝ ඔහු අවසන් වරට සිය මව අමතා කළ මේ ප්‍රකාශයට අප සියලු හදවත් කම්පාවට පත් වෙන බව නොරහසක්.

 

බැබුන්ගේ සමගියක මහිම

දකුණු අප්‍රිකාවේ දුෂ්කර පළාතක බැබුන් 50 දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් දිවියකුට පහර දෙනු ලබන වීඩියෝවක් සමාජ මාධ්‍ය හුවමාරු වේ.

 

පහර දීමට ලක්වූ දිවියා බැබුන් කණ්ඩායමේ සිටින එක් බැබුනකු දඩයම් කිරීමට උත්සාහ දරන අතර එම එම සත්වයා බේරා ගැනීම සඳහා සෙසු බැබුන් සතුන් පැමිණ දිවියාට පහර දෙති

 

පහර කෑමට ලක්වන දිවියා අවසානයේ බැබුන් සතුන්ට බියවී අනතුරුව කැලයට දිව යයි.

 

මාර්ගයේ ගමන් ගත් වාහන මෙම සිදුවීම හේතුවෙන් නවතා ඇති අතර එම වාහන වල සිටි අයද මෙම සිදුවීම වීඩියෝ කර තිබේ. මෙම පුවත ඊයේ(15) සමාජ මාධ්‍ය වෙත උඩුගත කර ඇති අතර මේ වන විට ලක්ෂ දෙකක පිරිසක් නරඹා ඇත.