Press "Enter" to skip to content

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගේ විමර්ශන අරඹයි (වීඩියෝ)

ඉන්දියාවේදී ඊයේ (20) අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් යැයි කියන සැකකරුවන් 4 දෙනා හඳුනාගෙන විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

 

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ISIS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත්වූ පුද්ගල‍යින් සැක කරමින් බවයි සඳහන් වන්නේ.

 

ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් ISIS සංවිධානයට සම්බන්ධ ලාංකිකයින් සිව්දෙනා එරට තුළ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානමින් සිට ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබෙනවා.

 

මෙම ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඔවුන්ගේ මෙරට පදිංචි ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු කොළඹ පදිංචිකරුවන් බවයි.

 

ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින්.

 

ඒ, ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කරමින් සිටින බවට බුද්ධි අංශවලට ලද තොරතුරුවලට අනුවයි.

 

27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 33 හැවිරිදි මොහොමඩ් නුස්රාත්, 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් සහ 43 හැවිරිදි මොහොමඩ් රෂ්ඩීන් යන සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්.

 

ඔවුන් අහ්මාදාබද් වෙත පැමිණ තිබුණේ චෙන්නායි සිට වූ අතර ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට පැමිණි මගීන්ගේ නම් ලැයිස්තු පරික්ෂා කරමින් ඔවුන් හඳුනාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබුණා.

 

එමෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවයන් තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා රජයෙන් ද සහාය හිමි වූ බව ගුජරාට් පොලිස් ප්‍රධානියා පවසා තිබෙනවා.

 

දැනට අනාවරණ වී ඇත්තේ මොවුන් සිව්දෙනා පාකිස්ථානයේ අබු නමින් හැඳින්වෙන අයෙකු සමග සමාජ ජාල ඔස්සේ සමීප සබඳතා පවත්වා ඇති බවටයි.

 

ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට අබු විසින් ඔවුන්ව දිරිමත් කර තිබූ අතර ඒ අනුව ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ද එකඟ වී තිබෙනවා.

 

අබු විසින් ඔවුන්ට මූලිකව ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 4ක් ලබා දී තිබූ බවයි ගුජරාට් පොලිස් ප්‍රධානියා පවසා ඇත්තේ.

 

ඔවුන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී ගිනි අවි කිහිපයක ඡායාරූප සහ අහ්මදාබාද් නගරයට ආසන්න නනාචිලෝඩා නම් ප්‍රදේශය පිළිබඳ දත්ත සොයාගෙන තිබෙනවා.

 

ඒ අනුව එම ප්‍රදේශයේ කළ පරික්ෂාවේදී ඔවුන්ගේ ජංගම දුරකථනවල තිබූ ඡායාරූපවල දැක්වුණු ආකාරයේම පාකිස්ථානයේ නිෂ්පාදිත ගිනි අවි තුනක් සහ ජීවඋණ්ඩ 20ක් සොයාගැනීමට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය සමත්වුණා.

 

ඔවුන්ට එම ආයුධ ලැබීමට සලස්වා ඇත්තේ පාකිස්ථානයේ අබු නමැත්තා විසින්මයි.

 

ඔවුන් ISIS නායකයින් සමග තොරතුරු හුවමාරු කරගෙන ඇත්තේ තුන්වන පාර්ශ්වයකට තොරතුරු ලබාගත නොහැකි ප්‍රෝටෝන් නමැති ඊමේල් සේවාව හරහායි.

 

මොවුන් යුදෙව් ජාතිකයින්ට,ක්‍රිස්තියානි ජාතිකයින්ට, භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින්ට සහ තවත් හින්දු මතධාරී සංවිධානයකට “පාඩමක් ඉගැන්විය යුතුය” යන මතයේ දැඩිව සිටි බව ද අනාවරණ වී තිබෙනවා.

 

ISIS සංවිධානයට හා එහි හිටපු ප්‍රධානී අබු බකර් බග්ඩාඩිගේ ඉගැන්වීම්වලට ඔවුන් දැඩි ලෙස ඇබ්බැහි වී සිටි බව ද ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය හඳුනාගෙන තිබුණා.

 

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවුණේ ඉකුත් මැයි 12 වනදා අහ්මදාබාද් ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ඊමේල් මගින් අනතුරු ඇඟවීමක් ලැබී තිබූ පසුබිමකයි.

 

මෙම ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන්  කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඔවුන්ගේ මෙරට පදිංචි ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු කොළඹ පදිංචිකරුවන් බවයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *