Press "Enter" to skip to content

එකම ඇපය බැංකු දෙකකට තබා මෙන්ඩිස් සමාගම රුපියල් කෝටි 700ක් ණය අරගෙන

සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා රුපියල් කෝටි 700 ක ණය මුදලක් ලබාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු හෙළිවී ඇත.

 

මේ පිළිබඳ තොරතුරු හෙළිවූයේ ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එහි ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඊයේ(24) කැඳවූ අවස්ථාවේදීය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී ඊයේ පෙරවරුවේ රැස්විය.

 

ඉහළම අක්‍රීය ණය ශේෂ සහිත සමාගම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එම සාකච්ඡාවේදී සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම පිළිබඳව විශේෂ අවධානය යොමුවිය.

 

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී පරීක්ෂණයක් කළ යුතු බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

 

මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

මේ අනුව ඉදිරියේදී අදාළ බැංකු දෙකම කෝප් කමිටුවට කැඳවා මේ පිළිබඳ වාර්තාවක් සකස්කර එම වාර්තාවද සමගින් මෙම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

 

එසේම 2020 වර්ශයේදී අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව බැංකුව විසින් පූර්ව පරිණත විශ්‍රාම ප්‍රතිලාභ ලෙස හිටපු සාමාන්‍යාධිකාරීට කරන ලද රු. 32,039,733 ක මතභේදයට තුඩුදෙන ගෙවීමක් සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරිණ.

 

මෙහිදී අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපතිවරයා මෙම සාමාන්‍යාධිකාරීවරයාගේ පූර්ව පරිණත විශ්‍රාම යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය වැඩවර්ජනයක් පැවැත්වූ බවත් වැඩවර්ජනය හේතුවෙන් දිනකට රුපියල් කෝටි 7කට වැඩි පාඩුවක් සිදු වූ බව පැවසීය.

 

මේ නිසා එම වැඩවර්ජනය ඉක්මනින් අවසන් කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගන්නට සිදු වූ බවයි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *