Press "Enter" to skip to content

චින්දාඕ චීන සමාගමට එරෙහිව තවත් වාරණ නියෝගයක්

සී/ස ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් අද (26) දින තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කර ඇත.

 

එහි දැක්වෙන පරිදි චින්දාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පැනිය වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකි වන ලෙස අදාළ වාරණ නියෝගයේ සඳහන්ය.

 

චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබාගැනීමට ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය අංක 02 හි විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත එම වාරණ නියෝගය නිකුත් කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

 

පසුගිය සිකුරාදා කොළඹ වාණිජ මහාධිකරණය අංක 03 හි විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ද චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

 

ආචාර්ය චාරුක ඒකනායක, රජයේ අධි නීතිඥ ශෙහාන් සොයිසා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විශ්නේෂ්වරන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි, යන මහත්වරු පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිට තිබේ.

 

ගිවිසුම යටතේ, චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුව ද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට තිබූ නාවුක උපදෙස්වලදී සමාගම පිළිගෙන ඇති බව ද අධිකරණයේ දී දන්වා සිටි බව ද එම නිවේදනයේ දැක්වේ.

 

ජාතික ශාක නිරෝධායන සේවය විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර තිබේ.

 

එම තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබා ගත් නැව්ගත කිරීමක කොටසක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *