Press "Enter" to skip to content

පොලිස්පතිට ලබාදුන් සේවා දිගුව නීති විරෝධීයි…. පුටුවේ ඉන්න ලැජ්ජ නැද්ද? නිමල් පියතිස්ස අසයි

නිසි ක්‍රමවේදයට පටහැනිව වත්මන් පාලකයන් විසින් ලබා දුන් සේවා දිගු මගින් දිගින් දිගටම පොලිස්පති ධුරයේ රැඳී සිටීමට හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කිරීම නීති විරෝධී පමණක් නොව සදාචාර විරෝධී මෙන්ම ලැජ්ජා, බිය නොමැති ක්‍රියාවක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පෙන්වා දෙයි.

 

එසේම ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පොලිස්පති ධුරය හා සම මට්ටමේ ධුරයක් වන නීතිපති ධුරයේ කටයුතු කළ සී. ආර්. ද සිල්වා මහතාට මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිසි ක්‍රමවේදයෙන් තොරව ලබා දුන් සේවා දිගුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ අවස්ථාවේදී එය නීති විරෝධී බවට තීන්දුවක් ලැබී ඇති බව වත්මන් පාලකයන් අමතක කර ඇති බව ය.

 

අද(10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ 36 වන පොලිස්පතිවරයා ලෙස පත්වීමට නිසි සුදුසුකම් සපුරා තිබෙන තමන්ට පහළින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඇති අවස්ථාවන් අහුරමින් අනීතිකව කටයුතු කරන වත්මන් පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනීමට හැකි බවට ද නිමල් පියතිස්ස මහතා අනතුරු ඇඟවීය. එසේ වුවහොත් අසහනයට පත් වූ පොලිස් නිලධාරීන් තම කූඨ අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට අන්තවාදී, ජාතිවාදී කල්ලි කණ්ඩායම්, ඩොලර් මගින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන, පාතාල කල්ලිවලට පහසු ඉඩකඩක් නිර්මාණය වන බව ද ඒ මහතා සඳහන් කළේය.

 

ආර්ථික අර්බුදය හේතුවෙන් රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් සහ සමාජ අසහනයක් උද්ගතව ඇති මොහොතක ආණ්ඩුව, පොලිස්පති ධුරයට සුදුස්සකු පත් නොකොට පොලිස් දෙපාර්තමේන්තුව සමග “සෙල්ලම් කිරීම” වහාම නතර කළ යුතු බව ද නිමල් පියතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

සාමය හා නීතියේ ආධිපත්‍යය සමාජය තුළ තහවුරු කිරීමට නම් පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත්ව තිබිය යුතු බවත් පසුගිය “පරගල” සමයේ මෙම පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය රට අරාජිකත්වයට ඇද දැමූ ආකාරය කිසිවකුට අමතක නොමැති බව ද නිමල් පියතිස්ස මහතා මෙහිදී කීය.

 

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරිය තමන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව තවත් ලිබියාවක් බවට පත්කිරීමට “පරගලයක්” ක්‍රියාත්මක කර ඇති බවත් ජවිපෙ, පෙසප වැනි දේශපාලන පක්ෂ, අන්තරය, ඇතැම් වෘත්තීය සමිති, ඩොලර් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ඊට සහාය දී ඇති බවත් ඒ “පරගලයට” වසරක් පිරෙන මේ මොහොතේ සක්සුදක් සේ පැහැදිලි බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.

 

එම “පරගලයේ” මහා ආනුභාවයෙන් ජනාධිපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ මහතා අද IMF කොන්දේසි අනුව ටෙලිකොම් ඇතුළු ලාභ ලබන රාජ්‍ය ආයතන පවා විකුණා දැමීමට සූදානම් මේ මොහොතේ “පරගලයට” නායකත්වය දුන් ඉහත කී සියලුදෙනා නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවට ද ඒ මහතා චෝදනා කළේය.

 

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-07-10

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *