Press "Enter" to skip to content

මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් එන පනත මගින් රටට සිදුවන්නේ කුමක්ද? වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි (වීඩියෝ‍)

මේ වන විට මහ බැංකු පනත නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත හරහා රටේ පවතින ආර්ථික අර්බුදයට මුවා වී රට නව යටත් විජිතවාදයේ ගොදුරක් බවට පත්කිරීමේ ඉතා ශූක්ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක බව බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

 

ඒ මහතා මේ බව පැවසුවේ අද(9) දින ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි. එම මාධ්‍ය හමුව සදහා ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් යසස් ධර්මදාස යන මහත්වරුන් එක්වී සිටියහ.

මෙහිදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ මෙවැනි නව පනතක් මේ රටේ ජාතික බලවේග, විද්වතුන් හෝ දේශපාලන බලවේග යන කිසිදු පාර්ශ්වයක් ඉල්ලා නොසිටි බවය. මෙම පනත ගෙන ඒම සිදුකරන්නේ මහබැංකුව ස්වාධීන කිරීමෙන් රටේ මූල්‍ය පද්ධතිය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන් කළමනාකරණය කිරීම සදහා යැයි පැවසුව ද මෙම පනත හරහා සිදුවන්නේ ඉතා භයානක අනතුරකට රට පත්වීම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

 

මෙරට ආර්ථික අර්බුදයක් නිර්මාණය වූයේ එක් පසෙකින් අන්ත දූෂිත මහ බැංකු නිලධාරීන් හා අනෙක් පසින් ඔවුන්ව හැසිරවීමට ක්‍රියාකළ දේශපාලකයන් විසින් බව ද, මහ බැංකු වංචාව හා ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර මිලියන 12,000ක් අත්තනෝමතිකව ඉහළ පොලියකට නිකුත් කිරීම මගින් කොමිස් කුට්ටිපිටින් ගිල දිමූ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාවන් රට ණය අර්බුදයකට ඇද දැමූ බව ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.

 

දැනට ඇති මහ බැංකු පනත 22 වතාවක් සංශෝධනය කර ඇති බවද පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා, රටට අවශ්‍යව ඇත්තේ මෙම බැංකු පනතේ සංශෝධනයක් මිස නව මහ බැංකු පනතක් නොවන බවද සදහන් කරයි.

 

ජාතික බලවේග, විද්වතුන් හා දේශපාලන බලවේග විසින් ඉල්ලා සිටියේ දූෂිතයන්ට මහ බැංකුවට පත්වීමට ඉඩ අහුරාලීම හා 2017 වසරේදී ගෙනා විදේශ විනිමය පනත නිසා මෙරට නිර්මාණය වූ කළු ආර්ථික වෙළෙද පොළ අහෝසිකරන සංශෝධන මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවත්වාගෙන යන නව පනතක් නොවන බවයි ඒ මහතා පවසන්නේ.

 

මෙම නව පනත හරහා රටේ පාලන අධිකාරියට කිසිදු ලෙසකින් මහ බැංකුවත් සමග සම්බන්ධ වීමට හෝ ගනුදෙනු කිරීමට නොහැකි වන තත්ත්වයක් ඇති බව බවත්, එමගින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා මුල්‍ය ප්‍රතිපත්ති අතර ගැටමක් අනිවාර්යයෙන්ම නිර්මාණය වන බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අගමැතිව සිටි 2003 වසරේ ඔහු විසින් ගෙන එනු ලැබූ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා‘ වැඩසටහනේ 164 වැනි පිටුවේ මෙවැනි මහ බැංකු පනතක් ගැන සදහන්ව තිබූ බවද ඒ මහතා පවසයි.

 

මෙහි ඇති භයානකම කාරණය වන්නේ මෙම පනත හරහා ලෝකයේ බිලියන පතියන්ට මෙරට ආර්ථිකය හසුවාලීම සදහා අවශ්‍ය සාධක සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්මාණය කර දීම බවයි වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ.

 

වර්තමානයේ ලෝකය තුළ පැන නැගී ඇති ගෝලීය ආර්ථික ක්‍රමය තුළ ගෝලීය ආර්ථික සංසදයේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ ද ලෝකයේ බිලියන පතියන් අතලොස්සක් විසින් බවද, ඔවුන් උත්සාහ දරන්නේ ලෝකයේ සියලුම රාජ්‍යන්ට ඉහළින් ඔවුන්ගේ ව්‍යාපාරික අනසක පතුරුවන වෙනමම පාලන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට බවද පෙන්වා දෙන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන් විසින් පාලනය කරන හෙයින් මූල්‍ය අරමුදල මෙරට මහ බැංකුවට අතගසා මේ සිදුකරන්න යන්නේ ද ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවක් බවය.

 

ඒ සදහා වර්තමාන මහ බැංකු අධිපති නන්දලාත් වීරසිංහ වැනි ඔවුන්ගේ මෙරට ඒජන්තයකු පත්කිරීමට හරහා රටේ ආණ්ඩුවටවත් පාලනය කරගත නොහැකි ලෙසින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය දැවැන්ත විනාසයකට පාරකැපීමට මෙම නව බැංකු පනත හරහා හැකියාව ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් හෙළිකරයි.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *