Press "Enter" to skip to content

රන්ජන් වරද පිළිගනී…බරපතළ වැඩසහිත වසර දෙකක අත්හිටවූ සිරදඬුවම්

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට වරද පිළිගත් රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවීමට තීන්දුකර තිබේ.

 

බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුනි.

 

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පිළිබඳව රූපවාහිනී වැඩසටහනකදී රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව සඳහන් කරමින් අධිකරණයේ රෙජිස්ට්‍රාර් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

 

මෙම චෝදනාවලට තමන් නිවැරදිකරු බව මුලින්ම රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

 

එහෙත් එම නඩුව ඉකුත් මාර්තු මස කැඳවනු ලැබූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමන් අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවය.

 

ඒ අනුව ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

 

ඒ අනුව අද (07) සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ඉදිරිපත්වූ කරුණු සලකාබලා රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම් නියමකර එය වසර 5කට අත්හිටුවන බව සඳහන් කළේය.

 

ඒ අනුව අද දින සිට වසර පහක කාලයක් තුළ වෙනත් වරදකට වරදකරු වුවහොත් මෙම වසර දෙකක සිර දඬුවම ක්‍රියාත්මක වන බව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විවෘත අධිකරණයේ දී රංජන් රාමනායක මහතාට පැහැදිලි කර දුන්නේය.

 

අද දින සිට වසර පහක කාලසීමාව තුළ වෙනත් කිසිදු වරදකට වරදකරු නොවූවහොත් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මෙම දඬුවම නොකළා සේ සැලකෙන බවත් විනිසුරුවරයා රාමනායක මහතාට වැඩිදුරටත් පැහැදිලි කර සිටියේය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *