Press "Enter" to skip to content

Posts published in “ජනමතය”

articles

ලංකාවේ පළමු ඩිජිටල් කෘෂි වෙළෙඳ පොළ ජංගම දුරකථන යෙදවුමක් ලෙස

වර්තමානය වනවිට ලංකාවේ එළවළු හා පලතුරු වගා කරන ගොවියා මුහුණ දී තිබෙන විශාලතම ගැටලුව වන්නේ වගා කරන භෝගවලට නිසි වටිනාකමක් නොලැබීමය. මෙම ගැටලුව හේතුවෙන් තම භෝග විශාල ප්‍රමාණයෙන් අපතේ යැවීමට සහ අඩු මුදලට ලබා දීමට පසුගිය කාලවකවානුව තුළ ගොවියාට සිදු විය.

තවද අතරමැදිකරුවන්ගේ ජාවාරම් හේතුවෙන් ගොවියාට තම වගාවන් සඳහා වියදම් කරන මුදල හෝ පිරිමසා ගැනීමට නොහැකි වූ අවස්ථා දැකගත හැකිවිය. මෙම කාලීන අවශ්‍යතාව සඳහා වැදගත් පිළියමක් නිර්මාණය කිරීමට Croptronix පෞද්ගලික ආයතනය සමත් විය. ඒ ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් කෘෂි වෙළෙඳ පොළ ජංගම දුරකථන යෙදවුමක් ලෙස නිර්මාණය කිරීමය. ගොවිපොළ නම් මෙම ජංගම දුරකථන යෙදවුමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ සචිත්‍ර යාපා මහතා %අද^ට සම්බන්ධ කර ගැනීමට අප සිතුවේ මෙම පිළියම ලංකාවේ සියලු ගොවි මහතුන්ට වැදගත් වන බැවිනි. 

ගොවිපොළ ජංගම දුරකථන යෙදවුම කියන්නෙ මොකද්ද?

ගොවීන්ට එළවළු විකුණා ගැනීමට සහ ගැනුම්කරුවන්ට එළවළු, පලතුරු මිලදී ගැනීම උදෙසා තමයි අපි මේක නිර්මාණය කරන්නේ. ගොවීන්ට තක්කාලි, වට්ටක්කා වැනි එළවළු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් පසුගිය කාලයේදී උදා වුණා. අවසානයේදී ඔවුන්ට ඒවා අපතේ යැවීමටත් සිදු වුණා. ඉතින් ඒ සිදුවීම ඔස්සේ තමයි අපි %ගොවිපොළ^ කියන ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කරන්නේ. වර්තමානයේදී ගොවීන්ට හරි මිලක් ලැබෙන්නේ නැහැ. ගොවියා නිරන්තරයෙන් ගසාකෑම්වලට ලක්වෙනවා. මේ ගසාකෑම් නවත්වන්න නම් අපි තාක්‍ෂණය භාවිත කරන්න ඕන. අලුත් පරම්පරාව තාක්‍ෂණයත් සමග තමයි ඉස්සරහට යන්නේ. නමුත් තරුණයන් දැන් ගොවිතැනට එකතු වෙන්න මැළිකමක් දක්වනවා. ඉතින් තරුණයන්ව නැවත ගොවිතැනට ගන්නත්, ගොවියාගේ එළවළු විකුණා ගැනීමේ ගැටලුවට පිළියමක් විදියටත් තමයි අපි %ගොවිපොළ^ කියන දුරකථන යෙදවුම නිර්මාණය කළේ.

මේ යෙදවුම නිසා අතරමැදියන් අවශ්‍ය වෙන්නේ නැහැ නේද?

ඔව්. ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. ලංකාවේ ජනගහනයෙන් සියයට 30ක් පමණ ඉන්නේ ගොවියන්. මේ වනවිට ගොවියා ඉන්නේ තමන් වවන එළවළු, පලතුරු ටික අලෙවි කරගන්න බැරි විශාල ගැටලුවක. ඉතින් අපි %ගොවිපොළ^ ඔස්සේ ගොවියාව වෙළෙඳ පොළට සම්බන්ධ කරනවා. එළවළු, පලතුරු වෙළෙඳාමේදී අතරමැදියො තමයි වැඩිපුරම ලාභ ලබන්නේ. සමහර අවස්ථාවලදී අතරමැදියො හයක්, හතක් ඉන්නවා. මේ යෙදවුම හරහා අතරමැදියො සම්බන්ධ වෙන ප්‍රමාණය අවම කරනවා. එතකොට මාස ගානක් තිස්සේ දුක් මහන්සි වෙන ගොවියාට ලැබෙන්න ඕන මුදල ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට ගොවියාට වියදම් කළ මුදලවත් ලැබෙන්නේ නැහැ. 

මෙහි ක්‍රියාකාරීත්වය කොහොමද?

ගොවියාට තමන් වගා කරන දේවල් ස්මාර්ට් දුරකථනයක් හරහා පළකරන්න පුළුවන්. ඒ වගේම තමන් වගා කරන හෝ නිෂ්පාදනය කරනු ලබන දේවල්වල ඡායාරූප පළකිරීමටත් මෙහි ඉඩකඩ සලසා දී තිබෙනවා. ඒ වගේම එහි මිල, වර්ගයන් සහ ගොවියා සිටින ස්ථානය ආදී සියල්ලම මෙයට ඇතුළත් කළ හැකිවෙනවා. තමන්ගේ දුරකථන අංකයෙන් මෙහිදී ලියාපදිංචි විය යුතුයි. ඒ දැන්වීම දකින කෙනාට ඍජුවම ගොවියාව සම්බන්ධ කරගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය ප්‍රමාණය, අවශ්‍ය වර්ගයෙන් තමන් ඉන්නා තැනටම ගෙන්වා ගැනීමට කතා කරගන්න පුළුවන්. පසුගිය කාලයේදී අපි දැක්කා මේ යෙදවුම හරහා ගොඩක් ගොවි මහත්වරු අපනයනකරුවන් සමග සම්බන්ධ වුණා. සමහර අවස්ථාවලදී ලංකාවේ අලෙවි කර ගැනීමේ ගැටලු සමග ගොවියාට යන්න පුළුවන් විදේශ වෙළෙඳ පොළට. ඉතින් විදේශ වෙළෙඳ පොළට යන්න නම් තාක්‍ෂණය භාවිත කරන්නම වෙනවා. ගොවියන්ට පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට තමයි මේ යෙදවුම නිර්මාණය කරලා තියෙන්නෙ. භාෂා ත්‍රිත්වයෙන්ම %ගොවිපොළ^ යෙදවුම භාවිත කරන්න පුළුවන්. ඉතා අඩු පියවර ගණනක් යොදලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. මේ යෙදවුමට තමන්ගේ වෙළෙඳ භාණ්ඩ ඇතුළත් කරපු ගමන්ම ලෝකයේ ඕනෑම අයෙකුට ඔහු හා සම්බන්ධ වෙන්න පුළුවන්. 

තව මෙහි තිබෙනවා, විශේෂයෙන් මිලදී ගැනීමට කැමැති දේවල් දක්වන්න කොටසක්. එයින් පුළුවන් මේ වනවිට ගොවිපොළ යෙදවුමට ඇතුළත් නොවුණු, නමුත් අවශ්‍යයි කියලා හිතෙන දේවල් අපට පවසන්න. ඉදිරියේදී අපි මේ ගොවිපොළ යෙදවුම හරහා මිලදී ගන්නා දේ ප්‍රවාහනය කිරීමටත් අවස්ථාව ලබා දෙනවා. 

අනන්‍යතා දේශපාලනය

අනන්‍යතා දේශපාලනය යනු මිනිසුන් විසින් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය වෙනුවට කිසියම් ආගමික, ජන වාර්ගික, සමාජීය හෝ සංස්කෘතික පදනමක් මත දේශපාලනික පෙරමුණු සකස් කර ගැනීමය.

ඔවුන් එවැනි දේශපාලනික පෙරමුණු සකස් කර ගැනීමෙන් අපේක්ෂා කරනුයේ තමන්ගේ කණ්ඩායමේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටය.
බොහෝ අනන්‍යතා දේශපාලන ව්‍යාපාරවල උවමනාව වන්නේ ස්වයං නිර්ණ පද්ධතියක් (self-determination) කෙරෙහි යොමු වීමය. එසේත් නොමැති නම් තමන්ගේ කණ්ඩායමට බාහිරින් ඇති කරන පීඩනයට එරෙහිව සටන් කිරීමය. දේශපාලනික අයිතිවාසිකම් වෙනුවෙන් සිය අනන්‍යතා භාවිත කරමින් සිටීම මෑත කාලීනව සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින්නකි. ජාතිය, ආගම, සංස්කෘතිය වැනි කරුණු පමණක් නොව කුලය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය වැනි අනන්‍යතා මතද දේශපාලනික ව්‍යාපාර ඉස්මතු වේ. 

1960, 70 දශකවලදී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කාන්තා අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම් ආදිය මෙන්ම පශ්චාත් යටත් විජිත අයිතිවාසිකම් වෙනුවෙන් ඇති වූ ව්‍යාපාර ඔස්සේ අනන්‍යතා දේශපාලනය ශක්තිමත් විය. 2001 වසරේ සැප්තැම්බර් මස 11 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අනන්‍යතා දේශපාලනයේ ප්‍රබල වෙනසක් සිදු විය. ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් නව කථිකාවක් ඇති වූ අතර ඉස්ලාම් භීතිකාවක් (Islamaphobia ) බටහිර ලෝකය විසින් ගොඩනැගුවේය. 

සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඉස්ලාම් අනන්‍යතා දේශපාලනය ප්‍රබල ව්‍යාපාරයක් නොවූ අතර, අද වනවිට රාජ්‍ය මට්ටමින් ඉස්ලාම් අනන්‍යතාව සමග ගැටීම් ඇති කරගනිමින් පවතී. උදාහරණයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ඉස්ලාම් රටවල් කිහිපයක පුරවැසියන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කිරීම මෙම අනන්‍යතා දේශපාලනයේ කූටප්‍රාප්තියකි. 

අනන්‍යතා මත ජාතික නායකයන් බිහි වීමද ලෝකයේ මේ වනවිට ප්‍රවණතාවක් බවට පත් වී තිබේ. අසල්වැසි ඉන්දියාවේ හින්දුවාදී නායකයෙකු වන නරේන්ද්‍ර මෝදි ආසන 353ක් හිමිකර ගනිමින් දෙවැනි වරටත් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් රාජ්‍ය බලය ලබා ගැනීම, ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු පස්වරක් ජයග්‍රහණය කිරීම, ප්‍රංශයේ ලේ පෙන් ඉදිරියට පැමිණීම, මහා බ්‍රිතාන්‍යයේ නයිජෙල් ෆැරේජ්ගේ ජනප්‍රියත්වය  ආදිය ඊට නිදසුන් වේ. 

යුරෝපා සංගමයෙන් මහා බ්‍රිතාන්‍යය වෙන් වීමට දරන උත්සාහය අනන්‍යතා දේශපාලනයේ බරපතළ ප්‍රකාශනයකි. පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැටුම ආසන්න අනාගතයේදී නම් කිසිදා නොවිස‍ඳෙනු ඇත. යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර ලෝකය තුළ සංක්‍රමණිකයන්ට එරෙහිව ඇති වී තිබෙන භීතිකාව උග්‍ර වෙනවා මිස විසඳෙන්නේ නැත. ඒ සෑම අවස්ථාවකින්ම අවස්ථාවාදී දේශපාලනඥයෝ ඉස්මතු වෙති. ඔවුන්ගේ ජනප්‍රිය දේශපාලන සටන් පාඨ නිර්මාණය වන්නේ අනන්‍යතා දේශපාලනය මතිනි. එසේත් නැත්නම් අනෙකා විනාශ කිරීමත් තමන්ගේ වර්ගයා ප්‍රවර්ධනය ශක්තිමත් කිරීමේ පොරොන්දුව මතිනි. 

එහෙත් ලෝකයට අවශ්‍ය වන්නේ එක් එක් අනන්‍යතා මත සටන් වැදීම නොවේ. අනන්‍යතා මත සටන් වැදීමේ අවසානයක් නොමැත. අවශ්‍ය වන්නේ පොදු මනුෂ්‍යත්වය සොයා ගැනීමයි. එහෙත්, ලෝකය ගමන් කරමින් සිටින දිශානතිය අනුව පොදු මනුෂ්‍යත්වය සොයා ගැනීම පිළිබඳ කිසිදු ආකාරයේ සලකුණක් දැක ගැනීමට නොහැකිය. 

ආගම සහ දේශපාලනය

ආගම සහ දේශපාලනය අද දවසේ රටේ ප්‍රධාන මාතෘකාවයි. එය අප රටේ පමණක් නොව ලෝකයේ අනෙකුත් බොහෝ රටවල වෙසෙන මිනිසුන්ගේ දෛනික ජීවිතයට බලපෑම් කරමින් සිටින මාතෘකාවකි. 

සමාජික ප්‍රශ්න විසඳීමෙහිලා දේශපාලනය අපොහොසත් වනවිට හෝ අසාර්ථක වනවිට සාමාන්‍ය මිනිසුන්ගේ හදිසි ප්‍රතිචාරය වන්නේ දේශපාලනය හා දේශපාලකයා ප්‍රතික්‍ෂේප කිරීමයි. එය අදේශපාලනය කරා පල්ලම් බැසීමකි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීම උදෙසා සමාජ මාධ්‍යයේ මතු වූ රැල්ල එවැන්නකි. 

එහෙත් මෙවැනි රැලි තාවකාලිකය. දේශපාලන සත්ත්වයෙකු වන මිනිසා සදාකාලිකවම අදේශපාලනිකව වෙසෙන්නේ නැත. ඉදිරියට එළඹෙන ජනාධිපතිවරණ මහ මැතිවරණ ආදියෙහිදී දේශපාලකයන් පත්කර ගැනීම සඳහා දේශපාලනය එපා කියූ ජනයාම පෝළිම්වල ගොස් ඡන්දය දෙනු ඇත. අප එය දකින්නේ යහපත් තත්ත්වයක් ලෙසිණි. මන්ද අදේශපාලනිකත්වය මග කියන්නේ අරාජිකත්වයට වන බැවිනි. දේශපාලන වශයෙන් කරනා වැරදි නිවැරදි කරගත හැක්කේද දේශපාලනික වීමෙන් මිස අදේශපාලනික වීමෙන් නොවේ. 

ආගම් සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. අපට වඩා යහපත් අධ්‍යාත්මික ජීවිතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිර්මාණය වූ ආගම අපගේ අධ්‍යාත්මික ජීවිතය මෙන්ම ලෞකික ජීවිතද සෑහෙන පමණකට අවුල් කර තිබේ. එහෙත් එසේ වූවා කියා මිනිසුන් ආගම් ඇදහීම නතර කර පූර්ණ වශයෙන් නිරාගමික වන්නේද නැත. නිරාගමික වාදයන්ද ලොව විවිධ ස්වරූපයෙන් පැවතුනද, ඒවායේද ආගමික ලක්ෂණ බෙහෙවින් තිබේ. ආගම සහ දේශපාලනය යන දෙකම සාමාජික මිනිසාගේ ඉතිහාස වේදිකාවෙන් බැස යන්නේ නැත. එය සාමාජික මිනිසා පිළිබඳ යථාර්ථයකි.

නූතනවාදය, ආගම සහ දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයට උත්තර සොයන්නට බැලුවේ ආගම සහ දේශපාලනය එකිනෙක වෙන් කිරීමෙනි. රාජ්‍යයේ කටයුතුවලට ආගම ගාවා නොගැනීමත්, ආගමේ කටයුතුවලට දේශපාලනය ගාවා නොගැනීමත් නූතනවාදය ඉදිරිපත් කළ සම්භාව්‍ය නිර්දේශයයි. 

“දෙවියන්ගේ දේ දෙවියන්ටත්, සීසර්ගේ දෙය සීසර්ටත් දෙන්න” යන බයිබල් ආප්තෝපදේශය මේ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා නිතර යොදා ගැනිණි. මෙසේ ආගම දේශපාලනයෙන් වෙන් කිරීම ලෞකිකවාදය ලෙස හැඳින්වීය. නූතනවාදය පසුබිමෙහි ගොඩනැගුණු ලිබරල්වාදය, මාක්ස්වාදය,සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදය මෙම ලෞකිකවාදය ඉහළින් ඔසවා තබන්නට මහන්සිගත් බව ඉතිහාසය පිරික්සන විට පෙනේ. 

එහෙත් එය සාර්ථක වූයේ නැත. විද්‍යාවට, තාක්ෂණයට සහ නූතනවාදයේ කිසිදු අංගයකට ආගම සහමුලින්ම ඉවත් කිරීමට නොහැකි විය. එසේම සර්ව සම්පූර්ණ ලෞකිකවාදී නිරාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීමට ලෝකයේ කිසිදු සමාජයකට හැකිවීද නැත. ආගම තහනම් කර තිබූ රාජ්‍යවලද ආගම් සහමුලින්ම මිය ගියේ නැත.

ආගම් බොහොමයකට උපත ලබාදුන් ඉන්දියාවේ නූතන ඉතිහාසය හැදෑරීම මෙහිලා වැදගත්ය. ඉන්දියාවේ නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකැසීමට පුරෝගාමී වූ අම්බෙඩ්කාර් පඬිවරයා යෝජනා කළ අදහසක් වූයේ අමානුෂික කුල භේදය යුක්ති යුක්ත කරන හින්දු ආගමික ග්‍රන්ථ ඉන්දියාවේ තහනම් කළ යුතු බවයි. ඉස්ලාම් ධර්මය සහ කුරානය බැහැර කළ යුතු යැයි මුස්ලිම් ලේඛිකාවක වන තස්ලිමා නස්රීන් යෝජනා කරයි. 

අම්බෙඩ්කාර්ගේ යෝජනාව එදා ඉටු නොවූයේද, තස්ලිමාගේ යෝජනාව මෙදා ඉටු නොවන්නේද එම යෝජනා මනුෂ්‍ය ජීවිතය පිළිබඳ යථාර්ථයෙන් බොහෝ ඈත බැවිනි. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බවට පළමුවැනි ජනරජ ව්‍යවස්ථාවට ඇතුළු කිරීම, ආගම බැහැර කරන මාක්ස්වාදියෙකු වූ කොල්වින් ආර්. ද සිල්වාටම කිරීමට සිදුවීමෙන් පෙනෙන්නේ එම යථාර්ථයේ උත්ප්‍රාසවත් බවයි.

අපට කරන්නට ඇත්තේ එකම දෙයකි. එනම් මේ දෙකම යුගයට ගැළපෙන ලෙස යහපත් ලෙස ප්‍රතිසංස්කරණය කර ගැනීමයි. පළමුව අප ආගමික ප්‍රතිසංස්කරණ දෙස බලමු. ලෝකයේ ආගම් යනු එකතැන ගල් ගැසෙමින් තිබෙන ඒවා නොවේ. ඒවා ප්‍රතිසංස්කරණවලට බඳුන් වේ. සමහර ප්‍රතිසංස්කරණයන් සඳහා අප පසුකරගෙන පැමිණි මානව ඉතිහාසයේ මිනිසා ගෙවා ඇති වන්දිය අතිවිශාලය. පැරණි ආගම වෙනස් කළ ජේසුතුමන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

බොහෝ ආගම්වල ප්‍රචණ්ඩ අන්තර්ගතයන් ඇත. යුදෙව් බයිබලයේ ඇත්තේ ඇසට ඇසක්, දතට දතක් න්‍යායයි. පළිගැනීම ප්‍රචණ්ඩත්වය දෙවියන් අනුමත කරන බව එමගින් කියැවේ. එහෙත් දියුණු පරිණත සමාජයක කිසිවෙක් මේ ප්‍රචණ්ඩ අන්තර්ගතයන් එලෙසින්ම පවත්වාගත යුතු යැයි යෝජනා කරන්නේ නැත. 

සහරාන්ගේ ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමා ඇතුළු කිතුනුවන් ඇසට ඇසක්, දතට දතක් යන බයිබල් මූලධර්මය අනුගමනය කිරීමට සැරසුනා නම් අද මෙරට කුමනාකාරයේ විනාශයක් සිදුවන්නට ඉඩ තිබිණිද? හින්දු ආගමේද ප්‍රචණ්ඩ අන්තර්ගතයන් තිබේ. තම අරමුණ වෙනුවෙන් ඥාති හිතවතුන් පවා මරා දැමීම අර්ජුන හමුවේ යුක්ති යුක්ත කිරීමට ක්‍රිෂ්ණා ඉදිරිපත් විය. එහෙත් මේ ප්‍රචණ්ඩ අර්ථකථනය අනුව සමාජ ජීවිතය මෙහෙයවීමට හින්දූන් ඉදිරිපත් වුවහොත් තත්ත්වය කුමක්වේද? 

කුරානයේද ප්‍රචණ්ඩ අන්තර්තයන් ඇත. මිථ්‍යා දෘෂ්ටිකයන්, පිළිම වන්දනා කරන්නවුන් විනාශ කිරීම යුක්ති යුක්ත කිරීමේ දේව වාක්‍ය එහි ඇත. යුදෙව්වන්, කිතුනුවන් සහ පිළිම වඳින්නන් ඉස්ලාම් ආගමේ සතුරන් යැයි එහි සඳහන් වේ. එහෙත් මේ දේව වාක්‍ය ඒවා බිහි වූ ඓතිහාසික සන්දර්භයෙන් ගලවාගෙන නූතන සමාජය තුළ ක්‍රියාත්මක කිරීමට කිසියම් ඉස්ලාම් භක්තිකයෙකු කල්පනා කරන්නේ නම් ඔහු නූතන යුගයට ගැළපෙන්නෙකු නොවේ.

බෞද්ධ ත්‍රිපිටකයේ ප්‍රචණ්ඩ අන්තර්ගතයන් සොයා ගැනීම ඉතා දුෂ්කරය. එහෙත් බෞද්ධ සංස්කෘතීන් නිර්ප්‍රචණ්ඩ බව එයින් කියැවෙන්නේ නැත. ජාතිය වෙනුවෙන් යුද්ධ කර මිය යන අය සුරදූතිකාවන් තුරුලට යන බව කියා ඇත්තේ සහරාන්ලා පමණක් නොවේ. සමහර බෞද්ධ භික්ෂූන් ලියූ ගී කවිවලද මේ සංකල්පය අන්තර්ගතය. මේ අනුව අප හමුවේ ඇති විකල්පය වන්නේ ආගම නිර්ප්‍රචණ්ඩ අර්ථකථනවලට ලක්කරමින් ප්‍රතිසංස්කරණය කිරීමයි. මේ ප්‍රතිසංස්කරණයන් සංවිධානය කිරීමට වැඩකිරීමද ප්‍රතිසංස්කරණයට ලක් වූ ඉදිරිගාමී දේශපාලනයක් විසින් සිදුකළ යුත්තකි.

ඖෂධ ප්‍රමිතියෙන් තොරවීම නිසා අපරාධ දෙකක් සිදුවෙනවා

රෝගියෙකු සුවපත් කරගැනීමට සිදුකරන කාර්යයන්ගෙන් ප්‍රධානම කාර්යය වන්නේ ඖෂධ ලබාදීමය. මේ නිසා ලෝකයේ අති බහුතරයක් රටවල් රට තුළට රැගෙන එන ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව දැඩි ලෙස සොයා බලයි. අපගේ කලාපයේ දියුණුවෙමින් පවතින රටක් ලෙස සැලකෙන බංග්ලාදේශය පවා ඖෂධවල ප්‍රමිතිය සඳහා විශේෂ තැනක් ලබා දී තිබේ. නමුත් ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව මේ වනවිට රට තුළ විශාල කතාබහක් ඇතිවී තිබේ. මීට අමතරව ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන ජාවාරම් ක්‍රියා හා ඖෂධ හිඟය පිළිබඳවත් රට තුළ කතාබහක් ඇතිවී තිබෙන අතර, මේ පිළිබඳව %අද^ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය  නවින්ද සොයිසා මහතා සමග කතාබහක නිරත විය.

පිළිකා ඖෂධවල තත්ත්වය

බොහෝ පිළිකා ඖෂධ සම්බන්ධයෙන් කතා කරන විට එහි ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇතිවෙලා තියෙනවා. 2016 හා 2017 වසර ගත්තම පිළිකා රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලබාදීපු ඖෂධයක් ප්‍රමිතියෙන් තොර බවට හෙළිවෙලා තියෙනවා. පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරනවා අදාළ ඖෂධය නිෂ්පාදනය කළ රටේවත් භාවිත කරන්නේ නැහැ කියලා. යම් රෝගියෙකු රෝහලට ඇවිත් ප්‍රතිකාර ලබාගන්නේ තමන්ට තියෙන පිළිකා තත්ත්වය සුවකර ගන්න. ඒත් රෝගීන්ට ලබාදෙන ඖෂධවල ප්‍රමිතිය නැත්නම් ඒ දේ වෙනවද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කියන්න ඕන දැනට නිශ්චිතව තහවුරුවෙලා තියෙනවා ප්‍රමිතියෙන් තොර ඖෂධයෙන් 87%කට වැඩි ප්‍රමාණයක් භාවිත කළාට පස්සෙ තමයි එම ඖෂධය ප්‍රමිතියෙන් තොරයි කියලා හොයා ගන්නේ. එහෙම බැලුවහම රෝගීන් තමන්ගේ රෝග තත්ත්වය සුවකර ගන්න අරගෙන තියෙන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධයක්.

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඖෂධ

දියවැඩියා රෝගී තත්ත්වය ගත්තහම රෝගයක් ලෙස එළියට පෙන්වන්නේ නැහැ. ඒත්  පපුවෙ අමාරුව හැදෙන්න පුළුවන්. කකුල්වල තුවාල හොඳ වෙන්නෙ නැතිවෙන්න පුළුවන්. වකුගඩු නරක් වෙන්න පුළුවන්. මේ නිසා මේ තත්ත්වයන් පාලනය කිරීමට රෝගීන්ට ඖෂධ ලබාදෙනවා. ඒත් පසුගිය කාලයේ දියවැඩියා රෝගීන්ට ලබාදුන්  ඖෂධය පවා ප්‍රමිතියෙන් තොරයි කියලා හොයාගෙන තිබෙනවා. ඒ කියන්නේ සීනි මට්ටම පාලනය කිරීමට දීපු ඖෂධයෙන් සීනි මට්ටම පාලනය වෙලා නැහැ. ඒකෙන් වෙන්නෙ රෝගියා මරණය කරා රැගෙන යාමක්. මේක අපරාධයක්. දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග අද වනවිට ලංකාවට විශාල ගැටලුවක්. එහෙම තියෙද්දි ලබාදෙන ඖෂධය තුළින් රෝගය පාලනය කර ගැනීමට නොහැකි නම් ඒක අවාසනාවක්.

ෆෝලික් ඇසිඩ් 

මේ ඖෂධය ගැබිනි මාතාවන්ට ලබාදෙන ඖෂධයක්. පසුගිය කාලයේ ලබාදීපු ෆෝලික් ඇසිඩ් එකත් ප්‍රමිතියෙන් තොර බවට මේ වනවිට හෙළිවෙලා තියෙනවා. මේක සිදුවෙලා තියෙන්නේ අදාළ ඖෂධ කල් ඉකුත් වෙලා තියෙද්දිත් රෝගීන්ට ලබාදීම. ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ ඖෂධය ඇතුළු ඖෂධ කිහිපයක් කල් ඉකුත්වී තිබෙන බවට හොයාගන්නකොට අදාළ ඖෂධ තොගයෙන් 80%කට වැඩි ප්‍රමාණයක් භාවිත කරලා ඉවරයි. අදාළ ඖෂධ 80%කට වැඩි ප්‍රමාණයක් භාවිත කරනකම් හොයාගන්න වැඩපිළිවෙළක් සකස්වෙලා තිබුණේ නැහැ. මොකද මේ ඖෂධය ලබාදෙන්නේ ඉපදෙන්න ඉන්න දරුවන්ට ඇතිවිය හැකි ස්නායු රෝග වැළැක්වීමට. මේ අනුව බලනකොට ඉපදෙන්න ඉන්න දරුවන් පවා අනතුරකට ලක්කරලා තියෙනවා. මේ වැඩවලින් වෙන්නේ රජයේ රෝහල් පිළිබඳව ජනතාවගේ තියෙන විශ්වාසය බිඳවැටීම.

පොදුවේ ඖෂධවල තත්ත්වය

රට තුළට රැගෙන එන ඖෂධවල ප්‍රමිතිය සොයා බලන නිසි ක්‍රම‘වේදයක් නැහැ. ඒ වගේම රට තුළට ගෙන එන ඖෂධවල ප්‍රමිතිය සොයා බලන්න අතිනවීන තත්ත්වයේ පරීක්ෂණාගාරයක් නැහැ. ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවනකොට කිව්වා චීනයෙන් අතිනවීන පරීක්ෂණාගාරයක් ලංකාවට ලැබෙනවා කියලා. සෞඛ්‍ය ඇමතිවරයා මේ කතාව කිව්වේ 2015 වසරේ. රජය සතුව ඖෂධවල තත්ත්වය පරීක්ෂා කරන්න පොඩි පරීක්ෂණාගාරයක් තියෙනවා. ඒ තුළින් විශාල දෙයක් කරන්න බැහැ.

ඖෂධවල තත්ත්වය තහවුරු කරගැනීම

ඖෂධ ලබාදෙන සමාගම් විසින් ඖෂධවල තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාදෙනවා. බොහෝ වෙලාවට අදාළ වාර්තාව ලබාදෙන්නේ ඖෂධ නිෂ්පාදනය කරන රටෙන්. ඒ පිළිබඳව සෑහීමකට පත්වෙලා අදාළ ඖෂධ තොගය රට තුළට ගන්නවා. කිසිදු සොයා බැලීමක් නැහැ. මෙහෙම ලබාදෙන ඖෂධ පිළිබඳව රෝගීන්ගේ පැත්තෙන් හරි, වෛද්‍යවරුන්ගේ පැත්තෙන් හරි පැමිණිල්ලක් ආවම ඒ පිළිබඳව සොයා බලනවා. පරීක්ෂණ කරනවා. අදාළ පරීක්ෂණ වාර්තාව ඇවිල්ලා ඖෂධ භාවිතයෙන් ඉවත් කරන්න කියනකොට අදාළ ඖෂධය 80෴කට වැඩි ප්‍රමාණයක් භාවිත කරලා ඉවරයි. මේ නිසා රටේ සෞඛ්‍යය පිළිබඳව සෞඛ්‍ය ඇමති සොයා බලනවා නම් මුලින්ම කරන්න ඕන රටට රැගෙන එන ඖෂධ පරීක්ෂා කරන්න පරීක්ෂණාගාරයක් ඇතිකරන එක. ඊට පස්සේ ලංකාවට රැගෙන එන ඖෂධ ලංකාව තුළට ගන්නට පෙර අදාළ පරීක්ෂණාගාරය තුළින් පරීක්ෂා කරන්න ඕන. ප්‍රමිතිය හොඳ නම් රට ඇතුළට ගන්න ඕන.

ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා රෝගීන්ට සිදුවන අසාධාරණය

ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීම තුළින් අපරාධ දෙකක් සිදුවෙනවා. එකක් තමයි රෝගයකට බෙහෙත් ගත්ත මිනිස්සු බෙහෙත් ගත්ත නිසා රෝගය හොඳවෙලා කියලා හිතන එක. ඒත් ඇත්තටම රෝගය හොඳවෙලා නැහැ. අනිත් එක තමයි ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා රෝගය හොඳ වෙන්නේ නැහැ කියලා දැනගත්ත මිනිස්සු රජයේ රෝහල් පිළිබඳව තියෙන විශ්වාසය බිඳ ගැනීම. ඒ හරහා වෙන්නේ පෞද්ගලික අංශය පෝෂණය වීම. ඒ වගේම මේ තුළින් ජීවිත අවදානමකටත් ලක්වෙනවා. මොකද රෝගියාට ඖෂධ ලබාදීලා තමයි හොයාගන්නේ ඖෂධය

ප්‍රමිතියෙන් තොරයි කියලා. කිරිපිටිවල ප්‍රමිතියේ ගැටලු

පසුගිය කාලය පුරාම මේ පිළිබඳ කතාබහකට ලක්වුණා. කිරිපිටිවල ප්‍රමිතිය හොයන්නෙත් අමුතු ආකාරයකට. මොකද කිරිපිටි ගෙන්වන රටේ තියෙන පරීක්ෂණාගාරයකින් ප්‍රමිති සහතිකයක් අරගෙන අදාළ සමාගම් අපේ රටට ලබාදෙනවා. ඒ සහතිකය පිළිගෙන මෙරටට කිරිපිටි ගේනවා. කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳ කතා කළ අප සංගමයට අද වනවිට චෝදනා එල්ල කරනවා.

රටට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය

ඒ පිළිබඳ වාර්තාවක් නැහැ. අපේ අදහස තමයි වසරින් වසර හෝ වසර තුනකට වරක් රටට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය පිළිබඳ ලැයිස්තුවක් සකස් කිරීම. ඒ ලැයිස්තුවට අනුව ඖෂධ ගෙන්වීම. එහෙම වැඩපිළිවෙළක් නොමැති නිසා හිටිගමන් අත්‍යවශ්‍යම ඖෂධ නැහැ කියලා හිඟයක් මවා පාලා ඖෂධ විශාල වශයෙන් ක්ෂණිකව මිලදී ගන්නවා. උදාහරණ ලෙස කියනවා නම් 2016 වසරේදී පමණක් ක්ෂණික මිලදීගැනීම යටතේ රුපියල් මිලියන 4065ක ඖෂධ මිලදීගෙන තියෙනවා. බොහෝ ක්ෂණික මිලදීගැනීම්වලදී විශාල මූල්‍ය වංචා වෙනවා. ඒ වගේම ඖෂධයේ සැබෑ මිල වගේ කිහිප ගුණයක මිලක් ගෙවන්නත් වෙනවා. පසුගිය කාලය ගත්තම අවස්ථා 243කදී රුපියල් මිලියන 168ක ඖ‍ෂධ ලබාගෙන තියෙනවා. 2015 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ ඖෂධ කල්ඉකුත් වීම නිසා රුපියල් මිලියන 1122ක ඖෂධ ඉවත දමලා තියෙනවා.

ඖෂධ හිඟය

නිවැරදි ලෙස සොයා බැලීමකින් තොරව ඖෂධ මිලදී ගැනීම නිසා සමහර ඖෂධවල හිඟයක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ මිලදී නොගැනීම නිසා කෘත්‍රිම ලෙස නිර්මාණය වන ඖෂධ හිඟයක් ඇති වෙනවා. ඒ වගේම යම් ඖෂධයක් මිලදීගන්න ඕන වුණාම ඒ ඖෂධ හිඟයි කියලා කලබලයක් ඇති කරනවා. මෙවැනි දේවල් කරලා ප්‍රා‘දේශීය මිලදී ගැනීම් යටතේ ක්ෂණිකව ඖෂධ මිලදී ගැනීම් කරනවා. මේ ආකාරයේ වංචා ක්‍රියා නිසා රටේ ජනතාවගේ මුදල් විශාල ලෙස අවභාවිත වෙනවා. මොකද මෙරටට අවශ්‍ය ඖෂධ උපකරණ මිලදී ගන්නේ සෞඛ්‍ය ඇමතිගේ හරි වෙනත් කෙනෙකුගේ හරි පෞද්ගලික මුදලින් නොවන නිසා. ජනතාව තේරුම්ගන්න ඕන මේ හැමදෙයක්ම කරන්නේ තමන්ගේ බදු මුදල්වලින් කියලා. බලධාරීන් දැනගන්න ඕන ඖෂධ හා උපකරණ මිලදීගන්නේ ජනතාවගේ බදු මුදල්වලින් කියලා.

රට තුළ තිබෙන ඖෂධ ප්‍රමාණය

ඒ පිළිබඳ කවුරුත් දන්නේ නැහැ. ඖෂධ දහස් ගණනක් තියෙන්න පුළුවන්. ඖෂධ ගත්තම එකම ඖෂධ වර්ගයේ රුපියල් 02 ඉඳලා රුපියල් දෙදහසකට (2000) යනකම් මිල ගණන් යටතේ තියෙන්න පුළුවන්. ඒත් වෙන්න ඕන ඖෂධයේ ප්‍රමිතිය බලලා, ජනතාවට මිලදී ගන්න පුළුවන් සාධාරණ ගණනකට මිලදීගත හැකි ක්‍රමයක් ඇති කිරීම. ඒ වගේම රජයට ඖෂධ මිලදී ගැනීමේදීත් භාවිත කළ යුත්තේ ප්‍රමිතිය අංක එක, දෙවැනියට සාධාරණ මිල. ඒත් දැන් ඖෂධවල ප්‍රමිතිය හොයන්නේ නැති නිසා රුපියල් දසදහසේ ඖෂධයක් වුණත් ප්‍රමිතියෙන් තොර වෙන්න පුළුවන්. 

ක්‍ෂණිකවම ඖෂධ මිල ඉහළ යෑම

දැන් කියන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාවැටීම නිසා ඖෂධ මිල ඉහළ ගියා කියලා. ඒ කතාව කියන්නේ සෞඛ්‍ය ඇමති. අනික් පැත්තෙන් බැලුවම ඩොලරය පාලනය කරන්න ඕන ආණ්ඩුව. ඒ කියන්නේ සෞඛ්‍ය ඇමති ඇතුළු කණ්ඩායම ඩොලරය පාලනය කරන්න කටයුතු නොකර රුපියල කඩාවැටීම නිසා ඖෂධ මිල ඉහළ ගියා කියලා ‘සෞඛ්‍ය ඇමතිට කියන්න බැහැ. මොකද පසුගිය ආණ්ඩුවේ වරදින් මේවා වෙනවා කියලා කියන්නත් බැහැ. මොකද ඒ ආණ්ඩුවෙත් සෞඛ්‍ය ඇමති හිටියා. ඒක නිසා මේ දේවල්වලින් ඔහුට ගැලවී යන්න බැහැ. 

ඖෂධ නියාමන අධිකාරිය   

පසුගිය කාලයේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පත් කිරීම වැරදියි කියලා අධිකරණය නියෝගයක් දුන්නා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ  පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත ආයතනයක්. මේ ආයතනය තුළින් ඖෂධ  ලියාපදිංචිය හා නියාමනය ඇතුළු ප්‍රධාන කාර්යයන් ගණනාවක් සිදු කරනවා.
මේ නිසා මෙම අධිකාරියට නිලධාරීන් පත් කිරීම පවතින නීති රෙගුලාසිවලට අනුව සිදු කරන්න ඕන. ඒ දේවල් කරන්නැතිව පසුගිය කාලයේ සභාපති තනතුරට හා ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්කිරීම් කළා. මේ වැඩේට එරෙහිව අධිකරණයට ගියා. එහිදී අධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා. ඒ කියන්නේ ඇමතිවරයා විසින් තමන්ට නැති බලයක් ආරෝපණය කරගනිමින් කටයුතු කරලා තියෙනවා කියලා.

රෝහල්වලට හා සෞඛ්‍ය ආයතනවලට පත් කිරීම

මේ දේවල් සිදුවෙන්න ඕන රටේ පවතින නීතියට අනුව. ඒත් පසුගිය කාලයේ සමහර අවස්ථාවල කිරිපිටි සමාගම්වලට, ඖෂධ සමාගම්වලට සම්බන්ධ පිරිස් රෝහල් හා ආයතන තනතුරුවලට පත් කළා. එහෙම නැත්නම් වංචා, දූෂණ චෝදනා එල්ල වූ පිරිස් පත් කළා. එහෙම කරන්න බැරි අවස්ථාවල පුරප්පාඩු පවතින තනතුරුවලට පත්කිරීම් සිදුකළේ නැහැ. වෛද්‍ය  සභාව ගත්තාම නිලවරණයෙන් පත්විය යුතු තනතුරු හතරක් පවතින්නේ පුරප්පාඩු සහිතව. ඒකට හේතු වෙලා තියෙන්නේ තමන්ට හිතවත් පිරිස් එම තනතුරුවලට පත් නොවන බව සෞඛ්‍ය ඇමති දන්න නිසා. ඒ නිසා පසුගිය වසරේ පැවැත්විය යුතු නිලවරණය තාම පවත්වන්නේ නැහැ.

රෝගී ජනතාවගේ ඖෂධ භාවිතය

ඒ ගැනත් ප්‍රශ්න තියෙනවා. මොකද රෝහලකට පැමිණි රෝගියාට වෛද්‍යවරයා විසින් යම් ඖෂධ ප්‍රමාණයක් ලබාදෙනවා. ඒ වගේම ඒ ඖෂධ භාවිත කළ යුතු ආකාරය කියා දෙනවා. ලියලා දෙනවා. ඒත් සමහර රෝගීන් බෙහෙත් වරු දෙක තුනක් බීලා රෝගය හොඳ වුණා කියලා ආයිත් බොන්නේ නැහැ. ඒ වගේම කෑමට පෙර බොන්න ඕන ඖෂධ කෑමට පස්සේ බොනවා. කෑමට පස්සෙ බොන්න ඕන බෙහෙත කෑමට ඉස්සෙල්ලා බොනවා. පෙත්තක් බොන්න ඕන එකට පෙත්තෙන් භාගයක් බොනවා. මේ පිළිබඳව හා රෝගයක් ඇතිවීම වළක්වාගැනීමට ජනතාව කළ යුත්තේ කුමක්ද යන්න ජනතාව දැනුවත් කරන්න ඕන රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒත් ඒ දේවල් කරන්නේ නැතිව පෞද්ගලික රෝහල් නඩත්තු කරන්න යනවා. ප්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාල ඇති කරන්න සහයෝගය ලබාදෙනවා. ඖෂධ උපකරණ මිලදී ගැනීමේදී ජාවාරම් කරනවා.    

රටක බුද්ධි අංශය කියන්නේ රහස් සංවිධානයක් එය මාධ්‍යයට හෝ මහජනතාවට නිරාවරණය කිරීම රටට අහිතකරයි

වර්තමානයේ මෙරට මහජනතාවගේ වැඩි අවධානයක් යොමුව තිබෙන කමිටුවක් ලෙස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හඳුන්වා දිය හැකිය. මේ සම්බන්ධයෙන් ලෝක දේශපාලනය පිළිබඳව හා මෙරට දේශපාලනය පිළිබඳ හසළ දැනුමක් ඇති ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු හා මාධ්‍යවේදියෙකු වන මොහාන් සමරනායක මහතා දැක්වූ අදහස්ය.

හිස්බුල්ලාගේ ප්‍රකාශය සාහසික මුග්ධ කතාවක්

මේ මොහොතේ අපේ රට ඉතාම තීරණාත්මක මොහොතකයි තිබෙන්නේ. මේ මොහොතේ රටේ පාලකයොත් ජනතාවත්, විවිධ දේශපාලන පක්ෂත් , තමන්ගේ පටු බල දේශපාලන අරමුණු අත් හැරලා නිවැරදි ක්‍රියාමාර්ගය නොගතහොත් අපේ රට නැවත ගොඩනගාගත නොහැකි අන්දමේ අරාජික භාවයකට, අස්ථාවර භාවයකට, ආර්ථික අවුලකට හා ප්‍රචණ්ඩත්වයකට තල්ලුවී යා හැකි බව දේශීය හා විදේශීය මෙවැනි ආර්ථික හා සමාජ වර්ධනයන් පිළිබඳ අධ්‍යයනයන් කරන කෙනෙක් ලෙස මම දකිනවා. වගකිවයුතු පිරිස් හැසිරෙන ආකාරය බැලුවොත් එක් අයෙකුවත් වගකීමෙන් හැසිරෙන බවක් පෙන්නුම් කෙරෙන්නේ නැහැ. සරල කාරණාවක් අරන් ඒ ගැන කිව්වොත් ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම මෙම ප්‍රශ්නය අවුල් කිරීමට හා උත්සන්න කිරීමට තුඩු දෙන ස්වභාවයක් තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ චෝදනා නැගෙන පිරිසගේ හැසිරීම ඊටත් වඩා නරකයි. අපි බැලුවොත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වන හිස්බුල්ලා පසුගියදා පවසා තිබුණා අපි ලංකාවේ සුළුතරය වුණාට ලෝකයේ බහුතරය, අපිව ලෙහෙසියෙන් වට්ටන්න බැහැ කියලා. මෙය අතිශය ආඩම්බර, අනුවණ, ප්‍රකෝපකාරී සාහසික ප්‍රකාශයක්. මෙතෙන තිබෙන ප්‍රශ්නය තමයි ඔවුන් තේරුම් ගන්නේ නැහැ ඔවුන් පත්වෙන්නේ තනිකර මුස්ලිම් ඡන්දවලින් නොවන බව. ඒ වගේම මුස්ලිම් ජනතාවට එරෙහිව නොවෙයි මේ විරෝධය ඇතිවී තිබෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇතැම් පිරිස් ආවේගශීලීව හැඟීම් බරව හා සීමාන්තිකව වැඩකරනවා වගේම කතා කරනවා. නමුත් ඒ තත්ත්වයට යම් ජන කොටසක නායකයන් හා

දේශපාලන නායකයන් වැටෙනවා නම් අනිත් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද?

ලෝකයේ මුස්ලිම් ජනගහනය බිලියන 1.8ක් පමණ සිටිනවා. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් 24%ක්. නමුත් මෑත කාලයේදී මුස්ලිම් රටවල්වලට කෙතරම් ව්‍යසනයන් සිදු වුණාද? ඇෆ්ගනිස්තානය සුන්බුන් ගොඩක්. ඉරානය , ලිබියාව සුන්බුන් ගොඩක්. සිරියාව එසේ වෙමින් පවතිනවා. පලස්තීනයේ ප්‍රශ්නය මුළුමනින්ම පාහේ යටපත් කරන් තිබෙනවා. මේවායේදී මොනවද ඔය බහුතරය කළේ? අපි මේ රටේ සමගියෙන් සාමයෙන් ජීවත් වෙන්න අවශ්‍යයි. 

ආණ්ඩුව තේරීම් කාරක සභාව පත්කළේ ඇත්ත සොයන්න නොවේ

ආණ්ඩුව මේ ප්‍රශ්නයේ සුලමුල සෙවීමට යැයි කියා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියා කලාපය මේ ප්‍රශ්නය විසඳන්න කෙතරම් හේතු වෙනවාද? නැතිනම් ප්‍රශ්නය අවුල් කිරීමට හේතු වෙනවාද? එහි නරක අතුරු ප්‍රතිවිපාක තිබෙනවාද? යන ඒවා අපි මේ මොහොතේ මුහුණදෙන ප්‍රශ්නයන්. 

මෙම තේරීම් කාරක සභාව පත්කළේ ආණ්ඩුවයි. මෙම ප්‍රහාරයේ සුලමුල සොයාගෙන නිවැරදි තැනකට රට යොමු කිරීමත්, සංහිඳයාව ඇතිකිරීමත්, අන්තවාදයට වැට බැඳීමත්, ප්‍රචණ්ඩත්වයට තිත තැබීමත් මෙම කමිටුවෙන් සොයා ගන්නා කරුණුවලින් සිදු කරන බවයි ආණ්ඩුව පවසන්නේ. මේ රජයේ අරමුණ එය නම්, ප්‍රථමයෙන්ම මේ විනාශය සිදුවෙන්න කලින් නවතා ගන්න තිබුණා. විනාශය වළක්වා නොගෙන දැන් මෙවැනි සන්දර්ශනයක් සිදුකරමින් තවත් අවුල් කිරීමෙන් ඉහත ප්‍රකාශිත අරමුණු ඉටුවෙනවා යැයි හිතන්න බැහැ. 

ඊයේ පෙරේදා ඉල්ලා අස්වූවා යැයි පැවසෙන බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා මෙම විනාශය පිළිබඳ තොරතුරු දන්වා යැවූ ලිපියේ දාතම සටහන් වන්නේ මෙම වසරේ අප්‍රේල් 11 දිනයයි. මීළඟට ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කළා ඉන්දීය බුද්ධි අංශ මේ පිළිබඳව මෙරටට දැනුම් දුන්නේ අප්‍රේල් 4 වැනිදා බවට. එසේ නම් මෙම ප්‍රහාරය වළක්වා ගන්නට සති දෙකහමාරක කාලයක් ආණ්ඩුවට තිබුණා. නමුත් මේ දැනුම් දීම දුන්නේ ජනාධිපතිටද? අගමැතිටද? ආරක්ෂක ප්‍රධානින්ටද? මේ අය අතර සම්බන්ධීකරණයක් නැති බව පෙනී යනවා. මීළඟට ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අගමැතිවරයාව කැඳවූයේ නැති බව කියනවා. එසේ නම් ඒ ඇයි කියා සොයා බලලා අවශ්‍ය පියවර ගැනීම අගමැතිවරයාගේ වගකීමක් වගේම යුතුකමක්. එය පැහැර හරින්න බැහැ. එසේ නොමැතිව අසවලා මට කිව්වේ නැහැ කියලා පොඩි ළමයි වගේ කියන්න බැහැ. ඇත්තටම වුණේ ආණ්ඩුවට මේ පිළිබඳව උවමනාව තිබුණේ නැහැ. 

අපි අතීතයට ගියොත් 1962 වර්ෂයේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව තිබියදී ආණ්ඩුවට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ඉතාම හොඳින් සැලසුම් කෙරෙනවා. නමුත් එම සැලසුම ක්‍රියාත්මක කරන්න ඉතාම කෙටි වේලාවක් තිබියදී මැතිණියට මේ ගැන හිතෛශී අයෙකුගෙන් දැන ගැනීමට ලැබෙනවා. මැතිනිය ඇය යන්න හිටපු ගමනක් නවත්වලා ඉතාම කෙටි වේලාවක් තුළ අවශ්‍ය පියවර ගන්නවා. සියලුම කුමන්ත්‍රණකරුවන්ව අත්අඩංගුවට ගන්න ඇය නියෝග කරනවා. ඒ කාලයේ අද වගේ ජංගම දුරකථන, පරිගණක, ටැබ් තිබුණේ නැහැ. සාමාන්‍ය කෙනෙකුටවත් දුරකථන ඇමැතුමක් දීලා සම්බන්ධ කරගන්න බැරි කාලෙකයි එතුමිය එම කඩිනම් ක්‍රියා මාර්ග ගත්තේ. රාජ්‍ය නායකයන් අන්න එහෙමයි යම් තොරතුරක් ලැබුණම ක්‍රියා කළ යුත්තේ. එසේ නම් ආණ්ඩුව තේරීම් කාරක සභාව පත්කළේ ඇත්ත සොයන්න නොවේ වෙනත් අරමුණු කිහිපයක් සඳහායි යන්න පැහැදිලි වෙනවා. මගේ දේශපාලන කියැවීම අනුව එම අරමුණු මෙසේ දැක්විය හැකියි.

 තමන්ගේ ඇඟ බේරා ගැනීම

ආණ්ඩුව හා දේශපාලන නායකයන් පිළිබඳව ජනතාව අතරින් බරපතළ විරෝධයක්, කෝපයක් හා පිළිකුලක් ඇතිවී තිබෙනවා. දැන් සාර්ථක වුණත් නැතත් ඇඟ බේරා ගන්න අවශ්‍යයි. මේ අගමැතිවරයා නායකත්වය දෙන කොට්ඨාසය නිදොස් වෙන්නයි උත්සහයක යෙදෙන්නේ.

සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා පිට පැටවීම

නිසැකව මෙම ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා සතුයි. ඒ වගේම අගමැතිවරයාත් මෙයට වගකිව යුතුයි. නමුත් මේ තේරීම් කාරක සභාව හරහා සිදුකරන්න උත්සහ කරන්නේ ජනාධිපතිවරයා පිටට මෙහි සම්පූර්ණ වගකීම පැටවීම බවයි පෙනී යන්නේ.

කෝන්තර පිරිමසා ගැනීම

මහබැංකු බැඳුම්කර වංචාව දිගහැරෙන විට මුල් අවස්ථාවේදී නිහඬව සිටි ජනාධිපතිවරයා දේශපාලන වාසි බලාගෙන මේ වංචාව පිළිබඳ සොයන්න ජනාධිපති කොමිසමක් පත්කළා. ඒ කොමිසම මගින් අගමැතිවරයා නායකත්වය දෙන කණ්ඩායම අපහසුතාවයට පත්කළා. ඒ කොමිසමෙන් සිදුවුණ දෙයක් අද දක්වා අපිට පෙනෙන්නට නැහැ. තමන්ට රිද වූ ජනාධිපතිවරයාට රිදවීම හා ජනතාව හමුවේ ජනාධිපතිවරයාව හෑල්ලුවට ලක්කිරීම මෙහි අරමුණක්. 

දැනටමත් හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පතිවරයා පැහැදිලිව කියනවා ජනාධිපති තමයි මෙයට සෘජුව වගකිවයුතු කියන එක. ඒ පමණක් නොව තමන්ගේ ඇඟ බේරා ගන්නට පොලිස්පතිට තනාපතිකමක් දෙන්න ජනාධිපතිවරයා උත්සහ කළ බව කියනවා. නමුත් මෙහි බරපතළකම තමයි තමන්ගේ කෝන්තර පිරිමසාගන්න ගියාම රටේ දේශපාලන අස්ථාවර භාවය තව

දුරටත් අවුලෙන් අවුලට ගමන් කිරීම. 

ජනාධිපතිවරයා කියනවා මේ කමිටුව හමුවේ සාක්ෂි දෙන්න ආරක්ෂක නිලධාරීන්ට යන්න නොදෙන බව. කථානායකවරයා තේරිම් කාරක සභාවට ඕනෑම අයෙක්ව කැඳවිය හැකි බවට ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයාට අභියෝග කරනවා. එසේ නොපැමිණෙන අයෙකුට අත්වන ඉරණම හා ප්‍රතිවිපාක දැනගත යුතුයි යන්නත් ඔහු පවසනවා. මෙය වක්‍රව ජනාධිපතිවරයාට ගහපු කනේ පාරක්. කථානායකවරයා මෙම සිද්ධිය සාධාරණීයකරණය කරන්න ඇමෙරිකාවෙත් මෙලෙස සිදුකළ බව කියනවා. ඇමෙරිකාවේ සිදුවන හැම දේම නිදර්ශනයට ගෙන, වැරැද්දක් නිවැරදි කර සුජාත භාවයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඇමෙරිකාවේ කවදාවත් තමන්ගේ ආරක්ෂක හමුදා ලෝකයට පාවා දීමක් සිදු කර නැහැ. ඇමෙරිකාවේ සෙනෙට් සභාවේ මෙවැනි විවෘත සාක්ෂි විමසීම් තිබෙනවා. ඒ පොදු මහජන ආරක්ෂාව පිළිබඳ කරුණු මිසක් රටේ ආරක්ෂක හමුදාව හෝ බුද්ධි අංශ අනාවරණය කර පාවාදීම නොවෙයි සිදුවෙන්නේ. 

ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් තමන්ගේ ආරක්ෂක හමුදා හා බුද්ධි අංශ උපරිමයෙන් ආරක්ෂා කරනවා. එක් අවස්ථාවක මානව හිමිකම් කඩවීම් චෝදනාවක් හමුවේ  එංගලන්ත අගමැතිනී තෙරේසා මේ පැවසුවා &මම නීති වෙනස් කරලා හරි මගේ හමුදා ආරක්ෂා කරනවා* කියලා. එහෙමයි ඒ රටවල් කටයුතු කරන්නේ. එහෙම කරද්දී තමයි අපේ රට ව්‍යාජ නිදසුන් ගෙනහැර පාන්නේ. 

රටක බුද්ධි අංශය කියන්නේ රහස් සංවිධානයක්

ඒ වගේම කියන්න ඕන යහපාලන ආණ්ඩුව පත්වූ දා සිටම ආරක්ෂක හමුදා දුබල කිරීම පැහැදිලිවම සිතාමතාම සැලසුම් සහගතව සිදු කළා. බුද්ධි අංශය දුර්වල කළා. සිතා මතා සැලසුම් සහගතව මේ දේවල් කළා. බුද්ධි අංශ නිලධාරීන්ව චෝදනා නැතිව අත්අඩංගුවේ රඳවාගෙන ඔවුන්ව අධෛර්යමත් කළා. මෙය මේ ආණ්ඩුවේ ආර්ථික දේශපාලන දර්ශනයේ කොටසක්. 2001 දෙසැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් බලයට පැමිණි වත්මන් අගමැතිවරයාගේ ආණ්ඩුව 2002 පෙබරවාරි 21 වෙනිදා එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබුවා. ඉන් පසු අපේ බුද්ධි අංශ බරපතළ ලෙස සතුරාට නිරාවරණය කළා. එල්. ටී. ටී. ඊ. තුවක්කුකරුවන් විසින් බුද්ධි අංශ නිලධාරීන් 15ක් පමණ ඝාතනය කළා. දෙහිවල පොලීසියේ බුද්ධි අංශ නිලධාරියෙකු රාජකාරී නිමවී විවේක සුවයෙන් නිදා සිටියදී එල්. ටී. ටී. ඊ. පිස්තෝලකරුවෙකු ඇතුළට ඇවිත් වෙඩි තබා ඔහුව ඝාතනය කළා. මිලේනියම් සිටි සිදුවීමත් එහි එක් කොටසක්. 
මෙයින් සිදුකරමින් සිටින්නේත් එක ගලෙන් කුරුල්ලෝ කිහිපදෙනෙක් මරා ගැනීමේ ප්‍රයත්නයක්. මොකද ඇත්ත සොයන්න නම් මෙවැනි මාධ්‍ය සන්දර්ශනයක් නැතුව බුද්ධි අංශ ප්‍රධානින් ආරක්ෂක අංශ ප්‍රධානින් ප්‍රසිද්ධියේ නිරාවරණය නොකර මේ දේවල් කරන්න පුළුවන්. ඇමෙරිකාව සමග ගිවිසුම් අත්සන් කරද්දී, ඉන්දියාව, සිංගප්පූරුව සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කරද්දී

මෙවැනි විවෘත භාවයක් නොතිබුණේ ඇයි? 

යහපාලනයේ එක් අංගයක් තමයි විනිවිද පෙනෙන බව. ඒක හොඳයි. නමුත් එය හැම තැනටම එක ලෙස තිබිය යුතුයි. රටක බුද්ධි අංශය කියන්නේ රහස් සංවිධානයක්. එය මාධ්‍යයට හෝ මහජනතාවට නිරාවරණය කිරීම රටට අහිතකරයි. එයට ඉන්ටලිජන්ස් කියන ඉංග්‍රීසි වචනය භාවිත කරන්නේ ඒ නිසයි. මේ ව්‍යාපෘතිය මගින් අද අප මුහුණපා තිබෙන භේදකාරී, ජනකොටස් අතර වෛරය පතුරවන ,අන්තවාදයට අවශ්‍ය පරිසරය හා පසුබිම සකසන තත්ත්වයට පෝෂණය කිරීමට ඉවහල් වීමයි සිදුවන්නේ. එයට හොඳම නිදසුන තමයි රතන හාමුදුරුවන් කළ උපවාසය. එයට මහජනතාවගේ අවධානය යොමු වුණා. මාධ්‍ය විශාල ප්‍රචාරයක් දුන්නා. නමුත් උපවාසයේ අවසන් ප්‍රතිඵලය වුණේ පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව නිදොස්කොට නිදහස් වීමයි. රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ආවා නම් බොහෝ කරුණු අනාවරණය වෙනවා. ඇතැම් විට ආණ්ඩුවේ සිටින කතෝලික මැති ඇමැතිවරුන්ට සිදුවෙනවා ඔහුට විරුද්ධව ඡන්දය දෙන්නට. එවිට ආණ්ඩුව අමාරුවේ වැටෙනවා. ඒ වගේම මේ නාට්‍ය‘යේ තිර පිටපතේ තවත් අංශයක් තමයි මුස්ලිම් මැති ඇමැතිවරුන් තනතුරුවලින් ඉල්ලා අස්වීම. එය ඉතාම තර්ජනාත්මක ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. 

ජනසමාජයෙන් කෝපය ආවේ බහුතර මුස්ලිම් ජනසමාජයට නොවෙයි. නමුත් බහුතර ජනසමාජයේ බියක් ඇති වුණා. මෙය බරපතළ ව්‍යසනයක් වෙන්න තිබුණා. බොරු කීමෙන් මේක වහන්න බැහැ. එවැනි භයානක තත්ත්වයක් තමයි මෙහි පිටුපස තිබෙන්නේ. සන්දර්ශන පවත්වමින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරමින් තමන්ගේ ව්‍යාපෘති ඉස්සරහට ගෙන යමින් කරන මේ දේවල් නිසා තවදුරටත් රට අවුල් වීම මිසක් යහපතක් වේ යැයි අපිට දකින්න බැහැ. දැනටමත් ඒ පිළිබඳ විශාල විරෝධයක් ඇති වී තිබීමෙන්ම එය පැහැදිලි වෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය තනි සිදුවීමක් නොවෙයි

මීළඟ කාරණය තමයි මේ තේරීම් කාරක සභාව විශ්වාස කරන්න පුළුවන්ද? යන්න. එහි සිටින සියලු දෙනාම යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ අයයි. ඔවුන්ට මේ ආණ්ඩුව රැක ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. එවැනි පිරිසක් අපිට විශ්වාස කරන්න පුළුවන්ද? යුක්ති සහගත විමර්ශනයක් හා අවශ්‍ය පුද්ගලයන් ගෙනවිත් ප්‍රශ්න කරයිද? ජනතාව අපේක්ෂා කරන ප්‍රතිඵලයක් මින් ලැබෙයිද? කියන ගැටලුවක් දැනටමත් ඇතිවී තිබෙනවා. 

මේ තේරීම් කාරක සභාව සමාන කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාර අගවිනිසුරුවරිය ඉවත් කිරීම වෙනුවෙන් පත්කළ තේරීම් කාරක සභාවට. මොකද එහි සිටියේත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුයි. ඔවුන්ට සිද්ධ වුණා සිය නායකයන්ගේ අරමුණු ඉෂ්ට කරන්නට. එවැනි තේරීම් කාරක සභාවක් තමයි දැනුත් දිග හැරෙමින් තිබෙන්නේ. 

මේ ශාපයට මුල තමයි 2015 ජනවාරි 08 ආණ්ඩුව පත්වුණේ විදේශ බලවේගවල උදව්වෙන් වීම. එය තමයි මේ ප්‍රශ්නයට මුල් වූ එක කාරණයක් වන්නේ. අද ලෝකය පාලනය කරන බලවතුන් අතර දැවැන්ත තරගයක් මෝදු වෙමින් පවතිනවා. සමහරවිට ඉදිරි කාලයේදී යුද්ධයක් දක්වා වර්ධනය වන්නත් පුළුවන්. මූලික වශයෙන් මෙහි තරගය තිබෙන්නේ ඇමෙරිකාව හා චීනය අතරයි. අපි මේ ගැටුමේ ඉත්තෙක් නැත්නම් ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය තනි සිදුවීමක් නොවෙයි. එය මහා ව්‍යාපෘතියේ තවත් කොටසක්. කාදිනල්තුමා කිව්වා මේ ප්‍රහාරය කළ පිරිස ඇත්ත වශයෙන්ම නොදන්නවා විය හැකියි ඔවුන් පිටුපස ඉන්නේ කවුද කියන දෙය සම්බන්ධව කියලා. එයයි අපි ඇත්ත වශයෙන්ම ගතයුතු කාරණාව වන්නේ. 

මේ ප්‍රහාරය හා අවුල් පිටුපස ඉන්නේ ලෝකය පාලන කිරීමට උත්සහ දරන ලෝක බලවතුන්. 2015 වර්ෂයේ ඔවුන්ගෙන් සහය අරන් බලයට පත්වූ නිසා ඒ බලවතුන්ගේ ගොදුරක් බවට අපි පත්වෙමින් ඉන්නවා. ජනවාරි 08 සිදුවූ දෙය ස්වභාවික දේශපාලන ක්‍රියාදාමයක ප්‍රතිඵලයකට වඩා විවිධ අරමුණු සහිත පිරිස් එකතු වී සිදුකරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් ලෙසයි මම දකින්නේ. ඒ සැලැස්ම අනුව ඔවුන්ට හැකි වුණා විශාල ඡන්ද සංඛ්‍යාවක් ඔවුන් යටතට ගොනු කරගන්නට. එසේ ගොනු කළ ආකාරය පවා ප්‍රශ්නකාරීයි.