Press "Enter" to skip to content

ලංකාවේ පළමු ඩිජිටල් කෘෂි වෙළෙඳ පොළ ජංගම දුරකථන යෙදවුමක් ලෙස

වර්තමානය වනවිට ලංකාවේ එළවළු හා පලතුරු වගා කරන ගොවියා මුහුණ දී තිබෙන විශාලතම ගැටලුව වන්නේ වගා කරන භෝගවලට නිසි වටිනාකමක් නොලැබීමය. මෙම ගැටලුව හේතුවෙන් තම භෝග විශාල ප්‍රමාණයෙන් අපතේ යැවීමට සහ අඩු මුදලට ලබා දීමට පසුගිය කාලවකවානුව තුළ ගොවියාට සිදු විය.

තවද අතරමැදිකරුවන්ගේ ජාවාරම් හේතුවෙන් ගොවියාට තම වගාවන් සඳහා වියදම් කරන මුදල හෝ පිරිමසා ගැනීමට නොහැකි වූ අවස්ථා දැකගත හැකිවිය. මෙම කාලීන අවශ්‍යතාව සඳහා වැදගත් පිළියමක් නිර්මාණය කිරීමට Croptronix පෞද්ගලික ආයතනය සමත් විය. ඒ ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් කෘෂි වෙළෙඳ පොළ ජංගම දුරකථන යෙදවුමක් ලෙස නිර්මාණය කිරීමය. ගොවිපොළ නම් මෙම ජංගම දුරකථන යෙදවුමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ සචිත්‍ර යාපා මහතා %අද^ට සම්බන්ධ කර ගැනීමට අප සිතුවේ මෙම පිළියම ලංකාවේ සියලු ගොවි මහතුන්ට වැදගත් වන බැවිනි. 

ගොවිපොළ ජංගම දුරකථන යෙදවුම කියන්නෙ මොකද්ද?

ගොවීන්ට එළවළු විකුණා ගැනීමට සහ ගැනුම්කරුවන්ට එළවළු, පලතුරු මිලදී ගැනීම උදෙසා තමයි අපි මේක නිර්මාණය කරන්නේ. ගොවීන්ට තක්කාලි, වට්ටක්කා වැනි එළවළු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් පසුගිය කාලයේදී උදා වුණා. අවසානයේදී ඔවුන්ට ඒවා අපතේ යැවීමටත් සිදු වුණා. ඉතින් ඒ සිදුවීම ඔස්සේ තමයි අපි %ගොවිපොළ^ කියන ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කරන්නේ. වර්තමානයේදී ගොවීන්ට හරි මිලක් ලැබෙන්නේ නැහැ. ගොවියා නිරන්තරයෙන් ගසාකෑම්වලට ලක්වෙනවා. මේ ගසාකෑම් නවත්වන්න නම් අපි තාක්‍ෂණය භාවිත කරන්න ඕන. අලුත් පරම්පරාව තාක්‍ෂණයත් සමග තමයි ඉස්සරහට යන්නේ. නමුත් තරුණයන් දැන් ගොවිතැනට එකතු වෙන්න මැළිකමක් දක්වනවා. ඉතින් තරුණයන්ව නැවත ගොවිතැනට ගන්නත්, ගොවියාගේ එළවළු විකුණා ගැනීමේ ගැටලුවට පිළියමක් විදියටත් තමයි අපි %ගොවිපොළ^ කියන දුරකථන යෙදවුම නිර්මාණය කළේ.

මේ යෙදවුම නිසා අතරමැදියන් අවශ්‍ය වෙන්නේ නැහැ නේද?

ඔව්. ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. ලංකාවේ ජනගහනයෙන් සියයට 30ක් පමණ ඉන්නේ ගොවියන්. මේ වනවිට ගොවියා ඉන්නේ තමන් වවන එළවළු, පලතුරු ටික අලෙවි කරගන්න බැරි විශාල ගැටලුවක. ඉතින් අපි %ගොවිපොළ^ ඔස්සේ ගොවියාව වෙළෙඳ පොළට සම්බන්ධ කරනවා. එළවළු, පලතුරු වෙළෙඳාමේදී අතරමැදියො තමයි වැඩිපුරම ලාභ ලබන්නේ. සමහර අවස්ථාවලදී අතරමැදියො හයක්, හතක් ඉන්නවා. මේ යෙදවුම හරහා අතරමැදියො සම්බන්ධ වෙන ප්‍රමාණය අවම කරනවා. එතකොට මාස ගානක් තිස්සේ දුක් මහන්සි වෙන ගොවියාට ලැබෙන්න ඕන මුදල ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට ගොවියාට වියදම් කළ මුදලවත් ලැබෙන්නේ නැහැ. 

මෙහි ක්‍රියාකාරීත්වය කොහොමද?

ගොවියාට තමන් වගා කරන දේවල් ස්මාර්ට් දුරකථනයක් හරහා පළකරන්න පුළුවන්. ඒ වගේම තමන් වගා කරන හෝ නිෂ්පාදනය කරනු ලබන දේවල්වල ඡායාරූප පළකිරීමටත් මෙහි ඉඩකඩ සලසා දී තිබෙනවා. ඒ වගේම එහි මිල, වර්ගයන් සහ ගොවියා සිටින ස්ථානය ආදී සියල්ලම මෙයට ඇතුළත් කළ හැකිවෙනවා. තමන්ගේ දුරකථන අංකයෙන් මෙහිදී ලියාපදිංචි විය යුතුයි. ඒ දැන්වීම දකින කෙනාට ඍජුවම ගොවියාව සම්බන්ධ කරගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය ප්‍රමාණය, අවශ්‍ය වර්ගයෙන් තමන් ඉන්නා තැනටම ගෙන්වා ගැනීමට කතා කරගන්න පුළුවන්. පසුගිය කාලයේදී අපි දැක්කා මේ යෙදවුම හරහා ගොඩක් ගොවි මහත්වරු අපනයනකරුවන් සමග සම්බන්ධ වුණා. සමහර අවස්ථාවලදී ලංකාවේ අලෙවි කර ගැනීමේ ගැටලු සමග ගොවියාට යන්න පුළුවන් විදේශ වෙළෙඳ පොළට. ඉතින් විදේශ වෙළෙඳ පොළට යන්න නම් තාක්‍ෂණය භාවිත කරන්නම වෙනවා. ගොවියන්ට පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට තමයි මේ යෙදවුම නිර්මාණය කරලා තියෙන්නෙ. භාෂා ත්‍රිත්වයෙන්ම %ගොවිපොළ^ යෙදවුම භාවිත කරන්න පුළුවන්. ඉතා අඩු පියවර ගණනක් යොදලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. මේ යෙදවුමට තමන්ගේ වෙළෙඳ භාණ්ඩ ඇතුළත් කරපු ගමන්ම ලෝකයේ ඕනෑම අයෙකුට ඔහු හා සම්බන්ධ වෙන්න පුළුවන්. 

තව මෙහි තිබෙනවා, විශේෂයෙන් මිලදී ගැනීමට කැමැති දේවල් දක්වන්න කොටසක්. එයින් පුළුවන් මේ වනවිට ගොවිපොළ යෙදවුමට ඇතුළත් නොවුණු, නමුත් අවශ්‍යයි කියලා හිතෙන දේවල් අපට පවසන්න. ඉදිරියේදී අපි මේ ගොවිපොළ යෙදවුම හරහා මිලදී ගන්නා දේ ප්‍රවාහනය කිරීමටත් අවස්ථාව ලබා දෙනවා. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *