Press "Enter" to skip to content

ආගම සහ දේශපාලනය

ආගම සහ දේශපාලනය අද දවසේ රටේ ප්‍රධාන මාතෘකාවයි. එය අප රටේ පමණක් නොව ලෝකයේ අනෙකුත් බොහෝ රටවල වෙසෙන මිනිසුන්ගේ දෛනික ජීවිතයට බලපෑම් කරමින් සිටින මාතෘකාවකි. 

සමාජික ප්‍රශ්න විසඳීමෙහිලා දේශපාලනය අපොහොසත් වනවිට හෝ අසාර්ථක වනවිට සාමාන්‍ය මිනිසුන්ගේ හදිසි ප්‍රතිචාරය වන්නේ දේශපාලනය හා දේශපාලකයා ප්‍රතික්‍ෂේප කිරීමයි. එය අදේශපාලනය කරා පල්ලම් බැසීමකි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීම උදෙසා සමාජ මාධ්‍යයේ මතු වූ රැල්ල එවැන්නකි. 

එහෙත් මෙවැනි රැලි තාවකාලිකය. දේශපාලන සත්ත්වයෙකු වන මිනිසා සදාකාලිකවම අදේශපාලනිකව වෙසෙන්නේ නැත. ඉදිරියට එළඹෙන ජනාධිපතිවරණ මහ මැතිවරණ ආදියෙහිදී දේශපාලකයන් පත්කර ගැනීම සඳහා දේශපාලනය එපා කියූ ජනයාම පෝළිම්වල ගොස් ඡන්දය දෙනු ඇත. අප එය දකින්නේ යහපත් තත්ත්වයක් ලෙසිණි. මන්ද අදේශපාලනිකත්වය මග කියන්නේ අරාජිකත්වයට වන බැවිනි. දේශපාලන වශයෙන් කරනා වැරදි නිවැරදි කරගත හැක්කේද දේශපාලනික වීමෙන් මිස අදේශපාලනික වීමෙන් නොවේ. 

ආගම් සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. අපට වඩා යහපත් අධ්‍යාත්මික ජීවිතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිර්මාණය වූ ආගම අපගේ අධ්‍යාත්මික ජීවිතය මෙන්ම ලෞකික ජීවිතද සෑහෙන පමණකට අවුල් කර තිබේ. එහෙත් එසේ වූවා කියා මිනිසුන් ආගම් ඇදහීම නතර කර පූර්ණ වශයෙන් නිරාගමික වන්නේද නැත. නිරාගමික වාදයන්ද ලොව විවිධ ස්වරූපයෙන් පැවතුනද, ඒවායේද ආගමික ලක්ෂණ බෙහෙවින් තිබේ. ආගම සහ දේශපාලනය යන දෙකම සාමාජික මිනිසාගේ ඉතිහාස වේදිකාවෙන් බැස යන්නේ නැත. එය සාමාජික මිනිසා පිළිබඳ යථාර්ථයකි.

නූතනවාදය, ආගම සහ දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයට උත්තර සොයන්නට බැලුවේ ආගම සහ දේශපාලනය එකිනෙක වෙන් කිරීමෙනි. රාජ්‍යයේ කටයුතුවලට ආගම ගාවා නොගැනීමත්, ආගමේ කටයුතුවලට දේශපාලනය ගාවා නොගැනීමත් නූතනවාදය ඉදිරිපත් කළ සම්භාව්‍ය නිර්දේශයයි. 

“දෙවියන්ගේ දේ දෙවියන්ටත්, සීසර්ගේ දෙය සීසර්ටත් දෙන්න” යන බයිබල් ආප්තෝපදේශය මේ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා නිතර යොදා ගැනිණි. මෙසේ ආගම දේශපාලනයෙන් වෙන් කිරීම ලෞකිකවාදය ලෙස හැඳින්වීය. නූතනවාදය පසුබිමෙහි ගොඩනැගුණු ලිබරල්වාදය, මාක්ස්වාදය,සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදය මෙම ලෞකිකවාදය ඉහළින් ඔසවා තබන්නට මහන්සිගත් බව ඉතිහාසය පිරික්සන විට පෙනේ. 

එහෙත් එය සාර්ථක වූයේ නැත. විද්‍යාවට, තාක්ෂණයට සහ නූතනවාදයේ කිසිදු අංගයකට ආගම සහමුලින්ම ඉවත් කිරීමට නොහැකි විය. එසේම සර්ව සම්පූර්ණ ලෞකිකවාදී නිරාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීමට ලෝකයේ කිසිදු සමාජයකට හැකිවීද නැත. ආගම තහනම් කර තිබූ රාජ්‍යවලද ආගම් සහමුලින්ම මිය ගියේ නැත.

ආගම් බොහොමයකට උපත ලබාදුන් ඉන්දියාවේ නූතන ඉතිහාසය හැදෑරීම මෙහිලා වැදගත්ය. ඉන්දියාවේ නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකැසීමට පුරෝගාමී වූ අම්බෙඩ්කාර් පඬිවරයා යෝජනා කළ අදහසක් වූයේ අමානුෂික කුල භේදය යුක්ති යුක්ත කරන හින්දු ආගමික ග්‍රන්ථ ඉන්දියාවේ තහනම් කළ යුතු බවයි. ඉස්ලාම් ධර්මය සහ කුරානය බැහැර කළ යුතු යැයි මුස්ලිම් ලේඛිකාවක වන තස්ලිමා නස්රීන් යෝජනා කරයි. 

අම්බෙඩ්කාර්ගේ යෝජනාව එදා ඉටු නොවූයේද, තස්ලිමාගේ යෝජනාව මෙදා ඉටු නොවන්නේද එම යෝජනා මනුෂ්‍ය ජීවිතය පිළිබඳ යථාර්ථයෙන් බොහෝ ඈත බැවිනි. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බවට පළමුවැනි ජනරජ ව්‍යවස්ථාවට ඇතුළු කිරීම, ආගම බැහැර කරන මාක්ස්වාදියෙකු වූ කොල්වින් ආර්. ද සිල්වාටම කිරීමට සිදුවීමෙන් පෙනෙන්නේ එම යථාර්ථයේ උත්ප්‍රාසවත් බවයි.

අපට කරන්නට ඇත්තේ එකම දෙයකි. එනම් මේ දෙකම යුගයට ගැළපෙන ලෙස යහපත් ලෙස ප්‍රතිසංස්කරණය කර ගැනීමයි. පළමුව අප ආගමික ප්‍රතිසංස්කරණ දෙස බලමු. ලෝකයේ ආගම් යනු එකතැන ගල් ගැසෙමින් තිබෙන ඒවා නොවේ. ඒවා ප්‍රතිසංස්කරණවලට බඳුන් වේ. සමහර ප්‍රතිසංස්කරණයන් සඳහා අප පසුකරගෙන පැමිණි මානව ඉතිහාසයේ මිනිසා ගෙවා ඇති වන්දිය අතිවිශාලය. පැරණි ආගම වෙනස් කළ ජේසුතුමන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

බොහෝ ආගම්වල ප්‍රචණ්ඩ අන්තර්ගතයන් ඇත. යුදෙව් බයිබලයේ ඇත්තේ ඇසට ඇසක්, දතට දතක් න්‍යායයි. පළිගැනීම ප්‍රචණ්ඩත්වය දෙවියන් අනුමත කරන බව එමගින් කියැවේ. එහෙත් දියුණු පරිණත සමාජයක කිසිවෙක් මේ ප්‍රචණ්ඩ අන්තර්ගතයන් එලෙසින්ම පවත්වාගත යුතු යැයි යෝජනා කරන්නේ නැත. 

සහරාන්ගේ ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමා ඇතුළු කිතුනුවන් ඇසට ඇසක්, දතට දතක් යන බයිබල් මූලධර්මය අනුගමනය කිරීමට සැරසුනා නම් අද මෙරට කුමනාකාරයේ විනාශයක් සිදුවන්නට ඉඩ තිබිණිද? හින්දු ආගමේද ප්‍රචණ්ඩ අන්තර්ගතයන් තිබේ. තම අරමුණ වෙනුවෙන් ඥාති හිතවතුන් පවා මරා දැමීම අර්ජුන හමුවේ යුක්ති යුක්ත කිරීමට ක්‍රිෂ්ණා ඉදිරිපත් විය. එහෙත් මේ ප්‍රචණ්ඩ අර්ථකථනය අනුව සමාජ ජීවිතය මෙහෙයවීමට හින්දූන් ඉදිරිපත් වුවහොත් තත්ත්වය කුමක්වේද? 

කුරානයේද ප්‍රචණ්ඩ අන්තර්තයන් ඇත. මිථ්‍යා දෘෂ්ටිකයන්, පිළිම වන්දනා කරන්නවුන් විනාශ කිරීම යුක්ති යුක්ත කිරීමේ දේව වාක්‍ය එහි ඇත. යුදෙව්වන්, කිතුනුවන් සහ පිළිම වඳින්නන් ඉස්ලාම් ආගමේ සතුරන් යැයි එහි සඳහන් වේ. එහෙත් මේ දේව වාක්‍ය ඒවා බිහි වූ ඓතිහාසික සන්දර්භයෙන් ගලවාගෙන නූතන සමාජය තුළ ක්‍රියාත්මක කිරීමට කිසියම් ඉස්ලාම් භක්තිකයෙකු කල්පනා කරන්නේ නම් ඔහු නූතන යුගයට ගැළපෙන්නෙකු නොවේ.

බෞද්ධ ත්‍රිපිටකයේ ප්‍රචණ්ඩ අන්තර්ගතයන් සොයා ගැනීම ඉතා දුෂ්කරය. එහෙත් බෞද්ධ සංස්කෘතීන් නිර්ප්‍රචණ්ඩ බව එයින් කියැවෙන්නේ නැත. ජාතිය වෙනුවෙන් යුද්ධ කර මිය යන අය සුරදූතිකාවන් තුරුලට යන බව කියා ඇත්තේ සහරාන්ලා පමණක් නොවේ. සමහර බෞද්ධ භික්ෂූන් ලියූ ගී කවිවලද මේ සංකල්පය අන්තර්ගතය. මේ අනුව අප හමුවේ ඇති විකල්පය වන්නේ ආගම නිර්ප්‍රචණ්ඩ අර්ථකථනවලට ලක්කරමින් ප්‍රතිසංස්කරණය කිරීමයි. මේ ප්‍රතිසංස්කරණයන් සංවිධානය කිරීමට වැඩකිරීමද ප්‍රතිසංස්කරණයට ලක් වූ ඉදිරිගාමී දේශපාලනයක් විසින් සිදුකළ යුත්තකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *