Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

international-news

ඇමරිකාවෙන් ඉරානයට චෝදනා

ඕමාන් ගල්ෆ් කලාපයේ ඉන්ධන නෞකා දෙකක පිපිරීම් සම්බන්ධයෙන් අමෙරිකාව ඉරානයට චෝදනා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (13) ඇති වූ සිද්ධියෙන් පසුව ඉන්ධන මිල 4.5%කින් ඉහළ ගොස් ඇති බවයි.

ඕමාන් ගල්ෆ් කලාප මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් තුළ සිදුවූ පිපිරීම්වලින් අනතුරුව එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් මුදා ගැනීමට කටයුතු කළේය.

අදාළ නෞකා හිමිකාර සමාගම් පැවසුවේ, කොකුකා කරෙජස් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු සහ ෆ්‍රන්ට් ඇල්ටෙයාර් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු එලෙස මුදාගෙන ඇති බවයි.

මෙම පිපිරීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මෙම සිදුවීම වාර්තා වූයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසන්න මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා 4කට ප්‍රහාරයක් එල්ල වී මසක් ගතවීමෙන් පසුවයි.

මෙම ප්‍රහාර පිටුපස ඉරානය සිටින බවට ඇමෙරිකාව චෝදනා කරයි.

කෙසේ වෙතත්, ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙම ප්‍රහාර හේතුවෙන් ඕමාන් ගල්ෆ් කලාපය සම්බන්ධයෙන් ඉරානය සහ ඇමෙරිකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින අර්බුදය උත්සන්න වී ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව ඉරානයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර ඔවුන් චෝදනා කරන්නේ, මැද පෙරදිග අස්ථාවර කිරීමට ඉරානය ක්‍රියා කරන බවටයි.

එම මුහුදු කලාපයේ ඇමෙරිකා ආරක්ෂක බළකායන්ට ඉරාන හිතවාදී හමුදාවලින් ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් පසුගිය මැයි මාසයේදී ඇමෙරිකාව ගුවන් යානා ප්‍රහාරක කණ්ඩායමක් ද පිටත් කර හැරියේය.

ඉරානය ඇමෙරිකාවේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් ඇමෙරිකාව ආක්‍රමණශීලී ලෙස හැසිරෙන බවට චෝදනා කළේය.

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ධූරය සඳහා තියුණු තරගයක්

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ධූරය සඳහා කන්සර්වේටිව් පක්ෂයේ මන්ත‍්‍රීන්වරුන් අතර තියුණු තරගයක් හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට එහි පෙරමුණ ගැනීමට එරට හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන් සමත් වී ඇති බවයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන ප්‍රචාරක ව්‍යාපාරයේ වඩාත්ම ඉදිරියෙන් සිටියේ ඔහුයි.

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ, සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට නිවේදනය කිරීමත් සමග ඇගේ පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය තුළ නායකත්වය සඳහා තරගයක් පැවතියේය.

බොරිස් ජොන්සන්, ජෙරමි හන්ට් , මයිකල් ගොව්, ඩොමිනික් රාබ්, සජිඩ් ජාවිඞ්, රෝරි ස්ටුවට්, මැට් හැන්කොක්, ඇන්ඩි‍්‍රයා ලීඩ්සම්, මාක් හාර්පර් , එස්තර් මැක්වේ අතර මෙම අගමැති සටන පවතියි.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ කොන්සර්වේටිව් පක්ෂ ක්‍රියාකාරිකයෙකු සහ ලන්ඩන්හි හිටපු නගරාධිපතිවරයෙකු ද වන බොරිස් ජොන්සන් එම සටනේ පෙරමුණ ගෙන තිබීම විශේෂත්වයකි.

ඒ වෙනුවෙන් පක්ෂය තුළ පැවති රහස් ඡන්ද විමසීමකින් ඔහු ඡන්ද 114ක් ලබාගෙන ඇත.

ජෙරමි හන්ට් එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහු ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 43කි.

කෙසේ වෙතත් පක්ෂය තුළ පැවති පළමු ඡන්ද විමසීමෙන්ම බොරිස් ජොන්සන් ප්‍රතිවාදී අපේක්ෂකයින් අභිබවා සැළකිය යුතු මට්ටමේ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඉදිරියට පැමිණ තිබීම කැපී පෙනුණි.

බ්‍රිතාන්‍යයේ මීළඟ මහ මැතිවරණය පැවැත්විය යුත්තේ 2022 වසරේ මැයි මස 5 වනදාට පෙරයි.
 
බ්‍රිතාන්‍යය  අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ගේ ඉල්ලා අස්වීමේ තීරණයත් සමඟ ඉදිරි වසර 3ක කාලය සඳහා අග්‍රාමාත්‍ය ධුරයේ පවතින්නේ පුරප්පාඩුවක්.
 
ඒ සඳහා එරට කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබලයින්  10 දෙනෙකුගේ නම් යෝජනා වී ඇත.

දුම්රිය පීලි පැනීමක් වාර්තාකරණයට ගිය මාධ්‍යවේදියෙකුට පොලීසියෙන් ගුටි බැට

මාධ්‍ය නිදහස පිළිබඳව දැඩි කතාබහට ලක් වූ සිදුවීමක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ උතුරුදිග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය මාර්ගයක් අසළදී එරට මාධ්‍යවේදියෙකුට පොලිස් නිලධාරීන් (railway police)විසින් පහර දෙන අයුරු දැක්වෙන දර්ශන මාධ්‍යයට නිකුත් වී ඇත.

ඔහු මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, දුම්රිය පීලි පැනීමක් වාර්තාකරණයට ගිය අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර ඊට සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සිදුවීමත් සමඟ එරට මාධ්‍ය නිදහස පිළිබඳව දැඩි කතාබහක් ඇතිවෙමින් තිබෙන බවයි.

වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ නවතම දර්ශකයට අනුව, රටවල් 180 ක් අතුරින් අසල්වැසි ඉන්දියාව 140 වැනි ස්ථානයේ පසුවන බව ද  විදෙස් වාර්තා සඳහන් කළේය.

ගිනිගත් මතකයක සැමරුමක්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් මියගිය පිරිස සිහිපත් කර එරට තුළ සැමරුම් රැසක් සංවිධානය කර ඇති බවයි.

2017 වර්ෂයේ ජූනි මස 14 වැනිදා බ්‍රිතාන්‍යයවාසීන් පමණක් නොව ලෝකවාසීන් මහත් කම්පාවට පත්කළ දිනයක් ලෙස ඉතිහාසයට එක්ව ඇත.

ජුනි 13 රාත්‍රීයේ බටහිර ලන්ඩනයේ තට්ටු නිවාසයක හදිසියේ හටගත් ගින්නක් සීඝ්‍රයෙන් පැතිර ගියේ පුද්ගලයින් 71 දෙනෙකුට මරු කැඳවමිනි.

උතුරු කෙන්සිංටන් ප්‍රදේශයේ පිහිටි ග්‍රේන්ෆෙල් ගොඩනැගිල්ල වෙලාගත් ගින්නට හසු වූ පුද්ගලයින් බේරා ගැනීම සඳහා ගිනි නිවන භටයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණි.

කෙසේ වෙතත් ගින්න සම්පුර්ණයෙන්ම පාලනය කරන අවස්ථාව වන විටත් එය විශාල පිරිසකගේ ජීවිත බිලිගෙන අවසන්ය.

අනතුරට පත් මහල් විසිහතරකින් යුතු ගොඩනැගිල්ල නිවාස ඒකක 120 න් සමන්විත වුණි.

පවුම් කෝටියක් වැය කරමින් ක්‍රියාත්මක වූ එහි අලුත්වැඩියාව නිම වී තිබුණේ ද ඊට ආසන්න කාලසීමාවක් තුළයි.

ග්‍රේන්ෆෙල් ඛේදවාචකයට දෙවසරක් සම්පූර්ණ වී ඇතත් එහි විමර්ශන කටයුතු තවමත් අවසන් කර නැත.

මේ අතර ග්‍රේන්ෆෙල් ඛේදවාචකය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය නිල නිවස පිහිටි  ඩවුනින් ස්ට්‍රීට් වීදිය හරිත පැහැයෙන් ආලෝකමත් කිරීමට කටයුතු කර තිබුණි.

ජනතාවගේ ඉල්ලීමකට අනුව ගින්නෙන් මියගිය පිරිස සිහිපත් කෙරෙන සැමරුම් සඳහා මෙලෙස හරිත පැහැය යොදාගන්නා බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා අධිකරණය හමුවට

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරකයා ඔහුට එරෙහිව ගොනුකර ඇති ඇතැම් චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් ජාතිකයින් 51 දෙනෙකුට ජීවිතය අහිමිකරමින් වෙඩි ප්‍රහාර එල්ලකළ ප්‍රහාරකයා  ක්‍රයිස්ට්චර්ච් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

වෙඩි ප්‍රහාරය එල්ල කළ ඔස්ට්‍රේලියානු වැසියෙකු වන 29 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන ඇතුළුව චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් අධිකරණය හමුවේ ගොනුකර ඇති සියලුම චෝදනා සම්බන්ධයෙන් තමා වැරදිකරු නොවන බව ඔහු පවසා ඇත.

අන්තවාදී මත දරන බ්‍රෙන්ටන් ටැරන්ට් සිය ප්‍රහාරය එල්ල කරන ආකාරය ෆේස්බුක් සමාජ ජාලය හරහා සජීවීව විකාශය කිරීමට කටයුතු කළේය.

ඔහු මුස්ලිම් පල්ලිය වෙත පා ගමනින් පැමිණීමේ පටන් වෙඩි ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කර නිදහසේ පල්ලියෙන් ඉවත්ව යන ආකාර එහි පැහැදිලිවම දර්ශනය වූ අතර එය ලෝකයේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳවත් පුළුල් කථිකාවතක් නිර්මාණය කළේය.

උතුරු කොරියානු ජනතාවට සහල් මෙට්‍රික්ටොන් 5000ක මානුෂීය ආධාර

උතුරු කොරියානු ජනතාව සඳහා සහල් මෙට්‍රික්ටොන් 5000ක් මානුෂීය ආධාර වශයෙන් ලබා දීමට දකුණු කොරියාව තීරණය කර ඇත.

දෙරට අතර පවතින අන්තර් සබඳතා ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම ආධාර ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණවලට අනුව උතුරු කොරියාවේ ජනගහණයෙන් සියයට 40ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණය වී ඇති බව සඳහන්ය.

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ මෙම සහල් තොගය උතුරු කොරියාවට ලබන සැප්තැම්බර් මාසයට පෙර ලබාදීමට පියවර ගන්නා බව දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත.

https://www.youtube.com/watch?v=dw6dQpZaFYs