Press "Enter" to skip to content

චීනය සහ රුසියාව ලෝකය නව යුගයකට ගෙන යාම සඳහා බල මුළු ගන්වයි. දෙරට නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ යුක්රේන අර්බුදයට විසඳුම්ද වෙයි

චීන ජනාධිපති ක්ෂී ජින් පිං ඊයේ(21) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙමින් චීන-රුසියා සබඳතා ද්විපාර්ශ්වික විෂය පථයෙන් ඔබ්බට ගොස් චීනය සහ රුසියාව එක්ව කටයුතු කරන බවත් එම එකමුතුව සමස්ත ලෝකයට සහ මානව වර්ගයාගේ අනාගතයට තීරණාත්මක බව ද ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා සැබෑ බහුපාර්ශ්විකත්වය ප්‍රගුණ කිරීම, පශ්චාත් වසංගත ආර්ථික ප්‍රකෘතිය ප්‍රවර්ධනය කිරීම සහ බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීම යන විෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවද අවධාරණය කළේය.

 

චීන ජනාධිපතිවරයා සිය රුසියානු  සංචාරය අතරතුර ඊයේ(21) රුසියානු ජනපති පුටින් සහ අගමැති මිහායිල් මිෂුස්ටින් හමුවිය.මෙහිදී ක්ෂී සහ පුටින් මාධ්‍ය වෙත අනාවරණය නොකළ සාක්ච්ඡා සැසියක් සහ පුළුල් ආකෘතියක් තුළ පැවැත්වූ සාකච්ඡා වට දෙකක් පැවැත්වීය. එම සාකච්ඡා වලින් පසුව නායකයින් දෙපල ඒකාබද්ධ ප්‍රකාශයන්ටද අත්සන් තැබූහ.

 

ඒ අනුව නව යුගය සඳහා සම්බන්ධීකරණයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ගැඹුරු කිරීම පිළිබඳ මහජන චීන සමූහාණ්ඩුවේ සහ රුසියානු සමූහාණ්ඩුවේ ඒකාබද්ධ ප්‍රකාශය චීන ජනපති ක්ෂී ජින්පින් සහ රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් විසින් ක්‍රෙම්ලිනයේදී අත්සන් කර නිකුත් කරනු ලැබීය. යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අර්බුදයට විසඳුමක් ලෙස සාකච්ඡා මාර්ගයටඅවතීර්ණ විය යුතු බව අවධාරණය කළ අතර අර්බුදය විසඳීමේදී සියලුම රටවල ආරක්ෂක අවශ්‍යතාවලට ගරු කළ යුතු බව අවධාරණය කළේය. එලෙසම හැකි ඉක්මනින් සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට කැපවන බව රුසියාව ප්‍රකාශ කළේය.

 

තවද 2030 ට පෙර චීන-රුසියා ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන දිශාවන් සඳහා සංවර්ධන සැලසුම් පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයකට ද ජනාධිපතිවරු දෙදෙනා අත්සන් කළහ.

 

දේශපාලන විශ්ලේෂකයින් පවසන පරිදි, ප්‍රධාන බලවතුන් දෙදෙනා අතර ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය-විශ්වාසය සහ සම්බන්ධීකරණය ශක්තිමත් බවත්, සමස්ත ලෝකයම කැළඹිලි තත්වයකට මුහුණ දෙමින් තිබියදීත් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය ඉහළ මට්ටමකට ඔසවා තබා තිබේ. සාකච්ඡා වලින් පසුව චීන ජනාධිපතිවරයා රුසියානු නායකයින් දෙදෙනාට චීනයට පැමිණෙන ලෙසද ආරාධනා කළේය.

 

මේ වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එකම තීරයක් එකම මාවතක්” ව්‍යාපෘතියේ තුන්වන සංවත්සරය සඳහා සහභාගි වීමට චීනයට පැමිණෙන ලෙස චීන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාට ආරාධනා කිරීමද විශේෂත්වයකි.

 

චීන ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින්, චීන නායකයන් තම විදේශ සංචාර සඳහා රුසියාව මූලික තේරීමක් ලෙස ගැනීම ඓතිහාසික තර්කනය සමඟ සමපාත වන බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා චීනය සහ රුසියාව එකිනෙකාගේ විශාලතම අසල්වැසියා මෙන්ම විස්තීර්ණ උපායමාර්ගික හවුල්කරු වන බවත්, එවැනි සබඳතාවයක් ඓතිහාසික පරීක්ෂණයට ලක් වී සමත්වී ඇති බවත් අවධාරණය කළේය. ලෝකයේ සිදුවෙමින් පවතින ගැඹුරු වෙනස්කම්, වෙළඳාම, ආයෝජන, සැපයුම් දාමය, මහා ව්‍යාපෘති, බලශක්ති සහ අධි තාක්‍ෂණික ක්ෂේත්‍රවල රුසියාව සමඟ සහයෝගීතාව පුළුල් කිරීමට චීනය සූදානම් බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

මේ අතර රුසියානු අගමැති මිෂුස්ටින් පැවසුවේ රුසියානු රජයේ ප්‍රධාන කැබිනට් සාමාජිකයින් සියලු දෙනාම පාහේ තමන්ගේ නායකත්වයෙන් යුතුව චීන නායකයා හමුවූ බවත් චීන ජනාධිපතිවරයා ඉතා උනුසුම් ලෙස පිළිගත් බවත්ය.

 

උපායමාර්ගික හවුල්කාරිත්වය

 

චීන විදේශ කටයුතු විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා ආයතනයේ මහාචාර්ය ලී හයිඩොං ඊයේ ග්ලෝබල් ටයිම්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් , චීන සහ රුසියානු නායකයින් අතර ගොඩනගා ඇති ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය සහ පරිණත සබඳතාවය මේ මොහොතේ ලෝකය අත්විඳිමින් සිටින ගැඹුරු වෙනස්කම් වලට අදාල වන රුසියානු- චීන ද්විපාර්ශ්වික සබඳතාවල අවශ්‍යතාවයට හොඳින් ගැලපෙන බවයි.

 

යුක්රේන අර්බුදය හේතුවෙන් රුසියාව සහ බටහිර රටවල් අතර නරක අතට හැරෙමින් පවතින සබඳතා චීන-රුසියානු සබඳතාවල වර්ධනයට බලපෑ නොහැකි බව රුසියානු චීන නායක හමුව මගින් ලෝකයට යවන ලද ප්‍රධාන පණිවිඩයකි. ජාත්‍යන්තර සබඳතා තුළ බහුපාර්ශ්විකත්වය, බහු ධ්‍රැවීයතාව සහ  ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කළ හැකි ධනාත්මක ආකාරයකින් ලෝකය වෙනස් කිරීමට චීනය සහ රුසියාව අධිෂ්ඨාන කරගෙන සිටින බව එයින් පෙන්නුම් කෙරෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

 

රුසියානු-චීන මිත්‍රත්ව සංගමයේ නියෝජ්‍ය සභාපති සහ මිත්‍රත්වය, සාමය සහ සංවර්ධනය සඳහා වූ රුසියානු-චීන කමිටුවේ විශේෂඥ කවුන්සිලයේ ප්‍රධානී යූරි ටව්රොව්ස්කි “ග්ලෝබල් ටයිම්ස්” වෙත පැවසුවේ රුසියාවට සහ චීනයට නරක අතට හැරෙමින් පවතින ජාත්‍යන්තර ආරක්ෂක තත්ත්වය වෙනස් කිරීම සඳහා උත්සාහ ගැනීමටත් එය සම්බන්ධීකරණය කිරීම කළ හැකි බවයි.

 

වර්තමානයේ ලෝකයට බලපෑම් කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ඇති ප්‍රධාන බලවතුන් දෙදෙනෙකු වන රුසියාවට සහ චීනයට පමණක් “ගෝලීය ව්‍යසනය” වැළැක්විය හැකි බව පෙන්වා දුන් ඒ මහතා “ධවල මන්දිරයේ සිටින අයවළුන් ඉතා වගකීම් විරහිත යැයි අවධාරණය කළේය.

 

චීන අග්‍රාමාත්‍යවරයා සහ රුසියානු අග්‍රාමාත්‍යවරයා අතර අඛණ්ඩ නිරන්තර හමුවීම් කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළ අතර චීනයට පැමිණෙන ලෙස රුසියානු අගමැති මිෂුස්ටින්ට ආරාධනා කළ බවද විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර රුසියානු අගමැතිවරයා චීන ජනාධිපතිවරයාගේ ආරාධනය පිළිගෙන චීනයට යාමට සැලසුම් කර ඇති බව රුසියානු අගමැතිගේ ප්‍රකාශක බොරිස් බෙලියාකොව් ඊයේ(21) ටාස් පුවත් සේවය වෙත පැවසීය.

 

චීන-රුසියානු උපායමාර්ගික හවුල්කාරිත්වය යනු ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය පමණක් නොව, වෙළඳාම, මූල්‍ය, බලශක්ති, විද්‍යාව සහ තාක්‍ෂණය පිළිබඳ සහයෝගීතාවය මෙන්ම සංස්කෘතිය, ක්‍රීඩා, සංචාර යනාදිය පිළිබඳව දෙරටෙහි ජනයා හුවමාරු කර ගන්න වැඩසටහන්ද ඇතුළත් බව ඒ පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි.

 

රාජ්‍ය නායකයින් දෙපළට සහ දෙරටෙහි විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට විවිධ මට්ටම්වල සහ අංශවල සන්නිවේදන සහ සහයෝගිතා නාලිකා පිහිටුවීම උපායමාර්ගික ක්ෂේත්‍රයේ පමණක් නොව වඩාත් පුළුල් ලෙස ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම වැදගත් වන්නේ වඩාත් හොඳින් ඒවා ප්‍රවර්ධනය කිරීමට බව විශ්ලේෂකයෝ පවසති.

 

උසිගැන්වීමට එදිරිව මැදිහත් වීම

 

යුක්රේන අර්බුදයේ දේශපාලන විසඳුම ප්‍රවර්ධනය කිරීමේදී සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට චීනය සූදානම් බව යුක්‍රේන ප්‍රශ්නය පිළිබඳ නායකයින් දෙපල ගැඹුරු අදහස් හුවමාරු කර ගත් අවස්ථාවේදී චීන ජනාධිපතිවරයා පැවසූ බව මාධ්‍ය වාර්තා පවසයි.

 

මෙහිදී යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාමය සහ තාර්කිකත්වය සඳහා හඬක් ගොඩනැගෙමින් පවතින බව චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. “බොහෝ රටවල් යුක්‍රේනය සහ රුසියාව අතර ආතතීන් ලිහිල් කිරීමට සහය දක්වයි. එලෙසම සාම සාකච්ඡා සඳහා පෙනී සිටින අතර “ගින්නට පිදුරු” දැමීමට විරුද්ධ වේ. ඉතිහාසය සමාලෝචනය කිරීමෙන් තහවුරු වන්නේ අවසානයේදි ගැටුම් සාකච්ඡා සහ සම්මුතියෙන් විසඳාගත යුතු බවයි.” චීන ජනාධිපතිවරයා පැවසුවේය.

 

යුක්රේන අර්බුදය තුළ සාමය සහ සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීමට චීනය දිගින් දිගටම ගන්නා උත්සාහය රුසියාව සහ යුක්රේනය ඇතුළු බොහෝ රටවල් චීනයේ අවංකභාවය සාදරයෙන් පිළිගැනීම හෝ අගය කිරීම කරන බව දක්නට ලැබේ. එලෙසම චීනයට ඇත්ත වශයෙන්ම වත්මන් තත්වයට ධනාත්මක වෙනසක් ගෙන ඒමට හැකි වනු ඇතැයිද එම රටවල් අපේක්ෂා කරති. නමුත් එක්සත් ජනපදය, චීනය බේරුම්කරනයට ගන්නා උත්සාහයට විවෘතව විරුද්ධ වීමට සහ විවේචනය කිරීමට කටයුතු කරයි.

 

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පසුගිය 20 වනදා ප්‍රකාශ කළේ, “රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ අත්පත් කර ගන්නා ලද ප්‍රදේශය නීතිගත කිරීමට ඉදිරිපත්වන චීන-රුසියානු සාම සැලැස්මට ලෝකය නොරැවටිය යුතුයි.” යනුවෙනි.

 

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ(21) මාධ්‍ය හමුවකදී කියා සිටියේ යුක්රේන අර්බුදය නිර්මාණය කිරීමට චීනය වගකිව යුතු නොවන බවයි. “අපි අර්බුදයේ පාර්ශවකරුවෙකු නොවන අතරම ගැටුමට සම්බන්ධ කිසිදු පාර්ශවයකට ආයුධ ලබා දී නැහැ.ඒ අනුව එක්සත් ජනපදයට චීනයට ඇඟිල්ල දිගු කිරීමට හැකියාවක් නැහැ.” යනුවෙන් ඒ මහතා පැවසුවේය.

 

“එක්සත් ජනපදය පවසන්නේ තමන්ට යුද්ධ නැවැත්වීමට අවශ්‍ය බවයි. නමුත් ව්‍යතිරේක කිහිපයක් හැරුණු විට යුරෝපයේ සහ ඇත්ත වශයෙන්ම ලොව පුරා ඇති සියලුම ගැටුම් හා යුද්ධවලට ප්‍රායෝගිකව සම්බන්ධ වීමට එක්සත් ජනපදය කටයුතු කර තිබෙනවා. එක්සත් ජනපදය පවසන්නේ සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය බවයි. නමුත් ලෝකය සාමය සඳහා පෙනී සිටින එක්සත් ජනපදයක් මෙතෙක් දුටුවේ නැහැ. ඔවුන් දිගින් දිගටම යුධ පිටියට ආයුධ වැසි වස්සවමින් සිටිනවා. ”වැන්ග් පැවසීය.

 

චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යයනය සඳහා වූ චොන්ග්යැං ආයතනයේ මහාචාර්ය සහ විධායක පීඨාධිපති වැන්ග් වෙන් ඊයේ(21) ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසුවේ “සමහර බටහිර මාධ්‍ය ආයතන සෑම විටම ‘නිර්මාණාත්මක භූමිකාවක්’ ඉටු කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටිනවා. නමුත් සාමය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවාට වඩා නිර්මාණාත්මක දෙයක් තිබේද?” යනුවෙනි.

 

“යථාර්ථවාදීව කටයුතු කරනවා නම්, මේ මොහොතේ මැදිහත් වීම සඳහා වඩාත්ම හදිසි කාර්යය වන්නේ ‘ආක්‍රමණය’ හෝ ‘යුද අපරාධ’ වැනි ගැටළු විසඳීම නොවේ. ඒ වෙනුවට එය සටන් විරාමයක් ඇති කර ගැනීම කළ යුතුයි. දෙපාර්ශවයේම සොල්දාදුවන් දිනපතා මිය යනවා. මිලියන ගණනක් සරණාගතයින් අවතැන් වී තිබෙනවා.” වැන්ග් වෙන් පැවසීය.

 

රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමති දැයි ඇමෙරිකා මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් පැවසුවේ, යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුම ප්‍රවර්ධනය සඳහා සාධනීය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි. . “එලෙසම ඔබ එක්සත් ජනපද පාර්ශ්වයෙන්, ඔවුන් සාම සාකච්ඡා ඇති කිරීමට කැමති දැයි විමසිය යුතුයි.”වැන්ග් පැවසුවේය.

 

“එක්සත් ජනපදයට සහ බටහිරට යුක්රේන අර්බුදය සඳහා සාමකාමී දේශපාලන විසඳුමක් දැකීමට අවශ්‍ය නම්, ඔවුන් මැදිහත්වීම පිළිබඳ චීනයේ අත්දැකීම් විශ්වාස කර චීනයේ ස්ථාවරයට සහාය විය යුතුයි.” චීනය සෞදි අරාබිය-ඉරාන සබඳතා මැදිහත්වීම සම්බන්ධයෙන් සාර්ථක වාර්තාවක් ඇති බැවින්, අපට යුක්‍රේනයට සාධනීය මැදිහත් වීමක් කිරීමට හැකියාව තිබෙනවා. එමගින් යුක්රේනයේ යුධ පිටියේ තවත් අහිංසක මිනිසුන් මිය යාම වළක්වන්නට චීනයට හැකියි.” මහාචාර්ය වැන්ග් වෙන් පැවසීය.

 

China, Russia deepen Comprehensive Strategic Partnership of Coordination for the New Era, stress talks as solution to Ukraine crisis in joint statement

 

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *