Press "Enter" to skip to content

ඡන්ද රැල්ල හමන පැත්ත

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ මේ දක්වා පැවැති මහා මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී මුලින්ම පෙනීයන කරුණු කිහිපයක් ඇත. එයින් එකක් වන්නේ ජනතාවට නිදහස ලැබීමට පෙර 1947 දී පැවැති පළමු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඇරෙන්නට අනෙකුත් මහා මැතිවරණ වලදී ජනතාව බොහෝදුරට ඡන්දය දුන්නේ දේශපාලන පක්ෂවලට බවයි. මා එසේ කියන්නේ 1947 මැතිවරණයේදී ඡන්දයෙන් තෝරා පත් කර ගත් අනූපස් දෙනෙකු අතරින් විසිඑක් දෙනෙක් ස්වාධින අපේක්ෂකයෝ වීම නිසාය. අනෙක් අතට එකම ආසනයෙන් තරග කිරීමට එක් අපේක්ෂකයකුට වඩා ඉදිරිපත් වුණා. එයට නිදසුන තමයි එවකට සිටි ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව ආසනය වෙනුවෙන් තරග කරන්න ඡන්ද අපේක්ෂකයන් පස් දෙනෙකු ඉදිරිපත් කිරීම. මේ නිසා එම පක්ෂයේම ඡන්ද බෙදී යාම නිසා ඔවුන්ට සමහර ආසන අහිමි වී ගියා.

එවැනි කරනා නිසා බහු ආසන නොවන අනෙකුත් ආසන වලට පවා එක්සත් ජාතික පක්ෂයෙන් වැඩි නියෝජිතයින් ප්‍රමාණයක් දැමීමට තීරණය කළා. අනිත් කරුණ නම් ඒ පළමු මැතිවරණයට මුහුණ දෙන විටත් ශ්‍රී ලංකාවේ ඡන්දය දීමේදී දේශපාලන පක්ෂ ක්‍රමය දියුණු වෙලා තිබුණේ නැහැ. නමුත්, ඒ මැතිවරණයේ ප්‍රතිඵල දෙස බැලූවිට අපට ප්‍රකාශ කිරීමට හැකියාව තියෙනවා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලින් දහඅට ලක්ෂ අසූ හත් දහස් තුන්සිය හැට හතරෙන් සියයට හතළිහක් පමණ තමයි එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ. ඉතිරි සියයට හැටම ලැබුණේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධවයි.

කෙසේවෙතත්, මේ ප්‍රතිඵලවලින් දෙවැනි තැන හිමිවූයේ ලංකා සම සමාජ පක්ෂයටයි. ඔවුන්ට ආසන දහයක් හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ආසන හතළිස් දෙකක් පමණි. ඒ වගේම සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ආසන හතක් ද, ලංකා ඉන්දියානු කොංග්‍රසයට ආසන හයක්ද, බොල්ෂෙවික් ලෙනිනිස් පක්ෂය ආසන පහක්ද, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ආසන තුනක්ද සහ ලංකා කම්කරු පක්ෂය ආසනයක් බැගින් ද දිනා ගත්තා.

මේ ප්‍රතිඵල දෙස බැලූ විට පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂය තමයි මුලින්ම ලංකාවේ සිටි ප්‍රබලම දේශපාලන පක්ෂය. ඒ වගේම ඔවුන්ට තමයි මේ මැතිවරණයේදී වැඩිම ආසන ගණනක් හිමිවූයෙත්. එත් ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව සියයට හතළිහක් වුණත් ආසන අනූපහෙන් හතලිස් දෙකක්ම ලැබුණා.

කෙසේ හෝ, මෙම මැතිවරණයෙන් පසු එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ නීතිඥ එච්.ශ්‍රී නිශ්ශංකගේ නිවසට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු හතළිස් නම දෙනාගෙන් හරි අඩක්ම රැස්වුණා. එසේ පැමිණියේත් එක්සත් ජාතික පක්ෂයට විරෝධී පිරිසයි. ඒ නමුත්, එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ඩී.එස්. සේනානායක සහ ද්‍රවිඩ සංගමේ නායක ජී.ජී.පොන්නම්බලම් මහතාගේ එකතුවෙන් ඩී.එස්. සේනානායකට ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාව ලැබුණා.

එහිදී මතක තබා ගතයුතු කරුණ වන්නේ ලංකා ඉන්දියානු කොංග්‍රසයෙන් 1947 වසරේ දී තේරී පත්වූයේ ලාංකික නොවන ඡන්ද අපේක්ෂකයන් හය දෙනෙකු තරග කිරීමයි. පසුව ඔවුන්ගේ ඡන්ද බලය අහෝසි කළ නිසා 1977 වන තෙක් ඔවුන්ට මහා මැතිවරණ හෝ අනෙකුත් මැතිවරණ සඳහා තරග කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.

1952 වැනි මහා මැතිවරණය,

1952 මහා මැතිවරණයේදී 1947 පැවති තත්ත්වය වෙනස් වුණා. එහිදී ඉන්දියානු වතු කම්කරුවන්ට ඡන්ද බලය හිමිවීමත්, ඩී.එස්. සේනානායක මහතාගේ හදිසි අභාවයත් සමග අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මෙලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ වාසිය සම්පූර්ණයෙන්ම හිමිවූයේ ඩඩ්ලි සේනානායකටය. එයට හේතුව වූයේ ජනතාවගේ ප්‍රසාදයත් වගේම අනුකම්පාවත් ඩඩ්ලි සේනානායකට හිමිවීමයි. මෙනිසා ඔහු දෙවැනි මහා මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් අසූඑක් දෙනෙකු ඉදිරිපත් කර ඔවුන්ගෙන් පනස් හතර දෙනෙකු ජයග්‍රහණය කොට මුළු ඡන්ද දස ලක්ෂ විසිහය දහස් පහක් ලැබුණි. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිට වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 48කට අපේක්ෂයන් ඉදිරිපත්කොට ආසන 9ක් ජයග්‍රහණය කළේ ඡන්ද තුන් ලක්ෂ හැට එක් දහස් දෙසිය පනහක් දිනා ගනිමින්.

මේ අතර ලංකා සමසමාජ පක්ෂය ආසන නමයක් දිනා ගත්තේ ඡන්ද තුන් ලක්ෂ පන්දහස් එකසිය තිස්තුනක් ලබා ගෙනය. මිට අමතරව කොමියුනිස්ට් හා විප්ලවකාරි සම සමාජ පක්ෂ ආසන හතරක්ද ඡන්ද එක්ලක්ෂ තිස් හතර දහස් පන්සීය විසි අටක්ද, ද්‍රවිඩ සංගමය ආසන 4ක් ඡන්ද හැට හතර දහස් පන්සීය දොළහක්, පෙඩරල් පක්ෂය ආසන 2ක් දිනා ඡන්ද හතළිස් පන්දහස් තුන්සිය තිස් එකක්ද ලබා ගෙන තිබුණා.

කම්කරු පක්ෂය ආසන 1ක්, සමූහ ආණ්ඩු පක්ෂය ආසන 1ක් ස්වාධීන අපේක්ෂකයන් අසූපස් දෙනෙක් ඉදිරිපත් වී ආසන 11ක් දිනාගෙන තිබුණා.

1956 වැනි මහා මැතිවරණය,

1956 තුන් වැනි මහා මැතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ නොසිතූ විරූ වෙනස්කම් රාශියක් සටහන් කළ මැතිවරණයක්. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය හරහා දේශපාලනයට පිවිසි කෝඩුකාරයන් ඉදිරියේ දැවැන්තයින්ට පරාජය වැලඳ ගැනීමට සිදුවුණා. ඒ දැවැන්තයින් වූයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂයයි. ඔවුන් දණ ගැස්වූ ශ්‍රීලනිපයේ නිර්මාතෘවරයන් වන්නේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක, එච්.ශ්‍රී නිශ්ශංක සහ ඩී.ඒ.රාජපක්ෂ යන තිදෙනාය.

මේ කාලවලදී සිදුවූයේ සමාජ විප්ලවයකටත් වඩා ඉහල ගිය තත්ත්වයක්. ඒ කාලයේ ඩඩ්ලි. සේනානායක මහතා පෞද්ගලික හේතුවක් මත දේශපාලනයෙන් ඉවත්ව විශ්‍රාම සුවයෙන් කාලය ගත කළා. එහිදී බලයට පැමිණි සර් ජෝන් කොතලාවල පිළිබඳව රටේ ජනතාවට තිබුණේ අකමැත්තක්. ඔහු දේශීයත්වය නොතකන බටහිරට ගැති පුද්ගලයකු වීම නිසා බොහෝදෙනාගේ අපකීර්තියට ඔහු ලක්වුණා.

මේ අවධියේදී හාල් මිල අහස උසට නැග්ගා. එපමණක් නොව විවිධ පාර්ශ්වයන් ඔහුට විරුද්ධව උද්ඝෝෂණ කිරීමටත් පටන් ගත්තා. ඔහුගේ දරදඬු පාලනයෙන් බේරෙන්න ජනතාව කෝඩුකාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ප්‍රකාශ කළා.

මෙවැනි හේතු කාරනා නිසා ජනතාවට සිංහල බෞද්ධකම අගයන පාලකයෙක්ගේ අවශ්‍යතාව නිසා එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ඇතුළු තවත් ජන නායකයන් තිදෙනෙකු විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමට පෙලඹුනා. මෙයත් තවත් මැතිවරණ ප්‍රවණතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මේ මැතිවරණයේදී භාෂාව ප්‍රධාන තේමාව කරගත් බණ්ඩාරනායක තරග කළ ශ්‍රී.ල.නි.ප ය, පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂය හා ඩබ්ලියු. දහනායකගේ භාෂා පෙරමුණ එකතු කොට තනාගත් මහජන එක්සත් පෙරමුණ ආසන 51 ක් දිනා ගැනීමට සමත්වුණා. නමුත්, එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ ආසන 8ක් පමණි. ලංකා සම සමාජ පක්ෂය ආසන 14ක්ද, ෆෙඩරල් පක්ෂයට ආසන 10 ක්ද එදා හිමිවුණා. මේ අතර කොමියුනිස්ට් පක්ෂය ආසන තුනක් ලබා ගන්නා විට දෙමළ කොංග්‍රසයට ලැබුණේ එක් ආසනයක් පමණි.

1960 මහා මැතිවරණය,

ශ්‍රී ලංකාවේ එක් දිනයක් තුළ පවත්වනු ලැබූ ප්‍රථම මැතිවරණය වූයේ 1960 පැවැත්වූ මහ මැතිවරණයයි. මෙහිදී බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව පැවැත්වූ මෙම මැතිවරණයට මහජන එක්සත් පෙරමුණ සමග සිටි පක්ෂ බෙදීයාම මේ මැතිවරණයේදී සිදු වූ ප්‍රමුඛම සිදුවීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමත්, දහනායකගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනමත් පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ වෙනමත් මෙම මැතිවරණයට තරග කළා. මේ නිසාම මෙම මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට වැඩි බලයක් අත් වුණේ නෑ. මේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 50ක් ද. ශ්‍රී.ල.නි.ප ආසන 46ක් ද දිනා ගැනීමට හැකිවිය.

නමුත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවත් රාජාසන කතාවේදී ආණ්ඩුව පරාජයට පත්වී ආණ්ඩුව විසුරුවා හැර 1960 ජූලි මාසයට නැවත මැතිවරණයක් කැඳවූවා. 1960 මාර්තු මැතිවරණයේදී එවකට අගමැතිව සිටි දහනායක ගාල්ලෙන් පරාජයට පත් වුණා. මෙය අගමැතිවරයෙක් පරාජයට පත් වූ ප්‍රථම මැතිවරණය ලෙසත් හඳුන්වන්න පුළුවන්.

1965 වැනි මහා මැතිවරණය,

1965 මැතිවරණය පැවැත්වීමට හේතු වූයේ 1960 ජූලි මාසයේ පැවැත්වූ මැතිවරණයෙන් බලය පිහිට වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ රාජාසන කතා විවාදයේ දී 1964 දෙසැම්බර් 03 වැනිදා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී විජයානන්ද දහනායක රාජාසන කතා ස්තුති යෝජනාවට සංශෝධනයක් ගෙන ඒම නිසාය. එහිදී සංශෝධනයට පක්ෂව ඡන්ද 74ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ 73කි. සංශෝධනය එක් වැඩි ඡන්දයකින් ජය ගැනීමෙන් ආණ්ඩුව පරාජය වූ නිසා 1964 දෙසැම්බර් 17 වැනිදා ආණ්ඩුව විසුරුවා හැරිණි.

මෙම මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂ දහතුනක් තරග වැදුණා. එක්සත් ජාතික පක්ෂයට ආසන හැටහයක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හතලිස් එකක්ද, ෆෙඩරල් පක්ෂය දාහතරක්ද, ලංකා සම සමාජ පක්ෂය ආසන දහයක්ද, ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය හා ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඒකාබද්ධ ආසන පහක්ද, කොමියුනිස්ට් පක්ෂය ආසන හතරක්ද, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය ආසන තුනක්ද, මහජන එක්සත් පෙරමුණ හා ජාතික විමුක්ති පෙරමුණ ආසනය බැගින්ද, ස්වාධින ආසන හයක් වශයෙන් දේශපාලන පක්ෂ අතර ආසන බෙදී ගියා.

මේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගත්ත ද බහුතර බලයක් ඔවුන්ට හිමි නොවීය. එහෙත් එහි නායක ඩඩ්ලි සේනානායක පක්ෂ කීපයක සහාය ඇතිව සභාග රජයක් පිහිටුවා එයට පක්ෂ හතක් එක් වූ අතර එය හැඳින්වූයේ හත් හවුල් නමිනි.

මේ පක්ෂ හත වන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික විමුක්ති පෙරමුණ, පෙඩරල් පක්ෂය හා ද්‍රවිඩ සංගමයයි.

ඩඩ්ලි සේනානායක සභාග ආණ්ඩුවට පෙඩරල් පක්ෂය හා ද්‍රවිඩ සංගමය වැනි දෙමළ පක්ෂ මෙන්ම සිංහල ජාතිකවාදය නියෝජනය කරන ජාතික විමුක්ති පෙරමුණ ද එක්වී ය. එසේම වාමාංශික නායකයකු වූ පිලිප් ගුණවර්ධන ද එක්සත් ජාතික පක්ෂයේ ඩඩ්ලි සේනානායක සමග එක්විය.

1970 මහා මැතිවරණය,

ශ්‍රී ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය 1970 මැයි මස 27 වැනි දින පවත්වනු ලැබුවා. මෙම මැතිවරණයේ දී නිතරග ගිවිසුමක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂය එක්ව සමගි පෙරමුණ පිහිටුවා ගත්තා. මේ මැතිවරණයෙන් සමගි පෙරමුණට මන්ත්‍රීධුර 116 ක් දිනා ගත අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ මන්ත්‍රීධූර 17 කි. මේ නිසා සමගි පෙරමුණ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීධුර ප්‍රමාණයක් හිමි දේශපාලන පක්ෂය විය.

1970 මහා මැතිවරණයෙන් බලයට පත්වෙන සිරිමාවෝ රජය එතෙක් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කර 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන්නා. එතෙක් සිලෝන් ලෙස භාවිතා වූ නම ශ්‍රී ලංකා ලෙස වෙනස් කරනු ලබනවා.

1977 මහා මැතිවරණය,

ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් 1977 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ හයෙන් පහක බලයක් හිමිකර ගන්නා අතර, එතෙක් විපක්ෂ නායකව සිටි ජේ. ආර්. ජයවර්ධන, අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනවා. පසුව 1972 ජනරජ ව්‍යවස්ථාව වෙනස් කර, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර විධායක ජනාධිපති ධුරයක් ඇති කරනවා. 1978 වසරේ දී එම ධුරයේ තමාම දිවුරුම් දෙනවා.

1989 මහා මැතිවරණය,

නමවන පාර්ලිමේන්තු මැතිවරණය 1989 පෙබරවාරි 15 දින පැවැත්තුවා. එවකට බලයෙහි සිටි එක්සත් ජාතික පක්ෂය විසින් ආසන 225 අතුරින් 125 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවෙහි බලය රැකගැනීමට සමත්වුණා. ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආසන 67 ක් දිනා ගැනීමට සමත් වුණා. ස්වාධීන කණ්ඩායම් ලෙසින් තරග වැදුනු දෙමළ සටන්කාමී කණ්ඩායමක් වූ ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය ආසන 13 ක් දිනා ගත් අතර දෙමළ දේශපාලන පක්ෂ වල සන්ධානයක් විසින් ආසන 10 ක් දිනා ගත්තා. කුඩා දේශපාලන පක්ෂ විසින් ඉතිරි ආසන 10 දිනා ගැනීමට හැකියාව ලැබුණා.

1994 මහා මැතිවරණය,

එම මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ කිහිපයක් එකතු වී පිහිටුවාගන්නා ලද පොදු ජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයේ වසර 17ක පාලන බලය නිමා කරමින් බලය සියතට ගනු ලබනවා.

මේ ආකාරයට එදා මහා මැතිවරණ වල විවිධ පක්ෂ විවිධ ලකුණු යටතේ තරග කර විවිධ ජයග්‍රහණයන් ලබා ගත්තා. මේවා බොහොමයකට හේතු සාධකය වූයේ එවකට පැවති රජයන් වල තිබූ අඩුපාඩුය. මේවාට එරෙහිව පෙළගැසුණු ජනතාව තමන්ට මේ මොහොතේ අවශ්‍ය ප්‍රවණතාවය සෙවීමට කටයුතු කළා. මේ සඳහා ඇති ළඟ නිදසුන වන්නේ 2019 පළාත් පාලන මැතිවරණයයි. එහිදී, එදා බණ්ඩාරනායකලා හැදූ කෝඩුකාර පක්ෂය මහා මැතිවරණයෙන් ජය ලැබුවා සේම මෙවර කෝඩුකාරයන් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්කරමින් පළාත් පාලන මැතිවරණය ඉහලින්ම ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

මෙහි ප්‍රවණතාවය වූයේ සුරක්ෂිත රටක් යන තේමාවයි. ඒ වෙනුවෙන් පෙළ ගැසුණු බලවේග ජනාධිපතිවරයත් මේ කෝඩුකාර පක්ෂයෙන් තරග කළ ගෝඨාභය රාජපක්ෂ ජනපති බවට පත් කළා.

මේ ආකාරයට මහා මැතිවරණ ජයග්‍රහණය කිරීමට සහ පරාජය වීමට පොදු මහජනයාගේ ඒ මොහොතේ පැනනැගෙන ප්‍රවණතාවයන් ඉතාමත් ප්‍රබල බව ඉහත මැතිවරණ දෙස බැලූවිට තේරුම් යන කරුණකි.

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයතිස්ස ද කොස්තා

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *