Press "Enter" to skip to content

නීති අධ්‍යාපනය / නීතිඥ වෘත්තිය ජාත්‍යන්තර පාසැල් වල උගත් ඉංග්‍රීසි  කතා කරන නාගරික ධනපති අතළොස්සකට සීමා කිරීමේ කුහක කුමන්ත්‍රණය පරාජය කරමු.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිතුමනි,

 

නීති අධ්‍යාපනය / නීතිඥ වෘත්තිය ජාත්‍යන්තර පාසැල් වල උගත් ඉංග්‍රීසි  කතා කරන නාගරික ධනපති අතළොස්සකට සීමා කිරීමේ කුහක කුමන්ත්‍රණය පරාජය කරමු.

 

ගෝඨාභය රජයේ අධිකරණ ඇමතිව සිටි අලි සබ්රි මහතා ඇමති ධුරයට පත් වීමෙන් පසු නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා මුලින්ම ගෙනෙන ලද යෝජනා වලින් එකක් වූයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීම ය. ඒ අනුව  ඒ සඳහා වූ යෝජනාව අනුමැතිය පිණිස නීති අධ්‍යාපන මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද බව වාර්තා විය. ඊට එරෙහිව නොයෙකුත් විවේචන සමාජ මාධ්‍යයන්හි පළවූ නමුත් එවක රටේ පැවති වාතාවරණය අනුව එම මාතෘකාව කතාබහකට ලක් නොවීය. වසර දෙකක පමණ නිහැඬියාවකින් පසු අදාල තීන්දුව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බැව් වාර්තා විය. එනම් අලි සබ්රි මහතාගේ පුද්ගලික යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා නීති අධ්‍යාපන සභාව ^Council of Legal Education) මගින් සකස් කර ඇති රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. එය මේ සතිය තුල   පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් වනු ඇත.

 

1974 සිට අවුරුදු 49 ක් තිස්සේ මේ රටේ නීතිය හදාරන පුද්ගලයන්ට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන තමන් දන්නා ඕනෑම භාෂාවකින්  විශේෂයෙන්ම තමාගේ මව් භාෂාවෙන් නීතිය හැදෑරීමටත් නීති විද්‍යාලයේ සියලු විභාග වලට පෙනී සිටීමටත් අවස්ථාව හා අයිතිය ලැබී තිබුණි. 1974 දී මේ රටේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කොට රට පුරා උසාවි පිහිටුවන ලද අතර ගම්බද පාසැල්වල සිංහල හෝ දෙමළ බසින් අධ්‍යාපනය ලත් දහස් ගණන් ගැමි දරුවන්ට නීතිඥ වෘත්තියට බැඳී තම ගම් පලාත්වල කටයුතු කිරීමේ අවස්ථාව උදා විය. 1979 දී සරසවි නීති පීඨයේද සිංහල හා දෙමළ මාධ්‍යයෙන් දේශන පැවැත්වීම ආරම්භ කරන ලදී.

 

පුරා වසර 50 කට ආසන්න කාලයක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පැවැත්වූ නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීමට හදිසියේ තීරණය කිරීමට හේතුව කුමක්ද? මේ ඉල්ලීම නීතිඥ ප්‍රජාවෙන්, නීති විද්‍යාල ගුරු මණ්ඩලයෙන්, සරසවි නීති පීඨවලින්, අධිකරණ විනිසුරුවරුන්ගේ සංවිධානයෙන් හෝ නීති සිසුන් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් නොවේ. කෙසේ වෙතත් නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීම සඳහා වූ යෝජනාව රහසිගතව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥසංගමය විසින් බව පසුව එළිදරව් විය. එයද නීතිඥ සංගමයේ විධායක කමිටුවේ සිටින පලාත්බද නියෝජිතයින් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවද හෙළිදරව් වී ඇත. එය නීතිඥ සංගමයේ සභාපති හා ලේකම් ඇතුලු කොළඹ සිටින කිහිප දෙනෙකුගේ යෝජනාවකි.

 

ඊට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හා ලේකම් නීති අධ්‍යාපන සභාවේ සාමාජිකත්වය දරති. එසේම මෙම යෝජනාව නීති අධ්‍යාපන සභාව වෙත ඉදිරිපත් කළ හිටපු අධිකරණ ඇමති අලි සබ්රි ඇමති ධුරයට පත්වනතෙක් ම බොහෝ කලක් නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැනට සිටින සභාපතිවරයා බොහෝ කලක් තිස්සේ ඉංග්‍රිසි මාධ්‍යයෙන් නීති විද්‍යාල ප්‍රවේශ පන්ති පවත්වන අතර, ඔහු ලන්ඩන් එල්.එල්.බී උපාධිය කරන ජාත්‍යන්තර පාසැල් සිසුන් සඳහා ද වෙනම නීති විද්‍යාල ප්‍රවේශ පන්ති පවත්වයි. එම නිසා එම නිලතල දරණ පුද්ගලයින්ට මෙම තීන්දුවට අදාලව පක්ෂපාතීව කටයුතු කිරීමේ හැකියාව සහ උවමනාව තිබෙන බව පැහැදිළිවේ. විශේෂයෙන්ම නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි බසින් පමණක්

 

පවත්වන විට ජාත්‍යන්තර පාසැල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ධනවත් පවුල්වල දරුවන්ට නීති විද්‍යාල ප්‍රවේශයේදී හා නීති විද්‍යාලය තුළදී වැඩි ඉඩකඩක් ලැබෙන බවට සැකයක් නැත. මෙමගින් ධනවත් පවුල්වල දරුවන් සඳහා පන්ති පවත්වන ව්‍යාපාරික ප්‍රජාවට වැඩි ආදායමක් ඉපයිය හැකිවනු ඇත.

 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුනි,

 

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීමට ඉඩකඩ සැලැස්වීම සඳහා ගෙන එන මෙම රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත් එහි අනීවාර්ය ප්‍රතිඵලය වන්නේ 1956 ජනතා ජයග්‍රහණයෙන් පසුව බිඳ වැටුනු බමුණු කුලය නැවත රජ වීමයි. ඒ මගින් සිදුවන්නේ නිසි ඉංග්‍රීසි දැනුමක් ලබා ගැනීමේ පහසුකම් නොමැති, ගම්බද පාසැල් වලින් සරසවි නීති පීඨ වලට ඇතුළත්ව නීති උපාධිය ලබා ගන්නා වූ හෝ  නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරීමට බලාපොරොත්තු වන්නා වූ, සිංහල හෝ දෙමළ බසින් අධ්‍යාපනය හදාරා ඇති, සාමාන්‍ය පවුල්වල දරුවන්ට නීතිඥ වෘත්තියේ දොරටු මුලුුමනින් ම වැසී යාමයි. ඒ මගින් ඔවුන්ගේ භාෂා අයිතිය අහිමි කෙරන අතර රටේ ව්‍යවස්ථාවද උල්ලංගණය වේ. අවසානයේදී අපේ රටේ නීතිඥ වෘත්තිය, නීති ක්ෂේත්‍රය හා අධිකරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර පාසැල්වලින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරා ඇති, මේ රටේ ඉතිහාසය, සදාචාරය හා සංස්කෘතිය ගැන කිසිදු දැනීමක් හෝ හැඟීමක් නැති, එංගලන්තයේ නීතිය මේ රටේ නීතිය යයි සිතන, ඔවුන්ගේ සංස්කෘතිය ලෝකයේ හොඳම සංස්කෘතිය සේ සළකන සහ දේශීය දේට ගරහන පිරිසක් අතට පත්වනු ඇත.

 

මේ රෙගුලාසි සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි ය. පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා අවශ්‍ය අවම ගණපූරණය වන මන්ත්‍රීවරන් 21 දෙනෙකු ගෙන් 11 දෙනෙකු පක්ෂව ඡන්දය දී 10 දෙනෙකු විපක්ෂව ඡන්දය දී එය සම්මත වුවහොත් මේ රෙගුලාසි ක්‍රියාත්මක වේ.  ඒ නිසා පාර්ලිමේන්තුවට නොපැමිණ සිටීමෙන් මෙය සම්මතවීම වැළැක්විය නොහැකි ය. මෙය සම්මතවීම වැළැක්විය හැක්කේ ඊට අදාලව ඡන්දය විමසන දිනයේ නොවරදවාම පාර්ලිමේන්තුවට පැමිණ ඊට විරුද්ධව ඡන්දය දීමෙන් පමණකි. මේ රෙගුලාසි ගැන ඡන්දය විමසන දිනයේ නොවරදවාම පාර්ලිමේන්තුවට පැමිණ ඊට විරුද්ධව ඡන්දය දෙන ලෙස මේ රට හා ජනතාව ගැන ආදරයක් ඇති සියලු මන්ත්‍රීවරුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. එසේම අර්බුද රාශියකට මුහුණ දෙමින් සිටින රටක නව ගැටුම් සහ අර්බුද නිර්මාණය කිරීමට දායක නොවන ලෙස ද අවධාරණය කිරීමට කැමැත්තෙමු.

 

මේ වගට,

ආචාර්ය ගුණදාස අමරසේකර

කැඳවුම්කරු

ජාතික සංවිධාන එකමුතුව

 

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *