Press "Enter" to skip to content

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදී වෙන්වීමේ අනතුර පිළිබඳව සහ එය වැළැක්වීම සඳහා මහා සංඝරත්නය සතු ඓතිහාසික භූමිකාව දෙපා නැමඳ සිහිපත් කිරීම

අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්ස,

 

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදී වෙන්වීමේ අනතුර පිළිබඳව සහ එය වැළැක්වීම සඳහා මහා සංඝරත්නය සතු ඓතිහාසික භූමිකාව දෙපා නැමඳ සිහිපත් කිරීම

 

ගෞරවණීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඉතා හොඳින් ම දන්නා පරිදි මේ වන විට ශ‍්‍රී ලංකාවේ පැන නැගී ඇති ආපදා තත්ත්වය තුළ රටේ බහුතර ජනතාව තමා එදිනෙදා මුහුණ දෙමින් සිටින ගැටලූ පිළිබඳව මිස දීර්ඝකාලීනව රටට සහ ජාතියට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත ඉරණම පිළිබඳව අවබෝධයකින් කටයුතු නොකරති. එසේම දේශපාලන පක්ෂ ද මැතිවරණයේදී බලය පෙන්වීමට උත්සාහ කිරීම මිස ආණ්ඩුවට සහ මහජනතාවට සබුද්ධිකව අර්බුදයට මුහුණදීම සඳහා මගපෙන්වීමක් ලබාදෙන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ ජනවරමක් නොමැතිව ජනාධිපති පුටුවේ වාඩි වීමට වරම් ලද රනිල් වික‍්‍රමසිංහ මහතාට තමා 2002 සිට ආරම්භ කළ එහෙත් අවසන් කිරීමට නොහැකි වූ රට ෆෙඩරල්කරණය කිරීමේ ක‍්‍රියාවලිය අවසන් කිරීමට අවස්ථාවක් නිර්මාණය වී ඇත.

 

ඔහු මෙවර එම අවස්ථාව අත්හැරීමට සූදානම් නොමැති බව ඔහුගේ ක‍්‍රියා කලාපය සහ ප‍්‍රකාශ අනුව පැහැදිලි වේ. මෙරට කිසිදු පාලකයකුට සෘජුව ප‍්‍රකාශ කිරීමට ධෛර්යක් නොතිබුණ ද එතුමා විසින් තමා 13 සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බව විවෘතව ප‍්‍රකාශ කරනු ලැබීය. ඉන්දියාව සහ දෙමළ ඩයස්පෝරාව විසින් ඒ සඳහා බල කිරීම ඊට ප‍්‍රධාන හේතුවක් වූවා විය හැකි ය. විශේෂයෙන්ම ආපදා තත්ත්වය නිසා එසේ තීරණාත්මකව බලපෑම් කිරීමට සියලූ බෙදුම්වාදී බලවේගවලට අවස්ථාවක් ලැබී ඇත. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට අපගේ විශ්වාසය අනුව ඔහුට ඒ සඳහා වැඩි වශයෙන්ම ධෛර්යය ලැබෙන්නේ මහජනතාවගේ බිඳවැටීම නිසා පමණක් නොව ගෞරවණීය මහා සංඝරත්නයට ද විවිධ මානසික බාධක පමුණුවා නිහ`ඩ කිරීමට හැකි වී ඇති නිසාය.
මීට පෙර විවිධ අනතුරුදායක සන්ධිස්ථානවල දී, විශේෂයෙන්ම,

 

1. 2000 වසරේදී රට පෙඩරල් කිරීම සඳහා ව්‍යවස්ථා පැකේජයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී,

 

2. 2002 දී සටන් විරාම ගිවිසුමක් අත්සන් කර ඔස්ලෝ ගිවිසුම හරහා උතුරු නැගෙනහිර තාවකාලික ආණ්ඩුව පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේදී,

 

3. 2004 දී සුනාමි ආපදාව යොදා ගනිමින් එම තාවකාලික ආණ්ඩුව සුනාමි සහන මණ්ඩලය නමින් පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේ දී,

 

4. 2013 සිංගප්පූරු එකගතාව අනුව 2015 – 2018 කාලයේ දී බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන සකස් කරන අවස්ථාවේදී,

 

ආදි වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අගමැතිවරයා ලෙස බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ක‍්‍රියා කරන විට ඊට එරෙහිව රටේ බහුතර ජනතාවගේ සහ මහා සංඝරත්නයේ විරෝධය පැන නැගුණි. එම අවස්ථාවලදී ඔබ වහන්සේලා විසින් සෘජුව පාලකයන්ට කරුණු දැක්වීම නිසා එම අනතුරුදායක ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට සිදුවිය. ඉතිහාසය පුරා සිදුවූ ආකාරයට ඔබ වහන්සේලා විසින් තම ඓතිහාසික භූමිකාව නොපැකිලව ඉටුකළ බැවින් එම අනතුරුදායක අවස්ථා පියමන් කිරීමට අප ජාතියට අවස්ථාව ලැබුණි.

 

එම අවස්ථාවලදී පාලකයන්ට බාහිර බලපෑම් තිබුණද ඔබ ඔබවහන්සේලාගේ ඍජු ප‍්‍රකාශ මගින් ඔවුන්ට මානසික බාධක පැනවුණි. අද වන විට මහා සංඝරත්නය වෙත මානසික බාධක පැනවීමට, එනම් ඓතිහාසික තත්ත්වය කණපිට පෙරළීමට,පාලකයනටහැකිවී ඇති බව පැහැදිලිව දැකගත හැකි ය. එපමණක් නොව ඔබ වහන්සේලාගේ ඓතිහාසික ජාතික භූමිකාව අවතක්සේරු කරන පිරිස් සඳහන් කරන්නේ ජාතිකවාදී බලවේග ඉතිහාසය පුරාම කොටියා එන බවට හඬ නැගුවත් කොටියා පැමිණියේ නැති බවය. එනම්, 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමක් සිදු නොවූ බව ය. එය සමාන කළ හැක්කේ අහිංසක ගම් වැසියන් ගිනිමැල ගසා, රතිඤ්ඤා පත්තු කර, කෑ කෝ ගසා වන අලියා පැන්නූ පසුව වනජීවී නිලධාරීන් ගමට පැමිණ අලියකු පැමිණියේ නැති බවට ගම්මුන්ට දොස් පැවරීම වැනි තත්ත්වයකට ය. එවැනි ප‍්‍රකාශ මගින් ඔවුන් උත්සාහ කරන්නේ මෙවර ද ‘‘කවුරු මොනවා කිව්වත් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටු නොවේ’’ යනුවෙන් තත්ත්වයේ බරපතලකම සැඟවීමට ය. නමුත් මෙවර ඉහත සඳහන් කළ තත්ත්වයන් තුළ ජාතිය කොටියාට ගොදුරු වීමේ අනතුර සැබෑවක් බව සහ එම තත්ත්වය ඉතා බරපතල බව ඉතා කෙටි කලකින් වැටහෙනු ඇත.

 

ඔබ වහන්සේලා ඉතා හොඳින් දන්නා පරිදි 1987 දී ඉන්දු ඉන්දු-ලංකා ගිවිසුම අනුව 13 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව බෙදුම්වාදීන් තවදුරටත් සටන් කරනු ලැබුුවේ එය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන ලෙස ඉල්ලමිනි. එදා ඉන්දියානු නිලධාරීන් එම ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථාවට ඇතුළත් නොකර රට එකවරම සම්පූර්ණයෙන්ම පෙඩරල් කිරීමට උත්සාහ කළ ද ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බැවින් යම් බාධක පැනවීමට සිදු විය. එදා රටේ පැවති බරපතල විරෝධය නිසා ජනමත විචාරණයක් පැවැත්වීමේ හැකියාවක් නොතිබුණි. ඒ අනුව ඉන්දියාව ප‍්‍රමුඛ රට බෙදා වෙන් කිරීමේ භූ දේශපාලන උවමනාව සහිත බලවේග 13 බලාත්මක කිරීම දෙවැනි වටයක දී සිදු කිරීම සඳහා සැලසුම් සකස් කරනු ලැබූ බව ඉතා පැහැදිලි ය. ඒ සඳහා ආණ්ඩුවට බල කිරීමට ආයුධ බලය යොදා ගත්තද බෙදුම්වාදය යුද්ධය පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ කේවල් කිරීමේ බලය අවසන් විය. ඉන් පසුව ඔවුන් ආයුධ වෙනුවට යුද අපරාධ හෙවත් මානව හිමිකම් කෙවිට යොදාගනිමින් ජාත්‍යන්තර ක‍්‍රියාන්විතයක් ආරම්භ කළ ද ඉහත සඳහන් කළ ආකාරයට සෑම විටම මහා සංඝරත්නය රට හා සම්බුද්ධ ශාසනය බේරාගැනීමට නොපැකිලිව ඉදිරිපත් වූ බැවින් බෙදුම්වාදී බලවේගවලට පරාජය භාර ගැනීමට සිදුවිය.

 

ගෞරවණීය ස්වාමීන්ද‍්‍රයන් වහන්ස,

 

අප ඉහත සඳහන් කළ ආකාරයට මහජනතාව දුර්මුඛ වී ඇති තත්ත්වයක් යටතේ මහා සංඝරත්නය තම ඓතිහාසික භූමිකාව ඉටු කිරීමට අසමත් වුවහොත් ආපසු හැරවිය නොහැකි සංධිස්ථානයකට රට ගමන් කරන බව ඉතා පැහැදිලිය. ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය පරිපාලන වශයෙන් සම්පූර්ණයෙන්ම බලාත්මක කළහොත් දේශීය සහ විදේශීය නඩු තීන්දු, අභිනවයෙන් පිහිටුවීමට යෝජිත සත්‍ය සෙවීමේ කොමිසම ආදිය යොදාගනිමින් ජාත්‍යන්තර බලවේගවලට රට බෙදා වෙන් කිරීමේ අවස්ථාව නිර්මාණය වනු ඇත. පවතින තත්ත්වය තුළ13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ ඊට එරෙහි වන ජනාධිපතිවරයකු බලයේ සිටින්නේ නම් පමණි. ජනාධිපතිවරයා ඊට එකග නම් අදාළ ක‍්‍රියාවලිය පරිපාලන වශයෙන් සම්පූර්ණ කළ හැකි ය. උදාහරණයක් ලෙස මහ ඇමතිවරයාට යටත් කළ හැකි ආණ්ඩුකාරවරයකු පත් කිරීම මගින් ඉඩම් ප‍්‍රඥප්ති, පොලිස් ප‍්‍රඥප්ති, මහ ඇමති අරමුදල් ප‍්‍රඥප්ති ආදි වශයෙන් පූර්ණ ෆෙඩරල් පාලනයකට අවශ්‍ය වන නීති සම්පාදනය කිරීමේ හැකියාව ලැබේ.

 

ඒ ආකාරයට 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව ඉතා කෙටි කලකදී රට බෙදීමේ ක‍්‍රියාවලිය අවසන් වන්නේ සුඩානය මෙන් ජාතියක් ලෙස එකිනෙකා මරාගන්නා තත්ත්වයක් නිර්මාණය කිරීමෙන් බවට ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත. එවැනි තත්ත්වයක් තුළ අප රට දාස රාජ්‍යයක් බවට පත්වී ශ‍්‍රී ලංකාව නමැති රාජ්‍යය ඉතිහාසයෙන් මැකී යන බවද ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත. එම ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිඵලය සම්බුද්ධ ශාසනය ද ඉතිහාසයේ කිසිදුකාලයක සිදු නොවූ ආකාරයට බරපතල ලෙස බිඳ වැටීම බවද ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත. ඒ මහා විපතින් රට ගලවාගැනීම සඳහා නොපැකිලිව ඉදිරිපත් වී පාලකයන්ට කරුණු දැක්වීම ඔබවහන්සේලාට ඓතිහාසිකව පැවරී ඇති වගකීමක් බව දෙපා නැමඳ ගෞරවයෙන් සිහිපත් කරමු.

ඒ අනුව විශේෂයෙන්ම හේතු දෙකක් මත මෙම අවස්ථාවේදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා වන කිසිදු පියවරක් නොගත යුතු බවට අවධාරණ කිරීමේ හැකියාව ඇත.

 

1. රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නියෝජනය කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනවරම වන බැවින් සහ එම ජනවරම අනුව නව ව්‍යවස්ථාවක් මගින් බෙදුම්වාදයට ගොදුරු නොවන ලෙස විධායක බලතල පමණක් විමධ්‍යගත කළ යුතුවේ. එබැවින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට තමාගේ පුද්ගලික උවමනාවක් හෝ බලයට ඒම සඳහා ලබා දුන් යම් පොරොන්දුවක් හෝ නැවත බලය ලබාගැනීම සඳහා ඡුන්දය ලබාගැනීමේ බලාපොරොත්තුව මත 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමසඳහා ජනවරමක් ලැබී නැත.

 

2. එම නිසා එතුමා විසින් උත්සාහ කරන ආකාරයට පළාත් සභා මැතිවරණය පවත්වා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට අවශ්‍යනම් එතුමා විසින් නව ජනවරමක් ලබා ගත යුතුය. (ඒ සඳහා ජනමත විචාරණයක් හෝ ඉදිරි ජනාධිපතිවරණය යොදාගැනීමේ හැකියාව ඇත.

ඊට අමතරව විශේෂයෙන්ම දැන් වසර තුනකට අධික කාලයක් පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම මගින් විශේෂිත අර්බුදයක් පැන නැගී නොමැති තත්ත්වයක් යටතේ සමස්ත රට මුහුණ දෙන මහා අර්බුදය විසඳීමෙන් පසුව බලය බෙදීම හෝ විමධ්‍යගත කිරීම යන සංකල්පය පිළිබඳව මහජන සංවාදයක් ආරම්භ කිරීමේ හැකියාව ඇත. ඉන් පසුව මහජනයාගේ කැමැත්ත විමසා බැලීම වඩා සාධාරණ වේ.

 

එම නිසා ඔබ වහන්සේලාට ඓතිහාසිකව පැවරී ඇති භූමිකාව ඉටු කිරීම මගින්, එනම් පාලකයන්ට ඍජුව කරුණු දැක්වීම මගින් බෙදුම්වාදී අනතුරින් රට ගලවාගන්නා ලෙස ගෞරවපූර්වකව දෙපා නැමඳ ඉල්ලා සිටිමු.

 

මේවගට,
ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු,

ජාතික සංවිධාන එකමුතුව

2023-01-27

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *