Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

international-news

ඉරානයේ මීළඟ නායකයා කවුද?; තෝරා ගන්නේ මෙහෙමයි

ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි එරට කඳුකර ප්‍රදේශයක ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව අද (20) තහවුරු විය.

 

ඒ අනුව එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් ඇතිවී තිබේ.

 

එරට ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ජනපතිවරයෙක් පත්කෙරෙයි. එම තනතුරට පත්කෙරෙන්නේ එරට මේ වනවිට “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා ය.

 

එම තනතුර මේ වනවිට දරනු ලබන්නේ 68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් ය. ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

 

ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් දින 50ක් තුළ නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතුය. එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණයේ ප්‍රධානියා ය.

 

 

 

 

ඉරාන ජනපති ජීවිතක්ෂයට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහින් ඇතුලු පිරිස හෙලිකොප්ටර අනතුරෙන් මියගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවී යළි පැමිණෙමින් සිටියදියි මෙලෙස ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය අනතුරට ලක්ව තිබුණේ.

 

ඉරාන ජනාධිපතිවරයා ගමන් කර ඇත්තේ ඇමරිකාවේ නිෂ්පාදිත බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් වන අතර, එම අවස්ථාවේ අධික මීදුම සහ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එය කඳුකර ප්‍රදේශයකට හදිසියේ ගොඩබැස්සවීමට උත්සහ කර තිබෙනවා.

 

එහිදී හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

අතුරු ආබාධවලට ලක්වුණු බව තහවුරු වූ ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍රතිශත්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බව තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වා ගැනීමට ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගෙන ඇත.

 

ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ‘සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල් වෙමිනි. මෙම එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද ‘කොවිෂීල්ඩ්’ එන්නත්ය.

 

ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වුණු බවත් මේ වනවිට අධිකරණය හමුවේ තහවුරු වී ඇත.

 

 

න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් උඩයන්න ඇමෙරිකා ජනපතිට යානයක්

න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ඉහළ අහසේ සිට ඇමෙරිකාවට නායකත්වය ලබා දීමට එරට ජනාධිපතිවරයාට හැකියාව ලබා දෙන නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් ඉදිකිරීමට ඇමෙරිකා ඩොලර් කෝටි 1300 ක කොන්ත්‍රාත්තුවක් සියේරා නෙවාඩා සමාගමට ලබා දීමට කටයුතු කළ බව එරට ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.

 

කොලොරාඩෝ ප්‍රාන්තයේ සියේරා නෙවාඩා සමාගමට අයත් කර්මාන්ත ශාලාවේදී මෙම ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනු ඇති බවත් 2036 වසරේදී මෙම ගුවන් යානය නිපදවා අවසන් වනු ඇති බවත් ඇමෙරිකානු ගුවන් හමුදාව පැවැසුවේය.

 

දැන් තිබෙන ඩූම්ස් ඩේ ගුවන් යානය 1970 වසරේදී නිපදවූ වූ එකක් වීම හේතුවෙන් එහි ආයු කාලය අවසන් වෙමින් පවතින බැවින් නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් නිපදවීම සඳහා කොන්ත්‍රාත්තුව සියේරා නෙවාඩා සමාගමට ලබා දුන් බව ඇමෙරිකානු ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.

 

 

චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

අමෙරිකානු විදෙස් ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා මේ වනවිට චීනයේ සංචාරය කරයි.

 

එහිදී ඔහු චීනයේ ප්‍රධාන පෙළේ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

ඔහු අද (26) චීන විදෙස් අමාත්‍ය වැන්ග් යී සමග බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වීය.

 

එහිදී වැන්ග් යී පවසා ඇත්තේ චීනය සහ අමෙරිකාවට “ස්ථායිතාව සහ කඩා වැටීම” යන කාරණා දෙකෙන් එකක් තෝරා ගැනීමට අවස්ථාව ඇති බවයි.

 

මෙය බ්ලින්කන් වසරක් තුළ චීනය ට පැමිණි දෙවැනි අවස්ථාව වෙයි.  ගැටලු මතුවී ඇති දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් වෙයි.

විශේෂයෙන් ම චීනය විසින් රුසියාවට සහාය දැක්වීම මෙන්ම දකුණු චීන මුහුදේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ තායිවානය ට එරෙහිව මතු කෙරෙන ආක්‍රමණශීලීත්වය ඒ අතර ඇති ප්‍රමුඛ ගැටලු වෙයි.

 

 

ඉන්දියානු පුරවැසියන් 66,000 කට අමෙරිකානු පුරවැසිභාවය

ඉන්දියානු පුරවැසියන් 66,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු පුරවැසිභාවය ලබා දී ඇති බව වාර්තා වේ.

 

අමෙරිකානු ප්‍රජා සමීක්ෂණ දත්ත වාර්තාවකට අනුව එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

 

ඒ අනුව ඉන්දියානුවන් 65,960 දෙනෙකු නිල වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් බවට 2022 වසරේ දී පත්ව ඇත.

 

එම වර්ෂයේ දී මිලියන 46ක විදේශිකයන් පිරිසක් එක්සත් ජනපදයේ වාසය කර ඇති බව ඇස්තමේන්තු කර ඇති අතර එය මිලියන 333 ක් වූ සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 14 %ක් වන බව ද වාර්තා වේ.

 

 

තායිවානයේ භූ කම්පන වැලක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

එම භූ කම්පනයත් සමග තවත් භූ කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් ඇති වූ අතර සමහරක් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවීමට හේතු වූ බව එ රට කාලගුණ පරිපාලනය අංශය පවසයි.

 

එම භූමිකම්පා ග්‍රාමීය නැගෙනහිර ප්‍රාන්තයේ හුආලියන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන සිදුව  ඇත.

 

පසුගිය  අප්‍රේල් 3 වන දින 7.2 ක කම්පනයකින් පසු අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙක් මිය ගියහ.

 

එතැන් සිට තායිවානය පසු කම්පන සිය ගණනක් වාර්තා වී ඇත.

 

 

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ගිනි තබාගෙන ඇත්තේ ෆ්ලොරිඩාහි පදිංචි මැක්ස් අසරෙල්ලෝ නැමැති පුද්ගලයෙකු බව නිව් යෝර්ක් පොලිසිය ප්‍රකාශ කළේය.

 

ගිනි තබා ගැනීම හේතුවෙන් අසරෙල්ලෝ බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව නිව් යෝර්ක් පොලිසිය පැවසුවේය.

 

අසරෙල්ලෝ සිරුරට ගිනි තබා ගැනීමට ප්‍රථම තමන් සොයා ගත් කුමන්ත්‍රණයක තොරතුරු වෙත සියල්ලගේම අවධානය යොමු කිරීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට පෙළඹුණු බව පවසමින් අන්තර්ජාලය තුල සටහනක් තබා තිබිණි.

 

පසුව දැඩි ආරක්ෂාව යටතේ ට්‍රම්ප්ගේ නඩුව නිව් යෝර්ක් අධිකරණ සංකීරණයේ පහළොස් වැනි මහලේදී කැඳවූ අතර එහිදී නඩු විභාගය සඳහා අවශ්‍ය ජූරි සභිකයින් 18 දෙනා තෝරාපත් කරගෙන අවසන් කර ඇත.

 

එම ජූරි සභිකයින් 18 දෙනාට ස්ථිර ජූරි සභිකයින් 12 දෙනෙකු සහ අතිරේක ජූරි සභිකයන් සය දෙනෙකු ඇතුළත් වේ.

 

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල් සඳහා 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඩොලර් 130,000 මුදලක් ගෙවීම ඇතුළු එවකට සිදුවූ තවත් මුදල් ගනුදෙනු කිහිපයකට අදාළව අසත්‍ය ව්‍යාපාරික වාර්තා ගොනු කිරීම සම්බන්ධයෙන් චෝදනා 34 ක් යටතේ මෙම නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇත.

 

 

අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ඔහු පිහි ඇනුමට ලක්වන ආකාරය පිළිබඳ දැක්වෙන නිර්මාණය කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයේ සීඝ්‍රයෙන්  හුවමාරු වන බවත් එම වීඩියෝවේ අගරද ගුරුවරයා අල්තාරය මත දී පිහි ඇනුමට ලක්වන අයුරු දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු අගරදගුරුවරයාට සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට පිහියෙන් ඇන ඇති බවත් නිව් සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කළේය.

 

නමුත් පිහි ඇනුමට ලක්වූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසුවේය.

 

 

ඉරානය ඊශ්‍රායලයට පහර දෙයි…

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. බැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊශ්‍රායලය වහා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

 

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වෙද්දී, ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය, එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවත්, ගුවන් කලාපය වසා දැමීමට තීරණය කළ බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

 

තමන් ඊශ්‍රායලයට පහර දෙන බැවින්, ඊශ්‍රායලයේ මිතුරා ඇමෙරිකාව ‘පැත්තකට වී සිටියොත් හොඳයි’ යැයි ඉරානය ඇමෙරිකාවට ද තර්ජනය කර තිබුණි. ඉරානයේ එම තර්ජන මැද, ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස, ඇමෙරිකන් යුද නැව් ගල්ෆ් කලාපයට යැවීමට ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.

 

ඉරානය මෙසේ ඊශ්‍රායලයට පහර දීමට තීරණය කළේ, මීට දින කීපයකට පෙර, ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි ඉරනා කොන්සල් කාර්යාලය විනාශ වීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.