Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

local news

IMF කොන්දේසි ගණනාවක් තවත් ක්‍රියාත්මක කිරීමට තිබෙනවා – ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

එබැවින් රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

 

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට එක් විය.

 

අඩු ආදායම් ලාභී ජනතාව නගා සිටුවීමට රජය ආරම්භ කර ඇති අස්වැසුම, උරුමය ඇතුළු වැඩසටහන් පිළිබඳ මෙහිදී නව ග්‍රාම නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල අරමුණ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම බවත්, තම ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් එම වැඩසටහන් සමඟ සක්‍රීයව එක්වන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

 

“අද ග්‍රාම නිලධාරීවරුන් ලෙස පත්වීම් ලබන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද සිට ඔබ රාජ්‍ය සේවයේ සාර්ථක කොටස්කරුවන් බවට පත් වෙනවා. අප උත්සාහ කරන්නේ මේ රටේ සියලු ජනතාවගේ ජිවිත ගොඩනැංවීමටයි. එහි විශාල වගකීමක් රටේ මූලික පරිපාලන අංශය වන ග්‍රාම නිලධාරි කොට්ඨාසය ලෙස ඔබට පැවරෙනවා.

 

කඩා වැටීමට ලක්වූ මෙරට ආර්ථිකය අද සීග්‍රයෙන් දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප මේ වන විට ගිවිසුමකට එළැඹ තිබෙන අතර තවත් කොන්දේසි ගණනාවක් ක්‍රියාත්මක කිරීමට තිබෙනවා.

 

වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන්නේ ගම කේන්ද්‍ර කර ගනිමිනුයි. පසුගිය 2022, 2023 වසරේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට අපට හැකි වුණා. ඒ වගේම 2023 වසරේ මහ කන්නයේදී නැවත සාර්ථක අස්වැන්නක් ලැබුණා. මෙම දායකත්වය නිසා අද අපට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හැකියාව ලැබී තිබෙනවා.

 

මේ සමඟ අද ග්‍රාම නිලධාරි සේවයට 2100ක් බදවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අපට අවස්ථාව ලැබුණා. පරිපාලන කටයුතු පමණක් නොවෙයි ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළේ වගකීමත් ඔබට පැවරෙනවා.

 

විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු අංශ 04ක් පිළිබඳව මම මෙහිදී පෙන්වා දීමට මම කැමතියි.

 

අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීම වෙනුවෙන් රජය අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. සමෘද්ධිය මෙන් තුන් ගුණයක් වැඩිකර එම දීමනාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම ප්‍රතිලාභීන් පිළිබඳ තොරතුරු පරිගණක ගත කිරීම මේ වසර අවසන්වන විට නිමා කළ යුතුයි. එවිට ලබන වසරේ සිට මෙම වැඩසටහන මීට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වෙනවා. ඒ අනුව අස්වැසුම මඟින් ගමට ලබාදෙන සහන ප්‍රමාණය වැඩි වී තිබෙනවා වගේම ප්‍රතිලාභීන් ප්‍රමාණය ඉහළ නැංවිමට අප තීරණය කර තිබෙනවා.

 

ඒ වගේම මෙම ජනතාවගේ ආදායම් මාර්ගද ඉහළ නැංවීමට කටයුතු කළයුතුයි. එම ආදායම්ද ගමේ ආර්ථිකයට එක් වෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට පසුගිය අලුත් අවුරුදු සමයේ මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබා දීම ආරම්භ කළා. එමඟින් මෙම ජනතාවට තවත් සහනයක් ලැබෙනවා වගේම මෙම සහල් මිලදී ගනු ලැබුවේ කුඩා මෝල් හිමියන්ගෙන් බැවින් ඔවුන්ටද යම් සහනයක් ලැබී තිබෙනවා. මේ මුදල් සියල්ල හුවමාරු වන්නේ ගම තුළයි. ගම දියුණු කිරීමට නම් මෙම වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතුයි.

 

ඒ වගේම ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. මෙම ඉඩම් අයිතිය සමඟ ඔවුන්ගේ ආර්ථිකයේ විශාල වෙනසක් සිදු වෙනවා. මෙම ප්‍රතිලාභය හිමිවන්නේ ද ගමටයි.

 

එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගමේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. අතීතයේ රජ රට ප්‍රදේශයේ කාෂිකර්මන්තයෙන් සශ්‍රීකව පැවතුණා. දඹදෙණියේ සිට මහනුවර දක්වා තෙත් කලාපයේ කුරුදු ඇතුළු කුළු බඩු වගා කෙරුණු අතර එහි අපනයන ආර්ථිකයක් පැවතුණා. බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ, රබර්, පොල් අපනයනය කළා.

 

නැවත රටේ ආර්ථිකය දියුණු කිරීමට නම් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතුයි. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කෘෂි නවීකරණ කමිටු පත් කර ගොවීන් ඒකරාශී කර ගනිමින් පුද්ගලික අංශයේ ද දායකත්වයෙන් ගමේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අප ආරම්භ කර තිබෙනවා. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25ක් මේ සඳහා හඳුනාගෙන තිබෙන අතර මිලියන 25 බැගින් ලබා දී තිබෙනවා. ඉදිරි වසර වන විට මේ සඳහා යොදා ගන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 100ක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා.

 

ගමේ කෘෂිකර්මය දියුණු නොකොට ගමේ දුප්පත්කම නැති කරන්න බැහැ. එසේ නම් කෘෂි නවීකරණ වැඩසටහන සමඟ අප ඉදිරියට යා යුතුයි. දකුණේ ඇතැම් ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය නිසා දියුණු වී තිබෙනවා. මේ සියලු වැඩසටහන්වල අරමුණ ගමේ ආර්ථිකය නගා සිටුවීමයි. තමන්ගේ ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් ඔබ සියලුදෙනාද මෙම කටයුතු සඳහා සම්බන්ධ විය යුතුයි.

 

ඒ වගේම ග්‍රාමීය අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. ඒ සඳහාද ඔබගේ සහභාගීත්වය අවශ්‍යයි.

 

උරුමය වැඩසටහනට අදාළ ඉඩම් ඔප්පු ලබාදීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ජංගම සේවයක් ක්‍රියාත්මක කිරීමට අගමැතිතුමා ද සමඟ සාකච්ඡා කර අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස දෙක තුළදි මෙම ඉඩම් ඔප්පු සියල්ල ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

 

 

රාජිතගෙන් නව සන්ධානයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක් පිහිටුවා තිබේ.

 

එහි ආරම්භය ඉකුත් 06 වැනිදා කොළඹදී ආරම්භ විය. ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.දුමින්ද දිසානායක,මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම එජාපයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද ඊට එක්ව සිටින ආකාරය දැකගැනීමට හැකිවිණි.පැෆරල් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයිදන්ද ඊට සහභාගී වූහ.

 

 

පුරවැසිභාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්න – කාංචන සජබයට අනතුරු අගවයි  (වීඩියෝ)

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි  විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්නේ නැති නමුත් ඒ සමග තවත් ප්‍රශ්නයක් පැන නගින බව කීය.

 

ඩයනා ගමගේ මහත්මියට පුරවැසි භාවය නැතැයි කියමින් අදාල තීන්දුව ලබාදී තිබෙන බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රී පිරිසකගේ පක්ෂය ලියාපදිංචි කර තිබෙන්නේ එලෙස පුරවැසිභාවය නැති  ඩයනා ගමගේ බව පැවසීය.

 

ඒ අනුව සමගි ජන බලවේගය ඇත්තටම නීත්‍යානුකූලව වලංගු දැයි ප්‍රශ්නයක් එන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

 

ඩයනාගෙන් හිස්වූ ජාතික ලැයිස්තු ධූරය මුජිබර්ට

ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමග ඩයනා ගමගේ දැරූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ධුරයට මුජිබර් රහුමාන්පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා.

මුජිබර් රහුමාන් පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර තිබුණා.

 

 

අතුරු ආබාධවලට ලක්වුණු බව තහවුරු වූ ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍රතිශත්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බව තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වා ගැනීමට ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගෙන ඇත.

 

ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ‘සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල් වෙමිනි. මෙම එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද ‘කොවිෂීල්ඩ්’ එන්නත්ය.

 

ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වුණු බවත් මේ වනවිට අධිකරණය හමුවේ තහවුරු වී ඇත.

 

 

ඇමරිකානු යුද හමුදාවේ නිලධාරිනියක් ලංකාවේ පාරිම්පරික වෙදකම ගැන මවිත වෙයි

වසර පහකට අධික කාලයක් ඇමෙරිකාවේ සහ විවිධ රටවල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තද තම කොදු ඇට පෙළේ සහ කොන්දේ ආබාධය  සුව නොවීම නිසාවෙන් ඇමරිකාවේ යුද හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්  ශ්‍රී ලංකාවේ  පාපාරම්පරික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා සුව වන අයුරු අත්විද පුදුමයට පත්ව සිටින බව පැවසුවාය .

 

මෙරට දේශීය පාරම්පරික වෙදකම පිළිබඳව තමන් මවිතයට පත්ව සිටින බව ඇය සඳහන් කළාය.

 

ඇමෙරිකාවේ යුද හමුදාවේ හිටපු ඉහල නිලධාරිනියක වන ESCERMZA  මහත්මිය හලාවත  ප්‍රදේශයේ පදිංචි  කාන්තාවක් සමඟින් සමීපව ඇසුරුකම් පැවැත්වීමත් සමඟින්  youtube නාලිකාවක තිබුණු වැඩසටහනක් සහ මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ඒ මහතා පිළිබඳව සිදුකරන ලද වැඩසටහන් කිහිපයක් මෙම නිලධාරිනියට පෙන්වා හබරණ පලුගස් වැව ප්‍රෙද්ශයේ වෙද මැදුරකට ඇමෙරිකාවේ සිට පැමිණ  ප්‍රතිකාර ලබා ගනිමින් සිටියි .

 

පසුව දින දහයක පමණ කාලයක් ඇය ප්‍රතිකාර ලබා නැවත සිය  රට ඇමරිකාවට ගොස් සිටිද්දී තමන්ට සිතාගැනීමටවත් නොහැකි ආකාරයෙන් කොදු ඇට පෙළේ සහ අස්ථි වල පැවති පස් වසරක දුක් වින්දා රෝගය සමනය වන බව දුටු ඇය නැවත වරක් ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණ  හොරිවිල  ශාන්ත සෙනවිරත්න මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කොට තිබේ.

 

ඇමරිකාවේ සිට පැමිණ ඇති මෙම හිටපු යුද හමුදා ඉහළ නිලධාරිනිය කියා සිටියේ තමන්   වීවිධ රටවලින් විවිධ වෛද්‍යවරුන්ගෙන් තම රෝගය පිළිබඳව ප්‍රතිකාර ලබා ගැනීම සිදුකළද  ශ්‍රී ලංකාවේ  පාරම්පරික  වෙදකම  පිළිබඳව තමන් මවිතයට පත්ව සිටින බව සඳහන් කාලය . තමන් පැමිණෙන විට ඇවිද ගැනීමට නොහැකිව හැරමිටියක  ආධාරයෙන් සහ තවත් කිහිප දෙනෙකුගේ උදව්වෙන් ඇවිදගෙන පැමිණි බවත් දැනට තමන්ට තනිවම ගමන් කිරීමට හැකි බවද ඇය සඳහන් කළාය.

 

හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා කියා සිටියේ මෙම කාන්තාවට තව ටික දිනක් ගතවෙද්දී සම්පුර්ණයෙන් සුව වී ඇමරිකාවට යාමට හැකිවනු ඇති බවය .

 

 

 

නීති විරෝධී ආකාරයට වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික ඉන්දියානු සමාගමකට පැවරීමේ වරද පිළිබඳව… දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය අගමන විගමන පාලකට ලියයි

විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය විදේශීය පුද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

 

රාජ්‍යය විසින් ඉටු කළ යුතු වගකීමක් විදේශීය පුද්ගලික අංශයකට පැවරීම මගින් ජාතික ආරක්ෂාව අනතුරට ලක් කිරීමට අමතරව ඒ මගින් සංචාරකයින් අධෛර්මත් කිරීමක් ද සිදුවන බවත් ඒ මහතා එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

 

ආගමන විගමන පාලකවරයාට ලැබී ඇති බලතල අනුව ඔහු විසින් අනුමත කරනු ලැබූ අත්තනෝමතික තීන්දුව අත්හිටුවන ලෙස සහ ඔහුට එවැනි නීති විරෝධී තීන්දුවක් ගැනීමට සිදුවූයේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව තොරතුරු මහජනයාට එළිදරව් කරන ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

 

අදාල ලිපිය පහළින්…

ආගමන විගමන පාලක,
ආගමන විගමන දෙපාර්තමේන්තුව,
බත්තරමුල්ල.

 

ගරු මැතිතුමනි,

 

නීති විරෝධී ආකාරයට විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික ඉන්දියානු සමාගමකට පැවරීමේ වරද පිළිබඳව

 

පසුගිය මැයි 01 වැනිදා කටුනායක ගුවන් තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය තුළ ඇති වූ ප‍්‍රමාදය නිසා පැන නැගුණු විරෝධය තුළින් ආගමික විගමන දෙපාර්තමේන්තුව විසින් එසේ වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලිකම ඉන්දියානු සමාගමකට පවරා ඇති බව රටට එළිදරව් විය. නමුත් ජාතික ආරක්ෂාවට පවා ප‍්‍රබල බලපෑමක් ඇති කරන එවැනි රාජ්‍ය වගකීමක් පුද්ගලීකරණය කෙරෙන බවට කිසිදු වගකිවයුත්තකු විසින් රටේ ජනතාව දැනුවත් කර තිබුණේ නැත.

 

ඊට පෙර 2012 සිට ක‍්‍රියාත්මක කරනු ලැබූ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක‍්‍රමවේදය සහ පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඔබගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය. එම නිලධාරීන් විසින් එම වගකීම මැනවින් ඉටුකළ බව සහ ඒ පිළිබඳව දේශීය හෝ විදේශීය කිසිදු පුද්ගලයෙකු විසින් විරෝධතා දැක්වීමක් සිදුකර නොමැති බව ඔබ ඉතා හොඳින් දන්නා කරුණකි.

 

ඒ ආකාරයට රාජ්‍යය විසින් ඉටු කළ යුතු වගකීමක් පුද්ගලික අංශයට පැවරීම මගින් ජාතික ආරක්ෂාව අනතුරට ලක් කිරීමට අමතරව ඒ මගින් සංචාරකයින් අධෛර්මත් කිරීමක් ද සිදුවන බව ඉතා පැහැදිලිය. එම ක‍්‍රියාවලිය තුළ වීසා නිකුත් කිරීමේ පටිපාටිය සංකීර්ණ වීම සහ අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවීම නිසාම එසේ සංචාරකයින් අධෛර්යමත් වීම සිදුවන බව ඔබට ඉතා හොඳින් තේරුම් ගත හැක. ඒ අනුව දළ වශයෙන් එක් වීසා බලපත‍්‍රයක් සඳහා ඇමරිකානු ඩොලර් 25කට අධික අමතර පිරිවැයක් දැරීමට සංචාරකයාට සිදුවන බව ඔබ පිළිගන්නවා ඇත. එම මුදල් රජයට නොලැබෙන අතර ආණ්ඩුවේ ඉලක්කවලට අනුව වාර්ෂිකව දළ වශයෙන් සංචාරකින් මිලියන 3ක් රටට පැමිණියහොත් එම සරල සේවාව සැපයීම මගින් අදාළ සමාගම උපයාගන්නා ආදායම ඩොලර් මිලියන 75ක් වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ එසේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව එනම් ප‍්‍රසම්පාදන පටිපාටියට විරුද්ධව එම පුද්ගලික සමාගමට අදාළ වගකීම පැවරීම මගින් අදාළ ක‍්‍රියාවලියට ආශිර්වාදය ලබා දුන් පිරිසකට අයුතු ප‍්‍රතිලාභයක් ලැබෙන බවට එල්ල වන චෝදනා සාධාරණීකරනය වන බවද ඔබ පිළිගන්නවා ඇත.

 

කෙසේ වෙතත් දැනට පවතින නීතිය යටතේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට යටත්ව හෝ ඒ ආකාරයට වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික සමාගමට පැවරීමට ඔබට බලයක් නැති බව ඉතා පැහැදිලිය. ඊට අමතරව මෙම ක‍්‍රියාවලියට අදාළව පත් කරනු ලැබූ කමිටුවක් මගින් පවතින නීතිය සංශෝධනය කිරීමකින් තොරව එවැනි පුද්ගලීකරණය කිරීමක් සිදුකළ නොහැකි බවට මතයක් ප‍්‍රකාශ කළ බව ජනමාධ්‍ය මගින් හෙළිදරව් විය. එසේ නම් ඔබ විසින් අනුමැතිය ලබා දුන් ක‍්‍රියාවලිය නීති විරෝධී බවට ඔබට ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුය.

 

යම් රටවල් වීසා අයදුම් පත‍්‍ර සකස් කිරීමේ ක‍්‍රියාවලිය අදාළ ඉන්දියානු සම්භවයක් සහිත සමාගමට පවරා ඇතත් වීසා නිකුත් කිරීමේ බලය සහ ආගමන විගමන තොරතුරු පද්ධතියට ඇතුල්වීමේ බලය ලබාදී නොමැත. ඒ අනුව ඔබ විසින් අනුමැතිය ලබාදී ඇති ක‍්‍රියාවලිය කිසිසේත්ම සාධාරණිකරණය කිරීමට හැකියාවක් නැත. ඊට අමතරව මෙම තීන්දුව යම් බලපෑමක් මත කඩිනම් කිරීමට සිදුවූවාද යන්න පිළිබඳව සැකයක් මතුවේ. ඊට හේතුව ඔබගේ ආයතනයේ වෙබ් අඩවිය මගින් ප‍්‍රකාශයට පත් කර තිබූ ආකාරයට චීනය, ඉන්දියාව, රුසියාව, ජපානය ආදී රටවල් කිහිපයක සංචාරකයින්ට 2024 මැයි 31 දා දක්වා ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කරන බව ප‍්‍රසිද්ධියට පත්කිරීමය.

 

අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් නීති විරෝධී තීන්දුවක් ඔබ මත පැටවීමට උත්සාහ කරන අවස්ථාවක අදාළ ක‍්‍රියාවලිය නීතියට අනුකූල නොවන බව පෙන්වාදීම ඔබගේ අවම යුතුකමක් බව ඔබ පිළිගන්නවා ඇත. ඒ අනුව ජාතික ආරක්ෂාව අනතුරට පත්වන තීන්දුවක් නීති විරෝධීව ක‍්‍රියාත්මක කිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවෙන් ඔබට ගැලවිය නොහැකි බව ඔබ පිළිගන්නවා ඇත. එසේම වගකිවයුතු රට වැසියන් ලෙස එවැනි ක‍්‍රියාවන් ඉවසා සිටීම බලවත් වරදක් බවද ඔබ පිළිගන්නවා ඇත. එම පිළිගැනීමට අනුව ඔබගේ නීති විරෝධී පරිපාලන තීන්දුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළව අප සංවිධානය විසින් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමු.

 

පුද්ගලිකව ඔබට නීතිමය බැඳීමෙන් සහ හෘද සාක්ෂියේ පීඩාවෙන් ගැලවිය හැක්කේ මහජන යහපත සඳහා සද්භාවයෙන් යුතුව අදාළ තොරතුරු එළිදරව් කිරීමෙන් පමණක් බව අපගේ පිළිගැනීම වේ. බොහෝ රටවල එසේ මහජන යහපත පිණිස තොරතුරු එළිදරව් කරන සහ කණගාටුව ප‍්‍රකාශ කරන ඉහළ රාජ්‍යය නිලධාරීන්ට නීතිය මඟින් සමාව ලැබේ. අවසානයේදී අප රටේ එවැනි නීතියක් සම්මත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමේ හැකියාව දැන් ඔබට ලැබී ඇත.

 

එම නිසා පනත් මගින් ඔබට ලැබී ඇති බලතල අනුව ඔබ විසින් අනුමත කරනු ලැබූ අත්තනෝමතික තීන්දුව අත්හිටුවන ලෙස සහ ඔබට එවැනි නීති විරෝධී තීන්දුවක් ගැනීමට සිදුවූයේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව තොරතුරු මහජනයාට එළිදරව් කරන ලෙස අපි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්,
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

 

 

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසියි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා.

 

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේදී කරුණු තහවුරු වූ  බවයි.

 

එසේම ඩයනා ගමගේ මහත්මියගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

 

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

 

ඒ අනුව ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නැති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් “quo warranto” රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

 

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

 

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තයක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් මහතා මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

 

එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළේය.

 

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කෙරිණි.

 

 

 

20-20 ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍රාහකයා ඉන්දියාවේ අමුල්

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රිී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන නිල අනුග්‍රාහකයා ලෙස ඉන්දියාවේ කිරි නිෂ්පාදන ආයතනයක් වන අමුල් සමාගම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

 

මේ වසරේ ජූනි මස 01 වනදා සිට 29 වනදා දක්වා පන්දු වාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වේ.

 

 

ෆවුසිගේ පුතා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

 

කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්වීමෙන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන අනතුරුව පොලිස් ඇප මත මුදාහැර තිබේ.