Press "Enter" to skip to content

සෙල්ලම් පිස්තෝලයක් අරන් පිළිගන්න ගිහින් අවුරුදු හයක් හිරේට ගියේ මෙහෙමයි… පිස්තෝල රංගනයේ නොදුටු පැත්ත…!

හම්බන්තොට වරාය නිරීක්‍ෂණයට ගිය මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රහාර එල්ල කළ සෙල්ලම් පිස්තෝල රංගනයේ නොදුටු පැත්ත

ඒ නගරාධිපති ඇත්තා හිරේ ළඟින්නට ගියේ තනිවම නොව තමන්ගේ සෑම හයිරන්කාරකමකටම උරදුන් සිය කීකරු ගෝලයාත් සමඟමය. මහජනතාවගේ ඡුන්දයේ සරණින් ලබාගත් නගරාධිපති තනතුර තාවකාලික තනතුරක් යැයි කියනා වග අමතක කොට ප‍්‍රදේශයේ නිත්‍ය උරුමක්කරු තමන් යැයි සිතා උන්මාදයෙන් හැසිරුණු හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්‍ද්‍ර ප‍්‍රනාන්දු මෙන්ම ඔහුගේ සුවච කීකරු ගෝල පේ‍්‍රමසිරි පරණමාන හෙවත් පත්තක්කා පේ‍්‍රමේ වැනි උන්මත්තකයන් බහුතරයක් අප රටේ සිටිති.

මහජන නියෝජිත යන ලේබලය අලවාගෙන මැර බලය හා නිල බලය හිස මුදුනේ තබාගෙන කටයුතු කරනා එවන් නාමික මහජන නියෝජියන්ට කදිම පාඩමක් කියාදෙමින් පසුගිය 2 වැනිදා හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නගරාධිපතිවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට නියම කළ දඬුවම් ගැන විපරම් කරන්නට පෙර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ගෙනහැර පෑ මේ කරුණු නගරාධිපතිවරයා ප‍්‍රමුඛ මැරවරයන්ගේ සැබෑ ස්වරූපය සම්බන්ධයෙන් ඔබට පසක් කර දෙනවා නිසැකය.

ස්වාමීනි, මෙම සිද්ධියට අදාළ සිදුවීම් දෙකක් හම්බන්තොට මාගම්පුර වරායේදී හා මත්තල ගුවන් තොටුපළ පරිශ‍්‍රයේදී සිදුවෙනවා. 2014 අපේ‍්‍රල් 17 වැනිදා මේ නඩුවේ වින්දිතයන් බවට පත් වූ එවකට විපක්‍ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස්දෙනා මහජන මුදලින් ඉදිවන එම ස්ථානය නිරීක්‍ෂණය කරන්න එන්නේ මහජන නියෝජිතයන් ලෙස ඔවුන්ගේ වගකීමක් ඉටු කිරීමටයි. ඔවුන් අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පියංකර ජයරත්න මහතාගෙන් මෙන්ම සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ලිඛිත අවසරයක් අරගෙනයි ඒවා නිරීක්‍ෂණය කරන්න එනනේ. කෝප් කමිටුව නියෝජනය කරන මහජන නියෝජිතයන් ද එම පිරිස අතර සිටියා. පාර්ලිමේන්තුවේ ලිඛිත අවසරය සහිතව හම්බන්තොට ප‍්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර පූර්ණ ආරක්‍ෂාව සලස්වන්න අවශ්‍ය පියවර ගෙනයි ඔවුන් එන්නේ. ඔබතුමා දකින්න ඇති අධිකරණයේ වීඩියෝ දර්ශන මගින් නීතිය ආරක්‍ෂා කරන්න බැඳී සිටින මහජන මුදලින් නඩත්තු වෙන ශ‍්‍රී ලංකා පොලිසියේ ප‍්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා පළමුවන විත්තිකාර නගරාධිපතිවරයා ඇතුළු ඔහුගේ අනුගාමිකයන් ආගන්තුක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රහාර එල්ල කරන විටත් ඒවා වළක්වන්න කිසිදු පියවරක් නොගත්තු ආකාරය. මැර පිරිස අතරට එන්න ඒ එක පොලිස් නිලධාරියෙක් හෝ මැලි වෙනවා. අඩුම වශයෙන් ප‍්‍රහාරයට ලක්වෙලා දැඩි ආයාසයෙන් බේරී යන මන්ත‍්‍රීවරුන් පිරිස තම බස් රථය පිටුපසින් එන පොලිස් ජීප් රථය දැකලා බස් රථයෙන් බැහැලා මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගේ ජීප් රථයට අත ඔසවලා නවත්වන්න සංඥා කරනවා. ඒත් පොලිස් නිලධාරීන් නොදැක්කා වගේ පලා යනවා. මේ තත්ත්වය පිළිබිඹු කරන්නේ කුමක්ද? මේ ප‍්‍රහාර මෙහෙය වූ දේශපාලන චරිතවල බලපෑමට පොලිස් නිලධාරීන් එම ස්ථාන දෙකේදී විතරක් නෙමෙයි මහමඟදීත් බියෙන් සිටිය බවයි ඉන් පිළිබිඹු කරන්නේ.

පස්වන චූදිත නගරාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය ඔහුගේ ආධිපත්‍ය මේ සියලූ කාරණා නිෂ්ක‍්‍රීය කරන්න නීතිය ක‍්‍රියාත්මක කරන්න ඉන්න නිලධාරීන් නිහඬ කරන්න පාදක වෙලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නිරීක්‍ෂණ රාජකාරියකට ගියාම ඒකට බාධා කරනවා කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයට විතරක් නෙමෙයි නීතියේ ආධිපත්‍යයට ද බාධා එල්ල කිරීමක්.

ස්වාමීනි, මේ නඩුවට පාදක වූ සිද්ධීන් ගොඩනැෙඟන්නේ පස්වන චූදිත වටායි. ඔහු එම සිද්ධීන් වන විට ප‍්‍රදේශයේ නගරාධිපතිවරයා. ඔහුත් මහජන නියෝජිතයෙක්. මහජන නියෝජිතයෙක් කියන්නේ යම්කිසි ප‍්‍රදේශයක තාවකාලික භාරකරුවෙක් විතරයි. ඔවුන්ට ඒ ප‍්‍රදේශයේ කිසිදු දේපළක අයිතියක් නැහැ. ඔහු ඒ දේපළ සම්බන්ධයෙන් භාරකාරත්වයක් දරනවා විතරයි. ඒක අධි ආරක්‍ෂක කලාපයක්. සාමාන්‍ය ජනතාවට ඒකට ඇතුළුවෙන්න බෑ නිසි අවසරයක් නැතුව. එහෙම ඇතුළුවෙන්න දේශපාලන අධිකාරියේ සම්බන්ධතාවයක් තිබිය යුතුමයි. මේක පස්වන විත්තිකරුගේ නායකත්වයෙන් හා මෙහෙයවීමෙන් සිදුකළ ප‍්‍රහාරයක්.

පළමුවන සාක්‍ෂිකාර අජිත් පී. පෙරේරා මන්ත‍්‍රීවරයා සාක්‍ෂි දෙමින් ඔබතුමාගේ අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළා පස්වන විත්තිකාර නගරාධිපතිවරයා හූ කියන්න කියන කොට මිනිස්සු හූ කියනවා. නවත්වන්න සංඥා කරන කොට නවත්වනවා කියලා.

එවකට විපක්‍ෂය නියෝජනය කළ පර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස්දෙනෙක් හා ඔවුන්ගේ ආරක්‍ෂක නිලධාරීන් ලෙස කටයතු කළ පොලිස් නිලධාරීන් දෙන්නෙක් විතරයි පරිශ‍්‍රය ඇතුළට ආවේ. මේ සිද්ධිය මනුෂ්‍ය ඝාතනයකින් අවසන් නොවුණේ එළියේ සිටි මාධ්‍යවේදීන් ඔවුන්ගේ කැමරා උද්ඝෝෂකයන් දෙසට යොමු කරගෙන සිටිය නිසයි. මාධ්‍යවේදීන් එම දර්ශන ඡුායාරූපගත නොකර වීඩියෝගත නොකර සිටියා නම් මේ විත්තිකරුවන් එලෙස හැසුරුණා කියලා ප‍්‍රහාර එල්ල කළා කියලා කවදාවත් ඔප්පු කරන්න බැරි වෙනවා. මාධ්‍යවේදීන් එතන නොසිටියා නම් මේ විත්තිකරුවන් ඒ මන්ත‍්‍රීවරුන්ව ඝාතනය කරනවා. එරාන් වික‍්‍රමරත්න කියන සාක්‍ෂිකරු අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් කීවේ ඒකයි අපේ ජීවිත බේරුවට මාධ්‍යවේදීන්ට ස්තුතිවන්ත වෙනවා කියලා.

රටේ ඕනෑම පුරවැසියකුට ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකමක් තිබෙනවා මහජන මුදලින් ඉදිවන සංවර්ධන ව්‍යාපෘතින් බලන්න. මාධ්‍යවේදීන් ලෙස කරන්නෙත් වෘත්තියමය රාජකාරියක්. මහජන නියෝජිතයන් ලෙස මන්ත‍්‍රීවරුන් කරන්නෙත් ඔවුන්ව පත්කළ ජනතාව වෙනුවෙන් රාජකාරියක්.

එසේ නම් උතුමාණෙනි, මේ විධියට මහජන නියෝජිතයන්ට අඩන්තේට්ටම් කිරීමට, පොලිස් නිලධාරීන් කිසිත් නොදැක්කා සේ ඇස්කන් වසා ගෙන සිටීමට හේතුව කුමක්? ඒ වෙන කිසිම දෙයක් නොවේ. තොප්පියක් දාගෙන කමිසයක් උඩින් දාගෙන නායකයෙක් වගෙ පැමිණි නගරාධිපතිවරයාගේ ආකර්ශනයයි ඒවාට හේතුව. පස්වන විත්තිකරු මෙතන්ට පිරිසක් සමග එන්න මොකද එයා හම්බන්තොට රජ්ජුරුවොද? මේක නගර සභාවට අයිති දේපළක් නෙමෙයි. මධ්‍යම රජයේ දේපළක්. මිනිස්සු ස්වෙච්ඡුාවෙන් එකතු වෙලා මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රහාර එල්ල කළාද? පස්වන විත්තිකරු පාසල් යන කාලේ වගේ මොනිටර් ද ඒ පිරිසට සම්බන්ධ වෙන්න.

එතනට එන ප‍්‍රහාරයකයන් ගේට්ටුව ගාවදී මන්තී‍්‍රවරුන්ගේ අත්වලින් අල්ලා ගෙන ඇයි ඒවා ස්ථාන නිරීක්ෂණ කරන්න ආවේ කියලා ප‍්‍රශ්න කරනවා. නගරාධිපතිවරයාත් සුබ අලූත් අවුරුද්දක් වේවා කියලා මන්තී‍්‍රවරුන්ට සුබ පතමින් ඇවිත් ඉතාමත්ම විසුලූ ආකාරයෙන් කටයුතු කරනවා. ඔහු පෙන්වනවා ඔහුට පුළුවන් මෙතෙන ඉන්න ඕනෑම කෙනෙක් පාලනය කරන්න පුළුවන් කියලා. ඒ ආකාරයට සුබ පතමින් තමන්ගේ පිටුපසින් ඉන්න මැර පිරිසව මෙහෙයවනවා ප‍්‍රහාරයක් එල්ල කරන්න. කාටහරි අහන්න ලැජ්ජා වුණාට ඒක තමයි ස්වාමිනි, ඇත්ත සිද්ධිය.

ඔහු නගරාධිපති වුණාට ඔහුටවත් අවසර නෑ එතනට ඇතුළු වෙන්න. ඔහු නගරාධිපති වුණාට ඕනෑම රාජ්‍ය ආයතනයකට ඇතුළු වීමේ අවසරය ඔහුට නෑ. ඔහුත් මේ රටේ නීතියට යටත් පුද්ගලයෙක්. නමුත් තමන්ට තනතුරු ලැබුණාම හැමෝම තේරුම් ගන්න ඕන තමන් ඉන්නේ රටේ නීතියට පහළින් කියලා. නමුත් ස්වාමිනි, ඒක මේ වගේ විත්තිකරුවන්ට තේරෙන්නේ නෑ ස්වාමිනි. රටේ ප‍්‍රධාන පුරවැසියා මේ ගරු අධිකරණයට ආවත් ඔහු හිස නමා අධිකරණයට ගරු කරන්න ඕන. නීතියේ ආධිපත්‍යයට හිස නමා ගරු කරන්න ඕන. එසේ නොමැති නම් වෙන්නේ මිලේච්ඡු පිරිසක් ඇතිවීම පමණයි. මේ වීඩියෝ දර්ශනවලින් පේනවා එදා ඇති වුණ මිලේච්ඡු හැසිරීම. මන්තී‍්‍රවරුන් තමන්ට එල්ල වුණ බිත්තර ප‍්‍රහාර, තක්කාලි ප‍්‍රහාර හා ගල් ප‍්‍රහාර කාගෙන අපහසුවෙන් බස් රථයට ගොඩ වෙනවා. බස් රථයට පිට වෙන්න බැරි වෙන්න පිටවීමේ දොරටුව කලහකාරීන් වහලා. ඒක එළියට ගන්නෙ ඇතුළුවීමේ දොරටුවෙන්.

නගරාධිපතිවරයා පිස්තෝලයක් අරගෙන බස් රථය පිටුපසින් ලූහුබඳිනවාත් ඔහුගේ සගයා සරම කැනැපිට ගහගෙන ඒ පස්සෙන් දිව යනවාත් වීඩියෝ දර්ශන අනුව ඔබතුමා දැක්කා. අද හබරණ පැත්තේ පාරේ ඉන්න වල් අලි වාහන පස්සේ එළවනවා වගේ තමයි නගරාධිපතිවරයා බස් රථය පිටුපස ලූහුබඳින්නේ. ඒ දර්ශනය ඡුායාරූප කාචයේ සටහන් නොවුණා නම් මේ විත්තිකරුවන් කවදාවත් ඒක පිළිගන්නේ නෑ.

විත්තිකරුගේ නීතිඥ මහත්තයා කිව්වනේ නගරාධිපතිවරයා එහෙම පිස්තෝලයක් අරගෙන බස් එක පස්සේ දිව්වේ මන්තී‍්‍රවරුන්ගේ ආරක්ෂාවටයි කියලා. ඔහු බස් එක හඹා යන ඉරියව්ව ආරක්ෂාව සපයන ඉරියව්ද? මන්තී‍්‍රවරුන්ට ආරක්ෂාව දෙන්න ඕන නම් බස් එක පිටුපස්සෙන් දුවගෙන එන්න ඕනේ නෑනේ. බස් එකේ ෆුට් බෝඞ් එකේ නැඟලා ගියා නම් ආරක්ෂාව සපයන්න පුළුවන්නේ. ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් එතන ඉද්දි සෙල්ලම් පිස්තෝලයක් අරගෙන දඟලන්න දෙයක් නෑනේ මන්තී‍්‍රවරුන්ට ආරක්ෂාව සපයන්න. සාමාන්‍ය බුද්ධියක් තිබෙන ඕනෑම අයකුට වැටහෙනවා එම විත්තිකරුගේ අභිලාෂය මොකක්ද කියලා.

එරාන් වික‍්‍රමරත්න කියන සාක්ෂිකරු ඔබතුමාගේ ගරු අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප‍්‍රකාශ කළා නගරාධිපතිවරයා පිස්තෝලයක් අරන් බස් එක පස්සෙන් පන්නවා දැකලා තමන් කෑගහලා කිව්වා බස් රථයේ හිටපු ඔක්කෝටම බිමට පාත් වෙන්න කියලා.

අජිත් පෙරේරා මන්තී‍්‍රවරයා සාක්ෂි දුන්නා ඒ විත්තිකරු ඔහුගේ ඉනේ ගහගෙන හිටිය පිස්තෝලය ඇදලා ගන්නවා දැක්කා කියලා. ඔවුන් සියලූ දෙනාම බස් රථයේ කුඩා ආසන යටට රිංගනවා. ඇයි තමන්ගේ ජීවිතවලට තියෙන බය නිසා. විත්තිකරු බස් රථය හඹා එන්නේ අනිවාර්යෙන්ම වෙඩි තියන ඉරියව්වකින්.

කොහේවත් ඉන්න නගරාධිපතිරවයකු ඇයි වරාය පරිශ‍්‍රය අසලට ගිහින් සුබ අලූත් අවුරුද්දක් වේවා කියලා ප‍්‍රාර්ථනා කරලා මන්තී‍්‍රවරුන් පිළිගන්නෙ. ඔහුද වරායේ අයිතිකරු ආයුබෝවන් කියන ඒවා අතට අත දෙන ඒවා තමුන්ගේ මැර බලයේ ලක්ෂණ පෙන්වන්නේ. තමන්ගේ තියෙන පෞරුෂත්වයක් පෙන්වන්න දරන බාලංශ උපක‍්‍රම තමයි ඒවා. තමන්ගේ හිතවතෙකුගේ ඉණ අත ගාද්දි ඒ සෙල්ලම් පිස්තෝලය අහුවුණා කියලා විත්තිකරු කීවා. ඒ වගේ විහිලූ සහගත විත්තිවාචකයක් තමන්ගේ වරද වහ ගන්නයි විත්තිකරු ඉදිරිපත් කරන්නේ. ඒවා නිරුවත් කරන එක පැමිණිලේ වගකීමයි. එම ප‍්‍රහාරවලින් බයවෙච්ච මන්තී‍්‍රවරුන් කෙලින්ම කොළඹ ඇවිත් රාති‍්‍ර 10.00 විතර තමයි පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන්නේ. විත්තිකරු හිතුවේ නෑ බස් එකේ හිටපු කෙනෙක් විත්තිකරු පිස්තෝලයක් අරගෙන බස් එක පස්සේ පන්නවා අයුරු ඡුායාරූප ගනියි කියලා. විත්තිකරු අතේ තිබුණේ සජීවී පිස්තෝලයක් කියන එකයි වින්දිතයන්ගේ මතය. ඒක ඒ මන්තී‍්‍රවරුන් මාධ්‍ය හමුවේදී කීවා. ඒකට උත්තරයක් ලෙස තමයි විත්තිකරු ඒක සෙල්ලම් පිස්තෝලයක් කියන කතාව හදාගෙන තියෙන්නේ.

මේ සිද්ධිය වෙලා සති තුනකට පස්සේ නගරාධිපති නිල නිවසේදී පොලිසිය ප‍්‍රකාශයක් සටහන් කරන විට තමයි විත්තිකරු ඒ සෙල්ලම් පිස්තෝලයත් භාරදීලා තියෙන්නේ. සැකකරුවකුගෙන් ප‍්‍රකාශයත් ගන්න සාමාන්‍යයෙන් ඔහුව පොලිසියට කැඳවනවා. නමුත් මොහුගෙන් ප‍්‍රකාශ සටහන් කරන්නේ නගරාධිපති නිල නිවසට ගිහිල්ලයි. මේක මොහුට තිබෙන ආධිපත්‍යය. ඊට සමානව තමයි පොලිසිය කි‍්‍රයා කරන්නේ. ඒ නිසා විත්තිකරුවන්ට උපරිම දණ්ඩන හා වින්දිතයන්ට වන්දි ගෙවීමට නියම කරන ලෙස ඉල්ලා සිටිනවා. එහිදී පස්වන විත්තිකාර එරාජ් ප‍්‍රනාන්දු නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ සිය සේවාදායකයා එදින වරාය පරිශ‍්‍රයට ගොස් පැමිණිලිකාර මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ බොරු ප‍්‍රචාර සිදු නොකර වරාය ඉදිකිරීම කටයුතු සිදු කිරීමට සහාය ලබාදෙන ලෙස පමණක් බවයි.

2014.04.17 වන දින පැමිණිලිකාර අජිත් පී. පෙරේරා ප‍්‍රමුඛ මහජන නියෝජිතයන් පෙරවරුවේ කිරුළපන ප‍්‍රදේශයෙන් පිටත්ව මධ්‍යහ්න 12.00 ට පමණ මත්තල ගුවන් තොටුපළට පැමිණ ඇති බවත් මාධ්‍යව්දීන්ට වරාය පරිශ‍්‍රය තුළට ඇතුළුවීමට අවසර නොලැබීම නිසා මන්තී‍්‍රවරුන් පිරිස සිය ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකු සමඟ නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියදී පැමිණි 30 – 40 ක පිරිසක් එක් එක් මන්තී‍්‍රවරයාට වෙන් වෙන්ව තර්ජනය කොට බාධා කරමින් නැවත පැමිණියහොත් මරණ බවට තර්ජනය කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරු තාමර තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය. එකී පිරිස අතර අයකු තමාට ශාරීරික හිංසා සිදුකළ බවත් අනෙකුත් අයට අසභ්‍ය වචනයෙන් බැන වැදීම් සිදු කළ බවත් පැමිණිල්ලේ පළමුවන සාක්ෂිකාර අපිත් පී. පෙරේරා ලබාදුන් සාක්ෂිය අනුව පැහැදිලි වන බවත් සිය තීන්දු ප‍්‍රකාශය මගින් පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා 18 වන සාක්ෂිකාර යෝගරාජන් මන්තී‍්‍රවරයා විසින් දුරකථන මගින් ඒ සම්බන්ධයෙන් ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ පිළිබඳව දන්වා ඇති බවට ද සාක්ෂි මගින් තහවුරු කර ඇතැයි ද පෙන්වා දුන්නේය. පැමිණිල්ලේ සියලූ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි සලකා බැලීමේදී චූදිතයන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා 29 න් හත්වන හා 21 වන අධිචෝදනාව හැර අනෙකුත් අධිචෝදනා 27 ම පළමු හා පස්වන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට තම අධිකරණය නිගමනය කරන්නේ යැයි ද විනිසුරුවරයා සිය තීන්දු ප‍්‍රකාශය මගින් පෙන්වා දුන්නේය. පළමුවන විත්තිකරු ඔහු වෙනුවෙන් සාක්ෂි කැඳවීමක් සිදුකර හෝ විත්ති කූඩුවේ සිට ප‍්‍රකාශයක් හෝ කර නොමැති බවත් පස්වන විත්තිකාර නගරාධිපතිවරයා විත්ති කූඩුවේ සිට ඉදිරිපත් කළ විත්තිවාචකය සලකා බැලීමේදී විය හැකි භාවය සම්බන්ධයෙන් තම අධිකරණයට සෑහිමට පත් විය නොහැකි බව ද විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේය.

තමා එම ස්ථානයට යන විට කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබුණෙන් කලබලකාරීන්ගේ මන්තී‍්‍රවරුන් බේරා ගැනීම සඳහා අමිල මධුරංග නමැත්තා අත තිබූ සෙල්ලම් පිස්තෝලයක් වැනි දෙයක් ගෙන මන්තී‍්‍රවරුන් ලූහුබැඳ ගිය බව විත්තිකාර නගරාධිපතිවරයා ප‍්‍රකාශ කොට තිබූ බව ද විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වාදී තිබිණි.

පස්වන විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ප‍්‍රකාශය විශ්වසනීයත්වයෙන් යුක්ත බවට අධිකරණයට සෑහීමට පත් විය නොහැකි බැවින් එම ප‍්‍රකාශය පිළිනොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට තම අධිකරණය තීරණය කළ බව ද විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය. ඒ අනුව විත්තිය විසින් පැමිණිල්ලේ නඩුව කෙරෙහි සාධාරණ සැකයක් මතු කිරීමට අපොහොසත් වී ඇති බැවින් 1 සහ 5 වන විත්තිකරුවන් වරදකරුවන් බවට නිගමනය කර සෙසු විත්තිකරුවන් තිදෙනා සියලූම අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටත් අධිකරණය තීරණය කොට තිබිණි.

අධිචෝදනා 18 කට වසර බැගින් වසර 18 ක සිරදඬුවමක් නියම කොට වසර 13 ක සිරදඬුවම් එකවර ගෙවී යන පරිදි ලබාදීමට නියම කළ නිසා සකී‍්‍රය සිරදඬුවම් කාලය යාන්තමින් අතේ ප‍්‍රමාණයට සීමා වුවත් එමගින් අධිකරණයේ ස්වාධීනත්වය හා අදීන භාවය කියාපෑම අන් සැමට කියාදුන් කදිම පාඩමක් බව අප අමතක නොකළ යුතුය. විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ඔබ්බට ගෙන නොගොස් නතර කර ගැනීමේ අවකාශය නීතිපතිවරයාට හොඳාකාරවම තිබූ නමුත් වරදේ ස්වභාවය සලකා විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ පියවර සාමය හා යුක්තිය අගයන බහුතරයකගේ ප‍්‍රශංසාව දිනා ගැනීමට සමත් වූ බව අවසන් වශයෙන් සිහිපත් කරන්නට අප කැමැත්තෙමු.

ඒ. ජේ. ඒ. අබේනායක

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *