Press "Enter" to skip to content

ආණ්ඩුවට රටේ දූෂණය වැළැක්වීමේ උවමනාවක් හෝ හැකියාවක් නැහැ – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

ආණ්ඩුවට රටේ දූෂණය වැළැක්වීමේ උවමනාවක් හෝ හැකියාවක් නොමැති බවත්, තාවකාලිකව හකුලාගත් දූෂණ විරෝධී පනත මගින් සිදු වන්නේ දූෂණ වැළැක්වීම නොව දූෂිතයන් රැකීම බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

 

වැඩි වශයෙන්ම දූෂණයට ලක්වී ඇති දේශපාලන ක්ෂේත්‍රයේ දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නොමැති බවද, ඡන්ද දායකයාට තමන් කැමැති දේශපාලකයෙකු තෝරා ගැනීමේ අයිතිය පවා නොමැති පසුබිමක් තුළ දේශපාලකයන් පත්කිරීමට මුදල් වියදම් කරන දූෂිත ජාවාරම්කරුවන් ඡන්ද දායකයාගේ අයිතිය උදුරාගෙන ඇති බවද, එවැනි තත්ත්වයන් පවා වෙනස් කිරීමට අවශ්‍යතාවක් නැති ආණ්ඩුව දූෂණ විරෝධී පනත් ගෙන එන බවද ඒ මහතා චෝදනා නගයි.

 

කල්‍යානන්ද තිරාණගම මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් අද(22) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

 

මෙම දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වන දිනයක් පැහැදිලි නැති බවද කථානායකවරයා අත්සන් තැබූ විට බලාත්මක වන පනත් මෙන් මෙම පනත එසේ බලාත්මක නොවන බවද ඒ මහතා පවසයි. මෙය ක්‍රියාත්මක වන්නේ කොටස් වශයෙන් බව හා එය කොටසින් කොටස ක්‍රියාත්මක කරන්නේ ඇමැතිවරයා විසින් වීම නිසා පනතේ බොහෝ දේ සැඟවීමට ඇමැතිවරයාට හැකි බවද තිරාණගම මහතා පෙන්වා දෙයි.

 

එසේම දැනට පවතින දූෂණ විරෝධී පනතේ සංයුතිය මත රටේ පිළිගත් ඉහළම නිළධාරීන් තිදෙනෙකු යටතට පත්කර ඇති වැඩකටයුතු, මෙම පනතේ එසේ පිළිගත් නිලධාරීන් යටතට පත්කරනු වෙනුවට සුදුසුකම් රහිත විවිධ පුද්ගලයන්ට පවරා ඇති බවට ද ඒ මහතා චෝදනා නගයි.

 

මෙම කරුණු සැලකීමේ දී මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ දූෂණ වැළැක්වීම නොව දූෂිතයන් රැක ගැනීම බවයි තිරාණගම මහතා පෙන්වා දෙන්නේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *