Press "Enter" to skip to content

දිවයිනට මහ වැසි… දිස්ත්‍රික්ක 3 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්…

දිවයිනට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 2000 කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඉන් අවතැන් වූ පුද්ගලයින් 643 දෙනෙකු සහන කඳවුරු 3 ක රඳවා ඇති බවයි.

වර්ෂාවත් සමග ජලාශ රැසක් වාන් දමන බව ද ඔහු සඳහන් කළේ ය. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග අවහිර වීම් වාර්තා වන බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. මේ අතර අධික වර්ෂාවත් සමග වලපනේ, උඩපත්තවෙල ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ.නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, එහි පදිංචිව සිටි පුද්ගලයින් සිව්දෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවන බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ එම පුද්ගලයින් නිවසේ සිටියේ ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නැත. ඔවුන් සම්බන්ධයෙන් අද උදෑසන සිට සොයා බලමින් සිටින බව ඔහු පැවසුවේ ය. අධික වර්ෂාවත් සමග බදුල්ල – පස්සර මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේ ද නාය යෑමක් සිදුව තිබේ. බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සඳහන් කළේ, මේ වනවිට එම මාර්ගය වසා දමා ඒ ආසන්නයේ පදිංචි පවුල් 10 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවයි.

මේ අතර අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 3 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට එම නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. ඊයේ රාත්‍රියේ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය. එම අගය මිලිමීටර් 200 ඉක්මවනු ඇත.

ඊට අමතරව කොළඹට මිලිමීටර් 140 ක්, මූලටියනට මිලිමීටර් 138 ක්, කුරුණෑගලට මිලිමීටර් 120 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය සඳහන් කළේ, අදත් ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කරන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *