Press "Enter" to skip to content

බිල වැඩිවීමෙන් වැඩිම විදුලි සැර දුප්පතුන්ට

මාසිකව විදුලිය ඒකක පනහක් පමණ පාවිච්චි කරන රටේ සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් තුනෙන් එකකට  ආසන්න පිරිසකගේ විදුලි බිල මෑතක සිදුකෙරුණු සංශෝධන හේතුවෙන් සියයට 412කින් ඉහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලයේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.

 

විදුලි ඒකක 50ක් පමණ පාවිච්චි කරන වැඩි පිරිසක් අන්ත දුගී අය බව පවසන මහාචාර්යවරයා විදුලිබිල සංශෝධනය තුළ වැඩිම බලපෑමට ලක්වී ඇත්තේ ආගමික ස්ථාන බවද සඳහන් කළේය.

 

මසකට විදුලි ඒකක 150 ක් පාවිච්චි කරන ආගමික ස්ථානවල විදුලි බිල  සියයට 597කින් වැඩිවී ඇතැයිද  ඔහු පැවසීය.

 

විදුලි ඒකක සීයක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 203 කින්ද  ඒකක 150 ක් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 163කින්ද විදුලි ඒකක දෙසීයක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 137 කින්ද  විදුලි ඒකක 250ක් පාවිච්චි කරන අයගේ විදුලි බිල  සියයට 150 කින්ද  විදුලි ඒකක 400 ට වැඩියෙන් පාවිච්චි කරන අයගේ විදුලි බිල සියයට  100 කින්ද  වැඩි වී ඇතැයි අතුකෝරල මහතා පෙන්වා දුන්නේය.

 

එසේම විදුලි ඒකක 200ක්  පාවිච්චි කළ කුඩා කර්මාන්තවල විදුලි බිල සියයට 143 කින්ද ඒකක දෙසීයක් පාවිච්චි කළ වෙළෙඳ ව්‍යාපාරවල විදුලි බිල සියයට 195කින්ද  වැඩිවී ඇතැයි ඔහු සඳහන් කළේය.

 

විදුලිබල මණ්ඩලය පසුගිය වසරේදී  විදුලිය විකුණා රුපියල් කෝටි 39800ක ලාභයක් උපයා ඇතැයි පවසන වසන්ත අතුකෝරළ මහතා ඉන් රුපියල් කෝටි 9600ක්ම උපයා ගෙන ඇත්තේ ගෘහස්ථ අංශයෙන් බවද  ප්‍රකාශ කළේය.

 

මණ්ඩලය ව්‍යාපාර අංශයෙන් උපයාගෙන ඇති මුදල රුපියල් කෝටි 8100ක් බව  හෙතෙම පැවසීය.

 

විදුලිය බිල වැඩි වීමෙන් වැඩිම පීඩනයට ලක්ව ඇත්තේ අඩු ආදායම් ලබන පිරිස් බවත් මේ හේතුවෙන් ඒ  අයගේ  දරුවන්ට අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීම ලොකු අභියෝගයක් වී ඇති බවත් මහාචාර්යවරයා කීවේය.

 

මේ පිරිස ඉදිරියේ දී විදුලිය නැතිව ජීවත්වීමේ අවදානමක් මතුව  ඇතැයිද අතුකෝරල මහතා පැවසීය.

 

සමහර අඩු ආදායම්ලාභීන් සිය කණකර ආභරණ උකස් කර හෝ විකුණා විදුලිය බිල ගෙවන තත්වයක් පවතින බවද  ඔහු පැවසුවේය.

 

ශ්‍රී ලංකාවේ සියලු විදුලි ගිණුම් ප්‍රමාණය  හැට  නවලක්ෂ තිස් හය දහස් හත් සිය තිස් පහක් බවත් ඉන් සියයට 86ක් ගෘහස්ථ  පාරිභෝගිකයන්ට අයත් ඒවා බවත්  මහාචාර්යවරයා පැවැසීය.

 

විදුලිය  ගෙවන ගෘහස්ථ  පාරිභෝගිකයන්ගේ ගිණුම් සංඛ්‍යාව  පනස් නව ලක්ෂ  හැත්තෑ දහස්  තුන්සිය විසි හයක් බව  වසන්ත අතුකෝරාල මහතා සදහන් කළේය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *