Press "Enter" to skip to content

Posts published in “ජනමතය”

articles

උමාරා ජාතික ගීය විකෘති කළාද? – උමාරාගේ ගායනය ගැන ඉන්දිකා උපමාලිගේ විග්‍රහය

උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. ගායනය මගෙ විෂය නිසාත්,ඒ තුළ තවමත් හදාරමින් සිටින නිසාත් මට සැමදා ඒ පිළිබඳ ව ඇති කුතුහලය නිසාත් ,ඒ පිළිබඳ ව ලියන්න හිතුනා.

 

මුලින්ම කියන්න ඕනෙ උමාරා කියන්නෙ කුසලතා පිරි ගායිකාවක් බවත් ඇය ගායනා කළ වස්සානයට,මලකුත් තිබුණා වැනි ගීත මා බෙහෙවින්ම ප්‍රිය කරන ගීත බවත්.මා පළ කරන අදහස් කිසි වෙකුටත් පහර ගැසීමකට නොව ලංකාවෙ සංගීත භාවිතය සම්බන්ධ ව ඇති විවිධ ගැටලු කාරී තත්ත්වයන් කීපයක් ( මට වැටහෙන ආකාරයට) පිළිබඳ අදහස් බෙදාහදා ගැනීම අප කාහටත් හොඳයැයි සිතූ නිසා මේ සටහන ලියනා බවත්.

 

මේ ගායනය සම්බන්ධව මතුව එන කාරණා කීපයක් තියෙනවා.

 

පළවෙනි එක උමාරා ගේ හොඳ ගැයුම් අප කොතෙක් අසා තිබුණද ජාතික ගීයෙහි ගායනයෙහි ප්‍රධාන ගැටලු කීපයක්ම දක්නට ලැබීමයි.

 

1. හුස්ම කළමනාකරණයෙහි දොස්,

 

2. එම හේතුව නිසාම වචන සහ වාක්‍ය කැඩෙන තැන් වල දොස්,

 

3. තැනක දෙකක ශෘති සම්බන්ධ ගැටලු.

 

4. උච්චාරණ දෝෂ

 

ඇගේ ගායනය තුළ ඇය සැබෑවටම “මහතා” ලෙස උච්චාරණය නොකරනවා යන්නයි මගේ අදහස. ඇය ගයන්නේ මාතා කියලා තමයි.නමුත් ගායනයේදී ඇය විසින් ඇති කරනු ලබන තාක්ෂණික කාරණයක් මුල් කොට “හ” යනුවෙන් ශබ්ද වේ.

 

දැන් ඈ ශබ්ද කළ හ යන්න පසෙක තබා ඔපෙරා ගායන ශෛලිය පිළිබඳ මගේ අත්දැකීම් ටිකක් බෙදා ගන්නම්. බටහිර ඔපෙරා ගායන සම්ප්‍රදාය කියන්නෙ ඉතාලි භාෂාව සමග වර්ධනය වූ කලාවක්. පසුව ප්‍රංශ,ජර්මන්,රුසියානු,ඉංග්‍රීසි ආදී තව නොයෙක් යුරෝපීය භාශාවන් එක්ව අදද වර්ධනය වෙමින් විවිධ හැල හැප්පීම් වලට මූණ දෙමින් යාවත් කාලීන වන කලාවක්.ඔපෙරා ගායන ශෛලිය තුළ බස හැසිරවීම ,මෙහෙ පමණක් නෙවි යුරෝපයෙත් මතභේද වලට ලක් වෙච්ච අවස්ථා එමටයි. එමනිසා ජර්මානු ජාතික වාග්නර් ගේ ඔපෙරා ඔහු හැඳින්වූයේ “සංගීත රංග” යනුවෙන්.භාෂාව පිළිබඳ ප්‍රෂ්ණ අපට පමණක් නොවේ යුරෝපයෙත් තිබුණා.

 

අනික ඔපෙරා ගායන සම්ප්‍රදාය හැදෑරීම යනු ඔලිම්පික් වලට යන ක්‍රීඩකයෙක් අවුරුදු ගානක් තම ශරීරය,ඉරියව් ,කෑම බීම ,චර්‍යාවන් සියල්ල මනාව පාළනය කරමින් කැපවෙන්න ඕන කලාවක්. උදරයේ මාංශපේෂීන් ගේ සිට ශරීරයේ ඉරියව් චලන පවා පුහුණු කළයුතු කලාවක්..වගේම බටහිර ඔපෙරානම් ඉතාලි,ප්‍රංශ,ජර්මන් වැනි භාෂාවන්ද ප්‍රගුණ කළ යුතුයි. ඔපෙරාවේ ආරියා ගායනයන්ට අමතරව රෙසිටෙටිව්ස් ,(කතා අඬහැර,) ගායනාද වෙනම ප්‍රගුණ කළ යුතුයි.

 

උමාරා නංගිට අතපසු උනේ මොකද්ද?

 

සාමාන්‍යයෙන් බටහිර ඔපෙරා ගායන vowels ස්වර ,ගැයුමේදී හඬ භාවිතය සහ උච්චාරණය, උගුරෙහි පසුපස දෙසට යෙදෙන අතර,ග්‍රසනිකාව ආශ්‍රය කරගෙන,හඬ උදරය දෙසට ,එසේත් නැත්නම් යටිබඩ දෙසට තෙරපීමක් සිදු කරයි.තවත් විධියකින් කියනවා නම් මහාප්‍රාචීරය පහළට තෙරපීමක් කරයි එවිට ස්වර කන්ඩනය නොවී ඇදෙන ස්වරයක් ලෙස( legato) මනාව ගැයේ. හඬටද යම් බරක් හිමිවෙන අතර විබ්‍රාටො vibrato තාක්ෂණය පවත්වා ගැනීම ද පහසු වේ. Vibrato තාක්ෂණය සඳහා මෘදු තල්ලෙහි භාවිතය පිළිබඳ වද අවබෝධයක් තිබිය යුතුය. මේ සියලු තාක්ෂණික ගායනයන් සිදු කෙරෙන්නේ මනා හුස්ම කළමනාකරණයකිනි.

 

ප්‍රමාණවත් ව හුස්ම නොමැති කමත්,අදාළ තැනෙහිදී එය හුස්ම මගින් හඬ උස් පහත් නොකිරීමත් නිසා “හ “අකුර උගුරෙන් යන්තම් ශබ්දවෙනවා.කෙටියෙන් කියනවානම් එය නිවැරදි ඔපෙරා තාක්ශණය නොවේ.ඇත්තටම වාහනේක ගියර් දානවා වගේ ඔය ශ්‍රී ලංකා මාතා කොටසෙදි හුස්ම මගින් පහළට තෙරපුමක් දෙන්න අවශ්‍යයි .උමාරා නංගිට මොනයම් හේතුවකින් ඒ අවස්ථාව ගිලිහෙනවා.

 

එක්කො එයා පුරුදු වෙච්ච විධිය, එක්කො එයා ඒ තාක්ෂණය නොදැන සිටීම

 

එක්කො එදින ඈ අසනීප තත්ත්වයෙන් ඉන්නට ඇති. නොයෙකුත් අසනීප තත්ත්වයන් ගැස්ට්‍රයිටිස්, ආතතිය,නිදි මැරීම,අධික තෙහෙට්ටුව වැනි අවස්ථා වන් හිදී අපට හුස්ම පාළනය කරගන්න බෑ.කොපමණ වැඩ දැනං හිටියත්. සජීවී ගායනයක් කියන්නෙ එදා දවසෙ අපි බොහොම පරිස්සමෙන් සැහැල්ලුවෙන් එය පවත්වාගෙන යායුතු කලාවක්.

 

අපටම කියලා ගායන සම්ප්‍රදායක් තියෙනවද?

 

මං කියනවා නෑ කියලා. අපි ගයන හින්දුස්ථානි රාග ශෛලිය ඉන්දියාවෙ එක නෙමෙයි,ඒක සිංහල කටවල් වලින් කියන සිංහලට අනුව යම් යම් සියුම් වෙනස්කම් එක්ක ,කාලයක් තිස්සෙ අපිම හදං යන එකක්. අනික රාගධාරී සංගීතයේ එන බඩා ක්‍යාල් සහ චොටා ක්‍යාල් වල එන පබැඳුම් කිසිම තේරුමක් නොදැන අපි කොපමණ කලක් කියා ඇද්ද?දැන් නම් මං දකිනවා අපේ කැම්පස් ආචාර්ය මණ්ඩලයෙ රශ්මි මිස්ලා අසිත් සර්ලා වගේ අය එහි අරුතත් කියා දෙනවා වගේම හින්දි බසත් උගන්වනා.

 

සෞන්දර්යෙට ළමයි ගන්න පරීක්ෂණ යෙදි ප්‍රාදේශීය මට්ටමේ රාග ගැයුම් ඇහෙනවාඒ දරුවන්ගෙන්.ස කියලා කට අරිද්දිම ඒක ඉන්දියානු ස නෙමෙයි.අපේ සිංහල බසෙහි නාසික්‍ය ලක්ෂණ රැගත් එකක් බොහෝවිට..එක් එක් ගුරුවරුන්ගෙ උච්චාරණයන් ට අනුව පුහුණුව ලැබූ දරුවන්ගෙන්.මොකද කීයෙන් කී දෙනයිද ඉන්දියාවෙ ගිහිං ඉගෙන ගෙන ආපු ආචාර්ය වරු ලංකාවටම ඉන්නෙ.

 

අපේ බටහිර ගායනාත් එලෙසමයි.මං බටහිර ගායනය පළපුරුදු ගුරුවරු කීපදෙනෙකුගෙන් ඉගෙන ගත්තා.එක් එක් කෙනා ගෙ ක්‍රමවේද විවිධයි.ඒක නොවලැක්විය හැකි කාරණයක්.කෙනෙකුගෙ හඬකට ඒ කෙනාගෙ ආකල්ප පවා බලපානවා.

 

ජන ගීත් එහෙමයි, ස්වර සප්තකය නිවැරදි ශෘතිමත පිහිටා ගයන්න ඉගෙන ගත්තු අපි කොහෙද ගැමියගෙ අමු හැඟීම ගන්නෙ. අපිට තියෙන්නෙ එහෙන් මෙහෙන් එකතු කරලා කිසිම නිර්නායකයක් නැතුව හිතුමනාපයන්ට අනුව හදාගත්තු භාවිතයක්.

 

අද රියැලිටි වැඩසටහන් වල වැරදිම ආභාශයක් තමයි හැම ගායන සම්ප්‍රදායක්ම ඒ ගායන සම්ප්‍රදාය ට අදාළ ශික්ෂණ කාලයක් ගෙන පුහුණු නොවී. හුදු අනුකරණයෙන් ගැයීම.තරග කරුවන් පමණක් නොවේ විනිශ්චය මණ්ඩලවල සාමාජිකයින්ද එසේ ගයා පෙන්වනවා.ඒක අපි කාගෙවත් වරදක් නෙමේ ගීත හැර අපට පැහැදිලි නිර්ණායක මත ගොඩනැගුනු සංගීත කලාවක් නොමැති කමේ අවුල.සහ හැදෑරීමක් නොමැති කම.ඕනෙම ගායන ක්‍රමයක් මට පුලුවන් යන තැනට තරග කරුවන් සහ වත්මන් තරුණයන් පත්වීම..සහ සියලු විජ්ජාවල් විනාඩි තුනේ ගීතය තුළ කර පෙන්වීමට උත්සාහ දැරීම.ලංකාවෙ ගීත ගැයීම හැර වෙනත් ගායන ශානරයන් නොමැති නිසා.අප හටද වරින් වර හඬට නොයෙක් වර්ණ ගන්වන්නට සිදුවී ඇත.(අකමැත්තෙන් වුවද)

 

විබ්‍රාටෝ සහ සිරස් අතට කට ඇරලා උච්චාරණය කියන්නෙ ඔපෙරා ශෛලිය නොවේ.ඔපෙරාවෙහි ගැඹුර ගැන කතා කිරීම මෙහි මූලික අරමුණ නොවන නිසා. ඒක ගන්නෑ මේ මොහොතෙ. ඕනෙම සම්ප්‍රදායක් අනුකරණාත්මකව ගයන්න ගියොත් අමාරුවෙ වැටෙනවා..

 

හැබැයි අපේ රටේ වෙනත් කලාවන් කෙසේ වෙතත් සංගීතය සම්බන්ධ බොරු කරන්න හරිම ලේසියි.මොකද අපි සංගීතය කියලා තවම හිතං ඉන්නෙ භාෂාව නිසා.උමාරා නංගිගෙ ගැයුමෙත් සංගීතය සම්බන්ධ ඉහත මම සඳහන් කළ තාක්ෂණික දෝශ කොපමණ තිබුණත් අපට ප්‍රශ්ණය උනේ ” හ” යන්නක්. ඒ කියන්නෙ උච්චාරණ දෝසයක්.ඒ කියන්නෙ අපේ කන්දෙක භාෂාවට මිස සංගීතයට සංවේදී නෑ.. උමාරගෙ ගැයුමෙ නෙමේ අනාධිමත් කලෙක පටන් අපි පිච් අවුට් ගැයුම්,අමු හඬවල්,(සුසර නැති) හිතූ හිතූතැන්වල හුස්ම හිරවෙන ගැයුම්,ටොන් ගණන් අහගෙන එන්නෙ ..අපිට ඒවා ප්‍රශණ නෙමේ .ගීතයෙ පදටික වැරදුනෙ නැතිනම් එච්චරයි .ඒ කියන්නෙ අපි තවම හිතන්නෙ ජාතික සංගීතය කියන්නෙ භාෂාව කීයලා.භාෂාව සංගීතයේ ප්‍රධානම අංගයක් තමා.භාශාවක් නැතුව අනන්‍යතාවයක් නෑ. ඒත් භාෂාවම සංගීතයේ සංරචකයක් ලෙස වර්ධනය උනානම් බසත් තව පොහොසත් වේවි.

 

දැන් මම කියන්න යන්නෙ තවත් කතාවක්. ලංකාවෙ ඔපෙරාව සම්බන්ධ ව වරින් වර රතු එළි පත්තු වෙනවා.කොහොමින් හරි මේ කතා බස් එක්ක මං මගෙ යාලුවෙකුට කිවුවා.පෙරට වඩා කොහොම හරි මිනිස්සු ඔපෙරා ගැන දන්නවා නේද කියලා.එයා මගෙන් ඇහුවා. ඒ දන්නෙ

 

ඔපෙරා කියන වචනෙද? සංකල්පයද?

 

භාවිතය පිළිබඳවද මිනිස්සු දන්නෙ කියලා ඒ මොහොතෙයි මාත් ඒ ගැන හිතුවෙ.මං හිතන්නෙ බොහෝ දෙනා දන්නෙ වචනෙ පමණයි,

දේවාර් සූරියසේන,වැනි ශිල්පීන්ද,කේමදාස මාස්ටර්, සිංහල ඔපෙරා හඬ සම්බන්ධ ව පර්‍යේශන කළා.ඒ වගේම කිශානි ජයසිංහ වැනි ඔපෙරා ගායිකාවන් දන්නෝබුදුන්ගේ වැනි ගීත එම ශයිලියෙන් ගැයීමට ගොස් මේ වගේම දෙබරෙට ගල්ගැසීමක් සිදු උනා.ඇය දක්ෂ ඔපෙරා ගායිකාවක්.ඔය අතරේ කේමදාසයන්ගෙ අග්නි ඔපෙරාවෙ ශ්‍රියා ආරියාව විදෙස් රටක music composer කෙනෙක් දැවැන්ත සන්ධ්වනි සංගීත කණ්ඩායමක් සමඟ,තරංගා ගුණතිලක විසින් ගායනා කෙරෙනවා.

 

කේමදාසගෙ පිරිනිවන් මංගල්ලය,මානසවිල ගැයුම් සඳහා විෂය ප්‍රවීණයන්ගෙන් නොයෙක් උපහාසාත්මක කතා අසන්නට ලැබුණා.පසුකාලීනව වර්ණදාසි,දොරමඪල,අග්නි වෙද්දි ඒ තත්ත්වයන් යම් මට්ටමකට දුරුව ගොස් තිබුණා.කේමදාසගේ ඔපෙරා බටහිර ඔපෙරාවට සමාන නෑ,එහෙමත් නැත්නම් මේවා ඔපෙරාද? ඔපෙරාවල නැටුම් නෑ නෙ,හඬවල් මීට වඩා ප්‍රබලයි නෙ.වගේ අදහස් අපටම හිතෙන්න ගත්තා. ,කෙසේ හෝ මේවා බරහිර ඔපෙරාවට සමාන නෑ කියන ගානට කේමදාස මාස්ටර් ඒවා ට දේශීය අනන්‍යතාව ක් දුන්නා.ඔහුගෙ නිර්මාණ වල තානීය ගුණය සහ අලංකාර පැහැදිලිවම පෙරදිග අනන්‍ය ලක්ශණ පෙන්වන වෙනම තාක්ෂණික ක්‍රමවේදයක්. හුස්ම භාවිතය (ගායනයේදී) පවා බටහිර ශෛලියට හාත්පස වෙනස් වූවක්. .ඒ නිසා වෙන්න ඇති පසුකාලීනව ඔහුගේ නිර්මාණ ප්‍රේක්ෂකයා වෑළඳ ගන්නෙ.ඒත් අදටත් ඔපෙරා ශෛලිය කියන්නෙ ලංකාවට සහ සිංහල බසට ආගන්තුක පර්‍යේශණාත්මක මට්ටමේ තියෙන එකක්.

 

ජාතික ගීය ඔපෙරා ශෛලියෙන් නොගැයිය යුතුයැයි යන අදහසේ මම ඉන්නෙ නෑ.මොකද මම පවා මහත් අභිමානයකින් එය එම ශෛලියෙන් ගැයුවොත් කොයිවගේදැයි කියා ගෙදර ඉද්දි ගයා බලා තියෙනවා. කෙසේ වෙතත් ගායනය යනු සියුම් කලාවක්. ඒකට නිශ්චිත හැඩයක් කියන්න බෑ.ඒක දවසගානෙත් වෙනස් වෙන දෙයක්.එක හැඟීමකට ඔබේ හඬ දිව්‍යලෝකෙට ඇහෙන්න ගායනා කරවන්න පුලුවන් වගේම.ඔබව සදාකාලිකව ගොලුකර දමන්නත් පුලුවන්.උමාරාට එදා සිදුවූ දේ බොහෝ දුරට ශ්වසනයේ අපහසුතාව නිසා සිදුවූ දොසක් විය හැකියි. එය එසේ නම් මං ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..සජීවී ගැයුමක් කියන්නෙ ලේසිපාසු දෙයක් නෙමේ.කෙසේ වෙතත් ජාතික ගීය ගයද්දි,රට මොන තරම් බංකොලොත් උනත් ඕනම මිනිහෙකුට තමන් රටට තියෙන ආදරේ හැඟීමෙන් ප්‍රකාශ වෙනවා.උමාරගෙ ගැයුමෙ ඊලඟ අඩුව එය හැඟීම් විරහිත ගැයුමක්.කටහඬ කියන්නෙ තම තමන්ගෙ අයිතියක්. නමුත් කන කියන්නෙ සංස්කෘතික මෙවළමක්.ඔන්න ඔතනයි ප්‍රශ්ණෙ.

 

© ඉන්දිකා උපමාලි

 

සර්ධාර් පනික්කාර්ගේ සිහිනය සැබෑ කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ චරිතයේ කැපවීම

අගමැති ලෙස හත් වතාවක් සහ ජනාධිපති ලෙස එක් වතාවක් ඉන්දියාවට ගොස් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ඉන්දියාවට පාවා දීම සඳහා හෙවත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය හෙවත් අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීම සහ ඉන් පසුව 30 වැනි ප්‍රාන්තය හෙවත් ඊළාම් රාජ්‍යය ද නිර්මාණය කිරීම සඳහා කැපවීමෙන් දායකවන ආකාරය මෙසේ දැක්විය හැක.

 

1. 2002 ජුනි 11වැනි දින ඒකාබද්ධ ප්‍රකාශයක් මගින්…

 

1.1. ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පුළුල් කිරීම සහ එමගින් සේවා වෙළඳාම සඳහා අවස්ථාව සැලසීම.

 

1.2. ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ අධ්‍යයන කණ්ඩායම පිහිටුවීම මගින් ඉදිරි ගිවිසුම් සඳහා පදනම සකස් කිරීම.

 

1.3. ඉන්දියානු තෙල් සමාගම හෙවත් IOC සමාගමට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සිල්ලර වෙළඳාම සඳහා අවස්ථාව ලබාදීම, ඉන්ධන හල් 100ක් ලබාදීම සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම.

 

1.4 ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා මූලික අධ්‍යයනයට එකගවීම.

 

(එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මහතාට කණවැල ඇල්ලීම සඳහා පසු කාලීනව රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති පුටුව පරිත්‍යාග කළ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කළ එවකට ආර්ථික කටයුතු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ද සහභාගී වීම විශේෂයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර මිලින්ද මොරගොඩට “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කිරීම මගින් ඔහුගේ බලවත්කම පැහැදිලි වේ.)

 

2. 2003 ඔක්තෝබර් 21 දින ඒකාබද්ධ ප්‍රකාශය මගින්…

 

2.1. විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් සීපා (CEPA ) ගිවිසුම අත්සන් කිරීම මගින් සේවා වෙළඳාම සහ ඉන්දියානු ජාතිකයින්ට රට තුළට පැමිණ වෙළදාම් කිරීම සහ රැකියා කිරීම සඳහා ඉඩ සැලසීමට එකඟ වීම. (පසුව ප්‍රබල මහජන විරෝධය හමුවේ එම ගිවිසුමේ නාමය ETCA ලෙස වෙනස් කරනු ලැබීය.)

 

2.2. සිවිල් ගුවන් සේවා (ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර) පුළුල් කිරීම මගින් යාපනය සහ මඩකලපුවට ඉන්දියාවේ සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම කිරීම. (ඒ සඳහා පසුකාලීනව මෙම ගුවන් තොටුපලවල් ගුවන් හමුදා පාලනයෙන් ඉවත්කර සිවිල් ගුවන් තොටුපළවල් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.)

 

2.3. අවබෝධතා ගිවිසුමට අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය IOC සමාගමට බාරදීම.

 

2.4. ශ්‍රී ලංකාවේ ඊසාන දිග ගුවන් කලාපය ඉන්දියාවට පැවරීම. (මේ වන විට එම කලාපය තුළ පියාසර කරන ගුවන් යානාවලින් ඉන්දියාව අයකරගන්නා ගාස්තු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ රුපියල් වලින් මිලියන 6000ක් ඉක්මවා යන බව වාර්තා වේ.)

 

3. 2015 සැප්තැම්බර් 10 දින ඒකාබද්ධ ප්‍රකාශය මගින්…

 

3.1. ත්‍රිකුණාමලය වරාය කලාපය කණිජතෙල් කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීම. (ඒ මගින් වර්ෂයේ ඕනෑම කාලයක ක්‍රියාත්මක කළ හැකි ලෝකයේ 15 වැනි විශාලතම වරායට පය තබා ගැනීමට සහ කිලෝමීටර් 56ක මුහුදු තීරය භාවිතා කිරීමට ඉන්දියාවට දොර විවෘත විය)

 

3.2. නිදහස් වෙළඳ ගිවිසුමේ ගැටළු නිරාකරණය කිරීම සහ සීපා ගිවිසුමේ කටයුතු කඩිනම් කිරීම මගින් ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ ආර්ථික ඉඩ ප්‍රස්ථා ලබාදිම.

 

4. 2016 ඔක්තෝබර් 6 දින ඒකාබද්ධ ප්‍රකාශය මගින්…

 

4.1. සේවා වෙළඳාම සහ ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ රැකියා කිරීම සහ වෙළදාම් කිරීම සඳහා ඉඩ සලසන එක්කක්‍ CEPA ගිවිසුමට අදාළ ඉදිරි කටයුතු සම්පූර්ණ කිරීම (පසුව එය ETCA ලෙස නම්කරනු ලැබීය.)

 

5. 2017 අප්‍රේල් 29 ඒකාබද්ධ ප්‍රකාශය මගින්…

 

5.1. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ ඉන්දියාවට ඉඩප්‍රස්ථා වර්ධනය කෙරෙන ව්‍යාපෘති සඳහා ආර්ථික සහයෝගිතාව සඳහා වන ව්‍යාපෘති අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම.

 

5.2. IOC සමාගම විසින් බඳු පදනම යටතේ ලබාගත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආශ්‍රිත ගැටළු නිරාකරණය කිරීම. (2014 දී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ ‘රෙජීම් චේන්ජ්’ මෙහෙයුමට පෙර මහින්ද රාජපක්ෂ රජය විසින් එම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දියාවට යෝජනා කළ අතර ඒ නිසා IOC ක්‍රියාකාරීත්වයට බාධා එල්ල විය.)

 

5.3. ඉන්දියානු ධීවරයන්ට කොන්දේසි සහිතව ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට හැකිවන ලෙස අදාළ ප්‍රශ්නය ගොඩින් බේරීම සඳහා අධ්‍යන කණ්ඩායමක් පත් කිරීම.

 

6. 2017 නොවැම්බර් 24 දින ඒකාබද්ධ ප්‍රකාශය මගින්

 

6.1. ETCA ගිවිසුමට අදාළ කටයුතු අවසන් කිරීම.

 

7. 2018 ඔක්තෝබර් මස සිදු කළ චාරිකාවේ දී සාකච්ඡා කළ කරුණු….

 

7.1. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම.

 

7.2. මත්තල ගුවන්තොටුපල කළමනාකරණය ඉන්දියාවට පැවරීම.

 

7.3. චීන රාජ්‍යය සමාගමකට ලබා දීමට තීරණය කර තිබූ උතුරු පළාතේ නිවාස ව්‍යාපෘතිය එම සමාගමට ලබා නොදී ඉන්දියානු සමාගමකට ලබාදීම.

 

8. 2023 දි 21 දින ඒකාබද්ධ ප්‍රකාශය මඟින්…

 

(මෙවර ඇතිකරගන්නා එකඟතාවය මීට පෙර අවස්ථා 7කදී ඇතිකරගත් එකගතාවන්ගේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැක. එසේම මෙම එකඟතාව ඇතිකර ගැනීමට පෙර සංහිඳියා ක්‍රියාවලිය හෙවත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට අදාළව තමා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සහ උතුරේ පක්‍ෂ සමඟ ඇතිකරගත් එකඟතාවය පිළිබඳව පැහැදිලි කරනඅතර ඊට අදාලව ඉන්දියානු අගමැතිවරයාට ස්ථිරසාර පොරොන්දුවක් ලබා දුන් බවද වාර්තා විය. මෙවර ඇති කරගත් එකඟතාව ඉන්දු – ශ්‍රී ලංකා සම්බන්ධතා වර්ධනය කිරීමක් ලෙස හැඳින්වූවද ඒ මගින් අංගසම්පූර්ණ ආර්ථික ඒකාබද්ධකරණයක් ඇතිවන බව ඉතා පැහැදිලිය.)

 

8.1. සමුද්‍රීය සම්බන්ධතාවය –

ඒ යටතේ ත්‍රිකුණාමලය, කොළඹ සහ කන්කසන්තුරේ යන වරායවල්වල යටිතල පහසුකම් සංවර්ධනයට ඉන්දියාව දායකවන අතර එම වරායවල් ආශිතව ඉන්දියානු ක්‍රියාකාරීත්වය වර්ධනය කෙරෙනු ඇත. ඊට අමතරව ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර මෙන්ම රාමේෂ්වරන් සහ තලේමන්නාරම අතර මගී බෝට්ටු සේවා ආරම්භ කෙරෙනු ඇත. ඒ මගින් උතුරු ප්‍රදේශයේ ඉන්දියානු ක්‍රියාකාරීත්වය වර්ධනය කෙරුණු ඇත.

 

8.2. ගුවන් සබඳතාවය –

ඒ යටතේ යාපනය සහ චෙන්නායි අතර ගුවන් සේවා වර්ධනය කිරීම සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව අතර ගුවන් සබඳතා ආරම්භ කිරීම සඳහා ඉන්දියානු රජය ක්‍රියා කරනු ඇත. එසේම පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීම මගින් එහි ක්‍රියාකාරීත්වය තුළ ඉන්දියානු මැදිහත්වීම වර්ධනය කෙරෙන අතර මත්තල ගුවන් තොටුපොල සංවර්ධනය කිරීමේ නාමයෙන් එහි කළමනාකාරීත්වය ඉන්දියානු සමාගමක් යටතට පත් කිරීම ද අපේක්ෂා කෙරේ.

 

8.3. බලශක්තිය සහ විදුලිය ආශ්‍රිත සහයෝගීතාවය –

ඒ යටතේ ඉන්දියාවේ සිට නළ මාර්ගයෙන් ශ්‍රී ලංකාවට කණිජතෙල් සහ ගෑස් සැපයීම සඳහා නල මාර්ගයක් මුහුද යටින් එළීමසහ ඉන්දියානු සහ ශ්‍රී ලංකා විදුලි පද්ධති ඒකාබද්ධ කරමින් විදුලි කේබලයක් එළිම සිදුවේ. ඊට අමතරව පුනරින් සුළං බලාගාරය සහ සම්පූර් සූර්යබල ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බල සැපයුම තුළ ඉන්දියානු මැදිහත්වීම වර්ධනය කරනු ඇත. ඒ අතර මන්නාරම් ද්‍රෝනියේ සහ කාවේරි ද්‍රෝනියේ මුහුදු ප්‍රදේශය තුළ ඛණිජ තෙල් ගවේශණයද ඉන්දියානු සමාගම් වෙත ලබා දෙනු ඇත.

 

8.4. වෙළඳ, ආර්ථික සහ මූල්‍ය සහයෝගීතාව-

ඒ යටතේ ශ්‍රී ලංකාවේ රජය සතු ව්‍යාපාරවල ආයෝජනය කිරීම හෙවත් එම ආයතන සම්පූර්ණයෙන්ම හෝ ඒවායේ කොටස් ඉන්දියානු සමාගම් විසින් මිල දී ගැනීම සිදුවේ. ඒ අනුව ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව,ලිට්රෝ ගෑස් ආදී ආයතන රාශියක් මිලදී ගැනීමට ඉදිරිපත් වන රටවල් හෝ සමාගම් අතුරින් ඉන්දියානු රජයේ හෝ පුද්ගලික සමාගම් වලට විශේෂ ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇත.

 

* ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් ETCA ගිවිසුම අත්සන් කිරීම මගින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ සහ සේවා වෙළඳපල අත්පත්කර ගැනීමට අමතරව රට තුළට පැමිණ රැකියා කිරීමට සහ වෙළදාම් කිරීමට ඉන්දියානුවන්ට හැකියාව ලැබෙන ඇත.

 

* ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික සහ මූල්‍ය පහසුකම් ලබාදීම මගින් ශ්‍රී ලංකාවේ දත්ත පද්ධතිවලට ඇතුල්වීමේ හැකියාව ඉන්දියාවට ලැබෙනු ඇත.

 

* ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීම හෙවත් මූල්‍ය ඒකාබද්ධකරණය

 

* ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ආයෝජන කලාපය තුළ ඉන්දියානු ආයෝජන වර්ධනය කිරීම මගින් ත්‍රිකුණාමලය ආශ්‍රීත ඉන්දියානු මැදිහත්වීම තවදුරටත් වර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

(මීට පෙර ත්‍රිකුණාමලය ආශ්‍රිතව ඛණිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සහ ඉන්දියානු – ඇමෙරිකානු ඒකාබද්ධ යුද සැපයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා සාකච්ඡා කෙරිනි. ඒ පිළිබඳව ඉන්දියානු විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු දෙවන රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් අතර ද සාකච්ඡා පැවැත්වූ බව වාර්තා විය.)

 

8.5. පුද්ගල – පුද්ගල සහ භූගෝලීය සබඳතාවය –

 

* ඒ යටතේ ඉන්දියානු දුම්රිය පද්ධතිය ත්‍රිකුණාමලය දක්වා දිගු කෙරෙන අතර එම ගොඩබිම් සබඳතාවය ජාත්‍යන්තර මාර්ගයක් බවට පත්වනු ඇත. ඊට සමගාමීව රාමේෂ්වරන් සිට තලේමන්නාරම දක්වා මහා මාර්ගයක් ඉදිරිකිරීම සඳහා යෝජනා ඉදිරිපත්වී ඇත.

 

* ශ්‍රී ලාංකිකයන්ගේ දඹදිව චාරිකාවට සමාන්තරව ඉන්දියානුවන්ගේ රාමායන චාරිකා සංවිධානය කිරීම මගින් වතුකරය සහ ඉන්දියාව අතර සබඳතාවය වර්ධනය කෙරෙනු ඇත.

 

* උඩරට කඳුකරයේ ඉන්දියානු ද්‍රවිඩ තරුණ පරපුර ඉලක්ක කරමින් කුසලතාපුහුණු මණ්ඩපයක් ඉදි කිරීම.

 

* උඩරට වතුකරයේ නිවාස ව්‍යාපෘති මගින් ඉන්දියානු සබඳතා වර්ධනය කිරීම.

 

* ඒ සියල්ලට අමතරව මීට පෙර බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් අත්සන් කළ ඉන්දියානු සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාප ආවේක්ෂණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කෙරෙන බව දැන ගැනීමට ඇත.

 

* ඒ අනුව 1987 ජුලි 29 දින ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් අත්සන් කළ ඉන්දු – ලංකා සාම ගිවිසුම මගින් අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ කූඨ ප්‍රාප්තිය ලෙස වසර 36කට පසුව 2023 ජුලි 21 ඇත්කරගත් එකඟතාවය සැළකිය හැක. ඒ ආකාරයට ඉහත සඳහන් කළ ආකාරයට ගිවිසුම් මගින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් බවට පත්කිරීම සඳහා න්‍යාය ඉදිරිපත් කළ සර්ධාර් පනික්කාර්ගේ සිහිනය සැබෑ කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පාවාදීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉටුකරන භූමිකාව ඉතා හොඳින් තේරුම්ගත හැක.

 

වෛද්‍ය වසන්ත බණ්ඩාර

 

 

ලෝ ප්‍රකට කතුවර මිලාන් කුන්දේරා දිවියෙන් සමුගනියි

The Unbearable Lightness of Being කෘතියෙහි කතුවර, ලෝක ප්‍රකට නවකතාකරුවෙක් වන මිලාන් කුන්දේරා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 94 හැවිරිදි වියේ පසුවිය.

 

චෙකොස්ලෝවැකියාවේදී උපත ලැබුවද මිලාන් කුන්දෙරා සලකනු ලැබුවේ ප්‍රංශ ලේඛකයකු වශයෙනි. උපන් බිමෙන් පිටුවහල්ව ප්‍රංශයේ පුරවැසි බව ද ලබා එහි ජීවත්වීම හැරුණුවිට ඔහු විසින් ම තමා ප්‍රංශ ලේඛකයකු ලෙස හඳුන්වාදීම ඊට හේතුවය.

 

ලේඛකයකු වීමට අමතරව කලක් කම්කරුවකු ලෙස ද ජෑස් සංගීතඥයකු සහ විශ්ව සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ද මිලාන් කටයුතු කර තිබේ. කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකුව කලක් කටයුතු කළ ඔහු දෙවතාවකදී ම පක්ෂයෙන් නෙරපා හැරීමට ලක්ව ඇත. කොමියුනිස්ට් පාලන සමයේදී ඔහුගේ කෘතීන් චෙකොස්ලෝවැකියාවේ ප්‍රකාශයට පත් කිරීම තහනම් කෙරිණි.

 

සාහිත්‍ය පිළිබඳ පළවූ සඟරා කිහිපයක සංස්කාරක වශයෙන් ද මිලාන් කුන්දෙරා කටයුතු කර තිබේ. කෙටිකතා එකතුවක් මෙන් ම පද්‍ය එකතුවක් ද ඔහුගේ නිර්මාණ අතර වේ. කෙසේ වුවද ඔහු ලෝ පතළ වූයේ නවකතාකරුවකු වශයෙනි. ඉහළම අලෙවි වාර්තා තැබූ ඔහු‍ගේ කෘතිය වූයේ The Unbearable Lightness of Being ය.

 

මිලාන් කුන්දෙරාගේ නම අවස්ථා කිහිපයකදී ම නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට නිර්දේශ විය. ජෙරුසෙලම් ත්‍යාගයෙන්, ඔස්ට්‍රියානු රාජ්‍ය ත්‍යාගයෙන්, චෙච් ජනරජයේ සාහිත්‍ය ත්‍යාගයෙන් සහ ඕවිඩ් ත්‍යාගයෙන් ඔහු පිදුම් ලබා තිබේ. 1980 ගණන්වලදී ඔහු ලෝ පතළ වූයේ අතිශයින් විවාදාපන්න, වඩාත් විචිත්‍රවත්, බෙහෙවින් ප්‍රශංසාවට භාජන වූ ලේඛකයා වශයෙනි.

 

 

රාජගිරියේ දේශීය වෛද්‍ය පීඨ වෙද සටනට නායකත්වය දුන් දේශීය වෛද්‍ය නිමල් කරුණාසිරි හඳුනා ගනිමු

පහතින් පලවෙන්නේ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අතීත ක්‍රියාකාකම් සම්බන්ධයෙන් ප්‍රවින මාධ්‍යවේදී‌ ධර්මන් වික්‍රමරත්න මහතා විසින් තම මුහුණු තැබූ සටහනකි.

 

රාජගිරිය ප්‍රධාන මාර්ගය අසළ පිහිටි දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය වර්තමානයේ කොළඹ සරසවියේ පීඨයකි. එය ආණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය ලෙස ආරම්භ කළේ 1929දී රාජගිරියේ ඔබේසේකර පරපුරේ ඉඩමකය. සර් ඩී.බී. ජයතිලක ඇතුළු විද්වතුන් පිරිසක් එහි සමාරම්භකයින් විය. පෞද්ගලික හේතූන් නිසා ඉන් සති කිහිපයකට පසු පණ්ඩිත වික්‍රමාරච්චි විසින්ද ගම්පහ යක්කල සිය පෞද්ගලික ඉඩමක ශ්‍රී ලංකා සිද්ධායුර්වේද විද්‍යාලය නමින් විද්‍යාලයක්ද පිහිටුවන ලදී.(1994දී එය කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධවී ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ලෙස හැදින්වේ).

 

පනස් හයේ බිහිවූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ එක් යෝජනාවක් වූයේ ස්වදේශිය වෛද්‍යවරුන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් ආරම්භ කලයුතු බවය. ඒ අනුව 1961 අංක 31 දරණ පනත යටතේ ආණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය රජයේ දේශීය වෛද්‍ය විද්‍යාලය බවට පත්විය. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව මගින් 1977 පෙබරවාරි මස විශේෂ ගැසට් නිවේදනයක් මගින් එය කොළඹ සරසවියට අනුබද්ධ කරන ලදී. ඒ සඳහා පළමු උපාධිධාරි ශිෂ්‍ය කණ්ඩායම 1983 ජනවාරි මස බදවාගත් අතර එයට ශිෂ්‍යාවන් 48 දෙනෙකු ඇතුළු සිසුන් 60 දෙනෙකු බදවා ගන්නා ලදී. සරසවියකට ඇතුළත්වීමේ අවම ලකුණු සීමාවවූ ලකුණු 180 ඉක්මවා ඇති ජීව විද්‍යා අංශයේ සිසුන්ට එයට ඉල්ලුම් කල හැකි විය.

 

ඉතාම අඩු පහසුකම් යටතේ පාඨමාලා ආරම්භකල කොළඹ සරසවියට අනුයුක්ත රාජගිරිය ආයුර්වේද පීඨයේ නිත්‍ය කාර්ය මණ්ඩලය 14ක් විය. අන්තරේ මග පෙන්වීමෙන් 1983දී එහි ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවක් ස්ථාපිතවූ අතර 1984 සභාපති ලෙස එස්. වික්‍රමරත්නද ලේකම් ලෙස නිමල් කරුණාසිරිද පත්විය. අන්තරේ වෙනුවෙන් එයට මැදිහත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහින්ද පුෂ්පකුමාර සහ කොළඹ සරසවියේ ශ්‍රිලනිප ශිෂ්‍ය සංගමයේ සභාපති කීර්ති මාවැල්ලගේය(වර්තමානයේ මහින්ද පුෂ්පකුමාර කුලියාපිටිය ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රීවරයෙක් වන අතර කීර්ති කලක් ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය). දේශීය වෛද්‍ය සිසුන් අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිවද පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක සරසවි සිසුන් 1984 ජුනි මස ඝාතනයට ලක්වු අවස්ථාවේදී එයට ‍එරෙහිවද අන්තරේ සමඟ එක්වී කටයුතු කළහ. තංගල්ලේ පැවති පද්මසිරි අබේසේකරගේ අවමංගල උත්සවයේදී කොළඹ දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව වෙනුවෙන් නිමල් කරුණාසිරිද සභාව ඇමතීය.

 

ආයුර්වේද සටනේ නායකයා වූයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ 1985 සිට 1990 සභාපති වූ නිමල් කරුණාසිරිය(බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ලෙසද 2014දී කටයුතු කරන ලදී). මාතර හක්මන 1960 අගෝස්තු 29 උපන් නිමල්ට සොයුරු සොයුරියන් 5 දෙනෙකි. වර්තමානය දක්වාම වෛද්‍ය නිමල් කරුණාසිරි දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සහ ‍ප්‍රගතිශීලි සටන්වල මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකි.

 

ආයුර්වේද පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් ලෙස නිමල් සමඟ එකල අන්තරේ නියෝජනය කළේ සුදත් අලහකෝන්, ධර්මසිරි සහ චන්දන පෙරේරාය. ජවිපෙට එරෙහිව වාමවාදී බලවේග සමඟ සමාන්තරව කටයුතු කල චන්දන පෙරේරා විප්ලවාදී කොමියුනිස් සංගමයේ කම්කරු මාවත කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

 

දේශීය වෛද්‍ය පීඨයට අවශ්‍ය පහසුකම් පිළිබද වාර්තාවක් ඒ පිළිබද සොයා බැලීමට පත්කල ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහාචාර්ය කුරුප් විසින් නිර්දේශ කර තිබිණි. එහෙත් ඒ කිසිදු පහසුකමක් හෝ සරසවි අධ්‍යාපනයට සරිලන විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් එහි නොතිබිණි. සිසුන් කල ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස මහවත්තේ 20 දෙනෙකුට නේවාසිකාගාරයක්ද සිසුවියන් සඳහා මොරගස්මුල්ලේ නේවාසිකාගාරයේද පහසුකම් සලසා තිබිණි.

 

 

තවත් කණ්ඩායම් දෙකක් ඒ වන විට උපාධි පාඨමාලාව සඳහා බදවාගෙන තිබිණි. තෙවන වසරේ විභාගය ඇරඹීමට තිබුණේ 1985 ඔක්තෝබර් මස 2වැනිදාය. ලිඛිත, වාචික, ප්‍රායෝගික පරික්ෂණ තුනෙන් දෙකක් සමත්වීම අවශ්‍ය විය. පීඨයේ අධ්‍යක්ෂකවරයා වූයේ ඩබ්ලිව්.ඩී.සී.ඩී. මහතන්තිල වන අතර කොළඹ සරසවි‍ උපකුලපති වූයේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ විය. විධිමත් අධ්‍යාපන පහසුකම් යටතේ පිඨයේ කටයුතු කරගෙන යන ලෙසට සිසූහු වසර 3ක් තිස්සේ ඉල්ලීම් කලද ඒවා ඉටු නොවූ බැවින් විභාග වර්ජන තීරණයක් ගැනීමට ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව තීරණය කළේය. දේශීය වෛද්‍ය පීඨයේ සිසුන් 287 දෙනාගෙන් සිසුවියන් 5 දෙනෙකු හැර අන් සියළු දෙනා එය අනුමත ක‍ළහ.

 

 

සරසවි සිසුන්ගේ විභාග වර්ජන තීරණය දෙමාපියන්ට දැන්වීම සඳහා ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මගින් ලෙනෝරා ශාලාවේදී රැස්වීමක්ද කැඳවන ලදී. එහිදී දෙමාපිය කමිටුවක්ද පත්කරගත් අතර එයට අලහකෝන්, සමරතුංග, ප්‍රියාන් යන සිසුන්ගේ පවුල්වල අය නම් කෙ‍රිණි. එහෙත් විසදුමක් නොවීය. පොලිස් ආරක්ෂාව යටතේ විභාග පැවැත්වීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කෙරිණි. තෙවන වසරේ විභාගය පැවැත්වූයේ 1985 දෙසැම්බර් 13වැනිදාය. සිසුන් 287 දෙනාගෙන් 38දෙනෙකු ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ තීරණය නොසලකා විභාගයට පෙනී සිටියෝය. පද්මසිරි දිසානායක, ජනකාන්ති කුමාරි, පද්මශාන්ති වීරතුංග, රෝහිණී, සන්ධ්‍යා මුණසිංහ, පුෂ්පා, තිස්ස ඇතුළු සිසුවියන් 32දෙදෙනෙකු සහ සිසුන් 6 දෙනෙකු එයට අයත් විය.

 

 

අන්තරේ එකල කැඳවුම්කරු වූයේ රංජිතම් ගුණරත්නය. අන්තරේ තීරණය අනුව ආයුර්වේද පීඨයේ විභාග ආරම්භ කිරීමේදී එයට එක්වූ සියළුම සිසුන් පසුව විරෝධය දක්වා පිටතට පැමිණියේය. එවකට අංශ ප්‍රධානි වූ ජාගොඩආරච්චි රඳවාගත් සිසූහු සිය ඉල්ලීම් ඉදිරිපත් කළෝය. වැලිකඩ පොලිසිය මගින් පැමිණ සිසුන් 25ක් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවූහු අධිකරණයෙන් ඇප මත මුදා හැරියේය. අධිකරණ නියෝගය අනුව පීඨය ආසන්නයට කිලෝමීටර් 2ක් තෙක් පැමිණිම තහනම් විය. සිසුහු මොරගස්මුල්ලේ නිවසක් මූලස්ථානය කර ගනිමින් සිය අරගලය ඉදිරියට ගෙන ගියහ. උද්ඝෝෂණ, පිකටින්, මාධ්‍ය සාකච්ඡා, පෙත්සම් අත්සන් කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය. එහෙත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ආයුර්වේද පීඨයේ ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂක භටයින් යෙදවිණි. පන්ති වර්ජනය කරන සිසුන් 249දෙනාට සරසවි භූමියට ඇතුල්වීම වසරක් දක්වා තහනම් කරන ලදී.

 

 

සිසුන් 249ක් එලියේ සිටිද්දී 38 දෙනෙකු විරෝධතාවට එක් නොවී පාලනාධිකාරයේ ඉල්ලීමට අවනත වෙමින් දේශනවලට එක්වී තිබිණි. යාපනයද ඇතුළු රටපුරා සියළු සරසවි සිසුහු දේශීය වෛද්‍ය විද්‍යාලයේ අරගලය විසදන්නැයි කියමින් එක්දින පන්ති වර්ජනයක්ද කරන ලදී. සිසුන් අතිබහුතරය ආයුර්වේද පීඨයේ පන්ති වර්ජනයක් සිදුකර තිබියදී ඉතා සුළුතරයක් අධ්‍යාපන කටයුතු වලට සහභාගිවීම පාවාදීමක් යැයි තීරණය කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරේ) වෙනත් සරසවියන්හි සරසවි සිසුන් 50 දෙනෙකුගේ කණ්ඩායමක් යොදා ගනිමින් ගරිල්ලා ක්‍රමයේ ක්ෂණික මෙහෙයුමකින් එය පරාජය කිරීමට ඒකමතිකව තීන්දුවක් ගත්තේය. ඒ සදහා ශ්‍රී ජයවර්ධනපුර සහ මොරටු සරසවියේ සිසුන් 45 දෙනෙකු පෞද්ගලික බස් රථ දෙකකින් රැගෙන පැමිණ සැලසුම දැනුම්දී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී.

 

 

රාජගිරියේ දේශීය වෛද්‍ය පීඨයට විනාඩි 25ක ගරිල්ලා ක්‍රමයේ ක්ෂණික මෙහෙයුමකින් සටන ජයගැනීමට ඉවහල්වූ 50හේ කණ්ඩායමේ නායකයින් වූයේ ජයවර්ධනපුර සරසවියේ ගාමිණී මාලසිංහ, සුනිල් මාරසිංහ සහ උපුල් නානායක්කාර නොහොත් ලෙනෝරාය. සහභාගිවූ 50 කණ්ඩායමේ ක්‍රියාකාරිකයින් අතර ආනන්ද, රාජපුර, කෝදා‍ගොඩ, පොඩි ඇලෙක්ස්, ලොකු ඇලෙක්ස්, පාඨලී චම්පික රණවක, සුනිල් ශාන්ත, වීරරත්න, ගෙවිඳු කුමාරතුංග, බාලසූරිය ඇතුළු පිරිසක් විය. ඒ අතර කිහිප දෙනෙක්ම රුවන් ගුරුගේ, ගිනිගත්හේනේ බණ්ඩාර ඇතුළු කටුබැද්ද ජාතික තාක්ෂණික විද්‍යා පාඨමාලාව හදාරණ එන්.ඩි.ටී. සිසුන් වූහ. මෙම දේශීය වෛද්‍ය පීඨ අරගලය 1985 සිට 1990 දක්වාම මාධ්‍යයට ආවරණය කළේ ලියුම්කරුය.

 

අන්තරේ නියෝජනය කල ක්ෂණික මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකයින් ආයුර්වේද පීඨයට ඇතුල්වූයේ පෙරවරු 9.30ටය. ඉදිරිපස යකඩ උල් සහිත ගේට්ටුවෙන් ඇතුලට පැනගත් ජපුර සරසවියේ කරාටේ ආනන්ද ඇතුළු සිසුන් තිදෙනෙක් ආරක්ෂක අංශය යටත් කරගත් අතර තවත් සිසුන් කණ්ඩායමක් එලියෙන්ම ස්ථාවර දුරකථන මාර්ග කපා අවහිර කල අතර විදුලියද විසන්ධි කළේය. ඉන්පසු සිසු කණ්ඩායම් කලින් දුන් නියෝග අනුව තමන්ට දුන් පැවරුම් සිදු කළේය. පිරිසක් ලේඛාධිකාරි බණ්ඩාර ප්‍රාණ ඇපයට ගත්තේය. අධ්‍යයන කාර්ය මණ්ඩලය කාමරයකට ගෙනගිය අතර ඔවුනට ලොකු ඇලෙක්ස් විසින් සිය අරමුණ පහදන ලදී.

 

 

පාඨමාලාවට සහභාගිවන සිසුන් 38දෙනා කාමරයට ගොස් දොර වසාගෙන ඩෙස් පුටු අතර බිම වැතිරී සැඟවී සිටියහ. දොරකඩා ඔවුන් එළියට ගෙන විනාඩි 5ක විප්ලවීය දේශනයක් දුන්නේ ජපුරේ කමල් ප්‍රනාන්දුය. ඉන් පසුව ආයුර්වේද සටන පාවා නොදෙන බවත් පොදු සිසුන්ගේ තීරණ අනුව ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ගන්නා තීන්දුවලට එකඟවන බවටත් අන්තරේ මගින් සකස් කරන ලද ප්‍රතිඥාවක් සිසුන් 38 දෙනාම එක්වරම උස් හඬින් කියවා සපථ කළහ. පොදු සිසුන් සමඟ පමණක් සටන ජයග්‍රහණයකින් අනතුරුව යළි පීඨයට පැමිණෙන බවටත් ඔවුහු අවධාරණය කළහ. ආයුර්වේද පීඨයේ බලය විනාඩි 25කට සියතට ගෙන සටන්කාමී සිසු බලය ස්ථාපිත කර විනාඩි 25කින් ‍ක්ෂණික මැදිහත්වීම නිමාකරමින් සිසුන් 38දෙනාද රැගෙන පැමිණි රෝසා බස් 2ක නැගී පෙරවරු 9.55ට ඔවුහු පළා ගියහ. ඉතාම ආසන්නයේ පිහිටි වැලිකඩ පොලිසියේ නිළධාරින් ආයුර්වේද පීඨයට ලඟාවන විටද පෙරවරු 10.05 විය. බසයෙන් රැගෙන ගිය සිසුන් බොරලැස්ගමුව ප්‍රදේශයේදී බසයෙන් බස්සවා නිදහස්කල අතර මෙහෙයුමට පැමිණි ‍සිසු කණ්ඩායම් අතර මගදී බසයෙන් බැසගොස් තිබිණි. අවසානයේ සිසුන් කිසිවෙකු දේශන වලට සහභාගි නොවූ අතර දේශීය වෛද්‍ය සටන ඉල්ලීම් ලබා ගනිමින් ජයග්‍රාහීව නිමාවිය.

 

 

ජවිපෙ 2වැනි කැරැල්ලේ පරාජයෙන් පසු වසර 1990දී නැවත ලංකාවේ විශ්ව විද්‍යාල ආරම්භ කරන විට සම්පූර්ණයෙන් විශ්ව විද්‍යාල පිරී පැවතුනේ ඔත්තුකරුවන් ගෙනි. අවමගුල් දැන්වීමක් ඇලවීමට පවා පරිපාලනයෙන් අවසර ගතයුතු තත්ත්වයක් නිර්මාණයවී තිබිණි. අන්තරේ කැඳවුම්කරු වශයෙන් කොළඹ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ සිසු අතුල සේනාරත්න සහ සරත් විජේවර්ධනගේ මැදිහත්වීමෙන් 1990 අගෝස්තු මාසය වන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නැවත පණ ගන්වනු ලැබීය. අධ්‍යාපනික ගැටලු පිළිබදව දේශීය වෛද්‍ය පීඨ අරගලය 1991දී ජයග්‍රහණය වීමෙන් සහ යක්කල ආයුර්වේද විද්‍යායතනය විශ්ව විද්‍යාල මට්ටමට ගෙන ඒමේ 1993දී ඇරඹූ සටන ජයග්‍රාහීව කෙලවර වීමෙන් පසු අළු දූවිලි මතින් ශිෂ්‍ය ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත්විය.

 

ආයුර්වේද උපාධිය හැදැරිමේ පාඨමාලා කාලය වසර 6ක් වූවද පළමු කණ්ඩායම ලෙස 1983දී එක්වූ සිසුන්ගේ පාඨමාලා කාලය නිමාවූයේ 1992දීය. දේශීය වෛද්‍ය සටන සහ ජවිපෙ 2වැනි කැරළි සමයේදී සරසවි කඩින්කඩ වසා දැමිම නිසා ප්‍රථම කණ්ඩායමට උපාධිය ලබාගැනීම සඳහා වසර 9ක කාලයක් ගතවූවද ආයුර්වේද පීඨයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා පසු කලෙක ඉවහල් වූයේද වර්තමානයේ රාජගිරියේ සහ ගම්පහ යක්කල ආයුර්වේද උපාධි අපේක්ෂකයින්ට විධිමත් පහසුකම් හිමිවූයේද එම ඓතිහාසික සටනේ ජයග්‍රාහී ප්‍රතිඵලයන් වශයෙනි.

 

(හිටපු ආයුර්වේද කොමසාරිස්/ මානව හිමිකම් කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරිට නිවන් සුව!) By Dharman Wickremaretne ධර්මන් වික්‍රමරත්න විසිනි@

 

 

 

 

 

වාලච්චේනේ හදන පොතක අකුරු ලියමු

කැලණිය නම් ටයර්, ඔරුවල නම් වානේ, වාලච්චේන නම් කඩදාසි යන වදන් කාලයේ වැලිතලාවෙන් වැසීගිය දේශීය නිෂ්පාදන සංස්කෘතියේ මතකයන්ය. සියල්ල පිටරටින් එන තෙක් දත නියවන ජාතියට ඉඳහිට හෝ කොනිත්තා ගැනීමට ඒ සංස්කෘතික උරුම පිළිබඳ මතකය අවධි වන්නේ ආර්ථික අර්බුදය විවිධාකාර ලෙස ගතට හිතට දැනෙන විටය.   

 

 

වාලච්චේන කඩදාසි කම්හල දේශීය නිෂ්පාදන සංස්කෘතිය තුළ ඉහළින්ම තිබූ උරුමයකි.

 

නැගෙනහිර ජර්මානු රජයේ පරිත්‍යාගයක් ලෙස 1952 වර්ෂයේදී මෙරටට ලැබුණු කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර මඟින් දේශීය කඩදාසි නිෂ්පාදනය මුලින්ම ආරම්භ වන්නේ එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ ජී.ජී. පොන්නම්බලම් මහතාගේ මූලිකත්වයෙනි. පිදුරුවලින් කඩදාසි නිෂ්පාදනය ආරම්භ කරමින් ඉතා කෙටි කාලයක් තුළ කඩදාසි නිෂ්පාදන ධාරිතාව දිනකට මෙට්‍රික් ටොන් 35ක් දක්වා වර්ධනය වී තිබූ මෙම නිෂ්පාදනාගාරය 1993 වර්ෂයේ ඵලදායිතා සම්මානයටද හිමිකම් කීවේය.

 

කඩදාසි නිෂ්පාදනය සමග ඓතිහාසික පුරාවෘතයක් නිර්මාණය වූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව තුළ එවකට සේවකයින් 4000ක් පමණ සේවය කර ඇති අතර 1990-94 කාලය මෙහි ස්වර්ණමය යුගය වීය. කෙසේ වෙතත් ආනයනික කඩදාසි ඉතා අඩු මිලට වෙළෙඳපොළට පැමිණීමත් ඉන්පසු රජයන් විසින් විවිධ අවස්ථාවලදී කඩදාසි ආනයනික බදු පහළ හෙළමින් ආනයනය වැඩි කිරීමත් මගින් මෙහි නිෂ්පාදන අලෙවිය පහත වැටිණි. 1994 දී ඉන්දීය රජය සමග අත්සන් කළ වෙළෙඳ ගිවිසුමට අනුව මෙම බදු මුදල 5% ක් දක්වා පහත හෙළිණි. දේශපාලනික හා ව්‍යාපාරික වුවමනා වෙනුවෙන් මෙලෙස තීරුබදු පහත හෙළීම හේතුවෙන් ආනයනික කඩදාසි මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කළේය. මේ හේතුවෙන් කඩදාසි කම්හලේ 20%ක්ව පැවැති සැපයුම 5.1% දක්වා පහත වැටිණි. කෙසේ නමුත් 1994 න් පසු දේශපාලකයින්ගේ දූෂිත ක්‍රියා නිසා කණකොකා හඬන වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාව වසා දැමීමේ මග විවර විය.

 

2019 දී එයට අත්වූ ඉරණම වූයේ අබලි යකඩවලට මෙම නිෂ්පාදනාගාරයේ යන්ත්‍ර විකුණා දැමීමට එවකට රජය තීරණය කිරීමය. කැබිනට් පත්‍රිකාවක් මඟින් යකඩවලට විකිණීමට ගිය කඩදාසි කම්හල් මැෂින් උපකරණ දෙක මස් කිරීමට පිරිසක් මග බලාගෙන සිටියහ.

 

එහෙත් 2020 වර්ෂයේදී ඒ ඉරණම වෙනස් විය. එවකට කර්මාන්ත ඇමැතිවරයා වාලච්චේන තකඩදාසි කම්හලේ කළ නිරීක්ෂණයක දී මෙම නිෂ්පාදනාගාරය නැවත පිළිසකර කිරීමේ කටයුත්ත ආරම්භ විය. යන්ත්‍ර සූත්‍ර ප්‍රයෝජනයට ගැනීමට නොහැකි ආකාරයට විනාශ වී තිබුණද එම කම්හල පිළිසකර කර නැවත වැඩ බාරගැනීමේ අභියෝගය භාරගත් වර්තමාන සභාපති විමල් රූපසිංහ මහතාය. මහා භාණ්ඩාගාරයට බරක් නොවී මෙය ගොඩ නැගීමේ කාර්ය දියත් කළේ සීමිත සම්පත් ප්‍රමාණයකිනි. වසර තුනක් ගෙවී ගොස් අද වනවිට යකඩවලට විකුණන්න ගිය කඩදාසි කම්හල ලාභ ලබන තත්ත්වයට රැගෙන එන්නට ඔවුන්ගේ උත්සාහයට වටිනාකමක් ලැබී ඇත.
‘වාලච්චේන කඩදාසි නගරය අද කොළඹට ඇවිත් අවසන්ය.’ වසර 26 කට පසුව 2020 වසරේ යළි උපන් වාලච්චේන කඩදාසි නගරය මේ වනවිට කඩදාසි වර්ග රැසක් වෙළෙඳ පොළට නිපදවන අතර වාලච්චේන කඩදාසි නිෂ්පාදනය කරනු ලබන්නේ ඉවතලන කඩදාසි ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙනි. මෙතෙක් කලක් රළු කඩදාසිය පමණක් නිපදවූ අතර මේ වනවිට ලංකාවේ නිෂ්පාදිත කඩදාසියකින් පළමු වතාවට පාසල් අභ්‍යාස පොතක් නිෂ්පාදනය කිරීමටද ඔවුන් සමත්වී ඇත. එමෙන්ම මේ වනවිට සමහර රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තමන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය වාලච්චේන කඩදාසි කම්හලේ කඩදාසිවලින් සපයා ගැනීමට පෙළඹීම සැබැවින්ම සතුටට කරුණකි.

 

මේ ජාතික කඩදාසි සංස්ථාවේ වර්තමාන සභාපති විමල් රූපසිංහ මහතාගේ හඬයි.

 

‘2020 නැවත පණ දුන් වාලච්චේන කඩදාසි කම්හලේ සභාපතිවරයා ලෙස වැඩ භාරගනිද්දී එවකට කර්මාන්ත ඇමැති ලෙස හිටපු විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු පිරිස මගෙන් ඇහැව්වේ ‘මේක හොල්මන් මන්දිරයක් මිසක් වැඩ කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මේක යථාතත්ත්වයට ගේන්න පුළුවන්ද කියලා විතරයි. මම ඒ අභියෝගය භාරගත්තාට මම ​මේක ගොඩ ගනීවි කියලා පිළිගන්න බැහැ කිව්වා. ප්‍රතිපාදන දෙන්නත් නැහැ කිව්වා. අභියෝගය දරුණු වුණත් මම ඒක නොසැලී බාරගත්තා.

 

බොයිලේරුව පිළිසකර නොකර යන්ත්‍රය පණගැන්වීමට නොහැකි නිසා මුලින්ම විශාල පිරිවැයක් දරලා බොයිලේරුව පිළිසකර කළා. ඊට පස්සේ  කඩදාසි  යන්ත්‍ර පිළිබඳ මනා දැනුමක් තියෙන ඉන්දියානු විශේෂඥයකු සහ ඉංජිනේරුවන් පිරිසකගේ සහය ලබාගෙන සම්පූර්ණයෙන්ම මැෂින් එක අලුත්වැඩියා නොකර අඩු වියමකින් ක්‍රියාත්මක කළ හැකි කොටස මුලින්ම පණ ගන්වන්න තීරණය කළා. ඒ විදිහට පාර්ශ්ව කිහිපයකගේ එකමුතුවෙන් වාලච්චේන කඩදාසි කම්හල යළි ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට ගේන්න හැකි වුණා.

 

දැනට වාලච්චේන වැඩ බිමේ දැවැන්ත නිෂ්පාදන යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රියවෙලා තියෙන්නේ. එහි අඩුව අපිට තදින්ම දැනෙනවා. දැනට ක්‍රියාත්මක කරන යන්ත්‍රයත් අඩුලුහුඬුකම් ඇතිව තමයි ක්‍රියා කරන්නේ.

 

එසේ තිබියදීත් අපි දිනකට ටොන් 15-20 අතර දෛනික නිෂ්පාදනයක් කරනවා. ඒවගේම අනෙක් මැෂින් එකත් සකස් කරගන්න පුළුවන් නම් මෙරට කඩදාසි අවශ්‍යතාවයෙන් 50%ක නිෂ්පාදනය කරන්න අපිට හැකියාව තියෙනවා.

 

 

අපි අයිති වෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශයට වුණත් අපි ආණ්ඩුවෙන් මහාභාණ්ඩාගාරයේ මුදලින් නඩත්තු වෙන්නේ නැහැ. කොටින්ම කියනව නම් අපි රජයට බරක් වෙලාම නැහැ. අපි මේක දුවන්නේ 2021 දී මහජන බැංකුවෙන් ගත්ත ණය මුදලින්. ඒ ණය මුදල ගෙවන්නෙත් මේ කඩදාසිවලින් ලැබෙන ආදායමින්. 2020ට කලින් මේ කර්මාන්තය වහලා දාද්දි එකතු වුණ ලයිට් බිල් තියෙනවා හිඟ රුපියල් මිලියන 120ක්. ඒකත් අපි කොටස් වශයෙන් ගෙවාගෙන යනවා. මේක වහන්න කලින් සේවකයෝ 4000ක් සේවය කරලා තියෙනවා. අපි නැවත මේක ආරම්භ කරද්දී අපි බඳවාගත්තේ කලින් වැඩ කරපු පුහුණු ශ්‍රමිකයින්මයි. පළපුරුදු අය යොදා ගත්ත නිසා තමයි අපිට මේක ගොඩගන්න පහසු වුණේ. දැනට සේවකයෝ 120ක් අපි එක්ක වැඩ කරනවා. මම ඒ සියලුම දෙනාට ස්තුති කරනවා අමාරුම තැන්වලදී අපිව අත් නොහැරපු එකට.

 

ඉස්සර මේ කඩදාසිය නිෂ්පාදන කරලා තියෙන්නේ පිදුරු උපයෝගී කරගෙන. අපි දැන් කඩදාසිය හදන්නේ ඉවතලන කඩදාසි නැවත ප්‍රතිචක්‍රීයකරණය කරලා. ලංකාවෙන් ඉන්දියාවට මාසෙකට ටොන් දහ දාහක් පරණ පත්තර කඩදාසි පටවනවා. අපි ඒ අයගෙන් තමයි කඩදාසි මිලදී ගන්නේ. ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවෙන් එකතුවෙන උත්තර පත්‍ර අපිට දෙනවා. ඒ වගේ රාජ්‍ය ආයතනවල ඉවත් කරන කඩදාසි හා කාඩ්බෝඩ් අපිට ලබාදෙනවා. මේ මැෂින් වසර ගණනාවක් පැරැණියි. කඩදාසිවල ගුණාත්මක භාවය යම් යම් විදිහට අඩු වැඩි වෙනවා. පිටරටින් ගෙන්වන කඩදාසියට වඩා ඒත් ගුණාත්මක මට්ටමේ කඩදාසියක් වෙළෙඳපොළට දෙන්න අපිට හැකියාව තියෙනවා.
දැනට වාලච්චේන කඩදාසි නිෂ්පාදනාගාරය හරහා කෑම පැකින්වලට අවශ්‍ය කඩදාසිය, සුදු කඩදාසිය, රළු කඩදාසිය, A4 කඩදාසිය, කඩදාසි බෑග්වලට අවශ්‍ය කඩදාසිය නිෂ්පාදනය කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත, ගොවිසෙත ටිකට් පත් මුද්‍රණය කළෙත් වාලච්චේන කඩදාසියෙන්. පස්සේ ඉන්දියාවෙන් අඩු මුදලට එයාලා කඩදාසි ගත්තා. දැන් ජාතික ලොතරැයි මණ්ඩලය අපෙන් කඩදාසි ගන්නේ නැහැ. ඒ මුදල සොයා ගන්න අපි ගුණාත්මක භාවයේ අභ්‍යාස පොතක් මුද්‍රණය කරන්න පසුව තීරණය කළා.

 

ලංකාවේ පාසල් දුවාදරුවන්ට අභ්‍යාස පොත් මිලදී ගන්නවා කියන්නේ මේ කාලේ හරිම අමාරු දෙයක්. ඒ තරමට පොත් මිල ඉහළ ගිහින් තියෙනවා. අපි හිතුවා අපිට පුළුවන් ආකාරයට පහසු අඩු මුදලට දරුවන්ට පොත් ටික මුද්‍රණය කරලා දෙන්න.

 

පාසල් දරුවන්ට අවශ්‍ය සී.ආර්. සාමාන්‍ය අභ්‍යාස පොත් සාධාරණ මිල ගණන්වලට වාලච්චේන නිෂ්පාදිත අභ්‍යාස පොත් කට්ටල මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙච්චර කාලයක් වාලච්චේන කඩදාසි කොළඹට ගෙනැල්ලා විකුණන්න තැනක් අපට තිබුණේ නැහැ. අපි අවම පහසුකම් යටතේ ගුණාත්මක බවෙන් ඉහළ අභ්‍යාස පොතක් ගහලා ‘වාලච්චේන කඩදාසි නගරය කොළඹ ඇවිත්’ කියන තේමාව යටතේ අඩු මුදලට අභ්‍යාස පොත් මිලදී ගැනීමට හැකි අලෙවි පියසක් කොළඹ ආරම්භ කළා.

 

කිරුළපන ස්ටැෆඩ් ඇවනිව්හි අංක 61 දරන ස්ථානයේ මේ අලෙවි පියස ක්‍රියාත්මක වෙනවා. එහිදී වාලච්චේන කඩදාසියෙන් නිෂ්පාදිත අභ්‍යාස පොත්, සුදු මුද්‍රණ කඩදාසි, කෑම ඔතන කඩදාසි ආදී විවිධ කඩදාසි වර්ග අඩු මුදලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ නිෂ්පාදිත කොළයකින් පළමු වතාවට තමයි අභ්‍යාස පොතක් අපි මුද්‍රණය කළේ.   පත්තර මුද්‍රණයට අවශ්‍ය කඩදාසියක් මුද්‍රණයට ඉදිරියේදී අපි ලෑස්තියි.

 

දැනටමත් එක් ළමා පුවත්පතක 60%ක්ම මුද්‍රණය කරන්නේ වාලච්චේන කඩදාසියෙන්. පුවත්පත්වලට අවශ්‍ය කඩදාසියක් අපිට සැකසීමේ හැකියාව තියෙනවා. එයට අවශ්‍ය උපකරණ කිහිපයක් තියෙනවා. දැනට ඒ උපකරණ අපි ළඟ නැහැ. ඒ අවශ්‍ය උපකරණ, කෙමිකල් සපුරා ගන්න හැකියාව ලැබුණු විගස අපි පුවත්පත්වලට අවශ්‍ය කඩදාසිය ලංකාවේම හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අවශ්‍ය තාක්ෂණය සහ පළපුරුද්ද අපි ළඟ තියෙනවා. උපකරණවල අඩුව තමයි තියෙන්නේ.

 

කඩදාසිවලින් වැඩ ගන්න අපේ රටේ ඉන්න සියලුම දෙනා වාලච්චේන කඩදාසි අපෙන් මිලදී ගන්න පෙලඹිලා ඉන්නවා. ඇත්තෙන්ම ඒක අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. අභ්‍යාස පොත් වෙළෙඳපොළට නිකුත් කරපු දවසේ අභ්‍යාස පොත් ගන්න ආවේ පෝලිමේ.

 

සටහන – නදීශා අතුකෝරළ 

 

ධනවාදයේ රැස්කරගත් ලාභාංශ අවසන්; සමස්ත ලෝක ධනවාදී ක්‍රමයම තීරණාත්මක සංධිස්ථානයක

ධනවාදී අර්ථක්‍රමයක් පවතින විශේෂයෙන්ම සුභසාධනවාදී ධනපති යුගයට පිවිස සිටින ප‍්‍රංශය වැනි සංවර්ධිත රටවල ජාතික තරගකාරිත්වයට විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය ප‍්‍රධාන වශයෙන් බලපානු ලබයි.

 

යුරෝපීය ආර්ථිකයේ වැදගත් එන්ජිමක් ලෙස සලකන ප්‍රංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම පශ්චාත් කාර්මික යුගයේ ප්‍රංශයේ සංවර්ධන ක්‍රියාවලියට සහ සමස්ත යුරෝපා සංගමයේ තරඟකාරිත්වයට සමීපව සම්බන්ධ වේ. ගෝලීයකරණ යුගය ලෙස සලකන මේ යුගයේදී, ප්‍රංශය යුරෝපා සංගමය තුලින් පමණක් නොව, එක්සත් ජනපදය, චීනය සහ අනෙකුත් නැගී එන ආර්ථිකයන්හි තරඟකාරීත්වයෙන් ද තම ආර්ථිකය අභියෝගවලට මුහුණ දෙමින් සිටියි.

 

ප්‍රංශයේ වත්මන් ආර්ථික ශක්තිය පදනම් වී ඇත්තේ වසර 500කට වැඩි බටහිර යටත් විජිත ව්‍යාප්තියේ ඓතිහාසික පදනම මෙන්ම දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසු ප්‍රංශයේ ජීවත් වූ පරම්පරා එකක් හෝ දෙකක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලය විසින් අත්කරගත් ජයග්‍රහණ මතය.

 

ප්‍රංශය අදටත් ඔවුන්ගේ පැරණි යටත් විජිත වන බටහිර අප්‍රිකානු රාජ්‍යන් 14 ක මුදල් පාලනය කරන අතර, ෆ්‍රෑන්ක් එම රටවල නීත්‍යානුකූල මුදල් ඒකකය වේ. ඒසේම එම රටවල් අදටත් ඔවුන්ගේ විදේශ විනිමය සංචිතවලින් සියයට 50 ක් ප්‍රංශ මහජන භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුය. විශ්‍රාම වැටුප් ඇතුළු ලෝකයේ වඩාත්ම ත්‍යාගශීලී සමාජ සුබසාධන පද්ධතිය ප්‍රංශ ජාතිකයන්හට භුක්ති විඳීමට ලැබීමට මෙය ප්‍රධාන හේතුවක් වේ.

 

ගෝලීයකරණය නම් වු ප්‍රපංචය තුළ අනිවාර්ය ලෙස පැන නගින තරගයේ දී, ප්‍රංශ ජනතාව ඔවුන්ගේ පූර්වගාමීන් විසින් රැස් කරන ලද ලාභාංශ ක්‍රම ක්‍රමයෙන් හිඳෙමින් පවතී. කෙසේ වුවද ප්‍රංශයට තවමත් මුදල් අහේනියක් උද්ගතව නැති අතර අවශ්‍යනම් යුක්රේනයට සැලකිය යුතු මිලිටරි සහායක් ලබා දිය හැකිය. කෙසේ වෙතත්, ඉදිරියේදී ප්‍රංශ වැඩිහිටි ජනගහනය අඛණ්ඩව වැඩිවීමත් සමඟ ප්‍රංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය අර්බුදයකට මුහුණ දීමට නියමිතය. මේ තත්වය හඳුනාගත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රේන් විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සඳහා කටයුතු කිරිමට උත්සහා කරමින් සිටියි.

 

රටක සුභසාධන පද්ධතියේ වැදගත් අංගයක් ලෙස සලකන විශ්‍රාම වැටුප ආර්ථිකයේ ද්විතියික බෙදාහැරීමේ ඇති සාධාරණත්වය පිළිබිඹු කරන ඉතා වැදගත් සාධකයකි. එපමණක් නොව, බොහෝ රටවල අත්දැකීම්වලින් පෙනී යන්නේ විශ්‍රාම වැටුප් වැඩි කළ හැකි වුවත් කපා හැරීමට අපහසු බවයි. එබැවින් විශ්‍රාම වැටුප් අරමුදල් සංචිතය අඛණ්ඩව පුළුල් කරගන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙන්ම විශ්‍රාම වැටුප් වඩාත් සාධාරණ ලෙස බෙදා හරින්නේ කෙසේද යන්නද ගැටලුවක් බවට පත්ව තිබේ.

 

ප්‍රංශය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් සෑම කෙනෙකුටම දිගු කාලයක් වැඩ කිරීමට සිදුවන පරිදි නීති සකස් කිරීම සාධාරණ නැත. වෙනත් වචනයකින් පැහැදිලි කරන්නේ නම් ශරීර සෞඛ්‍යට අහිතකර සහ සහ භයානක පරිසරයක වැඩ කරන අය ඇතුළු නිල් කරපටි කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයකට මැක්‍රේන් ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ වල බර බෙදා ගැනීමට සිදුවනු ඇත. මෙවැනි කම්කරුවන්ගේ රැකියා ස්වභාවය පරිගණක ආශ්‍රිත රැකියා කරන සහ කොටස් වෙළෙඳ පොළ සහ සුරැකුම්පත් ආශ්‍රිත ක්ෂේත්‍ර වල වැඩකරන අයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය. ඒ අනුව මැක්‍රේන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ වලින් විශ්‍රාම වැටුප් ලබන්නන් අතර ඇති පරතරය තවත් උග්‍ර කිරීමක් සිදුවනු ඇති බවට ගනන් බලා ඇත.

 

ප්‍රංශ විශ්‍රාම වැටුප් ක්‍රමය යුරෝපය තුළ සාපේක්ෂව  ඉහළම ප්‍රතිලාභ ලබන්නන් සහ පහලම ප්‍රතිලාභ ලබන්නන් අතර කුඩා පරතරයක් ඇතැයි ප්‍රසිද්ධ වී ඇත. කෙසේ නමුත් මෑත වසරවලදී, මෙම පරතරය පුළුල් වෙමින් පවතින බව සංඛ්‍යා ලේඛන අධ්‍යනයෙන් තහවුරු වේ. පැරිස් ආර්ථික විද්‍යා පාසලේ ලෝක අසමානතා විද්‍යාගාරයේ දත්ත පෙන්නුම් කරන්නේ 1980 ගණන්වල සිට සෑම තැනකම පාහේ ආදායම් සහ ධනයෙහි ඇති අසමානතා වැඩිවෙමින් පවතින බවයි. ඒ අනුව විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ සහයෝගිතා ධන බද්ද (ISF) වෙනුවට පුද්ගලයන් සඳහා වන දේපල වත්කම් මත පනවන බද්දක් වන ධන බද්ද (IFI) විසින් අසමානතාවයේ “ත්වරණයක්” ඇති වීමට තුඩු දී ඇති බවයි.

 

ලෝක මට්ටමේ ආර්ථික බලවතෙකු වන ප්‍රංශය මුහුණ දෙන අභියෝග මුදල් පමණක්ම නොවේ. මෙම සුබසාධන ක්‍රමය භුක්ති විඳින නව පරම්පරාවේ කොපමන පිරිසක් ඔවුන්ගේ පූර්වගාමීන් කළාක් මෙන්, විශේෂයෙන්ම පහළ  නිෂ්පාදන මට්ටම්වල තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කැමැත්තෙන් සිටින්නේද යන්නද අභියෝගයකි. හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාර්කෝසිගේ සුප්‍රසිද්ධ වදනක් වන “වැඩි වැඩියෙන් උපයා ගැනීම සඳහා වැඩිපුර වැඩ කරන්න” යන වදන මීට වසර කිහිපයකට පෙර ධනාත්මකව සලකනු ලැබුවද, දැන් දැන් බොහෝ ප්‍රංශ ජනතාව, විශේෂයෙන් තරුණයින් විසින් පුළුල් ලෙස ඔහුගේ වදන් ප්‍රතික්ෂේප කර ඇත.

 

එබැවින් විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණය පද්ධතිමය ප්‍රශ්නයක් පමණක් නොව සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් ද වේ. ප්‍රංශයට එහි ශක්තිමත් තරඟකාරිත්වය දිගටම පවත්වා ගත හැකිද යන්න පද්ධතිමය සහ අධ්‍යාත්මික මට්ටම් දෙකෙහිම වන ද්විත්ව අභියෝගයකට මුහුණ දෙන ආකාරය අනුව තීරණය වේ.

 

යුරෝපා ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, යුරෝපීය ධනවාදය ප්‍රතිසංස්කරණවලට තුඩු දෙන ගැටළු වලට පිළිතුරු සෙවීමේදී කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය අතර හිඳිමින් ගවේෂණය කිරීමට පෙළඹී ඇත.ඉතිහාසය පුරාම යුරෝපීය ජනතාව එක්සත් ජනපදයට වඩා වෙනස් මාර්ගයක් තෝරා ගත්හ. එනම් සුභසාධනය සහ සාධාරණ බෙදා හැරීම අවධාරණය කරන මාර්ගය ඔවුන් අනුගමනය කළහ. කෙසේ වෙතත්, සුභසාධන ධනවාදය යටතේ වුවද, ධනවාදයේ ස්වභාවය සහ එහි ආවේනික දෝෂයන් වෙනස් නොකිරීමට වගබලාගන්න අතර, එය ඇති නැති පරතරය පුලුල් කිරීමට පෙළඹීම නොවැලැක්විය හැකිය.

 

ප්‍රංශ ජනතාවට දැන් ගැලවීමට මගක් සොයාගත නොහැකි බව පැහැදිළිව පෙනේ. එලෙසම එක්සත් ජනපදයටද ගැලවීමට මගක් සොයාගත නොහැක. ඒ අනුව ධනවාදය තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇති බව පෙනේ. නමුත් ධනවාදය ඉක්මනින් අතුරුදහන් නොවනු ඇත, නමුත් ධනවාදයේ අනාගත මාවතෙහි ඇති අවිනිශ්චිත බව නම් සක් සුදක් සේ පැහැදිළිය.

 

Capitalism runs out of the accumulated dividends, reaches a critical point

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

 

 

චීනය සහ රුසියාව ලෝකය නව යුගයකට ගෙන යාම සඳහා බල මුළු ගන්වයි. දෙරට නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ යුක්රේන අර්බුදයට විසඳුම්ද වෙයි

චීන ජනාධිපති ක්ෂී ජින් පිං ඊයේ(21) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙමින් චීන-රුසියා සබඳතා ද්විපාර්ශ්වික විෂය පථයෙන් ඔබ්බට ගොස් චීනය සහ රුසියාව එක්ව කටයුතු කරන බවත් එම එකමුතුව සමස්ත ලෝකයට සහ මානව වර්ගයාගේ අනාගතයට තීරණාත්මක බව ද ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා සැබෑ බහුපාර්ශ්විකත්වය ප්‍රගුණ කිරීම, පශ්චාත් වසංගත ආර්ථික ප්‍රකෘතිය ප්‍රවර්ධනය කිරීම සහ බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීම යන විෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවද අවධාරණය කළේය.

 

චීන ජනාධිපතිවරයා සිය රුසියානු  සංචාරය අතරතුර ඊයේ(21) රුසියානු ජනපති පුටින් සහ අගමැති මිහායිල් මිෂුස්ටින් හමුවිය.මෙහිදී ක්ෂී සහ පුටින් මාධ්‍ය වෙත අනාවරණය නොකළ සාක්ච්ඡා සැසියක් සහ පුළුල් ආකෘතියක් තුළ පැවැත්වූ සාකච්ඡා වට දෙකක් පැවැත්වීය. එම සාකච්ඡා වලින් පසුව නායකයින් දෙපල ඒකාබද්ධ ප්‍රකාශයන්ටද අත්සන් තැබූහ.

 

ඒ අනුව නව යුගය සඳහා සම්බන්ධීකරණයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ගැඹුරු කිරීම පිළිබඳ මහජන චීන සමූහාණ්ඩුවේ සහ රුසියානු සමූහාණ්ඩුවේ ඒකාබද්ධ ප්‍රකාශය චීන ජනපති ක්ෂී ජින්පින් සහ රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් විසින් ක්‍රෙම්ලිනයේදී අත්සන් කර නිකුත් කරනු ලැබීය. යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අර්බුදයට විසඳුමක් ලෙස සාකච්ඡා මාර්ගයටඅවතීර්ණ විය යුතු බව අවධාරණය කළ අතර අර්බුදය විසඳීමේදී සියලුම රටවල ආරක්ෂක අවශ්‍යතාවලට ගරු කළ යුතු බව අවධාරණය කළේය. එලෙසම හැකි ඉක්මනින් සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට කැපවන බව රුසියාව ප්‍රකාශ කළේය.

 

තවද 2030 ට පෙර චීන-රුසියා ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන දිශාවන් සඳහා සංවර්ධන සැලසුම් පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයකට ද ජනාධිපතිවරු දෙදෙනා අත්සන් කළහ.

 

දේශපාලන විශ්ලේෂකයින් පවසන පරිදි, ප්‍රධාන බලවතුන් දෙදෙනා අතර ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය-විශ්වාසය සහ සම්බන්ධීකරණය ශක්තිමත් බවත්, සමස්ත ලෝකයම කැළඹිලි තත්වයකට මුහුණ දෙමින් තිබියදීත් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය ඉහළ මට්ටමකට ඔසවා තබා තිබේ. සාකච්ඡා වලින් පසුව චීන ජනාධිපතිවරයා රුසියානු නායකයින් දෙදෙනාට චීනයට පැමිණෙන ලෙසද ආරාධනා කළේය.

 

මේ වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එකම තීරයක් එකම මාවතක්” ව්‍යාපෘතියේ තුන්වන සංවත්සරය සඳහා සහභාගි වීමට චීනයට පැමිණෙන ලෙස චීන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාට ආරාධනා කිරීමද විශේෂත්වයකි.

 

චීන ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින්, චීන නායකයන් තම විදේශ සංචාර සඳහා රුසියාව මූලික තේරීමක් ලෙස ගැනීම ඓතිහාසික තර්කනය සමඟ සමපාත වන බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා චීනය සහ රුසියාව එකිනෙකාගේ විශාලතම අසල්වැසියා මෙන්ම විස්තීර්ණ උපායමාර්ගික හවුල්කරු වන බවත්, එවැනි සබඳතාවයක් ඓතිහාසික පරීක්ෂණයට ලක් වී සමත්වී ඇති බවත් අවධාරණය කළේය. ලෝකයේ සිදුවෙමින් පවතින ගැඹුරු වෙනස්කම්, වෙළඳාම, ආයෝජන, සැපයුම් දාමය, මහා ව්‍යාපෘති, බලශක්ති සහ අධි තාක්‍ෂණික ක්ෂේත්‍රවල රුසියාව සමඟ සහයෝගීතාව පුළුල් කිරීමට චීනය සූදානම් බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

මේ අතර රුසියානු අගමැති මිෂුස්ටින් පැවසුවේ රුසියානු රජයේ ප්‍රධාන කැබිනට් සාමාජිකයින් සියලු දෙනාම පාහේ තමන්ගේ නායකත්වයෙන් යුතුව චීන නායකයා හමුවූ බවත් චීන ජනාධිපතිවරයා ඉතා උනුසුම් ලෙස පිළිගත් බවත්ය.

 

උපායමාර්ගික හවුල්කාරිත්වය

 

චීන විදේශ කටයුතු විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා ආයතනයේ මහාචාර්ය ලී හයිඩොං ඊයේ ග්ලෝබල් ටයිම්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් , චීන සහ රුසියානු නායකයින් අතර ගොඩනගා ඇති ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය සහ පරිණත සබඳතාවය මේ මොහොතේ ලෝකය අත්විඳිමින් සිටින ගැඹුරු වෙනස්කම් වලට අදාල වන රුසියානු- චීන ද්විපාර්ශ්වික සබඳතාවල අවශ්‍යතාවයට හොඳින් ගැලපෙන බවයි.

 

යුක්රේන අර්බුදය හේතුවෙන් රුසියාව සහ බටහිර රටවල් අතර නරක අතට හැරෙමින් පවතින සබඳතා චීන-රුසියානු සබඳතාවල වර්ධනයට බලපෑ නොහැකි බව රුසියානු චීන නායක හමුව මගින් ලෝකයට යවන ලද ප්‍රධාන පණිවිඩයකි. ජාත්‍යන්තර සබඳතා තුළ බහුපාර්ශ්විකත්වය, බහු ධ්‍රැවීයතාව සහ  ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කළ හැකි ධනාත්මක ආකාරයකින් ලෝකය වෙනස් කිරීමට චීනය සහ රුසියාව අධිෂ්ඨාන කරගෙන සිටින බව එයින් පෙන්නුම් කෙරෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

 

රුසියානු-චීන මිත්‍රත්ව සංගමයේ නියෝජ්‍ය සභාපති සහ මිත්‍රත්වය, සාමය සහ සංවර්ධනය සඳහා වූ රුසියානු-චීන කමිටුවේ විශේෂඥ කවුන්සිලයේ ප්‍රධානී යූරි ටව්රොව්ස්කි “ග්ලෝබල් ටයිම්ස්” වෙත පැවසුවේ රුසියාවට සහ චීනයට නරක අතට හැරෙමින් පවතින ජාත්‍යන්තර ආරක්ෂක තත්ත්වය වෙනස් කිරීම සඳහා උත්සාහ ගැනීමටත් එය සම්බන්ධීකරණය කිරීම කළ හැකි බවයි.

 

වර්තමානයේ ලෝකයට බලපෑම් කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ඇති ප්‍රධාන බලවතුන් දෙදෙනෙකු වන රුසියාවට සහ චීනයට පමණක් “ගෝලීය ව්‍යසනය” වැළැක්විය හැකි බව පෙන්වා දුන් ඒ මහතා “ධවල මන්දිරයේ සිටින අයවළුන් ඉතා වගකීම් විරහිත යැයි අවධාරණය කළේය.

 

චීන අග්‍රාමාත්‍යවරයා සහ රුසියානු අග්‍රාමාත්‍යවරයා අතර අඛණ්ඩ නිරන්තර හමුවීම් කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළ අතර චීනයට පැමිණෙන ලෙස රුසියානු අගමැති මිෂුස්ටින්ට ආරාධනා කළ බවද විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර රුසියානු අගමැතිවරයා චීන ජනාධිපතිවරයාගේ ආරාධනය පිළිගෙන චීනයට යාමට සැලසුම් කර ඇති බව රුසියානු අගමැතිගේ ප්‍රකාශක බොරිස් බෙලියාකොව් ඊයේ(21) ටාස් පුවත් සේවය වෙත පැවසීය.

 

චීන-රුසියානු උපායමාර්ගික හවුල්කාරිත්වය යනු ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය පමණක් නොව, වෙළඳාම, මූල්‍ය, බලශක්ති, විද්‍යාව සහ තාක්‍ෂණය පිළිබඳ සහයෝගීතාවය මෙන්ම සංස්කෘතිය, ක්‍රීඩා, සංචාර යනාදිය පිළිබඳව දෙරටෙහි ජනයා හුවමාරු කර ගන්න වැඩසටහන්ද ඇතුළත් බව ඒ පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි.

 

රාජ්‍ය නායකයින් දෙපළට සහ දෙරටෙහි විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට විවිධ මට්ටම්වල සහ අංශවල සන්නිවේදන සහ සහයෝගිතා නාලිකා පිහිටුවීම උපායමාර්ගික ක්ෂේත්‍රයේ පමණක් නොව වඩාත් පුළුල් ලෙස ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම වැදගත් වන්නේ වඩාත් හොඳින් ඒවා ප්‍රවර්ධනය කිරීමට බව විශ්ලේෂකයෝ පවසති.

 

උසිගැන්වීමට එදිරිව මැදිහත් වීම

 

යුක්රේන අර්බුදයේ දේශපාලන විසඳුම ප්‍රවර්ධනය කිරීමේදී සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට චීනය සූදානම් බව යුක්‍රේන ප්‍රශ්නය පිළිබඳ නායකයින් දෙපල ගැඹුරු අදහස් හුවමාරු කර ගත් අවස්ථාවේදී චීන ජනාධිපතිවරයා පැවසූ බව මාධ්‍ය වාර්තා පවසයි.

 

මෙහිදී යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාමය සහ තාර්කිකත්වය සඳහා හඬක් ගොඩනැගෙමින් පවතින බව චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. “බොහෝ රටවල් යුක්‍රේනය සහ රුසියාව අතර ආතතීන් ලිහිල් කිරීමට සහය දක්වයි. එලෙසම සාම සාකච්ඡා සඳහා පෙනී සිටින අතර “ගින්නට පිදුරු” දැමීමට විරුද්ධ වේ. ඉතිහාසය සමාලෝචනය කිරීමෙන් තහවුරු වන්නේ අවසානයේදි ගැටුම් සාකච්ඡා සහ සම්මුතියෙන් විසඳාගත යුතු බවයි.” චීන ජනාධිපතිවරයා පැවසුවේය.

 

යුක්රේන අර්බුදය තුළ සාමය සහ සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීමට චීනය දිගින් දිගටම ගන්නා උත්සාහය රුසියාව සහ යුක්රේනය ඇතුළු බොහෝ රටවල් චීනයේ අවංකභාවය සාදරයෙන් පිළිගැනීම හෝ අගය කිරීම කරන බව දක්නට ලැබේ. එලෙසම චීනයට ඇත්ත වශයෙන්ම වත්මන් තත්වයට ධනාත්මක වෙනසක් ගෙන ඒමට හැකි වනු ඇතැයිද එම රටවල් අපේක්ෂා කරති. නමුත් එක්සත් ජනපදය, චීනය බේරුම්කරනයට ගන්නා උත්සාහයට විවෘතව විරුද්ධ වීමට සහ විවේචනය කිරීමට කටයුතු කරයි.

 

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පසුගිය 20 වනදා ප්‍රකාශ කළේ, “රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ අත්පත් කර ගන්නා ලද ප්‍රදේශය නීතිගත කිරීමට ඉදිරිපත්වන චීන-රුසියානු සාම සැලැස්මට ලෝකය නොරැවටිය යුතුයි.” යනුවෙනි.

 

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ(21) මාධ්‍ය හමුවකදී කියා සිටියේ යුක්රේන අර්බුදය නිර්මාණය කිරීමට චීනය වගකිව යුතු නොවන බවයි. “අපි අර්බුදයේ පාර්ශවකරුවෙකු නොවන අතරම ගැටුමට සම්බන්ධ කිසිදු පාර්ශවයකට ආයුධ ලබා දී නැහැ.ඒ අනුව එක්සත් ජනපදයට චීනයට ඇඟිල්ල දිගු කිරීමට හැකියාවක් නැහැ.” යනුවෙන් ඒ මහතා පැවසුවේය.

 

“එක්සත් ජනපදය පවසන්නේ තමන්ට යුද්ධ නැවැත්වීමට අවශ්‍ය බවයි. නමුත් ව්‍යතිරේක කිහිපයක් හැරුණු විට යුරෝපයේ සහ ඇත්ත වශයෙන්ම ලොව පුරා ඇති සියලුම ගැටුම් හා යුද්ධවලට ප්‍රායෝගිකව සම්බන්ධ වීමට එක්සත් ජනපදය කටයුතු කර තිබෙනවා. එක්සත් ජනපදය පවසන්නේ සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය බවයි. නමුත් ලෝකය සාමය සඳහා පෙනී සිටින එක්සත් ජනපදයක් මෙතෙක් දුටුවේ නැහැ. ඔවුන් දිගින් දිගටම යුධ පිටියට ආයුධ වැසි වස්සවමින් සිටිනවා. ”වැන්ග් පැවසීය.

 

චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යයනය සඳහා වූ චොන්ග්යැං ආයතනයේ මහාචාර්ය සහ විධායක පීඨාධිපති වැන්ග් වෙන් ඊයේ(21) ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසුවේ “සමහර බටහිර මාධ්‍ය ආයතන සෑම විටම ‘නිර්මාණාත්මක භූමිකාවක්’ ඉටු කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටිනවා. නමුත් සාමය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවාට වඩා නිර්මාණාත්මක දෙයක් තිබේද?” යනුවෙනි.

 

“යථාර්ථවාදීව කටයුතු කරනවා නම්, මේ මොහොතේ මැදිහත් වීම සඳහා වඩාත්ම හදිසි කාර්යය වන්නේ ‘ආක්‍රමණය’ හෝ ‘යුද අපරාධ’ වැනි ගැටළු විසඳීම නොවේ. ඒ වෙනුවට එය සටන් විරාමයක් ඇති කර ගැනීම කළ යුතුයි. දෙපාර්ශවයේම සොල්දාදුවන් දිනපතා මිය යනවා. මිලියන ගණනක් සරණාගතයින් අවතැන් වී තිබෙනවා.” වැන්ග් වෙන් පැවසීය.

 

රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමති දැයි ඇමෙරිකා මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් පැවසුවේ, යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුම ප්‍රවර්ධනය සඳහා සාධනීය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි. . “එලෙසම ඔබ එක්සත් ජනපද පාර්ශ්වයෙන්, ඔවුන් සාම සාකච්ඡා ඇති කිරීමට කැමති දැයි විමසිය යුතුයි.”වැන්ග් පැවසුවේය.

 

“එක්සත් ජනපදයට සහ බටහිරට යුක්රේන අර්බුදය සඳහා සාමකාමී දේශපාලන විසඳුමක් දැකීමට අවශ්‍ය නම්, ඔවුන් මැදිහත්වීම පිළිබඳ චීනයේ අත්දැකීම් විශ්වාස කර චීනයේ ස්ථාවරයට සහාය විය යුතුයි.” චීනය සෞදි අරාබිය-ඉරාන සබඳතා මැදිහත්වීම සම්බන්ධයෙන් සාර්ථක වාර්තාවක් ඇති බැවින්, අපට යුක්‍රේනයට සාධනීය මැදිහත් වීමක් කිරීමට හැකියාව තිබෙනවා. එමගින් යුක්රේනයේ යුධ පිටියේ තවත් අහිංසක මිනිසුන් මිය යාම වළක්වන්නට චීනයට හැකියි.” මහාචාර්ය වැන්ග් වෙන් පැවසීය.

 

China, Russia deepen Comprehensive Strategic Partnership of Coordination for the New Era, stress talks as solution to Ukraine crisis in joint statement

 

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

 

 

නීති අධ්‍යාපනය / නීතිඥ වෘත්තිය ජාත්‍යන්තර පාසැල් වල උගත් ඉංග්‍රීසි  කතා කරන නාගරික ධනපති අතළොස්සකට සීමා කිරීමේ කුහක කුමන්ත්‍රණය පරාජය කරමු.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිතුමනි,

 

නීති අධ්‍යාපනය / නීතිඥ වෘත්තිය ජාත්‍යන්තර පාසැල් වල උගත් ඉංග්‍රීසි  කතා කරන නාගරික ධනපති අතළොස්සකට සීමා කිරීමේ කුහක කුමන්ත්‍රණය පරාජය කරමු.

 

ගෝඨාභය රජයේ අධිකරණ ඇමතිව සිටි අලි සබ්රි මහතා ඇමති ධුරයට පත් වීමෙන් පසු නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා මුලින්ම ගෙනෙන ලද යෝජනා වලින් එකක් වූයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීම ය. ඒ අනුව  ඒ සඳහා වූ යෝජනාව අනුමැතිය පිණිස නීති අධ්‍යාපන මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද බව වාර්තා විය. ඊට එරෙහිව නොයෙකුත් විවේචන සමාජ මාධ්‍යයන්හි පළවූ නමුත් එවක රටේ පැවති වාතාවරණය අනුව එම මාතෘකාව කතාබහකට ලක් නොවීය. වසර දෙකක පමණ නිහැඬියාවකින් පසු අදාල තීන්දුව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බැව් වාර්තා විය. එනම් අලි සබ්රි මහතාගේ පුද්ගලික යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා නීති අධ්‍යාපන සභාව ^Council of Legal Education) මගින් සකස් කර ඇති රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. එය මේ සතිය තුල   පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් වනු ඇත.

 

1974 සිට අවුරුදු 49 ක් තිස්සේ මේ රටේ නීතිය හදාරන පුද්ගලයන්ට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන තමන් දන්නා ඕනෑම භාෂාවකින්  විශේෂයෙන්ම තමාගේ මව් භාෂාවෙන් නීතිය හැදෑරීමටත් නීති විද්‍යාලයේ සියලු විභාග වලට පෙනී සිටීමටත් අවස්ථාව හා අයිතිය ලැබී තිබුණි. 1974 දී මේ රටේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කොට රට පුරා උසාවි පිහිටුවන ලද අතර ගම්බද පාසැල්වල සිංහල හෝ දෙමළ බසින් අධ්‍යාපනය ලත් දහස් ගණන් ගැමි දරුවන්ට නීතිඥ වෘත්තියට බැඳී තම ගම් පලාත්වල කටයුතු කිරීමේ අවස්ථාව උදා විය. 1979 දී සරසවි නීති පීඨයේද සිංහල හා දෙමළ මාධ්‍යයෙන් දේශන පැවැත්වීම ආරම්භ කරන ලදී.

 

පුරා වසර 50 කට ආසන්න කාලයක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පැවැත්වූ නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීමට හදිසියේ තීරණය කිරීමට හේතුව කුමක්ද? මේ ඉල්ලීම නීතිඥ ප්‍රජාවෙන්, නීති විද්‍යාල ගුරු මණ්ඩලයෙන්, සරසවි නීති පීඨවලින්, අධිකරණ විනිසුරුවරුන්ගේ සංවිධානයෙන් හෝ නීති සිසුන් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් නොවේ. කෙසේ වෙතත් නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීම සඳහා වූ යෝජනාව රහසිගතව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥසංගමය විසින් බව පසුව එළිදරව් විය. එයද නීතිඥ සංගමයේ විධායක කමිටුවේ සිටින පලාත්බද නියෝජිතයින් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවද හෙළිදරව් වී ඇත. එය නීතිඥ සංගමයේ සභාපති හා ලේකම් ඇතුලු කොළඹ සිටින කිහිප දෙනෙකුගේ යෝජනාවකි.

 

ඊට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හා ලේකම් නීති අධ්‍යාපන සභාවේ සාමාජිකත්වය දරති. එසේම මෙම යෝජනාව නීති අධ්‍යාපන සභාව වෙත ඉදිරිපත් කළ හිටපු අධිකරණ ඇමති අලි සබ්රි ඇමති ධුරයට පත්වනතෙක් ම බොහෝ කලක් නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැනට සිටින සභාපතිවරයා බොහෝ කලක් තිස්සේ ඉංග්‍රිසි මාධ්‍යයෙන් නීති විද්‍යාල ප්‍රවේශ පන්ති පවත්වන අතර, ඔහු ලන්ඩන් එල්.එල්.බී උපාධිය කරන ජාත්‍යන්තර පාසැල් සිසුන් සඳහා ද වෙනම නීති විද්‍යාල ප්‍රවේශ පන්ති පවත්වයි. එම නිසා එම නිලතල දරණ පුද්ගලයින්ට මෙම තීන්දුවට අදාලව පක්ෂපාතීව කටයුතු කිරීමේ හැකියාව සහ උවමනාව තිබෙන බව පැහැදිළිවේ. විශේෂයෙන්ම නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි බසින් පමණක්

 

පවත්වන විට ජාත්‍යන්තර පාසැල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ධනවත් පවුල්වල දරුවන්ට නීති විද්‍යාල ප්‍රවේශයේදී හා නීති විද්‍යාලය තුළදී වැඩි ඉඩකඩක් ලැබෙන බවට සැකයක් නැත. මෙමගින් ධනවත් පවුල්වල දරුවන් සඳහා පන්ති පවත්වන ව්‍යාපාරික ප්‍රජාවට වැඩි ආදායමක් ඉපයිය හැකිවනු ඇත.

 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුනි,

 

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීමට ඉඩකඩ සැලැස්වීම සඳහා ගෙන එන මෙම රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත් එහි අනීවාර්ය ප්‍රතිඵලය වන්නේ 1956 ජනතා ජයග්‍රහණයෙන් පසුව බිඳ වැටුනු බමුණු කුලය නැවත රජ වීමයි. ඒ මගින් සිදුවන්නේ නිසි ඉංග්‍රීසි දැනුමක් ලබා ගැනීමේ පහසුකම් නොමැති, ගම්බද පාසැල් වලින් සරසවි නීති පීඨ වලට ඇතුළත්ව නීති උපාධිය ලබා ගන්නා වූ හෝ  නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරීමට බලාපොරොත්තු වන්නා වූ, සිංහල හෝ දෙමළ බසින් අධ්‍යාපනය හදාරා ඇති, සාමාන්‍ය පවුල්වල දරුවන්ට නීතිඥ වෘත්තියේ දොරටු මුලුුමනින් ම වැසී යාමයි. ඒ මගින් ඔවුන්ගේ භාෂා අයිතිය අහිමි කෙරන අතර රටේ ව්‍යවස්ථාවද උල්ලංගණය වේ. අවසානයේදී අපේ රටේ නීතිඥ වෘත්තිය, නීති ක්ෂේත්‍රය හා අධිකරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර පාසැල්වලින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරා ඇති, මේ රටේ ඉතිහාසය, සදාචාරය හා සංස්කෘතිය ගැන කිසිදු දැනීමක් හෝ හැඟීමක් නැති, එංගලන්තයේ නීතිය මේ රටේ නීතිය යයි සිතන, ඔවුන්ගේ සංස්කෘතිය ලෝකයේ හොඳම සංස්කෘතිය සේ සළකන සහ දේශීය දේට ගරහන පිරිසක් අතට පත්වනු ඇත.

 

මේ රෙගුලාසි සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි ය. පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා අවශ්‍ය අවම ගණපූරණය වන මන්ත්‍රීවරන් 21 දෙනෙකු ගෙන් 11 දෙනෙකු පක්ෂව ඡන්දය දී 10 දෙනෙකු විපක්ෂව ඡන්දය දී එය සම්මත වුවහොත් මේ රෙගුලාසි ක්‍රියාත්මක වේ.  ඒ නිසා පාර්ලිමේන්තුවට නොපැමිණ සිටීමෙන් මෙය සම්මතවීම වැළැක්විය නොහැකි ය. මෙය සම්මතවීම වැළැක්විය හැක්කේ ඊට අදාලව ඡන්දය විමසන දිනයේ නොවරදවාම පාර්ලිමේන්තුවට පැමිණ ඊට විරුද්ධව ඡන්දය දීමෙන් පමණකි. මේ රෙගුලාසි ගැන ඡන්දය විමසන දිනයේ නොවරදවාම පාර්ලිමේන්තුවට පැමිණ ඊට විරුද්ධව ඡන්දය දෙන ලෙස මේ රට හා ජනතාව ගැන ආදරයක් ඇති සියලු මන්ත්‍රීවරුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. එසේම අර්බුද රාශියකට මුහුණ දෙමින් සිටින රටක නව ගැටුම් සහ අර්බුද නිර්මාණය කිරීමට දායක නොවන ලෙස ද අවධාරණය කිරීමට කැමැත්තෙමු.

 

මේ වගට,

ආචාර්ය ගුණදාස අමරසේකර

කැඳවුම්කරු

ජාතික සංවිධාන එකමුතුව

 

 

 

 

 

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදී වෙන්වීමේ අනතුර පිළිබඳව සහ එය වැළැක්වීම සඳහා මහා සංඝරත්නය සතු ඓතිහාසික භූමිකාව දෙපා නැමඳ සිහිපත් කිරීම

අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්ස,

 

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදී වෙන්වීමේ අනතුර පිළිබඳව සහ එය වැළැක්වීම සඳහා මහා සංඝරත්නය සතු ඓතිහාසික භූමිකාව දෙපා නැමඳ සිහිපත් කිරීම

 

ගෞරවණීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඉතා හොඳින් ම දන්නා පරිදි මේ වන විට ශ‍්‍රී ලංකාවේ පැන නැගී ඇති ආපදා තත්ත්වය තුළ රටේ බහුතර ජනතාව තමා එදිනෙදා මුහුණ දෙමින් සිටින ගැටලූ පිළිබඳව මිස දීර්ඝකාලීනව රටට සහ ජාතියට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත ඉරණම පිළිබඳව අවබෝධයකින් කටයුතු නොකරති. එසේම දේශපාලන පක්ෂ ද මැතිවරණයේදී බලය පෙන්වීමට උත්සාහ කිරීම මිස ආණ්ඩුවට සහ මහජනතාවට සබුද්ධිකව අර්බුදයට මුහුණදීම සඳහා මගපෙන්වීමක් ලබාදෙන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ ජනවරමක් නොමැතිව ජනාධිපති පුටුවේ වාඩි වීමට වරම් ලද රනිල් වික‍්‍රමසිංහ මහතාට තමා 2002 සිට ආරම්භ කළ එහෙත් අවසන් කිරීමට නොහැකි වූ රට ෆෙඩරල්කරණය කිරීමේ ක‍්‍රියාවලිය අවසන් කිරීමට අවස්ථාවක් නිර්මාණය වී ඇත.

 

ඔහු මෙවර එම අවස්ථාව අත්හැරීමට සූදානම් නොමැති බව ඔහුගේ ක‍්‍රියා කලාපය සහ ප‍්‍රකාශ අනුව පැහැදිලි වේ. මෙරට කිසිදු පාලකයකුට සෘජුව ප‍්‍රකාශ කිරීමට ධෛර්යක් නොතිබුණ ද එතුමා විසින් තමා 13 සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බව විවෘතව ප‍්‍රකාශ කරනු ලැබීය. ඉන්දියාව සහ දෙමළ ඩයස්පෝරාව විසින් ඒ සඳහා බල කිරීම ඊට ප‍්‍රධාන හේතුවක් වූවා විය හැකි ය. විශේෂයෙන්ම ආපදා තත්ත්වය නිසා එසේ තීරණාත්මකව බලපෑම් කිරීමට සියලූ බෙදුම්වාදී බලවේගවලට අවස්ථාවක් ලැබී ඇත. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට අපගේ විශ්වාසය අනුව ඔහුට ඒ සඳහා වැඩි වශයෙන්ම ධෛර්යය ලැබෙන්නේ මහජනතාවගේ බිඳවැටීම නිසා පමණක් නොව ගෞරවණීය මහා සංඝරත්නයට ද විවිධ මානසික බාධක පමුණුවා නිහ`ඩ කිරීමට හැකි වී ඇති නිසාය.
මීට පෙර විවිධ අනතුරුදායක සන්ධිස්ථානවල දී, විශේෂයෙන්ම,

 

1. 2000 වසරේදී රට පෙඩරල් කිරීම සඳහා ව්‍යවස්ථා පැකේජයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී,

 

2. 2002 දී සටන් විරාම ගිවිසුමක් අත්සන් කර ඔස්ලෝ ගිවිසුම හරහා උතුරු නැගෙනහිර තාවකාලික ආණ්ඩුව පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේදී,

 

3. 2004 දී සුනාමි ආපදාව යොදා ගනිමින් එම තාවකාලික ආණ්ඩුව සුනාමි සහන මණ්ඩලය නමින් පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේ දී,

 

4. 2013 සිංගප්පූරු එකගතාව අනුව 2015 – 2018 කාලයේ දී බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන සකස් කරන අවස්ථාවේදී,

 

ආදි වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අගමැතිවරයා ලෙස බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ක‍්‍රියා කරන විට ඊට එරෙහිව රටේ බහුතර ජනතාවගේ සහ මහා සංඝරත්නයේ විරෝධය පැන නැගුණි. එම අවස්ථාවලදී ඔබ වහන්සේලා විසින් සෘජුව පාලකයන්ට කරුණු දැක්වීම නිසා එම අනතුරුදායක ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට සිදුවිය. ඉතිහාසය පුරා සිදුවූ ආකාරයට ඔබ වහන්සේලා විසින් තම ඓතිහාසික භූමිකාව නොපැකිලව ඉටුකළ බැවින් එම අනතුරුදායක අවස්ථා පියමන් කිරීමට අප ජාතියට අවස්ථාව ලැබුණි.

 

එම අවස්ථාවලදී පාලකයන්ට බාහිර බලපෑම් තිබුණද ඔබ ඔබවහන්සේලාගේ ඍජු ප‍්‍රකාශ මගින් ඔවුන්ට මානසික බාධක පැනවුණි. අද වන විට මහා සංඝරත්නය වෙත මානසික බාධක පැනවීමට, එනම් ඓතිහාසික තත්ත්වය කණපිට පෙරළීමට,පාලකයනටහැකිවී ඇති බව පැහැදිලිව දැකගත හැකි ය. එපමණක් නොව ඔබ වහන්සේලාගේ ඓතිහාසික ජාතික භූමිකාව අවතක්සේරු කරන පිරිස් සඳහන් කරන්නේ ජාතිකවාදී බලවේග ඉතිහාසය පුරාම කොටියා එන බවට හඬ නැගුවත් කොටියා පැමිණියේ නැති බවය. එනම්, 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමක් සිදු නොවූ බව ය. එය සමාන කළ හැක්කේ අහිංසක ගම් වැසියන් ගිනිමැල ගසා, රතිඤ්ඤා පත්තු කර, කෑ කෝ ගසා වන අලියා පැන්නූ පසුව වනජීවී නිලධාරීන් ගමට පැමිණ අලියකු පැමිණියේ නැති බවට ගම්මුන්ට දොස් පැවරීම වැනි තත්ත්වයකට ය. එවැනි ප‍්‍රකාශ මගින් ඔවුන් උත්සාහ කරන්නේ මෙවර ද ‘‘කවුරු මොනවා කිව්වත් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටු නොවේ’’ යනුවෙන් තත්ත්වයේ බරපතලකම සැඟවීමට ය. නමුත් මෙවර ඉහත සඳහන් කළ තත්ත්වයන් තුළ ජාතිය කොටියාට ගොදුරු වීමේ අනතුර සැබෑවක් බව සහ එම තත්ත්වය ඉතා බරපතල බව ඉතා කෙටි කලකින් වැටහෙනු ඇත.

 

ඔබ වහන්සේලා ඉතා හොඳින් දන්නා පරිදි 1987 දී ඉන්දු ඉන්දු-ලංකා ගිවිසුම අනුව 13 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව බෙදුම්වාදීන් තවදුරටත් සටන් කරනු ලැබුුවේ එය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන ලෙස ඉල්ලමිනි. එදා ඉන්දියානු නිලධාරීන් එම ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථාවට ඇතුළත් නොකර රට එකවරම සම්පූර්ණයෙන්ම පෙඩරල් කිරීමට උත්සාහ කළ ද ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බැවින් යම් බාධක පැනවීමට සිදු විය. එදා රටේ පැවති බරපතල විරෝධය නිසා ජනමත විචාරණයක් පැවැත්වීමේ හැකියාවක් නොතිබුණි. ඒ අනුව ඉන්දියාව ප‍්‍රමුඛ රට බෙදා වෙන් කිරීමේ භූ දේශපාලන උවමනාව සහිත බලවේග 13 බලාත්මක කිරීම දෙවැනි වටයක දී සිදු කිරීම සඳහා සැලසුම් සකස් කරනු ලැබූ බව ඉතා පැහැදිලි ය. ඒ සඳහා ආණ්ඩුවට බල කිරීමට ආයුධ බලය යොදා ගත්තද බෙදුම්වාදය යුද්ධය පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ කේවල් කිරීමේ බලය අවසන් විය. ඉන් පසුව ඔවුන් ආයුධ වෙනුවට යුද අපරාධ හෙවත් මානව හිමිකම් කෙවිට යොදාගනිමින් ජාත්‍යන්තර ක‍්‍රියාන්විතයක් ආරම්භ කළ ද ඉහත සඳහන් කළ ආකාරයට සෑම විටම මහා සංඝරත්නය රට හා සම්බුද්ධ ශාසනය බේරාගැනීමට නොපැකිලිව ඉදිරිපත් වූ බැවින් බෙදුම්වාදී බලවේගවලට පරාජය භාර ගැනීමට සිදුවිය.

 

ගෞරවණීය ස්වාමීන්ද‍්‍රයන් වහන්ස,

 

අප ඉහත සඳහන් කළ ආකාරයට මහජනතාව දුර්මුඛ වී ඇති තත්ත්වයක් යටතේ මහා සංඝරත්නය තම ඓතිහාසික භූමිකාව ඉටු කිරීමට අසමත් වුවහොත් ආපසු හැරවිය නොහැකි සංධිස්ථානයකට රට ගමන් කරන බව ඉතා පැහැදිලිය. ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය පරිපාලන වශයෙන් සම්පූර්ණයෙන්ම බලාත්මක කළහොත් දේශීය සහ විදේශීය නඩු තීන්දු, අභිනවයෙන් පිහිටුවීමට යෝජිත සත්‍ය සෙවීමේ කොමිසම ආදිය යොදාගනිමින් ජාත්‍යන්තර බලවේගවලට රට බෙදා වෙන් කිරීමේ අවස්ථාව නිර්මාණය වනු ඇත. පවතින තත්ත්වය තුළ13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ ඊට එරෙහි වන ජනාධිපතිවරයකු බලයේ සිටින්නේ නම් පමණි. ජනාධිපතිවරයා ඊට එකග නම් අදාළ ක‍්‍රියාවලිය පරිපාලන වශයෙන් සම්පූර්ණ කළ හැකි ය. උදාහරණයක් ලෙස මහ ඇමතිවරයාට යටත් කළ හැකි ආණ්ඩුකාරවරයකු පත් කිරීම මගින් ඉඩම් ප‍්‍රඥප්ති, පොලිස් ප‍්‍රඥප්ති, මහ ඇමති අරමුදල් ප‍්‍රඥප්ති ආදි වශයෙන් පූර්ණ ෆෙඩරල් පාලනයකට අවශ්‍ය වන නීති සම්පාදනය කිරීමේ හැකියාව ලැබේ.

 

ඒ ආකාරයට 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව ඉතා කෙටි කලකදී රට බෙදීමේ ක‍්‍රියාවලිය අවසන් වන්නේ සුඩානය මෙන් ජාතියක් ලෙස එකිනෙකා මරාගන්නා තත්ත්වයක් නිර්මාණය කිරීමෙන් බවට ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත. එවැනි තත්ත්වයක් තුළ අප රට දාස රාජ්‍යයක් බවට පත්වී ශ‍්‍රී ලංකාව නමැති රාජ්‍යය ඉතිහාසයෙන් මැකී යන බවද ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත. එම ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිඵලය සම්බුද්ධ ශාසනය ද ඉතිහාසයේ කිසිදුකාලයක සිදු නොවූ ආකාරයට බරපතල ලෙස බිඳ වැටීම බවද ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත. ඒ මහා විපතින් රට ගලවාගැනීම සඳහා නොපැකිලිව ඉදිරිපත් වී පාලකයන්ට කරුණු දැක්වීම ඔබවහන්සේලාට ඓතිහාසිකව පැවරී ඇති වගකීමක් බව දෙපා නැමඳ ගෞරවයෙන් සිහිපත් කරමු.

ඒ අනුව විශේෂයෙන්ම හේතු දෙකක් මත මෙම අවස්ථාවේදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා වන කිසිදු පියවරක් නොගත යුතු බවට අවධාරණ කිරීමේ හැකියාව ඇත.

 

1. රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නියෝජනය කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනවරම වන බැවින් සහ එම ජනවරම අනුව නව ව්‍යවස්ථාවක් මගින් බෙදුම්වාදයට ගොදුරු නොවන ලෙස විධායක බලතල පමණක් විමධ්‍යගත කළ යුතුවේ. එබැවින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට තමාගේ පුද්ගලික උවමනාවක් හෝ බලයට ඒම සඳහා ලබා දුන් යම් පොරොන්දුවක් හෝ නැවත බලය ලබාගැනීම සඳහා ඡුන්දය ලබාගැනීමේ බලාපොරොත්තුව මත 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමසඳහා ජනවරමක් ලැබී නැත.

 

2. එම නිසා එතුමා විසින් උත්සාහ කරන ආකාරයට පළාත් සභා මැතිවරණය පවත්වා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට අවශ්‍යනම් එතුමා විසින් නව ජනවරමක් ලබා ගත යුතුය. (ඒ සඳහා ජනමත විචාරණයක් හෝ ඉදිරි ජනාධිපතිවරණය යොදාගැනීමේ හැකියාව ඇත.

ඊට අමතරව විශේෂයෙන්ම දැන් වසර තුනකට අධික කාලයක් පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම මගින් විශේෂිත අර්බුදයක් පැන නැගී නොමැති තත්ත්වයක් යටතේ සමස්ත රට මුහුණ දෙන මහා අර්බුදය විසඳීමෙන් පසුව බලය බෙදීම හෝ විමධ්‍යගත කිරීම යන සංකල්පය පිළිබඳව මහජන සංවාදයක් ආරම්භ කිරීමේ හැකියාව ඇත. ඉන් පසුව මහජනයාගේ කැමැත්ත විමසා බැලීම වඩා සාධාරණ වේ.

 

එම නිසා ඔබ වහන්සේලාට ඓතිහාසිකව පැවරී ඇති භූමිකාව ඉටු කිරීම මගින්, එනම් පාලකයන්ට ඍජුව කරුණු දැක්වීම මගින් බෙදුම්වාදී අනතුරින් රට ගලවාගන්නා ලෙස ගෞරවපූර්වකව දෙපා නැමඳ ඉල්ලා සිටිමු.

 

මේවගට,
ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු,

ජාතික සංවිධාන එකමුතුව

2023-01-27

 

 

රටින් පිටත ඩොලර් සැඟවීම: ඇත්ත සහ බොරුව

අප රටේ අධිකරණ අමාත්‍යවරයා ප‍්‍රමුඛ බැංකු සේවක සංගම් ආදී විවිධ පාර්ශව අපනයනකරුවන් මෙන්ම උන්ඩියල් සහ හවාලේ වැනි විණිමය ජාවාරම්කරුවන් විසින් රටින් පිටත සඟවා තබාගන්නා ඩොලර් ප‍්‍රමාණය පිළිබඳව විවිධ සංඛාලේඛන ඉදිරිපත් කරති.

 

එක් පාර්ශ්වයක් සඳහන් කරන ආකාරයට පසුගිය වසර 10ක් තුළ ඒ ආකාරයට ඩොලර් බිලියන 40කට අධික ප‍්‍රමාණයක් පිටරටවල සඟවා තබාගෙන ඇත. එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය විමසීමේදී පැතකඩ දෙකක් අවධානයට ලක්වේ. පළමුවැන්න ඩොලර් ප‍්‍රමාණය වන අතර දෙවැන්න කාලරාමුවයි. ප‍්‍රමාණය ඇස්තමෙන්තු කරන ආකාරය 100%ක් නිවැරදි විය නොහැකි වුවද දළ වශයෙන් ගණනය කිරීමේ හැකියාව ඇත. එහෙත් ඔවුන් සඳහන් කරන කාලරාමුව පිළිබඳව ගැටළුවක් ඇත. පසුගිය වසර 10ක හෝ 20ක කාලය පිළිබඳව කතා කිරීම මගින් ඉතා පැහැදිළිව සත්‍ය වසන් කිරීමක් සිදුවේ. එනම් සැබෑ ලෙසම එම ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ මීට වසර 5කට පෙර සිට බව හෙළිදරව්වීම වළක්වනු ලබයි.

 

වර්තමානයේදී අප රටේ විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් වලට අදාල සියලූ කටයුතු මූලික වශයෙන් නියාමනය කරනු ලබන්නේ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගිනි. එම පනත සම්මත කරනු ලැබූ 2017 ජුලි 28 දක්වා ඒ සියලූ කටයුතු පාලනය වූයේ 1953 අංක 27 දරණ විනිමය පාලන පනත මගිනි. එමපනත යටතේ පිහිටු වූ විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව විනිමය පාලනයට අදාළ සියලූ කටයුතු ස්වාධීනව සිදුකරනු ලැබීය. ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු පිළිබඳ සියලූ තොරතුරු බැංකු පද්ධති තුළ ඒකරාශී වූ අතර බැංකු පද්ධතියට පරිබාහිරව කළු වෙළඳපළක් වර්ධනය කළ නොහැකි ආකාරයට දැඩි සීමා පැණවින. එම පනත යටතේ සිදු කෙරෙන යම් වැරදි සඳහා රේගු ආඥා පනත යටතේ පවා දඩුවම් කළ හැකි විය. එම පනත උල්ලංඝනය කිරීම අපරාධ වරදක් බවට පත්වන අතර වසර 5ක් දක්වා සිර දඬුවම් සහ දඩ නියම කළ හැක. එපමණක් නොව 2017ට පෙර ක‍්‍රියාත්මක වූ පනත යටතේ වරදක් කිරීමට උත්සාහ කිරීම ද පනත යටතේ වරදක් බවට පත් කිරීම විශේෂ තත්වයකි. එම දැඩි පාලනය නිසා අපනයන ආදායම් සියල්ල නිසි ලෙස බැංකු පද්ධති හරහා රට තුළට පේ‍්‍රෂණය විය. ඊට අමතරව කළු වෙළඳපළ හරහා විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් සිදුකිරීම බරපතල වරදක් වූ බැවින් අද මෙන් කළු වෙළෙඳපොළ හරහා මහා පරිමාන ගනුදෙනු කිරීමට අපරාධකරුවකු හැර අන් කිසිවෙකු දිරිමත් නොවීය.

 

එම තත්ත්වය වෙනස් කර විදේශ විනිමය ජාවාරම් දිරිමත් කිරීම සඳහා පළමු උත්සාහය ගනු ලැබුවේ යළි පුබුදුමු ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ 2003 දීය. ඒ විදේශ විනිමය කළමනාකරණ පනත නමින් නව පනත්කෙටුම්පතක් ඉදිරිපත් කිරීම මගිනි. එම පනත මගින් මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලය විසින් ස්වාධීනව ක‍්‍රියාත්මක කළ බලතල සියල්ල මුදල් අමාත්‍යවරයා සහ මුදල් ලේකම්වරයා යටතට පත් කිරීමට නියමිත විය. ඊට අමතරව 1953 පනත් මගින් අපරාධ වැරදි ලෙස සිර දඩුවම් නියම වන වැරදි සියල්ල සිවිල් නඩු නිමිති බවට පත්කෙරිණි. එහෙත් එම විනාශකාරී පණත් කෙටුම්පතට එරෙහිව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව එම පනත සම්මත කිරීම සඳහා විශේෂ බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියම විය.

 

එහෙත් එදා 2003දී තනි පුද්ගලයෙකුගේ මැදිහත්වීම මත එම බරපතළ වරදක් නිවැරදි කරගත හැකි වුවත් 2017 දී පැවති තත්ත්වයන් යටතේ ඊට ඉඩක් නොලැබුණි. ඒ නිසා 2006 මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ විනිමය පාලනය සඳහා පැවැති ප‍්‍රතිපාදන පවා අභියෝගයට ලක් වන ආකාරයට 2017 විදේශ විනිමය පනත සම්මත කිරීමට ඉඩක් ලැබුණි. ඉහත සඳහන් කළ ආකාරයට 2003 කෙටුම්පත මෙන්ම මෙම පනත මගින් ද මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලය සතු මෙහෙයවීමේ බලය මුදල් අමාත්‍යවරයාට ලැබුණි. එසේම නව පනත මගින් ඊට පෙර අපරාධ වැරදි ලෙස හැඳින්වූ පනත යටතේ වැරදි සියල්ල සිවිල් නඩු නිමිති බවට පත්කෙරිණි. එහිදී මහ බැංකුව විසින් වැරදි කරුවෙකුට පනවනු ලබන දඩ මුදල් පිළිබඳව අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනා මණ්ඩල පිහිටුවීමේ බලය ද අමාත්‍යවරයා යටතට පත්විය. ඊට අමතරව පනත් ක‍්‍රියාත්මක වන දිනයට පෙර සිදුකළ සියළු වැරදි පිළිබඳව තවදුරටත් අපරාධ නීතිය යටතේ දඬුවම් කළ නොහැකි බවට ප‍්‍රතිපාදන පනතට ඇතුල් කෙරිණි.

 

ඒ ආකාරයට 2017 විදේශ විනිමය පනත මගින් විදේශ විනිමය පාලනය ඉතා බරපතළ ලෙස දුර්වල කිරීම නිසා අපනයන ආදායම් රට තුළට බැංකු පද්ධතිය හරහා පේ‍්‍රෂණය කිරීමේ ක‍්‍රියාවලිය නිසි පරිදි පාලනය කිරීම සිදුනොවේ. එබැවින් විවෘත ගිණුම් මගින් එම ආදායම් අවභාවිතා කිරීමට හැකියාව ලැබී ඇත. පසුගිය මාස 6ක කාලය තුළ අපනයන ආදායම් දළ වශයෙන් 10% – 20% අතර ප‍්‍රමාණයකින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් යටතේ පවා අදාළ විදේශ විනිමය ආදායම් රට තුළට ගලා ඒම සිදු නොවන්නේ ඒ නිසාය. ඊට අමතරව බැංකු පද්ධතියට තරගකාරීව කළු වෙළෙඳපොළ මහා පරිමාණයෙන් පුළුල් කිරීමට ජාවාරම්කාරයන්ට හැකි වී ඇත්තේ නව පනත නිසා මහ බැංකුවට අසරණව ඒ දෙස බලා සිටීමට සිදු වී ඇති බැවිනි. එම තත්ත්වය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් සහ අන්තවාදී බලවේගවලට එසේ කළු වෙළඳපළ හරහා රටේ ආර්ථිකය හැසිරවීමට පවා හැකියාව ලැබී ඇත. ඊට අමතරව 2017 පනතේ පවතින දුර්වල ප‍්‍රතිපාදන නිසා මුදල් විශුද්ධිකරණ පනත පවා උල්ලංඝනය කරමින් ත‍්‍රස්තවාදී ක‍්‍රියා සඳහා පවා විදේශ විනිමය අවභාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

 

ඒ අනුව මහ බැංකුවේ අවසරය නොමැතිව පුද්ගලික ගිණුම්වලට බැරවෙන විදේශ අරමුදල් වලින් විදේශීය ගෙවීම් සිදු කිරීමේ හැකියාව ද ඇත. ඊට අමතරව කළු වෙළෙඳපොළ මගින් එකතු කරනු ලබන විදේශ අරමුදල් පවා බැංකු ගිණුම් වලට බැර කිරීම මගින් ඒවා නීත්‍යානුකූල කිරීමට සහ එම විදේශ විනිමය රටින් බැහැර කිරීමට ද හැකියාව ඇත. එවැනි ගනුදෙනු පිළිබඳව මහ බැංකුව සතුව තොරතුරු නොමැති බව සහ එම ගනුදෙනු වැළැක්වීම සඳහා මහ බැංකුවට බලතල නොමැති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී හෙළිදරව් විය. එවැනි තත්වයක් නිර්මාණය වී ඇත්තේ 2017 දී සම්මත කරනු ලැබූ විදේශ විනිමය පනත නිසා බව එම කාරක සභා අවස්ථාවේදී තවදුරටත් පැහැදිලි විය. එම පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා 2019 ජුලි 26 දින මහබැංකු ප‍්‍රධානීන් කැඳවනු ලැබීය. එම අවස්ථාවට එවකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ අධ්‍යක්ෂකවරුන් වන ඞී.එම්. රණසිංහ සහ ආර්.ආර්. ජයරත්න යන මහත්වරුන් සහභාගී විය. එහිදී සාක්ෂි ලබාදුන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කරන්නේ වාණිජ බැංකු විසින් විදේශීය පේ‍්‍රෂණවලට අදාලව සියලූ තොරතුරු සටහන් කර නොගන්නා බවය.

 

එහිදී තවදුරටත් සාක්ෂි ලබාදුන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ආර්. ආර්. ජයරත්න මහතා සඳහන් කළේ පවතින නීතිය අනුව බැංකු පද්ධතියෙන් පරිබාහිරව බොහෝ විදේශ විනිමය ගනුදෙනු සිදුවන බවය. ඊට අමතරව එම ගනුදෙනු නියාමනය කිරීම සඳහා තමාට බලයක් නොමැති බව ද ඔහු විසින් පිළිගනු ලැබීය. ඒ අනුව නීත්‍යානුකූල බැංකු පද්ධතියෙන් පරිබාහිරව මහා කලූ වෙළඳපොළක් පවතින බව එදා එළිදරව්විය. ඒ පිළිබඳව සහ එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වූ 2017 විදේශ විනිමය පනත මගින් විනිමය පාලළනයට අදාලව ඇති කරන අවුල් සහගත තත්වය පිළිබඳව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් පුවත්පත් මගින් හෙළිදරව් කරනු ලැබීය. අද උත්සන්න වී ඇති රෝගයේ මූලික ලක්ෂණ ඔහු විසින් පෙන්වා දුන්නද පනත ශෝධනය කර අදාල වැරදි නිවැරදි කළ යුතු බවට සමාජ සංවාදයක් ඇති නොවීය. අද ඉතා නරකම තත්වයක් යටතේ පවා රටින් පිටත විදේශ විනිමය රදවා ගැනීම පිළිබඳව කතා කරන පිරිස් පවා 2017 පනත වහාම සංශෝධනය කළ යුතු බව නොකියති. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ තේරීම් කාරක සභාවේ දී 2017 දී එම පනත සම්මත කළ ආකාරය පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් ද සිදුවිය. එදා 2003 දී යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ සම්මත කිරීමට නියමිත වූ පනත් කෙටුම්පත් බාහිර පිරිසක් විසින් සකස් කරන බවට එල්ල වූ චෝදනා එහිදී සනාථ විය. එම කාරක සභාවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේ පනත් කෙටුම්පත සකස් කිරීමේ ක‍්‍රියාවලියට මහ බැංකුව සම්බන්ධ නොවූ බවය.

 

මේ වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදය විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදයට අදාළව නිසි පියවර ගත නොහැකි වී ඇත්තේ පවතින පනතේ දුර්වලතා නිසා බවට වර්තමාන මහ බැංකු අධිපතිවරයා විසින් හෝ අදහස් ප‍්‍රකාශ කරන්නේ නැත. නමුත් ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඔහුට තිබිය යුතු බව ඉතා පැහැදිළිය. එසේ නම් ඔහු ඊට අදාලව නිහ`ඩ වතක් අනුගමණය කරන්නේ කුමක් නිසාද? එසේම ඔහුගේ සම්ප‍්‍රප්තියට පෙර මාරතු 7 වැනිදා හදිසි තීන්දුවක් මගින් අර්බුදය උත්සන්න වන ආකාරයට රුපියලේ අගය වෙළඳපොළ විසින් තීරණය කිරීම හෙවත් සම්පූර්ණයෙන්ම පා කිරීම සඳහා මූල්‍ය මණ්ඩලයට බලකිරීමේ වරද පිළිබඳවද ඔහු කිසිවක් කියන්නේ නැත. නමුත් රුපියල පා කිරීම අවස්ථානෝචිතව සහ තාක්ෂණිකව වරදක් ලෙස පිළිගත් මූල්‍ය මණ්ඩලය ඊට දින 4කට පෙර මාර්තු 3 වැනිදා තීරණය කරනු ලැබුවේ පාලනයක් සහිතව රුපියල් 10 බැගින් වෙළදපොල තත්වයන්ට අනුව ක‍්‍රමණාකූලව අවප‍්‍රමාණය කිරීමටය. එම තීන්දුව වෙනස් කිරීමට අයුතු බලපෑම් කරනු ලැබුවේ කුමක් නිසාද යන්න සහ කවුරුන් විසින්ද යන්න ඔහු ඉතා හොඳින් දන්නා බවටද සැකයක් නැත. ඊට අමතරව ආණ්ඩුව විවේචනය කරන සහ තමන්ට ආණ්ඩුබලය ලබා දුනහොත් මාස 6කින් අර්බුදය විසඳා පෙන්වන්නම් කියන විපක්ෂයේ දේශපාලන නායකයින් පවා මෙම මූලික පූර්ව කොන්දේසිය ඉටු කරන ලෙස බලපෑම් කරන්නේ නැත.තම ඉල්ලීම පරිදි විදේශ රැකියා නිියුක්තිකයන් විසින් රටට එවන ඩොලර්වලින් අර්බුදය විසඳිය හැකි යැයි පවසන අය අඩු තරමින් තමා රට බාරගත් විට ඉටු කරන පළමු කර්තව්‍ය වන්නේ විනාශකාරී විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් කළු වෙළඳපොළ පාලනය කිරීම බව කිව යුතු නොවේද?.

 

කෙසේ වෙතත් මේ වනවිට ජාතික බලවේග විසින් අර්බුදය විසඳීම සඳහා නිශ්චිත මාර්ග සිතියමක් සකස් කළ හැකි ආකාරයට 61 වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. ඒ තුල උපාය මාර්ග 5ක් යටතේ සංකල්ප ලෙස නොව නිශ්චිත ක‍්‍රියාමාර්ග ලෙස යෝජනා 61ක් සහ ක‍්‍රියාකාරකම් 108ක් මෙන්ම මහජන මනස සුවපත් කිරීම සඳහා ප‍්‍රතිඥා 11ක් සහිත සංෂිප්ත ලියවිල්ලක් රටට ඉදිරිපත් කර ඇත. එම වැඩපිළිවෙළ ගරු කථානායකතුමාට සහ අගමැතිතුමාට නිල වශයෙන් පිළිගැන්වූ අතර සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තැපැල් මගින් යවා ඇත. එම වැඩපිළිවෙළ මගින් විදේශ විනිමය පනත සංශෝධනය කිරීම අර්බුදය විසඳීම සඳහා වන මූලික පූර්ව කොන්දේසියක් බව අවධාරණය කර ඇත.

 

නමුත් මේ වන තුරු ආණ්ඩුව හෝ විපක්ෂය හෝ ආණ්ඩුවෙන් ස්වාධීන වූ බලවේග විසින් කිසිදු වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කර නැත. මැතිවරණ සමයකදී පවා තමාට බලය ලබාදුනහොත් අර්බුදය විසඳන්නේ මෙසේ යැයි එක් පිටුවක් ලෙස හෝ වැඩපිළිවෙළක් ඔවුන් විසින් රටට ඉදිරිපත් කරන්නේ නැත. ඕනෑම දේශපාලන නායකයෙකු විසින් ජනතාවගෙන් බලය ඉල්ලා සිටිය යුත්තේ ජනතා අපේක්ෂා ඉටු කරන වැඩපිළිවෙළක් ජනතාව වෙත ඉදිරිපත් කරමිනි. එසේ වැඩපිළිවෙළක් නොමැති නායකයින්ටමහජනයා ඡුන්දය ලබාදුන් පමණින් ඔවුන්ගේ් මොළයට අදහස් හෝ දැනුම ප‍්‍රාතූර්භූත වන්නේ කෙසේද? ඒ නිසා ආණ්ඩුව විවේචනය කරන දේශපාලන නායකයින් සහ අනාගතයේදී ආණ්ඩු බලය ඉල්ලා සිටින දේශපාලන නායකයින් විසින් ඉටු කළ යුතු පළමු සදාචාරමය කොන්දේසිය වන්නේ මහජනයා තවදුරටත් ගොනාට ඇන්ඳ වීමෙන් තොරව අර්බුදය විසඳන ආකාරය පිළිබඳව නිශ්චිත යෝජනාවලියක් රටට ඉදිරිපත් කිරීමය. එවැනි යෝජනාවලියක් එක පිටුවක් ලෙස හෝ රටට ඉදිරිපත් කළ ද පවතින විදේශ විනිමය පනත සංශෝධනය කිරීමේ උවමනාව ඊට ඇතුළත් විය යුතුය.

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය