Press "Enter" to skip to content

ධනවාදයේ රැස්කරගත් ලාභාංශ අවසන්; සමස්ත ලෝක ධනවාදී ක්‍රමයම තීරණාත්මක සංධිස්ථානයක

ධනවාදී අර්ථක්‍රමයක් පවතින විශේෂයෙන්ම සුභසාධනවාදී ධනපති යුගයට පිවිස සිටින ප‍්‍රංශය වැනි සංවර්ධිත රටවල ජාතික තරගකාරිත්වයට විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය ප‍්‍රධාන වශයෙන් බලපානු ලබයි.

 

යුරෝපීය ආර්ථිකයේ වැදගත් එන්ජිමක් ලෙස සලකන ප්‍රංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම පශ්චාත් කාර්මික යුගයේ ප්‍රංශයේ සංවර්ධන ක්‍රියාවලියට සහ සමස්ත යුරෝපා සංගමයේ තරඟකාරිත්වයට සමීපව සම්බන්ධ වේ. ගෝලීයකරණ යුගය ලෙස සලකන මේ යුගයේදී, ප්‍රංශය යුරෝපා සංගමය තුලින් පමණක් නොව, එක්සත් ජනපදය, චීනය සහ අනෙකුත් නැගී එන ආර්ථිකයන්හි තරඟකාරීත්වයෙන් ද තම ආර්ථිකය අභියෝගවලට මුහුණ දෙමින් සිටියි.

 

ප්‍රංශයේ වත්මන් ආර්ථික ශක්තිය පදනම් වී ඇත්තේ වසර 500කට වැඩි බටහිර යටත් විජිත ව්‍යාප්තියේ ඓතිහාසික පදනම මෙන්ම දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසු ප්‍රංශයේ ජීවත් වූ පරම්පරා එකක් හෝ දෙකක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලය විසින් අත්කරගත් ජයග්‍රහණ මතය.

 

ප්‍රංශය අදටත් ඔවුන්ගේ පැරණි යටත් විජිත වන බටහිර අප්‍රිකානු රාජ්‍යන් 14 ක මුදල් පාලනය කරන අතර, ෆ්‍රෑන්ක් එම රටවල නීත්‍යානුකූල මුදල් ඒකකය වේ. ඒසේම එම රටවල් අදටත් ඔවුන්ගේ විදේශ විනිමය සංචිතවලින් සියයට 50 ක් ප්‍රංශ මහජන භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුය. විශ්‍රාම වැටුප් ඇතුළු ලෝකයේ වඩාත්ම ත්‍යාගශීලී සමාජ සුබසාධන පද්ධතිය ප්‍රංශ ජාතිකයන්හට භුක්ති විඳීමට ලැබීමට මෙය ප්‍රධාන හේතුවක් වේ.

 

ගෝලීයකරණය නම් වු ප්‍රපංචය තුළ අනිවාර්ය ලෙස පැන නගින තරගයේ දී, ප්‍රංශ ජනතාව ඔවුන්ගේ පූර්වගාමීන් විසින් රැස් කරන ලද ලාභාංශ ක්‍රම ක්‍රමයෙන් හිඳෙමින් පවතී. කෙසේ වුවද ප්‍රංශයට තවමත් මුදල් අහේනියක් උද්ගතව නැති අතර අවශ්‍යනම් යුක්රේනයට සැලකිය යුතු මිලිටරි සහායක් ලබා දිය හැකිය. කෙසේ වෙතත්, ඉදිරියේදී ප්‍රංශ වැඩිහිටි ජනගහනය අඛණ්ඩව වැඩිවීමත් සමඟ ප්‍රංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය අර්බුදයකට මුහුණ දීමට නියමිතය. මේ තත්වය හඳුනාගත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රේන් විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සඳහා කටයුතු කිරිමට උත්සහා කරමින් සිටියි.

 

රටක සුභසාධන පද්ධතියේ වැදගත් අංගයක් ලෙස සලකන විශ්‍රාම වැටුප ආර්ථිකයේ ද්විතියික බෙදාහැරීමේ ඇති සාධාරණත්වය පිළිබිඹු කරන ඉතා වැදගත් සාධකයකි. එපමණක් නොව, බොහෝ රටවල අත්දැකීම්වලින් පෙනී යන්නේ විශ්‍රාම වැටුප් වැඩි කළ හැකි වුවත් කපා හැරීමට අපහසු බවයි. එබැවින් විශ්‍රාම වැටුප් අරමුදල් සංචිතය අඛණ්ඩව පුළුල් කරගන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙන්ම විශ්‍රාම වැටුප් වඩාත් සාධාරණ ලෙස බෙදා හරින්නේ කෙසේද යන්නද ගැටලුවක් බවට පත්ව තිබේ.

 

ප්‍රංශය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් සෑම කෙනෙකුටම දිගු කාලයක් වැඩ කිරීමට සිදුවන පරිදි නීති සකස් කිරීම සාධාරණ නැත. වෙනත් වචනයකින් පැහැදිලි කරන්නේ නම් ශරීර සෞඛ්‍යට අහිතකර සහ සහ භයානක පරිසරයක වැඩ කරන අය ඇතුළු නිල් කරපටි කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයකට මැක්‍රේන් ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ වල බර බෙදා ගැනීමට සිදුවනු ඇත. මෙවැනි කම්කරුවන්ගේ රැකියා ස්වභාවය පරිගණක ආශ්‍රිත රැකියා කරන සහ කොටස් වෙළෙඳ පොළ සහ සුරැකුම්පත් ආශ්‍රිත ක්ෂේත්‍ර වල වැඩකරන අයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය. ඒ අනුව මැක්‍රේන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ වලින් විශ්‍රාම වැටුප් ලබන්නන් අතර ඇති පරතරය තවත් උග්‍ර කිරීමක් සිදුවනු ඇති බවට ගනන් බලා ඇත.

 

ප්‍රංශ විශ්‍රාම වැටුප් ක්‍රමය යුරෝපය තුළ සාපේක්ෂව  ඉහළම ප්‍රතිලාභ ලබන්නන් සහ පහලම ප්‍රතිලාභ ලබන්නන් අතර කුඩා පරතරයක් ඇතැයි ප්‍රසිද්ධ වී ඇත. කෙසේ නමුත් මෑත වසරවලදී, මෙම පරතරය පුළුල් වෙමින් පවතින බව සංඛ්‍යා ලේඛන අධ්‍යනයෙන් තහවුරු වේ. පැරිස් ආර්ථික විද්‍යා පාසලේ ලෝක අසමානතා විද්‍යාගාරයේ දත්ත පෙන්නුම් කරන්නේ 1980 ගණන්වල සිට සෑම තැනකම පාහේ ආදායම් සහ ධනයෙහි ඇති අසමානතා වැඩිවෙමින් පවතින බවයි. ඒ අනුව විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ සහයෝගිතා ධන බද්ද (ISF) වෙනුවට පුද්ගලයන් සඳහා වන දේපල වත්කම් මත පනවන බද්දක් වන ධන බද්ද (IFI) විසින් අසමානතාවයේ “ත්වරණයක්” ඇති වීමට තුඩු දී ඇති බවයි.

 

ලෝක මට්ටමේ ආර්ථික බලවතෙකු වන ප්‍රංශය මුහුණ දෙන අභියෝග මුදල් පමණක්ම නොවේ. මෙම සුබසාධන ක්‍රමය භුක්ති විඳින නව පරම්පරාවේ කොපමන පිරිසක් ඔවුන්ගේ පූර්වගාමීන් කළාක් මෙන්, විශේෂයෙන්ම පහළ  නිෂ්පාදන මට්ටම්වල තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කැමැත්තෙන් සිටින්නේද යන්නද අභියෝගයකි. හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාර්කෝසිගේ සුප්‍රසිද්ධ වදනක් වන “වැඩි වැඩියෙන් උපයා ගැනීම සඳහා වැඩිපුර වැඩ කරන්න” යන වදන මීට වසර කිහිපයකට පෙර ධනාත්මකව සලකනු ලැබුවද, දැන් දැන් බොහෝ ප්‍රංශ ජනතාව, විශේෂයෙන් තරුණයින් විසින් පුළුල් ලෙස ඔහුගේ වදන් ප්‍රතික්ෂේප කර ඇත.

 

එබැවින් විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණය පද්ධතිමය ප්‍රශ්නයක් පමණක් නොව සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් ද වේ. ප්‍රංශයට එහි ශක්තිමත් තරඟකාරිත්වය දිගටම පවත්වා ගත හැකිද යන්න පද්ධතිමය සහ අධ්‍යාත්මික මට්ටම් දෙකෙහිම වන ද්විත්ව අභියෝගයකට මුහුණ දෙන ආකාරය අනුව තීරණය වේ.

 

යුරෝපා ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, යුරෝපීය ධනවාදය ප්‍රතිසංස්කරණවලට තුඩු දෙන ගැටළු වලට පිළිතුරු සෙවීමේදී කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය අතර හිඳිමින් ගවේෂණය කිරීමට පෙළඹී ඇත.ඉතිහාසය පුරාම යුරෝපීය ජනතාව එක්සත් ජනපදයට වඩා වෙනස් මාර්ගයක් තෝරා ගත්හ. එනම් සුභසාධනය සහ සාධාරණ බෙදා හැරීම අවධාරණය කරන මාර්ගය ඔවුන් අනුගමනය කළහ. කෙසේ වෙතත්, සුභසාධන ධනවාදය යටතේ වුවද, ධනවාදයේ ස්වභාවය සහ එහි ආවේනික දෝෂයන් වෙනස් නොකිරීමට වගබලාගන්න අතර, එය ඇති නැති පරතරය පුලුල් කිරීමට පෙළඹීම නොවැලැක්විය හැකිය.

 

ප්‍රංශ ජනතාවට දැන් ගැලවීමට මගක් සොයාගත නොහැකි බව පැහැදිළිව පෙනේ. එලෙසම එක්සත් ජනපදයටද ගැලවීමට මගක් සොයාගත නොහැක. ඒ අනුව ධනවාදය තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇති බව පෙනේ. නමුත් ධනවාදය ඉක්මනින් අතුරුදහන් නොවනු ඇත, නමුත් ධනවාදයේ අනාගත මාවතෙහි ඇති අවිනිශ්චිත බව නම් සක් සුදක් සේ පැහැදිළිය.

 

Capitalism runs out of the accumulated dividends, reaches a critical point

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *