Press "Enter" to skip to content

ලංකාවේ අහන ලෝකයේ දිගම වධ හිංසා නඩුවේ විස්තරය

ලෝකයේ දිගම වධහිංසා නඩුව ලංකාවේය. එය තවමත් නිමා නොවී දික් ඇදෙමින් තිබේ. විමතියකි ශෝකයකි. මේ ඒ කතාවයි. මේ කාලයේ වැලි තලාවෙන් වැසී නොගිය ලසන්ත ජගත් කුමාරගේ මරණයේ කතාවයි.

පසුගිය සතියේ ආසියානු මානව හිමිකම් කොමිසම සහ ශ්‍රී ලංකාවේ රයිට් ටු ලයිෆ් සංවිධානය සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් හරහා මෙම ඛේදවාචකයේ තතු නැවත දෝංකාර දෙමින් තිබේ. ලොවම කැළඹූ එක්සත් ජනපදයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය ලසන්තගේ මරණය සම්බන්ධව නැවත සංවාදයක් ඇතිවීමට මූලික පදනම වී ඇති බව කිව යුතුය. කෙසේවෙතත් තවමත් මෙම නඩුව සම්බන්ධ අධිකරණ කටයුතු සිදුවන නිසාවෙන් අප මෙම සටහන තබන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීන් පසුගිය කාලය පුරා හෙළිදරව් කර ඇති තොරතුරු මත පදනම් වෙමිනි.

මෙම නඩුවට පාදක වන සිදුවීම සිදුව ඇත්තේ 2000 වසරේදීය. ලසන්ත ජගත් කුමාර නම් තැනැත්තා පයාගල පොලීසියෙන් අත්අඩංගුවට ගන්නා ලදුව රිමාන්ඩ් බාරයේදී මියගොස් තිබිණි. ඔහු අත්අඩංගුවට පත්වූ දිනය ලෙස සඳහන් වන්නේ 2000 ජූනි 12 වන අතර අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉන් දින පහකට පසුව ජූනි 17දාය. අනතුරැව ලසන්ත ජගත් කුමාර නැමැත්තා රිමාන්ඩ් බන්ධනාගාරයේදී 2000 ජූනි 20 වැනිදා මිය ගොස් තිබිණි. ඒ අනුව මෙම මරණය සිදුවී අද වන විට වසර විස්සක් ගතවී ඇත. මෙය පොලිස් වධහිංසා මත සිදුවූ මරණයක් ලෙස සැලකෙයි.

ඒ අනුව ලසන්තගේ මරණය පොලිස් අත්අඩංගුවේ දී සිදුකළ පහරදීම් මත සිදුවී ඇති බවට සාක්ෂි සාධක ද ඉදිරිපත් වී ඇත. පසුගිය වසර විස්ස පුරා මානව හිමිකම් සංවිධානය පෙන්වා දී ඇති ආකාරයට මෙම මරණයට අදාළ සාක්ෂි වසන් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. සැකකරුට පහරදීමෙන් පසු පොලීසිය ඔහුව එවක කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කර තිබේ. එහිදී අධිකරණ වෛද්‍යවරයා ද ඔහු පිළිබඳ කිසිම පරික්ෂණයක් නොපවත්වා ඔහුට කිසිම තුවාලයක් නැති බවට වාර්තාවක් නිකුත් කර තිබේ. මේ වන විට එහි තතු හෙළි වී අවසන්ය.

මේ සියල්ල සිදුව ඇත්තේ පොලීසියේ අනුදැනුම මත බවද කියැවේ. කෙසේවෙතත් අදාළ වෛද්‍යවරයා ලබාදුන් වෛද්‍ය වාර්තාව පසුව අභියෝගයට ලක් විය. අනතුරැව ඔවුන්ගේ වෘත්තීයභාවය වසර තුනකට අත්හිටුවීමට වෛද්‍ය සභාව කටයුතු කර තිබේ. පොලීසිය විසින් කළ වධහිංසා පැමිණවීමට සමානවම වෛද්‍යවරයා විසින් සිදුකළ අනුබල දීම ද පෙන්නුම් කරන්නේ අප සමාජ ව්‍යුහයේ බිඳවැටීමයි. පොලිස් පහරදීම් සහ වධහිංසා කිරීම් සාමාන්‍යකරණය කිරීමේ මානසිකත්වයේ භයානකකමයි. එය සමාජයේ පහළ ස්ථරයේ සිට උගත් බුද්ධිමත් බව කියාගන්නා ඉහළ ස්ථරය දක්වාම එක සේ විහිද පවතී. ජීවකයකු විසින්ම ජීවත්වීමේ අයිතිය උදුරාගැනීමට අනියමින් සහාය වීම හරහා එය මනාව පැහැදිලි වෙයි.

පසුගිය ජූනි 20 වැනිදාට මෙම සිද්ධිය සිදුවී අවුරුදු 20 ක් ගතවී හමාරය. එහෙත් එම සිද්ධියට අදාළ පයාගල පොලීසියේ අපරාධ අංශයේ එවක ස්ථනාධිපතිවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව තවම අවසන් නැත. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධ පවරන ලද සිවිල් නඩුව ද ඇදී යමින් තිබේ. මේසා විශාල කාලයක් දික් ඇදුණු නඩුවක් ලෝකයේ වෙනත් තැනක වාර්තා නොවන බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඉතා ධෛර්යසම්පන්නව මෙම නඩුව ඉදිරියට ගෙන යමින් මියගිය ලසන්ත ජගත් කුමාර වෙනුවෙන් යුක්තිය අයැද සිටින්නේ ඔහුගේ සහෝදරියක විසිනි. ඇය ගෙන යන මෙම දීර්ඝකාලීන අරගලය සැබැවින්ම ප්‍රශංසනීයය.

අවුරැදු 20 ක් පුරා මෙම නඩුව දික් ඇදෙන්නේ ඇයි? ඒ සම්බන්ධව ද අදාළ පාර්ශ්ව සිදු කර ඇති පැහැදිලි කිරීම් ද සොයා බැලිය යුතුය. අදාළ පොලිස් නිලධාරියා ආරක්ෂා කිරීමට පොලීසිය යම් ප්‍රයත්නයක යෙදී සිටින බව එහිදී හෙළිදරව් වෙයි. මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන ආකාරයට සැකකාර පොලිස් නිලධාරියාට අවශ්‍ය සෑම සැප පහසුකමක්ම රජයන් විසින් සලසා දී තිබේ. පළමුව අදාළ පොලිස් නිලධාරියාට රටින් බැහැරව යාමට ද ඉඩ සලසා දී තිබේ. එය මෙම නඩුව දික් ඇදීමට ප්‍රමුඛ හේතුවක් වී තිබේ. එසේම පසු අවස්ථාවල අදාළ පොලිස් නිලධාරියා මෙරටට පැමිණීමෙන් පසු අනෙකුත් පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ පැමිණීම රහසක් සේ සඟවාගෙන සිට තිබේ.

මීට අදාළ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලියකියවිලි පිරික්සීමේදී හමුවී තිබේ. ඒ අනුව ලසන්ත වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව පෙන්වා දෙන්නේ අධිකරණය මගින් අදාළ නිලධාරියාට විරුද්ධව තිබුණු කිසිම වරෙන්තුවක් ක්‍රියාත්මක කරවීමට කිසිම උනන්දුවක් දක්වා නොමැති බවයි. පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළුව සියලු අංශ මීට වගකිව යුතුය. මෙය අතිශය ඛේදනීය තත්ත්වයකි. මහජන සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමට සිටින ආයතන මහජන අයිතීන් ද කඩකොට ඒවා කඩකරන අය ද ආරක්ෂා කරමින් සිටියි.

මෙම සිදුවීම පසෙක තබා පසුගිය වසර විස්ස පුරා අත්අඩංගුවට පත්වූ ධනවත් ප්‍රසිද්ධ චරිත පිළිබඳ අපි විමසා බලමු. එහිදී කුප්‍රකට මිනීමැරුම්, මහා පරිමාණ සොරකම්, අල්ලස්, ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධව නම් කිහිපයක් අපට සිහිවෙයි. නමුත් ඔවුන් කිසිවකු පොලිස් වධබන්ධනයන්ට ලක්වීද? බන්ධනාගාර තුළ සැබෑවටම දුක් වින්ඳේද? නැත. ඔවුන්ගෙන් බහුතරය ජීවකයන්ගේ අනුදැනුම පිට බොරුවට ලෙඩ වී බන්ධනාගාර රෝහලේ සහ වෙනත් රෝහල්වල සැප වින්දහ. මේ අනුව මෙරට පොලිස් පහරදීම් සහ වධබන්ධනවල සැබෑ ඉලක්ක කවුරැන්ද? සැබැවින්ම දුර්වලයන් ඉලක්ක කර ගත්තක් නොවේද? අප සිතා බැලිය යුතුව තිබේ.

නැවතත් වසර විස්සක් දික් ඇදුණු මෙම නඩුව දෙසට අවධානය යොමුකරන විට ලසන්ත ජගත් කුමාරගේ සහෝදරිය සම්බන්ධව පසුගිය සමයේ පළවූ පුවතක් ද අපට හමුවිය. ඒ අනුව කියැවුණේ 2018 වසරේ දී පිරිසක් බලහත්කාරයෙන් ඇය සතුව තිබූ ලිපිගොනු පැහැරගෙන ගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාවලට අනුව කියැවුණේ එම සිදුවීම මෙම නඩුවට අදාළ සිදුවීමක් බවයි. කෙසේවෙතත් ආසියානු මානව හිමිකම් කොමිසම සහ රයිට් ටු ලයිෆ් ඒකාබද්ධ ප්‍රකාශය අනුව මෙම නඩුව මෙපමණ කාලයක් ගෙන යාමට හෝ හැකි වී තිබෙන්නේ මියගිය ලසන්ත ජගත් කුමාරගේ සහෝදරියගේ ධෛර්යසම්පන්න බව නිසාවෙනි.

ඒ අනුව මියගිය ජගත් කුමාර යන අයගේ සහෝදරියක විසින් ගෙන ගොස් ඇති දීර්ඝ අරගලය නොවන්නට මෙම නඩුව ද මෙවැනි අනෙක් නඩු මෙන් කිසිදු ප්‍රතිඵලයකින් තොරව අවසන් වන්නට ඉඩ තිබුණි. කෙසේ වෙතත් අදාළ ප්‍රකාශයට අනුව ඇය විසින් ගෙන යන ලද මෙම ව්‍යාපාරයට සහයෝගය දක්වන ලද්දේ ද ඉතා අල්පමාත්‍ර මානව හිමිකම් ක්‍රියාධර කණ්ඩායම් කිහිපයක් පමණි. මේ සඳහා විශාලම කාර්යභාරයක් ඉටු කරන ලද්දේ ජන සංසදය නම් මානව හිමිකම් ක්‍රියාකාරී කණ්ඩායමයි. එම කටයුත්තට තවත් කණ්ඩායම් කිහිපයක් මගින් ද අනුබල ලැබී තිබේ. එම කණ්ඩායම් අතරින් ජාත්‍යන්තර සහයෝගය ලබා දුන්නේ ආසියානු මානව හිමිකම් කොමිසමයි.

කෙසේවෙතත් ශ‍්‍රී ලංකාවේ වධහිංසාවට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පමණට නීති තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වධහිංසාවට පාත්‍ර නොවී සිටීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළදී කිසිදු තැනැත්තකු වධහිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලකට, නැතහොත් දඬුවමකට යටත් කළ නොහැක. ඊට අමතරව මෙහිදී 1994 අංක 22 දරන වධහිංසා වැළැක්වීමේ පනත ද වධහිංසාවන් සම්බන්ධයෙන් සැලකිය හැකිය.

මෙවන් නීති ප්‍රතිපාදන තිබුණ ද ලසන්ත ජගත් කුමාර නඩුව වසර විස්සක් තිස්සේ දික් ඇදෙන්නේ ඇයිදැයි යන්න අප කල්පනා කළ යුතුව තිබේ. මෙහි අපට නොපෙනෙන හේතුවක් තිබෙනවා විය හැකිය. නැතිනම් මෙරට නීති ක්ෂේත්‍රයේ වියවුල් සහගත බව මීට හේතුව විය යුතුය. එහෙත් මෙම නඩුවේ යුක්තිය කවරක්දැයි තීරණය කිරීමේ පරම අයිතිය අධිකරණ සතු බව කිව යුතුමය. අපට එයට උපමාන ඉදිරිපත් කළ නොහැක. එහෙත් යුක්තිය ඉටුකිරීමේ ප්‍රමාදය නම් වරදකි. බරපතළ වරදකි. නමුත් ඊට දඬුවමක් නම් නැත.

චමිඳු නිසල් ද සිල්වා
ඡායාරෑප අන්තර්ජාලයෙනි

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *