Press "Enter" to skip to content

ඉන්දියාවේ රාජ්‍ය බැංකු වල බිලියන 958 ක මූල්‍ය වංචාවක්

ඉකුත් අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේදී ඉන්දීය රාජ්‍ය බැංකුවල ඉන්දීය රුපියල් බිලියන 958ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 13.3ක) වංචාවක් සිදුව ඇතැයි එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.  

ඉන්දීය ආණ්ඩුව රාජ්‍ය බැංකුවල පාඩුව පියවා ගැනීමට උපකාරී කරමින් සිටියදී මෙම මූල්‍ය වංචා සිදුව තිබේ.

මේ වසරේ අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේදී සිදුවීම් 5,743ක් සම්බන්ධයෙන් වාර්තා වී ඇතිබවත් එහෙත් පසුගිය වසරවලදී වංචා රැසක් සිදුව ඇති බවත් ඉන්දීය මුදල් අමාත්‍යවරිය කීවාය. එමෙන්ම තවත් වංචා සිදුවීම් 1,000ක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් ඒවායේ වටිනාකම ඉන්දීය රුපියල් බිලියන 25කට අධික බවත් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවැසුවාය.

“ආණ්ඩුව බැංකුවල වංචා නැවැත්වීමට ශක්තිමත් පියවර රැසක් ගෙන තිබෙනවා” යැයි ද ඇය කීවාය.

පසුගිය මූල්‍ය වසර දෙකේදී අකර්මන්‍ය සමාගම්වලට අයත් බැංකු ගිණුම් 338,000ක් අත්හිටුවීමටත් දූෂණවලට සම්බන්ධ සහ රටින් පලා ගොස් පුද්ගලයන්ගේ දේපළ සහ වත්කම් රාජසන්තක කිරීමටත් ඉන්දීය ආණ්ඩුව පියවර ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය නීති ද පසුගිය කාලයේදී සම්මත කරගත්තේය.

‘ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා’ බැංකුවේ ඉන්දීය රුපියල් බිලියන 254ක්, ‘පන්ජාබ් නැෂනල් බෑන්ක්’ බැංකුවේ ඉන්දීය රුපියල් 108ක් සහ ‘බෑන්ක් ඔෆ් බරෝදා’ බැංකුවේ ඉන්දීය රුපියල් බිලියන 83ක වංචාවක් ද සිදුව ඇතැයි නිර්මලා සීතාරාමන් කීවාය.

රාජ්‍ය බැංකු ලිහිල් රෙගුලාසි පවත්වාගෙන යන බවත් ඇතැම් බැංකුවල නිලධාරීන් වංචනිකයන්, වංචාකරුවන් සමඟ හවුලේ මිත්‍රත්වයෙන් කටයුතු කරන බවත් සීතාරාමන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය අමතමින් පැවැසුවාය.

බංකොලොත් වීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2016 වසරේදී දැඩි නීති හඳුන්වා දුන් අතර ආර්ථික අපරාධකරුවන් අල්ලා ගැනීමේ අරමුණින් තවත් නීති හඳුන්වා දුන්නේය. ඊට අමතරව පසුගිය කාලයේදී සිදුවූ වංචා නිසා ඇමෙරිකානු ඩොලර් බිලියන 140කට ආසන්න පාඩුවක් රාජ්‍ය බැංකුවලට සිදුව සිදුව තිබූ එම පාඩු පියවා ගැනීම සඳහා ද නීති ගෙනාවේය.

‘පන්ජාබ් නැෂනල් බෑන්ක්’ බැංක-ුව යනු ඉන්දියාවේ දෙවැනි විශාලතම රාජ්‍ය බැංකුව වන අතර පසුගිය වසරේදී පමණක් එම බැංකුවේ සේවකයන් සිදු කර ඇති වංචා නිසා සිදුව ඇති පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවන බව පැවසේ.

රොයිටර්ස් ඇසුරිනි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *