Press "Enter" to skip to content

කොරෝනා නිසා තායි අලි ඇතුන් හාමතේ

සංචාරක ව්‍යාපාරයෙන් ලද ආදායම කොරෝනාවෛරසයේ බලපෑම හමුවේ බිඳ වැටීම හේතුවෙන් තායිලන්තයේ අලින් දහසකට වැඩි සංඛ්‍යාවක් හාමත් වීමේ අනතුරට මුහුණ දෙන බව සත්ව ආරක්ෂණ ක්‍රියාධරයෝ පවසති.

සංචාරකයන් සම්පූර්ණයෙන් ම පාහේ අහිමි වීම යනු තායිලන්තයේ සිටින හාර දහසක් පමණ වූ හීලෑ අලින්ට ආහාර සැපයීම බොහෝ අලි හිමියන්ට දරාගත නොහැකි තත්ත්වයකි.

දිනකට කිලෝ ග්‍රෑම් 200ක් (රාත්තල් 440ක්) දක්වා වූ ආහාර ප්‍රමාණයක් අලියෙකුට පරිභෝජනය කළ හැකිය.

පසුගිය සඳුදා පමණක් නව කොරෝනාවෛරසය ආසාදිතයන් 127 දෙනෙකු තායිලන්තයෙන් වාර්තා විය. ඒ අනුව එරට සිටින බවට තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 1,651 දක්වා ඉහළ ගියේය.

“ඉදිරියේදී යම් සහනයක් නොලැබුණ හොත් මේ අලින් ආරක්ෂිතව තබා ගැනීම දුෂ්කර වෙනවා. ඇතැම් සතුන් ගැබිණි තත්ත්වයේ පසු වෙනවා. ඔවුන් එක්කෝ කුස ගින්නේ මැරෙයි; නැත්නම් සිඟමන් යදින්නට පාරට දමන්න සිද්ධ වෙයි.” Save Elephant පදනමේ පුරෝගාමියා වන ලෙක් චායිලර්ට් පැවසීය.

එමෙන් ම මෙම අලින් නීතිවිරෝධී ව්‍යාපාර සඳහා යෙදවීමේ අවදානමක් ද පවතී.

“වහාම මූල්‍ය සහනයක් නොලැබුණොත් මෙය ඉතා අසතුටුදායක තත්ත්වයක්.” ලෙක් චායිලර්ට් පැවසුවේය.

ඉතා යහපත් කාලයකදී වුව ද සතුන්ට ආහාර සැපයීම අභියෝගයකි. තායිලන්තයේ දැනට පවතින වියළි කාලගුණය හේතුවෙන් මෙය අතිශය දුෂ්කර කර්තව්‍යයක් බවට පත් වනු ඇත.

කෙරී මැක්රියා, අලි ඇතුන් වෙනුවෙන් තායිලන්තයේ උතුරු ප්‍රදේශයේ අභය භූමියක් පවත්වාගෙන යන්නීය. එම ප්‍රදේශයේ ගම්වැසියන් මේ වන විට සංචාරක ව්‍යාපාරයෙන් කිසිදු ආදායමක් නොලබන හෙයින් ඔවුන් සතු අලි ඇතුන් 70ක් පමණ තම භූමියට ගෙනවිත් දමා ඇති බව ඇය පැවසුවාය.

“අලි ඇතුන්ට කන්න දෙන එකට ප්‍රමුඛත්වය දිය යුතු තමයි. ඒත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔවුන්ට කෑම සපයන්න තරම් සෑහෙන කැලයක් ඉතිරි වෙලා නැති එකයි,” කෙරී මැක්රියා පැහැදිලි කළාය.

කෙරී උතුරු අයර්ලන්තයේ උපත ලද කාන්තාවකි. ඇය තායිලන්තයේ Kindred Spirit Elephant හි සම පුරෝගාමියා වන්නීය.

තම භාරයේ සිටින අලින් පස් දෙනෙකුට ආහාර සැපයීම සඳහා අවශ්‍ය පලා වර්ග සහ තිරිඟු ගස් සොයා ගැනීමට ඇය දිනකට පැය තුනක් පමණ රිය පදවන්නීය.

තම ප්‍රදේශවාසීන්ට ද එම අභියෝගයට මුහුණ දීමට සිදු වී ඇති බව කෙරී පවසන්නීය.

තායිලන්තය සිය ආර්ථික වර්ධනයේ විශාල පංගුවක් සංචාරක ව්‍යාපාරය මත යැපෙන රටකි. කොරෝනාවෛරසයේ බලපෑම මත සියලු සංචාරකයන් සඳහා දේශ සීමා වසා දමා ඇති අතර රටේ වැඩි කොටසක් මේ වන විට අකර්මණ්‍ය කර ඇත.

අලි ඇතුන් සතුටින් සිටින විට සාමාන්‍යයෙන් ඔවුන් තම වල්ගය එහා මෙහා පැද්දීම, දෙකන් දෙපසට සැලීම, දුහුවිලි ස්නානය කිරීම වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන බව කෙරී මැක්රියා පවසන්නීය.

නමුත් ඔවුන් කුසගින්නේ පසුවන විට මානසික අවපාතයට ලක් වන අතර ඉහත කී කිසිදු ආකාරයක සතුට දනවන සලකුණක් ප්‍රදර්ශනය නොවේ.

“අන්තිම නරක තත්ත්වයක් ආවොත් අලි හිමියන්ට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය ද අලින්ගේ ජීවිත ද කියල තීරණය කරන්න.”

“මේ මිනිස්සුන්ට වැඩි යමක් නැහැ. ඒ නිසා ඔවුන් දැනට කරන්නේ අලින්ගේ ජීවිතය රැකගන්න විතරක් ප්‍රමාණවත් වූ දෙයක් කරන එක විතරයි.” කෙරී මැක්රියා ප්‍රකාශ කළාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *