Press "Enter" to skip to content

සජිත්වගේ ගෝඨාභය බලහත්කාරයෙන් ජනාධිපති අපේක්ෂකයා වෙන්න හැදුවේ නැහැ

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වගේ ගෝඪාභය රාජපක්ෂ මහතා බලහත්කාරයෙන් ජනාධිපති අපේක්ෂකයා වෙන්න හැදුවේ නැති බව අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මාධ්‍ය හමුවකදී ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය

රටේ මැතිවරණ උණුසුම වගේ ම රට සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියන්න පුළුවන් පියවරක් පසුගිය එකොලොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම් කිරීමෙන් පස්සේ රටේ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. ආණ්ඩුවට එරෙහි ජනතාවගේ පීඩනයයි මේ පිට කරන්නේ.
ජනාධිපතිවරණයට දින නියම වෙනකන් රටේ ජනතාව බලාගෙන ඉන්නවා කියන කාරණාව අනුරාධපුරයේ පැවති ආගමිකවතාව වලින් සහ අනුරාධපුරයේ සිට මහනුවර දක්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගමන් ගත් අවස්ථාවේ ඒ නගරවල් වල පිළිගැනීම් උත්සව වලදී මනාවට පැහැදිලි වෙනවා. අපිට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්, අපිව ආරක්ෂා කරන්න පුළුවන් අපේම ජනාධිපතිවරයෙක් බිහිවෙනවා බිහිවෙනවා කියලා ජනතාව සතුටෙන් සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම අද පක්ෂ විපක්ෂ සෑම දෙනාගේම සතුටට කාරණයක් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් පවා මේ සම්බන්ධයෙන් ප්‍රසාදය පල කරමින් තිබෙනවා. රට වෙනුවෙන් හරි තීන්දුවක් ගත්තා කියන දේ ඔවුන් පවසනවා. ඒ වගේම සරත් ෆොන්සේකා මැතිතුමා එක්සත් ජාතික පක්ෂය පිළිබඳව දැඩි විවේචනයන් ඉදිරිපත් කරනවා, ඒ එක්කම තවත් සමහර අය මත ඉදිරිපත් කරනවා සරත් ෆොන්සේකා සහ ඒකාබද්ධ විපක්ෂය අතර මේ වෙනකොට එකඟතාවයන් ඇතිවෙලා තියෙනවා කියලා. අපි පැහැදිලිව කියන්න ඕන සරත් ෆොන්සේකා අපගේ දේශපාලන කඳවුරට සහාය දැක්වීමට හෝ එකතු වීමට කිසිම එකඟතාවයක් පළ කරල නෑ.
නමුත් එක ප්‍රශ්නයකදී, මේ රටේ දැවෙන ප්‍රශ්නයක් වෙන රටේ ජාතික ආරක්ෂාව කියන තැනදී සරත් ෆොන්සේකා මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක මතයක ඉන්නවා. රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛස්ථානයේ තබා සැලකිය යුතුයි කියන කාරණාව. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහා සංඝරත්නය බැහැ දකින්න ගිය සෑම අවස්ථාවකදීම උන් වහන්සේලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉතා පැහැදිලි ඉල්ලීමක් කෙරුවා රට ආරක්ෂා කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා. ඊට අමතරව එතුමා ගිය මුස්ලිම් පල්ලියේ පූජකතුමා, ඒ වගේම හින්දු පල්ලියේ පූජකතුමා ගේ එකම ඉල්ලීම වුණේත් ජාතික ආරක්ෂාව තහවුරු කරලා බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් රටේ නිර්මාණය කරන්න කියන එකයි.
මේ රටේ බරපතළ ආර්ථික ගැටළුවක් තියෙනවා. මේ අවුරුද්දේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට දෙකක් බවට වෙනවා කියලා පුරෝකතනය කරලා තියෙනවා. 2015 දී සියයට හතක් තිබ්බ මේ රටේ ආර්ථික වර්ධන වේගය අද වෙන කොට 2% දක්වා පහත වැටුනේ වර්තමාන ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ආර්ථික වර්ධන වේගය අඩු වීමට මූලිකම හේතුව වුණේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීමයි. ආර්ථික ප්‍රතිපත්තියක් හෝ වේවා ඕනෑම ප්‍රතිපත්තියක් හෝ වේවා ඒ ක්‍රියාත්මක කිරීමට ජාතික ආරක්ෂාව තහවුරු වී තිබීම අනිවාර්යයි.

එකොළොස් වැනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂක ධුරයට නම් කිරීමෙන් පසුව පැවැත්වූ කතාවේ සියලුම අන්තර්ගතයන් ඒ ආකාරයෙන් වචන වෙනස් කරලා අදහස් දැක්වීමක් වේදිකාවේ කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙලඹුණා. එතුමාට තියෙන්නේ යාචක මානසිකත්වයක් විතරක් නෙවෙයි එතුමාට කිසිම ඉදිරි දැක්මක් නැති බවත් මෙයින් පේන්න තියෙනවා.
ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තියෙනවා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්න, අය වැය ඉදිරිපත් කරන්නේ නැතුව. ඒකෙ කාරණා හැටියට දක්වලා තියෙන අලුත් ආණ්ඩුවක් නිර්මාණය වුනහම ඒ ආණ්ඩුවේ නායකත්වයට අවශ්‍ය ආකාරයට අවකාශය ලබා දීම කියලා. පැහැදිලිවම අපි ඔබට කියනවා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කළේ ඊළඟට ඉදිරිපත් කරන්න යන අය වැය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකින් අයවැය සම්මත කරන්න බැහැ. අපි අභියෝග කරන්නේ මේ ආණ්ඩුවට, ඔවුන්ට පාර්ලිමේන්තු බහුතරයක් තියනවනම් විශ්වාසයක් තියෙනවා නම් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්නේ නැතුව අයවැය ලේඛන ඉදිරිපත් කරන්න. ඒකට හේතුව 2014 අවුරුද්දේ 2015 වර්ෂය සඳහා මැතිවරණයක් තියනවා කියලා ප්‍රකාශයට පත් කරලා තියෙද්දිත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අයවැය ලේඛනය ඉදිරිපත් කරා. එදා ඒ අයවැය ලේඛන ඉදිරිපත් කරලා සම්මත කරලා තමයි අපි මැතිවරණයට ගියේ.
රජය මාධ්‍ය වලට දැඩි තර්ජනයක් මර්දනයක් එල්ල කර ගෙන යනවා. බදුල්ල වේදිකාවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක් ඉතා පැහැදිලිවම සෘජුව තර්ජනය කරනවා මාධ්‍ය ආයතන වලට. මාධ්‍යයේ වගකීම රජය කරන හොඳ වැඩ වගේම නරක වැඩත් ප්‍රචාරය කරන එක. දේශපාලනඥයෙක් හැටියට අපි දැනගන්න ඕන නිවැරදි දේ පමණක් කරන්න. අපි වැරදි දේ කළොත් මාධ්‍ය අනිවාර්යෙන් ඒ ප්‍රවෘත්තිය පළ කිරීමට මැලි වෙන්නේ නෑ. හැබැයි ආණ්ඩුව වැරදි කර කර මාධ්‍යයෙන් හොද ප්‍රචාරය විමක් බලාපොරොත්තු වෙනවා නම්, ඔවුන්ගේ වැරදි මාධ්‍ය මගින් ප්‍රචාරය නොකර ඉන්න කියනවා නම් ඒ දේ කිසිසේත්ම ඉටු වෙන්නේ නෑ. මේක ස්වාධීන මාධ්‍යයට ආණ්ඩුව විසින් කරපු බරපතළ තර්ජනයක්. අපේ රටේ මාධ්‍ය කිසිම දේශපාලනඥයෙකුට කඬේ යන්නෙ නෑ කියන විශ්වාසය අපිට තියෙනවා. සහ වගේම විවේචන දරාගැනීමේ හැකියාව ආණ්ඩු පක්ෂයට වගේම විපක්ෂයටත් තිබිය යුතුයි. එමනිසා අපි හෙළාදකිනවා එදා එජාප වේදිකාවේ ඒ ඇමැතිවරයා කරපු ප්‍රකාශය. ඒකෙන් අපිට තේරෙන්නේ සජිත් ප්‍රේමදාස ගේ පියා විසින් 88 89 කාලවල කරපු මාධ්‍ය මර්දනය ම නැවත කිරීම සඳහා පන්නරයක් ලබා ගෙන තියෙන බවයි.
ආණ්ඩුව වැඩියෙන්ම මඩ ගහන්නේ අපේ කඳවුරට. අපි පාර්ලිමේන්තුවේ දිගින් දිගටම රජයෙන් ඉල්ලීමක් කළා ලසන්ත ලසන්ත වික්‍රමතුංගගේ අපරාධ නඩුව විසඳල අපරාධකරුවන් හෙළි කරන්න කියලා. අපි දන්නවා අපිට විශ්වාසයි 2015 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාර්තෘකාව මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය. ඒ වගේම එක්නැලිගොඩ අතුරුදහන් වීම. ඒ වගේම තජුඩීන් ඝාතනය විම. මෙන්න මේ කාරණා තුන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකා වුණා.
අවුරුදු හතර හමාරක් ගිහිල්ලත් මේ ගැන සාධාරණ පරීක්ෂණයක් නොකර දිගටම ආණ්ඩුව මඩ ගහමින් දේශපාලන කටයුතු කරද්දී අපි අවුරුදු හතරහමාරක් තුළ ආණ්ඩුවෙන් ඉල්ලීම් කෙරුවා පරීක්ෂණ අවසන් කරල අපරාධකරුවන් හෙළි කරන්න කියලා. අහිංසා වික්‍රමතුංග රනිල් වික්‍රමසිංහ අගමැති තුමාට ඉල්ලීමක් ඉදිරිපත් කරලා ලිපියක් යොමු කරලා තියෙනවා. ඒ ලිපිය හරහා එතුමිය කියලා තියනවා අවුරුදු හතරහමාරක් ගිහිත් ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් එළි නොකිරීම හරහා ඔවුන්ට අසාධාරණයක් වුණා කියලා. ඒක ඇත්ත. අපිත් කිව්වේ මෙම කාරණාව සම්බන්ධව තමයි. අපි දන්නවා මේ ඝාතකයෝ අපේ කදවුරට සම්බන්ධය අය නෙමෙයි. මේ ඝාතකයා රජය නියෝජනය කරන අය කියන මතය මේ මුළු රටේම දැන් පැතිරිලා තියෙන්නේ. එක නිසා අපි නැවත නැවතත් කියනවා මේ ඝාතකයන් පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් කරලා රටට හෙළි කරන්න කියලා.‍

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්මේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා


ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු අවස්ථාවක නෙලුම්මාවතට ඇවිත් මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් අරන් මාව අපේක්ෂකයා කරන්නයි ඉල්ලුවේ නැහැ. ජනතාවට තිබෙන ගැටලු විසදන්න ඔබට හැකි නිසා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරලයි අපි ඔහුව අපේක්ෂකයා කර ගත්තේ. සජිත් ප්‍රේමදාස වගේ රට වටේ ගිහින් මාව අපේක්ෂකයා කරන්නයි කියලා ඉල්ලීම් කලේ නැහැ. රටේ මිනිස්සු ඉල්ලන්නේ කවුද කියලා අපි හොදටම අවබෝධ කරගත්තා. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව පිළිගත්තේ එතුමා ජනාධිපති වුනා වගෙයි. එතුමාගෙන් ජනතාව ඉල්ලන්නේ අපිට ඉන්න හැකියාව තියෙන රටක් නිර්මාණය කර දෙන්න කියලයි. එදා 62ලක්ෂයකගේ බලාපොරොත්තු ඉටු නොවුන නිසා අද ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉල්ලනවා. එතුමාගේ පළමු කතාවේ අහක දාන්න වචනයක් නැති බව සියලු දෙනා කියනවා. එතුමා කතාව වගේම වැඩ කරන කෙනෙක්.
අද සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා කරන්නයි කියලා අත්සන් ලේඛණයක් රට වටේ අරන් යනවා. එජාපයට පොදුවේ තීන්දුවක් ගන්න හැකියාවක් නැහැ. නමුත් ජනතාව පාරට බැහැලා ප්‍රශ්නයකට විසදුමක් ඉල්ලුවොත් රනිල් කරන්නේ කල් මරණ එක. සජිත් ප්‍රේමදාසටත් කරන්නේ කල් මරණ එක. අපිත් සජිත් ප්‍රේමදාස දානවා නම් කැමැතියි. ඒ අයගේ හොදම කෙනා සජිත් නම් සජිත් දාගෙන එකතු වෙලා එන්න.
ගාමිණි දිසානායක මැතිතුමා රනිල් එක්ක තරග කරලා වැඩි ඡන්ද දෙකකින් ජනාධිපති අපේක්ෂකයා වුනා. පස්සේ මොකද වුනේ. එදා රනිල් පොත් කියවන්න ගියා. ගම්වල මිනිස්සු එක්ක කතා කරන්න ගියේ නැහැ. අන්තිමට ගාමිනි දිසානායක පැරදුනා. මේ රනිල් අද සජිත්ට කරන්නෙත් ඒ වැඬේමයි. පහුගිය දවස්වල හැරිසන් ඇමැතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව අපේක්ෂකයා කරන්නෙම නැහැ කිව්වා. අපි එතුමාව අපේ අපේක්ෂකයා කරලා පෙන්නුවා. දැන් කියනවා රත්නපුරේ මන්ත්‍රීවරයෙක් එජාපයට එනවලු. මම නම් හිතන්නේ නැහැ රතනපුරේ කිසිම මන්ත්‍රී කෙනෙක් ඒ ගිලෙන නැවට නගියි කියලා. හැබැයි දුනේෂ් ගන්කන්ද මන්ත්‍රීවරයා අපේ පැත්තට ආවා. ඒ අයගේ අපේක්ෂකයා දාපු ගමන් කණ්ඩායමක් පක්ෂයෙන් ගැලවෙනවා. අපෙන් කෙනෙක් ගන්නවා වෙනුවට පුලුවන් නම් තමන්ගේ ඉන්න අය පරිස්සම් කර ගන්න.
මේ දවස් වල වැස්ස. කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු අගවනවා. තවම 2014 ගංවතුරෙන් හානි වුන මිනිස්සුන්ගේ ගෙවල් ටික හදා ගන්න සල්ලි දුන්නෙ නැතිව ආපදාවක් වුනොත් මුහුණ දෙන්න ආණ්ඩුවට හැකියාව තියෙන බව කියනවා. සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘති ගැන ඇඞ් දාන්න කෝටි ගාණක් වියදම් කරනවා. ඒ කියන්නේ ප්‍රතිරූපය නංව ගන්නයි වැඩ කරන්නේ. නමුත් බුද්ධිමත් මිනිස්සු අහනවා සජිත් ප්‍රේමදාස එක ජාතික ප්‍රශ්නයක් ගැන කතා කරනවාද කියලා.ජාතික ප්‍රශ්න ගැන කතා නොකර මිනිස්සුන්ට ණය දෙන එක ගැන විතරයි කතා කරන්නේ. මුලු රටේම ජනතාව බලන් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන තුරුයි.
2020 අයවැය ලේඛණය ඉදිරිපත් කරන්නේ අපේ රජයක් යටතෙයි. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනාමයි. රටේ ජනතාවට බලාපොරොත්තු රැසක් තියෙනවා. නාස්තිය දූෂණය වළක්වලා රට ගොඩනැගීමේ වගකීම අපි බාරගන්නවා. මේ අනවශ්‍ය වියදම් කපා හැරලා අපි රට ගොඩ නගනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමාගේ කතාවෙදි කිව්වා මැතිවරණ ව්‍යාපාරයවත් ජනතාවට හානි වෙන විදයට කරන්න එපයි කියලා. ජනතාව බලාපොරොත්තු වුන විදියට අපි පාර්ලිමේන්තුවට පිටින් කෙනෙක් ගෙනාවා.
අර්ජන රණතුංග කියනවා බස් ගෙන්න හැදුවත් කකුලෙන් අදිනවාලු. ඔහුට දේශපාලන තින්දුවක් ගන්න වෙනවාලු. නවීන් දිසානායක කියනවා ඉඩම් හා පොලිස් බලතල දෙන්න ඕනෙලු. සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් නෙවෙයි එජාපයේ ජාතික සංවිධායකයි මේ කතා කරන්නේ. උතුරේ ඡන්ද ටික ගන්නයි මෙවැනි කතා කියන්නේ. ජේ.ආර්. ජයවර්ධනගේ සිට කිසි ජනාධිපතිවරයෙක් නොකල දෙයක් කරනවා කියලා උතුරේ ජනතාවගේ ඡන්ද ගන්නයි සූදානම. එතුමාගේ මාමාත් ඡන්දය ඉල්ලන්න සූදානමින් ඉන්න නිසා බෑනා මෙහෙම කියනවා වෙන්න ඇති. සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වසයෙන් කටයුතු කරන අවස්ථාවේ එජාපයෙන් හොද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නයි අපි ඉල්ලා සිටිනවා. මේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ජය ගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. දෙවැනි මනාපය ගනින්න සිද්ධ වෙන්නේ නැහැ. පළමු මනාපයෙන්ම එතුමා ජය ගන්න බව අපිට විශ්වාසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *