Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

local news

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසියි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා.

 

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේදී කරුණු තහවුරු වූ  බවයි.

 

එසේම ඩයනා ගමගේ මහත්මියගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

 

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

 

ඒ අනුව ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නැති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් “quo warranto” රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

 

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

 

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තයක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් මහතා මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

 

එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළේය.

 

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කෙරිණි.

 

 

 

20-20 ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍රාහකයා ඉන්දියාවේ අමුල්

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රිී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන නිල අනුග්‍රාහකයා ලෙස ඉන්දියාවේ කිරි නිෂ්පාදන ආයතනයක් වන අමුල් සමාගම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

 

මේ වසරේ ජූනි මස 01 වනදා සිට 29 වනදා දක්වා පන්දු වාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වේ.

 

 

ෆවුසිගේ පුතා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

 

කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්වීමෙන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන අනතුරුව පොලිස් ඇප මත මුදාහැර තිබේ.

 

 

අදානිගෙන් වසර 20ක් විදුලිය ගන්න කැබිනට් අනුමැතිය

මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අනුව, යෝජිත ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරන විදුලිය සඳහා කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26ක්  ගාස්තුව වශයෙන් පිළි ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

 

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුව වසර විස්සක කාලයක් සඳහා අදාළ මිල ගණන් යටතේ M/s Adani Green Energy SL Limited වෙතින් විදුලිය මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරය පිරිනැමීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

 

ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරින්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක එළඹීමට ඉකුත් 2022 වසරේ මාර්තු 07 වැනි දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණා.

 

ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය අදාළ අනුමැතිය ලබා දී ඇත්තේ

 

 

ජොන්ස්ටන් – ජයරත්න හේරත් ගැටුම නිසා කුරුණෑගල සමූපාකාර රෝහලේ උත්සවය කඩාකප්පල් කරයි – සේවකයන් බන්ධනාගාරයට

පසුගිය කාලයේ දී ශීඝ්‍ර දියුණුවක් පෙන්වූ කුරුණෑගල සමූපකාර රෝහලේ නව අංශයක් විවෘත කිරීම සඳහා පැවැත්වූ උත්සවයක් කඩාකප්පල් කිරීමට ප්‍රදේශයේ දේශපාලන බලධාරින් විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් යොදාගත් බවට චෝදනා එල්ල වේ.

 

සමූපකාර රෝහලේ සභාපතිවරයා විසින් එම උත්සවයට ආරාධනා කර ඇත්තේ ආණ්ඩුකාරවරයාට සහ ජයරත්න හේරත් මන්ත්‍රීවරයාට පමණි. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ ඒ පිළිබඳව උරණ වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් යොදවා උත්සවය සඳහා මාර්ගය දෙපස දමාතිබූ කොඩි ගලවා දැමීමට උත්සාහ කළ බවය. ඊට එරෙහි වූ සමූපාකාර සේවකයන්ට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පහරදීම නිසා දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වී තිබේ.

 

දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක වූ පොලිසිය එක් පාර්ශ්වයක් පමණක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ගැටුමට සම්බන්ධ නොවූ සභාපතිවරයා ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත්කර ඇත.

 

සභාපතිවරයාට ඇප ලැබී ඇතත් සේවකයන් පිරිසක් බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

 

කැලෑවක තිබී අදාළ මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

 

පසුගිය අප්‍රේල් 22 වනදා කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදන් වී ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

 

ඒ අනුව තොරතුරු ලද ප්‍රදේශ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර සැකකටයුතු පුද්ගලයෙකු අදාළ සිදුවීමෙන් පසුව එම ප්‍රදේශයෙන් පළා යෑම හේතුවෙන් ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකර තිබිණි.

 

අදාළ සැකකරු බිරිඳ හා දරුවා සමග ප්‍රදේශයෙන් පළා ගොස් තිබීම හේතුවෙන් පොලීසිය ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණි.

 

එමෙන්ම අපරාධයකට අනුබල දුන්යායැයි සැකය මත වැලිමඩ හා කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදුකර තිබූ බව පැවසු නිහාල් තල්දූව මහතා, ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරු මත තවත් සැකකුරුවෙකු අත්අඩංගුවට ගත් බව ද පැවසීය.

 

ඒ අනුව අතුරුදන්ව ඇති තරුණයාව ඝාතනය කර ඇති බවට අනාවරණය වූ නමුත් එය සිදුකළ ආකාරය හෝ එයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

 

මීට අමතරව අදාළ තරුණයා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පළාගොස් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (06) කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් වූ බවද පැවසු නිහාල් තල්දුව මහතා, මෙතෙක් ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බව ද පැවසීය.

 

 

ගුවන්තොටුපොළේ දී තම යුතුකම් ඉටුකළ නීතිඥයා ආරක්ෂා කළ යුතුයි – ජාතික සංවිධාන කියයි

කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ තමන් දුටු වරදක් උස් හඬින් පෙන්වා දුන් නීතිඥවරයා පොලිසියට කැඳවා අඩන්තේට්ටම් කිරීම පිළිබව ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව දැක්වූ අදහස්,

 

“රාජ්‍යයේ අකටයුතුකම් පිළිබඳව හෙළිදරව් කරන රට වැසියන් ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල විශේෂිත නීති පනවා තිබෙනවා. ඒවාට කියන්නේ නලාව පිඹින්නන් ආරක්ෂා කිරීමේ නීති කියලා. නමුත් අපේ රටේ සිදුවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එම නීතිඥ තරුණයා තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව සහ ඊට මුල්වූ හේතුවට අදාළව උස් හඬින් කරුණු දැක්වීම වරදක් වන්නේ කෙසේ ද?.

 

ඔහු එතැන කැළඹීමක් කළේ නැහැ. නිලධාරින්ගේ රාජකාරියට බාධාවක් කළේ නැහැ. ඔහු ඉටුකළේ රටවැසියකුගේ වගකීමක්. එහිදී හඬ උස්ද පහත් ද යන්න වැදගත් නැහැ. 

 

රාජ්‍ය ආයතනයක සාමාන්‍ය ක්‍රියාවලියක් වෙනස් කිරීම නිසා අපහසුතාවකට මහජනයාට මුහුණ දීමට සිදුවුවන්නේ නම් ඒ පිළිබඳව අදාළ නිලධාරීන් පූර්ව දැනුම්දීමක් කළ යුතුයි. එසේ නොකර ගැටලුවක් මතුවූ පසු ඒ ගැන කතා කළ පුද්ගලයා දඬුකඳේ ගැසීම ලැජ්ජා නැති වැඩක්.

 

ඒ ලැජ්ජා නැති මුග්ද ක්‍රියාව මගින් පාලකයන් බලාපොරොත්තු වන්නේ එවැනි ක්‍රියාවන්ට පෙළඹිය හැකි සෙසු පුද්ගලයන් බියවැද්දීම සහ ඔවුන්ට මානසික බාධක පැනවීමයි. ඒ නිසා යුක්තියට ගරුකරන සියලු මිනිසුන් මේ අසාධාරණ බලහත්කාරකමට විරුද්ධ විය යුතුයි.

 

ඊට අමතරව මේ සියල්ල ඉන්දියානු බලහත්කාරයේම කොටසක් ලෙස තේරුම්ගත යුතුයි. ජාතික සංවිධාන හැටියට අපි මේ බියගුළු නිවට ක්‍රියා තරයේ හෙළාදකිනවා.”

 

 

තාත්තා ගස් බැඳලා අම්මා වුනත් විකුණන්න මේ ආණ්ඩුව සූදානම් … වීසා නිකුත් කිරිම ගැන ඇති වු ගැටලුව ආණ්ඩුවේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට වැදුනු කනේ පාරක්…

කටුනායක ගුවන්තොටුපළ තුළ වීසා නිකුත් කිරිම සම්බන්ධව ඇති වු ගැටලුව ආණ්ඩුවේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට වැදුනු කනේ පාරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

“නිදහස” ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළේ ආගමන විගමන නිලධාරින් විසින් මැනවින් කළමනාකරණය කරනු ලැබූ මෙම වීසා නිකුත් කිරීමේ කටයුත්ත විදේශ සමාගමට පැවරීම මුළුමනින්ම අසාර්ථක වුවා පමනක් නොව විදෙස් සංචාරකයින්ගේ බරපතළ විරෝධයට ද හේතුවක් වු බවයි.

 

ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන, කිසිසේත්ම, රාජ්‍යයේ ආධිපත්‍යයෙන් නිදහස් නොකළ යුතු ක්ෂේත්‍ර අතරින් ආගමන විගමනය ද එකක් බව ඔහු පැවසීය.

 

ගමේ භාෂාවෙන් කියනවා නම්, “තාත්තා ගස් බැඳලා හරි අම්මා වුනත් විකුණන්න මේ ආණ්ඩුව සූදානම්” යැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

 

තමන් ඝාතනය කිරීමේ අරමුණින් බරපතළ විෂ ද්‍රව්‍යයක් ආහාර හරහා ශරීරයට ඇතුල් කර ඇති බවට හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ කරන ලද චෝදනාව ගැන අදහස් දැක්වු මන්ත්‍රීවරයා ඒ පිළිබඳව ආණ්ඩුවට නිහඬව සිටිය නොහැකි බව කියා සිටියේය.

 

“ඔහුගේ ආරක්ෂාව සහතික කොට ඒ අපරාධකරුවන් කවුද කියා නෛතිකව සහ විද්‍යාත්මකව රටට කරුණු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක්.” යැයි ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

නඩු නොමැතිව, හිරේ නොයා බැඳුම්කර වංචා කරන්න නව පනතක් – වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පනත් 104ක්  ගෙන ඒ්මට බලාපොරොත්තු වන බව පවසා ඇති බවත්, ඉන් එක් පනතක් වන්නේ රාජ්‍ය ණය කළමනාකරණ පනත බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

 

මෙම පනතෙන් ණය කළමනාකරණය කිරීම සඳහා කාර්යාලයක් පිහිටුවන බවද, එම කාර්යාලයේ බලය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට බවද ඒ මහතා සඳහන් කරයි.

 

 

මෙම පනත ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී මෙහි යටි අරමුණු කිහිපයක් හඳුනාගත හැකි බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, මෙම පනතෙන් නඩු නොවැටී, හිරේ නොයා බැඳුම්කර වංචා සිදුකළ හැකි බවද පෙන්වා දෙයි.

 

මීට පෙර තිබූ මුදල් පනත මගින් මහ බැංකුව විසින් රාජ්‍ය ණය කළමනාකරණය කළ යුතු වුවද මෙවර මහ බැංකු පනතෙන් රාජ්‍ය ණය කළමනාකරණය කිරීමට මුදල් ඇමැතිවරයාට ඉඩක් සකස් කළ බවද, එම ඉඩ පාවිච්චි කර දැන් මෙම යාන්ත්‍රණය සකස්කර ඇති බවද ඒ මහතා පවසයි.

 

මෙම කාර්යාලයේ සම්පූර්ණ බලය මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට ලැබී ඇති බවත්, මෙම කාර්යාලයෙන් බැඳුම්කර නිකුත් කරද්දී වෙළෙඳපොළ ක්‍රමවේදයන් අනුගමනය නොකර බැඳුම්කර නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

 

 

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් ඉන්දියානු සමාගමක් නොවේ යැයි කියූ VFS ආයතනයේ ඉන්දියානු උපත එළියට..

පාලකයන් බලය වෙනුවෙනුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියානුකරණය කිරීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ආගමන සේවාව VFS ආයතනයට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු පසුගිය දිනවලදී අනාවරණය විය.

 

ලංකාව ඉන්දියානුකරණය කිරීමේ මෙම මෙහෙයුම පිළිබඳව සවිස්තර තොරතුරු අනාවරණය කෙරෙන ලිපියක් පහළින් දැක්වේ.

 

මේ ජායාරූපයේ දැක්වෙන්නේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් ඉන්දියානු සමාගමක් නොවේ යයි අප නොමග යැවූ 2001 වසරේ ඉන්දියාවේදී පිහිටවූ VFS ආයතනයේ ඉන්දියානු පුරවැසියෙකු වන ප්‍රධානියා ඉන්දියානු අධිපතිවාදී අගමැති මෝඩි හමුව සිදුවූ ආකාරයයි.

 

ඉන්දියාව ලංකා රාජ්‍යය තමන් සතුකර ගැනීමේ නොනිත් ආශාවෙන් ක්‍රියාකරමින් පවතින පසුබිමක ඉන්දියානුවන විසින් මෙහෙයවන 2001 වසරේදී ඉන්දියාවේ මුම්බායි නුවරදී පිහිටවූ VFS ආයතනයට අපගේ ආගමන විගමන සේවාව පවරා දීම දැඩි පිළිකුලෙන් හෙලා දකිමු. රනිල් වික්‍රමසිංහ රජයත් එහි ආධාර කරුවන් වන පොදුජන එක්සත් පෙරමුණත් කිසිදු පිළිකුලකින් තොරව තම බලය උදෙසා ලංකාව ඉන්දියානුකරණය කිරීමේ උත්සාහය අප පරාජය කල යුතුය.

 

බලශක්තිය අදානිටත් ආගමන සේවාව VFS ආයතනයට පැවරීමට අප ඉඩ නොදිය යුතුය. අද වනවිට බලශක්ති පද්ධතියද, ත්‍රිකුණාමලය ඇතුළුව වරායද , අපගේ ගුවන් සීමාවද, අපගේ වගාබිම්ද, වෙළද මධ්‍යස්ථානද, ගුවන්තොටුපලද, අපගේ මුහුදු කලාපය සහ දුපත්ද ඉන්දියාව අත්පත් කරගනිමින් පවතී. මෙතනින් නොනැවතී අපට අයත් මුහුදේ පිහිටි ලොව විශාලතම දුලබ ඛනිජ සම්පත් සහිත අට්කනාසි එටකින් නම් දැවැන්ත මුහුදු කදු වැටියද ඉන්දියාව විසින් ලංකාවටත් නොදන්වා බලහත්කාරයෙන් කැනීම් කරන්නට සුදානම් වෙයි.

 

මේ අතර අපගේ ආරක්ෂක හමුදා කැබලි කොට ජාතික ත්‍රිකුණාමලය සහ මන්නාරම ඇතුළු ආරක්ෂක මරමස්ථාන ඉන්දියාවට පවරමින් ඇත. ඉන්දියාව විසින් පාලනය කල ගෝඨාබය රාජපක්ෂත් ඔවුන්ගේ ඕන එපාකම් ඉටුකළ මහබැංකු අතිපතිවරයා ඇතිලු කණ්ඩායමක් ලංකාව මේ සියල්ල සිදුවන්නේ තම බලය රැකගැනීමටත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමටත් ඉන්දියාව තමන් වඩු මවත් උපන් රටත් පවා දෙන්නට සුදානම් ද්‍රෝහී දේශපාලකයන් සහ නිලධාරීන් පිරිසකගේ සහයෙන් වේ.

 

රට වෙනුවෙනුත්, අපගේ දරුවන්ගේත්, අපෙත් අනාගතය වෙනුවෙනුත් මේ රට සිවධින රාජ්යක් ලෙස පැවතිය යුතුය. අප ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතුය. ඒ කිසිවන් ඉන්දියානු කොලනියක වහලුන් වශයෙන් අපට නොලැබෙන බව අප වටහා ගත යුතුය.

 

මේ නව නිදහස් සටනක් ඇරබෙන යුගයයි. ඒ සදහා එකතු වෙමු. අනාගතයක් උදෙසා එකතු වෙමු. අපගේ දරුවන්ට රටක් උරුම කිරීම උදෙසා එකතු වෙමු. ලංකාව විනාශ කල යටත් විජිත හාම්පුතුන්ගේ සහයෙන් රට වැසියන් සූරාගෙන ශතවර්ත ගණනක් තිස්සේ සුරසැප විදින අධම මිනීමරු කොම්පදෝරු පැලැන්තිය බලයෙන් පැන්නීමට කාලය එලබ ඇත. උනුත් උන්ගේ යටත් විජිත ක්‍රමයත් මේ දුපතෙන් සහමුලින්ම අතුගා දැමිය යුතුය.

 

ඒ සදහා  නව නිදහස් සටනට එකතු වෙමු.

 

– සංඛ චන්දිම අභයවර්ධන