Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ විශ්වාසභංග ඉතිහාසය සහ ‘රස කතා’

ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංගයකට මුහුණ දෙන 14වැනි ඇමතිවරයා බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත්ව තිබේ.

 

ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගය ඉල්ලා සිටි දින තුනක විවාදය  (සැප්තැම්බර් 06 ) ආරම්භ විය. ඊට අදාළ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 08 ) පස්වරු 5.30ට සිදු කිරීමට නියමිතව ඇත.

 

1947 ඔක්තෝම්බර් 14 වැනිදා පළමු පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිට) මේ දක්වා සමස්ත රජයට හෝ ආණ්ඩුවකට එරෙහිව විශ්වාසභංග යෝජනා 27ක් ඉදිරිපත්ව ඇත.

 

රජයකට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනා, කරුණු සලකා බැලීමෙන් අනතුරුව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළ අවස්ථා දෙකක් තිබේ. එම්. ඒ බාකිර් මාකර් කතානායකවරයා විසින් ඒවා ප්‍රතික්ෂේප කළේය. 2001 දී රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ඉදිරියට ගෙන යාමේ හැකියාවක් ලැබුණේ නැත.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු සිව් දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත්ව තිබේ.

 

1957 සැප්තැම්බර් 04 වැනිදා එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ දී අපූරු සිදුවීමක් වාර්තා විය. ඒ, එම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ එක් මන්ත්‍රීවරයෙකු පමණි. අදාළ යෝජනාව සී. සුන්දරලිංගම් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අතර සී. වන්නිසිංහම් ස්ථිර කර තිබිණි. එහෙත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් ද ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ එක් ඡන්දයක් පමණි. ඊට එරෙහිව ඡන්ද 45ක් ලැබී තිබිණි.

 

මුල් කාලයේ දී විශ්වාසභංග වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙන්නේ පැවති රජයේ ක්‍රියා කලාපයට එරෙහිව වන අතර මෑත කාලීනව දක්නට ලැබෙන ප්‍රවණතාව වන්නේ සමස්ත රජයට හෝ ආණ්ඩුවට නොව ඇමතිවරු ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වීමයි.

 

කෙහෙළියට ඇති චෝදනා

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදය විසඳීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල අසමත් වී ඇති බවත් වගකීම පැහැර හැර තිබෙන ඔහු එම අමාත්‍යධුරය තවදුරටත් දැරීමට නුසුදුසු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 47 දෙනෙකුගේ අත්සනින් ඉකුත් ජූලි මාසයේ දී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දුන්හ.

 

ඖෂධ හිඟය, ටෙන්ඩර් පටිපාටිවලින් බැහැරව ඖෂධ ආනයනය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ හා උපකරණ ආනයනය නිසා ඇතැම් මරණවලට හේතු වී ඇති බව පවසන විපක්ෂය වැඩිදුරත් පෙන්වා දෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිය මූලික රාජකාරිය පැහැර හැරීමේ වන්දිය ජනතාවට ගෙවීමට සිදුව ඇති බවය.

 

”මේ බාල ඖෂධ භාවිතය නිසා රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්වෙලා තියෙනවා. ඇස් අන්ධවෙලා තියෙනවා. අබ්බගාත වෙලා තියෙනවා. ඒ වගේම හෙදියන්, වෛද්‍යවරු රට අතහැරලා යන්න පටන් අරගෙන තියෙනවා. මේ ප්‍රශ්නවලට සෞඛ්‍ය ඇමතිගෙන් උත්තර නැහැ.” යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවේය.

විපක්ෂය බෙදීමකට ලක්ව ඇති අවස්ථාවක ජයග්‍රහණය කිරීමට නොහැකි , පදනම් විරහිත චෝදනා එල්ල කරමින් මේ අවස්ථාවේදී විශ්වාසභංගයක් ගෙන ඒම ගැටලු සහගත බවත් එය අනිවාර්යෙන්ම ජය ගන්නා බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

 

බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති මෙම විශ්වාසභංගය යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය ගැනීම සදහා විපක්ෂය ද විශ්වාසභංගය පරාජය කිරීම සදහා ආණ්ඩු පක්ෂය ද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු සභිකයන් එකිනෙකා අතර සාකච්ඡා පවත්වමින් තිබේ.

විශ්වාසභංගකට මුහුණ දුන් ‘තාත්තයි පුතයි’

 

 

පාර්ලිමේන්තු ඉතිහාසය පරික්ෂා කර බැලීමේ දී විශ්වාසභංගයකට මුහුණ දුන් පළමු ඇමතිවරයා වන්නේ මහානාම සමරවීර ය. හැටේ දශකය ආරම්භයේ දී පළාත් පාලන සහ නිවාස අමාත්‍ය ධූරය දැරූ ඔහුට විශ්වාසභංග දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ 1960 දෙසැම්බර් 20 වැනිදා සහ 1962 අගෝස්තු 09 වැනිදා ය. ඔහු මෙන්ම විශ්වාසභංග දෙකකට මුහුණ දීමට සිදු වූ තවත් ඇමතිවරයෙකු විය. ඒ, අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ධූරය දැරූ අයි.එම්.ආර්.ඒ ඊරියගොල්ල ය. ඔහුට එරෙහිව විශ්වාසභංග දෙකක් 1965 දී හා 1968 දී ඉදිරිපත් කෙරුණි.

තැපැල්, සන්නිවේදන සහ මාධ්‍ය අමාත්‍ය ධූරය දැරූ මංගල සමරවීරට ද 1998 දී විශ්වාසභංගකට මුහුණ දීමට සිදු විය. ඔහු මහානාම සමරවීරගේ පුත්‍රයා ය.

 

කෙහෙළිය රඹුක්වැල්ලට පෙර විශ්වාසභංගයට මුහුණ දුන් ඇමතිවරයා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයේ බලශක්ති අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ උදය ගම්මන්පිල වේ. 2021 ජූලි 20 වැනි දා පැවති ඡන්ද විමසීමේ දී ඔහු වැඩි ඡන්ද 91කින් ජය ගත්තේය.

 

විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වූ අමාත්‍යවරු

  • මහානාම සමරවීර (පළාත් පාලන සහ නිවාස අමාත්‍ය)-පළමු අවස්ථාව 1960 දෙවන අවස්ථාව 1962
  • අයි.එම්.ආර්. ඒ ඊරියගොල්ල (අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය)- පළමු අවස්ථාව 1965 දෙවන අවස්ථාව 1968
  • එම්.එච්. මොහොමඩ් (කම්කරු හා රැකීරක්ෂා අමාත්‍ය) – 1969
  • ෆීලික්ස්. ආර්.ඩී බණ්ඩාරනායක ( අධිකරණ සහ මුදල් අමාත්‍ය)- 1976
  • ඩී.බී විජේතුංග (මුදල් අමාත්‍ය ) – 1992
  • එම්.එච්.එම් අෂ්රොෆ් (නාවික, වරාය, පුනරුත්තාපන සහ ප්‍රතිසංස්කරණ අමාත්‍ය)-1995
  • මංගල සමරවීර (තැපැල් සන්නිවේදන සහ මාධ්‍ය අමාත්‍ය)- 1998
  • ජෝන් අමරතුංග (අභ්‍යන්තර කටයුතු අමාත්‍ය)-2002
  • තිලක් මාරපන (ආරක්ෂක අමාත්‍ය)- 2003
  • මහාචාර්ය ජී.එල් පීරිස් (විදේශ කටයුතු අමාත්‍ය)- 2010
  • ඩිලාන් පෙරේරා (විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබ සාධක අමාත්‍ය)- 2013
  • රවී කරුණානායක (මුදල් අමාත්‍ය )- 2016
  • උදය ගම්මන්පිල (බලශක්ති අමාත්‍ය)- 2021

 

සැමියා සහ බිරිඳට මුහුණ දීමට සිදු වූ විශ්වාසභංග

අග්‍රාමාත්‍යවරු සිව් දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වූ අතර එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක ද ඒ අතරට අයත් වේ. අගමැතිවරුන් මුහුණදුන් විශ්වාසභංග අතරින් තුනක් පරාජය විය. මහින්ද රාජපක්ෂගේ දින 52 ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ ද එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන දැඩි විවිචනයකට ලක් වූ, පාර්ලිමේන්තුවට ‘කළු පැල්ලමක්’ එකතු වූ සිදුවීමක් බව එවකට කතානායක කරූ ජයසූරිය BBC සිංහල සේවය සමග පැවති සංවාදයකදී සඳහන් කළේය.

 

2018 නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයක් මෙන්ම සමස්ත ආණ්ඩුවකට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයක් ලෙස ද සැලකිය හැකිය.

”දැනට පත්වී ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැතිබව ප්‍රකාශ කරනවා”

එදින මූලාසනය දැරුවේ කතානායක කරූ ජයසුරිය විසිනි. අනුර කුමාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවක් විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් ස්ථිර කිරීමෙන් පසු සභාවේ අනුමැතියෙන් ස්ථාවර නියෝග අත්හිටුවමින් ගෙන හා විශ්වාසභංග යෝජනාවක් වීම මෙය විශේෂ වේ. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට හෝ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නැත. ඡන්දය ගැනීමේ දී කටහඬ අනුව ඡන්දය ලබාගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඊට දැඩි විරෝධය පළ කළහ. කතානායකවරයා අවසානයේ දී ”දැනට පත්වී ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැතිබව ප්‍රකාශ කරනවා” යනුවෙන් සඳහන් කළේය.

එම උණුසුම් තත්වයේ දී පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන, පොත්පත් හා වෙනත් දේපලවලට හානි විය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ද තීන්දුව මත මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය අහිමි විය.

2018 නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ දී ඇතිවූ ගැටුම්කාරී තත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව, ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ විමර්ශන කමිටුව කතානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් විය. මෙම මන්ත්‍රීවරුන් 59 දෙනා අතරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ ප්‍රසන්න රණවීර ගේය.

චෝදනා 12 කට ඔහුගේ නම සඳහන් වී තිබූ අතර ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය.

මෙම දින තුන තුළදී සිදු වූ දේපළ හානිය, බදු නොමැතිව රුපියල් 325,000ක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කොට තිබේ.

විශ්වාසභංග යෝජනාවලට මුහුණ දුන් අගමැතිවරු

  • 1957 – එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක
  • 1975 – සිරිමාවෝ බණ්ඩාරනායක
  • 2018 – රනිල් වික්‍රමසිංහ
  • 2018 – මහින්ද රාජපක්ෂ

එදා රනිල්ට විශ්වාසභංගය ගෙනාපු කෙනා අද අගමැති

එදා රනිල්ට විශ්වාසභංගය ගෙනාපු කෙනා අද අගමැති

අගමැතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර ඇති අතීතය විමසා බැලීමේ දී 2018 අප්‍රේල් 04 වැනි දින එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයේ විශේෂත්වයක් දක්නට ලැබේ. රනිල් වික්‍රමසිංහට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන විසින් වන අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එය ස්ථිර කරන ලදී. යෝජනාවට පක්ෂව ඡන්ද 76ක් ලැබුණ ද එම යෝජනාවට විරුද්ධව ඡන්ද 122ක් ලැබුණු නිසා රනිල් වික්‍රමසිංහ එදින ජයග්‍රහණය කළේය. මන්ත්‍රීවරු 26ක් එදා ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට පැමිණියේ නැත.

 

කෙසේ වෙතත් එදා විශ්වාසභංගයට මුහුණ දුන් රනිල් වික්‍රමසිංහ අද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන අතර එදා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය හොඹවයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *