Press "Enter" to skip to content

නාවික අභ්‍යාසයේ තෙවැනි දිනය අද

ඉන්දියන් සාගරය සහ ඕමාන් බොක්ක, කේන්ද්‍ර කරගෙන චීනය රුසියාව සහ ඉරානය අතර පැවැත්වෙන නාවික අභ්‍යාසයේ තෙවැනි දිනය අදයි.

මේ වනවිට එහි දර්ශනද මාධ්‍යයට නිකුත් වී ඇත.

ඉන්දියන් සාගරය සහ ඕමාන් බොක්ක, කේන්ද්‍ර කරගෙන චීනය රුසියාව සහ ඉරානය අතර මේ ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය ආරම්භ වුණේ ඉකුත් 27 වැනිදායි.

දින හතරක් පුරා ක්‍රියාත්මක එම යුද අභ්‍යාසයේ දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් රුසියාව පවසන්නේ මෙය නාවික සහයෝගිතාව හා පුහුණුව පිළිබඳ පෙර නොවූ විරූ ආකාරයේ  අභ්‍යාසයක් බවයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල් කරගෙන අමෙරිකාව පනවා ඇති දැඩි සම්බාධක හේතුවෙන් මේ වන විට ඉරානය ජාත්‍යන්තරය තුළ හුදකලා වී ඇත.

අමෙරිකාව,  චීනය සහ රුසියාව සමග පවතින සබඳතා ද අද වන විට බරපතල ලෙස පිරිහීමට ලක්ව ඇති අතර එවැනි පසුබිමක මේ ඒකාබද්ධ නාවික අභ්‍යාස පැවැත්වීම විශේෂයි.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශනය වූ මේ දර්ශනවල චීන සහ රුසියානු සොල්දාදුවන් නාවික අභ්‍යාසයට  සක්‍රීය දායකත්වය ලබා දී ඇති ආකාරය දැකගත හැකියි.

චීන නාවික හමුදාව සතු සතුරු මිසයිල විනාශ කිරීම සඳහා යොදා ගන්නා මිසයිල ආරක්ෂණ පද්ධතියක් නාවික අභ්‍යාසවලට එක්කර ඇත.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ නාවික අභ්‍යාසවලට එක්වීමට බෝල්ටික් කලාපයේ සිට සිය නෞකා තුනක් පිටත් වූ බවයි.

මැදපෙරදිග ඉන්ධන ප්‍රවාහනයේ වැදගත් නාවුක මාර්ගයක් වැටී ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හා සම්බන්ධ වන ඕමාන බොක්ක ප්‍රදේශය අත්‍යවශ්‍ය මුහුදු කලාපයක් ලෙස සැළකෙයි.

ජූනි 13 වන දා ඕමාන බොක්ක ආසන්නයේ දී තෙල් නැව් දෙකකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ප්‍රදේශයේ යුධ උණුසුම යළිත් උත්සන්න වුණි. 

මෙම සියළු කරණා මැද රුසියාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමෙරිකාව විමසිලිමභාවයෙන් පසුවෙයි.

රුසියාව ඉරානය වෙනුවෙන් පෙනී සිටින බව මෙවැනි ක්‍රියාමාර්ගවලින් පෙන්නුම් කිරීමද ඊට බලපාන එක් හේතුවක්.

අමෙරිකාව සමඟ ඔවුන් දක්වන සම්බන්ධය කවරක් වුවද මැදපෙරදිග කලාපයේ රටවල් සමඟ රුසියාව යහපත් සබඳතාවක් පවත්වාගෙන යයි.

මේ අතර ශබ්දයේ වේගය මෙන් විසි ගුණයක් වේගවත් අධිබලැති ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිල සේවයට එක්කිරීමට රුසියාව පසුගියදා පියවර ගත්තේය.

රුසියාව තවදුරටත් අනෙක් ජාතීන්ට වඩා ඉදිරියෙන් සිටින බව මෙමගින් ඔප්පුකර ඇති බවත් කිසිඳු සතුරෙකු සතුව දැනට පවතින හෝ අනාගතයේ නිර්මාණය කරන මිසයිල ආරක්ෂණ ක්‍රම මඟින් මෙම නව මිසයිලයට බාධා කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *