Press "Enter" to skip to content

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් වෙනස අතේ පත්තු වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වෙනසකට සැරසෙන හැටි 72 වැනි සංවත්සරය දා මුළු රටම දැනගත්තා යැයි කීවොත් එය වැරදිය. සෙනඟ සිටියේ නැති නිසා බොහෝ පිරිසක් සිද්ධිය දැන ගත්තේ එහෙන්, මෙහෙන් ගිය ප්‍රවෘත්ති වලිනි. කවි, ගී, නැටුම් හැරෙන්නට එහි තිබූ අලුත් දෙයක් නැත.අරුත් සුන් කතා කිහිපයකින් පිරී ගිය ඒ “වෙනස” මෛත්‍රීගේ නිර්මාණයක්ද, එසේ නැතිනම් කාගේ නිර්මාණයක් දැයි රැස්ව සිටි සැබෑ ශ්‍රී ලංකාකාරයෝ රහසින් එකිනෙකාගෙන් විමසන්නට වූහ. සංවත්සර උත්සවයත්, මෛත්‍රීගේ උපන් දිනයත් එකටම ගත් නිසා මෛත්‍රී නම් හිටියේ හොඳටම චූන් වී ගෙනය. රනිල් ළඟට මෛත්‍රී දක්කන් යන්නට ආ සෙට් එකම ඔහු ළඟින් සිටියේය. දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ලෙස පැමිණ සිටියේ රනිල් සහ රාජපක්ෂවරු යන සියලු දෙනාම නියෝජනය කරමිනි. ලංසාගේ කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපාවද වෙන දේ බලා ගන්නට එවා තිබිණ . විජේදාස රාජපක්ෂ සමගින් ජෝන් සෙනවිරත්නද විශේෂ ආරාධිතයන් ලෙස සංවත්සරයට පැමිණ සිටියහ.

 

උත්සවයේ මනාලයා වූයේ අලුත් දීගය පටන්ගත් මෛත්‍රීය. මනාලයාගේ කතාවේදී රෑ එකේ සිට සංවත්සරය සඳහා වූ උත්සව ශාලාව සකසන්නට වෙහෙස වූ අයටත්, කොඩි ඔසවා, පෝස්ටර් ගැසූ අයටත් දීර්ඝ ලෙස ස්තූති කිරීමක් සිදු විය. මේ පිරිස නැත්නම් මෙවැනි ලස්සන වැඩක්, නැතිනම් මඟුලක් ගන්නට බැරිවන බවද පක්ෂයේ සභාපතිවරයා සිනාසෙමින් කීවේය. ඒ හැරුණු කොට අලුත් වෙනස ගැනවත්, ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන කොටගත් රජයක් පිහිටුවීමේ සූදානම ගැනවත් මෛත්‍රී කිසිවක් පැහැදිලි නොකළේය. තරුණ සේවා සභාවෙන් ගෙන්වන ලද තරුණ කොල්ලන්, කෙල්ලන් ශුංගාරාත්මකව නර්තනයේ යෙදෙද්දී “අලුත් වෙනස” මෙය වෙන්නට ඇතැයි ඒ දෙස බලා සිටි බොහෝ දෙනා සිතූහ. සංවත්සරයට සහ මෛත්‍රීගේ උපන් දිනයට මිලියන 20ක් එකතුකර දුන් නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, යන අමාත්‍යවරුන්ද, දුමින්ද දිසානායකද සංවත්සර උත්සවයේ මෛත්‍රී ළගින්ම සිටියේය. රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාට උත්සවය සඳහා සහභාගි වීමට නොලැබුණේ හදිසියේම ඇතිවූ රෝගී තත්වයක් නිසා රෝහල් ගතවීමට සිදුවූ බැවිනි. ඒ නමුත් ඔහුද කරන්නට ඕනෑ යුතුකම් සියල්ල මෛත්‍රී වෙනුවෙන් ඉටුකර තිබුණේය. ඒ කෙසේ නමුත් සංවත්සරය සඳහා බලාපොරොත්තුවූ පිරිසක් එක්ව සිටියේ නැත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සමාජ මාධ්‍ය හරහා සංවත්සරය සජීවීව ලෙස විකාශය කරනු ලැබුවත් එය නරඹමින් සිටියේ 550 කටත් අඩු ප්‍රමාණයකි.

 

” අරුන් රනිල්ට ජැක් එක ගහලා ඇමති තනතුරු ගත්තා. මෛත්‍රී එවුන්ව ගෙන්නලා අද අපිට දේශන තියෙනවා. ගමේ ඉන්න අහිංසක ශ්‍රී ලංකාකාරයෝ තවමත් දන්නෙ නෑ අපි ආණ්ඩුවේ කියලා. එහෙම නැත්නම් රනිල් – රාජපක්ෂලාගේ ගොට්ටෝ කි⁣යලා.” ⁣නිමල් සිරිපාලගේත්, අමරවීරගේත් කතා දෙක අසා සිටි ආසන සංවිධායකවරු කිහිප දෙනෙක්ම එසේ කියමින් උත්සවය අතරතුර කෑ ගසා පිටව ගොස් තිබිණ.

 

සංවත්සර උත්සවයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර කළ කතාව පමණක් මඟුල් ගෙදර ගැසූ ලොකුම වෙඩිල්ල විය. ” එක්කෝ අපි ආණ්ඩුවේ දේශපාලනය කරන්න ඕන…එක්කෝ අපි විපක්ෂයේ දේශපාලනය කරන්න ඕන…⁣අපි සියලු දෙනාම එක මතයකට ඇවිල්ලා එක දේශපාලනයක් කරන්න ඕන….! යැයි දයාසිරි කියද්දී මෛත්‍රීද කම්මුලට අත තබාගෙන බලා සිටියේය.

 

සමහරු නම් කීවේ දයාසිරි එම කණේ පහර ගැහුවේ හරියටම නිල බලා කියාය. ඒත් නිල මැස්සන් කවුරුදැයි කියා තවමත් නොදන්නා ශ්‍රී ලංකා කාරයෝ පිරිසක්ද ඉන්නා බව එදා සංවත්සරයේදී ඇතැමුන් හැසිරුණු ආකාරයෙන් මේ ලියුම්කරුට දක්නට ලැබුණි.

 

© විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *