Press "Enter" to skip to content

ජිනීවා යෝජනාව වලින් ඉවත් වීමේ හේතු මෙන්න…

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ 40/1 යන යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට ලංකාණ්ඩුව තීන්දු කළා. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන අය නිතර අහන ප්‍රශ්න දෙකක් තිබෙනවා. පළමු ප්‍රශ්නය තමයි කවුරුත් දන්න 30/1 සහ සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණු 40/1 යන යෝජනා දෙක අතර වෙනස කුමක්ද? දෙවන ප්‍රශ්නය තමයි 40/1 යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වෙන්නේ ඇයි?

30/1 යෝජනාව කියන්නේ 2015 ඔක්තෝම්බර් මාසයේ දී මානව හිමිකම් සභාවේ තිස්වන සැසියට ඉදිරිපත් කළ ලංකාව මානව හිමිකම් කඩ කළ බව පිලිගනිමින් ලංකාව බලය බෙදිය යුතුයි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි, ත්‍රස්තවාදින්ට වන්දි ගෙවිය යුතුයි යුද අපරාධ පිළිබඳ විර්මශනය කළ යුතුයි සහ ත්‍රස්තවාදිය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතුයි යනාදි කරුණු ඇතුළත් යෝජනාවයි. ලංකාව එම යෝජනාවට සම අනුග්‍රහකත්වය දැරීම නිසා ඒ යෝජනාවෙන් ලංකාවට එල්ල කළ චෝදනා සියල්ල ලංකාව පිලිගත්තා. සමස්ථ ලෝක ඉතිහාසයේ තමන්ගේ රටට එරෙහිව ගෙනාපු යෝජනාවකට සම අනුග්‍රහය දක්වපු ලොව ප්‍රථම රට විදිහට වාර්ථාවක් ශ්‍රී ලංකාව තබන්නේ ඔන්න ඔය 30/1 යෝජනාව සම්මත වූ අවස්ථාවෙයි.

30/1 යෝජනාවේ ක්‍රියාත්මක කාලය 2019 මාර්තතු මාසයේ පැවැති මානව හිමිකම් සභාවේ 40 වන සැසියෙන් අවසන්. ඒ නිසා ඒ යෝජනාවේ අඩංගු කරුණු සියල්ලම ඉටු කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලමින් ද එකී කරුණු ඉටු කිරීමේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සභාවේ 46 වන සැසියට ඉදිරිපත් කරන මෙන් මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලමින් ද සම්මත කළ යෝජනාව තමයි 40/1 යෝජනාව කියන්නේ. ඒ වගේම යෝජනාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය දැනට ජිනීවා නුවර පැවැත්වෙන 43 වන සැසියේ දී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව 40/1 යෝජනාවට සමඅනුග්‍රාහකත්වය ලබා දීමෙන් සිදු වුණේ ඒ යෝජනාවේ අඩංගු කරුණු සත්‍ය බවට ලංකාව පිලිගැනීමයි. ලෝකයේ කිසිම රටක් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවකට සමඅනුග්‍රාහකත්වය දක්වලා නෑ. සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වෙනවා කියන්නේ එකී යෝජනාවේ අඩංගු කරුණු ලංකාව පිලිගන්නේ නෑ කියන එකයි. අපිට සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට තාක්ෂණික හේතු, හරයාත්මක හේතු සහ ප්‍රායෝගික හේතු යනාදි වශයෙන් හේතු ර්වග තුනක් තිබෙනවා.

ජනතාව විධායක බලය දුන් ජනාධිපතිගේ අනුමැතිය ලබා නොගැනීම, රාජ්‍ය පාලනය භාර වුණු ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා නොගැනීම, මහජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගැනීම සහ මැතිවරණයේ දී එවැනි භයානක යෝජනාවකට සමඅනුග්‍රාහකත්වය ලබා දීමට ජනවරමක් ලබා නොගැනීම යන කාරණා තාක්ෂණික හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මේ සමඅනුග්‍රාහකත්වය ලබා දීලා රට අමාරුවේ දාන්න එපා කියලා එවකට ජිනීවා නුවර ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා විසින් එවකට විදේශ ඇමති මංගල සමරවීර මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

අපි දැන් හරයාත්මක කාරණා ගැන බලමු. යුද අපරාධ කළ බවට නගන චෝදනා පිළිබඳ කිසිම සාක්ෂියක් නොමැති හිතළු වීම අතිශයින්ම හාස්‍යජනකයි. ඒ වගේම අපේ හමුදා යුද අපරාධ නොකළ බවට යුද සමයේ ලංකාවේ සිටි එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරි යන අය සැකසූ වාර්තා වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම සහන සැලසීමේ සංවිධාන සමූහයේ රැස්වීම් වාර්තා වලවත් එවැන්නක් සඳහන් වෙන්නේ නෑ. 40,000ක් සාමාන්‍ය වැසියන් මැරුණා නම් එක්කෝ එසේ මිය ගිය 40,000 නම් ලැයිස්තුවක් තිබෙන්න ඕනෑ. නැතිනම් 40,000ක් මිය ගිය බවට තහවුරු වන සමූහ මිනී ගොඩවල් දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප තිබෙන්න ඕනෑ. මේ කිසිවක් නැති නිසා තමයි මේක හිතළුවක් කියා අපි කියන්නේ.

අතුරුදහන් වූ බවට කියන සමහර පුද්ගලයින් සරණාගතයින් විධියට යුරෝපිය රටවලට ගිහින් තිබෙනවා. ඒ අයගේ තොරතුරු ලංකාණ්ඩුවට ලබා දුන්නොත් මිය ගියා කියන අය ඇත්තටම ඉන්නේ කොහේදැයි දැන ගන්න පුළුවන්.

මේ යෝජනාවෙන් ඉවත් වීමට ප්‍රායෝගික හේතුවක් තිබෙනවා. පසුගිය ආණ්ඩුව සංහිඳියාව හදන්න කියලා මේ යෝජනාවෙන් කියා තිබෙන සෑම දෙයක්ම කළා. වසර පහක් පුරාවට කළා. අවසාන ප්‍රතිඵලය කුමක්ද? සංහිඳියාව වැඩි කරන්න ගිහින් තිබුණු සංහිඳියාවත් නැති කරලා තිබෙන බව පසුගිය ජනාධිපතිවරණයේ දී පෙනුනා. පසුගිය ජනාධිපතිවරණය තරමට ජනතාව වාර්ගිකව බෙදුණු මැතිවරණයක් ලංකා ඉතිහාසයේ නෑ. සිංහල ජනතාවගෙන් 70%ක් එක් අපේක්ෂකයෙකු තෝරා ගන්නා විට සුළු ජාතින්ගෙන් 85%ක් තෝරා ගත්තේ ප්‍රතිවාදි අපේක්ෂකයා. ඒකෙන් පේන්නේ ජිනීවා යෝජනාව අනුව පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ වැඩපිලිවෙල නිසා තිබුණු සංහිඳියාවත් නැති වුණා කියන එකයි. ඒ විනාශකාරි ජාතිවාදි වැඩපිලිවෙලේ තවදුරටත් ඉදිරියට යන්න බැරි නිසා අපි ජිනීවා යෝජනාවෙන් ඉවත් වෙන්න තීරණය කළා.

ප්‍රශ්න : නාමයෝජනා ලබාදීමේදී විශේෂයෙන්ම පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල ඔතුමන්ලාගේ දිස්ත්‍රික්ක නායකයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දක්වන අදහස් අනුව යම් ගැටුම්කාරී තත්වයක් ඇති වී ඇති බවක් පේනවා නේද ?

පිළිතුර : ගැටලුකාරී තත්වයක් කිව්වත් ඒ ස්වභාවික තත්වයක්. හැමදාමත් නාමයෝජනා සීමිතයි. ඉල්ලුම අසීමිතයි. මාතලේ දිස්ත්‍රික්කය ගත්තොත් උදාහරණයක් විදියට අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නට පුළුවන් අටදෙනයි. අපේ සන්ධානයේ ප්‍රධාන පක්ෂම දහයක් තියෙනවා. අනෙකුත් පක්ෂ දහසයක් තියෙනවා . ඔක්කොම 26යි. නමුත් ප්‍රධාන පක්ෂය දහයටවත් එක බැගින් ලබා දෙන්න හැකියාවක් නැහැ මාතලේ දී. ඒ නිසා ඉල්ලුමත් සැපයුමත් අතර තියෙන බරපතළ පරතරය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් තියෙනවා. මේ මැතිවරණයේදී විතරක් නෙවෙයි පුංචි මැතිවරණයේදීත් නාමයෝජනා සදහා අන්තිම මොහොත දක්වා තිබුණු තියුණු සටන නිසා අපේ නාමයෝජනා 11ක් පමණ ප්‍රතික්ෂේප වුණා. මොකද අන්තිම මොහොතේදීත් ටිපෙක්ස් කරලා ඒවායේ අනු අත්සන් යොදා නොතිබුණු නිසා. ඒ වගේම අපි එක්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක පවා එකතු වුණා. නාමයෝජනා කියන්නේ ඇත්තටම පොරයක්. ඒ පොරය මෙදා පාර තීවුර වෙලා තියෙනවා. මොකද මෙවර අප විශාල මන්ත්‍රීධූර ප්‍රමාණයක් ලබා ගන්නා බවට සිතන නිසා. වෙනදා මට දිනන්නට බැහැයි කියල හිතපු අයත් නෑ මට මෙවර දිනන්නට පුළුවන් යැයි හිතලා මැතිවරණයේදී නාමයෝජනා බලාපොරොත්තු වෙනවා. තියුණු තරගයක් තිබුණත් වෙනදා වගේම සාමකාමීව ඒ ප්‍රශ්නය විසඳා ගන්නට හැකිවේවා යැයි අපි සිතනවා.

ප්‍රරශ්නය : එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ 40/1 යන යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව තීරණය කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ අනිකුත් රටවල් කෙලෙස ප්‍රතිචාර දක්වාවිද ?

පිළිතුර : පන්දුව යොමු කළාට පසුවයි පිතිකරුවාට තීරණය කරන්න වෙන්නේ මොන පහරද ගහන්නේ කියලා. බෝලය එවන්නට කලින් තීරණය කරන්නට බැහැ. යුද සමයේ ලංකාවේ හිටපු එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා දිගින් දිගටම වාර්තා දුන්නේ යුද සමයේ ශ්‍රී ලංකා යුද හමුදාව ඉතාමත්ම මානුෂීය අන්දමින් යුද්ධය කරන බවටයි. එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියා පැවසූයේ ශ්‍රී ලංකාව විශිෂ්ට ආකාරයට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරමින් යුද්ධයේ නිරත වන බවයි. ඒ වගේම සහන සැපයීමේ නිරත වූ ආයතන සමූහයක් එකතු වී පැවැත්වූ රැස්වීම් තිබුණා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් තුමන් සමග. ඒ සෑම තැනකදීම අවශ්‍යතා සපුරලා තිබුණා. ඒ නිසා අපට විරුද්ධ චෝදනා හිතළුවක්. මේක හදාගත්ත කතාවක්. ඒක කළේ ලෝකය පුරා ගිහිල්ලා ඉන්න දෙමළ බෙදුම්වාදීන්. ඔවුන්ගේ පූර්ණකාලීන රස්සාව තමයි මේ බෙදුම්වාදී විසබීජ වෙනුවෙන් ලෝකයේ අනෙකුත් රටවලට බලපෑම් කිරීම.

Jane’s Defence Weekly කියන සඟරාව 2008 මැයි මස කලාපයක වාර්තා කළා කොටි සංවිධානය වාර්ෂික ආදායම ඩොලර් මිලියන තුන්සියයක් බව. නැව් සේවා පවත්වාගෙන යෑම, නීති විරෝධී අවි ජාවාරම, මිනිස් ජාවාරම, මත් කුඩු ජාවාරම, පුරාවස්තු ජාවාරම, රූපවාහිනී ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යෑම, ඉන්ධන පිරවුම් හල් හා සිල්ලර කඩ පවත්වාගෙන ගෑම කොටි සංවිධානය ප්‍රධාන ආදායම් මාර්ග බව එම සඟරාව සඳහන් කරනවා. සංවිධානය විනාශ වුණත් ඔවුන් ආයෝජනය කර තිබූ එම ව්‍යාපාර වලින් ලැබෙන ආදායම නතර වී නැහැ. ඔවුන් ඒ සල්ලිවලින් දේශපාලකයන් මිලදී ගන්නවා, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මිලදී ගන්නවා. රාජ්‍ය නිලධාරීන් මිලදී ගන්නවා, මාධ්‍යවේදී මිලදී ගන්නවා, රාජ්‍ය නොවන සංවිධානත් මිලදී ගන්නවා . එවිට මේ බලවේග පහ මගින් නැති ප්‍රශ්නයක් ලෝකයේ ඇති කරමින් ඉන්නවා. එදා උතුරේ ව්‍යාජ කොටි ආණ්ඩුව නඩත්තු කිරීමට ගිය වියදම යුද්ධය සඳහා ඔවුන්ට ගිය වියදමත් වාර්ෂිකව ලැබෙන ඩොලර් මිලියන 300 ක ආදායමක් ඔවුන් අද වියදම් කරන්නේ මා ඉහත කී කණ්ඩායම් පහ නඩත්තු කිරීම සඳහායි.

ඒ නිසා මේ යෝජනාව අප ඉවත් කර ගත්තහම ඒ රටවලට මේ දෙමළ බෙදුම්වාදී බලවේග වලින් ඇතිකරන බලපෑම මත එම රටවල් විවිධ ප්‍රතිචාර දක්වන්නට පුළුවන්. ප්‍රතිචාර සම්බන්ධයෙන් අප යම් ඇගැයීමක් ද කර තියෙනවා. නමුත් හොරාට කලින් කෙහෙල්කැන වැට පනින්න අවශ්‍ය නැහැ. බෝලය දැම්මහම අපි පන්දුවට පහරදෙන ආකාරය ගැන තීරණය කරමු

– අරවින්ද අතුකෝරල

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *